‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජනවාරි 6-12
දේවවචනය නිධානයක් | උත්පත්ති 1-2
“යෙහෝවා දෙවියන් මිහිපිට නිර්මාණය කළ දේවල්”
it-1-E 527-528
නිර්මාණය
පේන විදිහට දෙවියන් පළමුවෙනි දවසේදී “මම ආලෝකය ඇති කරමි” කියලා කියද්දී ආලෝකය, ගන වලාකුළු අතරින් පොළොවට පතිත වුණත් ආලෝක වස්තූන් පේන්න තිබුණේ නැහැ. ඒ විදිහට පතිත වුණු ආලෝකය එකපාරටම පැහැදිලිව දිස් වෙන්නේ නැතුව ටිකෙන් ටික වැඩි වුණා කියලා හිතන්න පුළුවන්. “ආලෝකය ඇති වුණේ ක්‍රමානුකූලවයි” කියලා ජේ. ඩබ්. වොට්ස්ගේ බයිබල් පරිවර්තනයේ සඳහන් වෙන දෙයිනුත් ඒ අදහස තහවුරු වෙනවා. (උත් 1:3, A Distinctive Translation of Genesis) පස්සේ දෙවියන් ආලෝකයට සහ අන්ධකාරයට වෙන වෙනම කාලවල් නියම කරලා ආලෝකය දවාල විදිහටත් අන්ධකාරය රාත්‍රිය විදිහටත් හැඳින්නුවා. ඒ වෙද්දී පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරමින් තිබුණා කියලත් නැඟෙනහිර සහ බටහිර ප්‍රදේශවලට එළිය සහ අඳුර වැටුණා කියලත් බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවලින් නිගමනය කරන්න පුළුවන්.—උත් 1:3, 4.
දෙවෙනි දවසේදී දෙවියන් ‘ජලය දෙපැත්තට බෙදී යන්න’ සලස්වලා ඒ දෙක අතරේ අවකාශයක් හැදුවා. ඒ කියන්නේ මහා ජල කඳෙන් විශාල කොටසක් පොළොවෙන් ඉහළට යවලා, ඉතුරු කොටස දිගටම පොළොවේ රඳවලා ඒ දෙක අතරේ හිස් අවකාශයක් දෙවියන් හැදුවා කියන එකයි. ඒ හිස් අවකාශය දෙවියන් අහස විදිහට හැඳින්නුවා. පේන විදිහට දෙවියන් අහස විදිහට හඳුන්වලා තියෙන්නේ පොළොවට ආසන්නයේ තිබුණු අවකාශය විතරයි. ඒ අවකාශයට ඉහළින් තිබුණු ජලයේ ආකාශ වස්තූන් තිබුණා කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒවා පිහිටලා තිබුණේ ඒ ජලයටත් ඉහළින් තිබුණු හිස් අවකාශයෙයි.—උත් 1:6-8.
තුන්වෙනි දවසේදී දෙවියන් තමන්ගේ අතිමහත් බලය යොදාගෙන පොළොවේ ඉතුරු වෙලා තිබුණු ජලය එක තැනකට ගෙනාපු නිසා වියළි බිම මතු වුණා. දෙවියන් වියළි බිම හැඳින්නුවේ පොළොව කියලයි. ඒ දවසේදීම අහඹු සිදුවීමකින් හරි පරිණාමයෙන් හරි සිද්ධ වෙන්න බැරි දෙයක් සිද්ධ වුණා. දෙවියන් තමන්ගේ අතිමහත් බලය යොදාගෙන අජීවී පදාර්ථවලට ජීවය ලබා දීලා තණකොළ, පැළෑටි සහ පල දරන ගස් කියන ශාක ප්‍රභේද තුන හටගන්න සැලැස්සුවා. ඒ හැම ශාක වර්ගයකටම තම “වර්ගයට අනුව” තවත් ශාක බෝ කිරීමේ හැකියාවත් දෙවියන් ලබා දුන්නා.—උත් 1:9-13.
