දෙවෙනි පරිච්ඡේදය
‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
1, 2. නෝවා සහ පවුලේ අය කරමින් සිටින්නේ මොනවාද? ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද?
වෙහෙසින් හෙම්බත්ව සිටින නෝවා මද විවේකයක් ගැනීමට අසල තිබෙන ලී කොටයක ඉඳගන්නවා. උණු තාරවලින් හමන දුගඳ පරිසරය පුරාම පැතිරිලා. අවට නිහැඬියාව බිඳලමින් ඇසෙන්නේ ලී කපන, ලී ඉරන ශබ්දයයි. ඉදි වෙමින් තිබෙන නැව දෙස බලන නෝවාට කය වෙහෙසා වැඩ කරන තම පුතුන් තිදෙනාව නෙත ගැටෙනවා. මේ අතිදැවැන්ත ව්‍යාපෘතියට පුතුන් තිදෙනාගෙන් පමණක් නෙවෙයි, ආදරණීය බිරිඳගෙත් ලේලිලා තිදෙනාගෙත් නොමසුරු සහය නෝවාට ලැබෙනවා. එලෙස ඔවුන් දශක ගණනාවක් පුරා වෙහෙසී තිබුණත් ඔවුන්ට කිරීමට තවත් කාර්යයන් රැසක්ම තිබෙනවා.
2 ඔවුන් කරමින් සිටින මේ දැවැන්ත කාර්යය දකින මිනිසුන් සිතුවේ නෝවාගෙත් ඔහුගේ පවුලේ අයගෙත් සිහිවිකල් වෙලා කියායි. මුළු පොළොවම ජලගැල්මකින් විනාශ වෙනවා කියා නෝවා අනතුරු ඇඟෙව්වත් එය විශ්වාස නොකරන ඔවුන් ඒ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ. මෙතරම් විශාල නැවක් ඉදි කිරීමට නෝවා තම ජීවිතයත් පවුලේ අයගේ ජීවිතත් නිකරුණේ නාස්ති කරන්නේ ඇයි කියා කල්පනා කරන ඔවුන් නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් සමච්චල් කරනවා.
3. නෝවා, දෙවි සමඟ ගමන් කළා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 යෙහෝවා දෙවි නෝවා දෙස බැලුවේ මිනිසුන් ඔහු දෙස බැලූ විදිහට නම් නෙවෙයි. නෝවා සෑම කාරණයකදීම දෙවිට කීකරු වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු දෙවිට මොන තරම් ප්‍රේම කළාද කියනවා නම් මිතුරන් දෙදෙනෙකු අතරේ තිබෙනවා හා සමාන කිට්ටු බැඳීමක් ඔවුන් අතරේ තිබුණා. ‘නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (උත්පත්ති 6:9 කියවන්න.) නෝවා මිය ගොස් අවුරුදු දහස් ගණනකට පසුව බයිබලයේ සඳහන් වුණේ ‘ඔහුට තිබුණු විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළා’ කියායි. (හෙබ්‍රෙ. 11:7) ඉන් අදහස් වෙන්නේ මොකක්ද? දෙවි කෙරෙහි ඔහුට තිබුණු විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
දුෂ්ටයන් අතරේ නිදොස් කෙනෙක්
4, 5. නෝවාගේ කාලයේදී දුෂ්ටකම හිණිපෙත්තටම නැඟ තිබුණේ කොහොමද?
4 නෝවා හැදී වැඩුණේ දවසින් දවස දුෂ්ටකම් වැඩි වූ ලෝකයක. නෝවාගේ සීයාගේ පියා වූ ඒනොක් ජීවත් වූ කාලයේ පටන්ම දුෂ්ටකම් සිදු වුණා. දෙවි සමඟ ගමන් කළ කෙනෙක් වූ ඒනොක් දුෂ්ට මිනිසුන්ට විරුද්ධව දෙවි විනිශ්චයක් ගෙනෙන බව නොබියව ප්‍රකාශ කර තිබුණත් නෝවාගේ කාලය වෙද්දී දුෂ්ටකම හිණිපෙත්තටම නැඟ තිබුණා. පොළොව කොතරම් සැහැසිකකම්වලින් පිරී තිබුණාද කියනවා නම් දෙවි දුටුවේ පොළොව නාස්ති වී තිබෙන බවයි. (උත්. 5:22; 6:11; යූද් 14, 15) එතරම් නරක තත්වයක් ඇති වීමට හේතු වුණේ මොනවාද?
