සැබෑ දෙවියන්වහන්සේට දැන් භය විය යුත්තේ මන්ද?
“[සැබෑ] දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.
1, 2. දෙවියන්වහන්සේට නිසි භයක් තිබීම සුදුසු වන්නේ මන්ද?
සනීපදායක ගරුබිය ප්‍රණාමය සහිතව දෙවියන්වහන්සේට දක්වන භය මිනිසා උදෙසා යහපත්ය. එසේය, මිනිස් භීතින් බොහොමයක් චිත්තවේගයන් චංචල කරවන අතර, අපගේ ශුභසිද්ධියට පවා අහිතකර වුවද, යෙහෝවඃ දෙවියන්වහන්සේට භයවීම යහපත්ය.—ගීතාවලිය 112:1; දේශනාකාරයා 8:12.
2 මැවුම්කරුවාණන්වහන්සේ මෙය දන්නාසේක. ස්වකීය මැවිලිවලට ඇති ප්‍රේමය නිසා, තමන්වහන්සේට භයවී නමස්කාර කරන ලෙස උන්වහන්සේ සියල්ලන්ට ආඥා කරනසේක. අපි මෙසේ කියවමු: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දීපල්ලා; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැන්වහන්සේට නමස්කාරකරපල්ලායයි කීය.”—එළිදරව් 14:6, 7.
3. මැවුම්කරුවාණන් අපගේ පළමු දෙමාපියන් වෙනුවෙන් කුමක් කළසේක්ද?
3 අප කිසිම විටක සියලු දේවල මැවුම්කරුවාණන් සහ ජීවිතයේ උල්පතාණන්ව නොසලකා නොහැරිය යුතුය, මන්ද අපවත් මේ ග්‍රහයාත් අයිති වන්නේ උන්වහන්සේට බැවිනි. (ගීතාවලිය 24:1) ස්වකීය මහත් ප්‍රේමය ප්‍රකාශ කිරීමක් වශයෙන්, යෙහෝවඃවහන්සේ ස්වකීය භූමික දරුවන්ට ජීවිතය දානය කළ අතර, ජීවත්වීමට පුදුමාකාර තැනක්—එනම් අලංකාර පාරාදීසයක් සපයා දුන්සේක. එහෙත්, මෙම පුදුමාකාර ත්‍යාගය පදනම් විරහිත එකක් නොවීය. ඇත්තෙන්ම කියනවා නම්, මෙය විශ්වාසයකින් යුතුව දෙන ලද්දකි. අපගේ පළමු දෙමාපියන්ට තම භූමික නිවස බලාගැනීමටත්, ඔවුන් එහි ජනාවාස වී මුළු පොළොව යටත් කරගන්නා තෙක්, එය ව්‍යාප්ත කිරීමටත් තිබිණ. ඔවුන්ද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද සමඟ පොළොව හවුලේ භුක්තිවිඳිනු ඇති භූමියේ සතුන්, පක්ෂීන් හා මත්ස්‍යයන් වැනි වෙනත් සියලු සතුන් කෙරෙහි වරප්‍රසාද හා වගකීම්ද ඔවුන්ට තිබිණ. මෙම මහත් විශ්වාසය සම්බන්ධයෙන්, පුරුෂයා වගකියනු ඇත.
4. මිනිසා දෙවියන්වහන්සේගේ මැවිලිවලට කුමක් කර ඇද්ද?