it-1-E 528 5-8¶
නිර්මාණය
උත්පත්ති 1:16 ආලෝක වස්තූන් ගැන කතා කරද්දී සඳහන් වෙන්නේ දෙවියන් ඒවා ‘සෑදුවා’ (හෙබ්‍රෙව් භාෂාවෙන් “අසා”) කියලා මිසක් ඒවා ‘නිර්මාණය කළා’ (හෙබ්‍රෙව් භාෂාවෙන් “බරා”) කියලා නෙවෙයි. ඒ පදයේ “බරා” කියන වචනය වෙනුවට “අසා” කියන වචනය භාවිත කරලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි. උත්පත්ති 1:1 දෙවියන් “අහස” නිර්මාණය කළා කියද්දී ඒකට ඉර, හඳ, තාරකා ඇතුළත් වුණා. ඒ කියන්නේ හතරවෙනි දවසට හුඟ කාලෙකට කලින් තමයි දෙවියන් ආලෝක වස්තූන් නිර්මාණය කරලා තිබුණේ. එහෙනම් හතරවෙනි දවසේදී දෙවියන් ඒ වස්තූන් ‘සෑදුවා’ කියලා සඳහන් කරද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ‘ඒ ආකාශ වස්තූන්ගෙන් පොළොවට ආලෝකය ලැබෙන’ පිණිස ඒවා ‘අහස්තලයේ තැබුවා’ කියලා බයිබල් වාර්තාවේ සඳහන් දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ පොළොවේ ඉන්න කෙනෙක්ට පැහැදිලිව දැකගන්න පුළුවන් වෙන විදිහට දෙවියන් ඒවා අහසේ පැහැදිලිව දිස් වෙන්න සැලැස්සුවා කියන එකයි. ඒ වගේම “ඒවා සෘතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (උත් 1:14) ඒකෙන් පැහැදිලි වෙනවා කාලය මනින්න සහ මඟ හොයාගන්න මිනිසුන් ඒ ආලෝක වස්තූන් පස්සේ කාලෙකදී ප්‍රයෝජනයට ගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා කියලා.
පස්වෙනි දවසේදී තමයි දෙවියන් මුල්ම ජීවීන්ව නිර්මාණය කළේ. දෙවියන් එක ජීවියෙක්ව විතරක් නිර්මාණය කරලා ඒ ජීවියාගෙන් අනිත් ජීවීන් පරිණාමය වෙන්න සැලැස්සුවේ නැහැ. ඒ වෙනුවට ඔහු නානාවිධ ජීවීන්ව නිර්මාණය කළා. ඒ ගැන බයිබල් වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙන්නේ මෙහෙමයි. “දැවැන්ත මුහුදු සතුන්වද වෙනත් ජලජ ජීවීන්වද දෙවි සෑදුවේය. ඒ ඒ වර්ගයට අනුව බෝ වන එම සතුන් ජලය පුරාම පැතිර ගියේය. පියාසර කරන සියලු ජීවීන්වද දෙවි සෑදුවේය. ඒ සියලු ජීවීහුද ඒ ඒ වර්ගයට අනුව බෝ වූහ.” දෙවියන් තමන් සෑදූ ඒ ජීවීන් ගැන හුඟක් සතුටු වුණා. ඔහු උන්ට “බෝ වී වැඩි වෙන්න” කියලා ආශීර්වාද කළා. නානාවිධ සත්ව විශේෂයන්ට අයිති වුණු ඒ ජීවීන්ට දෙවියන් අරමුණු කරපු ඒ දේ ඉටු කරන්න හැකියාව තිබුණා. මොකද ඔහු උන්ව නිර්මාණය කරලා තිබුණේ ‘ඒ ඒ වර්ගයට අනුව බෝ වීමේ’ හැකියාව ඇතුවයි.—උත් 1:20-23.
හයවෙනි දවස ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි පොළොවේ වනමෘගයන්වද හීලෑ සතුන්වද සියලු කුඩා සතුන්වද සෑදුවේය. ඒ සියලු සතුන් ඒ ඒ වර්ගයට අනුව බෝ වන ලෙස සෑදුවේය.” (උත් 1:24, 25) අනිත් දවස්වලදී නිර්මාණය කරලා තිබුණු දේවල් වගේම හයවෙනි දවසේදී නිර්මාණය කරපු දේවලුත් දෙවියන් හුඟක් හොඳින් නිර්මාණය කළා.
