රාජාලීන් මෙන් පියඹා නැඟීම
නාට්සි වධක ගාල් කඳවුරුවල වසර පහක් විඳදරාගැනීමෙන් පසු, පුද්ගලයෙකුට හැඟෙන්නේ කෙසේද? අධෛර්යයට පත් වූ බවක්? තිත්තබවක්? පලිගන්නාසුලුබවක්?
එය අමුතු යමක් සේ පෙනෙන්ට තිබුණත්, එවන් මිනිසෙක් මෙසේ ලීවේය: “මට අපේක්ෂා කළ හැකි වූ තරමටත් වඩා වැඩියෙන් මගේ ජීවිතය ප්‍රබෝධවත් වී තිබිණ.” ඔහුට එලෙස හැඟුණේ මන්ද? ඔහු මෙසේ පැහැදිලි කළේය: “මට මහෝත්තමයාණන්ගේ පියාපත් යටතේ ආරක්ෂාව ලැබුණු අතර, ‘ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු . . . ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති,’ යන අනාගතවක්තෘ යෙසායාගේ වදන්වල ඉටුවීමද මම අද්දැක්කෙමි.”—යෙසායා 40:31.
සිතාගත නොහැකි වඩාත් බිහිසුණු ආකාරයකින් පීඩාවට පත් වූ මෙම ක්‍රිස්තියානි මිනිසාට, සංකේතාත්මක ආකාරයකින් ඉහළ නැඟ්ගාවූ ස්ප්‍රීතුවක් තිබුණේය, එය වනාහි නාට්සි කෲරකමට පවා පරාජය කළ නොහැකි ස්ප්‍රීතුවක් විය. දාවිත් මෙන්, ඔහු දෙවියන්වහන්සේගේ “පියාපත්” සෙවණේ ආරක්ෂාව ලබාගත්තේය. (ගීතාවලිය 57:1) අනාගතවක්තෘ යෙසායා විසින් භාවිත කළ උපමාලංකාරයකින් ප්‍රයෝජන ලබාගත් මෙම ක්‍රිස්තියානිවරයා, අහසේ වඩ වඩාත් ඉහළට පියාසර කරන රාජාලියෙකු සමඟ තමාගේ ආත්මික ශක්තිය සැසඳීය.
ඔබ ගැටලුවලින් යටපත් වී ඇති බව ඔබට කවදා හෝ හැඟී තිබේද? “රාජාලීන් මෙන් පියඹා [නැඟීම]” සඳහා, ඔබත් මහෝත්තමයාණන්ගේ පියාපත් යට ආරක්ෂාව ලැබීමට සතුටු වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. මෙය හැකි වන්නේ කෙසේද කියා වටහාගැනීම සඳහා, ශුද්ධ ලියවිලිවල සංකේතාත්මක ආකාරයකින් නිතර සඳහන් කර තිබෙන රාජාලියා පිළිබඳව යම් දෙයක් දැනසිටීම උපකාරවත් වනු ඇත.
රාජාලියාගේ ධජය යටතේ
ඉපැරණි මිනිසුන් නිරීක්ෂණය කළ සියලු කුරුල්ලන් අතරින්, රාජාලියාගේ බලය හා තේජාන්විත පියාසර කිරීම නිසා ඌව ඇතැම්විට වඩාත් අගය කොට සලකනු ලැබීය. බබිලෝනිය, පර්සියාව හා රෝමය ඇතුළු ඉපැරණි යුද හමුදා බොහොමයක්, රාජාලියාගේ ධජය යටතේ ගමන් කළහ. මහා කෝරෙෂ්ගේ හමුදාව මේවායින් එකක් විය. මෙම පර්සියානු රජු, බබිලෝනීය අධිරාජ්‍යය ගිල දැමීමට නැඟෙනහිරින් පැමිණෙන ගොදුර මත යැපෙන පක්ෂියෙකු මෙන් වනු ඇති බවට බයිබලය පුරෝකථනය කළේය. (යෙසායා 45:1; 46:11, NW) මෙම අනාවැකිය ලිවීමෙන් වසර දෙසීයකට පසු, රාජාලීන්ගේ රූප සහිත සටන් ධජ රැගත් කෝරෙෂ්ගේ හමුදාවෝ, ඉක්මනින් තම ගොදුර ඩැහැගන්නා රාජාලියෙකු මෙන් බබිලෝනීය නගරය වෙත හදිසියෙන් කඩාවැද එය අල්ලාගත්තෝය.
