‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
අප්‍රියෙල් 13-19
දේවවචනය නිධානයක් | උත්පත්ති 31
“සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්”
it-1-E 883 1¶
ගලෙයෙද්
යාකොබ් සහ ලාබන් එයාලා අතර ඇති වුණු ආරවුල විසඳගෙන සමාදාන වුණාට පස්සේ ඒ දෙන්නා එකිනෙකා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුම ස්ථිර කරන්න යාකොබ් ගල් කණුවක් හිටෙව්වා. ඊටපස්සේ එයා “පවුලේ අයට” කිව්වා ගල් ටිකක් එකතු කරලා එක තැනකට ගොඩ ගහන්න කියලා. ගිවිසුම ඇති කරගත්තාට පස්සේ එයාලා එතැන ඉඳන් කෑම කාලා තියෙනවා. සමහරවිට ඒ ගල් ගොඩ එයාලා මේසයක් විදිහට පාවිච්චි කරන්න ඇති. ලාබන් ඒ ගල් ගොඩ හැඳින්නුවේ ඇරමයික (සිරියානු) භාෂාවෙන් “යේගාර්-සාහදූතා” කියලයි. හැබැයි යාකොබ් ඒක “ගලෙයෙද්” කියන හෙබ්‍රෙව් වචනයෙන් හැඳින්නුවා. ඊටපස්සේ ලාබන් කිව්වා “අද මේ ගල් ගොඩ [හෙබ්‍රෙව් බසින්, “ගල්”] ඔබත් මාත් ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක් [හෙබ්‍රෙව් බසින්, “එයෙද්”] වෙයි” කියලා. (උත් 31:44-48) එතනින් යන එන අයට ඒ දෙන්නා අතරේ ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා කියන එකට ඒ ගල් ගොඩ (සහ ගල් කණුව) සාක්ෂියක් වුණා. ඒ දෙන්නා අතරෙත් ඒ දෙන්නාගේ පවුල්වල අය අතරෙත් දිගටම සාමය පවත්වගන්නවා කියලා යාකොබ් සහ ලාබන් එකිනෙකාට වුණු පොරොන්දුවට ඒ ගල් ගොඩ සාක්ෂියක් වුණා. ඒ නිසයි 49වෙනි පදයේ ඒක “මුරටැඹ [හෙබ්‍රෙව් බසින්, “සෆා”]” කියන නමිනුත් හඳුන්වලා තියෙන්නේ. (උත් 31:50-53) පස්සේ කාලෙකත් යම් දේවලට සාක්ෂියක් විදිහට ගල් යොදාගෙන තියෙනවා.—යොෂු 4:4-7; 24:25-27.
it-2-E 1172
මුරටැඹ
යාකොබ් ගල් ගොඩක් එක තැනකට එකතු කරලා ඒක “ගලෙයෙද්” (තේරුම, “සාක්ෂිකරුවන්ගේ ගොඩ”) සහ “මුරටැඹ” කියන නම්වලින් හැඳින්නුවා. ඊටපස්සේ ලාබන් මෙහෙම කිව්වා. “අප දෙදෙනා එකිනෙකාගෙන් ඈත් වී සිටින විට යෙහෝවා දෙවි අප දෙස බලාවා!” (උත් 31:45-49) ඇති කරගත්ත ගිවිසුමට එකඟව යාකොබ් සහ ලාබන් දිගටම සාමය පවත්වගන්නවාද කියලා යෙහෝවා දෙවියන් බලාගෙන ඉන්නවා කියන එකට ඒ ගල් ගොඩ සාක්ෂියක් වුණා කියලා ඒකෙන් පැහැදිලියි.
