යෙහෝවා ගිවිසුම්වල දෙවිකෙනෙක්
“මා විසින් ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේය.”—යෙරෙමියා 31:31.
1, 2. (අ) යේසු පො.යු. 33 නීසාන් 14වන රාත්රියේදී මුල පිරුවේ කුමන උත්සවයටද? (ආ) යේසු යොමු දැක්වූයේ තම මරණය සම්බන්ධ කිනම් ගිවිසුමටද?
යේසු පො.යු. 33 නීසාන් 14වන රාත්‍රියේ තම ප්‍රේරිතයන් 12දෙනා සමඟ පාස්කු උත්සවය පැවැත්වුවා. මෙය ඔවුන් සමඟ ගන්නාවූ තමාගේ අවසාන භෝජනය බවත් ඉතා ඉක්මනින් තම සතුරන්ගේ අත්වලින් තමා මියයන බවත් යේසු දැන සිටි නිසා, තම සමීපතම ගෝලයන්ට වැදගත් කාරණා බොහොමයක් පැහැදිලි කර දීම සඳහා මේ අවස්ථාව ඔහු ප්‍රයෝජනයට ගත්තා.—යොහන් 13:1–17:26.
2 ක්‍රිස්තියානීන් සඳහා අණ කර තිබෙන එකම වාර්ෂික ආගමික උත්සවය වන යේසුගේ මරණය සිහි කිරීම, ඔහු විසින් පිහිටුවනු ලැබුවේ මේ අවස්ථාවේදීයි; එනම් යූදස් ඉස්කාරියොත්ට යන්න ඉඩහැරීමෙන් පසුවයි. වාර්තාව මෙසේ පවසනවා: “ඔවුන් කමින් සිටියදී [යේසු] රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි [කීවේය]. [ඔහු] කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන . . . ගිවිසුමේ මාගේ ලේය.” (මතෙව් 26:26-28) ඔහුගේ මරණය සරල, ගෞරවාන්විත ආකාරයකින් යේසුගේ අනුගාමිකයන් අනුස්මරණය කළ යුතුව තිබුණා. එමෙන්ම යේසු තම මරණය හා සම්බන්ධ ගිවිසුමකට යොමු දැක්වුවා. ලූක්ගේ වාර්තාවෙහි එය “අලුත් ගිවිසුම” යනුවෙන් හඳුන්වනවා.—ලූක් 22:20.
3. අලුත් ගිවිසුම සම්බන්ධයෙන් කිනම් ප්‍රශ්න අසනු ලබයිද?
3 මෙම අලුත් ගිවිසුම කුමක්ද? මෙය අලුත් ගිවිසුම නම්, මෙයින් අදහස් කෙරෙන්නේ පරණ ගිවිසුමක් තිබෙන බවද? එයට සම්බන්ධ තවත් ගිවිසුම් තිබෙනවාද? මේවා වැදගත් ප්‍රශ්න වන්නේ, ගිවිසුමේ ලේ “පව් කමාව පිණිස” වගුරුවන බව යේසු පැවසූ නිසයි. අප සියලුදෙනාම එවන් කමාවක් ලැබීමේ දැඩි අවශ්‍යතාවක පසු වෙනවා.—රෝම 3:23.
ආබ්‍රහම් සමඟ ගිවිසුමක්
4. අලුත් ගිවිසුම තේරුම්ගැනීම සඳහා අපට උපකාර කරන්නේ කිනම් පැරණි පොරොන්දුවද?
