දෙවියන්වහන්සේගේ දයාන්විත සැපයුම—ආරක්ෂා නුවරවල්
“අත් වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය . . . ආරක්ෂාව පිණිස වේවා.”—ගණන් කථාව 35:15.
1. ජීවිතය හා ලේ වරද පිළිබඳව දේවදෘෂ්ටිය කවරේද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ මිනිස් ජීවිතය පරිශුද්ධ යමක් සේ සලකනසේක. තවද රුධිරය තුළ ජීවය පවතී. (ලෙවී කථාව 17:11, 14) එමනිසා, මිහිපිට උපත ලැබූ පළමු මිනිසා වූ කායින්, සිය සහෝදර ආබෙල් ඝාතනය කළ විට, තමා පිටට ලේ වරද පමුණුවා ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙවියන්වහන්සේ කායින්ට මෙසේ පැවසූසේක: “නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.” කෲර අන්දමින් කෙළවර කර තිබූ ජීවිතය සම්බන්ධයෙන් මිනීමැරීම සිදුවූ ස්ථානයේ භූමිය කැලල් කළ රුධිරය නිහඬ නමුත්, ව්‍යක්ත සාක්ෂියක් දැරුවේය. පළිගැනීම සඳහා ආබෙල්ගේ රුධිරය දෙවියන්වහන්සේට හඬ නැඟුවේය.—උත්පත්ති 4:4-11.
2. ජීවිතය සඳහා යෙහෝවඃවහන්සේගේ ගෞරවය ජලගැලීමෙන් පසුව අවධාරණය කරන ලද්දේ කෙසේද?
2 ධර්මිෂ්ඨ නෝවාද, සිය පවුලද, ලෝක ව්‍යාප්ත ජලගැලීමෙන් දිවි බේරාගත් අය වශයෙන් නැවෙන් පිටත්ව ඒමෙන් පසු, මිනිස් ජීවිතය වෙනුවෙන් දෙවියන්වහන්සේගේ ගෞරවය අවධාරණය කරන ලදි. ඒ අවස්ථාවේදී යෙහෝවඃවහන්සේ මිනිස්වර්ගයාට ආහාර වශයෙන් අනුභව කිරීම සඳහා සත්ව මාංස ඇතුළත් කළ මුත්, ඊට රුධිරය ඇතුළත් නොවීය. උන්වහන්සේ මෙලෙසද ආඥා කළසේක: “නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි. දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.” (උත්පත්ති 9:5, 6) මිනීමරන්නා හමුවූ විට ඔහුව මරණයට පත් කිරීම සඳහා මරණයට පත්වූ තැනැත්තාගේ කිට්ටුම ඥාතියාට තිබූ අයිතිය යෙහෝවඃවහන්සේ පිළිගත්සේක.—ගණන් කථාව 35:19.
3. ජීවිතයේ පරිශුද්ධභාවය පිළිබඳව මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් කරන ලද්දේ කෙබඳු කාවැද්දීමක්ද?
3 අනාගතවක්තෘ මෝසෙස් තුළින් ඉශ්රායෙල් වෙතදෙන ලද ව්‍යවස්ථාවේදී, ජීවිතයේ පරිශුද්ධභාවය පුන පුනා අවධාරණය කරන ලදි. උදාහරණයක් වශයෙන්, දෙවියන්වහන්සේ මෙසේ අණ කළසේක: “මිනීනොමරව.” (නික්මයාම 20:13) ගර්භිණී ස්ත්‍රියක් හා සම්බන්ධව සිදුවූ මාරක අනතුරක් පිළිබඳව මෝසෙස්ගේ ව්‍යවස්ථාව සඳහන් කළ දෙය තුළදීද, ජීවිතය සඳහා ගෞරවය ප්රත්යක්ෂ විය. මිනිසුන් දෙදෙනෙකු පොරබැදීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඇය නැතහොත් ඇගේ නූපන් දරුවා මාරක අනතුරකට ගොදුරු වූවා නම්, අදාළ තත්වයන් හා කොතරම් දුරට එය හිතා මතා කරනු ලැබුවාද යන්න විනිසුරුවන් විසින් කිරා මැන බැලිය යුතු වුවද, දණ්ඩනය ‘ප්‍රාණයට ප්‍රාණයක්’ හෙවත් ජීවිතයට ජීවිතයක් විය හැකි බව ව්‍යවස්ථාවෙහි පැහැදිලිව ප්‍රකාශ කර තිබිණ. (නික්මයාම 21:22-25) කෙසේවෙතත්, තම සාහසික ක්රියාවේ ප්‍රතිඵලවලින් ගැළවී යෑමට ඉශ්රායෙල් මිනීමරුවෙකුට හැකිව තිබිණද?
