ඔබ දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වී සිටිනවාද?
“[දෙවිගේ] විශ්රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු [විශ්‍රාම, NW] ගත්තේය.”—හෙබ්‍රෙව් 4:10.
1. විශ්‍රාම ගැනීම එතරම්ම ප්‍රිය දෙයක් වන්නේ ඇයි?
විශ්‍රාම ගැනීම. මොනතරම් ප්‍රිය උපදවන සෞම්‍ය වචනයක්ද! වේගයෙන් දිවයන, මේ කලබලකාරි ලෝකයේ ජීවත් වීමේදී, මඳ විශ්රාමයක් සතුටින් භාර ගැනේවි කියා අප කවුරුත් පිළිගනියි. බාල හෝ මහලු වේවා, විවාහක හෝ අවිවාහක වේවා, දෛනික ජීවිතයේදී අපට අවිවේකිබවක් හා විඩාවක් දැනෙන්න පුළුවන්. ශාරීරික සීමාවන් හෝ ආබාධයන් ඇති අයට සෑම දවසක්ම අභියෝගයක්. ශුද්ධ ලියවිලි පවසන හැටියට ‘මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳියි.’ (රෝම 8:22) විශ්‍රාම ගන්නා පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම කම්මැළි කෙනෙක් නෙවෙයි. විශ්‍රාම ගැනීම සපුරාලිය යුතු මනුෂ්‍ය අවශ්‍යතාවක්.
2. යෙහෝවා විශ්‍රාම ගෙන ඇත්තේ කෙදිනක සිටද?
2 යෙහෝවා දෙවි පවා බොහෝ කලක සිට විශ්‍රාම ගෙන තිබෙනවා. උත්පත්ති පොතේ අපට කියවීමට ඇත්තේ මෙහෙමයි: ‘අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවන ලද්දේය. දෙවි තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වන දවසේ නිම කළේය. ඔහු තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්වන දවසේ විශ්‍රාම ගත්තේය.’ දෙවි ‘සත්වන දවසට’ විශේෂ වැදගත්කමක් දුන්නා; මන්දයත් ආනුභාව ලත් වාර්තාව ඊළඟට මෙසේ පවසයි: ‘දෙවි ඒ දවසට ආශීර්වාද කොට එය ශුද්ධයයි [පරිශුද්ධයයි, NW] නියම කළේය.’—උත්පත්ති 2:1-3.
දෙවි තමාගේ වැඩවලින් විශ්‍රාම ගත්තා
3. දෙවි විශ්‍රාම ගැනීමට හේතු නොවුණේ මොන දේවල්ද?
3 දෙවි “සත්වෙනි දවසේ” විශ්‍රාම ගත්තේ ඇයි? ඇත්තෙන්ම, ඔහුට මහන්සිය දැණුන නිසා ඔහු විශ්‍රාම ගත්තා නෙවෙයි. යෙහෝවා ‘ශක්තියෙන් බලවත්’ මෙන්ම, ‘ඔහු ක්ලාන්ත වන්නේවත් වෙහෙසට පත් වන්නේවත් නැත.’ (යෙසායා 40:26, 28) එසේත් නැතිනම් දෙවිට විරාමයක් හෝ වෙනසක් අවශ්‍ය වූ නිසා විශ්‍රාම ගත්තා නෙවෙයි; මන්දයත් යේසුස් අපට මෙසේ පැවසුවා: “මාගේ [පියා] මේ දක්වාම [ක්‍රියා කරන්නේය]. මමත් ක්‍රියාකරමි.” (යොහන් 5:17) තත්වය කුමක් වුවත්, ‘දෙවි ආත්මයක්’ වන අතර, කායික මැවිලිවල ශාරීරික චක්‍ර හා අවශ්‍යතාවලට යටත් නැහැ.—යොහන් 4:24.
4. ‘සත්වන දවස’ ඊට කලින් ‘දවස්’ හයට වඩා වෙනස් වුණේ කුමන ආකාරයකින්ද?
