දෙවි ඔබට සැබෑ පුද්ගලයෙක්ද?
ඔබ සංවේගාත්මක ගැටලු අද්දකින විට, වහාම යාච්ඤාවෙන් දෙවි වෙතට ළඟා වෙනවාද? එසේ කරනවා නම් ඔබ සැබෑ පුද්ගලයෙකු සමඟ කතා කරමින් සිටින බව ඔබට දැනෙනවාද?
තම ස්වර්ගික පියාට යොමු දක්වමින් යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා: ‘මා එවූ තැනැත්තා සැබෑ කෙනෙක්ය.’ (යොහන් 7:28) ඔව්, යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක්; ඔහුට යාච්ඤා කිරීම හරියට, උපකාරයක් හෝ උපදෙසක් සඳහා ඉතා කිට්ටු යාළුවෙකු වෙත පිවිසෙනවා හා සමානයි. ඇත්තවශයෙන්ම, දෙවි ඇහුම්කන් දීමට නම්, පිළිගත හැකි යාච්ඤාවක් සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය අවශ්‍යතා අපගේ යාච්ඤා මගින් සපුරාලිය යුතුයි. උදාහරණයකට, ‘යාච්ඤා අසන තැනැත්තා’ වෙත ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් තුළින් අප බැගෑපත්ව ළඟා විය යුතුයි.—ගීතාවලිය 65:2; 138:6; යොහන් 14:6.
දෙවි අදෘශ්‍යමාන නිසා, ඔහු පෞද්ගලිකත්වයක් නැති කෙනෙකු ලෙස සමහරුන්ට හැඟෙන්න පුළුවන්. ඔවුන්ට දෙවි සම්බන්ධව තිබෙන්නේ අඳුරු වැටහීමක්. දෙවිගේ මවිතකර ගුණාංග ඉගෙනගෙන තිබෙන සමහර ක්‍රිස්තියානීන්ට පවා ඔහු සැබෑ පුද්ගලයෙකු වන්නේ කෙසේද කියා අගය කිරීමට අපහසු අවස්ථා තිබීමට පුළුවන්. මෙය ඔබගේ අද්දැකීම වී තිබෙනවාද? එසේනම් ඔබට යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙකු කරවීමට සැලැස්විය හැක්කේ කුමකටද?
ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන්න
ඔබ නිතිපතා ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරනවාද? ඔබේ බයිබල් අධ්‍යයන කාලපරිච්ඡේදයන් වඩාත් ගැඹුරින් සහ නිතර නිතර කරන තරමට, යෙහෝවා දෙවි ඔබට වඩාත් සැබෑ පුද්ගලයෙකු බවට පත් වෙනවා. මෙලෙස ඔබේ ඇදහිල්ල ශක්තිමත් වෙන්න යන අතර, එතුළින් ‘අදෘශ්‍යමාන තැනැත්තා දැකීමට’ හැකි කරවනවා. (හෙබ්‍රෙව් 11:6, 27) අනිත් අතට, ඉඳහිට සිදු වන නැතිනම් වරින් වර සිදු වන බයිබලය අධ්‍යයනයට ඔබේ ඇදහිල්ලට සැලකිය යුතු බලපෑමක් කිරීමට තිබෙන ඉඩ කඩ අඩුයි.
මෙය නිදර්ශනය කිරීමට, සිතන්න ඔබේ වෛද්‍යවරයා දිගටම පවතින දද නැති කිරීමට යම්කිසි ආලේපයක් දවසට දෙවතාවක් ගෑම සඳහා ඔබට උපදෙස් දුන්නාය කියා. ඔබ එම ආලේපය මාසයට වතාවක් හෝ දෙවතාවක් ගෑමෙන් ඔබේ දද නැති වී යයිද? එය සිතීමට බැරි දෙයක්. ඒ හා සමානව, ගීතිකාකරු අපගේ ආත්මික සෞඛ්‍යය සඳහා ‘බෙහෙත් වට්ටෝරුවක්’ දෙනවා. දෙවිගේ වචනය “සිහින් හඬින් රෑ දාවල්” කියවන්න. (ගීතාවලිය 1:1, 2, NW) මෙයින් එකතු වන ප්‍රයෝජන භුක්ති විඳීමට නම් නියමිත “බෙහෙත් වට්ටෝරුව” අනුගමනය කළ යුතුයි. එනම් ක්‍රිස්තියානි ප්රකාශනවල උපකාරය ඇතුව දිනපතා දෙවිගේ වචනය සලකා බැලීම අවශ්‍ය වෙනවා.—යෝෂුවා 1:8.
