වෙනත් රටකින් ඇවිත් ඉන්න අයට ආදරෙන් සලකමු
“ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.” —හෙබ්‍රෙ. 13:2.
1, 2. (අ) වෙන රටවලින් ඇවිත් ඉන්න අය මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අපි මතක තියාගන්න ඕන බයිබලේ තියෙන මොන උපදෙසද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
ඝානාවේ හිටපු ඕසෙයි[1] මීට අවුරුදු 30කට විතර කලින් යුරෝපයේ පදිංචියට ගියා. ඒ කාලේ එයා සාක්ෂිකරුවෙක් නෙමෙයි. යුරෝපයට ආපු මුල් දවස ගැන ඕසෙයි මෙහෙම කියනවා. “හුඟක් අය මාව ගණන් ගත්තේ නෑ. දේශගුණයත් හරිම වෙනස්. එයාර්පෝට් එකෙන් එළියට ආපු ගමන් දැනුණේ පුදුම සීතලක්. කවදාවත් එහෙම සීතලක් දැනිලා නැහැ. දරාගන්න බැරි පාළුව, තනිකම නිසා මට ඇඬුණා.” භාෂාවත් හරියට දැනගෙන හිටියේ නැති නිසා හොඳ රස්සාවක් හොයාගන්න ඕසෙයිට අවුරුද්දකට වඩා කල් ගියා. ගෙදර අය ළඟ නැති පාළුවත් තදින්ම දැනුණා.
2 හිතන්න, ඔයාත් වෙන රටකට ගියා කියලා. එහේ අය ඔයාට කොහොම සලකනවටද ඔයා කැමති? එහේ සභාවේ අය ඔයාගේ ජාතිය, හමේ පාට බලන්නේ නැතුව ඔයාව ආදරෙන් පිළිගද්දී ඔයාට කොහොම හැඟෙයිද? බයිබලේ අපිට උනන්දු කරන්නේ “ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න” කියලයි. ග්‍රීක භාෂාවට අනුව “ආගන්තුක සත්කාරය” කියද්දී “නාඳුනන අයට කාරුණිකව සලකනවා” කියන අදහසත් ඇතුළත්. (හෙබ්‍රෙ. 13:2) ඒ උපදෙසට කීකරු වෙන්න නම් මේ ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. කෙනෙක් අපිට ආගන්තුකයෙක් වුණත් යෙහෝවා දෙවිට එයා ගැන හැඟෙන්නේ කොහොමද? වෙන රටක, ජාතියක අය ගැන අපිට හැඟෙන විදිහ සමහරවිට වෙනස් කරගන්න වෙයි. ඒ ඇයි? වෙන රටකින් ආපු කෙනෙක් අපේ සභාවේ ඉන්නවා නම් එයායි, අපියි අතරේ වෙනසක් නැහැ කියන හැඟීම ඇති කරන්න අපිට පුළුවන් කොහොමද?
යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?
3, 4. නික්මයාම 23:9 කියන විදිහට දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ විදේශිකයන්ට කොහොම සලකන්න කියලද? ඒ ඇයි?
3 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්කමින් බේරගත්තට පස්සේ යෙහෝවා දෙවි එයාලට දුන්න නීතිවල විදේශිකයන්ට සලකන්න ඕනෙ කොහොමද කියන දේත් ඇතුළත් වුණා. (නික්. 12:38, 49; 22:21) විදේශිකයන්ට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වුණ නිසා දෙවි එයාලා ගැන සැලකිලිමත් වුණා. උදාහරණෙකට අස්වැන්න නෙළද්දී අතහැරුණ ධාන්‍ය කරල්, පලතුරු එකතු කරගන්න දෙවි විදේශිකයන්ට අවසර දීලා තිබුණා.—ලෙවී. 19:9, 10.