4 එම පුදුමාකාර ආරම්භය එසේ වුවත්, මිනිසා තම අලංකාර භූමික නිවාසය අපිරිසිදු කිරීමට කර තිබෙන දෙය දෙස බලන්න! මැණිකක් බඳු මෙම පොළොව සම්බන්ධයෙන් දේවහිමිකාරත්වයට සරදම්ශීලීව පිටුපෑමක් ලෙස, මිනිසා එය කිලිටි කර ඇත. මෙම දූෂණය, වැඩිවෙමින් පවතින සත්ව වර්ගයන්ගේ, පක්ෂීන්ගේ හා මත්ස්‍යයන්ගේ පැවැත්ම පවා තර්ජනයට ලක් කරන තැනට පැමිණ තිබේ. අපගේ යුක්තිසහගත හා ප්‍රේමනීය දෙවියන්වහන්සේ මෙය සදාකාලයටම ඉවසා සිටින්නේ නැත. පොළොව දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් ගණන් දීමක් කරන ලෙස මොරගැසීමක් සිදුවන අතර, මෙය නම් බොහෝදෙනෙකුට භයවීමට හේතුවන කාරණයකි. අනික් අතට, දෙවියන්වහන්සේ කෙරෙහි ගෞරවනීය ලෙස විශ්වාසය තබන අයට සිදුවන්ට යන දේ ගැන දැනගැනීම සැනසිලිදායකය. යෙහෝවඃවහන්සේ ගණන් දීමක් සඳහා කැඳවනවා ඇත, තවද පොළොව නැවත යථා තත්වයට පත් කරනවා ඇත. මෙය සැබවින්ම පොළොව මත වෙසෙන හරිහෘදයක් ඇති සියල්ලන් උදෙසා සතුටුදායක පුවතක්ය.
5, 6. මිනිසා ස්වකීය මැවිල්ලට කර තිබෙන දෙය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද?
5 දෙවියන්වහන්සේ ස්වකීය විනිශ්චය ක්‍රියාත්මක කරන්නේ කිනම් මාර්ගයෙන්ද? දැන් දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජු වශයෙන් සිංහාසනාරූඪ වී සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය. එම ස්වර්ගික පුත්‍රයාණන් මාර්ගයෙන්, යෙහෝවඃවහන්සේ මෙම වත්මන් අපිරිසිදු කැරලිකාර පිළිවෙළ සමාප්තියකට ගෙනෙනවා ඇත. (2 තෙසලෝනික 1:6-8, 10; එළිදරව් 19:11) මේ අන්දමින් උන්වහන්සේ තමන්ට භය වන්නන්ට සහනය ගෙන දෙන අතරම, අපගේ භූමික නිවස මුදාගෙන රැකගන්නාසේක.
6 මෙය සිදුවනු ඇත්තේ කෙසේද? අර්මගෙදොන් නමැති යුද්ධයෙන් උච්චාවස්ථාවකට පැමිණෙන මහත් පීඩාවක් ගැන බයිබලය අපට කියයි. (එළිදරව් 7:14; 16:16) මෙය වනාහි, දේවල මෙම දූෂිත පිළිවෙළට සහ එය දූෂණයකරන්නන්ට එරෙහිව දෙවියන්වහන්සේගේ විනිශ්චය වනු ඇත. යම් මිනිස් පිරිසක් බේරී ඉතිරි වනු ඇද්ද? එසේය! දෙවියන්වහන්සේ කෙරෙහි බියජනක, සුවදායක නොවන බියක් නොව නමුත්, උන්වහන්සේ කෙරෙහි ගරුබිය ප්‍රණාමය සහිත බියක් ඇති අය බේරී ඉතිරිවනු ඇත. ඔවුන්ව ගළවනු ලබනවා ඇත.—හිතෝපදේශ 2:21, 22.
බලය චමත්කාරජනක ලෙස ප්‍රදර්ශනය කිරීමක්
7. මෝසෙස්ගේ දවස්වලදී දෙවියන්වහන්සේ ඉශ්රායෙල් වෙනුවෙන් මැදිහත් වූයේ මන්ද?
7 යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් සිදු කරන්ට යන මෙම චමත්කාරජනක ක්‍රියාව, අපගේ පොදු යුගයට අවුරුදු 1500කට පමණ පෙර ස්වකීය නමස්කාරකයන් වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ බලවත් ක්‍රියාවකින් පූර්වාදර්ශනය කරන ලදි. මිසරයේ මහත් හමුදා බලවේගය, තම රට තුළට සංක්‍රමණය වී සිටි ඉශ්රායෙල් ශ්‍රම බලකාය වහල් කරගෙන සිටි අතර, එහි පාලකයා වූ ඵාරාවෝ, අලුත උපන් සියලු ඉශ්රායෙල් පිරිමින්ව ඝාතනය කිරීමට අණ කළ විට, ඔවුහු යම් ආකාරයක සමූලඝාතනයක් පවා කිරීමට තැත් කළෝය. මිසරයට එරෙහිව දේවජයග්රහණයේ අරමුණ වූයේ, ඉශ්රායෙල් ජාතියට එම පීඩාකාරි දේශපාලන ක්‍රමයෙන් නිදහස ගෙන ඒමය, එසේය, දෙවිවරුන් බොහොමයක් නමස්කාර කිරීම මගින් දූෂ්‍ය වී සිටි ජාතියකින් නිදහස ලබාදීමය.