5 ඒ වන විටත් දෙවිගේ පාලනයට විරුද්ධව කැරලිගැසූ දේවදූතයෙක් සාතන් නමැති යක්ෂයා බවට පත් වී තිබුණා. දෙවි ගැන බොරු පවසමින් ආදම් සහ ඒවව පාපයට ඇද දැමුවෙත් ඔහු විසින්මයි. නෝවාගේ කාලය වෙද්දී තවත් දේවදූතයන් පිරිසක් ඔහුගේ බලපෑමට හසු වී දෙවිට විරුද්ධව ක්‍රියා කරමින් සිටියා. ස්වර්ගයේ තමන්ට තිබුණු වගකීම් අත්හැර මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණි ඔවුන් රූමත් ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. ඒ අහංකාර, කැරලිකාර, ආත්මාර්ථකාමී දේවදූතයන්ගේ දුෂ්ට බලපෑම පිළිකාවක් මෙන් මුළු සමාජය පුරාම පැතිර තිබුණා.—උත්. 6:1, 2; යූද් 6, 7.
6. නෙෆිලිම්වරුන්ගේ බිහි වීම නිසා සිදු වුණේ මොනවාද? යෙහෝවා දෙවි තීරණය කළේ කුමක් කරන්නද?
6 මිනිස් වෙස් ගත් දේවදූතයන් ස්ත්‍රීන්ව විවාහ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය සවිශක්තියකින් යුත් දරුවන් බිහි වුණා. යෝධයන් බවට පත් වූ ඔවුන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “බිමට ඇද වැටෙන සේ අන් අයට පහර දෙන්නෝ” යන අර්ථය ඇති නෙෆිලිම්වරු ලෙසයි. ඒ කෲර යෝධයන් නිසා සමාජයේ සිදු වූ දුෂ්ටකම් දෙගුණ තෙගුණ වුණා. ‘මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබෙන බවත් ඔවුන්ගේ සිත් නිතරම නපුරටම යොමු වී තිබෙන බවත් දුටු’ යෙහෝවා දෙවි වසර 120කින් ඒ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම අතු ගා දමන්න තීරණය කළා.—උත්පත්ති 6:3-5 කියවන්න.
7. නෝවාට සහ ඔහුගේ බිරිඳට තම දරුවන්ව රැකබලා ගැනීම සඳහා ලොකු වෙහෙසක් දරන්න සිදු වුණේ ඇයි?
7 මෙවන් වාතාවරණයක් මැද පවුලක් රැකබලා ගැනීම මොන තරම් අපහසු කාර්යයක් වෙන්න ඇද්ද! නෝවාට වයස අවුරුදු 500ක් පිරුණු පසුව ඔහුගේ පවුලට පුතුන් තිදෙනෙක් එනම් ෂෙම්, හාම් සහ යාෆෙත් එකතු වුණා.a මේ දුෂ්ට සමාජයෙන් තම පුතුන්ව ආරක්ෂා කරගැනීමට නෝවාට සහ ඔහුගේ බිරිඳට මහත් වෙහෙසක් දරන්න සිදු වුණා. සාමාන්‍යයෙන් කුඩා පිරිමි දරුවන් සවිශක්තිය තිබෙන උස මහත අයට කැමති නිසා ඔවුන් නෙෆිලිම්වරුන්ව වීරයන් ලෙස සලකන්න ඇති. ඔවුන් කළ සෑම දරුණු දෙයක්ම දරුවන්ගෙන් සඟවන්න නෝවාත් ඔහුගේ බිරිඳත් සමත් වුණා කියා නම් සිතන්න බැහැ. නමුත් යෙහෝවා දෙවි දුෂ්ටකම් කොතරම් හෙළා දකිනවාද කියාත් පොළොවේ සිදු වෙන මේ කුරිරුකම් ගැන යෙහෝවා දෙවි මොන තරම් දුක් වෙනවාද කියාත් දරුවන්ට තේරුම් කර දීමට ඔවුන් උපරිමය කරන්න ඇති.—උත්. 6:6.