4 දෙවි “සත්වෙනි දවසේ” විශ්‍රාම ගත් හේතුව සම්බන්ධයෙන් අපට තීක්ෂ්ණ බුද්ධිය ලබාගත හැක්කේ කොහොමද? දෙවි ඉකුත් වූ දීර්ඝ මැවීමේ ‘දවස්’ හය තුළ ඉටු කළ දෙය ගැන බොහෝ සෙයින් සතුටුව සිටියත්, විශේෂයෙන්ම ‘සත්වන දවසට’ ආශීර්වාද කර එය “පරිශුද්ධයයි” නියම කළ බවට තේරුම්ගැනීමෙනි. සංක්ෂිප්ත ඔක්ස්ෆඩ් ශබ්දකෝෂය [ඉංග්‍රීසියෙන්] “පරිශුද්ධ” යන වදන “(දෙවිකෙනෙකුට හෝ යම් ආගමික අරමුණකට) මුළුමනින්ම කැප කර ඇති හෝ වෙන් කර ඇති” වශයෙන් නිර්වචනය කර තිබෙනවා. එමනිසා දෙවිගේ අවශ්‍යතාවලට එය කොයියම් අන්දමකින්වත් සම්බන්ධ වෙනවා කියා ඉන් අදහස් වන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා ‘සත්වන දවසට’ ආශීර්වාද කිරීමත් එය පරිශුද්ධ බව නියම කිරීමත් යන කාරණයෙන් ඇඟවෙන්නේ, එම දවස හා ඔහුගේ ‘විශ්‍රාමය,’ ඔහුගේ ශුද්ධ වූ කැමැත්ත හා අරමුණට යම් සම්බන්ධකමක් දක්වන බවයි. එම සම්බන්ධතාව කුමක්ද?
5. දෙවි, මැවීමේ පළමු ‘දවස්’ හය තුළදී ක්‍රියාත්මක වීමට සැලැස්වූයේ කුමක්ද?
5 ඉකුත් වූ මැවීමේ ‘දවස්’ හය තුළ, දෙවි පොළොව හා ඒ අවට සෑම දෙයක්ම හසුරුවන ක්රියාකාරිත්වයන් පාලනය කරන චක්‍ර හා නීති පිහිටුවා ඒවා ක්‍රියාත්මක කර තිබුණා. නමුත් මේවා කොතරම් හොඳින් නිර්මාණය කර ඇද්දැයි විද්‍යාඥයන් වටහාගෙන ඇත්තේ මේ වකවානුවේදියි. ‘හයවන දවසේ’ අවසානයත් සමඟ, දෙවි පළමු මිනිස් යුවළ මවා ඔවුන්ව ‘නැඟෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක’ තැබුවා. අන්තිමට, දෙවි මනුෂ්‍ය පවුල හා පොළොව සම්බන්ධයෙන් වූ තම අරමුණ මෙම අනාවැකිමය වචනවලින් ප්‍රකාශ කළා: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.”—උත්පත්ති 1:28, 31; 2:8.
6. (අ) ‘හයවන දවස’ අවසානයේදී තමා මැවූ සියල්ල ගැන දෙවිට හැඟුණේ කොහොමද? (ආ) ‘සත්වන දවස’ පරිශුද්ධ වන්නේ කුමන අර්ථයකින්ද?