මිනීමරුවන්ට රක්ෂණස්ථානයක්?
4. ඉශ්රායෙල් දේශයෙන් පිට, අතීතයේදී කෙබඳු රක්ෂණස්ථාන පැවත තිබේද?
4 ඉශ්රායෙල් හැර වෙනත් ජාතීන් අතර, මිනීමරුවන්ට හා වෙනත් අපරාධකරුවන්ට ආරක්ෂාවක් නොහොත් රක්ෂණස්ථානයක්, සපයා දෙන ලදි. පුරාණ එපීසයේ අර්තෙමිස් දේවතාවියගේ දේවස්ථානය වැනි ස්ථානවල එවන් තත්වයක් දක්නට ලැබිණ. ඒ හා සමාන ස්ථාන සම්බන්ධයෙන් මෙසේ වාර්තා වී තිබේ: “ඇතැම් සිද්ධස්ථාන, අපරාධකරුවන්හට තෝතැන්නක් විය; තවද රක්ෂණස්ථානවල සංඛ්‍යාව සීමා කිරීමේ අවශ්‍යතාව නොයෙක් විට පැන නැඟිණ. ඇතන්ස්හි රක්ෂස්ථාන ලෙස නීතියෙන් පිළිගනු ලැබුවේ, ඇතැම් පූජ්‍ය ස්ථාන පමණි (උදාහරණයක් වශයෙන්, වහලුන් සඳහා තීසියස්ගේ දේවස්ථානය); තිබේරියස්ගේ කාලයේදී සිද්ධස්ථානවල විසූ අපරාධකරුවන්ගේ සමූහ කොතරම් අනතුරුදායක වූවාද කිවහොත්, රක්ෂණස්ථානයක් වීමේ අයිතිය (22වන අවුරුද්දේදී) නගර ස්වල්පයකට සීමා කරන ලදි.” (ද ජුවිෂ් එන්සයික්ලොපීඩියා, 1909, II වෙළුම, 256 පිටුව) පසුව, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි රක්ෂණස්ථාන බවට පත්වුවද, සිවිල් අධිකාරීන්ගේ සිට පූජක තන්ත්රය වෙත බලය මාරු කිරීමට ඉවහල් වූ මෙය, නිසි අධිකරණ පරිපාලනයට එරෙහිව කටයුතු කළේය. මෙම විධිවිධානය අනිසි ලෙස යොදාගැනීම නිසා, අන්තිමේදී එය අහෝසි කිරීමට මඟ පෑදිණ.
5. යමෙකු මරුමුවට පත් කරනු ලැබූ විට, දයාව බලාපොරොත්තුවෙන්, එය නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ බව පවසා ගැළවීමට ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ නොසැලසුණු බවට කුමන සාක්ෂි තිබේද?
5 ඉශ්රායෙල්වරුන් අතර, හිතා මතා මිනීමැරූ අයට ආරක්ෂාවක් නොහොත් රක්ෂණස්ථානයක් නොදෙන ලදි. දෙවියන්වහන්සේගේ පූජාසනයේ සේවය කළ ලෙවී පූජකයෙකුව පවා, කූටෝපායෙන් සැලසුම් කළ මිනීමැරීමක් සඳහා මරණයට පත් කිරීමට එතැනින් අහක් කරගත යුතුව තිබිණ. (නික්මයාම 21:12-14) එපමණක්ද නොව, යමෙකු මරුමුවට පත් කරනු ලැබූ විට, දයාව බලාපොරොත්තුවෙන්, එය නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ බව පවසමින් ගැළවීමට නීතියෙන් ඉඩ කඩ නොසැලසිණ. උදාහරණයක් වශයෙන්, මිනිසෙකුට තම අලුත් නිවසේ පැතලි පියස්ස වටේ පවුරක් ගොඩනැඟීමට තිබිණ. එසේ නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, එම පියස්සෙන් කෙනෙක් වැටී මරුමුවට පත්වූයේ නම්, එම නිවස ලේ වරදට හසුවනු ඇත. (ද්විතීය කථාව 22:8) එපමණක්ද නොව, පුරුද්දක්ව අනින ගවයෙකු සතු අයිතිකරුට අනතුරු අඟවා තිබුණත්, ගවයා ආරක්ෂා සහිතව කොටු නොකිරීමේ හේතුවෙන්, ඌ යමෙකුව මරුමුවට පත් කළා නම්, එම ගවයාගේ අයිතිකරු ලේ වරදට හසුවූ බැවින්, ඔහුව මරුමුවට පත් කිරීමට ඉඩ කඩ තිබිණ. (නික්මයාම 21:28-32) යමෙකු සොරෙකුට පහර දීමෙන් පසු සොරා මළොත්, විශේෂයෙන් සොරා දැකගැනීමටත්, හඳුනාගැනීමටත් පහසු දහවල් කාලයේදී එසේ සිදුවුවහොත්, එම තැනැත්තා ලේ වරදට හසුවනවාය යන කාරණය, දෙවියන්වහන්සේ ජීවිතය ඉතා අනර්ඝ යමක් ලෙස සලකන බවට සනාථ කරන තවත් සාක්ෂියකි. (නික්මයාම 22:2, 3) එසේනම්, දෙවියන්වහන්සේගේ මනා ලෙස සමබර වූ රෙගුලාසි මගින් හිතා මතා මිනීමරන්නන්ට මරණ දඬුවමින් බේරීමට ඉඩ කඩ සලසනු ලැබුවේ නැති බවට පැහැදිලිය.
