‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
පෙබරවාරි 3-9
දේවවචනය නිධානයක් | උත්පත්ති 12-14
“අපි හැමෝටම බලපාන ගිවිසුමක්”
it-1-E 522 4¶
ගිවිසුම
ආබ්‍රහම් එක්ක දෙවියන් ඇති කරපු ගිවිසුම. යෙහෝවා දෙවියන් මෙසපොතේමියාවේ තිබුණු කල්දිවරුන්ගේ දේශය වන ඌර්වල ජීවත් වුණු ආබ්‍රම්ට (ආබ්‍රහම්ට) කතා කරලා කිව්වා ඔහු පෙන්වන දේශයට යන්න කියලා. (ක්‍රියා 7:2, 3; උත් 11:31; 12:1-3) පේන විදිහට ආබ්‍රහම් එක්ක යෙහෝවා දෙවියන් ඇති කරගත්ත ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ එයා කානාන් දේශයට යන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ වුණු දවසේදීයි. දෙවියන් නීතිය මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරු එක්ක ගිවිසුමකට ඇතුළත් වුණේ ඊට අවුරුදු 430කට පස්සෙයි. (ගලා 3:17) ඒ තොරතුරු පැහැදිලිව තේරුම්ගන්න නික්මයාම 12:40, 41 තියෙන විස්තර අපිට උදව් වෙනවා. “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ නික්මයාම 12:40, 41 (LXX) සඳහන් වෙනවා ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන් “අවුරුදු හාරසිය තිහ අවසන් වූ දවසේදී” ඊජිප්තුවෙන් පිටත්ව ගියා කියලා. ඒ වගේම ඊශ්‍රායෙල්වරු “අන් දේශවල” ජීවත් වුණු මුළු කාලය අවුරුදු 430ක් වුණා කියලත් ඒ පදයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුව ඇතුළුව කානාන් දේශයේ අවුරුදු 430ක් ජීවත් වෙලා තිබුණා කියන එකයි. දෙවියන් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවරුන් අතින් බේරගත්ත පාස්කු දවසේදී ඒ කියන්නේ ක්‍රි.පූ. 1513 නීසාන් 14වෙනිදා තමයි ඒ අවුරුදු 430 අවසන් වුණේ. (නික් 12:2, 6, 7) එහෙනම් ආබ්‍රහම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වුණේ ක්‍රි.පූ. 1943 නීසාන් 14වෙනිදා කියලා හිතන්න පුළුවන්. පේන විදිහට ඒ දවසේදීම තමයි දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ. ආබ්‍රහම් කානාන් දේශයට ගියාට පස්සෙත් ෂීකෙම් කියන ස්ථානයේදී දෙවියන් ආයෙත් කතා කරලා “මම ඔබෙන් පැවතෙන්නන්ට මේ දේශය දෙන්නෙමි” කියලා පොරොන්දු වුණා. දෙවියන් කියපු ඒ දෙයින් ඇඟෙව්වේ මොකක්ද? ඒ කියපු දෙයින් ඔහු ආබ්‍රහම් එක්ක ඇති කරපු ගිවිසුමයි, ඒදන් උයනේදී දීපු පොරොන්දුවයි අතර සම්බන්ධයක් තිබුණා කියලත් ස්ත්‍රියගෙන් “පැවතෙන තැනැත්තා” මනුෂ්‍ය පෙළපතකින් පැමිණෙනවා කියලත් ආබ්‍රහම් තේරුම්ගන්න ඇති කියලා හිතන්න පුළුවන්. (උත් 12:4-7) යෙහෝවා දෙවියන් ඒ ගිවිසුමට ඇතුළත් තවත් කාරණා පස්සේ ආබ්‍රහම්ට හෙළි කළා කියලා උත්පත්ති 13:14-17; 15:18; 17:2-8, 19; 22:15-18 කියවද්දී පැහැදිලි වෙනවා.
w89-E 7/1 3 4¶
ආබ්‍රහම් ගැන ඔයා දැනගන්න එක වැදගත් වෙන්නේ ඇයි?
යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට පුදුම හිතෙන දෙයක් කියනවා. ඔහු පොරොන්දු වෙනවා ආබ්‍රහම් මාර්ගයෙන් ‘පොළොවේ සියලු ජාතීන්’ ආශීර්වාද ලබාගන්න යනවා කියලා. දෙවියන් අඩුම තරමින් ආයෙත් දෙවතාවක්ම ඒ දේ ආබ්‍රහම්ට පොරොන්දු වුණා. (උත්පත්ති 18:18; 22:18) ආබ්‍රහම්ගේ කාලයේ ඉඳන් මේ දක්වා ජීවත් වුණු සමහර ජාතීන් දැන් නැති වෙලා ගිහින්. ඒ නිසා තමන් දුන්නු පොරොන්දුව ඉටු කරන්න නැති වෙලා ගිය ඒ විවිධ ජාතීන්ට අයත් සමහර අයව පවා දෙවියන් නැවත නැඟිටුවනවා. නැවත නැඟිටීමෙන් පස්සේ ඒ අයගෙන් වැඩි පිරිසකට හුඟක් ආශීර්වාද අද්දකින්න ලැබෙයි. මොකද ඒ වෙද්දී පොළොව ඒදන් උයන වගේ ලස්සන පාරාදීසයක් වෙලා තියෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම සදාකල් ජීවත් වීමේ ආශීර්වාදය අත් කරගන්නේ කොහොමද කියලත් දෙවියන් ඒ අයට කියලා දෙන්න යනවා.—උත්පත්ති 2:8, 9, 15-17; 3:17-23.
it-2-E 213 3¶
නීතිය
අතීතයේදී ඉඩම් හිමිකරුවෙක් තමන්ට අයිති ඉඩමක් තව කෙනෙක්ට පවරන්න කලින් ඒ කෙනාව ඉඩම පැහැදිලිව පේන තැනකට එක්කන් ගිහින් ඉඩමේ මායිම් පෙන්නුවා කියලත් ඉඩම නීත්‍යනුකූලව භාරගන්නවා කියලා පෙන්වන්න ඒ කෙනා “මට පේනවා” කියලා සඳහන් කළා කියලත් සමහර විශාරදයන් කියනවා. එයාලා ඒ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ සමහර ඓතිහාසික සාක්ෂි පදනම් කරගෙනයි. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කානාන් දේශය දෙන්න පොරොන්දු වුණාට පස්සේ ඔහු ආබ්‍රහම්ට ඒ දේශය පෙන්වලා හතර දිශාවටම හැරිලා ඒ දිහා බලන්න කියලා කිව්වා. ආබ්‍රහම් ඒ වෙලාවේ “මට පේනවා” කියලා කිව්වේ නැහැ. සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ දෙවියන් ඒ දේශය පස්සේ කාලෙක ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට දෙන්න පොරොන්දු වුණු නිසා වෙන්න ඇති. (උත් 13:14, 15) ඊශ්‍රායෙල්වරුන්ගේ නීත්‍යනුකූල නියෝජිතයා වුණු මෝසෙස්ටත් දෙවියන් පොරොන්දු දේශය පෙන්වලා ඒ දිහා ‘බලන්න’ කියලා කිව්වා. කලින් සඳහන් කරපු විශාරදයන්ගේ අදහස නිවැරදි නම් දෙවියන් මෝසෙස්ට එහෙම කරන්න කියපු එකෙන් වැදගත් දෙයක් ඇඟෙව්වා. ඒ තමයි යොෂුවාගේ නායකත්වය යටතේ අත් කරගන්න නියමිතව තිබුණු දේශය දෙවියන් ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන්ට නීත්‍යනුකූලව පැවරුවා කියන එක. (ද්වි 3:27, 28; 34:4; මතෙ 4:8 පෙන්වන විදිහට සාතන් යේසුස්ට ලෝකයේ සියලු රාජ්‍යයන් දෙන්න ඉදිරිපත් වුණු අවස්ථාවෙත් ඒ හා සමාන දෙයක් කරලා තියෙනවා.) පේන විදිහට ඉඩමක් අයිති කරගන්න කලින් ඒ ඉඩම පුරාම ඇවිදින එකත් ඒ කාලේ නීත්‍යනුකූල සිරිතක් වෙලා තිබුණා. (උත් 13:17; 28:13) ඒ වගේම ඉඩමක් විකුණද්දී ඒකට සම්බන්ධ ලියකියවිලිවල ඉඩමේ තියෙන ගස් ප්‍රමාණය පවා සඳහන් කළා කියලා සමහර පැරණි ලියකියවිලිවලින් හොයාගෙන තියෙනවා.—උත් 23:17, 18 බලන්න.
