යෙහෝවාට පිළිගත හැකි පූජා ඔප්පු කිරීම
ඉතිහාසයේ එක් වකවානුවක, ඒදන් උයනට නැඟෙනහිරෙන් ඇතුල් වන ස්ථානයේ පුදුම දනවන සිද්ධියක් නිරීක්ෂණය කළ හැකිව තිබුණා.a එහි, බලවත් කෙරුබ්වරුන් රැකවල් කරගෙන සිටි අතර, ඔවුන්ගේ භයංකර පෙනුම කිසිවෙකු ඔවුන් පසු කර නොයා යුතු බවට පැහැදිලි අනතුරු ඇඟවීමක් වුණා. හැම අතටම කරකැවෙමින් තිබුණු ගිනිමය වූ කඩුව ඒ හා සමාන අනතුරු ඇඟවීමක් වූ අතර, රාත්රියේදී එය භය උපදවන දීප්තියකින් ගස් අතරින් දිස්වෙන්න ඇති. (උත්පත්ති 3:24) මෙය කුතුහලය දනවන්නක් විය හැකි වුවත්, එය දැකගැනීමට කැමති ඕනෑම කෙනෙක් සැලකිය යුතු දුරක සිටයි ඒ දෙස බැලුවේ.
කායින් හා ආබෙල් බොහෝ අවස්ථාවලදී එම භූමි ප්‍රදේශයට යන්න ඇති. ආදම් සහ ඒව ඔවුන්ව බිහි කළේ උයනෙන් පිට නිසා, තම දෙමාපියන් යම් කාලෙක ජීවත් වූ පාරාදීසය කොයි වගේ වෙන්න ඇද්දැයි කියා අනුමාන කිරීමට පමණයි ඔවුන්ට හැකි වුණේ. ඒදන් කලින් හොඳ ජල සැපයුමක්, සාරවත්ව වැඩුණු අලංකාර තුරුලිය මෙන්ම පලතුරු හා එළවළු බහුලව තිබුණු උයනක් වුවත්, ඉන්පසු එය වගා නොකළ වල් වැවුණු තැනක් මෙන් පෙනුණ බවට කිසිම සැකයක් නැහැ.
උයන රැකබලා නොගන්නත් එමෙන්ම තමන්ව එයින් නෙරපනු ලබන්නත් හේතුව කුමක්ද කියා ආදම් හා ඒව තම දරුවන්ට ස්ථිරයෙන්ම පැහැදිලි කරන්න ඇති. (උත්පත්ති 2:17; 3:6, 23) කායින් හා ආබෙල් කොතරම් කලකිරෙන්න ඇද්ද! උයන දැකගත හැකිව තිබුණත්, ඔවුන්ට එයට ඇතුල් වීමට හැකියාව තිබුණේ නැහැ. ඔවුන් පාරාදීසයට කොයිතරම් සමීපව සිටියත්, සෑහෙන ඈතකයි සිටියේ. අසම්පූර්ණත්වය ඔවුන්ව කැළැල් කර තිබුණු අතර, කායින්ටවත් ආබෙල්ටවත් ඒ ගැන කිසිවක් කිරීමට හැකි වුණේ නැහැ.
ඔවුන්ගේ දෙමාපියන් අතර තිබූ සබඳතාව නිසා ඇත්තෙන්ම තත්වය තවත් උග්‍ර වුණා. ඒවට දඬුවම නියම කරද්දී, දෙවි මෙසේ පැවසුවා: “නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” (උත්පත්ති 3:16) එම අනාවැකියට එකඟව, ආදම් සමහරවිට ඔහුගේ භාර්යාවට තවදුරටත් තමන්ගේ මිතුරිය හා සහකාරිය හැටියට නොසලකමින් ඇය කෙරෙහි බලපවත්වන්න ඇති. එමෙන්ම ඒව මේ මිනිසා මත අනවශ්‍ය ලෙස රඳාපැවතීමක් පෙන්වන බව දක්නට තිබුණා. එක් විචාරකයෙක් ඇගේ “ආශාව,” “රෝගයක් මෙන් වූ බලවත් ආශාවක්” ලෙස විස්තර කිරීමට පවා පෙලඹුණා.