8. දෙමාපියන්ට නෝවාවත් ඔහුගේ බිරිඳවත් ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
8 එදා මෙන් අදත් සැහැසියාව හා කැරලිකාරකම පිළිකාවක් මෙන් මුළු මිනිස් සමාජය පුරාම පැතිර තිබෙනවා. මිනිසුන්ව බියගන්වා තම පාලනයට නතු කරගන්නා ප්‍රචණ්ඩකාරී කල්ලි ඕන තරම් දක්නට තිබෙනවා. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය වී තිබෙන චිත්‍රපට හා වැඩසටහන් ප්‍රචණ්ඩත්වයෙන් පිරිලා. ඒ නිසා අද සිටින දෙමාපියන්ද තම දරුවන්ගේ සිත් ආරක්ෂා කිරීමට පියවර ගැනීම මොන තරම් වැදගත්ද! සමාදානයේ දෙවි වන යෙහෝවා ළඟදීම දුෂ්ටකම් නිමා කිරීමට ආශාවෙන් බලා සිටින බව දරුවන්ට කියා දීමෙන් එය කරන්න පුළුවන්. (ගීතා. 11:5; 37:10, 11) නෝවා හා ඔහුගේ බිරිඳ සාර්ථක වුණා වගේ දෙමාපියෙනි ඔබටත් සාර්ථක වෙන්න පුළුවන්. ඔවුන්ගේ පුතුන් තිදෙනාම දෙවිට කීකරු, යහපත් වැඩිහිටියන් වුණා. ඔවුන් විවාහ වුණෙත් දෙවිගේ කැමැත්තට මුල් තැන දුන් ස්ත්‍රීන් සමඟයි.
“නැවක් සාදන්න”
9, 10. (අ) නෝවාගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වුණේ ඇයි? (ආ) නැව සෑදිය යුතු ආකාරය ගැන සහ එය සෑදීමේ අරමුණ ගැන යෙහෝවා දෙවි පැවසුවේ මොනවාද?
9 දුෂ්ට සමාජය තුරන් කිරීමට තමා ගෙන තිබුණු තීරණය ගැන නෝවාට දැනුම් දුන් යෙහෝවා දෙවි “හොඳ ලීවලින් නැවක් සාදන්න” කියා ඔහුට අණ කරනවා. (උත්. 6:14) නෝවාගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වුණේ එදා සිටයි.
10 යෙහෝවා දෙවි නෝවාට සාදන්න කියා අණ කළේ පෙට්ටියක හැඩයකින් යුත් නැවක්. ඊට අවරක්, සුක්කානමක්, දිශාව වෙනස් කිරීමට නෞකාතලයක් තිබුණේ නැහැ. නැව සෑදිය යුතු සියලු මිමි හා එය සෑදිය යුතු ආකාරය ගැන නිශ්චිත මඟ පෙන්වීම් ලබා දුන් දෙවි නැවේ පිටතින් හා ඇතුළතින් තාර ගාන්න කියාත් නෝවාට පැවසුවා. ඉන්පසුව ඔහු නැව සෑදීමේ අරමුණ ගැන පහදා දෙමින් මෙසේ පැවසුවා. ‘මම මහා ජල කන්දරාවක් පොළොවට ඇද හැළෙන්න සලස්වන්නෙමි. මනුෂ්‍යයන් ඇතුළු සියලුම ජීවීහු මිය යන්නෝය.’ ඉන්පසු දෙවි නෝවා සමඟ ගිවිසුමක් ඇති කරගනිමින් මෙසේද පැවසුවා. ‘ඔබද ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද නැවට ඇතුල් විය යුතුයි.’ ඒ විතරක් නෙවෙයි සෑම වර්ගයකටම අයත් සතුන්වත් නැවට ඇතුල් කරගන්න කියාත් දෙවි ඔහුට පැවසුවා. මේ ජලගැල්මෙන් බේරීමට හැකි වෙන්නේ නැවේ සිටින අයට පමණයි.—උත්. 6:17-20.