6 ‘හයවන දවස’ අවසානයකට පැමිණීමත් සමඟ, වාර්තාව මෙසේ පවසයි: “[දෙවි] තමන් සෑදූ සියල්ලම [දුටුවේය]. බලව, ඒ ඉතා යහපත්ව තිබුණේය.” (උත්පත්ති 1:31) දෙවි තමන් සෑදූ සියල්ල ගැන සෑහීමට පත්ව හිටියා. එහෙයින් පොළොව සම්බන්ධයෙන් තවදුරටත් කරන මැවීමේ වැඩකටයුතුවලින් ඔහු විශ්‍රාම ගත්තා, නැතිනම් ක්‍රියා කිරීමෙන් වැළකුණා. කොහොම වුණත්, එදා තිබූ පාරාදීසමය උයන කොතරම් සම්පූර්ණ මෙන්ම අලංකාර වුණත්, ඉන් කුඩා ප්‍රදේශයක් පමණයි ආවරණය කරනු ලැබුවේ; එමෙන්ම පොළොවේ හිටියේ මනුෂ්‍යයන් දෙදෙනෙක් පමණයි. පොළොවටත් මනුෂ්‍ය පවුලටත් දෙවි අරමුණු කළ තත්වයට පැමිණීමට කාලයක් ගත වෙනවා. මේ හේතුවෙන්, තම පරිශුද්ධ වූ කැමැත්තට එකඟව මීට කලින් ‘දවස්’ හය තුළ මැවූ සෑම දෙයක්ම වර්ධනය වීම සඳහා ඔහු ‘සත්වන දවසක්’ නියම කළා. (එපීස 1:11 සසඳන්න.) ‘සත්වන දවස’ එහි අවසානයට පැමිණීමත් සමඟ, සම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් යුත් පවුලකින් සදහටම ජනාවාස වූ ලෝක ව්‍යාප්ත පාරාදීසයක් බවට පොළොව පත් වෙන්න යනවා. (යෙසායා 45:18) පොළොව හා මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් වූ දෙවිගේ කැමැත්ත සාක්ෂාත් වීම හෝ ඉටුවීම සඳහා ‘සත්වන දවස’ වෙන් කර තැබුවා, නැතිනම් කැප කළා. ඒ අර්ථයෙන් එය ‘පරිශුද්ධයි.’
7. (අ) දෙවි ‘සත්වන දවසේදී’ විශ්‍රාම ගත්තේ කුමන අර්ථයකින්ද? (ආ) ‘සත්වන දවස’ එහි අවසානයට පැමිණෙන විට සියලු දේවල් කුමන අතට හැරෙයිද?
7 එමනිසා දෙවි “සත්වෙනි දවසේ” තම මැවීමේ වැඩවලින් විශ්‍රාම ගත්තා. එය හරියට තමා ක්‍රියාත්මක කළ දේවල් අවසන් වීමට ඉඩ දී පැත්තකට වී බලා හිටියා වගෙයි. “සත්වෙනි දවසේ” අවසානය වන විට, තමා අරමුණු කළ අයුරින්ම දේවල් සිදු වෙයි කියා ඔහුට පූර්ණ නිසැකබවක් තිබෙනවා. බාධක තිබුණත් ඒවා මැඩපවත්වනු ලබයි. දෙවිගේ කැමැත්ත පූර්ණ යථාර්ථයක් බවට පත් වන විට සියලුම කීකරු මනුෂ්‍යවර්ගයා ප්‍රයෝජන ලබාවි. දෙවිගේ ආශීර්වාදය ‘සත්වන දවසට’ ඇති නිසාත්, එය “පරිශුද්ධයයි” ඔහු ප්‍රකාශ කොට ඇති නිසාත්, කිසිම දෙයක් මෙය වළක්වන්න යන්නේ නැහැ. කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා මොනතරම් මහිමාන්විත අපේක්ෂාවක්ද!
දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට ඉශ්රායෙල් අසමත් වුණා
8. ඉශ්රායෙල්වරුන් සබත පැවැත්වීමට පටන්ගත්තේ කවදාද? කොහොමද?
8 වැඩ හා විශ්‍රාමය සඳහා යෙහෝවාගේ විධිවිධානවලින් ඉශ්රායෙල් ජාතිය ප්‍රයෝජන ලැබුවා. සීනයි කන්දේදී ඉශ්‍රායෙලිතයන්ට ව්‍යවස්ථාව දීමටත් කලින්, දෙවි මෝසෙස් ලවා මෙසේ පැවසුවා: ‘යෙහෝවා නුඹලාට සබත් දවස දුන්නේය, එබැවින් ඔහු සයවන දවසේදී දෙදවසක ආහාර නුඹලාට දෙන්නේය; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වන දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයන්න.’ මෙහි ප්‍රතිඵලය වූයේ ‘සෙනඟ සත්වන දවසෙහි සබත් දවස පවත්වන්න පටන්ගැනීමයි.’—නික්මයාම 16:22-30.
9. සබත් නීතිය ඉශ්රායෙල්වරුන් සතුටෙන් භාරගත් වෙනසක් වූ බවට කිසිම සැකයක් නැත්තේ ඇයි?