8, 9. මෝසෙස් සහ ඉශ්‍රායෙලිතයන් දෙවියන්වහන්සේගේ මැදිහත් වීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
8 නික්මයාම 15වන පරිච්ජේදය, මිසරයෙන් නිදහස ලැබීම කෙරෙහි ඉශ්රායෙල් දැක්වූ ප්‍රතිචාරය වාර්තා කරයි. ආත්මිකව හා භෞතික වශයෙන් කිලිටි වූ මෙම වත්මන් පිළිවෙළින් ක්‍රිස්තියානීන්ව ගැළවිය හැකි ආකාරය අගය කිරීමට මෙම වාර්තාව අපට උපකාරවත් වේ. අපි දැන් නික්මයාම 15වන පරිච්ඡේදයේ තෝරාගත් පාඨ කිහිපයක් සලකා බලමින්, අප සැබෑ දෙවි වූ යෙහෝවඃවහන්සේට භයවීමට තෝරාගත යුත්තේ මන්ද කියා ඉගෙනගැනීමට අපගේ අවධානය යොමු කරමු. අපි 1වන සහ 2වන පදවලින් පටන්ගනිමු:
9 එම අවස්ථාවේදී මෝසෙස් හා ඉශ්රායෙල් පුත්‍රයෝ යෙහෝවඃවහන්සේට මෙම ගීතය ගායනා කරමින් පහත සඳහන් දේ පවසන්ට වූහ: “මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක. මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක.”
10. දෙවියන්වහන්සේ විසින් මිසරයේ හමුදාව විනාශ කිරීම දක්වා සිදුවූ දේවල් කවරේද?
10 යෙහෝවඃවහන්සේ මිසරයෙන් ඉශ්රායෙල් ජාතිය ගළවාගත් ආකාරය සමස්ත ලෝකයා හොඳින් දනිති. අවසානයේදී ඵාරාවෝ ඉශ්රායෙල්වරුන්ට පිටව යෑමට ඉඩහරින තෙක්, උන්වහන්සේ එම බලවත් ලෝක බලවේගය මතට පීඩා ගෙනාසේක. එහෙත්, ඵාරාවෝගේ හමුදාව මෙම අසරණ ජනයා පසුපස ලුහුබැඳ ගොස්, රතු මුහුදේ වෙරළ අසබඩදී ඔවුන්ව කොටු කරගත් බවක් පෙනෙන්ට තිබිණ. තම අලුත ලබාගත් නිදහස විගසින් අහිමි වේය යන භයක් ඉශ්රායෙල් පුත්‍රයන් තුළ තිබූ බවක් පෙනී ගියත්, යෙහෝවඃවහන්සේගේ මනසේ වෙනත් යමක් තිබිණ. මුහුද තුළින් මාවතක් විවෘත කළ උන්වහන්සේ, ස්වකීය ජනයාව ආරක්ෂා සහිතව ගෙනාසේක. මිසරයන් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය විට, උන්වහන්සේ ඔවුන්ට ඉහළින් රතු මුහුද වසා දමා ඵාරාවෝ සහ ඔහුගේ හමුදා සේනාංක ගිල්වා දැමූසේක.—නික්මයාම 14:1-31.
11. මිසරයට එරෙහිව දෙවියන්වහන්සේ ගත් ක්‍රියාමාර්ගයෙන් ඇතිවූ ප්‍රතිඵලය කුමක්ද?
