20වන පරිච්ඡේදය
“සිතින් ප්‍රඥාවන්තය” එනමුත් යටහත් පහත්ය
1-3. යෙහෝවා යටහත් පහත් බවට අපට සහතික විය හැක්කේ ඇයි?
තම චූටි දරුවාට අතිවැදගත් පාඩමක් කියා දෙන්නට පියෙකුට වුවමනායි. ඔහු දැන් ඉතා උනන්දු වන්නේ දරුවාගේ හදවතට ළඟා වෙන්නයි. ඔහු එළඹිය යුතු ක්‍රමය කුමක්ද? දරුවා ඉදිරියෙහි ගසක් වගේ කෙළින් සිටගෙන රළු හඬකින් කතා කළ යුතුද? නැත්නම් දරුවා දෙසටසිත්ලගන්නා අන්දමින් මෘදු ලෙස කතා කළ යුතුද? ප්‍රඥාවන්ත, යටහත් පහත් පියෙකු නම් මෘදු ලෙස කතා කරන්නට පෙලඹෙනවාට කිසිදු සැකයක් නැහැ.
2 යෙහෝවා කෙබඳු පියෙක්ද? අහංකාරද නැත්නම් යටහත් පහත්ද? සැර වැර කරන කෙනෙක්ද නැත්නම් මෘදු කෙනෙක්ද? යෙහෝවා සියල්ල දන්නවා. ඒ වගේම හැම අතින්ම ප්‍රඥාවන්තයි. එහෙත් උගත්, බුද්ධිමත් මිනිසුන් අනිවාර්යයෙන්ම යටහත් පහත් අය නොවන බව ඔබ දැක තිබෙනවාද? බයිබලය කියන්නාක් මෙන්, “ඥානය [දැනුම, NW] උඩඟුකම උපදවයි.” (1 කොරින්ති 3:19; 8:1) නමුත් යෙහෝවා “සිතින් ප්‍රඥාවන්ත” වගේම යටහත් පහත්. (යෝබ් 9:4) මින් අදහස් කරන්නේ ඔහු කොයියම් අන්දමකින්වත් සිය තත්වයෙන් පහත්ය හෝ උසස්කමේ අඩුවක් තිබෙනවාය යන්න නොවේ. ඇත්තෙන්ම, ඔහුට අහංකාරකම ගෑවිලාවත් නැහැ. ඒ ඇයි?
3 යෙහෝවා ශුද්ධයි. එම නිසා ශුද්ධකම කෙලසන අහංකාරකම ඔහු තුළ නැහැ. (මාර්ක් 7:20-22) තවද, අනාගතවක්තෘ යෙරෙමියා යෙහෝවාට පැවසූ දෙය කල්පනාවට ගන්න. “ඔබගේ ආත්මය [යෙහෝවාම] මා සිහි කර මා දෙසටම පහත් වන්නේය.” a (විලාප ගී 3:20, NW) මේ ගැන සිතා බලන්න! විශ්වයේ පරමාධිපති ස්වාමින් වන යෙහෝවා, මේ අසම්පූර්ණ මනුෂ්‍යයා වූ යෙරෙමියාට හොඳ අවධානයක් දීම පිණිස ඔහුගේම මට්ටමට පැමිණීමට හෙවත් ‘පහත් වීමට’ කැමති වුණා. (ගීතාවලිය 113:8) ඔව්, යෙහෝවා යටහත් පහත්. මෙම දේව යටහත් පහත්කමට ඇතුළත් වන්නේ මොනවාද? එය ප්‍රඥාව සමඟ සම්බන්ධ වන්නේ කොහොමද? එය අපට වැදගත් වන්නේ ඇයි?
යෙහෝවා යටහත් පහත් බව ඔප්පු කරන අන්දම
4, 5. (අ) යටහත් පහත්කම යනු කුමක්ද? එය පිළිබිඹු කරනු ලබන්නේ කොහොමද? එය කිසිවිටෙකත් දුර්වලකමක් හෝ බයාදුකමක් ලෙස වැරදියට වටහා නොගත යුත්තේ ඇයි? (ආ) දාවිත් සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා යටහත් පහත්කම විදහාපෑවේ කෙලෙසද? තවද යෙහෝවාගේ යටහත් පහත්කම අපට කොතරම් වැදගත් වේද?