ගැඹුරින් හොයමු
it-2-E 1087-1088
ටෙරෆිම් රූප
මෙසපොතේමියාවේ සහ ඒ අවට ප්‍රදේශවල කරපු පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හොයාගෙන තියෙනවා යම් කෙනෙක් ළඟ පවුලට අයිති ටෙරෆිම් රූප තියෙනවා නම් පවුලේ උරුමය ලබාගන්න එයාට අයිතිය තිබුණා කියලා. ඒ වගේම නූසි කියන ප්‍රදේශයෙන් හමු වුණු ගල් පුවරුවක සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා බෑනා කෙනෙක් ළඟ පවුලට අයිති දේවතා රූප තියෙනවා නම් උසාවියට ගිහින් මාමණ්ඩිට හිමි දේපළවලට අයිතිවාසිකම් කියන්න එයාට හැකියාව තිබුණා කියලා. (Ancient Near Eastern Texts, edited by J. Pritchard, 1974, pp. 219, 220, and ftn 51) සමහරවිට ඒ හේතුව නිසා වෙන්න ඇති තමන්ගේ තාත්තා වන ලාබන්ගේ ටෙරෆිම් රූප ගන්න එකේ වරදක් නැහැ කියලා රාකෙල් හිතන්න ඇත්තේ. මොකද ඒ වෙද්දීත් ලාබන් යාකොබ්ව රවට්ටලා එයාට අසාධාරණ විදිහට සලකලයි තිබුණේ. (උත් 31:14-16 බලන්න.) ලාබන් තමන්ගේ සහෝදරයන් එක්ක දවස් හතක් පුරාම යාකොබ්ව ලුහුබැන්ද එකෙනුත් පැහැදිලි වෙනවා පවුලට හිමි දේපළවලට අයිතිවාසිකම් කියන්න ටෙරෆිම් රූප ළඟ තියෙන එක කොයි තරම් වැදගත් දෙයක් වුණාද කියලා. (උත් 31:19-30) රාකෙල් ඒ රූප ගත්තා කියලා යාකොබ් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. (උත් 31:32) ඒ වගේම ටෙරෆිම් රූප පාවිච්චි කරලා තමන්ගේ මාමණ්ඩිගේ දේපළ අයිති කරගන්න යාකොබ් උත්සාහ කළා කියලත් කිසිම සඳහනක් නැහැ. ඒ විතරක් නෙවෙයි යාකොබ් රූප නමස්කාරයට කිසිම විදිහකින්වත් සම්බන්ධ වුණේ නැහැ. ෂීකෙම් අසල විශාල ගස යට බොරු දෙවිවරුන්ගේ රූප වළ දාපු අවස්ථාව වෙද්දීත් ටෙරෆිම් රූප එයා ළඟ තිබුණා නම් ඒවාත් ඒ එක්කම වළ දාන්න ඇති කියලා හිතන්න පුළුවන්.—උත් 35:1-4.
අප්‍රියෙල් 20-26
දේවවචනය නිධානයක් | උත්පත්ති 32-33
“ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?”
it-2-E 190
කොර, කොරගැසීම
යාකොබ්ගේ කොරගැසීම. අවුරුදු 97දී විතර යාකොබ් මුළු රැයක් පුරාම දේවදූතයෙක් එක්ක පොරබැදුවා. දේවදූතයා තමන්ට ආශීර්වාද කරන කල්ම යාකොබ් එයාට යන්න දුන්නේ නැහැ. ඒ පොරබැදීම අතරතුරේදී දේවදූතයා යාකොබ්ගේ කළව සන්ධිය ඇල්ලුවාම කළව සන්ධියේ ඇටය පැන්නා. එදා ඉඳන් තමයි යාකොබ් කොරගහන්න පටන්ගත්තේ. (උත් 32:24-32; හොෂෙ 12:2-4) යාකොබ් “දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද ජය ගත්තා” කියලා දේවදූතයා කියපු දෙයින් අදහස් වෙන්නේ නැහැ එයා ඇත්තටම දෙවියන්ගේ බලවත් දේවදූතයාව පැරැද්දුවා කියලා. දෙවියන් තමයි ඒ දේ එහෙම වෙන්න සැලැස්සුවේ. මොකද දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න යාකොබ්ට මොන තරම් උවමනාවක් තිබුණාද කියලා දෙවියන් හොඳින්ම දැනන් හිටියා. දේවදූතයෙක් එක්ක පොරබදින්න තමන්ට පුළුවන් වුණේ දෙවියන් ශක්තිය දීපු නිසයි කියන දේ යාකොබ් කොරගහන වතාවක් වතාවක් පාසා එයාට සිහි වෙන්න ඇති.
