ඔබේ අනාගතය කුමක් වේවිද?
සර්වබලධාරි දෙවි සර්වඥ, එනම් අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ සියල්ල දන්නා කෙනෙක් නම්, දෙවි කල්තියා දැක තිබෙන පරිද්දෙන්ම සෑම දෙයක්ම සිදුවීමට නියම වී නැද්ද? දෙවි සෑම මනුෂ්‍යයෙකුගේම ගමන් මඟ මෙන්ම අවසාන ඉරණම කලින් දැක නියම කර ඇත්නම්, අපේ ජීවිතයේ ගමන් මඟ, එනම් අපේ අනාගතය තෝරාගැනීමට අප නිදහස් බව ඇත්තටම පැවසිය හැකිද?
මෙම ප්‍රශ්න සියවස් ගණනාවක් පුරා විවාදයට ලක්ව තිබෙනවා. මෙම මතභේදය ප්‍රධාන ආගම් තවමත් භේද කරවනවා. අනාගතය කලින් දැනසිටීමට දෙවි සතු හැකියාව, මිනිසාගේ නිදහස් කැමැත්ත සමඟ ගළපාගත හැකිද? පිළිතුරු සඳහා අප බැලිය යුත්තේ කොතැනද?
දෙවි තම නියෝජිතයන් වන අනාගතවක්තෲන් මගින් ඉදිරිපත් කර තිබෙන තම ලිඛිත වචනය කරණකොටගෙන මනුෂ්‍යවර්ගයාට තොරතුරු දන්වා ඇති බවට ලොව වටා දශලක්ෂ ගණනක් ජනයා එකඟ වෙනවා ඇති. නිදසුනක් වශයෙන්, දෙවිගෙන් පැමිණෙන එළිදරව් වීම් වශයෙන්, කුරානය ටෞරා, (ටෝරා, ව්‍යවස්ථාව නොහොත් මෝසෙස්ගේ පොත් පහ) සාබූර් (ගීතාවලිය) සහ ඉන්ජීල් (සුවිශේෂය, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි නොහොත් “අලුත් ගිවිසුම”) මෙන්ම ඉශ්රායෙල්හි අනාගතවක්තෲන්ට එළිදරව් කළ දේවල්ද සඳහන් කරයි.
ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල අපට මෙසේ කියවීමට තිබෙනවා: “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් . . . ප්‍රයෝජනවත්ව තිබේ.” (2 තිමෝති 3:16) අප ලබන ඕනෑම මඟ පෙන්වීමක් හෝ ඥානාලෝකයක් අන්තිමේදී දෙවිගෙන්ම පැමිණිය යුතු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එසේනම්, කලින් සිටි දෙවිගේ අනාගතවක්තෲන්ගේ ලියකියවිලි පරීක්ෂා කර බැලීම ප්‍රඥාවන්ත දෙයක් නොවෙයිද? අපේ අනාගතය ගැන ඒවා හෙළි කරන්නේ කුමක්ද?
කල්තියාම ලියවුණු අනාගතය
ශුද්ධ ලියවිලි කියවා ඇති ඕනෑම කෙනෙක් දන්නා දෙයක් වන්නේ, අනාවැකි සිය ගණනක් ඒවායේ අන්තර්ගත බවයි. පුරාණ බබිලෝනියේ වැටීම, යෙරුසලම නැවත ගොඩනැඟීම (පො.යු.පෙ. හයේ සිට පස්වන සියවස දක්වා), මේද-පර්සියාවේ සහ ග්‍රීසියේ පුරාණ රජුන්ගේ නැඟීමත් වැටීමත් යන සියල්ල සවිස්තරව පුරෝකථනය කර තිබුණා. (යෙසායා 13:17-19; 44:24–45:1; දානියෙල් 8:1-7, 20-22) අනාගතය කලින්ම දැක සිදු වන දේ තීරණය කිරීමට බලය දෙවිට පමණක් තිබෙන බැවින්, ශුද්ධ ලියවිලි ඇත්තෙන්ම දෙවිගේ වචනය බවට තිබෙන ප්රබලතම සාක්ෂිවලින් එකක් නම්, එවන් අනාවැකිවල ඉටුවීමයි. මෙම අර්ථයෙන් බැලුවොත් ශුද්ධ ලියවිලි ඇත්තවශයෙන්ම කල්තියාම ලියවුණු යමක් සේ අනාගතය වාර්තා කරනවා.