හයවෙනි දවසේ අවසානයේදී තමයි දෙවියන් මිනිසාව නිර්මාණය කළේ. දෙවියන් නිර්මාණය කරපු අනිත් හැම ජීවියෙක්ටම වඩා මිනිසා හුඟක් වෙනස්. මොකද සතුන්ට වඩා උසස්ව, දේවදූතයන්ට වඩා මදක් පහත්ව වගේම තමන්ගේම ගතිලක්ෂණ ඇතුවයි දෙවියන් මිනිසාව නිර්මාණය කළේ. උත්පත්ති 1:27 කියනවා ‘දෙවි පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය’ කියලා. ඒ ගැන තවත් විස්තර උත්පත්ති 2:7-9 සඳහන් වෙනවා. ඒ පදවල පෙන්වනවා යෙහෝවා දෙවියන් දූවිල්ලෙන් මිනිසාව හදලා එයාගේ නාස්පුඩුවලට ජීවනයේ හුස්ම හෙළුවාට පස්සේ මිනිසා ජීවමාන පුද්ගලයෙක් වුණා කියලා. ඒ වගේම දෙවියන් මිනිසාට ජීවත් වෙන්න ලස්සන උයනක් නැත්නම් පාරාදීසයක් සහ ඇති තරම් කෑම ලබා දුන්නා කියලත් ඒ පදවල සඳහන් වෙනවා. යෙහෝවා දෙවියන් ඒ දේවල් නිර්මාණය කළේ පොළොවේ තියෙන මූලද්‍රව්‍ය යොදාගෙනයි. දෙවියන් පුරුෂයාව නිර්මාණය කළාට පස්සේ එයාගේ ඉළ ඇටයක් අරගෙන ස්ත්රියව නිර්මාණය කළා. (උත් 2:18-25) දෙවියන් ඒ දෙන්නාව හැඳින්නුවේ මනුෂ්‍යයන් විදිහටයි. (උත් 5:1, 2) තම ‘වර්ගයාව’ බෝ කිරීමේ හැකියාව ඒ දෙපළට ලැබුණේ ස්ත්රියව නිර්මාණය කළාට පසුවයි.
ගැඹුරින් හොයමු
it-2-E 52
යේසුස් ක්‍රිස්තුස්
හවුල් නිර්මාතෘ කෙනෙක් නෙවෙයි. පියාණන් හැම දෙයක්ම නිර්මාණය කරද්දී පුත්‍රයා ඔහුත් එක්ක හවුලේ වැඩ කළා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු හවුල් නිර්මාතෘ කෙනෙක් කියලා. මොකද ඒ හැම දෙයක්ම නිර්මාණය කරන්න පුළුවන් වුණේ දෙවියන්ගේ අතිමහත් බලය නිසයි. (උත් 1:2; ගීතා 33:6) ඒ වගේම පෙනෙන, නොපෙනෙන හැම ජීවියෙක්ටම ජීවිතය ලැබිලා තියෙන්නේ ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවියන්ගෙන්. (ගීතා 36:9) ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා පුත්‍රයා වන යේසුස් හවුල් නිර්මාතෘ කෙනෙක් විදිහට වැඩ කළේ නැහැ කියලා. ඒ වෙනුවට නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු හැම දෙයක්ම හදන්න ඔහු දෙවියන්ට උදව් කළා. යේසුස් පවා පැහැදිලිවම කිව්වා හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් කියලා. ඒ විතරක් නෙවෙයි බයිබලය පුරාම නිර්මාතෘ විදිහට හඳුන්වලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ව විතරයි.—මතෙ 19:4-6.
ජනවාරි 13-19
දේවවචනය නිධානයක් | උත්පත්ති 3-5
“මුල්ම බොරුව නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල”
it-2-E 186
ප්‍රසව වේදනාව
දරුවෙකු බිහි කරද්දී දැනෙන වේදනාව. මුල්ම ස්ත්‍රිය වුණු ඒව දෙවියන්ට අකීකරු වෙලා පව් කරපු අවස්ථාවේදීම දෙවියන් කිව්වා දරුවන් බිහි කරද්දී එයාට අද්දකින්න වෙන්නේ මොන වගේ තත්වයක්ද කියලා. ඒව දෙවියන්ට කීකරු වුණා නම් දිගටම දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න අවස්ථාව තිබුණා. එහෙම වුණා නම් දරුවන් බිහි කරන එක කිසිම වේදනාවක් නැති සතුටුදායක අද්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ. මොකද බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.” (හිතෝ 10:22) ඒත් පව්කාරකම උරුම වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් දරුවන් බිහි කරද්දී මවකට ලොකු වේදනාවක් දැනෙනවා. දෙවියනුත් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.”—උත් 3:16.