it-1-E 1228
ඊශ්‍රායෙල්
1. දෙවියන් යාකොබ්ට ඊශ්‍රායෙල් කියන නම දුන්නේ යාකොබ්ට වයස අවුරුදු 97දී විතර. යාකොබ් එක රාත්‍රියකදී යබ්බොක් ඔයෙන් එතෙර වෙලා ඒසව්ව හමු වෙන්න යද්දී දේවදූතයෙක් එක්ක පොරබැදුවා. අත්හරින්නේ නැතුව දිගටම පොරබැද්ද නිසා දෙවියන්ගේ ආශීර්වාදය එයාට ලැබුණා කියලා පෙන්වන්න තමයි දෙවියන් ඊශ්‍රායෙල් කියන නම එයාට දුන්නේ. ඒ සිද්ධිය මතක් වෙන්න යාකොබ් ඒ තැන පෙනීයෙල් නැත්නම් පෙනුයෙල් කියලා හැඳින්නුවා. (උත් 32:22-31) පස්සේ දෙවියන් ආයෙත් වතාවක් බෙතෙල්වලදීත් යාකොබ්ව ඊශ්‍රායෙල් කියන නමින් හැඳින්නුවා. එදායින් පස්සේ හුඟක් අවස්ථාවලදී යාකොබ්ව හැඳින්නුවේ ඒ නමින්. (උත් 35:10, 15; 50:2; 1ලේක 1:34) බයිබලයේ ඊශ්‍රායෙල් කියන නම 2,500 වතාවකට වඩා සඳහන් වෙනවා. ඒ අවස්ථාවලින් වැඩි හරියකම ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ යාකොබ්ගෙන් බිහි වුණු ජාතිය හඳුන්වන්නයි.—නික් 5:1, 2.
ගැඹුරින් හොයමු
it-1-E 980
ඊශ්‍රායෙල්ගේ දෙවි
පෙනීයෙල්වලදී යෙහෝවා දෙවියන්ගේ දූතයෙක් එක්ක පොරබැද්දාට පස්සේ යාකොබ්ට දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණා. එයාට ඊශ්‍රායෙල් කියන නම ලැබුණෙත් ඒසව්ව මුණගැහුණු වෙලාවෙදී එයාලා අතරේ කිසි ප්‍රශ්නයක් ඇති නොවුණෙත් ඒ නිසයි. ඒ සිද්ධියෙන් පස්සේ යාකොබ් සුක්කොත්වලත් ෂීකෙම්වලත් ජීවත් වුණා. එයා ෂීකෙම්වලදී හාමෝර්ගේ පුත්‍රයන්ගෙන් ඉඩමක් මිල දී අරන් එහේ කූඩාරම් ගහගත්තා. (උත් 32:24-30; 33:1-4, 17-19) යාකොබ් එහෙදී පූජාසනයක් ගොඩනඟලා ඒක “ඊශ්‍රායෙල්ගේ දෙවි” කියන නමින් හැඳින්නුවා. (උත් 33:20) ඒ පූජාසනය “ඊශ්‍රායෙල්ගේ දෙවි” කියන නමින් හඳුන්වපු එකෙන් අලුතින් ලැබුණු ඊශ්‍රායෙල් කියන නම යාකොබ් භාරගත්තා කියලත් පොරොන්දු දේශයට එන ගමන අතරතුරේදී දෙවියන්ගෙන් ලැබුණු ආරක්ෂාව එයා අගය කළා කියලත් පැහැදිලි වෙනවා. “ඊශ්‍රායෙල්ගේ දෙවි” කියන යෙදුම බයිබලයේ සඳහන් වෙන්නේ මේ අවස්ථාවේදී විතරයි.
අප්‍රියෙල් 27–මැයි 3
දේවවචනය නිධානයක් | උත්පත්ති 34-35
ගැඹුරින් හොයමු
it-1-E 600 4¶
දෙබොරා
1. රෙබෙකාගේ කිරි මව. රෙබෙකා එයාගේ තාත්තා වුණු බෙතුයෙල්ගේ නිවසෙන් පිට වෙලා ඊසාක්ව විවාහ කරගන්න පලස්තීනයට යද්දී දොබොරාත් එයාත් එක්ක ගියා. (උත් 24:59) එයා ඊසාක්ගේ නිවසේ අවුරුදු ගාණක් සේවය කළාට පස්සේ යාකොබ්ගේ නිවසෙත් සේවය කළා. රෙබෙකාගේ මරණයෙන් පස්සේ වෙන්න ඇති එයා යාකොබ්ගේ නිවසේ සේවය කරන්න ඇත්තේ. පේන විදිහට ඊසාක් සහ රෙබෙකා විවාහ වෙලා අවුරුදු 125කට විතර පස්සේ තමයි දෙබොරා මිය ගිහින් තියෙන්නේ. එයාව භූමදානය කළේ බෙතෙල්වල තිබුණු විශාල ගහ යටයි. ඊටපස්සේ ඒ ගහ “වැලපීමේ විශාල ගස” කියන තේරුම තියෙන “අල්ලොන් බාකුත්” කියන නමින් හඳුන්වලා තියෙනවා. යාකොබ්ටත් එයාගේ පවුලේ අයටත් දෙබොරා ගැන කොච්චර ආදරයක් තිබුණාද කියලා ඒකෙන් පැහැදිලියි.—උත් 35:8.