11 යෙහෝවඃවහන්සේ විසින් මිසර යුධ හමුදා විනාශ කිරීම, උන්වහන්සේගේ නමස්කාරකයන්ගේ ඇස් හමුවේ උන්වහන්සේව උසස් කළ අතර, උන්වහන්සේගේ නාමය පුළුල් ලෙස ප්‍රසිද්ධ විය. (යෝෂුවා 2:9, 10; 4:23, 24) එසේය, තම නමස්කාරකයන්ව ගළවාගැනීමට නොහැකි වූ මිසරයේ බල රහිත බොරු දෙවිවරුන්ට ඉහළින් උන්වහන්සේගේ නාමය උසස් කරන ලදි. තම දේවතාවුන්, මැරෙනසුලු මිනිසුන් සහ හමුදා බලය කෙරෙහි තබා තිබූ විශ්වාසය දැඩි සේ බලාපොරොත්තු සුන් තත්වයකට පත්විණ. (ගීතාවලිය 146:3) ස්වකීය ජනයාව බලවත් අන්දමින් ගළවාගන්නාවූ, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි සුවදායක භය පිළිබිඹු කළාවූ ප්‍රශංසා ගීත ගායනා කිරීමට ඉශ්‍රායෙලිතයන් පෙලඹීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත!
12, 13. රතු මුහුදේදී දෙවියන්වහන්සේගේ ජයග්රහණයෙන් අප ඉගෙනගත යුත්තේ කුමක්ද?
12 ඒ හා සමානව, අපගේ කාලයේ කිසිම බොරු දෙවියෙකුටවත්, න්‍යෂ්ටික අවි සහිත සුපිරි බලයකටවත්, යෙහෝවඃවහන්සේ හා සම සේ සිටීමට නොහැකිය යන කාරණයද අප පිළිගත යුතුය. උන්වහන්සේට ස්වකීය ජනයාව ගළවාගත හැකිය, තවද ගළවාගන්නවා ඇත. “උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.” (දානියෙල් 4:35) අප මෙම වචනවල අර්ථය මුළුමනින්ම වටහාගන්නා විට, උන්වහන්සේට සන්තෝෂයෙන් ප්‍රශංසා ගී ගායනා කිරීමට අපද පෙලඹෙනවා ඇත.
13 රතු මුහුද අසල ගායනා කරන ලද ජයග්‍රාහී ගීයේ තවදුරටත් මෙසේ පැවසේ: “ස්වාමීන්වහන්සේ යුද්ධ දක්ෂයෙක. උන්වහන්සේගේ නාමය ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW].” එමනිසා පරාජය කළ නොහැකි මෙම රණකාමියාණන් වූ කලි, මිනිසාගේ සිතිවිලිවල යම් අපැහැදිලි වූ ප්‍රබන්ධ කරන ලද කල්පමාත්රයක් නොවේ. උන්වහන්සේට නාමයක් ඇත! උන්වහන්සේ වනාහි ‘සිදුවීමට සලස්වන්නාය,’ ශ්‍රේෂ්ඨ සෑදුම්කරුවාණෝය, “යෙහෝවා නම්වූ . . . මුළු පොළොවට මහෝත්තමයාණන්[ය].” (නික්මයාම 3:14; 15:3-5; ගීතාවලිය 83:17) සර්වබලධාරී තැනැන්වහන්සේට අපහාස කරනවාට වඩා, උන්වහන්සේ කෙරෙහි සාධාරණ ගෞරවනීය භයක් එම ඉපැරණි මිසරයන්ට තිබුණා නම්, එය ප්‍රඥාවන්ත බවට ඔබ එකඟ වන්නේ නැද්ද?
14. දේවභයේ වටිනාකම රතු මුහුදේදී නිරූපණය කරනු ලැබුවේ කෙසේද?