6. පුරාණ ඉශ්රායෙල්හිදී ‘ජීවිතයට ජීවිතයක්’ පිළිබඳ නීතියේ අරමුණ ඉටු කරන ලද්දේ කෙසේද?
6 පුරාණ ඉශ්රායෙල්හි මිනීමැරීමක් සිදු කරනු ලැබුවොත්, ඊට ගොදුරු වූ තැනැත්තාගේ ලේ වෙනුවෙන් පළිගත යුතුව තිබිණ. “ලේ වල පළිය ගන්න තැනැත්තේ” විසින් මිනීමරුවා මරනු ලැබූ විට, ‘ජීවිතයට ජීවිතයක්’ පිළිබඳ නීතියෙන් අරමුණු කළ දෙය ඉටු කරන ලදි. (ගණන් කථාව 35:19) පළිගන්න තැනැත්තා වූ කලි, මරණයට පත් කරනු ලැබූ තැනැත්තාගේ කිට්ටුම ඥාතියා වූයේය. එහෙත් හිතා මතා නොකළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව කුමක් කිව හැකිද?
යෙහෝවඃවහන්සේගේ දයාන්විත සැපයුම
7. හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ ඇතමෙකුට දෙවියන්වහන්සේ කළ සැපයුම කවරේද?
7 අත්වැරැද්දෙන් හෝ හිතා මතා යම් අදහසක් නොමැතිව, කෙනෙකුව ඝාතනය කළ අය වෙනුවෙන්, දෙවියන්වහන්සේ ප්‍රේමනීයව ආරක්ෂා නුවරවල් සැපයූසේක. මේවා සම්බන්ධයෙන් මෝසෙස්ට මෙසේ පවසන ලදි: “ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියාපන්න—නුඹලා යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල, අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තා පලායන පිණිස නුඹලාට ආරක්ෂා නුවරවල් වශයෙන් නුවරවල් නියමකරගනිල්ලා. මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් නුඹලාට ආරක්ෂාව පිණිස වන්නේය. නුඹලා දෙන නුවරවල් වනාහි නුඹලා උදෙසා ආරක්ෂා නුවරවල් හයක් වන්නේය. යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දීපල්ලා. අත් වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් . . . ආරක්ෂාව පිණිස වේවා.”—ගණන් කථාව 35:9-15.
8. ආරක්ෂා නුවරවල් පිහිටුවනු ලැබුවේ කොතැන්හිද, තවද ඒවා කරා ළඟාවීමට හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අයට උපකාර ලැබුණේ කෙසේද?