ගැඹුරින් හොයමු
it-2-E 192 5¶
ලාමෙක්
ලාමෙක් එයාගේ භාර්යාවන්ට කියපු කවියෙන් (උත් 4:23, 24) පැහැදිලි වෙනවා ඒ කාලේ ජීවත් වුණු මිනිසුන් හුඟක් ප්‍රචණ්ඩකාරී විදිහට කටයුතු කරලා තියෙනවා කියලා. ලාමෙක්ගේ කවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “මගේ භාර්යාවෙනි, මගේ හඬට කන් දෙන්න. මා පවසන දේට සවන් දෙන්න. මට තුවාල කළ හෙයින් මිනිසෙකුව මැරුවෙමි. එසේය, මට පහර දුන් හෙයින් තරුණයෙකුව මැරුවෙමි. කායින් නිසා හත් වරක් වන්දි ගෙවන්නේ නම් ලාමෙක් නිසා හැත්තෑහත් වරක් වන්දි ගෙවිය යුතුය.” පේන විදිහට ලාමෙක් ඒ අවස්ථාවේදී කරලා තියෙන්නේ තමන් කළ වරදට නිදහසට කරුණු ඉදිරිපත් කරන එකයි කියලා හිතන්න පුළුවන්. එයා ඒ තරුණයාව මැරුවේ හිතාමතා, සැලසුම් කරලා නෙවෙයි කියලත් තමන්ට පහර දීපු නිසා ජීවිතය බේරගන්නයි එහෙම කළේ කියලත් කියන්නයි එයා උත්සාහ කළේ. එයා ඒ කවිය ලියලා තියෙන්නේ එයාගෙන් පළිගන්න එන අයගෙන් ආරක්ෂාව ලබා දෙන්න කියලා කරන අයැදීමක් විදිහටයි.
it-1-E 338 2¶
දෙවියන්ට අපහාස කිරීම
ජලගැල්මට කලින් ඒනොෂ්ගේ කාලේ ජීවත් වුණු මිනිසුන් ‘යෙහෝවා දෙවිගේ නාමයට අවමන් කරන්න පටන්ගත්තා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත් 4:26) ඒකෙන් පැහැදිලි වෙනවා ඒ කාලේ ජීවත් වුණු අය දෙවියන්ව අගෞරවයට පත් වෙන විදිහට ඔහුගේ නම භාවිත කරලා තියෙනවා කියලා. ඊට හුඟ කාලෙකට කලින් දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් කටයුතු කරපු ආබෙල් යෙහෝවා දෙවියන් එක්ක කතා කරද්දී ඔහුගේ නම කියලා කතා කරලා තිබුණා. (හෙබ්‍රෙ 11:4) ඒත් ඒනොෂ්ගේ කාලේ ජීවත් වුණු මිනිසුන් දෙවියන්ගේ නම පාවිච්චි කරලා තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. ඒ කාලේ ජීවත් වුණු අය දෙවියන්ගේ නම යොදාගෙන තියෙන්නේ නුසුදුසු විදිහටයි කියලා සමහර විශාරදයන් කියනවා. මිනිසුන්ට සහ දේවතා රූපවලට පවා යෙහෝවා කියන නම යොදාගෙන තියෙනවා කියලයි එයාලා විශ්වාස කරන්නේ. ඒ දේ ඇත්තක් නම් එයාලා දෙවියන්ට කරලා තියෙන්නේ මොන තරම් අපහාසයක්ද!
ජනවාරි 20-26
දේවවචනය නිධානයක් | උත්පත්ති 6-8
ගැඹුරින් හොයමු
උත්පත්ති පොතෙන් විශේෂාංග—I
7:11—පොළොව පුරාම ජලගැල්මක් ඇති වෙන්න තරම් ජලය ආවේ කොහෙන්ද? දෙවෙනි ‘දවසේදී’ නැත්නම් දෙවෙනි කාල පරිච්ඡේදයේදී දෙවියන් පෘථිවියේ වායුගෝලීය ස්ථරය වන “අවකාශය” හැදුවා. ඒ “අවකාශයට ඉහළින්” සහ “ඊට පහළින්” ජලය තිබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:6, 7) අවකාශයට “පහළින්” තිබුණු ජලය විදිහට හඳුන්වලා තියෙන්නේ ඒ වන විටත් පොළොවේ තිබුණු ජලයයි. අවකාශයට “ඉහළින්” තිබුණු ජලය විදිහට හඳුන්වලා තියෙන්නේ පොළොවට හුඟක් ඉහළින් රැඳිලා තිබුණු දැවැන්ත ජල ස්ථරයක්. ඒක බයිබලයේ විස්තර කරලා තියෙන්නේ ‘අතිමහත් ජල කඳ’ විදිහටයි. ඒ මහත් ජල කඳේ තිබුණු ජලය තමයි නෝවාගේ කාලයේ පොළොවට ඇද හැළුණේ.