4 මෙම අලුත් ගිවිසුම තේරුම්ගැනීම සඳහා අප යේසුගේ භූමික දේවසේවයට කලින් අවුරුදු 2,000කට ආසන්න කාලයක් දක්වා එනම්, ආබ්‍රම් (පසුව, ආබ්‍රහම්) හා ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි (පසුව, සාරා) ඇතුළු තේරා සහ ඔහුගේ පවුලේ අය තම බඩු බාහිරාදිය රැගෙන කල්දිවරුන්ගේ සමෘද්ධිමත් ඌර් දේශයෙන් පිටත්ව මෙසොපොතාමියෙහි උතුරු ප්‍රදේශයේ පිහිටි හාරාන් දේශය කරා දුෂ්කර ගමනක යෙදුණු කාලය දක්වා ආපසු යා යුතුයි. තේරා මියයන තෙක් ඔවුන් එහි නතර වී සිටියා. පසුව, යෙහෝවාගේ ආඥාවකට අනුව, 75වන වියේ පසු වූ ආබ්‍රහම් කුඩාරම්වල වාසය කරමින් තැනින් තැන ගමන් කරන එඬේර ජීවිතයක් ගත කිරීම සඳහා යුප්රට්රීස් ගඟ තරණය කරමින් නිරිතදිග පිහිටි කානාන් දේශයට ගමන් කළා. (උත්පත්ති 11:31–12:1, 4, 5; ක්‍රියා 7:2-5) එය පො.යු.පෙර 1943වන වසරයි. ආබ්‍රහම් මේ වන විටත් හාරාන්හි වාසය කරමින් සිටියදී යෙහෝවා ඔහුට මෙසේ පවසා තිබුණා: “මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.” පසුකලක, ආබ්‍රහම් කානාන් දේශයට ගමන් කළායින් පසුව, යෙහෝවා තවදුරටත් මෙසේ පැවසුවා: “මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි.”—උත්පත්ති 12:2, 3, 7.
5. ආබ්‍රහම්ට දුන් යෙහෝවාගේ පොරොන්දුව සම්බන්ධ වන්නේ කුමන ඓතිහාසික අනාවැකියටද?
5 ආබ්‍රහම්ට දුන් පොරොන්දුව යෙහෝවාගේ පොරොන්දුවලින් තවත් එකකට සම්බන්ධ වුණා. ඇත්තෙන්ම, එම පොරොන්දුව මගින් ආබ්‍රහම්ව මිනිස් ඉතිහාසයේ කැපීපෙනෙන පුද්ගලයෙක්, එනම් මෙතෙක් වාර්තා කර තිබෙන මුල්ම අනාවැකියේ ඉටුවීමට සම්බන්ධ පුරුකක් බවට පත් කළා. ආදම් සහ ඒව ඒදන් උයනේදී පව් කළ පසු, යෙහෝවා ඔවුන් දෙදෙනා කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කළ අතර, එම අවස්ථාවේදීම ඔහු ඒවව නොමඟ යැවූ සාතන්ව අමතා මෙසේ පැවසුවා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) සාතන්ගේ ක්‍රියාවන් ව්‍යර්ථ කර දමන වංශය එම කුලදෙටුවාගේ පෙළපතින් පැමිණෙන බව ආබ්‍රහම් සමඟ කළ යෙහෝවාගේ ගිවිසුමෙන් ඇඟෙව්වා.
6. (අ) ආබ්‍රහම්ට දුන් යෙහෝවාගේ පොරොන්දුව ඉටු කරනු ලබන්නේ කවුරුන් මගින්ද? (ආ) ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම කියන්නේ කුමක්ද?
6 යෙහෝවාගේ පොරොන්දුව වංශයකට සම්බන්ධ වූ නිසා, වංශය බිහි කළ හැකි පුත්‍රයෙක් ආබ්‍රහම්ට අවශ්‍ය වුණා. නමුත් ඔහු හා සාරා මහලු වයසට පත්ව සිටි අතර, ඒ වන විටත් දරුවන් ලබා සිටියේ නැහැ. කෙසේවෙතත් අවසානයේදී, ආශ්චර්යවත් ලෙස ඔවුන්ගේ උත්පාදන ශක්තිය යළි ප්‍රාණවත් කරමින් යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කළ අතර, සාරා ආබ්‍රහම්ට දාව ඊසාක් නම් පුත්‍රයෙකු බිහි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට වංශයක් පිළිබඳ පොරොන්දුව ඉටු විය හැකි තත්වයක පැවතුණා. (උත්පත්ති 17:15-17; 21:1-7) වසර ගණනාවකට පසුව, එනම් ආබ්‍රහම්ගේ ඇදහිල්ල—ඔහුගේ ප්‍රේමනීය පුත් ඊසාක්ව පූජාවක් හැටියට ඔප්පු කිරීමට ඔහුගේ කැමැත්ත පරීක්ෂා කර බැලීමේ අවස්ථාව දක්වාම—පරීක්ෂා කිරීමෙන් පසුව, යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුව යළි මෙසේ සඳහන් කළා: “මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:15-18) මෙම පුළුල් කරන ලද පොරොන්දුව බොහෝවිට ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම කියා හඳුන්වන අතර, පසුව හඳුන්වා දෙන අලුත් ගිවිසුම මෙය හා සමීප සම්බන්ධතාවක් දක්වනවා.