4 යටහත් පහත්කම යනු මනසින් පහත්කම ඇතිව, අහංකාරකමින් හා උඩඟුකමින් තොරව සිටීමයි. හදවත තුළ ලැගුම් ගෙන ඇති අභ්‍යන්තර ගුණාංගයක් වන යටහත් පහත්කම, මෘදුකම, ඉවසීම හා සාධාරණකම වැනි ගති ලක්ෂණ තුළින් පිළිබිඹු වෙනවා. (ගලාති 5:22, 23) එහෙත්, මෙම දිව්‍ය ගුණාංග පෙන්වීම දුර්වලකමක් ලෙස හෝ බයාදුකමක් ලෙසට කිසිවිටෙකත් වරදවා වටහාගත යුතු නැහැ. ඒවා යෙහෝවාගේ ධර්මිෂ්ඨ කෝපය හෝ ඔහු විසින් විනාශකාරි බලය යොදාගැනීම සමඟ සමාන්තරව දිව යනවා. ඒ සමඟම සිය යටහත් පහත්කම හා මෘදුකම මගින් යෙහෝවා තමා සතු අතිමහත් ශක්තිය හා බලය පරිපූර්ණ ලෙස පාලනය කරගන්නවා. (යෙසායා 42:14) යටහත් පහත්කම ප්‍රඥාව හා සම්බන්ධ වන්නේ කොහොමද? බයිබලය පිළිබඳ එක් ආශ්‍රේය ග්‍රන්ථයක සටහන් වෙන්නේ මෙසේයි. “යටහත් පහත්කම යනු පරාර්ථකාමිත්වය බව අවසාන වශයෙන් හැඳින්විය හැකියි. එය සියලු ප්‍රඥාවේ පදනමයි.” එසේ නම්, අව්‍යාජ ප්‍රඥාව යටහත් පහත්කමින් තොරව පැවතිය නොහැකියි. යෙහෝවාගේ යටහත් පහත්කම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
5 දාවිත් රජ යෙහෝවාට ගායනා කළේ මෙසේයි. “ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්නේය. ඔබගේ දකුණත මා දැරුවේය. ඔබගේ මෘදුකම [යටහත් පහත්කම, NW] මා උසස් කළේය.” (ගීතාවලිය 18:35) මේ අනුව, යෙහෝවා මෙම අසම්පූර්ණ මිනිසාව ආරක්ෂා කිරීමට හා දවසින් දවස ඔහුව පෝෂණය කිරීමට ඔහු දෙසට පහත් වුණු බව පැහැදිලියි. දාවිත් විසින් අවබෝධ කරගත් තවත් දෙයක් තිබුණා. ඒ තමයි, තමාට ගැළවීම ලැබුණා නම්, අවසානයේදී රජෙකු ලෙස යම් පමණක ශ්‍රේෂ්ඨත්වයක් අත් කරගත්තා නම්, ඒ යෙහෝවා මේ අන්දමින් යටහත් පහත් වීමට කැමති වූ නිසා යන්නයි. ඇත්තෙන්ම, යෙහෝවා යටහත් පහත් නොවුණා නම් හා මෘදු ආදරණීය පියෙකු ලෙස අප හා කටයුතු කරන්නට තමන්වම පහත් කර නොගත්තා නම්, ගැළවීම පිළිබඳ බලාපොරොත්තුවක් තබාගැනීමට අපගෙන් හැකි වනු ඇත්තේ කවරෙකුටද?
6, 7. (අ) යෙහෝවා නිහතමානියි කියා බයිබලයේ කිසිවිටෙකත් පවසා නැත්තේ ඇයි? (ආ) මෘදුකම හා ප්‍රඥාව අතර ඇති සම්බන්ධය කුමක්ද? මේ සම්බන්ධව පරම ආදර්ශය වන්නේ කවුද?
6 යෙහෝවා ඔහුගේ නිහතමානිකම විවිධ පැතිවලින් පෙන්නලා තිබුණත් මිනිසුන් හා දෙවි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ තමයි මිනිසුන් විදිහට අපිට සීමාවන් තියෙනවා කියන එක. තමන්ගේ සීමාවන් දැනගෙන වැඩ කරන එක නිහතමානිකමේ තවත් පැත්තක්. තමන්ගේ සීමාවන් තේරුම් අරගෙන ජීවත් වෙන එක ප්‍රඥාවන්ත දෙයක්. හිතේපදේශ 11:2 ඒ ගැන මෙහෙම කියනවා. “නිහතමානී අය ප්‍රඥාවන්තය.” මිනිසුන්ට සීමාවන් තිබුණත් යෙහෝවාට ඒ වගේ සීමාවන් තියෙනවා කියලා බයිබලයේ කොහේවත් කියලා නැහැ. සියලු බලැති තැනැත්තාණන් විදිහට ඔහු තමන්ටම සමහර සීමාවන් පනවා ගෙන තියෙන බව ඇත්තයි. ඒත් ඔහු එහෙම කරලා තියෙන්නේ ඔහු ඔහුගේම ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව කටයුතු කරන්න තීරණය කරලා තියෙන නිසායි. (මාක් 10:27; තීතස් 1:2) මහෝත්තමයාණන් ලෙස ඔහු කිසි කෙනෙකුට යටත් නැහැ කියලත් මතක තියාගන්න ඕනේ. එහෙම බලද්දී අපිට පැහැදිලි වෙන්නේ මිනිසුන් හැටියට අපි අපේ සීමාවන් තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෙ වුණත් යෙහෝවාට එහෙම කරන්න අවශ්‍ය නැහැ කියන එකයි.
7 කෙසේවෙතත්, යෙහෝවා යටහත් පහත් වගේම මෘදුයි. මෘදුකම සැබෑ ප්‍රඥාවට අත්‍යවශ්‍ය බව ඔහු සිය සේවකයන්ට උගන්වනවා. “ප්‍රඥාවෙන් හටගන්නා මෘදුකම” ගැන ඔහුගේ වචනයේ කතා කරනවා.b (යාකොබ් 3:13, NW) මේ සම්බන්ධව යෙහෝවාගේ ආදර්ශය ගැන සලකා බලන්න.