ගැඹුරින් හොයමු
it-2-E 683 1¶
පූජකයා
සාලම් නුවරේ රජ වන මෙල්කිසදෙක්ව පූජකයෙක් (හෙබ්‍රෙව් භාෂාවෙන් “කොහේන්”) විදිහටත් හඳුන්වලා තියෙනවා. මෙල්කිසදෙක් අනිත් පූජකයන්ට වඩා හුඟක් විශේෂයි කියලා කියන්න පුළුවන්. මොකද එයාගේ පෙළපත ගැනවත් එයා ඉපදුණු දවස සහ මිය ගිය දවස ගැනවත් කොහෙවත් සඳහන් වෙලා නැහැ. එයාව පූජකයෙක් විදිහට පත් කරලා තියෙන්නේ එයාගේ පෙළපත නිසා නෙවෙයි. පූජක තනතුරට අමතරව එයා රජ තනතුරත් දරලා තියෙනවා. මෙල්කිසදෙක්ට කලින්වත් එයාගෙන් පස්සෙවත් එයාට සමාන පූජකයෙක් හිටියා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මෙල්කිසදෙක් ලෙවීගේ පෙළපතට අයිති පූජකයන්ට වඩා උතුම් කියලා කියන්නත් පුළුවන්. මොකද ලෙවීගේ මුතුන්මිත්තා වුණු ආබ්‍රහම් මෙල්කිසදෙක්ට දසයෙන් කොටසක් දීලා එයාගෙන් ආශීර්වාද ලබාගත්තා. එහෙම බලද්දී ලෙවීගේ පෙළපත පවා මෙල්කිසදෙක්ට දසයෙන් කොටස දුන්නා කියලා කියන්න පුළුවන්. (උත් 14:18-20; හෙබ්‍රෙ 7:4-10) ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා මෙල්කිසදෙක්ගෙන් නියෝජනය වුණේ ‘මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන’ යේසුස්වයි කියලා.—හෙබ්‍රෙ 7:17.
පෙබරවාරි 10-16
දේවවචනය නිධානයක් | උත්පත්ති 15-17
“යෙහෝවා දෙවියන් ආබ්‍රම්ගේ සහ සාරයිගේ නම් වෙනස් කළේ ඇයි?”
it-1-E 817
වැරදි, වැරදි සෙවීම
දෙවියන් කියන කරන දේවල කිසි වරදක්වත් දෝෂයක්වත් හොයාගන්න බැරි වුණත් මිනිසුන් ගැන නම් එහෙම කියන්න බැහැ. ආදම්ගෙන් පව්කාරකම උරුම කරගෙන තියෙන නිසා මිනිසුන් හැමෝම අතින් නිතරම වගේ වැරදි, අඩුපාඩු සිද්ධ වෙනවා. (රෝම 5:12; ගීතා 51:5) මිනිසුන් නිර්මාණය කරන දේවලත් හුඟක් වෙලාවට දෝෂ තියෙනවා. ඒත් හැම අතින්ම නිර්දෝෂ යෙහෝවා දෙවියන් අපිත් එක්ක හුඟක් දයාන්විත විදිහට කටයුතු කරනවා. මොකද ඔහු ‘අපේ ස්වභාවය හොඳින් දන්නවා. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරනවා.’ (ගීතා 103:13, 14) දෙවියන්ට කීකරු වෙමින් විශ්වාසවන්තව කටයුතු කරපු නෝවාව දෙවියන් සැලකුවේ ඒ ‘කාලයේ ජීවත් වුණු මනුෂ්‍යයන්ට වඩා නිදොස්’ කෙනෙක් විදිහටයි. (උත් 6:9) ඒ වගේම ඔහු ආබ්‍රහම්ට කිව්වා “මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න” කියලා. (උත් 17:1) ඒ දෙන්නාටම පාපය සහ මරණය උරුම වෙලා තිබුණත් ‘සිතේ තිබෙන දේ දකින’ යෙහෝවා දෙවියන් එයාලව සැලකුවේ නිර්දෝෂ අය විදිහටයි. (1සාමු 16:7; 2රාජා 20:3; 2ලේක 16:9 බලන්න.) යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ටත් කියලා තිබුණා ඔහු “ඉදිරියේ නිදොස්ව සිටිය යුතුයි” කියලා. (ද්වි 18:13; 2සාමු 22:24) ඒ විතරක් නෙවෙයි කිසි පාපයක් නැති තම පුතාව මෙලොවට එවලා (හෙබ්‍රෙ 7:26) දෙවියන් අපි වෙනුවෙන් ජීවිත පූජාවක් ලබා දුන්නා. ඒ ජීවිත පූජාව පදනම් කරගෙන යෙහෝවා දෙවියන් තමන්ට කීකරු වගේම ලොකු විශ්වාසයක් ඇතුව කටයුතු කරන හැමෝවම “ධර්මිෂ්ඨ” නැත්නම් නිර්දෝෂ අය විදිහට පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔහු ධර්මිෂ්ඨ මෙන්ම නිර්දෝෂ විනිශ්චයකරුවෙක් කියන කාරණයත් ඒ මාර්ගයෙන් ඔප්පු කරලා පෙන්වනවා.—රෝම 3:25, 26.