9 මිසරයේ වහල්භාවයෙන් මෑතකදී ගළවාගෙන තිබූ ඉශ්‍රායෙලිතයන්ට මෙම විධිවිධානය අලුත් එකක් වුණා. මිසරවරුන් හා වෙනත් ජාතීන් සතියක් මැන්නේ දින පහක හෝ දහයක කාලපරිච්ඡේදවලින් වුවත්, වහල්භාවයේ සිටි ඉශ්රායෙල්වරුන්ට විශ්‍රාම දිනයක් ලැබුණායයි සිතිය නොහැකියි. (නික්මයාම 5:1-9 සසඳන්න.) ඒ හේතුවෙන් ඉශ්රායෙල් සෙනඟ මෙය සතුටින් භාරගත්තායයි අප නිගමනය කිරීම සාධාරණයි. සබත් අවශ්‍යතාව බරක් හෝ සීමා කිරීමක් හැටියට සලකනවා වෙනුවට, එය පැවැත්වීමට ඔවුන් සතුටු විය යුතුව තිබුණා. ඇත්තෙන්ම, මිසරයේ වහල්භාවය හා ඔහු ඔවුන්ව ගළවාගැනීම සම්බන්ධයෙන්, සබත් දවස මතක් කිරීමක් හැටියටයි කටයුතු කිරීමට තිබුණේ කියා දෙවි පසු කලකදී පැවසුවා.—ද්විතීය කථාව 5:15.
10, 11. (අ) කීකරුව සිටීමෙන් ඉශ්රායෙල්වරුන්ට කුමක් භුක්ති විඳීමට හැකිව තිබුණාද? (ආ) දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට ඉශ්රායෙල්වරුන් අසමත් වුණේ ඇයි?
10 මිසරයෙන් පිටතට ආ ඉශ්රායෙල්වරුන් කීකරුව සිටියා නම් “කිරි සහ මීපැණි ගලායන්නාවූ [පොරොන්දු] දේශයකට” ඇතුල් වීමේ වරප්‍රසාදය ඔවුන්ට ලැබෙන්න තිබුණා. (නික්මයාම 3:8) එහිදී ඔවුන්ට සැබෑ විශ්රාමයක් භුක්ති විඳින්න තිබුණා; තවද එය සබත් දවසේදී පමණක් නොවෙයි, නමුත් ජීවිතය පුරාම. (ද්විතීය කථාව 12:9, 10) කොහොම වුණත්, දේවල් හැරුණේ ඒ අතට නොවෙයි. ඔවුන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙලෙස පැවසුවා: ‘එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවුවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද? තවද ඔහු සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව් කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද? තමන්ගේ විශ්රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි ඔහු දිවුරුවේ අකීකරු වූ තැනැත්තන් ගැන නොවේද? මෙසේ නොඇදහිලිකාරකම [ඇදහිල්ලේ ඌනතාව, NW] නිසා ඔවුන්ට ඇතුල් වෙන්ට නුපුළුවන් වූ බව අපට පෙනෙන්නේය.’—හෙබ්‍රෙව් 3:16-19.
11 අපට මොනතරම් බලගතු පාඩමක්ද! යෙහෝවා කෙරෙහි ඔවුන්ට තිබූ ඇදහිල්ලේ ඌනතාව නිසා, එම පරම්පරාවම ඔහු පොරොන්දු වූ විශ්‍රාමය අත් කරගත්තේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් පාළුකරයේදී තුරන් වුණා. ආබ්‍රහම්ගේ පැවතෙන්නන් හැටියට, පොළොවේ සියලුම ජාතීන්ට ආශීර්වාද කිරීමේදී ඔවුන් දෙවිගේ කැමැත්ත හා කිට්ටුවෙන්ම සම්බන්ධ වූ බව ඔවුන්ට තේරුම්ගැනීමට නොහැකි වුණා. (උත්පත්ති 17:7, 8; 22:18) දිව්‍ය කැමැත්තට එකඟව වැඩ කරනවා වෙනුවට, ඔවුන් ඔවුන්ගේ ලෞකික හා ආත්මාර්ථකාමී ආශාවලින් සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු වී හිටියා. අපි කවදාකවත් එවැනි ගමන් මාර්ගයකට නොවැටෙමු.—1 කොරින්ති 10:6, 10.