යෙහෝවා යටහත් පහත් ලෙස වගකීම් පවරයි, සවන් දෙයි
8-10. (අ) යම් වගකීම් භාර දීමටත් සවන් දීමටත් යෙහෝවා කැමැත්තෙන් සිටීම අතිසුවිශේෂී දෙයක් වන්නේ ඇයි? (ආ) සර්වබලධාරි තැනැත්තා යටහත් පහත් ලෙස තම දේවදූතයන්ට වගකීම් පවරා ඇත්තේ කොහොමද?
8 යෙහෝවාගේ යටහත් පහත්කම ගැන හද උණුසුම් කරවන සහතිකයක් තිබෙනවා. ඒ තමයි, වගකීම් පැවරීමට හා සවන් දීමට ඔහු දක්වන කැමැත්ත. ඔහු එසේ ක්‍රියා කරන අන්දම හරිම පුදුමයි. කෙනෙකුගේ සහයවත්, තව කෙනෙකුගෙන් උපදෙස් ගන්නටවත් යෙහෝවාට අවශ්‍ය වන්නේ නැහැ. (යෙසායා 40:13, 14 රෝම 11:34, 35) එහෙත්, මේ කාරණාවලදී යෙහෝවා නැමී කටයුතු කරන බව බයිබලයේ අපට පුන පුනා පවසනවා.
9 ආබ්‍රහම්ගේ ජීවිතයේ අතිශයින් කැපීපෙනෙන සිද්ධියක් නිදසුනක් වශයෙන් සලකා බලන්න. ආබ්‍රහම්ව බැහැදැකීමට අමුත්තන් තුන්දෙනෙක් ආවා. ඔවුන්ගෙන් කෙනෙකුව ආබ්‍රහම් ඇමතුවේ “යෙහෝවා” කියායි. මේ අමුත්තන් ඇත්තෙන්ම දේවදූතයන්. නමුත් එක දේවදූතයෙක් පැමිණියේ යෙහෝවාගේ නමින්. ඒ වගේම යෙහෝවාගේ නාමයෙන් ක්‍රියා කරමින්. එම දේවදූතයා කතා කළ විටත්, ක්‍රියා කළ විටත්, ඇත්තෙන්ම කතා කළෙත් ක්‍රියා කළෙත් යෙහෝවා වගේමයි. මේ මාධ්‍යය තුළින් යෙහෝවා ආබ්‍රහම්ට කීවේ, ‘සොදොමේද ගොමොරාවේද මහත් මොරගැසීම’ තමන්ට ඇසුණු බවයි. යෙහෝවා මෙසේද පැවසුවා. “මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමි.” (උත්පත්ති 18:3, NW; 20, 21) ඇත්ත වශයෙන්ම, යෙහෝවාගේ පණිවුඩයෙන් අදහස් කළේ නැහැ, සර්වබලධාරී තැනැත්තා පුද්ගලයෙකු ලෙස ‘බැස ගිය’ බවක්. ඒ වෙනුවට, ඔහු කළේ තමාව නියෝජනය කිරීමට දේවදූතයන්ව යැවීමයි. (උත්පත්ති 19:1) ඒ ඇයි? සියලු දේ දකින යෙහෝවාටම එම ප්‍රදේශයේ තත්වය ‘දැනගන්න’ බැරිද? ඒ ගැන කිසි සැකයක් නැහැ. නමුත්, ඒ වෙනුවට, යෙහෝවා කළේ මෙයයි. එනම්, එහි තත්වය සෝදිසි කර බැලීමටත් සොදොමේ විසූ ලොත්ව සහ ඔහුගේ පවුලව බැහැදැකීමටත් යෙහෝවා විසින් යටහත් පහත් ලෙස එම දේවදූතයන්ට වගකීමක් පැවරීමයි.
10 එපමණක්ද නොවෙයි, යෙහෝවා සවන් දෙනවා. දුෂ්ට ආහබ් රජව හදිසියේම විනාශ කර දැමීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු එක් වතාවක තම දේවදූතයන්ට කිව්වා. ඇත්තෙන්ම යෙහෝවාට එවන් උපකාරයක් අවශ්‍ය වූයේ නැහැ. එහෙත්, එක් දේවදූතයෙකුගේ යෝජනාවක් පිළිගත් යෙහෝවා ඒ යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමට ඔහුට පැවරුවා. (1 රාජාවලිය 22:19-22) එය යටහත් පහත් දෙයක් නොවේද?
11, 12. ආබ්‍රහම්ට යෙහෝවාගේ යටහත් පහත්කම දැකගැනීමට ලැබුණේ කොහොමද?