7. ආබ්‍රහම්ගේ වංශය ගණනින් වැඩිවීමට පටන්ගත්තේ කෙසේද? එමෙන්ම ඔවුන් මිසරයේ වැසියන් බවට පත්වීමට මඟ පෑදුවේ කිනම් තත්වයන්ද?
7 කලක් ගතවීමෙන් පසුව, ඊසාක්ට ඒසව් හා යාකොබ් කියා නිඹුල් දරුවන් දෙදෙනෙක් සිටියා. පොරොන්දු වංශයේ මුතුන්මිත්තා වීමට යෙහෝවා යාකොබ්ව තෝරාගත්තා. (උත්පත්ති 28:10-15; රෝම 9:10-13) යාකොබ්ට පුතුන් 12දෙනෙක් සිටියා. ආබ්‍රහම්ගේ වංශය වැඩිවර්ධනය වීමට කාලය මෙය වූ බව පැහැදිලියි. යාකොබ්ගේ දරුවන් වැඩිහිටියන් බවට පත් වී, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම තමන්ගේම පවුල් සමඟ ජීවත් වෙමින් සිටි කාලයේදී, ඇති වූ සාගතයක් නිසා ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තමන්ගේ පවුල් සමඟින් මිසරයට යෑමට සිදු වුණා; එහිදී දිව්‍ය මඟ පෙන්වීම යටතේ, යාකොබ්ගේ පුත් යෝසෙප් ඒ සඳහා සියලු කටයුතු පිළියෙළ කර තිබුණා. (උත්පත්ති 45:5-13; 46:26, 27) අවුරුදු කිහිපයකට පසුව කානාන් දේශයේ පැවති සාගතය අවසන් වුණා. නමුත් යාකොබ්ගේ පවුලේ අය මිසරයේ පදිංචි වුණා—මුලදී ආගන්තුකයන් හැටියට වුවත් පසුව දාසයන් හැටියට. මෝසෙස් යාකොබ්ගෙන් පැවතෙන්නන්ව මිසරයෙන් නිදහස් කරගත්තේ ආබ්‍රහම් යුප්රට්රීස් ගඟ තරණය කර අවුරුදු 430ක් ගතවීමෙන් පසුවයි; එනම් පො.යු.පෙර 1513යි. (නික්මයාම 1:8-14; 12:40, 41; ගලාති 3:16, 17) යෙහෝවා දැන් ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට විශේෂ අවධානයක් දෙයි.—නික්මයාම 2:24; 6:2-5.
“පරණ ගිවිසුම”
8. යෙහෝවා යාකොබ්ගෙන් පැවතෙන්නන් සමඟ සීනයි කන්දේදී තීන්දු කළේ කුමක්ද? එමෙන්ම ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම සමඟ මෙයට තිබූ සම්බන්ධය කුමක්ද?
8 යාකොබ් සහ ඔහුගේ පුත්‍රයන් මිසරයේ පදිංචියට ගිය අවස්ථාවේදී ඔවුන් පුළුල් පවුලක් වුවත්, ඔවුන්ගෙන් පැවතෙන්නන් මිසරයෙන් පිටත්ව ගියේ ජන බහුල ගෝත්‍රවලින් සමන්විත විශාල සමූහයක් හැටියටයි. (නික්මයාම 1:5-7; 12:37, 38) යෙහෝවා ඔවුන්ව කානාන් දේශයට ගෙනෙන්න කලින්, දකුණු දිශාවේ පිහිටි අරාබියේ තිබෙන හොරේබ් (නැතහොත්, සීනයි) නම් කන්ද පාමුලට යෑමට ඔවුන්ට මඟ පෙන්නුවා. එහිදී, ඔහු ඔවුන් සමඟ ගිවිසුමක් කළා. “අලුත් ගිවිසුම” සම්බන්ධයෙන් ගත් කල මෙය “පරණ ගිවිසුම” යනුවෙන් හඳුන්වන්න යෙදුණා. (2 කොරින්ති 3:14) පරණ ගිවිසුම උපයෝගි කරගනිමින් යෙහෝවා ආබ්‍රහම් සමඟ කළ තම ගිවිසුමේ ඉටුවීම උපමේය ආකාරයකින් පරිපාලනය කළා.