දෙවිම මෙසේ ප්‍රකාශ කරයි: “මමම [දෙවිය], වෙන කෙනෙක් නැත; මම [දෙවිය], මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ [තැනැත්තාය]. . . . මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.” (යෙසායා 46:9-11; 55:10, 11) දෙවි තමාවම තම පුරාණ අනාගතවක්තෲන්ට හඳුන්වා දුන් නාමය යෙහෝවා වේ. එහි පදගතාර්ථ තේරුම “ඔහු සිදුවීමට සලස්වයි.”a (උත්පත්ති 12:7, 8; නික්මයාම 3:13-15; ගීතාවලිය 83:17) තම වචනයෙහි ඉෂ්ටකරන්නා බවට පත් වන, තම අරමුණු හැමවිටකම සැබෑ කරවන තැනැත්තා වශයෙන්ද දෙවි තමාවම හෙළි කරයි.
මේ අනුව, පෙරදැනුම සම්බන්ධයෙන් දෙවිට තිබෙන බලය, තම අරමුණු ක්‍රියාත්මක කරවීමට ඔහු යොදාගන්නවා. පැමිණෙන විනිශ්චයක් ගැන දුෂ්ටයන්ට අනතුරු අඟවන්නත්, ගැළවීම සඳහා තම සේවකයන්ට බලාපොරොත්තුවක් දීමටත් දෙවි එය බොහෝවිට යොදාගෙන තිබෙනවා. එනමුත් දෙවි මෙම බලය අසීමිත ආකාරයකින් යොදාගන්නවාද? කලින් නොදැනසිටීමට දෙවි තෝරාගෙන තිබෙන කාරණා සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිවල යම් සාක්ෂි ඇද්ද?
දෙවි සෑම දෙයක්ම කලින් දන්නවාද?
පෙර නියමයට අනුබල දෙන තර්ක සියල්ල පදනම් වී තිබෙන්නේ මෙම සංකල්පනාව මතයි: අනාගත සිදුවීම් කලින් දැන තීරණය කිරීමට දෙවිට අවිවාදයෙන්ම බලය තිබෙන බැවින්, සෑම පුද්ගලයෙකුගේම අනාගත ක්‍රියා ඇතුළුව, සෑම දෙයක්ම දෙවි දැනසිටිය යුතුයි. කෙසේවෙතත් මෙම සංකල්පනාවට හරයක් තිබේද? දෙවි තම ශුද්ධ ලියවිල්ලෙහි හෙළි කරන දේ වෙනස් ස්වරූපයක් ගන්නවා.
නිදසුනක් වශයෙන්, ආබ්‍රහම්ට තම පුත්‍ර ඊසාක්ව දවන පූජාවක් සේ ඔප්පු කරන මෙන් ආඥා කිරීමෙන් ‘දෙවි ආබ්‍රහම්ව පරීක්ෂා කළ’ බව ශුද්ධ ලියවිලිවල පවසා තිබෙනවා. ඊසාක්ව පූජා කරන්න ගිය මොහොතේදී, දෙවි ඔහුව නතර කොට මෙසේ පැවසුවා: “නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ [දෙවිට] භයවෙන බව දැන් දනිමි.” (උත්පත්ති 22:1-12, ඇල අකුරු අපේය.) ආබ්‍රහම් මෙම ආඥාවට කීකරු වෙයි කියා දෙවි කල්තියාම දැන සිටියා නම්, දෙවි මෙම ප්‍රකාශය ඉදිරිපත් කරාවිද? එය අවංක පරීක්ෂණයක් වෙන්න තිබුණාද?
ඇරත්, දෙවි නැවත නැවත තමා කර තිබූ හෝ කිරීමට අදහස් කළ යමක් ගැන ‘තැවුණු’ බව පුරාණ අනාගතවක්තෲන් වාර්තා කරනවා. නිදසුනක් හැටියට, තමා “සාවුල් ඉශ්රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණු [නා·චම්ʹ යන හෙබ්‍රෙව් වචනයෙන්]” බව දෙවි පැවසුවා. (1 සාමුවෙල් 15:11, 35; සසඳන්න යෙරෙමියා 18:7-10; යෝනා 3:10.) දෙවි පරිපූර්ණ කෙනෙක් වන නිසා, ඉශ්රායෙල්හි පළමු රජු වශයෙන් සාවුල්ව තෝරාගැනීමේදී දෙවි අතින් වරදක් සිදු වූ බව මෙම පදවලින් අදහස් විය නොහැකියි. ඒ වෙනුවට, සාවුල් නොඇදහිලිකාර මෙන්ම අකීකරු කෙනෙකු බවට පත් වූ නිසා දෙවිට කනගාටුවක් දැනුණු බව ඒවායින් ඇඟවිය යුතුයි. දෙවි සාවුල්ගේ ක්‍රියාවන් කලින් දැනසිටියා නම්, තමා සම්බන්ධව එවන් ප්‍රකාශයක් යෙදවීම නිරර්ථක දෙයක් වෙනවා.