වඩාත් මෑත කාලවලදී, ෂාලිමන් හා නැපෝලියන් වැනි රණශූරයන්ද, එක්සත් ජනපදය හා ජර්මනිය වැනි රටවල්ද, රාජාලියාව තමන්ගේ සංකේතය වශයෙන් තෝරාගෙන ඇත. රාජාලීන්ගේ හෝ වෙනත් කිසිදු සත්වයෙකුගේ පිළිමයකට ගරු බුහුමන් නොකිරීමට ඉශ්‍රායෙලිතයන්ට අණ කර තිබිණ. (නික්මයාම 20:4, 5) එහෙත් තම පණිවුඩය පැහැදිලි කිරීම සඳහා බයිබල් ලේඛකයෝ රාජාලියාගේ ගති ලක්ෂණ සඳහන් කළෝය. මෙසේ, ශුද්ධ ලියවිලිවල බොහෝ වාර ගණනක් සඳහන් කර තිබෙන පක්ෂියෙකු වන රාජාලියාව, ප්‍රඥාව, දිව්‍ය ආරක්ෂාව හා කඩිසරකම සංකේතවත් කිරීම සඳහා භාවිත කර තිබේ.
රාජාලියෙකුගේ ඇස
රාජාලියාගේ තියුණු දෘෂ්ටිය සෑමවිටම ඉතා ප්‍රකට වී තිබේ. රන්වන් රාජාලියා ඉතා කලාතුරකින් කිලෝග්‍රෑම් පහකට වඩා වැඩි බරකින් යුක්ත වුවත්, උගේ ඇස මනුෂ්‍ය ඇසකට වඩා විශාල වන අතර, දෘෂ්ටිය ඊටත් වඩා තියුණුය. රාජාලියාට තම ආහාර සොයාගැනීමට තිබෙන හැකියාව යෝබ්ට විස්තර කරමින්, යෙහෝවඃවහන්සේම මෙසේ ප්‍රකාශ කළසේක: “දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.” (යෝබ් 39:27, 29) “දිනක්, කිලෝමීටර් පහක දුරකින් පිහිටි විලක මළ මත්ස්‍යයෙකු පාවෙනවා දුටු රාජාලියෙකු නියමිත ස්ථානයට කෙළින්ම කිමිදුණ බව” ඇලිස් පාමලී, ඕල් ද බර්ඩ්ස් ඔෆ් ද බයිබල් නම් ඇගේ පොතෙහි වාර්තා කරන්නීය. “රාජාලියාට මනුෂ්‍යයෙකුට දැකිය හැකි දුරකට වඩා ඈතින් පිහිටි එවන් කුඩා දෙයක් දැකිය හැකි වූවා පමණක් නොව, නමුත් ඌට තම කිලෝමීටර් පහේ කිමිදීම තුළදී, එම මත්ස්‍යයා වෙත එක එල්ලේ යොමු වී සිටීමටද හැකි විය.”