11, 12. නෝවාට පැවරුණේ බාරදූර කාර්යයක් කියා පවසන්න පුළුවන් ඇයි? ඔහු එය ඉටු කළේ කොහොමද?
11 නෝවාට පැවරුණේ අතිදැවැන්ත කාර්යයක්. මීටර් 133ක් පමණ දිග, මීටර් 22ක් පමණ පළල, මීටර් 13ක් පමණ උස නැවක් සාදන්න මොන තරම් වෙහෙසක් දරන්න සිද්ධ වෙයිද! දැනට ලීවලින් සාදා තිබෙන විශාලතම නැවටත් වඩා එය විශාලයි. මේ තරම් බාරදූර කාර්යයක් කිරීමට බැහැ කියා ඔහු පැවසුවාද, එය බරපතළ වැඩියි කියා කන්කෙඳිරිගෑවාද, එහෙමත් නැත්නම් තමන් කැමති විදිහට ලෙහෙසි ක්‍රමයකට නැව සාදන්නම් කියා පැවසුවාද? නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, ඔහු ඒ සියල්ල එලෙසම ඉටු කළා’ කියායි.—උත්. 6:22.
12 එම යෝධ නැව සෑදීම සඳහා ගස් කපන්න, කොට අදින්න, ලී ඉරන්න, යතුගාන්න විතරක් නෙවෙයි ඒවා එකිනෙකට සම්බන්ධ කරන්නත් සිද්ධ වුණා. නැව සම්පූර්ණයෙන්ම සාදා නිම කිරීමට වසර 40ක් හෝ 50ක් ගත වෙන්න ඇති. තට්ටු තුනකින් සමන්විත මෙම නැවේ වෙන වෙනම කාමරත් නැවට ඇතුල් වීමට දොරටුවකුත් සාදා තිබුණා. බොහෝදුරට නැවේ වහල සාදන්න ඇත්තේ වතුර නොරැඳී දෙපසට ගලා යන ආකාරයෙන් කියා සිතන්න පුළුවන්. වහලට මදක් පහතින් කවුළුද සාදා තිබුණා.—උත්. 6:14-16.
13. නැව සාදනවාටත් වඩා නෝවාට කිරීමට තිබුණු අභියෝගාත්මක පැවරුම කුමක්ද? මිනිසුන් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?
13 නැවේ වැඩකටයුතු ක්‍රමානුකූලව නිම වෙද්දී ඒ සඳහා තම පවුලෙන් ලැබුණු නොමද සහය නෝවා බෙහෙවින් අගය කරන්න ඇති. නමුත් නෝවාට කිරීමට තිබුණේ දැවැන්ත නැවක් සෑදීම පමණක් නෙවෙයි. බයිබලයේ ඔහුව ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ කෙනෙකු’ ලෙසත් හඳුන්වා තිබෙනවා. (2 පේතෘස් 2:5 කියවන්න.) එදා පැවති දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියා පැවසීමටත් නෝවාට සිදු වුණා. එය නැව සාදනවාටත් වඩා දුෂ්කර කටයුත්තක්. ඒ කාලයේ සිටි මිනිසුන් ඔහු පැවසූ දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. පසු කාලයකදී යේසුස් පවා නෝවාගේ කාලයේ සිටි මිනිසුන් ගැන පැවසුවේ ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් කාලය ගත කළා මිසක් නෝවා දුන් අනතුරු ඇඟවීම ගැන “කිසි තැකීමක් කළේ නැහැ” කියායි. (මතෙ. 24:37-39) නෝවා හා ඔහුගේ පවුලේ අය විනාශය ගැන පවසද්දී මිනිසුන් ඔවුන්ට උසුළුවිසුළු කරන්න ඇති. තවත් අය ඔවුන්ට තර්ජනය කර ඔවුන්ව නිහඬ කරන්න උත්සාහ කරන්න ඇති.