9. (අ) ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම මගින් යෙහෝවා පොරොන්දු වූයේ කුමන දේවල් සතරද? (ආ) ඉශ්රායෙල් සමඟ යෙහෝවාගේ ගිවිසුම මගින් සපයනු ලැබුවේ කිනම් අමතර බලාපොරොත්තුද? එමෙන්ම කිනම් කොන්දේසි යටතේද?
9 මෙම ගිවිසුමේ කොන්දේසි යෙහෝවා ඉශ්රායෙල්වරුන්ට මෙසේ පැහැදිලි කළා: “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.” (නික්මයාම 19:5, 6) ආබ්‍රහම්ගේ වංශය (1) මහත් ජාතියක් වන බවත්, (2) තමන්ගේ සතුරන් කෙරෙහි ජයග්‍රහණය ලබන බවත්, (3) කානාන් දේශය උරුම කරගන්න බවත්, (4) ජාතීන්ට ආශීර්වාද ගෙනෙන මාධ්‍යයක් වන බවත් යෙහෝවා පොරොන්දු වී තිබුණා. ඔවුන් තම ආඥාවලට කීකරු වෙනවා නම්, තම අසහාය සෙනඟ වන ඉශ්රායෙල්ට “පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක්” වශයෙන් ඒ ආශීර්වාද උරුම කරගත හැකි බව ඔහු අනාවරණය කළා. මේ ගිවිසුමට ඇතුල් වීමට ඉශ්රායෙල්වරුන් එකඟ වුණාද? ඔවුන් එක හඬින් මෙසේ උත්තර දුන්නා: “[යෙහෝවා] කී සියල්ලම කරන්නෙමු.”—නික්මයාම 19:8.
10. යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව ජාතියක් හැටියට සංවිධානය කළේ කෙසේද? එමෙන්ම ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළේ මොනවාද?
10 එනිසා, යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව ජාතියක් වශයෙන් සංවිධානය කළා. නමස්කාරය සහ සිවිල් ජීවිතය පාලනය කෙරෙන නීති ඔහු ඔවුන්ට දුන්නා. ඔහු ඔවුන්ට මණ්ඩපයක් (පසුව, යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාවක්) හා මණ්ඩපය තුළ පරිශුද්ධ සේවය පිරිනැමීම සඳහා පූජක තන්ත්රයක් සපයා දුන්නා. ගිවිසුම පැවැත්වීම යන්නෙන් අදහස් කළේ, යෙහෝවා දුන් නීතිවලට කීකරු වීමයි; විශේෂයෙන් ඔහුට පමණක් නමස්කාර කිරීමයි. මේ නීතිවල න්‍යෂ්ටිය වූ දස පනතේ මුල්ම පනත වූයේ එයයි; එනම් “මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ [යෙහෝවාය]. මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.”—නික්මයාම 20:2, 3.
ව්‍යවස්ථා ගිවිසුම මගින් ආශීර්වාද
11, 12. පරණ ගිවිසුමේ පොරොන්දු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉටු වූයේ කිනම් ආකාරවලින්ද?
11 ව්‍යවස්ථා ගිවිසුමේ පොරොන්දු ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් ඉටු වුණාද? ඉශ්රායෙල්වරුන් “ශුද්ධ ජාතියක්” බවට පත් වුණාද? ආදම්ගෙන් පැවතෙන්නන් හැටියට ඉශ්රායෙල්වරුන් පව්කාරයන්ව සිටියා. (රෝම 5:12) කෙසේවෙතත්, ව්‍යවස්ථාව යටතේ තමන්ගේ පාප වසාගැනීම සඳහා පූජා ඔප්පු කරනු ලැබුවා. වාර්ෂික සමගි කිරීමේ දවසේදී ඔප්පු කළ පූජා සම්බන්ධයෙන් යෙහෝවා මෙසේ පැවසුවා: “නුඹලාගේ සියලු පාපවලින් නුඹලා [යෙහෝවා] ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය.” (ලෙවී කථාව 16:30) මේ නිසා ඇදහිලිවන්තව සිටි විට, ඉශ්රායෙල් යෙහෝවාගේ සේවය සඳහා පවිත්‍ර කරන ලද ශුද්ධ ජාතියක්ව සිටියා. නමුත් මේ පවිත්‍ර තත්වය රඳා පැවතියේ ඔවුන් ව්‍යවස්ථාවට කීකරු වීම මත හා දිගටම පූජා ඔප්පු කිරීම මතයි.