it-1-E 31 1¶
ආබ්‍රහම්
ආබ්‍රහම් සහ සාරා කානාන් දේශයට ඇවිත් අවුරුදු 10ක් විතර ගත වෙලා තිබුණත් සාරාට තවමත් දරුවෙක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා සාරා ආබ්‍රහම්ට යෝජනා කළා එයාගේ සේවිකාවක් වුණු ඊජිප්තු ජාතික හාගර් මාර්ගයෙන් තමන්ට දරුවෙක් ලබා දෙන්න කියලා. ඒ යෝජනාවට ආබ්‍රහම් එකඟ වුණා. ප්‍රතිඵලයක් විදිහට ආබ්‍රහම්ට අවුරුදු 86ක් වෙද්දී ඒ කියන්නේ ක්‍රි.පූ. 1932දී ඉෂ්මායෙල් ඉපදුණා. (උත් 16:3, 15, 16) ඉෂ්මායෙල් ඉපදිලා කාලයක් ගත වුණාට පස්සෙත් සාරාට දරුවෙක් ලැබුණේ නැහැ. හැබැයි ක්‍රි.පූ. 1919දී ඒ කියන්නේ ආබ්‍රහම්ට වයස අවුරුදු 99ක් වෙද්දී යෙහෝවා දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගෙන තිබුණු ගිවිසුම ආයෙත් ස්ථිර කරන්න පියවර ගත්තා. ඒ ගිවිසුමට ලකුණක් නැත්නම් සාක්ෂියක් විදිහට යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට අණ කළා එයාගේ නිවසේ ඉන්න හැම පුරුෂයෙක්වම චර්මච්ඡේදනය කරන්න කියලා. ඒ අවස්ථාවේදීම යෙහෝවා දෙවියන් ආබ්‍රම්ගේ නම ආබ්‍රහම් හැටියට වෙනස් කරලා ඒකට හේතුව පැහැදිලි කරමින් මෙහෙම කිව්වා. “මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි.” (උත් 17:5, 9-27; රෝම 4:11) ඒ දේ වෙලා වැඩි කාලයක් යන්න කලින් මිනිස් වෙස් ගත්ත දේවදූතයන් තුන්දෙනෙක් ආබ්‍රහම්ව හමු වෙන්න ආවා. ආබ්‍රහම් ඒ අය යෙහෝවා දෙවියන්ගේ නියෝජිතයන් කියලා තේරුම් අරන් එයාලට ආගන්තුක සත්කාරය පිරිනැමුවා. ඒ දේවදූතයන් ආබ්‍රහම්ට කිව්වා හරියටම අවුරුද්දකින් සාරා දරුවෙක්ව බිහි කරනවා කියලා.—උත් 18:1-15.