14. නෝවාගේ පවුලේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
14 මිනිසුන් කරන කියන දේවල් නිසා නෝවාවත් ඔහුගේ පවුලේ අයවත් දෙවි පැවරූ කාර්යය නතර කළේ නැහැ. ඔවුන්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අපිට ආදර්ශයක් නෙවෙයිද! අපි අද ජීවත් වෙන්නේ ‘අවසාන කාලයෙයි.’ (2 තිමෝ. 3:1) මේ කාලයත් නෝවාගේ කාලයට සමාන බව යේසුස් පැවසුවා. අපි දේවරාජ්‍යය ගැන මිනිසුන්ට පවසද්දී ඔවුන් පීඩා කරන්න, නින්දා කරන්න හෝ අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී අපි නෝවාගේ ආදර්ශය සිහියේ තබා ගනිමු.
“දැන් නැවට ඇතුල් වන්න”
15. නෝවාට මුහුණ දීමට සිදු වුණේ කුමන වේදනාකාරී අද්දැකීම්වලටද?
15 දශක ගණනාවකට පසුව යෝධ නැව සාදා නිම වෙනවා. කෙසේවෙතත් නෝවාට වයස අවුරුදු 600ක් පිරෙන්න ආසන්නව තිබියදී ඔහු වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙනවා. ඔහුගේ සෙනෙහෙබර පියා වූ ලාමෙක් මිය යනවා.b ඉන් වසර පහකට පසුව 969වන වියේ පසු වූ නෝවාගේ සීයා මෙතූසලාත් මිය යනවා. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට මිහිමත වැඩිම කාලයක් ජීවත් වූ මිනිසා ඔහුයි. (උත්. 5:27) මෙතූසලා හා ලාමෙක් යන දෙදෙනාම ආදම් ජීවත් වූ කාල වකවානුවේම ජීවත් වූ අයයි.
16, 17. (අ) වයස අවුරුදු 600 පසු වූ නෝවාට යෙහෝවා දෙවි පැවසුවේ කුමක්ද? (ආ) නෝවාගෙත් ඔහුගේ පවුලේ අයගෙත් මතකයේ සැමදා රැඳෙන්න ඇත්තේ මොන දසුනද?
16 වයස අවුරුදු 600 පසු වන නෝවාට “ඔබේ පවුලේ සියලුදෙනා සමඟ දැන් නැවට ඇතුල් වන්න” කියා දෙවි පවසනවා. ඒ වගේම සෑම වර්ගයකටම අයත් සතුන්වත් නැවට ඇතුල් කරගන්න කියා යෙහෝවා දෙවි පවසනවා. දෙවි පැවසූ ලෙසම එම පැවරුමත් ඉටු කරන නෝවා, පූජා කිරීම සඳහා යොදාගන්නා පවිත්‍ර සතුන්ගෙන් සත්දෙනා බැගිනුත් අනික් සතුන්ගෙන් දෙදෙනා බැගිනුත් නැවට ඇතුල් කරගන්නවා.—උත්. 7:1-3.
17 ලොකු කුඩා සතුන් දහස් ගණනක් ඇවිදගෙන, පියාඹගෙන, බඩගාගෙන, පැන පැන නැව වෙතට පැමිණෙන අයුරු නෝවාත් ඔහුගේ පවුලේ අයත් පුදුමයෙන් බලා ඉන්න ඇති. ඒ දසුන ඔවුන්ගේ මතකයේ සැමදා රැඳී තිබුණු බවට සැකයක් නැහැ. නැවට මෙතරම් සතුන් ප්‍රමාණයක් ඇතුල් කරගන්න නෝවාට ලොකු වෙහෙසක් දරන්න සිදු වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ සියලු සතුන් ‘නැවට ඇතුල් වී නෝවා වෙතට ගියා’ කියායි.—උත්. 7:9.
18, 19. (අ) නෝවා පිළිබඳ වාර්තාව විශ්වාස නොකරන අයට දිය හැකි පිළිතුරු මොනවාද? (ආ) සතුන්ව ආරක්ෂා කිරීමට නෝවාට පැවරීමෙන් අපිට සිහිගැන්වෙන්නේ කුමක්ද?