11 ඒ වගේම අසම්පූර්ණ මිනිසුන් තම හැඟීම් හෝ අදහස් පළ කරද්දී ඔවුන්ට පවා සවන් දීමට ඔහු කැමැත්තෙන් සිටිනවා. නිදසුනක් වශයෙන්, සොදොම සහ ගොමොරාව විනාශ කිරීමට තමන් අදහස් කරගෙන සිටින බව යෙහෝවා ආබ්‍රහම්ට දැන්වූ අවස්ථාවේදී එම විශ්වාසවන්ත මිනිසා වියවුලට පත් වුණා. “ඔබ ගැන එලෙසින් සිතන්නටවත් බැහැ” යයි පැවසූ ආබ්‍රහම් තවදුරටත් මෙසේද කිව්වා. “මුළු පොළොවේ විනිශ්චයකරුවා යුක්තිසහගත දෙය කරන්නේ නැද්ද?” ධර්මිෂ්ඨ මිනිසුන් 50දෙනෙක් සිටියහොත් එම නගර විනාශ නොකරනවාදැයි ඔහු යෙහෝවාගෙන් ඇසුවා. ඔහුට සහතික කරමින් යෙහෝවා කියා සිටියේ ඔහු එසේ විනාශ නොකරන බවයි. නමුත් එම සංඛ්‍යාව 45, 40 යනාදි වශයෙන් පහතට දමමින් ආබ්‍රහම් යළි යළිත් ඇසුවේ එයමයි. යෙහෝවා ඔහුට කොතරම් සහතික ලෙස කියා සිටියත්, එම සංඛ්‍යාව දහය දක්වා අඩු කරමින් ආබ්‍රහම් මේ කාරණය ගැන නැවතත් යෙහෝවාගෙන් විචෑරුවා. සමහරවිට යෙහෝවා මොනතරම් දයාන්විත දෙවි කෙනෙකුදැයි ආබ්‍රහම් සම්පූර්ණයෙන්ම වටහා නොගන්නට ඇති. ඊට හේතුව කුමක් වුණත්, ආබ්‍රහම් නමැති තම මිත්‍රයා සහ සේවකයාට මේ අන්දමින් තම හැඟීම් හා අදහස් පළ කිරීමට යෙහෝවා ඉඩහැර බලා සිටියේ ඉමහත් ඉවසීමකින් හා යටහත් පහත් විදිහටයි.—උත්පත්ති 18:23-33, NW.
12 බුද්ධිමත් බවින් ඉතා අඩු පුද්ගලයෙකුට ඒ තරම්ම ඉවසීමකින් යුතුව සවන් දෙන්නේ ඉතා බුද්ධිමත් හා උගත් පුද්ගලයන් අතුරින් කීයෙන් කීදෙනාද?c නමුත් බලන්න! අපේ දෙවි ඒ තරම්ම යටහත් පහත්. එම සාකච්ඡාව තුළදීම ආබ්‍රහම් විසින් වටහාගත් තවත් දෙයක් තමයි, යෙහෝවා “උදහස් වීමට ප්‍රමාද වන්නාවූ” කෙනෙකු බව. (නික්මයාම 34:6) මහෝත්තමයාණන්ගේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කිරීමට තමන්ට කිසිදු අයිතියක් නැතැයි සමහරවිට ආබ්‍රහම් වටහාගන්නට ඇති. ඒ නිසයි ඔහු මෙසේ දෙවරක්ම කන්නලව් කළේ. “අනේ, යෙහෝවා උදහස් නොවේවා!” (උත්පත්ති 18:30, 32) ඇත්තෙන්ම යෙහෝවා උදහස් වුණේ නැහැ. “ප්‍රඥාවෙන් හටගන්නා මෘදුකම” ඔහු සතුයි.
යෙහෝවා සාධාරණයි
13. බයිබලයේ භාවිත කර ඇති පරිදි, “සාධාරණකම” යන වචනයේ අර්ථය කුමක්ද? මෙම වචනය ඉතා කදිමට යෙහෝවාව විස්තර කරන්නේ මන්ද?
13 යෙහෝවාගේ යටහත් පහත්කම ඉතා පැහැදිලිව දිස් වෙන තවත් ගුණාංගයක් තිබෙනවා. ඒ තමයි, සාධාරණකම. මේ ගුණාංගය අසම්පූර්ණ මිනිසුන් තුළ හීනව තිබීම කනගාටුදායක දෙයක්. යෙහෝවා තම බුද්ධිමත් මැවිලිවලට සවන් දීමට කැමැත්තෙන් සිටිනවා පමණක් නොවෙයි, නමුත් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සමඟ නොගැටෙන අවස්ථාවලදී නම්‍යශීලී වීමටද ඔහු කැමතියි. බයිබලයේ භාවිත වී ඇති අන්දමට, “සාධාරණකම” යන වචනයේ පදගතාර්ථය නම් “නම්‍යශීලී වීමයි.” මෙම ගුණාංගය දිව්‍ය ප්‍රඥාවේ මුද්‍රාව කියා කියන්ටද පුළුවනි. යාකොබ් 3:17හි [NW] කියන්නේ මෙසේයි. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . සාධාරණය.” සර්ව ප්‍රඥාවන්ත යෙහෝවා සාධාරණ වන්නේ කිනම් අර්ථයෙන්ද? ඔහු තත්වයන්ට අනුව සකස් වීමට කැමැත්තෙන් සිටිනවා. ඔහුගේ නාමයේම අර්ථය ඔබට මතකද? ඔව්, එහි නියම අර්ථයෙන්ම අපට උගන්වන්නේ තම අරමුණු ඉෂ්ට කිරීම පිණිස අවශ්‍ය වූ කවර තත්වයකට හෝ පත් වන්නට ඔහු ක්‍රියාත්මක වන බවයි. (නික්මයාම 3:14) තත්වයන්ට අනුව සකස් වීමේ හෝ සාධාරණ වීමේ ගතියක් ඉන් අඟවන්නේ නැද්ද?
