මොන පීඩාවට මුහුණ දුන්නත් යෙහෝවා දෙවි අපිව සනසයි
“සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරි. 1:3, 4.
1, 2. පීඩාවලට මුහුණ දෙද්දී දෙවි අපිව සනසන්නේ කොහොමද? දේවවචනයේ අපිට දෙන පොරොන්දුව මොකක්ද?
“විවාහ වන අයට තම ජීවිතයේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා” කියලා 1 කොරින්ති 7:28 සඳහන් දේ ගැන තරුණ සහෝදරයෙක් කල්පනා කළා. විවාහ ජීවිතේ ගැන හොඳට අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක්ගෙන් එයා ඇහුවා “මෙතන කතා කරන දුෂ්කරතා මොනවද? මං කවදා හරි බැන්දොත් ඒවාට මුහුණ දෙන්නේ කොහොමද” කියලා. ඒකට උත්තර දෙන්න කලින් ඒ වැඩිමහල්ලා 2 කොරින්ති 1:3, 4 තියෙන මේ දේ ගැන හිතන්න කියලා එයාට කිව්වා. “සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”
2 යෙහෝවා දෙවි අපේ ආදරණීය තාත්තා නිසා අපි දුෂ්කරතා අද්දකිද්දී ඔහු අපිව සනසනවා කියලා අපි දන්නවා. යෙහෝවා දෙවි ඔයාට හයියක් වුණ, ඔහුගේ වචනය මාර්ගයෙන් ඔයාට මඟ පෙන්වපු අවස්ථා ඕනෙ තරම් ඇති. ඔහු මොන දේ කළත් නිතරම හිතන්නේ අපේ යහපත ගැනයි. අතීත සිද්ධීන්වලින් ඒක හොඳින්ම ඔප්පු වෙනවා.—යෙරෙමියා 29:11, 12 කියවන්න.
3. මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
3 යම් ප්‍රශ්නයක්, පීඩාවක් ඇති වෙන්න හේතුව අපි දන්නවා නම් ඒක විඳදරාගන්න අපිට පහසුයි. ඒ නිසා දැන් අපි බලමු පවුල් ජීවිතේදී දුෂ්කරතා ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා. ඒ වගේම අතීතයේ හිටපු සහ අද ඉන්න සමහර අයගේ ආදර්ශ සහනයක් ලබාගන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.
විවාහ ජීවිතේ අද්දකින ප්‍රශ්න
4, 5. විවාහ වෙලා ඉන්න අය අද්දකින්න ඉඩ තියෙන සමහර දුෂ්කරතා මොනවද?
4 යෙහෝවා දෙවි ආදම්ට ඒවව භාර දෙද්දී මෙහෙම කිව්වා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්. 2:24) ආදම් සහ ඒව විවාහ ජීවිතේ පටන්ගත්තේ පරිපූර්ණ අය හැටියට වුණත් අද විවාහ ජීවිතේට ඇතුල් වෙන හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා විවාහ ජීවිතේදී විවිධ දුෂ්කරතා අද්දකින්න වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. (රෝම 3:23) උදාහරණෙකට විවාහ වෙන්න කලින් ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් කීකරු වුණේ එයාගේ දෙමාපියන්ට. ඒත් බයිබලේ කියන්නේ විවාහ වුණාට පස්සේ එයාගේ හිස සැමියා කියලයි. (1 කොරි. 11:3) ඒ කියන්නේ එයා දැන් දේවල් කරන්න ඕනෙ සැමියා ගන්න තීරණවලට එකඟව මිසක් දෙමාපියන් කියන දේවලට එකඟව නෙමෙයි. එහෙම කරන එක බිරිඳකට මුලින් අමාරු වෙන්න පුළුවන්. විවාහ වුණ අලුත පවුල වෙනුවෙන් තීරණ ගන්න එක සැමියෙක්ටත් ලේසි නැහැ. සැමියාගේ, බිරිඳගේ පවුලේ අයත් එක්ක ඇති වෙන වරදවා වටහාගැනීම් නිසාත් විවාහ ජීවිතේ දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්.
