දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද?
කෙනෙක්ව හොඳින් හඳුනාගන්න එයා කරලා තියෙන දේවල් දැනගන්න එක උදව් වෙනවා. යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් හඳුනාගන්නත් ඔහු කරලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න එක වැදගත්. ඔයා වෙනුවෙන්, ඔයාගේ අනාගතය වෙනුවෙන් දෙවියන් දැනටමත් කරලා තියෙන දේවල් දැනගත්තොත් ඔයා පුදුම වෙයි!
අපේ යහපත වෙනුවෙන් හැම දෙයක්ම නිර්මාණය කළා
යෙහෝවා දෙවියන් තමයි හැම දෙයක්ම නිර්මාණය කළේ. බයිබලයේ කියන්නේ “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි” කියලයි. (රෝම 1:20) ඒ වගේම “දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය. තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙරෙමියා 10:12) දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් දිහා බලද්දී ඔහු අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා පැහැදිලි වෙනවා.
දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන හිතන්න. බයිබලයේ කියන්නේ දෙවියන් “ඔහුගේම ගතිලක්ෂණ ඇතුව” අපිව නිර්මාණය කළා කියලයි. (උත්පත්ති 1:27) යෙහෝවා දෙවියන් වගේ ගොඩක් බලවත්, උසස් කෙනෙක්ගේ ගතිලක්ෂණ යම් දුරකට හරි අපිට පෙන්නන්න පුළුවන් ඒ නිසායි. ඒ විතරක් නෙමෙයි දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහු හිතන විදිහ, ඔහු කැමති අකමැති දේවල් තේරුම්ගැනීමේ හැකියාවත් ඇතුවයි. ඒ නිසා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්න අපිට පුළුවන්. ඒකෙන් ජීවිතයට නියම සතුට ලැබෙනවා. වැදගත්ම දේ අපේ නිර්මාතෘ එක්ක බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා.
දෙවියන් පොළොව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන හිතන්න. ඕනෙ නම් ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය දේවල් විතරක් දෙවියන්ට නිර්මාණය කරන්න තිබුණා. ඒත් ජීවිතයට රසයක් එකතු කරන විවිධාකාර නිර්මාණවලින් පොළොව පුරවලා තියෙන එකෙන් දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා පේනවා. බයිබල් ලේඛයෙක් වුණ පාවුල් මෙහෙම කිව්වා. “ඔහු බොහෝ යහපත් දේවල් කරමින් තමා සිටින බවට සාක්ෂි ලබා දුන්නා. ඔහු එසේ කළේ ඔබට වැසි ලබා දීමෙන්, සරු අස්වනු ලබා දීමෙන්, කෑමට අවශ්‍ය තරම් ආහාර ලබා දීමෙන් සහ ඔබේ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දීමෙනුයි.” (ක්‍රියා 14:17) ඒත් අද අපි භුක්ති විඳින්නේ දෙවියන් මිනිසුන් වෙනුවෙන් සූදානම් කරපු දේවලින් අල්ප මාත්‍රයක් විතරයි.
දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට හැමදාම මේ පොළොවේ ජීවත් වෙන්න. ‘ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොවේ’ කියලත් “පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය” කියලත් ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වන්නෝය’ කියලත් බයිබලයේ කියනවා.—යෙසායා 45:18; ගීතාවලිය 115:16; 37:29.
දෙවියන්, මුල් මිනිස් යුවළව නිර්මාණය කරලා ලස්සන උයනක එයාලව පදිංචි කළා. ‘උයන බලාගෙන එහි වගා කරලා’ මේ පොළොවේ සතුටින් සදහටම ජීවත් වීමේ අවස්ථාව එයාලට තිබුණා. (උත්පත්ති 2:8, 15) දෙවියන් එයාලට විශේෂ පැවරුමකුත් දුන්නා. ඔහු කිව්වා “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියලා. (උත්පත්ති 1:28) ඒත් එයාලා දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා ‘පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වීමේ’ අවස්ථාව එයාලා නැති කරගත්තා. ඒ වුණත් පොළොව සහ මිනිසුන් ගැන දෙවියන්ට තිබුණ අරමුණ වෙනස් වුණේ නැහැ.
බයිබලය ලබා දුන්නා
දෙවියන් ඔහුගේ වචනය වන බයිබලය අපිට දුන්නේ ඇයි? ඒකට මූලිකම හේතුව දෙවියන් කැමතියි අපි ඔහු ගැන ඉගෙනගන්නවාට. (හිතෝපදේශ 2:1-5) ඇත්ත, දෙවියන් ගැන අපේ මනසට එන හැම ප්‍රශ්නෙටම උත්තර බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (දේශනාකාරයා 3:11) ඒත් ඔහුව හොඳින් දැන හඳුනාගෙන ඔහුට ළං වෙන්න අවශ්‍ය හැම තොරතුරක්ම බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් මිනිසුන් එක්ක කටයුතු කරපු විදිහ ගැනත් ඔහු කැමති අකැමති ගුණාංග මොනවාද කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 15:1-5) නමස්කාරය ගැන, සදාචාරය ගැන, ධන සම්පත් ගැන දෙවියන් කියලා තියෙන දේවල් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ඒත් ඒ හැම දේටම වඩා යේසුස් ක්‍රිස්තුස් ගැන සඳහන් දේවල් දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනාගන්න උදව් වෙනවා. මොකද දෙවියන්ගේ ගතිලක්ෂණ හොඳින්ම පෙන්නුවේ ඔහුයි.—යොහන් 14:9.