8 ඉශ්රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වූ විට, ඔවුහු කීකරුව ආරක්ෂා නුවරවල් හයක් ස්ථාපිත කළහ. මින් නුවරවල් තුනක්—එනම්, කෙදෙෂ්ද, ෂෙකෙම්ද, හෙබ්‍රොන්ද—යොර්දාන් ගඟට බටහිරින් පිහිටා තිබිණ. යොර්දානයට නැඟෙනහිරින් ගෝලාන්ද, රාමොත්ද, බෙශෙර්ද යන ආරක්ෂා නුවරවල් තිබිණ. ආරක්ෂා නුවරවල්, පහසුව සඳහා, හොඳින් නඩත්තු කරන ලද මහාමාර්ග අසල පිහිටා තිබිණ. මෙම මාර්ග දිගේ උචිත ස්ථානවලදී, “ආරක්ෂාව” යන වදන සහිත සංඥා තිබිණ. ආරක්ෂා නුවරේ දිශාව මෙම සංඥා මගින් පෙන්නුම් කරනු ලැබූ අතර, හිතා මතා මනුෂ්‍ය ඝාතනය නොකළ තැනැත්තා තම ජීවිතය බේරාගැනීම සඳහා ළඟම පිහිටා තිබුණු එකට දිවගියේය. එහිදී ලේ ගැන පළිගන්නා තැනැත්තාගෙන් ඔහුට රැකවරණයක් ලැබිය හැකි විය.—යෝෂුවා 20:2-9.
9. යෙහෝවඃවහන්සේ ආරක්ෂා නුවරවල් සපයා දුන්නේ මන්ද, තවද ඒවා සපයන ලද්දේ කාගේ ප්‍රයෝජනය සඳහාද?
9 දෙවියන්වහන්සේ ආරක්ෂා නුවරවල් පිහිටුවීමට සැලැස්වූයේ මන්ද? අහිංසක ලේ වැගිරීම හේතුකොටගෙන දේශය දූෂිත වීමෙන් වළක්වාලීමටත්, එනයින් ජනතාව මත ලේ වරද නොපැමිණීමටත් මේවා සපයන ලදි. (ද්විතීය කථාව 19:10) ආරක්ෂා නුවරවල් සපයනු ලැබුවේ කාගේ ප්‍රයෝජනය සඳහාද? ව්‍යවස්ථාවෙහි මෙසේ ප්‍රකාශ කර තිබිණ: “අත් වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය ඉශ්රායෙල් පුත්‍රයන්ටත් විදේශියාටත් ඔවුන් අතරේ සිටින ආගන්තුකයාටත් ආරක්ෂාව පිණිස වේවා.” (ගණන් කථාව 35:15) මෙසේ, සාධාරණ වීමටත්, දයාවට ඉඩ දෙන අතරතුර, යුක්තියේ අභිප්රායන් ඉටු කිරීමටත්, (1) ස්වදේශීය ඉශ්රායෙල් වැසියන්, (2) ඉශ්රායෙල්හි පදිංචි වූ විදේශික වැසියන්, නැතහොත් (3) වෙනත් රටවලින් පැමිණ දේශයෙහි වාසය කරමින් සිටි වැසියන් වූ හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අය සඳහා ආරක්ෂා නුවරවල් පිහිටුවීමට යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට පැවසූසේක.
10. ආරක්ෂා නුවරවල් දෙවියන්වහන්සේ විසින් සපයන ලද දයාන්විත සැපයුමක් බවට පැවසිය හැක්කේ මන්ද?
10 පුද්ගලයෙකු හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළත්, “යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය” යන දේවනියෝගය යටතේ ඔහුව මරුමුවට පත් කළ යුතුව තිබූ බව සැලකිල්ලට ගැනීම වටී. එබැවින්, හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අයෙකුට ආරක්ෂා නුවරකට පලා යෑමට හැකි වූයේ, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ දයාන්විත සැපයුමක් හේතුකොටගෙන පමණි. ලේවල පළියගන්නා තැනැත්තාගෙන් පලා යන ඕනෑම කෙනෙකු සඳහා පොදු ජනයාට අනුකම්පාවක් ඇති වූ බව පෙනෙන්ට තිබේ, මන්දයත්, තමුන්ද අදහස් නොකර ඒ හා සමාන වරදක් කර, ආරක්ෂාව හා දයාව වුවමනා තත්වයකට පත්විය හැකි බව ඔවුන් සියලුදෙනාම දැන සිටි බැවිනි.
ආරක්ෂාව සඳහා පලා යෑම
11. පුරාණ ඉශ්රායෙල්හිදී, මිනිසෙක් අත්වැරැද්දෙන් සෙසු වැඩකරුවෙකු මරුමුවට පත් කළා නම්, ඔහුට කළ හැකි වූයේ කුමක්ද?