රාජාලියාගේ තියුණු දෘෂ්ටිය නිසා, ඌ යෙහෝවඃවහන්සේගේ ප්‍රධාන ගුණාංගවලින් එකක් වන ප්‍රඥාවට උචිත සංකේතයකි. (එසකියෙල් 1:10; එළිදරව් 4:7, සසඳන්න.) ඒ මන්ද? අප ගන්නා ඕනෑම ක්‍රියාවකින් ඇති වන ඵලවිපාක කලින් දැනසිටීම ප්‍රඥාවට ඇතුළත් වේ. (හිතෝපදේශ 22:3) යේසුස්වහන්සේගේ උපමාවේ, කුණාටුවක් ඇතිවීමේ හැකියාව කලින්ම දැක පර්වතයක් පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයා මෙන්, රාජාලියාට ඉතා ඈත බලා අන්තරායන් කලින්ම දැක ඒ සඳහා පූර්වෝපායන් ගත හැකිය. (මතෙව් 7:24, 25) ස්පාඤ්ඤ භාෂාවෙන් කෙනෙකුව රාජාලියෙකු ලෙස විස්තර කිරීමෙන්, ඔහුට තීක්ෂ්ණ බුද්ධිය හෝ විචාර බුද්ධිය ඇති බව අදහස් කිරීම සිත්ගන්නා කරුණකි.
ඔබට කවදා හෝ රාජාලියෙකුව ඉතා කිට්ටුවෙන් දැකගැනීමට අවස්ථාවක් ලැබුණහොත්, ඌ උගේ ඇස් භාවිත කරන ආකාරය සැලකිල්ලට ගන්න. ඌ ඔබ දෙස උඩින් පල්ලෙන් බලන්නේ නැත; ඒ වෙනුවට, ඔබගේ පෙනුමේ සෑම අංගයක්ම පරීක්ෂා කරන බව පෙනෙන්ට තිබේ. එලෙසම, ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් තමාගේම සහජාසය හා හැඟීම් මත විශ්වාසය තබනවා වෙනුවට, තීරණයක් ගැනීමට පෙර කාරණයක් ඉතා පරෙස්සමින් පරීක්ෂා කර බලන්නේය. (හිතෝපදේශ 28:26) රාජාලියාගේ තියුණු දෘෂ්ටිය, ඌව ප්‍රඥාව නමැති දිව්‍ය ගුණාංගයේ උචිත සංකේතයක් බවට පත් කරවන අතර, උගේ තේජාන්විත පියාසර කිරීම බයිබල් ලේඛකයන් විසින් සංකේතවත් අයුරකින් භාවිත කරන ලදි.
“ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය”
“ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය” චමත්කාරජනක එකක් වන්නේ මන්දයත්, නියම කරන ලද මාර්ගයක් අනුගමනය නොකර, සලකුණක්වත් ඉතිරි නොකර, ඌ වේගයෙන් හා කිසිදු ආයාසයකින් තොරව පියාසර කරන්නාක් මෙන් පෙනෙන බැවිනි. (හිතෝපදේශ 30:19) බබිලෝනීය යුද භටයන් පිළිබඳව විස්තර කර තිබෙන විලාප ගී 4:19හි, රාජාලියාගේ වේගවත්බව මෙසේ අඟවා තිබේ: “අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය.” ඇතැම් වාර්තාවන්ට අනුව, ඉහළින් වටේට පියාසර කරන රාජාලියෙකු තම ගොදුර දුටු විට, ඌ තම පියාපත් පැත්තකට හරවාගෙන වේගයෙන් පහළට පියාසර කරයි, මේ අවස්ථාවේදී ඌට පැයකට කිලෝමීටර් 130ක තරම් වේගයකින් පියාසර කළ හැකිය. ශුද්ධ ලියවිලිවල රාජාලියාව වේගය සඳහා, විශේෂයෙන්ම යුද හමුදාවක් සම්බන්ධයෙන්, සමානාර්ථ පදයක් ලෙස භාවිත කර තිබීම අරුමයක් නොවේ.—2 සාමුවෙල් 1:23; යෙරෙමියා 4:13; 49:22.