දෙවියන් බයිබලය දුන්න තවත් හේතුවක් තමයි මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්න. පවුල් ජීවිතය සතුටින් ගත කරන්නේ කොහොමද, තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ කොහොමද, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ‘අපි දුක් විඳින්නේ ඇයි, අනාගතයේදී මොනවාද වෙන්නේ, තම අරමුණ ඉටු කරගන්න දෙවියන් කරලා තියෙන්නේ මොනවාද’ වගේ වැදගත් ප්‍රශ්නවලටත් උත්තර බයිබලයේ සඳහන් වෙනවා.
බයිබලය අද්විතීය පොතක් වෙන්න තවත් හේතු තියෙනවා. බයිබලයේ කතෘ යෙහෝවා දෙවියන්. (2 තිමෝති 3:16) ඒ නිසයි අවුරුදු 1,600ක් පුරා විවිධ මිනිසුන් 40දෙනෙක් ලිව්වත් එකම තේමාවක් ඔස්සේ බයිබලය ලියවිලා තියෙන්නේ. ඒ වගේම බයිබලයේ තියෙන අදහස් වෙනස් නොවී අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙනවා. බයිබලයේ මුල් අත්පිටපත් එක්ක සන්සන්දනය කරද්දී ඒක පැහැදිලියි. අතීතයේදී බයිබලය කියවන එක, පරිවර්තනය කරන එක, බෙදාහරින එක වළක්වන්න විරුද්ධවාදීන් නොකරපු දෙයක් නැහැ. ඒත් අද වෙද්දී ලෝකේ වැඩියෙන්ම බෙදාහරින සහ පරිවර්තනය කරන පොත බයිබලයයි. “අපේ දෙවිගේ වචනය සදහටම පවතියි” කියලා බයිබලයේ සඳහන් දේ මොන තරම් ඇත්තක්ද!—යෙසායා 40:8.
තමන්ගේ පුත්‍රයාව දුන්නා
දෙවියන්ගේ මුල් අරමුණ වුණේ මිනිසුන් මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා දකින එකයි. ඒත් ආදම් සහ ඒවගේ අකීකරුකම නිසා එයාලට විතරක් නෙමෙයි එයාලගෙන් පැවත එන අයටත් ඒ අවස්ථාව අහිමි වුණා. බයිබලයේ ඒ ගැන කියන දේ බලන්න. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” (රෝම 5:12) ඇති වුණ ඒ ප්රශ්නය දෙවියන් විසඳුවේ කොහොමද?
ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් කටයුතු කරපු විදිහෙන් ඔහුගේ ප්‍රධාන ගතිලක්ෂණ පැහැදිලිව පෙනුණා. දෙවියන් යුක්තිසහගත කෙනෙක් නිසා ආදම් සහ ඒව කරපු වරදේ ප්‍රතිඵලවලට මුහුණ දෙන්න ඉඩ හැරියා. ඒත් දෙවියන් ප්‍රේමණීය කෙනෙක් නිසා එයාලගෙන් පැවතෙන අයව අත්හැරලා දාන්නේ නැතුව එයාලට හොඳ බලාපොරොත්තුවක් දුන්නා. ඒ වගේම දෙවියන් ප්‍රඥාවන්තව ඇති වුණ ප්රශ්නය විසඳන විදිහ ඒ වෙලාවෙම පැහැදිලි කළා. (උත්පත්ති 3:15) දෙවියන් තම එකම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඒ ප්රශ්නය විසඳන්න පියවර ගත්තා.
පාපයෙන් සහ මරණයෙන් මිනිසුන්ව ගලවාගන්න දෙවියන් යේසුස්ව පොළොවට එව්වා. යේසුස් ‘බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කළා.’a ඒ විතරක් නෙමෙයි සදාකාල ජීවනය ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලත් ඉගැන්නුවා. (මතෙව් 20:28; යොහන් 14:6) යේසුස් ආදම්ට සමාන පරිපූර්ණ කෙනෙක් නිසා මිනිසුන්ව ගලවාගන්න අවශ්‍ය වන්දිය ගෙවන්න ඔහුට පුළුවන්. ඔහු මරණය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා තම ජීවිතය අපි වෙනුවෙන් පූජා කිරීමෙන් ඒ වන්දිය ගෙව්වා. ඒ නිසා ආදම් අහිමි කරගත්ත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව දෙවියන්ට කීකරු වෙන අයට ලැබුණා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ.” (රෝම 5:19) යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවියන්ගේ අරමුණු ළඟදීම ඉටු වෙන්න යනවා.
ආදම් අකීකරු වුණ වෙලාවේ දෙවියන් කටයුතු කරපු විදිහෙන් දෙවියන් අරමුණු කරපු දෙයක් වෙනස් කරන්න කිසිම කෙනෙක්ට බැහැ කියලා පැහැදිලි වෙනවා. “මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය” කියලා දෙවියන්ම සහතික කරනවා. (යෙසායා 55:11) ඒ වගේම දෙවියන්ට මිනිසුන් ගැන මොන තරම් ආදරයක් තියෙනවාද කියලත් ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය.’—1 යොහන් 4:9, 10.
යෙහෝවා දෙවියන් “අප සියල්ලන් උදෙසා ඔහුගේ පුත්‍රයාව” දුන්නා නම් අනාගතයේදී දෙන්න පොරොන්දු වෙලා තියෙන ‘අන් සියල්ලත් අපට කාරුණිකව ලබා දෙයි’ කියලා කිසිම සැකයක් නැහැ. (රෝම 8:32) ඒත් දෙවියන් අනාගතයේදී අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?
දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද? දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ හැමදාටම මේ පොළොවේ ජීවත් වෙන්නයි. දෙවියන් බයිබලය දුන්නේ අපිට ඔහු ගැන ඉගෙනගන්නයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවියන්ගේ අරමුණ ළඟදීම ඉටු වෙන්න යනවා
a යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 27 පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන එය www.jw.org/si වෙබ් අඩවියෙන් ලබාගන්න.