5 බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා යුවළක් දැනගත්තම ඒක සතුටක් වගේම ඉදිරියේදී එයාලට එන අභියෝග ගැන හිතද්දී බයකුත් හිතේ ඇති වෙනවා. බබා හම්බ වෙන්න ඉන්න කාලේ ගැන, කරදරයක් නැතුව නිරෝගී දරුවෙක් බිහි කරන්න පුළුවන් වෙයිද කියන දේ ගැන ඔළුවට දැනෙන්නේ ලොකු බරක්. එයාලා දන්නවා දැන් වියහියදම් වැඩි වෙනවා කියලා. දරුවා ඉපදුණාට පස්සෙත් යුවළකට හුඟක් වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. බිරිඳට වැඩි කාලයක් දරුවා එක්ක ගත කරන්න වෙනවා. ඒ නිසා කලින් දෙන්නා එකට ගත කරපු කාලේ අඩු වෙයි. සැමියාගේ වගකීමුත් තව වැඩි වෙනවා. දැන් එයාට සිද්ධ වෙනවා බිරිඳට විතරක් නෙමෙයි දරුවාට අවශ්‍ය දේවලුත් සපයන්න.
6-8. දරු සුරතල් බලන්න තියෙන ආසාව ඉටු නොවෙද්දී යුවළකට කොහොම හැඟෙන්න පුළුවන්ද?
6 දරු සුරතල් බලන්න ආසාවෙන් හිටියත් දරුවන් නැති එකත් සමහර යුවළයන්ට ලොකු දුකක්. ඒක විවාහ ජීවිතේ ඇති වෙන්න පුළුවන් දුෂ්කරතාවලින් එකක්. අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියට ඒක ඉටු වෙන්නේ නැති වෙද්දී බිරිඳකට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. (හිතෝ. 13:12) යාකොබ්ගේ බිරිඳ වුණ රාකෙල්ට දරුවන් හිටියේ නැති නිසා එයා මානසිකව වැටුණා. මොකද ඒ කාලේ දරුවන් බිහි කරන එක සැලකුවේ වැදගත් දෙයක් විදිහට. (උත්. 30:1, 2) අදත් සමහර සංස්කෘතීන්වලට අයිති අය විශ්වාස කරනවා විවාහක යුවළයන්ට හුඟක් දරුවන් ඉන්න ඕනෙ කියලා. ඒ වගේ රටවල සේවය කරන මිෂනාරීන්ගෙන් හුඟදෙනෙක් නිතරම වගේ “ඔයාලට තාමත් දරුවන් නැත්තේ ඇයි” කියලා අහන්නේ ඒ නිසයි. එයාලා දරුවන් නැති හේතුව කොහොම පැහැදිලි කළත් සමහරු අන්තිමට මෙහෙම කියනවා. “අපි ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරන්නම්.”
7 මේ උදාහරණේ බලන්න. එංගලන්තයේ ජීවත් වුණ සහෝදරියක් දරු සුරතල් බලන්න හිටියේ පුදුම ආසාවකින්. ඒත් පාරාදීසය එන කල් එයාට දරුවෙක් හදන්න බැහැ කියලා තේරුණාම එයා හොඳටම කලකිරුණා. ඊටපස්සේ එයායි, එයාගේ සැමියායි තීරණය කළා දරුවෙක්ව අරන් හදාගන්න. ඒත් එයාට දැනුණ දුක කාලයක් යන කල්ම තිබුණා. එයා මෙහෙම කිව්වා. “මගේම දරුවෙක්ව ඇතිදැඩි කරද්දී ඇති වෙන හැඟීමම දරුවෙක් අරන් හදාගද්දී ඇති වෙන්නේ නැහැ කියලා මං දැනං හිටියා.”
8 ඇත්ත, “දරුවන් බිහි කර මව් පදවිය ලබාගැනීම ස්ත්‍රියකට ආරක්ෂාවක්” කියලා බයිබලේ කියනවා. (1 තිමෝ. 2:15) ඒත් ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක්ට දරුවන් ඉන්නවා නම් එයාට “ආරක්ෂාව” නැත්නම් ගැලවීම ලැබෙනවා කියන එකද? නැහැ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට දරුවාගේ වැඩ, ගෙදරදොරේ වැඩ තියෙන නිසා එයා හුඟක් කාර්යබහුලයි. අනිත් අයගේ කාරණාවලට ඇඟිලි ගන්න, ඕපාදූප කතා කරන්න එයාට වෙලාවක් නැහැ. (1 තිමෝ. 5:13) ඒක එයාට ආරක්ෂාවක්. ඒත් එහෙමයි කියලා පවුල් ජීවිතේ ඇති වෙන දුෂ්කරතාවලින් එයා නිදහස් වෙන්නේ නැහැ.
9. විවාහ වෙලා ඉන්න අය මුහුණ දෙන වෙනත් දුෂ්කරතා මොනවද?