විශ්රාමයක් ඉතුරුව පවතී
12. පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට ඒ වන විටත් විවෘතව තිබුණේ කුමන අපේක්ෂාවක්ද? එමෙන්ම ඔවුන්ට එය අත් කරගත හැකිව තිබුණේ කොහොමද?
12 ඇදහිල්ලේ ඌනතාව නිසා දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට ඉශ්රායෙල්වරුන් අසමත් වීම පෙන්නුම් කර දීමෙන් පසු, පාවුල් තම අවධානය තම සෙසු ඇදහිලිවන්තයන් වෙතට යොමු කළා. හෙබ්‍රෙව් 4:1-5හි පෙන්නුම් කර ඇති පරිදි, ‘දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමේ පොරොන්දුවක් ඉතුරුව පවතී’ කියා ඔහු ඔවුන්ට යළි සහතික කළා. පාවුල් “ශුභාරංචිය” කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමට දැඩි සේ උනන්දු කළා; “මක්නිසාද අදහාගත් අපි ඒ විශ්රාමස්ථානයට ඇතුල්වෙමුව.” යේසුස්ගේ මිදීමේ මිල පූජාව මගින් ව්‍යවස්ථාව ඒ වන විටත් අහෝසි වී තිබීම නිසාවෙන්, සබත් දවස මගින් ලබා දුන් ශාරීරික විශ්‍රාමය ගැන පාවුල් මෙහිදී කතා කරමින් හිටියා නෙවෙයි. (කොලොස්සි 2:13, 14) උත්පත්ති 2:2 හා ගීතාවලිය 95:11 උපුටා දැක්වීමෙන්, පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දැඩි ලෙස උනන්දු කරමින් හිටියේ දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමටයි.
13. ගීතාවලිය 95 උපුටා දැක්වීමේදී “අද” යන වචනය පාවුල් අවධානයට හසු කරගත්තේ ඇයි?
13 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පෙර හිටියාවූ ඉශ්රායෙල්වරුන්ට සබත් විශ්‍රාමය ‘ශුභාරංචියක්’ විය යුතුව තිබුණාක් මෙන්, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ටත් දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට තිබෙන හැකියාව ‘ශුභාරංචියක්’ විය යුතුව තිබුණා. එහෙයින්, පාළුකරයේදී ඉශ්රායෙල්වරුන් සිදු කළ වරදම සිදු නොකිරීමට පාවුල් තම සෙසු ඇදහිලිවන්තයන්ට දැඩි සේ උනන්දු කළා. දෙවි, මැවීමෙන් විශ්‍රාම ගෙන බොහෝ කලක් වුණත්, දැන් ගීතාවලිය 95:7, 8 හැටියට දන්නා පදය උපුටා දක්වමින්, ඔහු “අද” යන වචනය අවධානයට හසු කරගත්තා. (හෙබ්‍රෙව් 4:6, 7) පාවුල්ගේ කරුණ වූයේ කුමක්ද? දෙවි පොළොව හා මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් වූ තම අරමුණ පූර්ණ වශයෙන්ම ඉටුවීම සඳහා තබා තිබූ ‘හත්වන දවස’ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එමනිසා, ආත්මාර්ථකාමී ලුහුබැඳීම්වල කාර්යබහුලව සිටිනවා වෙනුවට, එම අරමුණට එකඟව තම සෙසු ක්‍රිස්තියානීන් හදිසිතාවකින් යුතුව වැඩ කිරීම අවශ්‍යව තිබුණා. ඔහු නැවතත් තම අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කළා: “නුඹලාගේ සිත් [හදවත්, NW] දැඩිකර නොගන්න.”
14. දෙවිගේ ‘විශ්‍රාමය’ තවමත් පවතීය කියා පාවුල් පෙන්වූයේ කොහොමද?