අනික් අතට, රාජාලියෙකුගේ ආයාසයකින් තොර පියාසර කිරීම සම්බන්ධයෙන් යෙසායා යොමු දක්වයි. “ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.” (යෙසායා 40:31) රාජාලියා, පාවෙන්නාක් මෙන් පහසුවෙන් පියාසර කරන විලාසයේ රහස කුමක්ද? රාජාලියා තාපජ නොහොත් උණුසුම් වායු ස්කන්ධ භාවිත කරන බැවින්, ඉහළ නැඟීම සඳහා අවශ්‍ය කරන්නේ ඉතා සුළු ආයාසයකි. තාපජ නොපෙනෙන මුත්, ඒවා සොයාගැනීම සම්බන්ධයෙන් රාජාලියා නිපුණය. තාපජ විෂයක් සොයාගත් විට, රාජාලියා තම පියාපත් හා පෙඳය විහිදුවා උණුසුම් වායු ස්කන්ධය තුළ පියාසර කරයි, තවද එය ඌව වඩ වඩාත් ඉහළට රැගෙන යන්නේය. ඇති තරම් ප්‍රමාණයක් ඉහළ නැඟ්ගායින් පසු, ඌ ඊළඟ තාපජය වෙත පියාපත් නොසලාම සැහැල්ලුවෙන් පියාසර කරන අතර එහිදී මෙම ක්‍රියාවලියම නැවතත් සිදු කරයි. මෙයාකාරයෙන්, අඩු ශක්ති ප්‍රමාණයක් වැය කරමින් රාජාලියාට පැය ගණනාවක් ඉහළ රැඳී සිටීමට හැකිය.
ඉශ්රායෙලයේ, විශේෂයෙන්ම රතු මුහුදු වෙරළේ එශියොන්-ගෙබෙර් පටන් විහිදෙන සුවිභේද නිම්නයේ සිට උතුරේ දාන් දක්වා ප්‍රදේශයේ, රාජාලීන් සුලභව දැකිය හැකි දර්ශනයකි. උන් පර්යටනය කරන වසන්ත හා ශරත් ඍතු කාලය තුළදී, උන් බහුලය. ඇතැම් වසරවලදී, රාජාලීන් 1,00,000කට ආසන්න සංඛ්‍යාවක් ගණන් කර තිබේ. උදය හිරුරැස් අවට වායුව උණුසුම් කරන විට, සුවිභේද නිම්නය අද්දර පිහිටි කඳු ප්‍රපාතයට ඉහළින් පියාසර කරන ගොදුර මත යැපෙන පක්ෂීන්ව දැකගත හැකි වේ.
අපට අපගේ වැඩ කටයුතුවල දිගටම නියැලිය හැකි වන පරිදි, යෙහෝවඃවහන්සේගේ ශක්තියට අපව ආත්මිකව හා චිත්තවේගීව ඉසිලිය හැකි බවට, ආයාසයකින් තොරව පියාසර කිරීමට ඇති රාජාලියාගේ හැකියාව කදිම නිදර්ශනයකි. රාජාලියෙකුට තම ශක්තිය පමණක් උපයෝගි කරගෙන එවන් උසකට ඉහළට නැඟීමට නොහැකි සේම, අපගේම හැකියාවන් මත රඳා සිටිනවා නම් අපට සාර්ථකව කටයුතු කළ නොහැක. “මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන” කියා පාවුල් පැහැදිලි කළේය. (පිලිප්පි 4:13) නොපෙනෙන තාපජ නිතර සොයන රාජාලීන් මෙන්, අපි අපගේ උනන්දුමත් යාච්ඤා තුළින් යෙහෝවඃවහන්සේගේ අදෘශ්‍යමාන ක්‍රියාකාරික බලය “ඉල්ලමින් සිටින්නෙමු.”—ලූක් 11:9, 13, NW.
පර්යටනය කරන රාජාලීන්, බොහෝදුරට තාපජ සොයාගන්නේ ගොදුර මත යැපෙන වෙනත් පක්ෂීන් නිරීක්ෂණය කිරීම මගිනි. එක් අවස්ථාවක රාජාලීන් හා ගිජුලිහිණියන් 250දෙනෙකු එකම තාපජයකින් ඉහළ නඟිමින් සිටීම දක්නට ලැබූ බව පරිසරවේදියෙක් වන ඩී. ආර්. මැකන්ටාෂ් වාර්තා කළේය. එයාකාරයෙන්ම, වෙනත් දේවසේවකයන්ගේ විශ්වාසවන්ත ආදර්ශ අනුගමනය කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ ශක්තිය මත රඳාසිටීමට අදදින ක්‍රිස්තියානීන්ට හැක.—1 කොරින්ති 11:1, සසඳන්න.