12 ඉශ්රායෙල් “පූජක රාජ්‍යයක්” බවට පත් වුණාද? ස්වර්ගික රජ වශයෙන් යෙහෝවා සමඟින් එය ආරම්භයේ සිටම රාජ්‍යයක්ව තිබුණා. (යෙසායා 33:22) තවදුරටත්, මිනිස් රජවරුන්ගෙන් යුත් පාලන තන්ත්රයක් සඳහා සැපයුම් ව්‍යවස්ථා ගිවිසුමට ඇතුළත් වුණා; ඒ හේතුවෙන් පසු කලෙක යෙරුසලමේ සිට පාලනය කළ රජවරුන්ගෙන් යෙහෝවාව නියෝජනය කරනු ලැබුවා. (ද්විතීය කථාව 17:14-18) නමුත් ඉශ්රායෙල් පූජක රාජ්‍යයක් වූවාද? හොඳයි, මණ්ඩපයේදී එයට පූජක තන්ත්රයක් මගින් පිරිනමන පරිශුද්ධ සේවයක් තිබුණා. මණ්ඩපය (පසුව, දේවමාළිගාව) ඉශ්රායෙල්වරුන් සඳහා මෙන්ම ඉශ්රායෙල් නොවන්නන් සඳහාද නිර්මල නමස්කාරයේ මධ්‍යස්ථානය වුණා. එමෙන්ම මෙම ජාතිය මනුෂ්‍යවර්ගයාට සත්‍යය හෙළි කිරීම සඳහා යොදාගත් එකම මාධ්‍යය වුණා. (2 ලේකම් 6:32, 33; රෝම 3:1, 2) ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන් පමණක් නොව සියලුම විශ්වාසවන්ත ඉශ්රායෙල්වරුන් යෙහෝවාගේ “සාක්ෂිකාරයෝව” සිටියා. ඉශ්රායෙල් ‘යෙහෝවාගේ ප්‍රශංසාව දැක්වීම’ සඳහා සංවිධානය කර තිබූ ඔහුගේ “මෙහෙකරුවාව” සිටියා. (යෙසායා 43:10, 21) නිහතමානී විදේශිකයන් බොහෝදෙනෙක් තම සෙනඟ වෙනුවෙන් විදහාපෙන්වන ලද යෙහෝවාගේ බලය දුටු අතර, නිර්මල නමස්කාරය කෙරෙහි සිත ඇදී ගියා. ඔවුන් යුදෙව් ආගමට හැරුණා. (යෝෂුවා 2:9-13) නමුත් ආලේප ලත් පූජකවරුන් හැටියට ඇත්තෙන්ම සේවය කළේ එක ගෝත්‍රයක් පමණයි.
ඉශ්රායෙලයේ විසූ යුදෙව් ආගමට හැරුණු අය
13, 14. (අ) යුදෙව් ආගමට හැරුණු අය ව්‍යවස්ථා ගිවිසුමේ හවුල්කරුවන් නොවූ බව පැවසිය හැක්කේ මන්ද? (ආ) යුදෙව් ආගමට හැරුණු අය ව්‍යවස්ථා ගිවිසුම යටතට පැමිණියේ කෙසේද?