4 විදේශිකයන්ට ගෞරවයෙන් සලකන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට අණ කරනවා වෙනුවට යෙහෝවා දෙවිට ඕන වුණේ ඊජිප්තුවේදී එයාලා අද්දැක්ක දුෂ්කරතා මතක තියාගෙන වැඩ කරනවා දකින්නයි. (නික්මයාම 23:9 කියවන්න.) ඊජිප්තුවේ ඉද්දී ඊශ්‍රායෙල්වරුන් හුඟක් දුක් වින්දා. වහලුන් වෙන්න කලින් ඉඳන්ම ඊජිප්තුවරු එයාලව පහත් කළා. මොකද එයාලගේ චාරිත්‍රවලට ඊජිප්තුවරු කැමති වුණේ නැහැ. (උත්. 43:32; 46:34; නික්. 1:11-14) ඊශ්‍රායෙල්වරු විදේශිකයන්ව තමන්ගේම අය හැටියට සලකනවා දකින්න දෙවිට ඕන වුණේ ඒ නිසයි.—ලෙවී. 19:33, 34.
5. සභාවට එන විදේශිකයන්ට ආදරෙන් සලකන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
5 යෙහෝවා දෙවි වෙනස් වෙලා නැහැ. වෙන රටවලින් අපේ සභාවට එන අය අපිට ආගන්තුක වුණත් දෙවිට එයාලයි අපියි අතරේ වෙනසක් නැහැ. අපි එයාලට ආදරෙන් සලකයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. (ද්වි. 10:17-19; මලා. 3:5, 6) එයාලා මුහුණ දෙන අභියෝග ගැන හිතනවා නම් එයාලට උදව් ඕන පැති හඳුනගන්න අපිට පුළුවන්. උදාහරණෙකට එයාලට රටේ භාෂාව බැරුව ඇති. සමහරු එයාලට අසාධාරණ විදිහට සලකනවා ඇති. ඒ නිසා එයාලට උදව් කරන්න, ආදරෙන් සලකන්න අපිට පුළුවන් හැම දේම කරමු.—1 පේතෘ. 3:8.
විදේශිකයන් ගැන හැඟෙන විදිහ වෙනස් කරගන්න වෙයිද?
6, 7. වෙනත් ජාතීන්ට අයිති අයව පහත් නොකර ඉන්න මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඉගෙනගත්තා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
6 යුදෙව්වන් වෙනත් ජාතීන්ව පහත් කරලයි සැලකුවේ. ඒත් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් හැමෝටම එක වගේ සලකන්න ලොකු වෑයමක් දැරුවා. ක්‍රි.ව. 33දී විවිධ රටවලින් යෙරුසලමට ආපු අයට යුදෙව් ක්‍රිස්තියානීන් ආගන්තුක සත්කාරය පෙන්නුවා. (ක්‍රියා 2:5, 44-47) ඒකෙන් පේන්නේ “නාඳුනන අයට” වුණත් ආදරෙන් සලකන්න ඕනෙ කියන දේ එයාලා හොඳින් තේරුම් අරන් හිටියා කියලයි.
7 ඒත් ඒ කාලේ සභාවේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට හේතු වුණේ හෙබ්‍රෙව් භාෂාව කතා කරපු යුදෙව්වන් ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව් වැන්දඹුවන්ට අසාධාරණ විදිහට සලකපු එක. (ක්‍රියා 6:1) ඒ ප්‍රශ්නේ විසඳලා හැමෝටම එක වගේ සලකන්න ඕන නිසා නියෝජිතයන් විශ්වාසවන්ත පුරුෂයන් 7දෙනෙකුව තෝරගත්තා. ඒ 7දෙනාටම තිබුණේ ග්‍රීක නම්. ඒකෙන් තේරෙන්නේ ඒ වැන්දඹුවන්ගේ හැඟීම් ගැන නියෝජිතයන් සැලකිලිමත් වුණා කියලයි.—ක්‍රියා 6:2-6.