14 ඊට අමතරව, පොරොන්දු වූ ‘විශ්‍රාමයට’ ඇතුල් වීම නිකම්ම යෝෂුවාගේ නායකත්වය යටතේ පොරොන්දු දේශයේ පදිංචි වීම පමණක් නොවන බව පාවුල් පෙන්නුම් කළා. (යෝෂුවා 21:44) පාවුල් මෙලෙස දැඩි සේ උනන්දු කළා; ‘මක්නිසාද යෝෂුවා ඔවුන්ට විශ්‍රාමය දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන දෙවි කතා කරන්නේ නැත.’ ඊට එකඟව, පාවුල් මෙලෙස එකතු කළා: “එබැවින් [දෙවිගේ] සෙනගට සබත් නිවාඩුවක් [විශ්රාමයක්, NW] ඉතුරුව තිබේ.” (හෙබ්‍රෙව් 4:8, 9) එම ‘සබත් විශ්‍රාමය’ කුමක්ද?
දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වන්න
15, 16. (අ) ‘සබත් විශ්‍රාමය’ යන පදයේ ඇති වැදගත්කම කුමක්ද? (ආ) ‘තමන්ගේම වැඩවලින් විශ්‍රාම ගන්න’ යයි කීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද?
15 ‘සබත් විශ්‍රාමය’ යන පදය “සබත පැවැත්වීම” යන ග්‍රීක් වචනයෙන් පරිවර්තනය කරන ලද්දක්. (අන්තර් පේළි රාජ්‍ය පරිවර්තනය) [ඉංග්‍රීසියෙන්] මහාචාර්ය විලියම් ලේන් පවසන පරිදි: “මෙම යෙදුමට එහි විශේෂිත අර්ථය ලැබුණේ නික්ම 20:8-10 පදනම් කරගෙන යුදෙව් ආගම තුළ වර්ධනය වූ සබත සඳහා දුන් නීතියෙනි. එහි විශ්‍රාමය හා ප්‍රශංසාව යන දෙකම එකට සම්බන්ධව පවතින බවද අවධාරණය කෙරෙනවා . . . දෙවිට ගරු බුහුමන් කිරීම හා ප්‍රශංසා කිරීමේදී උත්සවශ්රීයට හා ප්‍රීතියට හිමි විශේෂ ස්ථානය [එය] අවධාරණය කරනවා.” එසේනම් පොරොන්දු වූ විශ්‍රාමය නිකම්ම වැඩවලින් නිදහස් කිරීමක් නෙවෙයි. එය කටුක, අරමුණකින් තොර වැඩක සිට දෙවිව ගෞරවයට පත් කරන ප්‍රීතිමත් සේවයක් දක්වා වූ වෙනසක් වෙයි.
16 මෙය පාවුල්ගේ ඊළඟ වචනවලින් ගෙනහැර දැක්වෙයි: ‘මක්නිසාද දෙවි තමන්ගේ වැඩවලින් විශ්‍රාම ගත්තාක් මෙන්, දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් විශ්‍රාම ගත්තේය.’ (හෙබ්‍රෙව් 4:10) දෙවි තමාට තෙහෙට්ටුව දැනුණ නිසා සත්වන මැවීමේ දවසින් විශ්‍රාම ගත්තා නෙවෙයි. ඒ වෙනුවට, ඔහු පොළොව මැවීමේ තම ක්‍රියාකාරකම්වලින් වැළකී සිටියේ තම හස්තකර්ම වර්ධනය වී සමෘද්ධියේ ඉහළම තත්වයට පැමිණෙන තුරායි. ඒ සියල්ල තම ප්‍රශංසාවටත් ගෞරවයටත් හේතු වෙයි. දෙවිගේ මැවීමේ කොටසක් හැටියට, අපත් එම විධිවිධානයට ගැළපිය යුතුයි. අප ‘අපේම වැඩවලින් විශ්‍රාම’ ගත යුතුයි. ඒ කියන්නේ ගැළවීම අත් කරගැනීමේ අටියෙන්, අපේම ක්‍රියා තුළින් අප ධර්මිෂ්ඨයයි කියා යෙහෝවා ඉදිරියේ ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහය අප නැවැත්විය යුතුයි. ඒ වෙනුවට අපේ ගැළවීම යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව මත රඳාපවතිනවාය කියා අපට ඇදහිල්ලක් තිබිය යුතුයි. එමගින් සියලු දේ නැවතත් දෙවිගේ අරමුණුවලට එකඟව ගෙනෙනු ලබන්න යනවා.—එපීස 1:8-14; කොලොස්සි 1:19, 20.