13 යුදෙව් ආගමට හැරුණු අයට හිමි වී තිබූ තත්වය කුමක්ද? යෙහෝවා තම ගිවිසුම පිහිටුවාගත්තේ ඉශ්රායෙල් සමඟ පමණයි; ඒ අවස්ථාවේදී ‘මිශ්‍ර සමූහයට’ අයත්වූවන් සිටියත් ඔවුන්ව එහි හවුල්කරුවන් හැටියට නම් කළේ නැහැ. (නික්මයාම 12:38; 19:3, 7, 8) ඉශ්‍රායෙල්ගේ කුලුඳුලන් සඳහා මිදීමේ මිල ගණන් ගත් විට, ඔවුන්ගේ කුලුඳුලන්ව ගණන් ගත්තේ නැහැ. (ගණන් කථාව 3:44-51) දශක කිහිපයකට පසුව කානාන් දේශය ඉශ්රායෙල් ගෝත්‍ර අතර බෙදා වෙන් කරද්දී, ඉශ්රායෙල් නොවන ඇදහිලිවන්තයන් සඳහා කිසිවක් වෙන් කළේ නැහැ. (උත්පත්ති 12:7; යෝෂුවා 13:1-14) ඇයි? ව්‍යවස්ථා ගිවිසුම යුදෙව් ආගම වැලඳගත් අය සමඟ පිහිටුවා නොගත් නිසයි. නමුත් ව්‍යවස්ථාවට කීකරු වීමක් හැටියට යුදෙව් ආගමට හැරුණු පුරුෂයන්ව චර්මච්ඡේදනය කළා. ඔවුන් එහි නියමයන් පිළිපැද්දා; ඒ වගේම එහි සැපයුම්වලින් ප්‍රයෝජන ලැබුවා. යුදෙව් ආගමට හැරුණු අය මෙන්ම ඉශ්රායෙල්වරුන් ව්‍යවස්ථා ගිවිසුම යටතට පැමිණියා.—නික්මයාම 12:48, 49; ගණන් කථාව 15:14-16; රෝම 3:19.
14 උදාහරණයක් හැටියට, යුදෙව් ආගමට හැරුණු කෙනෙකුගේ අත්වැරැද්දෙන් යමෙක් මියගියා නම්, ඉශ්‍රායෙලිතයෙක් කරන්නාක් මෙන් ඔහුටද ආරක්ෂක නුවරට පලායෑමට හැකි වුණා. (ගණන් කථාව 35:15, 22-25; යෝෂුවා 20:9) සමගි කිරීමේ දවසේදී, “මුළු ඉශ්රායෙල් සභාව උදෙසා” පූජාවක් ඔප්පු කළා. සභාවේ කොටසක් හැටියට, යුදෙව් ආගමට හැරුණු අය එහි සිදු කළ පිළිවෙත්වලට හවුල් වූ අතර, ඒ පූජාව මගින් ඔවුන්වද ආවරණය කළා. (ලෙවී කථාව 16:7-10, 15, 17, 29; ද්විතීය කථාව 23:7, 8) යුදෙව් ආගමට හැරුණු අය ව්‍යවස්ථාව යටතේ සිටි ඉශ්රායෙල්වරුන් සමඟ මොනතරම් සමීප ඇසුරක් පැවැත්වූවාද කියනවා නම්, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, එනම් යුදෙව්වන් වෙනුවෙන් ‘ස්වර්ග රාජ්‍යයේ පළමු යතුර’ භාවිත කළ අවස්ථාවේදී, යුදෙව් ආගමට හැරුණු අයද ප්‍රයෝජන ලැබුවා. එහි ප්‍රතිඵලයක් හැටියට, “යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්” ක්‍රිස්තියානියෙක් බවට පත් වූ අතර, යෙරුසලමේ පිහිටි සභාවේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දැක්වීම සඳහා පත් කළ “සහතික ලත් පුරුෂයන් සත්දෙනා” [NW] අතරද සිටියා.—මතෙව් 16:19; ක්‍රියා 2:5-10; 6:3-6; 8:26-39.
යෙහෝවා ආබ්‍රහම්ගේ වංශයට ආශීර්වාද කරයි
15, 16. ආබ්‍රහම් සමඟ කළ යෙහෝවාගේ ගිවිසුම ව්‍යවස්ථා ගිවිසුම යටතේ ඉටු වූයේ කෙසේද?