ජනවාරි 27–පෙබරවාරි 2
දේවවචනය නිධානයක් | උත්පත්ති 9-11
“මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි”
it-1-E 239
මහ බැබිලෝනිය
පුරාණ බැබිලෝනිය ගැන තොරතුරු බිඳක්. බාබෙල් කොත හදන්න වෑයම් කරපු අවස්ථාවෙම තමයි ෂීනාර් දේශයේ බැබිලෝනිය කියන නුවරත් ගොඩනඟලා තියෙන්නේ. (උත් 11:2-9) බාබෙල් කොත සහ නුවර හදන්න පටන් අරන් තියෙන්නේ ඉදි කරන අයට “කීර්ති නාමයක්” ලබාගැනීමේ අරමුණින් මිසක් දෙවියන්ගේ නමට ප්‍රශංසාව ගෙන දෙන අරමුණින් නෙවෙයි. පුරාණ බැබිලෝනියේ නටබුන් අතරේ විතරක් නෙවෙයි මෙසපොතේමියාවේ තැන් කිහිපයකදීම පිරමිඩ හැඩයෙන් යුත් දැවැන්ත කොත් හොයාගෙන තියෙනවා. ඒ කොත් නමස්කාර කටයුතු සඳහා යොදාගෙන තියෙනවා කියලා හිතන්න පුළුවන්. පුරාණ බැබිලෝනියේ මුල්ම කොත වන බාබෙල් කොතේ හැඩය ගැන අපි දන්නේ නැති වුණත් යෙහෝවා දෙවියන් ඉක්මනින්ම ඒක හදන එක නතර කරන්න පියවර ගත්ත එකෙන් පැහැදිලි වෙනවා ඒක බොරු නමස්කාරයට සම්බන්ධ වෙලා තිබුණා කියලා. හෙබ්‍රෙව් භාෂාවෙන් බාබෙල් නුවරට දීලා තිබුණු නමේ අර්ථය “වියවුල” වුණත් සුමේරියානු භාෂාවෙන් (“කාඩින්ගිරා”) සහ අක්කාඩියානු භාෂාවෙන් (“බබ්ඉලූ”) ඒකට දීලා තියෙන නම් දෙකටම තියෙන්නේ “දෙවියන් වෙත පියනඟන දොරටුව” කියන අර්ථයයි. ඒකෙන් තේරෙනවා නුවරේ දිගටම පදිංචි වෙලා හිටිය අය බාබෙල් කියන නම වෙනුවට ඒකට ළඟින් යන අලුත් නමක් නුවරට දාගෙන තියෙනවා කියලා. එයාලා එහෙම කළේ දෙවියන් භාෂාව අවුල් කරපු සිද්ධිය හංගන්න ඕන වුණු නිසයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඒ අය නුවරට දාපු අලුත් නමේ අර්ථය ගැන හිතලා බලද්දී නුවරේ දිගටම ආගමික කටයුතු සිද්ධ වුණා කියලා පැහැදිලි වෙනවා.
it-2-E 202 2¶
භාෂාව
ජලගැල්මෙන් පස්සේ නෝවාගෙන් පැවතුණු සමහර අය දෙවියන්ගේ අරමුණට විරුද්ධව වැඩ කරන්න පටන්ගත්ත විදිහ ගැන උත්පත්ති වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අය “මුළු පොළොව පුරාම පදිංචි වෙන්න” කියලා දෙවියන් නෝවාටත් එයාගේ පුතුන්ටත් දීලා තිබුණු මඟ පෙන්වීම නොසලකාහැරලා එක ප්‍රදේශයක විතරක් නගරයක් හදාගෙන පදිංචි වෙන්න උත්සාහ කළා. (උත් 9:1) පේන විදිහට එයාලට ඕන වුණේ ඒ ප්‍රදේශය ආගමික මධ්‍යස්ථානයක් කරගෙන ඒකේ නමස්කාර කටයුතු සඳහා යොදාගන්න පුළුවන් කොතක් හදන්නයි. මෙසපොතේමියාවේ පිහිටලා තියෙන ඒ ප්‍රදේශය පස්සේ කාලෙක ෂීනාර් තැනිතලාව විදිහට හඳුන්වලා තියෙනවා.—උත් 11:2-4.