ඔබේ අධ්‍යයන කාලපරිච්ඡේදයන් වඩාත් ඇදහිල්ල ශක්තිමත් වන එකක් කරගන්න ඔබ කැමතිද? මෙහි එක යෝජනාවක් තිබෙනවා: හරස් සටහන් අඩංගු ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) හෝ වෙනත් බයිබලයක පරිච්ඡේදයක් කියවීමෙන් පසුව, සිත්ගන්නා ඡේදයක් තෝරාගෙන සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පදයේ හරස් සටහන්වල යොමු දැක්වීම් බලන්න. මෙය ඔබේ අධ්‍යයනය වඩාත් සඵල කරන අතර, බයිබලයේ තිබෙන අභ්‍යන්තර එකඟතාව ඔබේ සිතට කාවදින බවට සැකයක් නැහැ. ප්‍රතිඵලයක් වශයෙන් එහි කර්තෘ එනම් යෙහෝවා දෙවි ඔබට වඩාත් සැබෑ පුද්ගලයෙකු බවට මෙය පත් කරවයි.
හරස් සටහන් ප්‍රයෝජනයට ගැනීමෙන්, ඔබව බයිබල් අනාවැකි සහ ඒවායේ ඉෂ්ට වීම සම්බන්ධව හුරු කරවන්න පුළුවන්. ඇතැම්විට ඔබ බබිලෝනිවරුන් විසින් සිදු කළ යෙරුසලම් විනාශය වගේ ප්‍රධාන බයිබල් අනාවැකි දැනගෙන සිටිනවා වන්න පුළුවන්. නමුත්, එකිනෙකට සම්බන්ධ අනාවැකි සහ ඒවායේ ඉටුවීම්වලින් යුත් ජාලයක් බයිබලයේ අන්තර්ගතයි. මේවායින් සමහරක් සුප්‍රකට ඒවා නොවේ.
උදාහරණයකට යෙරිකෝව නැවත ගොඩනැඟීම නිසා දුන් දඬුවම ගැන අනාවැකි කියවන්න. පසුව එහි ඉෂ්ට වීම සලකා බලන්න. යෝෂුවා 6:26 මෙසේ පවසනවා: “ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු [යෙහෝවා] ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.” ඉෂ්ට වීම සිදු වුණේ අවුරුදු 500ට පමණ පසුවයි. මේ සඳහා 1 රාජාවලිය 16:34 කියවමු. “[ආහබ් රජගේ] කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. [යෙහෝවා] නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවූ [ඔහුගේ] වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබිරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.”a එවැනි අනාවැකි අනුභාවයෙන් පැවසිය හැක්කේ සහ ඒවා ඉටුවීමට සැලැස්විය හැක්කේ සැබෑ දෙවිකෙනෙකුට පමණයි.
ඔබ බයිබලය කියවන අතරතුර, යම් කාරණයක් ගැන ඔබ කුතුහලයට පත් වෙන්න පුළුවන්. උදාහරණයකට, අනාවැකියක් හා එහි ඉෂ්ට වීම අතර කොපමණ අවුරුදු ගණනක් ගත වී තිබුණද යන්න ගැන ඔබ කල්පනා කරන්න පුළුවන්. නිකම්ම වෙනත් කෙනෙකුගෙන් අසනවා වෙනුවට, ඔබම එය සොයා දැනගැනීමට උත්සුක නොවන්නේ ඇයි? සිතියම් සහ බයිබල් අධ්‍යයන ආධාරකයන් උපයෝගි කරගෙන, හරියට නිධන් සිතියමක් වටහාගන්න උත්සාහ කරනවා වගේ කඩිසරව, පියවරින් පියවර පිළිතුරු අනාවරණය කරගන්න. (හිතෝපදේශ 2:4, 5) පිළිතුරු සෙවීම ඔබේ ඇදහිල්ලට ගැඹුරු බලපෑමක් කරන අතර, ඔබට යෙහෝවා දෙවි වඩාත් සැබෑ පුද්ගලයෙකු බවට පත් වෙනවා.