ගැඹුරින් හොයමු
it-1-E 460-461
කාලගණිතය
යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට (ආබ්‍රහම්ට) මෙහෙම කිව්වා. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි. ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.” (උත් 15:13; ක්‍රියා 7:6, 7 බලන්න.) දෙවියන් ආබ්‍රම්ට ඒ දේ කිව්වේ එයාට දෙන්න පොරොන්දු වුණු උරුමක්කරු වන ඊසාක් ඉපදෙන්නත් කලින්. ක්‍රි.පූ. 1932දී ඊජිප්තු ජාතික දාසියක් වුණු හාගර් ආබ්‍රම්ට දාව ඉෂ්මායෙල්ව බිහි කළා. ඊසාක් ඉපදුණේ ක්‍රි.පූ. 1918දියි. (උත් 16:16; 21:5) ඊශ්‍රායෙල්වරුන්ට “හිරිහැර” විඳින්න වෙන අවුරුදු 400 අවසන් වුණේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නික්ම ආව දවසේදියි. (උත් 15:14) ඒ දවසේ ඉඳන් අවුරුදු 400ක් ආපස්සට ගණන් කළාම වැටෙන්නේ ක්‍රි.පූ. 1913ට. ඒ වෙද්දී ඊසාක්ට වයස අවුරුදු 5ක් විතර වෙන්න ඇති. පේන විදිහට කිරි වරන වයස පහු කරලා හිටිය ඊසාක් ඒ වෙද්දී තමන්ට අයිති නැති දේශයක ‘විදේශිකයෙක්’ විදිහට ජීවත් වෙමිනුයි හිටියේ. ඒ වගේම ඒ කාලේදීම අවුරුදු 19ක් විතර වුණු ඉෂ්මායෙල් නිතරම වගේ ඊසාක්ව ‘විහිළුවට ලක්’ කළා. (උත් 21:8, 9) එහෙම බලද්දී ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට හිරිහැර විඳින්න වෙනවා කියලා දෙවියන් කියපු දේ ඉටු වෙන්න පටන් අරන් තියෙන්නේ ඉෂ්මායෙල් ඊසාක්ට විහිළු කරන්න පටන්ගත්ත කාලේ සිටයි කියලා හිතන්න පුළුවන්. ඉෂ්මායෙල් ආබ්‍රහම්ගේ නීත්‍යනුකූල උරුමක්කරුව විහිළුවට ලක් කරපු එක මේ කාලේ අය ඒ තරම් ලොකු වරදක් විදිහට දකින්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ආබ්‍රහම්ගේ කාලේ නම් ඒ දිහා බැලුවේ ඊට වඩා හාත්පසින් වෙනස් විදිහකටයි. සාරා ඒ කාරණය සම්බන්ධයෙන් කටයුතු කරපු විදිහෙනුත් හාගර්වයි, එයාගේ පුතා වුණු ඉෂ්මායෙල්වයි නිවසෙන් පිටත් කරන්න කියලා සාරා කරපු ඉල්ලීම දෙවියන් අනුමත කරපු එකෙනුත් ඒ දේ පැහැදිලි වෙනවා. (උත් 21:10-13) දෙවියන් මේ සිද්ධියට අදාළ හැම තොරතුරක්ම ශුද්ධ ලියවිල්ලේ වාර්තා කරන්න සලස්වපු එකෙන් වැදගත් කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමයි ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට අවුරුදු 400ක කාලයක් පුරා හිරිහැර විඳින්න වෙනවා කියලා දෙවියන් කියපු අනාවැකිය පටන්ගත්තේ ඉෂ්මායෙල් ඊසාක්ව විහිළුවට ලක් කරපු සිද්ධියත් එක්කමයි කියන එක.—ගලා 4:29.
it-1-E 778 4¶
නික්මයාම
“හතරවන පරම්පරාවේදී.” යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කිව්වේ ඔහුගෙන් පැවතෙන අය ආපහු කානාන් දේශයට එන්නේ හතරවෙනි පරම්පරාවේදී කියලයි. (උත් 15:16) ඒ කාලේ ජීවත් වුණු මිනිසුන්ගේ ආයු කාලය වැඩි වුණත් ආබ්‍රහම් එක්ක ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්ත දවසේ ඉඳන් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නික්ම ගිය දවස දක්වා ගෙවුණු අවුරුදු 430දී පරම්පරා හතරකට වැඩිය ජීවත් වුණා. ඒත් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ හිටියේ අවුරුදු 215ක් විතරයි. ඒ කාලය පරම්පරා හතරක් බිහි වෙන්න තරම් ප්‍රමාණවත් කාලයක්. උදාහරණයක් හැටියට පරම්පරා හතරකට අයත් (1) ලෙවී, (2) කෝහාත්, (3) අම්රාම් සහ (4) මෝසෙස් යන අය ඒ කාලය තුළ ඊජිප්තුවේ ජීවත් වුණා කියලා ලෙවී ගෝත්‍රයේ පෙළපත් වාර්තාවකින් පැහැදිලි වෙනවා.—නික් 6:16, 18, 20.
පෙබරවාරි 17-23
දේවවචනය නිධානයක් | උත්පත්ති 18-19
ගැඹුරින් හොයමු
w88-E 5/15 23 4-5¶
කවුරු හරි දෙවියන්ව දැකලා තියෙනවාද?