11 ආරක්ෂාව සඳහා දෙවියන්වහන්සේගේ දයාන්විත සැපයුම සඳහා ඔබේ අගය ඔප නැංවීමට නිදර්ශනයක් උපකාරවත් විය හැක. ඔබ පුරාණ ඉශ්රායෙල්හි දර කපමින් සිටින මිනිසෙකුයයි සිතන්න. පොරෝ තලය එහි මිටෙන් ගැළවී ගොස්, සෙසු වැඩකරුවෙකුගේ ඇඟෙහි වැදී ඔහු මරුමුවට පත්වූවා කියා සිතන්න. ඔබ කුමක් කරන්නෙහිද? හොඳයි, ව්‍යවස්ථාවේ මේ තත්වය සඳහාම පිළියමක් අන්තර්ගත වී තිබිණ. දෙවියන්වහන්සේ දානය කළ මේ සැපයුමෙන් ඔබ ප්‍රයෝජන ගන්නා බවට කිසිදු සැකයක් නැත: “[ආරක්ෂා නුවරක් වෙත] පලාගොස් ජීවත්වෙන්ට සුදුසු වූ මිනීමරන්නා නම් පළමු තමාගේ අසල්වාසියා කෙරේ වෛරයක් නොතිබී අත්වැරැද්දෙන් ඔහු මරන තැනැත්තාය. යම් මනුෂ්‍යයෙක් ලී කපන්ට තමාගේ අසල්වාසියා සමඟ වනයට ගොස් ගස කපා හෙළන්ට පොරොව ගෙන තමාගේ අත එසෙවූ කල්හි පොරෝ තලය මිටෙන් ගැළවී ඔහුගේ අසල්වාසියා පිට වැටීමෙන් ඔහු මළොත්, එසේ මිනී මරන තැනැත්තේ ජීවත්වන පිණිස ඒ නුවරවලින් එකකට පලායේවා.” (ද්විතීය කථාව 19:4, 5) එහෙත්, ඔබ ආරක්ෂා නුවරකට ගියත්, සිදුවී තිබුණු දේ සම්බන්ධ වගකීමෙන් ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් නොවනු ඇත
12. හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ ඇතමෙකු ආරක්ෂා නුවරක් කරා ළඟා වූ විට, කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලැබේද?
12 ඔබව සත්කාරශීලීව පිළිගනු ලැබුවත්, ආරක්ෂා නුවර දොරටුවේ සිටින වැඩිමහල්ලන්ට සිදුවූ දෙය ගැන ප්‍රකාශ කිරීමට ඔබට සිදුවනවා ඇත. නුවර තුළට ඇතුල්වීමෙන් පසු, ඝාතනය සිදුවූ ප්‍රදේශය කෙරෙහි අධිකරණ බලය සතු, නුවර දොරටුවේ ඉශ්රායෙල් සභාව නියෝජනය කරන වැඩිමහල්ලන් ඉදිරියෙහි නඩු විභාගයකට පෙනී සිටීමට ඔබව ආපසු යවනු ලබනවා ඇත. එහිදී ඔබේ නිදොස්බව ඔප්පු කිරීමට ඔබහට ප්‍රස්තාව ලැබෙනු ඇත.
මනුෂ්‍ය ඝාතකයෝ නඩු විභාගයකට පෙනී සිටිද්දී
13, 14. මනුෂ්‍ය ඝාතකයෙකුගේ නඩු විභාගයකදී එම වැඩිමහල්ලන්ට සොයා දැනගැනීමට වුවමනා වනු ඇති සමහර දේවල් මොනවාද?
13 අධිකරණ බලය සතු නුවර දොරටුවේ වැඩිමහල්ලන් ඉදිරියෙහි නඩු විභාගයට පෙනී සිටියදී, ඔබේ අතීත හැසිරීම කෙරෙහි සෑහෙන අවධානයක් දී තිබුණු බව ඔබ කෘතඥතාවකින් යුතුව සැලකිල්ලට ගන්නා බවට කිසිදු සැකයක් නැත. ගොදුරු වූ තැනැත්තා සමඟ ඔබේ සබඳතාව වැඩිමහල්ලන් විසින් පරෙස්සමින් කිරා මැන බලනවා ඇත. ඔබ ඒ මිනිසාට වෛර කළාද, ඔහු පැමිණෙන තෙක් සැඟවී සිටියාද, මැරෙන පිණිස ඔහුට හිතා මතා පහර දුන්නාද? ඔබ එසේ කළෙහි නම්, ඔබව ලෙයෙහි පළියගන්නාගේ අතට පාවා දීමට වැඩිමහල්ලන්ට සිදුවන අතර, ඔබ මරුමුවට පත්වනවා ඇත. “ඉශ්රායෙල් කෙරෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය පහකර” දැමිය යුතු වූ ව්‍යවස්ථාවේ අවශ්‍යතාව ගැන, වගකීමේ හැඟීමකින් යුතුව ක්‍රියා කරන මෙම පුරුෂයෝ සාවධානව සිටිනු ඇත්තාහ. (ද්විතීය කථාව 19:11-13) සන්සන්දනාත්මක වශයෙන්, අදදින විනිශ්චයක ක්‍රියාමාර්ගයකදී, ශුද්ධ ලියවිලි හොඳින් දැන සිටිය යුතු ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, ඒවාට එකඟව ක්‍රියා කළ යුතු අතරම, වරදකරුගේ පෙර ආකල්පය හා හැසිරීම සැලකිල්ලට ගත යුතුය.