හැඟීම්බරව සහ නිතිපතා යාච්ඤා කරන්න
යාච්ඤාවේ සහ ඇදහිල්ලේ තිබෙන වැදගත්කම නොසලකා හරින්න එපා. යේසුගේ ගෝලයන් මෙම ඍජු ඉල්ලීම කළා: ‘අපේ ඇදහිල්ල වැඩි කරන්න.’ (ලූක් 17:5) ඔබට යෙහෝවා සැබෑ පුද්ගලයෙකු ලෙස හැඟෙන්නේ නැතිනම්, තව ඇදහිල්ල සඳහා තිබෙන ඔබේ අවශ්‍යතාව ගැන යාච්ඤා නොකරන්නේ මන්ද? ඔබට ඔහුව සැබෑ පුද්ගලයෙකු කරගැනීම සඳහා නිසැකබවකින් යුතුව ඔබේ ස්වර්ගික පියාගෙන් උපකාරය ඉල්ලන්න.
ඔබේ මනසේ යම් ප්‍රශ්නයක් වද දෙමින් තිබෙනවා නම්, ඔබේ ස්වර්ගික මිත්‍රයාට හෘදයාංගම ආකාරයකින් ඔබේම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය කාලය ගන්න. යේසු මරණයට ළඟා වෙමින් සිටි විට, ඔහු බොහෝ හැඟීම්බරව යාච්ඤා කළා. මහජන ප්‍රදර්ශනය සඳහා කියන දීර්ඝ යාච්ඤාවන් ඇතුළත් ආගමික ව්‍යවහාරයන් ඔහු හෙළා දැක්කත්, ඔහු ප්‍රේරිතයන් 12දෙනා තෝරාගැනීමට ප්‍රථම සම්පූර්ණ රාත්‍රියක්ම හුදෙකලා යාච්ඤාවේ ගත කළා. (මාර්ක් 12:38-40; ලූක් 6:12-16) ප්‍රොපේත සාමුවෙල්ගේ මව බවට පත් වූ හන්නාගෙනුත් අපට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. පිරිමි දරුවෙකු සඳහා මහත් ආශාවකින් “ඈ [යෙහෝවා] ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා” කළා.—1 සාමුවෙල් 1:12.
මේ සියල්ලෙන්ම ගත හැකි මූලික පාඩම කුමක්ද? ඔබේ යාච්ඤාවලට පිළිතුරු ලබන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම්, ඔබ මහත් ඕනෑකමකින්, හැඟීම්බරව, නොකඩවාම, ඒ වගේම දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ යුතුයි. (ලූක් 22:44; රෝම 12:12; 1 තෙසලෝනික 5:17; 1 යොහන් 5:13-15) මෙය, දෙවි සැබෑ පුද්ගලයෙකු කරගැනීමට ඔබට උපකාර වෙයි.
මැවිල්ල නිරීක්ෂණය කරන්න
චිත්‍ර ශිල්පියෙකුගේ පෞද්ගලිකත්වය ඔහුගේ සිතුවම් මගින් කියාපාන්න පුළුවන්. ඒ හා සමානව, විශ්වයේ නිර්මාණකරු සහ මැවුම්කරු වන යෙහෝවාගේ ‘අදෘශ්‍යමාන ගුණාංග’ මැවිල්ල තුළින් පැහැදිලිව පෙනෙනවා. (රෝම 1:20) අපි යෙහෝවාගේ හස්තකර්මාන්ත පරෙස්සමින් නිරීක්ෂණය කරන විට, අප ඔහුගේ පෞද්ගලිකත්වය ගැන වඩාත් හොඳ වටහාගැනීමක් අත් කරගන්නවා. මෙලෙස ඔහු, අපට වඩාත් සැබෑ පුද්ගලයෙකු බවට පත් වෙනවා.
ඔබ මතුපිටින් බලනවාට වඩා යෙහෝවා මවා තිබෙන දේවල් දෙස ගැඹුරින් නිරීක්ෂණය කළොත්, ඔහුගේ ගුණාංගවල තිබෙන සැබෑකම ඔබට ගැඹුරින් කාවදින්න පුළුවන්. උදාහරණයකට, කුරුල්ලන්ගේ සංක්‍රමණය කිරීමේ හැකියාව පිළිබඳ තොරතුරු යෙහෝවාගේ ප්‍රඥාව සම්බන්ධයෙන් ඔබේ අගය කිරීම තවත් වැඩි කරන්න පුළුවන්. ඔබ විශ්වය ගැන කියවද්දී, එහි එක් කෙළවරක සිට අනිත් කෙළවරට දුර ආලෝක වර්ෂ 1,00,000ක් පමණ වන කිරි සයුර, විශ්වය පුරා තිබෙන තක්සේරු කළ මන්දාකිනි බිලියන ගණනක් අතරින් එකක් පමණක් බව ඔබ ඉගෙනගනීවි. මැවුම්කරුගේ ප්‍රඥාවේ සැබෑකම එය ඔබට කාවද්දන්නේ නැද්ද?