දෙමාපියන්ට ගෞරවය දීම සඳහා, ඒ දරුවන් දෙදෙනාට මෙම විවාහක තත්වය කොතරම් දුරකට බලපෑවාද කියා බයිබලය පවසන්නේ නැහැ. එහෙත්, ආදම් හා ඒව තම දරුවන්ව කැලඹීමට පත් කරවන ආදර්ශයක් තැබුව බව නම් පැහැදිලියි.
වෙනස් මාර්ග තෝරාගැනීම
අන්තිමේදී, ආබෙල් එඬේරෙකු බවටත්, කායින් ගොවියෙකු බවටත් පත් වුණා. (උත්පත්ති 4:2) තම දෙමාපියන්ව ඒදනින් නෙරපීමට පෙර පැවසූ විශිෂ්ට අනාවැකිය ගැන කල්පනා කිරීමට, තම රැළ බලාගනිමින් සිටි ආබෙල්ට ඕනෑ තරම් වෙලාව තිබුණු බවට සැකයක් නැහැ. එම අනාවැකිය මෙයයි: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) ආබෙල් මෙසේ කල්පනා කරන්න ඇති: ‘සර්පයාව පොඩි කරනු ලබන වංශයක් සම්බන්ධ දෙවිගේ පොරොන්දුව ඉටු වෙන්න යන්නේ කොහොමද? මේ වංශයේ විලුඹ පොඩි කරන්න යන්නේ කොහොමද?’
පසු කලක, කායින් හා ආබෙල් යන දෙදෙනාම යෙහෝවාට පූජාවක් ඔප්පු කළා. ඔවුන් එසේ කළේ සමහරවිට මේරූ වැඩිහිටියන් බවට පත් වුණාට පසුව විය හැකියි. ආබෙල් එඬේරෙකුව සිටි බැවින්, ඔහු “තමාගේ රැළේ කුලුඳුලන්ගෙන් [කුලුඳුලන්ගෙන් සමහරෙක්, NW]” ඔප්පු කිරීම පුදුමයක් වුණේ නැහැ. ඊට වෙනස්ව, කායින් “භූමියේ ඵලයෙන් [ඵලයෙන් යමක්, NW]” ඔප්පු කළා. යෙහෝවා ආබෙල්ගේ පූජාව පිළිගත් නමුත්, ‘ඔහු කායින් සහ ඔහුගේ පඬුර සැලකුවේ නැහැ.’ (උත්පත්ති 4:3-5) එසේ නොකළේ මන්ද?
ආබෙල්ගේ පූජාව “රැළේ කුලුඳුලන්ගෙන්” වූ නමුත් කායින්ගේ පූජාව “භූමියේ ඵලයෙන් [ඵලයෙන් යමක්, NW]” වූවාය යන කාරණයට සමහරු යොමු දක්වනවා. නමුත් කායින් ඔප්පු කළ දෙයෙහි ගුණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ; මන්ද වාර්තාව පවසන්නේ, “ආබෙල් සහ ඔහුගේ පඬුර” දෙස යෙහෝවා අනුග්‍රහයෙන් බැලූ අතර, “කායින් සහ ඔහුගේ පඬුර” දෙස අනුග්‍රහයෙන් නොබැලූ බවයි. එසේනම් යෙහෝවා මූලිකවම බැලුවේ නමස්කාරකයාගේ හෘදයේ තත්වය දෙසයි. එසේ කරද්දී, ඔහුට පෙනුණේ කුමක්ද? ආබෙල් තම පූජාව ඔප්පු කළේ “ඇදහිල්ලෙන්” බව හෙබ්‍රෙව් 11:4 පවසනවා. එබැවින් ආබෙල්ගේ පූජාව පිළිගත හැකි එකක් වූයේ ඔහුගේ ඇදහිල්ල නිසයි. නමුත් කායින්ගේ ඇදහිල්ල හීනව තිබූ බවයි පෙනෙන්න තිබුණේ.