9 තමන්ගේ සැමියාගේ, බිරිඳගේ මරණය විවාහ වෙලා ඉන්න අය මුහුණ දෙන තවත් දුෂ්කරතාවක්. තමන්ට ඒ වගේ දේකට කවදාවත් මුහුණ දෙන්න වෙයි කියලා හිතුවේ නැති වුණත් හුඟදෙනෙක් ඒ වේදනාකාරී අද්දැකීමට මුහුණ දීලා තියෙනවා. ඒත් දෙවිගේ සේවකයන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මිය ගිය අයට ආපහු ජීවිතේ ලැබෙනවා කියලා. (යොහ. 5:28, 29) ඒ බලාපොරොත්තුව ඒ අයට කොයි තරම් සහනයක්ද! දුෂ්කරතා අද්දකිද්දී අපිට සහනයක් ලබා දෙන හුඟක් පොරොන්දු බයිබලේ සඳහන් වෙනවා. ඒ පොරොන්දු අපේ ආදරණීය තාත්තා අපිව සනසවන තවත් විදිහක්. යෙහෝවා දෙවි ලබා දෙන සහනය අද්දැක්ක, ඒකෙන් ප්‍රයෝජන ලබපු කීපදෙනෙක් ගැන දැන් අපි බලමු.
දුෂ්කරතා අද්දකිද්දී ලැබෙන සහනය
10. හන්නා සහනය අද්දැක්කේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
10 අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියත් හන්නාට දරුවෝ හිටියේ නැහැ. ඒත් එයාගේ සැමියාගේ අනිත් බිරිඳට හුඟක් දරුවෝ හිටියා. (1 සාමුවෙල් 1:4-7 කියවන්න.) දරුවෝ නැති එක ගැන කියලා එයා නිතරම හන්නාට විහිළු කළා. ඒකෙන් හන්නාගේ දුක තවත් වැඩි වුණා. ඒ දුෂ්කර කාලෙදී හන්නා සහනය පැතුවේ යෙහෝවා දෙවිගෙන්. එයා ශුද්ධ කූඩාරමට ගිහින් එයාගේ හිතේ තිබුණ දුක පැය ගාණක් තිස්සේ දෙවිට කිව්වා. තමන්ට පිරිමි දරුවෙක් ලබා දෙන්න කියලා දෙවිට කන්නලව් කළා. යාච්ඤා කළාට පස්සේ එයාට කොච්චර සැනසීමක් දැනුණද කියනවා නම් තවදුරටත් ‘එයාගේ මුහුණ මලානිකව තිබුණේ නැහැ.’ (1 සාමු. 1:12, 17, 18) දරුවෙක්ව ලබා දීලා නැත්නම් වෙනත් විදිහකින් යෙහෝවා දෙවි තමන්ට සැනසීමක් වෙයි කියන විශ්වාසය හන්නාට තිබුණා.
11. යාච්ඤාව අපිට සහනයක් වෙන්නේ කොහොමද?
11 පාපය උරුම වෙලා තියෙන තාක් කල්, මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන තාක් කල් අපි දුෂ්කරතා අද්දකියි. (1 යොහ. 5:19) ඒත් අපි අසරණයි කියලා හිතන්න එපා. හන්නා වගේ “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාට යාච්ඤා කරන්න අපිටත් පුළුවන්. එයාට හැඟුණ, දැනුණ හැම දේම එයා දෙවිට කිව්වා. උදව් ඉල්ලලා දෙවිට කන්නලව් කළා. අපිත් දුෂ්කරතාවලට මුහුණ දෙද්දී ප්‍රශ්නේ ගැන දෙවිට නිකම්ම කියනවා වෙනුවට ඒකෙන් ගොඩ එන්න උදව් ඉල්ලලා මහත් ඕනෑකමින් යාච්ඤා කරන්න ඕනේ. හැඟෙන හැම දේම දෙවිට කියන්න ඕනේ.—ෆිලි. 4:6, 7.
12. දුෂ්කරතා අද්දැක්කත් ආනා සතුටින් හිටියේ කොහොමද?
12 දරුවෝ නැති නිසා නැත්නම් ආදරේ කරපු කෙනෙක්ගේ මරණය නිසා ලොකු වේදනාවකින් ඉන්න කෙනෙක්ට වුණත් සහනය අද්දකින්න පුළුවන්. යේසුස්ගේ කාලේ හිටපු ආනා වැන්දඹුවක් වුණේ බැඳලා අවුරුදු 7කින්. පේන විදිහට එයාට දරුවෝ හිටියෙත් නැහැ. ඒ දේවලට මුහුණ දෙන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා ‘එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට ආවා.’ (ලූක් 2:37) වයස 84ක් වුණත් එයා ඒක අතපසු කළේ නැහැ. ඒ දේවල් නිසා හිතට සහනයක් ලබාගන්නත් දිගටම සතුටින් දෙවිට සේවය කරන්නත් එයාට පුළුවන් වුණා.