8, 9. (අ) උස් පහත් භේද ඇති කරන හැඟීම් අපේ හිතේ තියෙනවද කියලා සෝදිසි කරලා බලන්න ඕනෙ ඇයි? (ආ) අපේ හිතෙන් අයින් කරගන්න ඕනෙ මොන වගේ හැඟීම්ද? (1 පේතෘ. 1:22)
8 අපි පිළිගත්තත් නැතත් හැදුණ වැඩුණ පරිසරය, සංස්කෘතිය අපි හිතන විදිහට, අපේ හැඟීම්වලට බලපානවා. (රෝම 12:2) අසල්වැසියන්, වැඩපොළේ අය, ඉස්කෝලෙ ළමයි වෙනස් පසුබිමකින් ආපු අයව, වෙන ජාතියක අයව පහත් කරලා කතා කරනවා ඔයාට ඇහිලා ඇති. එයාලගේ හමේ පාට විහිළුවට ගන්නවා ඔයාට ඇහිලා ඇති. එයාලගේ අදහස් ඔයාට ඇතුල් වෙන්න පටන් අරන්ද? ඔයා අයිති ජාතිය, සංස්කෘතිය ගැන කෙනෙක් විහිළු කළොත් ඔයාට කොහොම හැඟෙයිද?
9 පේතෘස් කාලයක් තිස්සේ යුදෙව් නොවන අයව පහත් කරලා සැලකුවා. ඒත් ඒ හැඟීම් ටිකෙන් ටික නැති කරලා දාන්න එයා ඉගෙනගත්තා. (ක්‍රියා 10:28, 34, 35; ගලා. 2:11-14) තව ජාතියක්, පිරිසක් අපිට වඩා පහත් කියලා අපේ හිතේ පුංචි හරි හැඟීමක් ඇති වුණොත් නැත්නම් අපි අයිති ජාතිය උසස් කියලා අපිට හිතුණොත් ඒ හැඟීම් නැත්තටම නැති කරලා දාන්න අපි ලොකු වෑයමක් ගන්න ඕනේ. (1 පේතෘස් 1:22 කියවන්න.) මේ ගැන හිතන්න. මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. අපි කවුරුත් සදාකාල ජීවනය ලබන්න වටින්නේ නැහැ. (රෝම 3:9, 10, 21-24) ඒ නිසා අනිත් අයට වඩා උසස් කියලා හිතන්න අපිට කිසිම හේතුවක් නැහැ. (1 කොරි. 4:7) මොන ජාතියට අයිති වුණත් අපි “අමුත්තන් හෝ විදේශිකයන් හෝ නොවේ.” ඒ වෙනුවට අපි “දෙවිගේ පවුලේ සාමාජිකයෝ.” (එෆී. 2:19) අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න නම් උස් පහත් හැඟීම් අපේ හිතෙන් අයින් කරලා දාන්න අපිට පුළුවන් උපරිමය කරන්න ඕනේ.—කොලො. 3:10, 11.
වෙන රටවලින් ආපු අයට ආදරෙන් සලකන්න
10, 11. විදේශිකයන්ට යෙහෝවා දෙවි සලකපු විදිහ බෝවස් ආදර්ශයට ගත්තේ කොහොමද?
10 යෙහෝවා දෙවි විදේශිකයන්ට සලකපු විදිහ බෝවස් ආදර්ශයට ගත්තා. දවසක් බෝවස් එයාගේ කෙතේ අස්වැන්න නෙළනවා බලන්න ගිය වෙලාවක මෝවබ් දේශයෙන් ආපු තරුණියක් මහන්සි වෙලා කරල් අහුලනවා දැක්කා. ඒ රූත්. කෙතේ අතහැරලා දාලා ගිය ධාන්‍ය කරල් අහුලන්න නීතියට අනුව රූත්ට අවසර තිබුණා. ඒත් එයා ඒකට අවසර ඉල්ලුවා කියලා දැනගත්තම ධාන්‍ය මිටි අතරේ වැටිලා තියෙන කරල් අහුලන්නත් බෝවස් එයාට අවසර දුන්නා.—රූත් 2:5-7, 15, 16 කියවන්න.