14, 15. යෙහෝවාගේ ස්වර්ගික රථය ගැන එසකියෙල්ගේ දර්ශනය තුළ සඳහන් විස්තරය අපට යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය ගැන උගන්වන්නේ කුමක්ද? තවද එය ලෞකික සංවිධානවලින් වෙනස් වන්නේ කෙසේද?
14 යෙහෝවා විසින් තත්වයන්ට අනුව සකස් වීම ගැන යම් අන්දමකින් වටහාගැනීමට අපට ඉවහල් වෙන එක්තරා සුවිශේෂී බයිබල් පරිච්ඡේදයක් තිබෙනවා. ඒ තමයි, ආත්ම මැවිලිවලින් සමන්විත යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය ගැන අනාගතවක්තෘ එසකියෙල්හට දෙන ලද දර්ශනය පිළිබඳ විස්තරය. ඉතා පුදුම දනවන විශාලත්වයකින් යුත් රථයක් ඔහු දුටුවා. ඒ, සෑමවිටම යෙහෝවාගේ පාලනයට නතු වූ ඔහුගේම ‘වාහනයයි.’ මෙහි උනන්දුව දනවන දෙය නම්, එය ගමන් කළ ආකාරයයි. මෙම අතිපතාක රෝද, හතර අතටම කරකැවුණු අතර, පැති හතරකින් යුක්තයි. ඒවා ඇස්වලින් පිරී තිබුණා. එනිසා ඒවායින් සෑම තැනක්ම දකින්නට පුළුවන් වගේම නැවතීමකින් හෝ හැරවීමකින් තොරව එහි දිසාව සැණෙකින් වෙනස් කරන්නට හැකියි. තවද මේ යෝධ රථය මිනිසෙකු විසින් සාදන ලද හැඩි දැඩි වාහනයක් වගේ ඇදගෙන යෑමට සිදු වුණේ නැහැ. හරියටම අංශක අනූවක කෝණයකින් පවා හැරෙමින් විදුලි වේගයෙන් ගමන් කරන්නට එයට හැකිකම තිබුණා. (එසකියෙල් 1:1, 14-28) ඔව්, සර්වබලධාරි මහෝත්තමයාණන්ගේ පාලනය යටතේ ඇති යෙහෝවාගේ සංවිධානය අතිශ්‍රේෂ්ඨ අන්දමින් සකස් වනසුලුයි. එනම් නිතරම වෙනස් වන තත්වයන්ට හා අවශ්‍යතාවන්ට මුහුණ දීමට එය ක්‍රියාත්මක වෙනවා.
15 එවන් අන්දමින් පරිපූර්ණ සකස් කිරීම් කිරීම සම්බන්ධයෙන් ගත් කල, මිනිසුන්ට කළ හැක්කේ මදක් අනුකරණය කිරීම පමණයි. එහෙත් බොහෝවිට, මිනිසුන් හා ඔවුන්ගේ සංවිධාන තත්වයන්ට අනුව සකස් වෙනවාට වඩා තද නීති ඇතුවයි කටයුතු කරන්නේ. නම්‍යශීලී වෙනවාට වඩා බොහෝ සෙයින් අසාධාරණ විදිහටයි කටයුතු කරන්නේ. නිදසුනක් හැටියට මෙහෙම ගනිමු. විශාල තෙල් නැවක් හෝ බඩු දුම්රියක් ප්‍රමාණයෙන් හා බලයෙන් අරුම පුදුම යමක් ලෙස පෙනෙන්ට පුළුවන්. නමුත් හදිසියේ තත්වයන් වෙනස් වන විට, ඊට සරිලන විදිහට කටයුතු කරන්ට එයින් එකකටවත් පුළුවන්ද? වේගයෙන් ගමන් කරන බඩු දුම්රියක් ඉදිරිපිට හරහට හදිසියෙන්ම යම් බාධකයක් දැමුවොත් දුම්රියට හැරෙන්නට බැරි බව නොකිවමනායි. හදිසියේම එය නවතාගැනීම එතරම් පහසු දෙයක්ද නොවෙයි. බඩු පටවාගත් දුම්රියක් එහි තිරිංග තද කළත් එය නැවතීමට පෙර තවත් කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට ඇදී යන්නට පුළුවන්. ඒ හා සමානව, තෙල් නැවක එන්ජිම් නතර කළද එයද නතර වීමට පෙර තවත් කිලෝමීටර් අටක් පමණ ඉදිරියට ඇදී යා හැකියි. එහි එන්ජිම්වල බලය පසුපසට යෙදුවද, මෙම විශාල තෙල් නැව තවත් කිලෝමීටර් තුනක් පමණ ඉදිරියට ඇදී යා හැකියි! දැඩි නීතිවලින් යුත් කිසිම අන්දමකින් නම්‍යශීලී නොවීමට හා අසාධාරණ ලෙස කටයුතු කිරීමට ප්‍රවණතාවක් දක්වන මිනිස් සංවිධානවල ස්වභාවයද ඒ හා සමානයි. තම උඩඟුකම නිසා වෙනස් වන අවශ්‍යතා හා තත්වයන්ට සරිලන සේ සකස් වීමට අසම්පූර්ණ මිනිසුන් බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. එවන් රළු ස්වභාවයක් නිසා ඇතැම් ආයතන බංකොලොත් වී තිබෙනවා. එමෙන්ම සමහර ආණ්ඩු පෙරළී තිබෙනවා. (හිතෝපදේශ 16:18) යෙහෝවාවත් ඔහුගේ සංවිධානයවත් කිසිසේත්ම එසේ නොවීම ගැන අප කොතරම් සන්තෝෂ විය යුතුද!