15 ව්‍යවස්ථාව යටතේ සිටින ජාතියක් වශයෙන් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් සංවිධානය වීමත් සමඟම, යෙහෝවා කුලදෙටුවාට දුන් තම පොරොන්දුවට අනුව ඔවුන්ට ආශීර්වාද කළා. පොදු යුගයට පෙර 1473දී, මෝසෙස්ගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා ඉශ්‍රායෙල්ව කානාන් දේශය කරා මඟ පෙන්වුවා. පසුව එම දේශය ගෝත්‍ර අතර බෙදීමෙන් ආබ්‍රහම්ගේ වංශයට දේශය ලබා දීමේ යෙහෝවාගේ පොරොන්දුව ඉටු වුණා. ඉශ්රායෙල් ඇදහිලිවන්තව සිටිය විට, ඔවුන්ගේ සතුරන් කෙරෙහි ජයග්‍රහණය ඔවුන්ට ලබා දීමෙන් යෙහෝවා තම පොරොන්දු ඉටු කළා. විශේෂයෙන්ම මෙය දාවිත් රජගේ පාලන කාලයේදී සැබෑවක් වුණා. දාවිත්ගේ පුත් සාලමොන්ගේ කාලය වන විට, ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ තුන්වන අංගයක් ඉටු වුණා. “යූදාවරුද ඉශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.”—1 රාජාවලිය 4:20.
16 කෙසේවෙතත්, ජාතීන් ඉශ්රායෙල් එනම් ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන තමන්ට ආශීර්වාද ලබාගත්තේ කෙසේද? දැනටමත් සඳහන් කර තිබෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජාතීන් අතර යෙහෝවාගේ විශේෂ සෙනඟව, එනම් ඔහුගේ නියෝජිතයාව සිටියා. ඉශ්රායෙල් කානාන් දේශයට ඇතුල් වීමට ටික කාලයකට කලින් මෝසෙස් මෙසේ පැවසුවා: ‘ජාතීනි, ඔහුගේ සෙනඟ සමඟ ප්‍රීතිවන්න.’ (ද්විතීය කථාව 32:43) විදේශිකයන් බොහෝදෙනෙක් ඊට හිතකර ප්‍රතිචාරයක් දැක්වුවා. මේ වන විටත් මිසරයෙන් පිට වී ඉශ්රායෙල් සමඟ පැමිණ තිබෙන “[මහත්, NW] මිශ්‍ර සමූහයක්” වනාන්තරයේදී යෙහෝවාගේ බලය දැක තිබෙන අතර, ප්‍රීතිවීම සඳහා කළ මෝසෙස්ගේ ආරාධනාවට සවන් දුන්නා. (නික්මයාම 12:37, 38) පසුකලක, මෝවබීය රූත් ඉශ්‍රායෙලිතයෙක් වූ බෝවස් සමඟ විවාහ වූ අතර, මෙසියස්ගේ මිත්තණියක් බවට පත් වුණා. (රූත්ගේ කථාව 4:13-22) ස්වාභාවික ඉශ්රායෙල්වරුන් බොහෝදෙනෙක් නොඇදහිලිවන්තව සිටි කාලයේදී, කේනිය යෙහෝනාදාබ් හා ඔහුගෙන් පැවතෙන්නන් මෙන්ම කූෂීය එබෙද්-මෙලෙක් ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීමෙන් කැපීපෙනෙන අය වුණා. (2 රාජාවලිය 10:15-17; යෙරෙමියා 35:1-19; 38:7-13) පර්සියානු අධිරාජ්‍යය යටතේ, විදේශිකයන් බොහෝදෙනෙක් යුදෙව් ආගමට හැරුණු අතර ඉශ්රායෙල්වරුන් සමඟ එක් වී ඇගේ සතුරන්ට එරෙහිව සටන් කළා.—එස්තර් 8:17, පාදසටහන, NW.
අලුත් ගිවිසුමක අවශ්‍යතාව
17. (අ) යෙහෝවා ඉශ්රායෙල්හි උතුරු සහ දකුණු රාජ්‍යය ප්‍රතික්ෂේප කළේ මන්ද? (ආ) යුදෙව්වරුන්ව අවසාන වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට මඟ පෑදුවේ කුමක්ද?