it-2-E 202 3¶
භාෂාව
කොත ගොඩනඟන්න එකමුතුව වැඩ කරමින් හිටිය කැරලිකාරයන්ගේ සැලසුම් සියලු බලැති දෙවියන් අසාර්ථක වෙන්න සැලැස්සුවා. ඔහු ඒ දේ කළේ එකම භාෂාව කතා කරමින් හිටිය ඒ අයගේ භාෂාව අවුල් කිරීමෙනුයි. ඒ නිසා එකිනෙකා එක්ක අදහස් හුවමාරු කරගෙන කොතේ වැඩකටයුතු සාර්ථකව නිම කරන්න එයාලට පුළුවන් වුණේ නැහැ. අන්තිමට එයාලා කොත ඉදි කරන එක අත්හැරලා පොළොව පුරාම විසිරිලා ගියා. භාෂාව ඒ විදිහට අවුල් කරපු එකෙන් තවත් කාර්යයක් ඉටු වුණා. දෙවියන්ට විරුද්ධව කැරලිගහපු මිනිසුන් ආත්මාර්ථකාමී විදිහට ලබාගන්න හදපු ශිෂ්ටාචාරයේ දියුණුව ඒකෙන් ප්‍රමාද වුණා. කතා කරන භාෂා අනුව විවිධ කණ්ඩායම්වලට බෙදිලා ගිය අය ඒ වෙද්දීත් දැනුම් සම්භාරයක් එකතු කරගෙනයි තිබුණේ. එයාලා ඒ දැනුම් සම්භාරය එකතු කරගෙන තිබුණේ තමන්ගේම ජීවිත අද්දැකීම්වලින් සහ තමන්ගේම උත්සාහයෙන් මිසක් දෙවියන්ගේ උදව්වෙන් නෙවෙයි. දෙවියන් භාෂාව අවුල් කරපු නිසා මිනිසුන්ට එකට එකතු වෙලා තමන් සතු බුද්ධිය, දැනුම, සම්පත් සහ මිනිස් බලය යොදාගෙන ආත්මාර්ථකාමී ඉලක්ක කරා ළඟා වෙන්න පහසු වුණේ නැහැ. (දේශ 7:29; ද්වි 32:5 බලන්න.) භාෂාව අවුල් කරපු එකෙන් මිනිසුන් අතරේ භේද ඇති වුණත් මිනිස් සමාජයට හොඳ දෙයකුත් සිද්ධ වුණා. මොකද ඒකෙන් හානිකර වගේම විනාශකාරී ඉලක්ක කරා මිනිසුන්ට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන් වුණේ නැහැ. (උත් 11:5-9; යෙසා 8:9, 10 බලන්න.) අපේ කාලේ සිද්ධ වෙලා තියෙන සමහර දේවල් ගැන හිතලා බලද්දී මිනිසුන් තමන් සතු දැනුම කොයි තරම් හානිකර විදිහට පාවිච්චි කරලා තියෙනවාද කියලා පැහැදිලි වෙනවා. මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ දෙවියන් බාබෙල් කොත ගොඩනඟන්න ඉඩහැරලා තිබුණා නම් මීට වඩා ලොකු විනාශයක් මිනිසුන්ට අත් වෙන්න ඉඩ තිබුණා කියන එකයි.
it-2-E 472
ජාතීන්
අදහස් හුවමාරු කරගන්න බැරි නිසා විවිධ භාෂා කතා කරන කණ්ඩායම් එකිනෙකාගෙන් වෙන් වෙලා විවිධ ප්‍රදේශවල පදිංචි වුණා. ඒ නිසා ඒ භාෂා කතා කරන කණ්ඩායම්වලට ආවේණික වුණු සංස්කෘතීන්, කලාවන්, චාරිත්‍ර වාරිත්‍ර, ගතිලක්ෂණ සහ ආගම් බිහි වුණා. (ලෙවී 18:3) සැබෑ දෙවියන්ගෙන් ඈත් වෙලා හිටිය ඒ අය මිථ්‍යා දෙවි දේවතාවන්ට නමස්කාර කරන්නත් ඒ දෙවි දේවතාවන්ගේ රූප හදන්නත් පටන්ගත්තා.—ද්වි 12:30; 2රාජා 17:29, 33.