මේ සම්බන්ධයෙන් බලන කල, ආබෙල්ගේ පූජාව ඔප්පු කිරීමට රුධිරය වැගිරවීමක් ඇතුළත්ව තිබීම සැලකිල්ලට ගත යුත්තකි. විලුඹ පොඩි කරනු ලබන වංශයක් සම්බන්ධ දෙවිගේ පොරොන්දුවට ජීවිතයක් පූජා කිරීම ඇතුළත්ව තිබෙනවා කියා ඔහු නිවැරදි නිගමනයකට එළඹුණා විය හැකියි. මෙසේ ආබෙල්ගේ ඔප්පු කිරීම, සමඟි කිරීම සඳහා අයැදුමක් වූ අතර, දෙවි නියමිත කාලයේදී පාපය සඳහා ශාන්තිකර පූජාවක් සපයන බවට ඇදහිල්ල ප්‍රකාශ කිරීමක්ද වුණා.
ඊට පටහැනිව, කායින්, තමා කළ ඔප්පු කිරීම දෙස බැලුවේ හුදෙක් මතුපිටින් පමණයි. “ඔහුගේ ඔප්පු කිරීම, දෙවිව නිකම්ම පිහිට වන්නෙක් වශයෙන් පිළිගැනීමක් පමණයි” කියා 19වන සියවසේ බයිබල් විචාරකයෙකු අදහස් පළ කළා. “ඔහු හා ඔහුගේ මැවුම්කරු අතර ඈත්වීමක් සිදු වී ඇති බවවත්, පාපය පාපෝච්චාරණය කිරීමේ හෝ සමඟි කිරීමක් මත රඳා සිටීමේ අවශ්‍යතාවක් තිබෙන බවවත් ඔහු පිළිගත්තේ නැති බව එයින් පැහැදිලි ලෙස අනාවරණය වෙනවා.”
තවදුරටත්, සර්පයා වන සාතන්ව විනාශ කරන පොරොන්දු වංශය තමා බව කුලුඳුලා වශයෙන් කායින් අහංකාර ලෙස සිතන්න ඇති. ඒව පවා තම කුලුඳුල් පුත්‍රයා සම්බන්ධයෙන් එවැනි අභිලාෂකාමී අපේක්ෂාවන් ඇති කරගත්තා විය හැකියි. (උත්පත්ති 4:1) සැබවින්ම, කායින් හා ඒව අපේක්ෂා කළේ මේ දෙය නම්, ඔවුන්ට ඇත්තෙන්ම ලොකු වැරදීමක් වෙලයි තිබුණේ.
ආබෙල්ගේ පූජාව කෙරෙහි යෙහෝවා තම අනුමැතිය ප්‍රකාශ කළේ කෙසේද කියා බයිබලය පවසන්නේ නැහැ. ස්වර්ගයෙන් බැස ආ ගින්නකින් එය දවා දැමූ බවට සමහරු අදහස් දක්වනවා. කාරණය කුමක් වුවත්, තමාගේ පූජාව ප්‍රතික්ෂේප කළ බව වටහාගත් ‘කායින් අතිශයෙන් කෝප වුණා; ඔහුගේ මුහුණද වෙනස් වුණා.’ (උත්පත්ති 4:5) කායින් විනාශය කරා පිය නඟමින් සිටියා.
යෙහෝවාගේ අවවාදය හා කායින්ගේ ප්‍රතිචාරය
යෙහෝවා කායින්ගෙන් හේතු විමසුවා. “ඔබ කෝපව සිටින්නේ මන්ද? ඔබේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?” කියා ඔහු ඇසුවා. මෙමගින් තමාගේ හැඟීම් හා චේතනාවන් පරීක්ෂා කර බැලීමට කායින්ට සෑහෙන ප්‍රස්තාවක් උදා වුණා. “ඔබ යහපත කරන්නෙහි නම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකරන්නෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව ඔබ කෙරෙහි වන්නේය, ඔබ එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිද?” කියා යෙහෝවා තවදුරටත් පැවසුවා.—උත්පත්ති 4:6, 7, NW. (23වන පිටුවේ කොටුව බලන්න.)