දෙවිගේ වචනය බලවත්ය
17. මාංසික ඉශ්රායෙල් ජාතිය විසින් ලුහුබැඳි මොන ක්‍රියාමාර්ගයද අප මඟහැරිය යුත්තේ?
17 ඉශ්රායෙල්වරුන් තම අකීකරුකම හා ඇදහිල්ලේ ඌනතාව හේතුවෙන් දෙවිගේ පොරොන්දු වූ විශ්රාමස්ථානයට ඇතුල් වීමට අසමත් වුණා. ඊට එකඟව, පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙලෙස දැඩි ලෙස උනන්දු කළා: “එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු.” (හෙබ්‍රෙව් 4:11) පළමු සියවසේ සිටි යුදෙව්වන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි ඇදහිල්ල නොපැවැත්වූ අතර, පො.යු. 70දී යුදෙව් පිළිවෙළේ නිමාව එහි අවසානයකට පැමිණි විට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ප්‍රබල ලෙස දුක් වින්දා. එසේනම් පොරොන්දුව ඇති දෙවිගේ වචනය කෙරෙහි අප ඇදහිල්ල තැබීම කොතරම් වැදගත් වෙනවාද!
18. (අ) දෙවිගේ වචනය කෙරෙහි ඇදහිල්ල පැවැත්වීම සඳහා පාවුල් දුන්නේ මොන මොන හේතුද? (ආ) දෙවිගේ වචනය “කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණු” වන්නේ කොහොමද?
18 යෙහෝවාගේ වචනය කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමට අපට සාධාරණ හේතු තිබෙනවා. “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 4:12) එසේය, දෙවිගේ වචනය නැතිනම් පණිවුඩය “කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය.” තම ආදිපියවරුන්ට සිදු වූ දේ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් නැවතත් මතක් කරගැනීමට අවශ්‍යව තිබුණා. පාළුකරයේදී ඔවුන් තුරන් වනු ඇතැයි පවසමින් යෙහෝවා දුන් විනිශ්චයන් නොසලකා හරිමින් පොරොන්දු දේශයට ඇතුල් වීමට ඔවුන් උත්සාහ කළා. නමුත් මෝසෙස් ඔවුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත.” නමුත් ඉශ්රායෙල්වරුන් මුරණ්ඩු ලෙස ඉදිරියටම ගිය කල “ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුන්ද කානානිවරුන්ද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.” (ගණන් කථාව 14:39-45) යෙහෝවාගේ වචනය කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණු වන අතර, එය උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරන අය එහි ප්‍රතිවිපාක නෙළාගන්න යන බවට කිසිම සැකයක් නැහැ.—ගලාති 6:7-9.
19. දෙවිගේ වචනය කොතරම් බලගතු අයුරින් ‘කාවදිනවාද?’ අප දෙවිට ගණන් දෙන බව අප පිළිගත යුත්තේ ඇයි?