13. හොඳ යාළුවන් අපිට සහනයක් වෙන්නේ කොහොමද?
13 අපිට සහනයක් වෙන්න සභාවේ ඉන්න හොඳ යාළුවන්ටත් පුළුවන්. (හිතෝ. 18:24) පෝලාගේ අද්දැකීම බලන්න. එයාට අවුරුදු 5දී එයාගේ අම්මා යෙහෝවා දෙවිව අත්හැරිය නිසා පෝලා හිටියේ ලොකු දුකකින්. ඒ දුක දරාගන්න එක පෝලාට ලේසි වුණේ නැහැ. ඔය කාලෙදී තමයි එයාගේ සභාවේ පුරෝගාමි සේවය කරපු සහෝදරියක් වුණ ඈන් එයාට කිට්ටු වුණේ. එයා පෝලාත් එක්ක බයිබල් පාඩමකුත් පටන්ගත්තා. පෝලා මෙහෙම කියනවා. “ඈන් මගේ පවුලේ කෙනෙක් නෙමෙයි. ඒත් එයා මට පෙන්නපු ආදරේ, සැලකිල්ල මට ලොකු හයියක් වුණා. දිගටම දෙවිට සේවය කරන්න ඒක මට උදව් වුණා.” කාලයක් යද්දී පෝලාගේ අම්මා ආයෙත් දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒකත් පෝලාට ලොකු සතුටක්. පෝලාට හොඳ යාළුවෙක් වෙලා එයාට සහනයක් වෙන්න පුළුවන් වුණ එක ගැන ඈන් ඉන්නෙත් සතුටින්.
14. අනිත් අයට සහනයක් වෙද්දී අපි අද්දකින ආශීර්වාද මොනවද?
14 අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරද්දී අපිට අපේ ප්‍රශ්න අමතක වෙනවා. වෙහෙස නොබලා ශුභාරංචිය දේශනා කරන කාර්යයට හවුල් වෙන විවාහක, අවිවාහක සහෝදරියන් හුඟදෙනෙක් ඒක ඇත්තක් කියලා අද්දැකලා තියෙනවා. එයාලා ඒ සේවයෙන් ලබන්නේ ලොකු සතුටක්. මොකද එයාලා දන්නවා ඒක තමයි දෙවිගේ කැමැත්ත කියලා. ඒ වගේම ඒ සේවයේදී එයාලා හවුලේ වැඩ කරන්නේ යෙහෝවා දෙවි එක්ක කියලත් එයාලා දන්නවා. අපි හැමෝටම පුළුවන් අනිත් අයට ශුභාරංචිය දේශනා කරලා මිනිසුන් ගැන අපිට තියෙන ආදරේ, සැලකිල්ල පෙන්නන්න. ඒ වගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් යහපත් දේවල් කරද්දී සභාවේ එකමුතුකමට දායක වෙන්නත් අපිට පුළුවන්. (ෆිලි. 2:4) පාවුල් අපිට හොඳ ආදර්ශයක්. “කිරි දෙන මවක් ඇගේම දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නවා” වගේ එයා සහෝදරයන් ගැන සැලකිලිමත් වුණා. තාත්තා කෙනෙක් වගේ එයා සහෝදරයන්ව දිරිගැන්නුවා. එයාලට සහනයක් වුණා.—1 තෙසලෝනික 2:7, 11, 12 කියවන්න.
පවුලේ අයට සහනයක් වෙන්න
15. යෙහෝවා දෙවි ගැන දරුවන්ට උගන්වන වගකීම තියෙන්නේ කාටද?