කායින් සවන් දුන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු ආබෙල්ව කැටුව කෙතට ගොස්, ඔහුව මරා දැම්මා. පසුව, ආබෙල් කොහේද කියා යෙහෝවා ඇසූ විට කායින් බොරුවක් කීමෙන් තම පාපය වැඩි කරගත්තා. ‘මම දන්නේ නැහැ; මම මාගේ සහෝදරයාගේ රැකවලාද?’ කියමින් ඔහු ප්‍රතිවාදී පිළිතුරක් දුන්නා.—උත්පත්ති 4:8, 9.
ආබෙල්ව මරණයට පත් කිරීමට පෙර හා පසුව, කායින් ‘යහපත කිරීම’ ප්‍රතික්ෂේප කළා. ඔහුව ආණ්ඩු කරන්න පාපයට ඉඩ දුන් අතර, එම හේතුවෙන්, කායින්ව මිනිස් පවුල වෙසෙන ප්‍රදේශයෙන් පිටමං කළා. ආබෙල්ව මැරුවාට පළිගැනීමක් වශයෙන් යමෙකු විසින් කායින්ව නොමරන පිණිස “ලකුණක්” එනම් සමහරවිට නිකම්ම නියෝගයක් පමණක් පිහිටුවන්න ඇති.—උත්පත්ති 4:15.
කායින් පසුව තම පුත්‍රයාගේ නමට නුවරක් ඉදි කිරීමට පටන්ගත්තා. ඔහුගෙන් පැවත එන්නන් තමන්ගේ ප්රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීම පුදුමයට කාරණයක් නොවේ. අන්තිමේදී, නෝවාගේ දවසේ ජලගැල්මට සියලුම අධර්මිෂ්ඨ මිනිසුන්ව හසු වූ විට කායින්ගේ පෙළපත අවසන් වුණා.—උත්පත්ති 4:17-24; 7:21-24.
කායින් හා ආබෙල් පිළිබඳ බයිබල් වාර්තාව ආරක්ෂා කර තිබෙන්නේ හුදෙක් විනෝදය තකා කියවන්න නොවෙයි. ඒ වෙනුවට, එය ‘අපගේ ඉගෙනගැනීම සඳහා ලියනු ලැබූ’ අතර ‘ඉගැන්වීමටත් තරවටුවටත් ප්‍රයෝජනවත්ව තිබෙනවා.’ (රෝම 15:4; 2 තිමෝති 3:16) මේ වාර්තාවෙන් අපට කුමක් උගත හැකිද?
අපට පාඩමක්
කායින් හා ආබෙල්ට මෙන්, අදදින ක්‍රිස්තියානීන්ටත් දෙවිට පූජාවක් කිරීමට ආරාධනා කරනු ලබනවා. නමුත්, එය සැබෑ දවන පූජාවක් නොව ‘දෙවිගේ නාමයට ස්තුති කරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාවයි.’ (හෙබ්‍රෙව් 13:15) යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරද්දී, එය දැනටමත් ලෝක ව්‍යාප්ත පරිමාණයකින් සිදු කෙරෙමින් පවතිනවා. (මතෙව් 24:14) එම සේවයෙහි ඔබත් සහභාගි වෙනවාද? එසේනම් ‘ඔබේ වැඩයද ඔබ දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට ඔහු අධර්මිෂ්ඨ නැති’ බවට ස්ථිරත්වයක් තබාගන්න ඔබට හැකියි.—හෙබ්‍රෙව් 6:10.
කායින් හා ආබෙල්ගේ පූජාවන් මෙන් ඔබේ පූජාවත් බාහිර පෙනුමෙන්, එනම් උදාහරණයක් හැටියට, ඔබ දේවසේවයේදී ගත කළ පැය ගණනෙන් විනිශ්චයට ලක් කරන්නේ නැහැ. යෙහෝවා බලන්නේ අභ්‍යන්තරයයි. ඔහු “හෘදය විභාග කරන” බවත්, “වකුගඩු,” එනම් කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ අභ්‍යන්තර සිතුවිලි, හැඟීම් හා චේතනාවන් පවා “සෝදිසි කරන” බවත් යෙරෙමියා 17:10 [NW] පවසනවා. එමනිසා සැබවින්ම වැදගත් වන්නේ ප්‍රමාණය නොව චේතනාවයි. ඇත්තෙන්ම, පූජාවක් ලොකු වුණත්, පොඩි වුණත්, ප්‍රේමයෙන් පෙලඹුණු හෘදයකින් එය ඉදිරිපත් කළ විට එය දෙවිට වටිනවා.—මාර්ක් 12:41-44 සමඟ මාර්ක් 14:3-9 සසඳන්න.