රාජාලියෙකුගේ පියාපත් සෙවණේ
රාජාලියෙකුගේ ජීවිතයේ වඩාත්ම අන්තරාදායක කාලපරිච්ඡේදය වන්නේ, ඌ පියාසර කිරීමට ඉගෙනගන්නා කාලයයි. එය කිරීමට දරන වෑයමේදී, මරුමුවට පත් වන්නේ රාජාලීන් සුළු පටු සංඛ්‍යාවක් නොවේ. මිසරයෙන් ඉවත් වූ විට, අද්දැකීම් නොලත් ඉශ්රායෙල් ජාතියද අන්තරාදායක තත්වයක සිටියේය. මෙලෙස, යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙලිතයන්ට පැවසූ වදන් වඩාත් උචිත වූයේය: “මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.” (නික්මයාම 19:4) පියාසර කිරීමට උත්සාහ කරන මුල් අවදියේදී, කුරුලු පැටවා නොවැටීම සඳහා, රාජාලීන් පැටවෙකුව සුළු කාලයකට තම පිට මත උසුලාගෙන යන බවට වාර්තා තිබේ. එවැනි වාර්තා සම්බන්ධයෙන් පැලස්ටයින් එක්ස්ප්ලොරේෂන් ක්වෝටර්ලිහි අදහස් ප්‍රකාශ කරමින්, ජී. ආර්. ඩ්‍රයිවර් මෙසේ පැවසුවේය: “එසේනම්, [බයිබල්] විස්තරය නිකම්ම මනඃකල්පිත මතයක් නොවේ, එහෙත් එය සැබෑව මත පදනම් වී තිබේ.”
රාජාලියෝ වෙනත් ආකාරවලින්ද ආදර්ශවත් දෙමාපියෝ වෙති. කැදැල්ලෙන් පිට නොවූ කුරුලු පැටවාට නොකඩවා ආහාර සපයනවා පමණක් නොව, නමුත් රාජාලි කුරුල්ලා කැදැල්ලට ගෙනෙන මස්, කුරුලු මව ඉතා පරෙස්සමින් කුඩා කැබලිවලට කඩන බැවින් රාජාලි පැටවාට එය ගිල දැමිය හැක. උන්ගේ කැදලි සාමාන්‍යයෙන් කඳු පර්වත හෝ උස ගස් මත තනා තිබෙන බැවින්, කුරුලු පැටවුන්ව වැසි සුළං ආදියට නිරාවරණය වේ. (යෝබ් 39:27, 28) උගේ දෙමාපියන්ගේ රැකබලා ගැනීම නොතිබෙන්ට, බයිබල් දේශවලට පොදු වූ දැඩි හිරු රශ්මිය හේතුවෙන්, කුරුලු පැටවෙකුගේ මරණය සිදු විය හැක. තම ළපටි කුරුලු පැටවාට සෙවණ ලබා දීම සඳහා, වැඩිහිටි රාජාලියා ඇතැම් අවස්ථාවලදී පැය ගණනාවක් පුරා තම පියාපත් විහිදුවාගෙන සිටී.
එනිසා ශුද්ධ ලියවිලිවල දිව්‍ය ආරක්ෂාවේ සංකේතයක් වශයෙන් රාජාලියෙකුගේ පියාපත් භාවිත කර තිබීම වඩාත් යෝග්‍ය වේ. ඉශ්‍රායෙලිතයන් පාළුකරයේ ගිය දිගු ගමනේදී යෙහෝවඃවහන්සේ ඔවුන්ව ආරක්ෂා කළ අයුරු ද්විතීය කථාව 32:9-12 විස්තර කරයි: “මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනගය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය. කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක. රාජාලියා උගේ කැදැල්ල අවුස්සා, උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා, උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන්, ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක.” අප යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවහොත්, උන්වහන්සේ අපටත් එවැනිම ප්‍රේමනීය ආරක්ෂාවක් සපයනු ඇත.