යෙහෝවා සාධාරණකම විදහාපෙන්වන අන්දම
16. සොදොමේ සහ ගොමොරාවේ විනාශයට පෙරාතුව ලොත් සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා සාධාරණකම පෙන්වූයේ කෙසේද?
16 සොදොම සහ ගොමොරාවේ විනාශය ගැන සලකා බලන්න. ලොත්ට සහ ඔහුගේ පවුලේ අයට යෙහෝවාගේ දූතයාගෙන් මෙම පැහැදිලි උපදෙස ලැබුණා. “කන්දට දුවන්න.” කෙසේවෙතත්, එය එතරම්ම ලොත්ගේ සිත් ගත්තේ නැහැ. “අනේ මාගේ යෙහෝවා, එසේ නොවේවා” කියා ඔහු ආයාචනා කළා. කඳු දෙසට දිවීමට තමාට සිදු වුවහොත් තමා මිය යනු ඇතැයි සිතූ ලොත්, ළඟ තිබෙන ශොවර් නමැති නුවරට පලා යෑමට තමාටත් තම පවුලේ අයටත් අවසර දෙන ලෙස ආයාචනා කළා. ඇත්තෙන්ම, එම නුවර විනාශ කිරීමට යෙහෝවා අදහස් කර තිබුණා. එපමණක්ද නොවෙයි, ලොත්ගේ භයට කිසිදු පදනමක් තිබුණේද නැහැ. කන්දේදී ලොත්ගේ ජීවිතය ආරක්ෂා කර දීමට යෙහෝවාට හැකි බව ස්ථිරයි! කෙසේවෙතත්, ලොත්ගේ ආයාචනාවලට නම්‍යශීලී වූ යෙහෝවා ශොවර් නුවර ආරක්ෂා කළා. “මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි” කියා දේවදූතයා ලොත්ට කිව්වා. (උත්පත්ති 19:17-22) එය යෙහෝවාගේ පැත්තෙන් සාධාරණ වීමක් නොවෙයිද?
17, 18. නිනිවයේ වැසියන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී තමා සාධාරණ බව යෙහෝවා පෙන්නුම් කළේ කෙසේද?
17 කෙනෙකුගේ හෘදයාංගම පසුතැවිල්ලටද යෙහෝවා ප්‍රතිචාරය දක්වනවා. සෑම විටම එසේ කරන්නේ දයානුකම්පිතව හා හරි දෙය කරමින්. ඉතා දුෂ්ට ප්‍රචණ්ඩකාරි නුවරක් වූ නිනිවයට අනාගතවක්තෘ යෝනාව යැවූ විට සිදු වූ දේ සැලකිල්ලට ගන්න. නිනිවයේ පාරවල් මැදින් ගමන් කරමින් යෝනා ප්‍රකාශ කළ දේවානුභාව ලත් පණිවුඩය ඉතා සරල එකක්. ඒ, මෙම බලවත් නගරය දවස් 40කින් විනාශ වන බවයි. කෙසේවෙතත්, තත්වයන් බොහෝ සෙයින් වෙනස් වුණා. නිනිවයේ වැසියන් පසුතැවිලි වුණා!—යෝනා 3වන පරිච්ඡේදය.
18 නිනිවයේ තත්වයන් මෙසේ වෙනස් වූ විට යෙහෝවා ප්‍රතික්‍රියා කළ අන්දමත් යෝනා ප්‍රතික්‍රියා කළ අන්දමත් සැසඳීමෙන් අපට යමක් ඉගෙනගන්නට පුළුවන්. මේ අවස්ථාවේදී, යෙහෝවා තත්වයට සරිලන සේ සකස් වුණා. එනම්, තමන් ‘යුද්ධ දක්ෂයෙකු’ වෙනවා වෙනුවට, පව්වලට සමාව දෙන්නෙක් බවට පත් වුණා.d (නික්මයාම 15:3) අනෙක් අතට, යෝනා නම්‍යශීලී වූයේ නැහැ. දයානුකම්පිත වූයෙත් නැහැ. යෙහෝවාගේ සාධාරණකම ගැන කල්පනා කරනවා වෙනුවට, ඔහු ප්‍රතිචාරය දැක්වූයේ හරියට ඉහත සඳහන් වූ බඩු දුම්රිය හෝ තෙල් නැව වගෙයි. ඔහු විනාශය ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා විනාශය පැමිණිය යුතුමයි! ඔහු කල්පනා කළේ එහෙමයි. එහෙත්, යෙහෝවා ඉවසිලිවන්තව යමක් කරන්නට තීරණය කළා. ඒ තමයි, සාධාරණකම හා දයාව සම්බන්ධව මතක හිටින පාඩමක් තමාගේ නොඉවසිලිවන්ත අනාගතවක්තෘට ඉගැන්වීම.—යෝනා 4වන පරිච්ඡේදය.