14 කාරුණිකව තවත් තොරතුරු ලබාගැනීමට උත්සාහ කරමින්, ඔබ ගොදුරු වූ තැනැත්තා පසු පස හොර රහසින් ගමන් කළාද යන වග, නුවරේ වැඩිමහල්ලන්ට දැනගැනීමට වුවමනා වනු ඇත. (නික්මයාම 21:12, 13) ඔබ සැඟවී සිට ඔහුට පහර දුන්නෙහිද? (ද්විතීය කථාව 27:24) එම පුද්ගලයා කෙරෙහි එතරම්ම කෝපයෙන් දැවී ගිය නිසා, ඔබ ඔහුව මරුමුවට පත් කිරීම සඳහා යම් කූටෝපායක් අනුව ක්‍රියා කළෙහිද? ඔබ එසේ කළෙහි නම්, මරණය ලැබීමට ඔබ සුදුස්සෙක් වනු ඇත. (නික්මයාම 21:14) ඔබත් ගොදුරු වූ තැනැත්තාත් අතර යම් සතුරුකමක් හෝ වෛරයක් තිබුණාද කියා දැනගැනීමට විශේෂයෙන් එම වැඩිමහල්ලන්ට වුවමනා වනු ඇත. (ද්විතීය කථාව 19:4, 6, 7; යෝෂුවා 20:5) ඔබ නිදොස් බව වැඩිමහල්ලන්ට ඔප්පු වූ නිසා, ඔබව ආරක්ෂා නුවරකට ආපසු යවනු ලැබුවායයි කියමු. පෙන්වා තිබූ දයාව සඳහා ඔබ කොතරම් ස්තුතිවන්ත වනු ඇද්ද!
ආරක්ෂා නුවරෙහි ජීවත්වීම
15. හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තෙකු පිට පනවන ලද අවශ්‍යතා මොනවාද?
15 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තා ආරක්ෂා නුවර තුළ නැතහොත් එහි තාප්පවලින් පිටත රියන් 1,000ක (මීටර් 445ක් පමණ) දුරක් ඇතුළත සිටිය යුතු විය. (ගණන් කථාව 35:2-4) ඔහු එම සීමාවෙන් ඉවත්ව ගියේ නම්, ඔහුට ලෙයෙහි පළියගන්නා මුණගැසිය හැක. එවන් තත්වයන් යටතේ, පළිගන්නාට දඬුවමක් නොවිඳ මනුෂ්‍ය ඝාතකයාව මරුමුවට පත් කළ හැකිව තිබිණ. එහෙත් මනුෂ්‍ය ඝාතකයා විලංගුවලින් බැඳ, නැතහොත් සිරභාරයෙහි නොසිටියේය. ආරක්ෂා නුවරෙහි වැසියෙකු වශයෙන්, ඔහුට ශිල්පයක් ඉගෙන, වැඩකරුවෙකු වී, සමාජයේ ප්‍රයෝජනදායක සාමාජිකයෙකු ලෙස සේවය කිරීමට තිබිණ.
16. (අ) හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැතැත්තාට ආරක්ෂා නුවර තුළ නැවතී සිටීමට සිදුවනු ඇත්තේ කොපමණ කලකටද? (ආ) උත්තම පූජකයාගේ අභාවය, මනුෂ්‍ය ඝාතකයාට ආරක්ෂා නුවර අත්හැරීමට අවස්ථාව සලසා දුන්නේ මන්ද?