19 දෙවිගේ වචනය මොනතරම් බලගතු ලෙස ‘ප්‍රාණය හා ආත්මය, සන්ධි හා ඇටමිදුළු වෙන් කරන තරමට’ කාවදිනවාද! ඇටකටුවල ඇතුළාන්තම කොටසේ ඇති ඇටමිදුළුවලට සංකේතාත්මක අයුරින් කාවදිමින් එය පුද්ගලයන්ගේ සිතුවිලි හා චේතනා තුළට පිවිසෙයි. මිසරයේ වහල්භාවයෙන් නිදහස ලැබූ ඉශ්රායෙල්වරුන් ව්‍යවස්ථාව පැවැත්වීමට එකඟ වුණත්, ඔවුන්ගේ හදවත් තුළ යෙහෝවාගේ සැපයුම් හා අවශ්‍යතාවන් කෙරෙහි අගය කිරීමක් නොතිබූ බව ඔහු දැන හිටියා. (ගීතාවලිය 95:7-11) ඔහුගේ කැමැත්ත කරනවා වෙනුවට, ඔවුන් ඔවුන්ගේ මාංසික ආශාවන් තෘප්තිමත් කිරීම ගැනයි සැලකිලිමත් වුණේ. එහෙයින් ඔවුන් දෙවිගේ පොරොන්දු වූ විශ්රාමස්ථානයට ඇතුල් නොවුණු අතර, පාළුකරයේදී තුරන් වුණා. අප එම පාඩම හොඳින් හිතට ගත යුතුයි, මන්දයත් ‘ඔහු ඉදිරියෙහි ප්‍රකාශ නොවූ කිසි මැවිල්ලක් නැත. ඔහුගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ ඔහුය.’ (හෙබ්‍රෙව් 4:13) එමනිසා අප “විනාශවන ලෙස පසුබට” නොවී යෙහෝවාට කළ කැපවීම ඉටු කරමු.—හෙබ්‍රෙව් 10:39.
20. ඉදිරියට ඇත්තේ කුමක්ද? එමෙන්ම දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට අපි දැන් කුමක් කළ යුතුද?
20 දෙවිගේ විශ්‍රාම දිනය—එනම් ‘සත්වන දවස’ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතියත්, පොළොව හා මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් ඔහුගේ කැමැත්ත සාක්ෂාත් වීම සම්බන්ධයෙන් ඔහු සාවධානව සිටියි. සාතන් නමැති යක්ෂයා ඇතුළුව, දෙවිගේ කැමැත්තට විරුද්ධකම් පාන සියලුදෙනාවම පොළොවෙන් නැති කර දැමීමට මෙසියානු රජ වන යේසුස් ක්‍රිස්තුස් ඉක්මනින්ම කටයුතු කරාවි. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළ, යේසුස් ක්‍රිස්තුස් හා සෙසු පාලකයන් 1,44,000දෙනා පොළොව හා මනුෂ්‍යවර්ගයාව දෙවි අරමුණු කළ තත්වයටම ගෙනෙයි. (එළිදරව් 14:1; 20:1-6) යෙහෝවා දෙවිගේ කැමැත්ත වටා අපේ ජීවිත කේන්ද්‍රගත වී ඇති බව ඔප්පු කිරීම සඳහා කාලය දැන්. දෙවි ඉදිරියේ අපවම ධර්මිෂ්ඨ කරගැනීමට උත්සාහ කරමින් අපගේම උනන්දූන් වැඩිදියුණු කිරීමට යත්න දරනවා වෙනුවට, ‘අපගේම වැඩවලින් විශ්‍රාම ගෙන’ හෘද පූර්ණව දෙවිගේ කටයුතුවල සේවය කිරීමට කාලය පැමිණ තිබෙනවා. එසේ කිරීමෙන් හා අපේ ස්වර්ගීය පියා වන යෙහෝවාට ඇදහිලිවන්තව සිටීමෙන්, දෙවිගේ විශ්රාමස්ථානයේ ප්‍රයෝජන දැනටත් සදාකාලයටත් භුක්ති විඳීමේ වරප්‍රසාදය අපට තිබේවි.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ “සත්වෙනි දවසේ” දෙවි විශ්‍රාම ගත්තේ මොන අරමුණක් නිසාද?
◻ ඉශ්රායෙල්වරුන්ට භුක්ති විඳීමට හැකිව තිබුණේ මොන විශ්රාමයක්ද? නමුත් එයට ඇතුල් වීමට ඔවුන් අසමත් වුණේ ඇයි?
◻ දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වීමට අපි කුමක්ද කළ යුත්තේ?
◻ දෙවිගේ වචනය ජීවමානව, බලවත්ව කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුව තිබෙන්නේ කොහොමද?
[16, 17වන පිටුවේ පින්තූරය]
ඉශ්රායෙල්වරුන් සබත පැවැත්වූවත්, දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වුණේ නැහැ. ඒ ඇයි කියා ඔබ දන්නවාද?