19. (අ) යෙහෝවා අපෙන් අපේක්ෂා කරන දෙය සම්බන්ධයෙන් ඔහු සාධාරණ බව අපට කිව හැක්කේ මන්ද? (ආ) යෙහෝවා “යහපත් හා සාධාරණ” ස්වාමියෙකු බවත්, ඉතා ගැඹුරින් යටහත් පහත්කම දක්වන බවත් හිතෝපදේශ 19:17හි පෙන්වන්නේ කෙසේද?
19 අවසන් වශයෙන් බලන කල, අපෙන් අපේක්ෂා කරන දෙය සම්බන්ධයෙන්ද යෙහෝවා සාධාරණයි. දාවිත් රජ පැවසුවේ මෙසේයි. “ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14) අපගේ සීමාවන් සහ අසම්පූර්ණකම් යෙහෝවා තේරුම්ගන්නේ අපටත් වඩා හොඳින්. අපට කළ හැකි දෙයට වඩා වැඩියෙන් ඔහු අපෙන් කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැහැ. “යහපත් හා සාධාරණ වූ” මිනිස් ස්වාමිවරුන් සහ “සතුටු කිරීමට අමාරු” ස්වාමිවරුන් අතර වෙනස ගැන බයිබලයේ කතා කෙරෙනවා. (1 පේතෘස් 2:18, NW) යෙහෝවා කෙබඳු ස්වාමියෙක්ද? හිතෝපදේශ 19:17හි පවසන දේ සිතට ගන්න. “දුප්පතුන්ට අනුකම්පා කරන්නා යෙහෝවාට ණයට දෙන්නේය.” දුප්පතුන් වෙනුවෙන් කරන ලද සෑම කාරුණික ක්‍රියාවක් ගැනම මතකයේ තබාගෙන සිටින්නේ යහපත් හා සාධාරණ ස්වාමියෙක් පමණයි. ඊටත් වඩා, මේ ශුද්ධ ලියවිලි පදයේ තවත් දෙයක් ඇඟවෙනවා. ඒ තමයි, මිනිසුන් කරන එවන් යහපත් ක්‍රියා නිසා ඔවුන්ට විපාක දීමට තමන් ඔවුන්ට ණයගැතිව සිටින බවක් විශ්වයේ මැවුම්කරුවාණන්ට හැඟී යන බව! මේ තමයි, යටහත් පහත්කම නම් වූ ඒ සාගරයේ වඩාත් ගැඹුරුම තැන!
20. යෙහෝවා අපගේ යාච්ඤාවලට කන් දෙන බවටත් ඒවාට ප්‍රතිචාරය දක්වන බවටත් තිබෙන සහතිකය කුමක්ද?
20 සිය වත්මන් සේවකයන් සමඟද යෙහෝවා කටයුතු කරන්නේ මෘදු හා සාධාරණ විදිහටයි. අප ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට, ඔහු සවන් දෙනවා. අපට කතා කිරීමට ඔහු දේවදූතයන්ව එව්වේ නැතත්, අපගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන්නේ නැතැයි නිගමනය නොකළ යුතුයි. ප්‍රේරිත පාවුල් සිරගතව සිටින විට, තමාව සිරෙන් නිදහස් කරන පිණිස “යාච්ඤා කරන්න” කියා ඔහු සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටි බව මතකයට ගන්න. “නොපමාව මා ඔබ වෙත නැවත එන පිණිස” එසේ කරන්න කියාද තවදුරටත් ඔහු කියා සිටියා. (හෙබ්‍රෙව් 13:18, 19, නව අනුවාදය) එමනිසා, ඇත්තෙන්ම අප යාච්ඤා නොකළා නම් යෙහෝවා විසින් කිරීමට අදහස් නොකළ යම් දෙයක් අපගේ යාච්ඤා නිසා කිරීමට ඔහුව පෙලඹෙනවා වෙන්නට පුළුවන්.—යාකොබ් 5:16.
21. යෙහෝවාගේ යටහත් පහත්කම සම්බන්ධයෙන් අප කිසිවිටෙකත් නොඑළඹිය යුතු නිගමනය කුමක්ද? ඒ වෙනුවට, අප ඔහු ගැන අවබෝධ කරගත යුත්තේ කුමක්ද?