ගැළවීමේ මාර්ගය
ඇතැම් අවස්ථාවලදී, අපට ගැටලුවලට මුහුණ දීමට සිදු වූ විට, සෑම දුෂ්කරතාවකින්ම පලායෑමට අප කැමැත්තක් දක්වන බව අපට දැනිය හැක. දාවිත්ටත් හැඟුණේ එලෙසමය. (ගීතාවලිය 55:6, 7, සසඳන්න.) එහෙත් මෙම පිළිවෙළ තුළදී පරීක්ෂා හා පීඩාවලට මුහුණ දීමට අපට සිදු වන විට, අපට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේ පොරොන්දු වී ඇතත්, උන්වහන්සේ එයින් මුළුමනින්ම ගැළවීමට මාර්ගයක් සපයන්නේ නැත. අපට බයිබලයේ සහතිකය තිබේ: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.”—1 කොරින්ති 10:13.
“ගැළවෙන මාර්ගය” යන්නට, යෙහෝවඃවහන්සේ මත විශ්වාසය තැබීම ඇතුළත් වේ. මෙම ලිපිය ආරම්භයේදී උපුටා දක්වන ලද, අදහස් දැක්වූ මාක්ස් ලිබ්ස්ටර් සොයාගත්තේ මෙයයි. ඔහු වධක ගාල් කඳවුරුවල ගත කළ වසර ගණනාව තුළදී, යෙහෝවඃවහන්සේව හඳුනාගත් අතර, උන්වහන්සේ කෙරෙහි රඳාසිටියේය. මාක්ස් සොයාගත් ලෙස, ස්වකීය වචනය, ආත්මය හා සංවිධානය තුළින් යෙහෝවඃවහන්සේ අපව ශක්තිමත් කරනසේක. සාක්ෂිකරුවෝ, කඳවුරුවල පවා, සෙසු ඇදහිලිවන්තයන් සොයා ඔවුන්ට ආත්මික උපකාරය ඉදිරිපත් කළ අතර, ශුද්ධ ලියවිලිමය අදහස් මෙන්ම ලබාගැනීමට හැකි වූ ඕනෑම බයිබල් පොත පතක් බෙදාගත්හ. විශ්වාසවන්ත බේරී ජීවත්වන්නන් යළි යළිත් සාක්ෂි දී ඇති ආකාරයට, යෙහෝවඃවහන්සේ ඔවුන්ව ශක්තිමත් කර තිබෙනසේක. “මට උපකාර කරන මෙන් මා යෙහෝවඃවහන්සේගෙන් නොකඩවා ඉල්ලා සිටි අතර, උන්වහන්සේගේ ආත්මය මාව ඉසුලුවා” යනුවෙන් මාක්ස් පැහැදිලි කරයි.
අප කුමන පරීක්ෂාවකට මුහුණ දුන්නත්, නොකඩවා දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය අප ඉල්ලමින් සිටියහොත්, අපට එයාකාරයෙන්ම එය කෙරෙහි රඳාසිටිය හැක. (මතෙව් 7:7-11) “සාමාන්‍ය ඉක්මවූ බලයෙන්” ප්‍රාණවත් කරනු ලැබීමෙන්, අපගේ ගැටලුවලින් බර වී සිටිනවා වෙනුවට අප ප්‍රබෝධවත් වනු ඇත. අපි යෙහෝවඃවහන්සේගේ මාර්ගයෙහි හැසිරෙමින් සිටිනු ඇති අතර, ක්ලාන්ත නොවන්නෙමු. අපි රාජාලීන් මෙන් පියඹා නඟින්නෙමු.—2 කොරින්ති 4:7, NW; යෙසායා 40:31.
[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ඌ ඔබ දෙස උඩින් පල්ලෙන් බලන්නේ නැත
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Foto: Cortesía de GREFA
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Foto: Cortesía de Zoo de Madrid