11 විදේශිකයෙක් විදිහට රූත් මුහුණ දීපු අභියෝග ගැන බෝවස් හොඳින් තේරුම්ගත්තා කියලත් එයා රූත් ගැන සැලකිලිමත් වුණා කියලත් ඊළඟට වුණ දේවලින් පැහැදිලියි. කෙතේ වැඩ කරපු තරුණයන්ගෙන් රූත්ට කරදරයක් වෙයි කියලා හිතපු බෝවස් එයාගේ සේවිකාවන් එක්ක ඉන්න කියලා රූත්ට කිව්වා. තමන්ගේ අනිත් සේවකයන්ට වගේම විදේශිකයෙක් වුණ රූත්ටත් ඇති තරම් කෑම, වතුර තියෙනවද කියලා බෝවස් හොයලා බැලුවා. අසරණ වෙලා හිටපු රූත්ට බෝවස් ගෞරවයෙන් සැලකුවා. එයාට දිරියක් වුණා.—රූත් 2:8-10, 13, 14.
12. වෙන රටවලින් ඇවිත් ඉන්න අයට ආදරෙන් සලකද්දී මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද?
12 බෝවස් රූත්ට කාරුණිකව සැලකුවේ රූත් එයාගේ නැන්දම්මාට ආදරෙන් සලකපු නිසාම නෙමෙයි. රූත් යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි හැටියට පිළි අරන් ඔහුව විශ්වාස කරලා වැඩ කරපු නිසයි. බෝවස් රූත්ට කාරුණිකව සලකද්දී එයා ආදර්ශයට ගත්තේ යෙහෝවා දෙවි පෙන්නන ආදරයයි. (රූත් 2:12, 20; හිතෝ. 19:17) උස් පහත් භේද බලන්නේ නැතුව හැමෝටම කරුණාවෙන් සලකනවා නම් “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට” දෙවි ගැන සත්‍ය ඉගෙනගන්නත් දෙවිගේ ආදරේ තේරුම්ගන්නත් උදව් කරන්න අපිට පුළුවන්.—1 තිමෝ. 2:3, 4.
13, 14. (අ) වෙනත් රටක කෙනෙක් සභාවට ආවොත් එයාව ආදරෙන් පිළිගන්න ඕනෙ ඇයි? (ආ) වෙන රටකින් ආපු කෙනෙක් එක්ක බය නැතුව කතා කරන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?
13 සමහරු පදිංචියට වෙන රටවලට යනවා. ඒ වගේ අයට රැස්වීමකට ගියාම සභාවේ අය එක්ක කතා කරන්න ලැජ්ජාවක්, බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා එයාලා පැත්තකට වෙලා ඉඳියි. එයාලගේ සංස්කෘතිය, ජීවත් වෙන විදිහ ඒ රටේ අයට වඩා වෙනස් නිසා තමන් ඒ රටේ අයට වඩා පහත් කියලා හැඟෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන රටක කෙනෙක් සභාවට ආවොත් එයාව ආදරෙන් පිළිගන්න. එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න. එයාලගේම භාෂාවෙන් ආචාර කරන විදිහ දන්නේ නැත්නම් ‘JW ලැංවේජ්’ ඇප් එකෙන් ඒක ඉගෙනගන්න පුළුවන්.—ෆිලිප්පි 2:3, 4 කියවන්න.
14 වෙන සංස්කෘතියකට අයිති කෙනෙක් එක්ක කතා කරන්න සමහරවිට ඔයාට ලැජ්ජාවක්, බයක් දැනෙයි. ඒත් ඒ නිසාම එයාත් එක්ක කතා නොකර ඉන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ විස්තර එයාට කියන්න. එතකොට ඔයායි, එයායි අතරේ ඔයා හිතපු තරම් වෙනසක් නැහැ කියලා තේරෙයි. හැම සංස්කෘතියකම හොඳ පැති වගේම අඩුපාඩුත් තියෙනවා කියලා මතක තියාගන්න එකත් වැදගත්.
අපේම පවුලේ කෙනෙක්ට වගේ සලකන්න
15. අපි ඉන්න රටට අලුතෙන් ආපු කෙනෙක්ව තේරුම්ගන්න උදව් වෙන්නේ මොකක්ද?