21 ඇත්තෙන්ම, යෙහෝවාගේ යටහත් පහත්කමේ මෙම පැති සෑම එකකින්ම, එනම් ඔහුගේ මෘදුකම, සවන් දීමට ඔහු තුළ ඇති කැමැත්ත, ඔහුගේ ඉවසීම, ඔහුගේ සාධාරණකම යන මේ සියල්ලෙන් අදහස් කරන්නේ ඔහු සිය ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සැහැල්ලු කරනවා යන්න නොවේ. ක්‍රිස්තියානි ලෝකයේ පැවිද්දන් යෙහෝවාගේ සදාචාර ප්‍රමිති දියාරු කරමින් තමන්ගේ රැළේ සිටින්නන්ගේ කනට මිහිරි වදන් තෙපලද්දී තමන් හරිම සාධාරණ පුද්ගලයන්ය කියා ඔවුන් සිතනවා විය හැකියි. (2 තිමෝති 4:3, න. අ.) නමුත් හුදෙක් වාසි ප්‍රයෝජන හෝ පහසුව තකා ප්‍රතිපත්ති සැහැල්ලුවට ගැනීමට මිනිසා තුළ තිබෙන ප්රවණතාවට දිව්‍ය සාධාරණකම සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. යෙහෝවා ශුද්ධයි. කිසිවිටෙකත් ඔහු තම ධර්මිෂ්ඨ ප්‍රමිති කෙලසන්නේ නැහැ. (ලෙවී කථාව 11:44) එසේ නම්, අපි යෙහෝවාගේ සාධාරණකමට ලැදි වෙමු. එම සාධාරණකම ඔහුගේ යටහත් පහත්කමේ සාක්ෂියක්. යෙහෝවා දෙවි, එනම් විශ්වයේ ප්‍රඥාවන්තම තැනැත්තාණන් අතිසුවිශේෂී අන්දමින් යටහත් පහත්ය යන අදහසින් ඔබේ හදවත පිනා යන්නේ නැද්ද? මේ විස්මාන්විත එහෙත් මෘදු, ඉවසිලිවන්ත, සාධාරණ දෙවිට ළංවීමට ලැබීම මොනතරම් සතුටක්ද!
[පාදසටහන්වල]
a ඉපැරණි ලියන්නන් හෙවත් සොපෙරිම්වරුන් මෙම පදය වෙනස් කරමින් කියා සිටියේ පහත් වූයේ යෙහෝවා නොව යෙරෙමියා බවයි. දෙවි එවන් යටහත් පහත් ක්‍රියාවක් කිරීම දෙවිට මදිකමක් කියා ඔවුන් සිතූ බව පෙනී යනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අලංකාර පදයේ මූලික අදහස බොහෝ පරිවර්තකයන්ට වැටහී ගොස් නැහැ. කොහොමවුණත්, ද නිව් ඉංග්ලිෂ් බයිබල්හි ඉතා නිවැරදි ලෙස පරිවර්තනය කර ඇති අන්දමට, යෙරෙමියා දෙවිට පවසන්නේ, “අහෝ මා මතක් කරන්න, මා මතක් කරන්න, මා වෙතට පහතට බැස එන්න” කියායි.
b “ප්‍රඥාවෙන් පැමිණෙන යටහත් පහත්කම” සහ “ප්‍රඥාවේ මුද්‍රාව වන මොළොක් ගතිය” යයි වෙනත් අනුවාදවල පැවසෙනවා.
c මෙහිදී උනන්දු දනවන කරුණක් නම්, ඉවසීම සහ උඩඟුකම බයිබලයේ එකිනෙකට පටහැනි ගුණාංග දෙකක් ලෙස විස්තර කර තිබීමයි. (දේශනාකාරයා 7:8) යෙහෝවාගේ ඉවසීම ඔහුගේ යටහත් පහත්කම ගැන තවදුරටත් සාක්ෂි සපයනවා.—2 පේතෘස් 3:9.
d ගීතාවලිය 86:5හි යෙහෝවාව “යහපත්ය, කමා වෙන්ට සූදානම්ය” කියා විස්තර කර තිබෙනවා. එම ගීතිකාව ග්‍රීක් බසට පරිවර්තනය කරන විට, “කමා වෙන්ට සූදානම්ය” යන ප්‍රකාශය පරිවර්තනය කරනු ලැබුවේ එපියිකිස් හෙවත් “සාධාරණය” යනුවෙනුයි.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
නික්මයාම 32:9-14 ඉශ්රායෙල් ජාතිය වෙනුවෙන් මෝසෙස් කරන ලද ආයාචනයට ප්‍රතිචාර දැක්වීමේදී යෙහෝවා යටහත් පහත්කම නිරූපණය කළේ කෙසේද?
විනිශ්චයකාරයන් 6:36-40 ගිඩියොන්ගේ ඉල්ලීම්වලට පිළිතුරු දීමෙන් යෙහෝවා ඉවසීම සහ සාධාරණකම පෙන්වූයේ කෙසේද?
ගීතාවලිය 113:1-9 මිනිස් සංහතිය සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා තම යටහත් පහත්කම ඔප්පු කර තිබෙන්නේ කොහොමද?
ලූක් 1:46-55 මරියා විශ්වාස කළ හැටියට යටහත් පහත් හා දිළිඳු අය කෙරෙහි යෙහෝවාට තිබූ දෘෂ්ටිය කුමක්ද? ඔහුගේ මෙම දෘෂ්ටිය අපට බලපානු ඇත්තේ කොහොමද?
[200වන පිටුවේ පින්තූරය]
ප්‍රඥාවන්ත පියෙක් තම දරුවන් සමඟ කටයුතු කරන්නේ යටහත් පහත් මෙන්ම මෘදු අන්දමටයි
[208වන පිටුවේ පින්තූරය]
යෙහෝවා සාධාරණයි. ඒ වගේම අපගේ සීමාවන් අවබෝධ කරගන්නවා