14 පොළොවේ නිර්මාතෘ වශයෙන්, මුහුදේ සෑදුම්කරුවාණන්ට ජල රාශීන් කෙරෙහි පූර්ණ පාලනයක් ඇත. (නික්මයාම 15:8) සුළඟ කෙරෙහිද සිය පාලනය උපයෝගි කරගනිමින්, කරන්ට නොහැකියයි පෙනී ගිය දෙය උන්වහන්සේ ඉටු කළසේක. එක්තරා ස්ථානයක ගැඹුරු ජලය වෙන් කළ උන්වහන්සේ, ජල කඳන් ඒවායේ ප්‍රතිවිරුද්ධ පැතිවලට ආපසු තල්ලු කරමින්, ස්වකීය ජනයාට ඒ හරහා ගමන් කළ හැකිවන පිණිස ජල කොරිඩෝවක් ඇති කළසේක. දර්ශනය සිතෙන් මවාගන්න: ඉශ්රායෙල්ට බේරීයෑමට ආරක්ෂිත මඟක් සාදමින්, මිලියන ටොන් ගණනක් වූ මුහුදු වතුර හරි කෙළින් ඍජුව සිටින්නේ සමාන්තර බිත්ති දෙකක් මෙනි. එසේය, දෙවියන්වහන්සේ කෙරෙහි සුවදායක භයක් පිළිබිඹු කළ අය ආරක්ෂාව ලැබුවෝය. අනතුරුව, යෙහෝවඃවහන්සේ ජලය මුදාහරිමින්, ඵාරාවෝගේ හමුදා සහ ඔවුන්ගේ උපකරණ මුහුදේ ගිල්වමින්, විශාල ජලගැලීමක් ලෙස එය නැවතත් ගලා ඒමට සැලැස්සූසේක. කිසි වටිනාකමක් නැති දෙවිවරුන් හා මිනිස් හමුදා ශක්තිය අබිබවා දිව්‍ය බලයේ මොනතරම් විදහාපෑමක්ද! ඇත්තටම, භය විය යුත්තේ යෙහෝවඃවහන්සේට පමණි, එසේ නොවේද?—නික්මයාම 14:21, 22, 28; 15:8.
දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ භය නිරූපණය කිරීම
15. දෙවියන්වහන්සේගේ බලසම්පන්න ගැළවීමේ ක්‍රියාවලට අපගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?
15 අප මෝසෙස් සමඟ ආරක්ෂා සහිතව සිටියා නම්, අපත් මෙසේ ගායනා කිරීමට පෙලෙඹෙනවා නොඅනුමානය: “ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?” (නික්මයාම 15:11) එවන් හැඟීම් එවක් පටන් ශතවර්ෂ ගණනාවක් පුරා රැව් පිළිරැව් දී තිබේ. බයිබලයේ අවසාන පොතේ, දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ආලේප ලත් සේවකයන් කණ්ඩායමක් ගැන ප්‍රේරිත යොහන් විස්තර කරයි: “ඔව්හු දෙවියන් වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින් [සිටිති].” මෙම මහත් ගීතිකාව කුමක්ද? “සර්ව පරාක්රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය.”—එළිදරව් 15:2-4.
16, 17. අදදින අප සිදුවනවා දකින පුදුමාකාර දෙය කුමක්ද?
16 එසේම අදදිනත්, දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්ත පමණක් නොව, නමුත් උන්වහන්සේගේ ආඥාද අගය කරන නිදහස් වූ නමස්කාරකයෝ සිටිති. සියලු ජාතීන්ගෙන් පැමිණි ජනයා ආත්මිකව නිදහස් කරනු ලැබ තිබේ, මෙම දූෂිත ලෝකයෙන් වෙන් කරනු ලැබ තිබේ, මක්නිසාදයත් ඔවුහු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ආඥා පිළිගෙන ඒවා ක්‍රියාවට නංවති. සෑම වසරකම, ලක්ෂ ගණනක්දෙනා මෙම දූෂිත ලෝකයෙන් ගැළවී යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පිරිසිදු, ඍජු සංවිධානය සමඟ වාසය කිරීමට පැමිණෙති. ඉතා ඉක්මනින්, බොරු ආගමට සහ මෙම දුෂ්ට පිළිවෙළේ ඉතිරි කොටසට එරෙහිව දෙවියන්වහන්සේගේ ගිනිමය විනිශ්චය ඉටු කළායින් පසු, ඔවුන් ධර්මිෂ්ඨ නව ලෝකයක් තුළ සදාකාලයටම ජීවත් වෙනවා ඇත.