17 ඒ වුණත්, දෙවිගේ පොරොන්දුවේ සම්පූර්ණ ඉටුවීම අද්දැකීම සඳහා දෙවිගේ අසහාය ජාතිය ඇදහිලිවන්තව සිටීම අවශ්‍ය වුණා. එම ජාතිය ඇදහිලිවන්තව කටයුතු කළේ නැහැ. ඇත්තයි, කැපීපෙනෙන ඇදහිල්ලක් තිබූ ඉශ්රායෙල්වරුන් සිටියා. (හෙබ්‍රෙව් 11:32–12:1) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී මෙම ජාතිය ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් වෙතට හැරුණා. (යෙරෙමියා 34:8-16; 44:15-18) සමහර පුද්ගලයන් ව්‍යවස්ථාව වැරදි ලෙස අදාළ කරගත්තා නැත්නම් එය නිකම්ම නොසලකා හැරියා. (නෙහෙමියා 5:1-5; යෙසායා 59:2-8; මලාකී 1:12-14) සාලමොන් මියයෑමෙන් පසු, ඉශ්රායෙල්වරුන් උතුරු හා දකුණු වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදුණා. උතුරු රාජ්‍යය දරුණු ලෙස කැරලිකාර බව පැහැදිලිව පෙනී ගිය විට, යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා: “නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි.” (හොෂෙයා 4:6) දකුණු රාජ්‍යයද ව්‍යවස්ථාවට ද්‍රෝහිව කටයුතු කරන බව ඔප්පු වූ නිසා එයටද බරපතළ ලෙස දඬුවම් කළා. (යෙරෙමියා 5:29-31) යුදෙව්වරුන් මෙසියස් වශයෙන් යේසුව ප්‍රතික්ෂේප කළ විට, යෙහෝවා ඒ හා සමානව ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. (ක්‍රියා 3:13-15; රෝම 9:31–10:4) අවසානයේදී, ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ සම්පූර්ණ ඉටුවීම පරිපාලනය කිරීම සඳහා යෙහෝවා අලුත් විධිවිධානයක් පිළියෙළ කළා.—රෝම 3:20.
18, 19. ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම සම්පූර්ණ ආකාරයකින් ඉටුවීමට හැකි වන පරිදි, යෙහෝවා ඇති කළේ කිනම් අලුත් විධිවිධානයද?
18 මෙම අලුත් විධිවිධානය වූයේ අලුත් ගිවිසුමයි. යෙහෝවා මෙසේ පැවසූ විට, එය පුරෝකථනය කර තිබුණා: “බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි [යෙහෝවා කියන්නේය]. . . . ඒ දවස්වලට පසු මා ඉශ්රායෙල් වංශය සමග කරන ගිවිසුම මේයයි [යෙහෝවා කියන්නේය]. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල [හෘදවල, NW] ලියන්නෙමි; මම ඔවුන්ගේ [දෙවි] වන්නෙමි, ඔව්හුද මාගේ සෙනග වන්නෝය.”—යෙරෙමියා 31:31-33.
19 යේසු පො.යු. 33 නීසාන් 14වනදා යොමු දැක්වූ අලුත් ගිවිසුම මෙයයි. පොරොන්දු කරන ලද ගිවිසුම තම ගෝලයන් සහ යෙහෝවා අතර තීන්දු වීමට ආසන්න බව ඒ අවස්ථාවේදී යේසු අනාවරණය කළා; එහි මැදිහත්කරු හැටියට යේසු ක්‍රියා කරනවා. (1 කොරින්ති 11:25; 1 තිමෝති 2:5; හෙබ්‍රෙව් 12:24) අපි ඊළඟ ලිපියේදී දැකීමට යන පරිදි, මෙම අලුත් ගිවිසුම මගින් ආබ්‍රහම්ට දුන් යෙහෝවාගේ පොරොන්දුවට වඩාත් තේජවත් හා කල්පවතින ඉටුවීමක් තිබිය යුතුව තිබුණා.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමෙහි යෙහෝවා පොරොන්දු වූයේ කුමක්ද?
◻ ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ ඉටුවීම මාංසික ඉශ්රායෙල්වරුන් කෙරෙහි යෙහෝවා පරිපාලනය කළේ කෙසේද?
◻ යුදෙව් ආගමට හැරුණු අය පරණ ගිවිසුමෙන් ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
◻ අලුත් ගිවිසුමක් අවශ්‍ය වූයේ මන්ද?
[9වන පිටුවේ පින්තූරය]
ව්‍යවස්ථා ගිවිසුම මගින් යෙහෝවා ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ උපමේය ඉටුවීම පරිපාලනය කළා