16 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තා ආරක්ෂා නුවර තුළ කොපමණ කල් රැඳී සිටීමට අවශ්‍ය වනු ඇද්ද? ඇතැම් විට ජීවත්වන තාක්කල් ඔහුට එතුළ රැඳී සිටීමට සිදුවනු ඇත. ඒ කෙසේවෙතත්, ව්‍යවස්ථාවෙහි මෙසේ ප්‍රකාශ කර තිබිණ: “උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.” (ගණන් කථාව 35:26-28) උත්තම පූජකයාගේ අභාවය හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තාට ආරක්ෂා නුවරින් ඉවත්වීමට ඉඩ කඩ සලසා දුන්නේ මන්ද? ඇත්තෙන්ම, උත්තම පූජකයා වනාහි ජාතියේ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කෙනෙක් වූයේය. එමනිසා ඔහුගේ අභාවය කොතරම් ප්‍රසිද්ධ සිදුවීමක් වේද කිවහොත්, ඉශ්රායෙල් ගෝත්‍ර සියල්ල පුරා එය ප්‍රචාරය වනවා ඇත. එවිට ලෙයෙහි පළියගන්නන්ගේ අතින් අන්තරායක් සිදුවීමෙන් නිදහස් වූ ආරක්ෂා නුවරවල සිටි සරණාගතයන් සියලුදෙනාටම තම නිවාස කරා නැවත යෑමට හැකි විය. ඒ මන්ද? මනුෂ්‍ය ඝාතකයාව මරුමුවට පත් කිරීමට පළිගන්නාට තිබූ ප්‍රස්තාව උත්තම පූජකයාගේ අභාවයත් සමඟ අහෝසි වන බවට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි නියෝග කර තිබූ බැවිනි, තවද මේ බව සියලුදෙනාම දැනසිටි හෙයිනි. ඉන්පසු ළඟම නෑයා මරණය වෙනුවෙන් පළිගත්තා නම්, මිනීමරුවෙක් බවට පත්වන ඔහුට අන්තිමේදී මිනීමැරුම සඳහා දණ්ඩනය ගෙවීමට සිදුවනු ඇත.
කල්පවතින බලපෑම්
17. හිතා මතා මනුෂ්‍ය ඝාතනය සිදු නොකළ තැනැත්තා පිට පනවන ලද සීමා නිසා ඇතිවීමට ඉඩ කඩ තිබූ බලපෑම් කවරේද?
17 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තෙකු පිට පනවන ලද සීමා හේතුවෙන් ඉස්මතු විය හැකි බලපෑම් කවරේද? ඒවා වනාහි ඔහු වෙන කෙනෙකුගේ මරණය සිදු කළ බවට සිහිගැන්වීමක් වූයේය. මින් මත්තට මිනිස් ජීවිතය පරිශුද්ධ යමක් හැටියට හේ දිගටම සලකන බවට ඉඩ කඩ තිබිණ. එපමණක්ද නොව, ඔහුට දයාන්විතව සලකා තිබූ බව ඔහුට කිසිවිටකත් අමතක කරන්ට බැරි තරම් යමක් වනවා ඇත. එවන් දයාවක් ඔහුට පෙන්වා තිබූ බැවින්, අනුන්ටත් දයාන්විත වීමට ඔහුට වුවමනා වන බවට සහතිකය. සීමා තහංචිවලින් සමන්විත ආරක්ෂා නුවරවල් ආශ්රිත විධිවිධානය පොදු ජනතාවටත් ප්‍රයෝජනවත් විය. ඒ කෙසේද? මිනිස් ජීවිතය ගැන ඔවුන් නොසැලකිලිමත් නැතහොත් උදාසීන නොවිය යුතු බව එමගින් ඔවුන්ට කාවදිනු ලැබූ බවට සහතිකය. හදිසි මරණයකට තුඩුදිය හැකි නොසැලකිලිමත්කමින් වැළකී සිටීමේ අවශ්‍යතාව, මෙමගින් ක්‍රිස්තියානීන්ට සිහිවිය යුතුය. එමෙන්ම, දයාව පෙන්විය යුතු අවස්ථාවලදී එය පෙන්වීමට, ආරක්ෂා නුවරවල් සඳහා දෙවියන්වහන්සේගේ දයාන්විත විධිවිධානය අපව පෙලඹවිය යුතුය.—යාකොබ් 2:13.
18. ආරක්ෂා නුවරවල් සඳහා දෙවියන්වහන්සේගේ විධිවිධානය වාසිදායක වූයේ කුමන ආකාරවලින්ද?