17 එළිදරව් 14:6, 7ට අනුකූලව, දැන් මිනිස්වර්ගයා, දේවදූතමය මඟ පෙන්වීම යටතේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කරන ලද විනිශ්චමය පණිවුඩයේ අනතුරු ඇඟවීමක් අසමින් සිටිති. පසුගිය වසරේ රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක, සාක්ෂිකරුවෝ මිලියන පහක් පමණ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ විනිශ්චයේ පණිවුඩය ප්‍රකාශ කළහ. තම සෙසු මිනිසුන්ව ගැළවීම සඳහා දැනුවත් කිරීමට, සාක්ෂිකරුවෝ නිතිපතා ජනයාගේ නිවාසවලට යමින්, නොමිලේ බයිබල් පාඩම් පැවැත්වූහ. මෙසේ, සෑම වසරකම සියදහස් ගණන්දෙනා සැබෑ දෙවියන්වහන්සේට බුද්ධිමත් ලෙස භය වී තම ජීවිත උන්වහන්සේට කැපකර, බව්තීස්ම වීමට ප්‍රමාණවත් වන පරිද්දෙන් ඉගෙනගනිති. එවැන්නන් සැබෑ දෙවියන්වහන්සේට භයවීමට පටන්ගෙන තිබීම කොතරම් ප්‍රීතියක්ද!—ලූක් 1:49-51; ක්‍රියා 9:31; සසඳන්න හෙබ්‍රෙව් 11:7.
18. දේවදූතයන් අපගේ දේශනා කිරීමට සම්බන්ධ වී ඇති බවට කුමක් නිදර්ශනය කරයිද?
18 දේවදූතයන් මෙම දේශනා වැඩයේ නියැලී සිටීම සැබෑවක්ද? ඇත්තෙන්ම, යම් පීඩාවකට පත්වූ කෙනෙකු ආත්මික උපකාරය පතා ආශාවෙන් සිටි, එමෙන්ම සමහරවිට යාච්ඤා කරමින් සිටි නිවසක් වෙතට දේවදූත මඟ පෙන්වීම යටතේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව යොමු කර තිබෙන බවට සහතික ලෙසම පෙනීයන බව පැහැදිලිය! නිදසුනක් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දෙදෙනෙක් කුඩා ළමයෙක් කැටුව කැරබියන් දූපතක ශුභාරංචිය පැවසීමේ යෙදී සිටියෝය. දහවල් දොළහ ළඟාවූවාත් සමඟ, සේවය නවතා ගෙදර යෑමට වැඩිහිටියෝ දෙදෙනා තීරණය කළෝය. එහෙත් එම ළමයා ඊළඟ නිවසට යෑමට උනන්දුවක් දැක්වූයේ අසාමාන්‍ය අන්දමිනි. ඒ වේලාවේදී වැඩිහිටියන් එහි යෑමට උනන්දුවක් නැති බව දුටු ළමයා, තනිවම ඒ කරා ගොස් නිවසේ දොරට තට්ටු කළේය. එක් යෞවන කාන්තාවක් දොර විවෘත කළාය. මෙය දුටු වැඩිහිටියෝද එහි ගොස් ඇයට කතා කළහ. ඔවුන්ට නිවස තුළට ආරාධනා කළ ඈ, දොරට තට්ටු කළ අවස්ථාවේ, තමාට බයිබලය ඉගැන්වීමට සාක්ෂිකරුවන්ව එවන මෙන්, තමා දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් සිටි බව පැහැදිලි කළාය. බයිබල් පාඩමක් සඳහා විධිවිධාන යෙදිණ.
19. දෙවියන්වහන්සේට භයවීමෙන් ලැබෙන ප්‍රයෝජන සම්බන්ධයෙන් අපට කුමක් ගෙනහැර දැක්විය හැකිද?