ඒ වගේම, කායින් අඩ හෘදයකින් ඔප්පු කළ පූජාව නොපිළිගත්තා වගේම කැළැල් සහිත පූජා නොපිළිගන්නා බව අප අවබෝධ කරගත යුතුයි. (මලාකී 1:8, 13) ඔබ ඔබේ හොඳම දෙය දිය යුතුයි, එනම් ඔබ ඔහුට මුළු හෘදයෙන්, ප්‍රාණයෙන්, බුද්ධියෙන් හා ශක්තියෙන් සේවය කළ යුතුයි කියා යෙහෝවා ඉල්ලා සිටිනවා. (මාර්ක් 12:30) ඔබ එසේ කරනවාද? එසේනම් සෑහීමකින් යුතුව ඔබේ පූජාව දෙස බැලීමට ඔබට හොඳ හේතු තිබෙනවා. පාවුල් මෙසේ ලිව්වා: “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.”—ගලාති 6:4.
කායින් හා ආබෙල් හැදී වැඩුණේ එකම පසුබිමකයි. නමුත් කාලය හා යම් තත්වයන් දෙදෙනාටම එකිනෙකාට ආවේණික ගති ලක්ෂණ වර්ධනය කරගැනීමට ප්‍රස්තාව සැලසුවා. ඊර්ෂ්‍යාව, තරඟකාරිත්වය හා කෝපයට පත්වීම මගින් කායින්ගේ ආකල්පය ක්‍රම ක්‍රමයෙන් නරක අතට හැරුණා.
ඊට පටහැනිව, දෙවි ආබෙල්ව සිහි කළේ ධර්මිෂ්ඨ මිනිසෙකු හැටියටයි. (මතෙව් 23:35) කුමන පාඩුවක් සිදු වුණත් දෙවිව සතුටු කිරීමට වූ ආබෙල්ගේ අධිෂ්ඨානය, ඔහුව ඔහුගේ පවුලේ කෘතඥතාව නොදක්වන්නන් වන ආදම්, ඒව සහ කායින්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙකු කළා. ඒ ගැන දැනගැනීම කෙතරම් නැවුම්භාවය ගෙන දෙන්නක්ද! ආබෙල් මියගියත් ‘තවම කතා කරනවා’ කියා බයිබලය අපට පවසනවා. දෙවිට ඔහුගේ විශ්වාසවන්ත සේවය, බයිබලයේ අඩංගු ස්ථිර ඓතිහාසික වාර්තාවේ කොටසක්ව පවතිනවා. දෙවිට පිළිගත හැකි පූජා දිගටම ඔප්පු කරමින් අපි ආබෙල්ගේ ආදර්ශය අනුගමනය කරමු.—හෙබ්‍රෙව් 11:4.
[පාදසටහන]
a නවීන දින තුර්කියේ නැඟෙනහිර කඳුකර ප්‍රදේශයෙහි ඒදන් උයන තිබූ බව සමහරු සිතනවා.
[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ක්‍රිස්තියානි උපදේශකයන් සඳහා ආකෘතියක්
“නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?” මේ ප්රශ්නය අසමින් යෙහෝවා කාරුණිකව කායින්ගෙන් කරුණු විමසුවා. කායින් නිදහස් කැමැත්ත තිබූ කෙනෙකු නිසා ඔහු කායින්ට වෙනස් වීමට බල කළේ නැහැ. (ද්විතීය කථාව 30:19 සසඳන්න.) කෙසේනමුත්, යෙහෝවා කායින්ගේ හිතුවක්කාර ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵල සඳහන් කිරීමට පසුබට වූයේ නැහැ. ඔහු කායින්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “ඔබ . . . යහපත නොකරන්නෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව ඔබ කෙරෙහි වන්නේය.”—උත්පත්ති 4:6, 7, NW.