ඇත්තවශයෙන්ම, යෙහෝවාගේ ප්‍රඥාව සැබෑ එකක්! නමුත්, එයින් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඇත්තෙන්ම, යාච්ඤාව තුළින් අප ඕනෑම කෙනෙක් ගෙන යන ප්‍රශ්නවලට කිසිසේත් ඔහුව ව්‍යාකූල කරන්න බෑ. ඔව්, මැවීම ගැන තිබෙන අල්ප දැනීමකට පවා යෙහෝවාව ඔබට සැබෑ පුද්ගලයෙකු බවට පත් කරවන්න පුළුවන්.
යෙහෝවා සමඟ ඇවිදින්න
යෙහෝවා කොතරම් සැබෑ පුද්ගලයෙකුද කියා ඔබට පෞද්ගලිකව අද්දකින්න පුළුවන්ද? ඔව්, ඔබත් විශ්වාසවන්ත කුලදෙටු නෝවා වගේ වුණොත්. ඔහු සැමවිටම යෙහෝවාට කීකරු වුණා. එය කොතරම්ද කියනවා නම් එය මෙහෙම කියන්න පුළුවන්: ‘නෝවා සැබෑ දෙවි සමඟ ඇවිද්දේය.’ (උත්පත්ති 6:9, NW) නෝවා ජීවත් වුණේ හරියට යෙහෝවා ඔහුත් සමඟම සිටියා වගෙයි. දෙවි ඔබටත් ඒ හා සමානව සැබෑ පුද්ගලයෙකු විය හැකියි.
ඔබ දෙවිත් සමඟ ඇවිදිනවා නම්, ඔබ ශුද්ධ ලියවිලිමය පොරොන්දු විශ්වාස කරන අතර ඒවාට අනුකූලව ක්‍රියා කරනවා. උදාහරණයකට, ඔබ මෙසේ පවසා තිබෙන යේසුගේ වචන විශ්වාස කරනවා: ‘පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න. මේ සියල්ලත් [ද්‍රව්‍යමය අවශ්‍යතා] ඔබට දෙනු ලබන්නේය.’ (මතෙව් 6:25-33, NW) යෙහෝවා ඔබට අවශ්‍ය දේ ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම සැමවිටම සපයන්නේ නැති බව ඇත්තයි. නමුත්, ඔබ යාච්ඤා කර පසුව උපකාරය අද්දකින විට, හරියට ඔබ ළඟින්ම සිටින කෙනෙකු වගේ ඔබට ඔහු සැබෑ පුද්ගලයෙක් වෙනවා.
යෙහෝවාත් සමඟ එවැනි කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැඟෙන්නේ, දිගටම කෙනෙක් දෙවිත් සමඟ ඇවිදීමෙනුයි. නොයෙක් ආකාරයේ පරීක්ෂා විඳදරාගෙන තිබෙන, ස්පාඤ්ඤ භාෂාව කතා කරන සාක්ෂිකාරියක් වන මාන්වේලාව සැලකිල්ලට ගන්න. ඇය මෙසේ පවසනවා: “මම කරදරයකට වැටුණු හෝ අවශ්‍යතාවක් දැනුණු ඕනෑම විටක, හිතෝපදේශ 18:10හි තිබෙන ප්‍රතිපත්තිය අදාළ කරගෙන තිබෙනවා. මම උපකාරය පතා යෙහෝවා ගාවට දුවනවා. ඔහු සැම විටකම මට ‘ශක්තිමත් බලකොටුවක්’ වී තිබෙනවා.” යෙහෝවා මත රඳා සිටීමෙන් සහ ඔහුගේ උපකාරය අද්දැකීමෙන් අවුරුදු 36කට පසුව මාන්වේලාට මෙය කියන්න පුළුවන්.