18 නෝවා පිළිබඳ වාර්තාව විශ්වාස නොකරන සමහර අය ‘එවැනි දෙයක් සිදු වෙන්නේ කොහොමද’ කියා ප්‍රශ්න කරනවා. ‘නැවක එතරම් සතුන් ප්‍රමාණයක් සාමයෙන් ඉන්නේ කොහොමද’ කියාත් ඔවුන් අසනවා. නමුත් මේ ගැන ටිකක් හිතන්න. මේ මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවිට තමන් නිර්මාණය කළ සතුන්ව තම අණසක යටතේ තබාගන්න බැරිද? උන්ව හීලෑ කරන්න දෙවිට බැරිද? යෙහෝවා දෙවි රතු මුහුද දෙබෑ කළා නම්, දවසක් පුරාම ඉර නොබසින්න සැලැස්සුවා නම් නෝවා ගැන වාර්තාවේ සඳහන් සෑම දෙයක්ම එලෙසින්ම ඉටු කරන්න දෙවි අසමත් වෙයිද?
19 තමන් නිර්මාණය කළ සතුන්ව ජලගැල්මෙන් ආරක්ෂා කරගන්න දෙවිට වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න හැකියාව තිබුණා. නමුත් සතුන්ව බලාගැනීමේ වගකීම ඔහු නෝවාට භාර දුන්නේ ආරම්භයේ සිටම දෙවි එම වගකීම විශ්වාසයෙන් යුතුව මිනිසුන්ට භාර දී තිබුණු නිසයි. (උත්. 1:28) යෙහෝවා දෙවි තමන් නිර්මාණය කළ මිනිසුන් ගැන වගේම සතුන් ගැනත් සැලකිලිමත් යන කාරණය දරුවන්ගේ සිත්වලට කාවද්දන්න බොහෝ දෙමාපියන් නෝවාගේ වාර්තාව යොදාගන්නවා.
20. ජලගැල්ම පැමිණීමට පෙර සතියේ නෝවාත් ඔහුගේ පවුලේ අයත් කරන්න ඇත්තේ මොනවාද?
20 ජලගැල්ම පැමිණෙන දවස ගැන දෙවි නෝවාට පැවසුවේ හරියටම සතියකට කලිනුයි. එය නෝවාට හා ඔහුගේ පවුලේ සැමට ඉතා කාර්යබහුල සතියක් වූ බවට සැකයක් නැහැ. සතුන්ව නැවේ ඒ ඒ තැන්වලට දමන්න, උන්ට අවශ්‍ය කෑම බීම නැවේ පිළිවෙළකට අසුරන්න, පවුලේ අයගේ බඩු බාහිරාදිය නැවට පටවන්න ඔවුන් සෑහෙන්න වෙහෙසක් දරන්න ඇති. ඒ වගේම තමන්ගේ තාවකාලික නිවහන ලෙස නැව සකස් කරගැනීමට නෝවාගේ බිරිඳ හා ලේලියන් තිදෙනාත් වෙහෙසෙන්න ඇති.
21, 22. (අ) නෝවාගේ කාලයේ සිටි අය සිදු වන දේවල් දැක්කත් කිසිම තැකීමක් නොකිරීම ගැන පුදුම නොවිය යුත්තේ ඇයි? (ආ) නෝවාට සහ ඔහුගේ පවුලේ අයට සමච්චල් කිරීම සෙනඟ නතර කළේ මොන අවස්ථාවේදීද?
21 නෝවා හා ඔහුගේ පවුලේ අය කරන වැඩේට දෙවිගේ ආශීර්වාදය තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබුණත් දහස් ගණනක් සතුන් නැව වෙතට ඇදී එනවා පෙනෙන්න තිබුණත් අවට සිටි මිනිසුන් ඒ ගැන ‘කිසිම තැකීමක් කරන්නේ නැහැ.’ අද ඉන්න බහුතරයක් මිනිසුන්ද ඒ හා සමානයි. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියා විශ්වාස කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබියදීත් ඔවුන් ඒ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ. එවැනි අය දෙවිගේ අනතුරු ඇඟවීම් පිළිගන්න අයට සමච්චල් කරන බව පේතෘස් කලින්ම පවසා තිබුණා.—2 පේතෘස් 3:3-6 කියවන්න.