මෙම බලවත් තරවටුව දෙද්දී, යෙහෝවා කායින්ව ‘උපකාර කළාට වැඩක් වෙන්නේ නැති කෙනෙකු’ හැටියට සැලකුවේ නැති බව සැලකිල්ලට ගත යුතුයි. ඒ වෙනුවට, කායින් තමාගේ මාර්ග වෙනස් කරගන්නවා නම් ලැබෙන්න තිබෙන ආශීර්වාද ගැන ඔහුට පැවසූ අතර, එසේ කිරීමට තෝරාගතහොත් කායින්ට මෙම ගැටලුවෙන් ගොඩ ආ හැකි බව ඔහු නිසැකව ප්‍රකාශ කළා. ‘ඔබ යහපත කරන්නෙහි නම්, ඔබව පිළිගනු ලබන්නේ නැද්ද?’ කියා යෙහෝවා පැවසුවා. මිනීමරන තරමටම කායින්ට තිබූ කෝපය සම්බන්ධයෙනුත් ඔහු මෙසේ ඇසුවා: “ඔබ එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහිද?”
අදදින, ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන් යෙහෝවාගේ ආදර්ශය අනුකරණය කළ යුතුයි. වැරදි කරන පුද්ගලයාගේ හිතුවක්කාර ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵල ඍජුව පෙන්වා දීමෙන්, 2 තිමෝති 4:2හි සඳහන් පරිදි, ඔවුන්ට සමහර අවස්ථාවලදී ‘තරවටු කරන්නත්’ ‘අවවාද කරන්නත්’ සිදු වෙනවා. ඒ සමඟම වැඩිමහල්ලන් “අනුශාසනා” කළ යුතුයි. පා·රා·කා·ලේʹඕ යන ග්‍රීක් වචනයේ අර්ථය “දිරිගැන්වීම” යන්නයි. “දෙන උපදෙස අනිනසුලු, පහර දෙන හෝ විවේචනාත්මක නොවෙයි” කියා නව ගිවිසුමේ දේවධර්මය පිළිබඳ ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) සඳහන් කරයි. “මෙම අදහසට තවත් අනුබල දෙමින්, එම ග්‍රීක් වචනයට සැනසීම යන අර්ථයද ඇතුළත් විය හැකියි.”
ඊට සම්බන්ධ ග්‍රීක් වචනයක් වන පා·රාʹක්ලේ·ටොස් යන්න, නීතිමය කාරණයකදී උපකාරකයෙකුට හෝ පක්ෂව කතා කරන්නෙකුට යොමු දැක්විය හැකිවීම වැදගත් කරුණක්. එබැවින්, වැඩිමහල්ලන් කෙළින්ම කාරණයට බහිමින් තරවටුව දෙන විට, තමන් අවවාද අවශ්‍ය තැනැත්තාගේ උපකාරකයන් මිසක එදිරිකාරයන් නොවන බව මතක තබාගත යුතුයි. අවවාද ලබන්නාට තමාගේ ගැටලුව ජයගත හැකි බවට නිසැකකමක් පෙන්වමින්, යෙහෝවා මෙන් වැඩිමහල්ලන්ද ඒකාන්ත විය යුතුයි.—ගලාති 6:1 සසඳන්න.
සැබවින්ම, උපදෙස් අදාළ කරගැනීමට අන්තිම තීරණය ගත යුත්තේ එම පුද්ගලයාමයි. (ගලාති 6:5; පිලිප්පි 2:12) කායින් මැවුම්කරුගේ තරවටුව නොසලකා හැරීමට තෝරගත්තා වාගේම, සමහරු තමන්ගේ අනතුරු ඇඟවීම්වලට සවන් දෙන්නේ නැති බව උපදේශකයන්ට පෙනී යා හැකියි. එහෙත් වැඩිමහල්ලන්, ක්‍රිස්තියානි උපදේශකයන් සඳහා පරිපූර්ණ ආකෘතිය වන යෙහෝවාව අනුකරණය කරන විට, තමන්ගේ උපරිමය කළ බවට සහතික වෙන්න ඔවුන්ට හැකියි.