19 අප විශ්වාසවන්ත ලෙස දෙවියන්වහන්සේගේ විනිශ්චමය පණිවුඩය ගෙනයත්ම, අපි උන්වහන්සේගේ ධර්මිෂ්ඨ අණ පනත්ද උගන්වන්නෙමු. මේවා ජනයාගේ ජීවිතවලට අදාළ වෙත්ම, භෞතික සහ ආත්මික යන දෙපැත්තෙන්ම ආශීර්වාදවලට එය හේතු වෙයි. නිදසුනක් වශයෙන්, සියලු ලිංගික දුරාචාරය හෙළාදැකීම සම්බන්ධයෙන් බයිබලය පවසන දේ ඉතා පැහැදිලිය. (රෝම 1:26, 27, 32) අදදින ලෝකයේ දිව්‍ය ප්‍රමිති පුළුල් ලෙස නොසලකා හරිනු ලැබේ. ප්‍රතිඵලය කුමක්ද? විවාහ බිඳ වැටෙමින් පවතී. බාල අපචාරිකම වැඩිවෙමින් පවතී. මෙම 20වන සියවසේ හාත්පස පැතිර ඇති භයානක ලිංගිකව බෝවන රෝග වේගයෙන් පැතිර යයි. ඇත්තවශයෙන්ම, අතිභයංකර රෝගයක් වන ඒඩ්ස් විශාල ප්‍රමාණයකට පැතිරෙන්නේ ලිංගික දුරාචාරය මගිනි. එහෙත්, දෙවියන්වහන්සේ කෙරෙහි ගෞරවාන්විත භය, සැබෑ නමස්කාරකයන් උදෙසා මහත් ආරක්ෂාවක් බවට ඔප්පු වී නැද්ද?—2 කොරින්ති 7:1; පිලිප්පි 2:12; එමෙන්ම ක්‍රියා 15:28, 29ද බලන්න.
දැන් දෙවියන්වහන්සේට භයවීමේ ප්‍රතිඵල
20. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කීර්ති නාමය අන්‍යයන් දන්නා බවට කුමක් නිදර්ශනය කරයිද?
20 දෙවියන්වහන්සේට භය වන අයට සහ උන්වහන්සේගේ අණ පනත් අනුගමනය කරන අයට ආශීර්වාද බහුලය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සදාචාර වශයෙන් ඍජු ක්‍රිස්තියානීන්ගෙන් යුත් සාමකාමී සහෝදරත්වයක් සාදන බවට වූ සත්‍යය පිළිගැනීම වැඩිවෙමින් තිබෙන බව පැහැදිලිව පෙන්වන සිද්ධියක් සලකා බලන්න. දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සමුළුවකට පැමිණි නියෝජිතයන් පිරිසක් එක්තරා හෝටලයක නැවතී සිටි අතර, එම රටේ ජනාධිපති විසින් සාක්ෂිකාර නොවන පිරිසක් ඇමතීම සඳහා එම හෝටලය එක් රාත්‍රියක පාවිච්චි කරනු ලැබ තිබිණ. ආරක්ෂක නිලධාරීන් පිරිස එම ජනාධිපතිවරයාව ඉතා ඉක්මනින් විදුලි සෝපානය වෙත රැගෙන ආ අතර, විදුලි සෝපානයේ සිටින්නේ කවුදැයි නොදත් එක් සාක්ෂිකාරියක් එයට ඇතුල් වූයේ ආරක්ෂක නිලධාරීන්ව පුදුමයට පත් කරවමිනි! තමා කර තිබූ දෙය වටහාගත් සාක්ෂිකාරිය නොදැනුවත්කමින් එයට ඇතුල්වීම ගැන සමාව ඉල්ලා සිටියාය. තම සමුළු හඳුනාගැනීම් පත පෙන්වමින් තමා සාක්ෂිකාරියක බව පැවසූ ඈ, තමා ජනාධිපතිවරයාට කිසිම තර්ජනයක් නොවන බව පවසා සිටියාය. මඳ සිනහවක් පෑ ආරක්ෂක නිළධාරියා මෙසේ කීවේය: “සියලුදෙනාම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වගේ නම්, අපට මෙවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.”—යෙසායා 2:2-4.
21. අදදින ජනයාට කිනම් ක්‍රියාමාර්ග විවෘතව තිබේද?