ශුද්ධ ලියවිලි අතුරින් වඩාත්ම පැරණි කොටසකත් මෙම යෙදුම දක්නට ලැබෙනවා. එහිදී, නෝවාගේ දවස්වලට යොමු දක්වමින් මෙසේ පවසා තිබෙනවා: “[යෙහෝවා] පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝක [වූයේය]. [යෙහෝවා]: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; . . . මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි [කීවේය].” (උත්පත්ති 6:6, 7) මෙහිදී නැවතත් මිනිසාගේ ක්‍රියා දෙවි විසින් කලින් නියම කර නැති බව ඇඟවෙනවා. දෙවි තැවුණෙත්, ඔහුට ශෝකය, වේදනාව පවා දැනුණෙත්, තම ක්‍රියාවල යම් වරදක් තිබුණු නිසා නොව, නමුත් මිනිසාගේ දුෂ්ටකම බහුල වූ නිසයි. නෝවා සහ ඔහුගේ පවුල හැර මුළු මනුෂ්‍යවර්ගයාම විනාශ කිරීමේ අවශ්‍යතාව මතු වූ බැවින් මැවුම්කරු තැවුණා. “දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි” දෙවි අපට සහතික කරයි.—එසකියෙල් 33:11; සසඳන්න ද්විතීය කථාව 32:4, 5.
එබැවින්, පාපය තුළට ආදම්ගේ වැටීම මෙන්ම මිනිස් පවුල මත මෙයින් පමුණුවනු ලබන විපත්තිදායක ප්‍රතිඵල දෙවි කලින් දැනසිටියාද, එමෙන්ම එලෙස සිදුවීමට නියෝග කළාද? මෙය සැබෑවක් විය නොහැකි බව අප සලකා බලා තිබෙන දෙයින් පෙනී යනවා. එපමණක්ද නොව, දෙවි මේ සියල්ල කලින් දැනසිටියා නම්, මිනිසා සෑදූ විට ඔහු පාපයේ උත්පාදකයා බවට පත් වන්න යන අතර, සෑම මිනිස් දුෂ්ටකමක් සහ දුක් විඳීමකට දෙවි කෙළින්ම වගකියන්න යනවා. දෙවි තමා සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිවල හෙළි කර තිබෙන දේවල් සමඟ මේවා එකඟ කළ නොහැකි බව පැහැදිලියි. ඔහු ප්‍රේමයේ සහ යුක්තියේ දෙවිකෙනෙක්; දුෂ්ටකමට ද්වේෂ කරන දෙවිකෙනෙක්.—ගීතාවලිය 33:5; හිතෝපදේශ 15:9; 1 යොහන් 4:8.
මිනිසාගේ ඉරණම් දෙක
අපේ පෞද්ගලික අනාගතය දෙවි විසින් කෙසේ හෝ කලින් නියම කර ඇති බව හෝ කලින් තීරණය කර ඇති බව ශුද්ධ ලියවිලිවල හෙළි කර නැහැ. ඒ වෙනුවට, එහි හෙළි කර ඇත්තේ මිනිසා සඳහා ඉරණම් දෙකක් පමණක් දෙවි පුරෝකථනය කර ඇති බවයි. තමාට අයත් වන ඉරණම කුමක්ද යන්න සෑම මිනිසෙකුහටම තෝරාගැනීමට දෙවි නිදහස් කැමැත්ත දෙනවා. බොහෝ කලකට පෙර අනාගතවක්තෘ මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට මෙසේ ප්‍රකාශ කළා: “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි [තබා ඇත]. . . . එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, . . . නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකොට, [ඔහුගේ] හඬට කීකරුවී, [ඔහුට] ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයය.” (ද්විතීය කථාව 30:19, 20, ඇල අකුරු අපේය.) දෙවිගේ අනාගතවක්තෘ යේසු කල්තියාම මෙසේ අවවාද කළා: “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:13, 14) ඇත්තේ පාරවල් දෙකයි, ඉරණම් දෙකයි. අපේ අනාගතය රඳා පවතින්නේ අපේම ක්‍රියා මතයි. දෙවිට කීකරු වීමෙන් ජීවනයත්, ඔහුට අකීකරු වීමෙන් මරණයත් අදහස් වෙනවා.—රෝම 6:23.
“සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට” දෙවි ‘අණ කරමින් සිටි.’ “මක්නිසාද [තමා] විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ.” (ක්‍රියා 17:30, 31) නෝවාගේ දවසේ මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයක් දෙවිට අකීකරු වන්න තෝරාගෙන විනාශ කරනු ලැබුවාක් මෙන්, අදදිනත් බහුතරය දෙවිගේ ආඥාවලට කීකරු වන්නේ නැහැ. එහෙත්, විනාශ වන්නේ කවුද මෙන්ම ගැළවීම අත් කරගන්නේ කවුද යන්න දෙවි දැනටමත් තීරණය කර නැහැ. ඇත්තෙන්ම, “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට” දෙවි “නොකැමැති” බව ඔහුගේ වචනය පවසයි. (2 පේතෘස් 3:9) ඉතා දුෂ්ට පුද්ගලයන්ට පවා පසුතැවිලි වී, කීකරු වෙමින් දෙවිගේ අනුග්‍රහය දිනාගැනීමට අවශ්‍ය වෙනස්කම් කළ හැකියි.—යෙසායා 1:18-20; 55:6, 7; එසකියෙල් 33:14-16; රෝම 2:4-8.
කීකරු වන අයට, දෙවි සාමදායී පාරාදීසයක සදාකල් ජීවනය පොරොන්දු වෙනවා; එය සියලු දුෂ්ටකම්වලින්, සාහසිකකම්වලින් සහ යුද්ධවලින් පවිත්‍ර වූ පොළොවක්; සාගින්න, දුක් විඳීම, අසනීප සහ මරණය තවත් නොමැති ලොවක්. (ගීතාවලිය 37:9-11; 46:9; යෙසායා 2:4; 11:6-9; 25:6-8; 35:5, 6; එළිදරව් 21:4) මළවුන්ව පවා නැවත නැඟිටුවා දෙවිට සේවය කරන්න ප්‍රස්තාවක් ලබා දේවි.—දානියෙල් 12:2; යොහන් 5:28, 29.
ගීතිකාකරු මෙසේ පවසයි: “නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ. අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි කෙළවර [අනාගතය, NW] සිඳිනු ලබන්නේය.” (ගීතාවලිය 37:37, 38) ඔබට මොන වගේ අනාගතයක් තිබේවිද? එය සම්පූර්ණයෙන්ම ඔබ මතයි රඳා පවතින්නේ. සන්තෝෂයෙන් සහ සමාදානයෙන් පිරි අනාගතයක් සහතික කරගැනීම සඳහා වැඩිදුර තොරතුරු ඔබට සැපයීමට මෙම සඟරාවේ ප්‍රකාශකයන් සතුටු වනවාට සැකයක් නැහැ.
[පාදසටහන]
a යෙහෝවා යන නාමය ශුද්ධ ලියවිල්ලේ වාර 7,000ක් ඉක්මවා දක්නට ලැබෙයි; මුරටැඹ 1993 නොවැම්බර් 1, පිටු 3-5 “ශ්‍රේෂ්ඨතම නාමයේ අභිරහස නිරවුල් කිරීම” යන ලිපිය බලන්න.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙවි තම අරමුණු ක්‍රියාත්මක කරවීමට පෙරදැනුම සම්බන්ධයෙන් තමා සතු බලය යොදාගන්නවා
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට” දෙවි “නොකැමැතිව” සිටී. 2 පේතෘස් 3:9
[7වන පිටුවේ පින්තූරය]
ආබ්‍රහම් තම පුත්‍රයා පූජා කරන්න කැමති වෙයි කියා දෙවි කල්තියාම දැනසිටියා නම්, එය අවංක පරීක්ෂණයක් වන්න තිබුණාද?