18 ආරක්ෂා නුවරවල් සඳහා දෙවියන්වහන්සේගේ සැපයුම වෙනත් ආකාරවලින්ද වාසිදායක විය. ජනයා මනුෂ්‍ය ඝාතකයෙකු නඩු විභාගයකට පෙර පවා වරදකරුවෙකු බවට කලින් අනුමාන කිරීම හේතුවෙන්, ඔහු පසු පස ලුහුබැඳ යෑමට ඔත්තු සෙවීමේ කණ්ඩායම් පිහිටුවා නොගත්තෝය. ඒ වෙනුවට, ඔහු හිතා මතා මිනීමැරුමෙන් නිදොස් බවට සැලකූ ඔවුහු, ඔහුට ආරක්ෂාව ලැබීමට පවා උපකාර කළෝය. එපමණක්ද නොව, මහජනයාගේ මූල්‍යාධාර මගින් අනුබල ලැබෙන හා වෙනත් වරදකරුවන් සමඟ සමීප ඇසුරක් පැවැත්වීම හේතුවෙන් වඩාත් දරුණු අපරාධකරුවන් බවට පත්වන මිනීමරුවන්ව, බන්ධනාගාරවල හා සිර මැදිරිවල දැමීම සඳහා තිබෙන වර්තමාන විධිවිධානවලට වඩා, ආරක්ෂා නුවරවල් සඳහා සැපයුම ඉඳුරාම වෙනස් විය. සිරකරුවන් බොහෝවිට පලා යෑමට තැත් කරන, මිල අධික තාප්ප ඉදි කරනු ලැබූ, යකඩ පොලුවලින් සුරක්ෂිත කළ බන්ධනාගාර ගොඩනැඟීම, නඩත්තු කිරීම හා ඒවාට ආරක්ෂාව සපයා දීම ආරක්ෂා නුවර විධිවිධානයේදී අනවශ්‍ය විය. ඇත්තවශයෙන්ම, මනුෂ්‍ය ඝාතකයා “බන්ධනාගාරගත” වීමට උත්සුක වූ අතර, නියමිත කාලය තුළදී එහි රැඳී සිටියේය. ඔහු වැඩකරුවෙක් ලෙස කටයුතු කළ යුතුව තිබූ අතර, මෙමගින් හේ සෙසු ජනයාට ප්‍රයෝජන ගෙන දෙන යමක් කළේය.
19. ආරක්ෂා නුවරවල් පිළිබඳව පැන නඟින්නේ කුමන ප්‍රශ්නද?
19 හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අයගේ ආරක්ෂාව සඳහා ඉශ්රායෙල්හි ආරක්ෂා නුවරවල් පිහිටුවීමට වූ යෙහෝවඃවහන්සේගේ විධිවිධානය ඇත්තවශයෙන්ම දයාන්විත යමක් විය. මෙම සැපයුම ජීවිතය සඳහා ගෞරවය වැඩිවර්ධනය කළ බවට සහතිකය. කෙසේවෙතත්, 20වන සියවසේ ජීවත්වන ජනයා සඳහා පුරාණ ආරක්ෂා නුවරවලින් යම් අදහසක් උකහාගත හැකිද? අප යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ලේ වරද ඇතුව සිටියත්, උන්වහන්සේගේ දයාව අවශ්‍ය බවට නොතේරෙන තත්වයක සිටිය හැකිද? ඉශ්රායෙල්හි ආරක්ෂා නුවරවල් පිළිබඳව අපහට යම් නවීන-දින වැදගත්කමක් තිබේද?
ඔබ කෙලෙස උත්තර දෙන්නෙහිද?
◻ යෙහෝවඃවහන්සේ මිනිස් ජීවිතය දෙස බලන්නේ කෙසේද?
◻ හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ අය සඳහා දෙවියන්වහන්සේ කළ දයාන්විත සැපයුම කවරේද?
◻ මනුෂ්‍ය ඝාතකයෙකුට ආරක්ෂා නුවරක් තුළට ඇතුල්වීමට අවසර ලැබුණේ කෙසේද, තවද ඔහු එතුළ කොපමණ කල් රැඳී සිටීමට අවශ්‍ය වීද?
◻ හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකළ තැනැත්තෙකු පිට පනවන ලද සීමා නිසා, ඇතිවීමට ඉඩ කඩ තිබූ බලපෑම් කවරේද?
[12වන පිටුවේ සිතියම]
ඉශ්රායෙල්හි ආරක්ෂා නුවරවල් ළඟාවීමට පහසු ස්ථානවල පිහිටා තිබිණ
(මුද්‍රිත පිටපත බලන්න)
කෙදෙෂ් යොර්දාන් ගඟ ගෝලාන්
ෂෙකෙම් රාමොත්
හෙබ්‍රොන් බෙශෙර්