මිනිස් වෙස් ගත්ත දේවදූතයෙක් එක්ක ආබ්‍රහම් කතා කළේ යෙහෝවා දෙවියන් එක්ක කතා කරනවා වගේ. ඒ ඇයි? ඒ දේවදූතයා කටයුතු කළේ දෙවියන්ගේ නියෝජිතයෙක් විදිහට. ආබ්‍රහම්ට දන්වන්න ඕන පණිවිඩය දෙවියන් බලාපොරොත්තු වුණු විදිහටම ඔහු දැන්නුවා. එහෙම බලද්දී “ආබ්‍රහම් ඉදිරියේ යෙහෝවා දෙවි දර්ශනය” වුණා, දෙවියන් ආබ්‍රහම් ඉදිරියේ සිටියා කියලා බයිබලයේ සඳහන් වෙන දේ තේරුම්ගන්න අමාරු නැහැ.—උත්පත්ති 18:1.
අපි කියන දේවල් දුරකථනයක් හරහා හෝ ගුවන් විදුලිය හරහා වෙන තැනක ඉන්න කෙනෙක්ට ඇහෙන්න සලස්වන්න අපිට පුළුවන්. ඒ වගේ, දේවදූතයෙක් මාර්ගයෙන් ඔහුගේ පණිවිඩය මිහිපිට ඉන්න ඕන කෙනෙක්ට දන්වන්න දෙවියන්ට පුළුවන්. එහෙම බලද්දී ආබ්‍රහම්, මෝසෙස්, මානෝවා ඇතුළු තවත් අය යෙහෝවා දෙවියන් එක්ක කතා කරනවා වගේ දේවදූතයන් එක්ක කතා කළේ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන්. ඒ අය දේවදූතයන් එක්ක කතා කළා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ එයාලා ඇත්තටම දෙවියන්ව දැක්කා කියලා. මොකද බයිබලයේ පැහැදිලිවම කියනවා “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියලා. (යොහන් 1:18) ඒ අය දේවදූතයන්වත් දේවදූතයන් මාර්ගයෙන් යෙහෝවා දෙවියන්ගේ තේජසත් දැක්කාට දෙවියන්ව දැක්කේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. එයාලා ඇත්තටම දැක්කේ දෙවියන්ගේ නියෝජිතයන් විදිහට කටයුතු කරපු දේවදූතයන්ව විතරයි.
පෙබරවාරි 24–මාර්තු 1
දේවවචනය නිධානයක් | උත්පත්ති 20-21
ගැඹුරින් හොයමු
w89-E 7/1 20 9¶
ආබ්‍රහම්, දෙවියන්ගේ යාළුවෙක් වෙන්න කැමති හැමෝටම හොඳ ආදර්ශයක්
ආබ්‍රම්, දෙවියන් ගැන තමන්ට තිබුණු විශ්වාසය පෙන්වන්න ‘යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවා.’ (උත්පත්ති 12:7) ඒ වෙලාවේ ආබ්‍රම් දෙවියන්ට සත්ව පූජාවක් ඔප්පු කළා කියලා හිතන්නත් පුළුවන්. මොකද “පූජාසනය” විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයේ අර්ථය “පූජා ඔප්පු කරන ස්ථානය” කියන එකයි. පස්සේ කාලෙක ආබ්‍රම් තම විශ්වාසය පෙන්වමින් වෙනත් ස්ථානවලත් දෙවියන්ගේ නමට පූජාසන ගොඩනඟලා තියෙනවා. ඒ වගේම එයා ඒ අවස්ථාවලදී ‘යෙහෝවා දෙවිගේ නාමයට අයැදුවා’ කියලත් සඳහන් වෙනවා. (උත්පත්ති 12:8, පාදසටහන; 13:18; 21:33) ‘නාමයට අයැදුවා’ හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් යෙදුමට “නාමය ගැන ප්‍රකාශ (දේශනා) කළා” කියන අර්ථයත් ඇතුළත්. ඒකෙන් පැහැදිලි වෙනවා ආබ්‍රම් තමන්ගේ දෙවියන්ගේ නම යෙහෝවා කියලා එයාගේ නිවසේ ඉන්න අයටත් කානානිවරුන්ටත් නිර්භීතව කිව්වා කියලා. (උත්පත්ති 14:22-24) දෙවියන්ගේ යාළුවන් වෙන්න කැමති හැම කෙනෙක්ම ආබ්‍රම්ව ආදර්ශයට අරන් ලොකු විශ්වාසයකින් දෙවියන්ගේ නාමයට අයදින්න ඕනේ. ඒ වගේම ශුභාරංචිය දේශනා කරන්නත් ඕනේ. ශුභාරංචිය දේශනා කිරීමෙන් “නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කර ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ” කරන්න අපිට අවස්ථාව ලැබෙනවා.—හෙබ්‍රෙව් 13:15; රෝම 10:10.