ගැඹුරින් හොයමු
it-1-E 1023 4¶
හාම්
සමහරවිට නෝවා, කානාන්ට ශාප කළේ ඊට හේතු වුණු සිද්ධියට කානාන් කෙළින්ම සම්බන්ධ වෙලා තිබුණත් එයාගේ පියා වුණු හාම් එයාව නිවැරදි කරන්න පියවර අරන් තිබුණේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හාම් තුළ තිබුණු නරක පෙලඹීමක් දැකලා ඉදිරියේදී ඒ නරක පෙලඹීම කානාන්ටත් එයාගෙන් පැවත එන අයටත් උරුම වෙයි කියලා නෝවා අනාවැකියක් කිව්වා වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ වන විටත් කානාන් එයාගේ පියා වුණු හාම්ගේ අඩිපාරේ ගමන් කරමින් හිටියා වෙන්නත් ඇති. ඒ කොහොමවුණත් ෂෙම්ගෙන් පැවතගෙන ආපු ඊශ්‍රායෙල්වරුන් කානානිවරුන්ව යටත් කරගත්ත අවස්ථාවේදී නෝවා කියපු ඒ දේ යම් දුරකට ඉටු වුණා. කානානිවරුන් පිරිසකගේ (උදාහරණෙකට ගිබියොන්වරුන්ගේ [යොෂු 9]) ජීවිත බේරුණත් පස්සේ කාලෙක ඒ අය ඊශ්‍රායෙල්වරුන්ගේ දාසයන් වුණා. හැබැයි සියවස් ගණනාවකට පස්සෙත් නෝවා කියපු අනාවැකිය ඉටු වුණා. ඒක වුණේ යාෆෙත්ගෙන් පැවතගෙන ආපු මේද පර්සියානු, ග්‍රීක සහ රෝම ජාතිකයන් ගොඩනඟපු ලෝක අධිරාජ්යයනුත් කානානිවරුන්ව යටත් කරගත්ත අවස්ථාවලදීයි.
it-2-E 503
නිම්රොද්
නිම්රොද් ෂීනාර් දේශයේ තමන්ටම කියලා පිහිටුවාගත් රාජ්‍යයට බාබෙල්, ඒරෙක්, අක්කද් සහ කල්නේ කියන නගර ඇතුළත් වුණා. (උත් 10:10) ඒ නිසා බාබෙල් නුවරත් ඒකේ කොතත් හදන්න මුල් වුණේ නිම්රොද් කියලා අපිට හිතන්න පුළුවන්. යුදෙව්වන් ඒ ගැන දරපු මතය සලකලා බලද්දී ඒ දේ තවත් තහවුරු වෙනවා. ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස් ඒ ගැන මෙහෙම සඳහන් කරලා තියෙනවා. “[නිම්රොද්] ටිකෙන් ටික කුරිරු ඒකාධිපති පාලකයෙක් වෙන්න පටන්ගත්තා. එයාගේ එකම ඉලක්කය වුණේ මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන එකයි. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ මිනිසුන්ව බය කරලා තමන්ගේ පාලනයට යටත් කරගන්න එක කියලයි එයා හිතුවේ. දෙවියන් ආයෙත් ජලගැල්මක් ගෙනාවොත් එයා දෙවියන්ගෙන් පළිගන්නවා කියලා නිම්රොද් තර්ජනය කළා. කිසිම ජලගැල්මකට යට වෙන්නේ නැති දැවැන්ත කොතක් හදනවා කියලත් ජලගැල්මෙන් විනාශ වුණු තම මුතුන්මිත්තන් වෙනුවෙන් පළිගන්නවා කියලත් නිම්රොද් කියලා තිබුණා. නිම්රොද්ගේ යටත්වැසියන් එයා දීපු හැම උපදෙසකටම කැමැත්තෙන්ම කීකරු වුණා. මොකද එයාලා විශ්වාස කළේ දෙවියන්ට යටත් වෙන අය දාසයන් කියලයි. ඒ නිසා කොත ගොඩනඟන්න එයාලා උපරිමයෙන් සහයෝගය දුන්නා. . . . හිතුවාටත් වඩා ඉක්මනින් ඒ ඉදි කිරීම් කටයුතු වේගයෙන් සිද්ධ වුණා.”—Jewish Antiquities, I, 114, 115 (iv, 2, 3).