21 දැන් යෙහෝවඃවහන්සේ එකතු කරමින් සිටින්නෙත්, නිමාවට පත්වන මෙම පිළිවෙළේ ‘මහත් පීඩා මැදින් බේරි ජීවත්වීමට’ සූදානම් කරමින් සිටින්නෙත් මේ ආකාරයේ ජනකායක්ය. (එළිදරව් 7:9, 10, 14) එවන් බේරී ජීවත්වීමක් අහම්බෙන් සිදුවන කාරණයක් නොවේ. බේරී ජීවත්වීම සඳහා, යම් පුද්ගලයෙක් යෙහෝවඃවහන්සේට භය විය යුතු අතර, උන්වහන්සේව යුක්තිසහගත පරමාධිපතියාණන් වශයෙන් පිළිගෙන උන්වහන්සේට කැපවිය යුතුය. එනමුත්, සැබෑ කාරණය නම්, වැඩිදෙනෙකු ආරක්ෂාව ලැබීමට වටින ආකාරයේ භයක් වගා නොකිරීමයි. (ගීතාවලිය 2:1-6) ලබාගත හැකි සියලු සාක්ෂිවලට අනුව, යෙහෝවඃවහන්සේ විසින් තෝරාගෙන තිබෙන පාලකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අර්බුදකාරි 1914 වර්ෂය පටන් රජු වශයෙන් පාලනය කරමින් සිටිනසේක. මින් අදහස් කරන්නේ, යෙහෝවඃවහන්සේ සඳහා සුවදායක භයක් ගොඩනැඟීමටත්, පිළිබිඹු කිරීමටත් ඉතිරි වී ඇති කාලය වේගයෙන් ගෙවී යන බවයි. තවමත් අපගේ මැවුම්කරුවාණෝ පුද්ගලයන්ට, එමෙන්ම බලවත් තත්වයන්හි සිටින්නන්ට පවා ප්‍රතිචාර දැක්වීමට ඉඩහරිනසේක: “එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්. පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.”—ගීතාවලිය 2:7-12.
22. දැන් දෙවියන්වහන්සේට භය වන අයට අනාගතයේ තිබෙන්නේ කුමක්ද?
22 අපව ගළවාගත් තැනැන්වහන්සේ ලෙස, අපගේ මැවුම්කරුවාණන්ට ප්රශංසාකරන්නන් අතරේ අපත් සිටීවා. එහෙත් මින් අවශ්‍ය කරන්නේ, අප විසින් සැබෑ දෙවියන්වහන්සේට දැන් භයවීමයි! (සසඳන්න ගීතාවලිය 2:11; හෙබ්‍රෙව් 12:28; 1 පේතෘස් 1:17.) අප දිගටම උන්වහන්සේගේ ධර්මිෂ්ඨ අණ පනත් ඉගෙනගෙන උන්වහන්සේට කීකරුවිය යුතුය. යෙහෝවඃවහන්සේ පොළොව මත සියලු දුෂ්ටකම් පහ කර, මිනිසාව සහ ඔහුගේ භූමික නිවස පාපයේ දූෂිත බලපෑම්වලින් සුව කිරීමට පටන්ගනිත්ම, එළිදරව් 15:3, 4හි වාර්තා වී ඇති පරිදි, මෝසෙස්ගේ හා බැටළුපැටවාණන්ගේ ගීතයේ හඬ කෙමෙන් කෙමෙන් ඉහළ නැංවෙනු ඇත. එවිට අපේ මුළු හෘදයෙන්ම අපි මෙසේ ගායනා කරන්නෙමු: “සර්ව පරාක්රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය. විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද?”
ඔබට මතකද?
◻ යෙහෝවඃවහන්සේ අපගේ සුවදායක භය ලැබීමට වටින්නේ මන්ද?
◻ රතු මුහුදේදී දෙවියන්වහන්සේ කළ දෙය මගින් විදහාපෙන්වන ලද්දේ කුමක්ද?
◻ යෙහෝවඃවහන්සේ කෙරෙහි වූ අපගේ ගෞරවාන්විත භයෙන් පැමිණෙන ප්‍රයෝජන මොනවාද?
◻ සැබෑ දෙවියන්වහන්සේට දැන් භය වන අයට ලැබෙන්නේ කිනම් අනාගතයක්ද?