යෙහෝවාව ඔබේ විශ්වාසය කරගැනීම ඔබ ආරම්භ කළා පමණයිද? ඔහුත් සමඟ තිබෙන සම්බන්ධතාව ඔබට අවශ්‍ය මට්ටමට තවමත් පැමිණ නැතිනම් අධෛර්යය වෙන්න එපා. දෙවිත් සමඟ ඇවිදින පුද්ගලයෙක් මෙන් සෑම දිනක්ම ගත කරන්න. ඇදහිලිවන්ත ජීවන රටාවක් ඔබ ගොඩනඟාගන්නා විට, ඔබ යෙහෝවාත් සමඟ වඩාත් කිට්ටු සම්බන්ධතාවක් භුක්ති විඳින්න යනවා.—ගීතාවලිය 25:14; හිතෝපදේශ 3:26, 32.
දෙවිත් සමඟ ඇවිදිය හැකි තවත් ක්‍රමයක් නම් ඔහුගේ සේවයේ ඇලි සිටීමයි. ඔබ රාජ්‍ය දේශනා කිරීමේ ක්‍රියාකාරකමේ හවුල් වන විට, ඔබ යෙහෝවාගේ හවුල් වැඩකරුවෙක් වෙනවා. (1 කොරින්ති 3:9) මේ ගැන අවධානයෙන් සිටීම, දෙවි ඔබට ඉතා සැබෑ පුද්ගලයෙකු බවට පත් වෙන්න උපකාර කරනවා.
ගීතිකාකරු මෙසේ උනන්දු කරනවා: ‘ඔබගේ මාර්ගය යෙහෝවාට භාර දෙව; ඔහු කෙරෙහි විශ්වාසයද තබව, ඔහු එය ඉෂ්ට කරන්නේය.’ (ගීතාවලිය 37:5) ඔබට කුමනාකාරයේ කරදර, සිත්තැවුල් තිබුණත්, කිසිවිටක ඒවා යෙහෝවා පිට තැබීමට මැළි වන්න එපා. සැමවිටම උපකාරය සහ මඟ පෙන්වීම සඳහා ඔහු දෙස බලන්න. ඔබ යාච්ඤාපූර්වකව යෙහෝවා දෙවි මත රඳා සිටිනවා නම්, එමෙන්ම සැමවිටම පූර්ණ ලෙස ඔහුව විශ්වාස කරනවා නම්, ඔබට සුරක්ෂිතභාවයක් හැඟෙයි. මන්දයත් ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීම ඔහු පැහැර නොහරින බව ඔබ දන්නවා. ඔබගේ පෞද්ගලික ප්‍රශ්න ගැටලු සමඟින් යෙහෝවා වෙත ළඟා වන විට ඔබට විශ්වාසයක් තිබෙනවාද? දෙවි ඔබට සැබෑ පුද්ගලයෙකු නම්, ඔබට එසේ හැඟෙනවා.
[පාදසටහන]
a තවත් උදාහරණයක් සඳහා, යෙරොබොවම්ගේ පූජාසනය දූෂ්‍ය වීම සම්බන්ධව කලින් පැවසූ දේ ගැන බැලීමට 1 රාජාවලිය 13:1-3 කියවන්න. ඊළඟට 2 රාජාවලිය 23:16-18හි වාර්තා කර ඇති එහි ඉෂ්ට වීමට අවධානය දෙන්න.
[21වන පිටුවේ පින්තූරය]
ඔබගේ අධ්‍යයන කාලපරිච්ඡේදයන් වඩාත් ඇදහිල්ල ශක්තිමත් කරවන ඒවා කරගන්න
[22වන පිටුවේ පින්තූරය]
හැඟීම්බරව සහ නිතිපතා යාච්ඤාව සඳහා කාලය ගන්න
[23වන පිටුවේ පින්තූරය]
මැවීම තුළින් දෙවිගේ ගුණාංග විද්‍යමාන වන ආකාරය නිරීක්ෂණය කරන්න
[හිමිකම් විස්තර]
ගුමන කුරුල්ලා: U.S. Fish and Wildlife Service, Washington, D.C./Dean Biggins; තාරකා: ඡායාරූපය: Photo: Copyright IAC/RGO 1991, Dr. D. Malin et al, Isaac Newton Telescope, Roque de los Muchachos Observatory, La Palma, Canary Islands