15 සභාවේ දරුවන් ඉන්න පවුල්වලට සහනයක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? සමහරවිට ළඟදී සත්‍යයට ආපු අය එයාලගේ දරුවන්ට දෙවි ගැන කියලා දෙන්න ඔයාගේ උදව් ඉල්ලයි. නැත්නම් දරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න කියයි. බයිබලේ කියන්නේ දරුවන්ට දෙවි ගැන උගන්වන, එයාලව පුහුණු කරන වගකීම තියෙන්නේ දෙමාපියන්ට කියලයි. (හිතෝ. 23:22; එෆී. 6:1-4) ඒ දේ කරන්න සමහර අවස්ථාවලදී අනිත් අයගේ උදව් ඕන වෙයි. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ වගකීමෙන් දෙමාපියන් නිදහස් කියලා. දරුවන්ව හොඳින් තේරුම්ගන්න නම් දෙමාපියන් එයාලා එක්ක කතාබහ කරන එක, එයාලට දෙවි ගැන උගන්වන එක හරිම වැදගත්.
16. දරුවන්ට උදව් කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?
16 හිතන්න, සභාවේ කෙනෙක් ඔයාට කියනවා එයාගේ දරුවා එක්ක බයිබල් පාඩමක් කරන්න කියලා. ඒ පාඩම කළාට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දරුවා ගැන දෙමාපියන්ට තියෙන වගකීම ඔයාගේ අතට ගන්න පුළුවන් කියලා. සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙයි දෙමාපියන් සත්‍යයේ නැති දරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න. කොහොමවුණත් වෙන කෙනෙක්ගේ දරුවෙක් එක්ක පාඩමක් කරද්දී දරුවාගේ නිවසේම, එයාගේ දෙමාපියන් හරි අද්දැකීම් තියෙන සභාවේ වෙනත් කෙනෙක් හරි ඉන්න වෙලාවක ඒක කරන එක තමයි ඥානවන්තම දේ. එහෙම නැත්නම් වටපිටාවේ කට්ටිය ඉන්න තැනක පාඩම කරන්න. ඔයා එහෙම කරනවා නම් කාටවත් ඒ දිහා වැරදි විදිහට බලන්න ඔයා ඉඩක් තියන්නේ නැහැ. කාලයක් යද්දී දෙමාපියන්ම ඒ පාඩම කරන්න භාරගනියි.
17. පවුලේ අනිත් අයට සහනයක් වෙන්න දරුවන්ට පුළුවන් කොහොමද?
17 යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන දරුවන්ට පුළුවන් පවුලේ අයට සහනයක්, දිරියක් වෙන්න. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි දෙමාපියන්ට ගෞරවයෙන් සලකන එක. පවුලේ බර දරන්න දෙමාපියන්ට උදව් වෙන එකත් තව විදිහක්. ඒ වගේම පවුලේ අයට දෙවිගෙන් ඈත් නොවී, විශ්වාසවන්තව ඉන්න විවිධ පැතිවලින් උදව් කරන්නත් දරුවන්ට පුළුවන්. නෝවාගේ තාත්තා නෝවා ගැන මේ වගේ දෙයක් කිව්වා. “යෙහෝවා දෙවි භූමියට ශාප කළ නිසා අපි අද වන තුරුත් දුක් මහන්සි වෙලා වැඩ කරනවා. සමහරවිට මේ දරුවාගෙන්වත් අපිට සහනයක් ලැබේවි.” භූමියට කරපු ශාපය දෙවි ජලගැල්මෙන් පස්සේ අයින් කළාම එයා කියපු දේ ඉටු වුණා. (උත්. 5:29; 8:21) පවුලේ අයට ජලගැල්මෙන් බේරෙන්න උදව් කරන්න නෝවාට පුළුවන් වුණේ එයා විශ්වාසවන්තව හිටපු නිසයි. ඒ වගේ මේ කාලේ අද්දකින පීඩා දරාගන්නත් මහත් පීඩාවෙන් බේරෙන්නත් පවුලේ අයට උදව් කරන්න දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන දරුවන්ට පුළුවන්.
18. මොන දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණත් ඒවා විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවද?
18 යාච්ඤා කරන එකෙන්, බයිබලේ තියෙන ආදර්ශ ගැන හොඳින් කල්පනා කරන එකෙන්, සහෝදර සහෝදරියන්ව කිට්ටුවෙන් ඇසුරු කරන එකෙන් දෙවිගේ සේවකයන් ලබන්නේ පුදුමාකාර සැනසීමක්. (ගීතාවලිය 145:18, 19 කියවන්න.) ඕනෑම වෙලාවක අපිව සනසන්න යෙහෝවා දෙවි සූදානමින් ඉන්නවා කියලා අපිට නිසැකයි. ඒ නිසා මොන දුෂ්කරතාවට මුහුණ දෙන්න වුණත් ඒක විඳදරාගන්න ඔහු අපිට උදව් කරනවා කියන දේ ගැන අපිට කිසිම සැකයක් නැහැ.