22 නෝවාට සහ ඔහුගේ පවුලේ අයට සෙනඟ සමච්චල් කළා. ඔවුන් කොයි තරම් කාලයක් එලෙස සමච්චල් කරන්න ඇද්ද? නෝවාගේ පවුලේ අය සහ සතුන් නැවට ඇතුල් වූ පසුව ‘දෙවි නැවේ දොර වැසුවා.’ එය දකිද්දී සමච්චල් කරමින් සිටි අයගේ කටවල් පියවෙන්න ඇති. එහෙමත් නැත්නම් වර්ෂාව ඇද හැළෙද්දී ඔවුන්ගේ කටවල් වැසෙන්න ඇති. යෙහෝවා දෙවි පැවසූ ලෙසම නොනැවතී ඇද හැළුණු වර්ෂාව නිසා මුළු පොළොවම ජලයෙන් වැසී ගියා.—උත්. 7:16-21.
23. (අ) දුෂ්ට මිනිසුන් ජලගැල්මෙන් විනාශ වීම ගැන දෙවි සතුටු වුණේ නැහැ කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) නෝවාගේ ආදර්ශය අනුකරණය කිරීම වැදගත් වෙන්නේ ඇයි?
23 දුෂ්ට මිනිසුන් ජලගැල්මෙන් විනාශ වීම ගැන දෙවි සතුටු වුණේ නැහැ. (එස. 33:11) දිවි ගලවාගන්න දෙවි ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව දුන්නා. නෝවාට දිවි ගලවාගන්න පුළුවන් වුණේ ඔහු දෙවි සමඟ ගමන් කරමින් දෙවිගේ අණපනත්වලට කීකරු වූ නිසයි. ඔහුට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය නිසා ඔහුගෙත් පවුලේ අයගෙත් ජීවිත ගැලවුණා. එදා සිටි අනික් මිනිසුන්ද ඒ දේ කළා නම් ඔවුන්ටත් දිවි ගලවාගන්න තිබුණා. ඒත් ඔවුන් එසේ නොකිරීමෙන් දඬුවම් ලබන්න සුදුසු බව ඔප්පු වුණා. නෝවාට තිබුණු විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළා කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. නෝවාගේ ආදර්ශය ඔබත් අනුකරණය කරනවා නම් ඔබේ ජීවිතය පමණක් නෙවෙයි ඔබ ආදරය කරන අයගේ ජීවිතත් ගලවාගැනීමට ඔබට හැකි වෙයි. නෝවා මෙන් ඔබත් යෙහෝවා දෙවිව ඔබේ කිට්ටු මිතුරා කරගෙන දෙවි සමඟ සදහටම ගමන් කරන්න.
a එදා කාලයේ ජීවත් වූ අයගේ ආයු කාලය අදට වඩා බොහෝ සෙයින් දීර්ඝ වුණා. ඊට හේතුව ඒ වන විට ආදම් සහ ඒව පරිපූර්ණත්වය අහිමි කරගෙන වැඩි කලක් ගත වී නොතිබීමයි.
b නෝවා යන නමේ අර්ථය “විවේකය” හෝ “සැනසීම” වෙන්න ඇති. ලාමෙක් ඔහුට ඒ නම දැමූ අවස්ථාවේදී පැවසුවේ දෙවි භූමියට ශාප කළ නිසා දුක් මහන්සි වී වැඩ කරන මිනිසුන්ට නෝවා සැනසීමක් ලබා දීමට කටයුතු කරයි කියායි. (උත්. 5:28, 29) ලාමෙක් පැවසූ දෙය ඉටු වෙනවා දකින්න ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ. සමහරවිට නෝවාගේ මව සහ සහෝදර සහෝදරියන් ජලගැල්මෙන් විනාශ වෙන්න ඇති.