15 වෙන රටකින් ඇවිත් ඉන්න කෙනෙක්ට දැනෙන්න ඕනෙ එයා අපේම පවුලේ කෙනෙක් කියලා. ඒ හැඟීම ඇති කරන්න නම් ‘මං වෙන රටකට ගියොත් එහේ අය මට කොහොම සලකනවටද මං කැමති’ කියලා හිතන එක වැදගත්. (මතෙ. 7:12) අලුත් ජීවිතේට හුරු වෙන්න එයාට කාලයක් යන නිසා ඉවසීමෙන් වැඩ කරන්න. එයා හිතන විදිහ, වැඩ කරන විදිහ එකපාරටම අපිට තේරුම්ගන්න බැරි වෙයි. ඒත් අපේ විදිහට එයා හැඩගැහෙන්න ඕනෙ කියලා හිතන්නේ නැතුව එයා දේවල් කරන්න පුරුදු වෙලා තියෙන විදිහට ගරු කරන්න.—රෝම 15:7 කියවන්න.
16, 17. (අ) වෙනත් සංස්කෘතීන්ට අයිති අය එක්ක මිතුදම් ඇති කරන්න පුළුවන් කොහොමද? (ආ) සභාවට වෙන රටකින් ඇවිත් ඉන්න කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
16 වෙන රටකින් ඇවිත් ඉන්න අයගේ සංස්කෘතිය ගැන තොරතුරු හොයලා දැනගන්න එක එයාලව තේරුම්ගන්න අපිට උදව්වක්. අපේ සභාවේ නැත්නම් සේවයේ යන පැත්තේ වෙන රටවලින් ආපු අය ඉන්නවා නම් එයාලගේ සංස්කෘතිය ගැන තොරතුරු පවුලේ නමස්කාරයේදී හොයන්න අපිට පුළුවන්. පදිංචියට අපේ රටට ඇවිත් ඉන්න අය සභාවේ ඉන්නවා නම් එයාලව කෑම වේලකට ආරාධනා කරන්න. එතකොට එයාලව තව හොඳින් අඳුනගන්න පුළුවන්. යෙහෝවා දෙවි “වෙනත් ජාතීන්ට අයත් අයට පවා සත්‍ය ඉගැන්වීම් පිළිගැනීමට මඟ විවෘත කරලා” තියෙනවා. දෙවිව ආදර්ශයට ගන්න අපි “අප හා සමාන විශ්වාසයක් ඇති” වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයව අපේ නිවෙස්වලට ආදරෙන් පිළිගමු.—ක්‍රියා 14:27; ගලා. 6:10; යෝබ් 31:32.
17 වෙන රටවලින් ඇවිත් ඉන්න සහෝදර සහෝදරියන් එක්ක අපි කාලේ ගත කරද්දී එයාලව තේරුම්ගන්න, රටේ ජීවිතේට හුරු වෙන්න එයාලා දරන වෑයම අගය කරන්න අපිට පුළුවන්. රටේ භාෂාව ඉගෙනගන්න එයාලට උදව් ඕනෙ කියලත් අපිට තේරෙයි. ගෙයක්, රස්සාවක් හොයාගන්න අවශ්‍ය උදව් ලබා දෙන්නත් අපිට පුළුවන්. එහෙම උදව් ලැබෙද්දී එයාලට පුළුවන් අලුත් ජීවිතේට ඉක්මනින්ම හුරු වෙන්න.—හිතෝ. 3:27.
18. වෙන රටවල පදිංචියට ගිහින් ඉන්න අයට ආදර්ශයට ගන්න පුළුවන් කාවද?
18 වෙනත් රටකින් ආපු කෙනෙක් අලුත් රටේ විදිහට හැඩගැහෙන්න එයාගේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒකට රූත් හොඳ ආදර්ශයක්. රූත් කරල් ඇහිදින්න අවසර ඉල්ලපු එකෙන් ඒ රටේ අයට එයා ගරු කරනවා කියලා පෙන්නුවා. (රූත් 2:7) කරල් අහුලන්න නීතියෙන් අවසර තිබුණ නිසාම ඒක අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙන්න ඕනෙ කියලා එයා හිතුවේ නැහැ. ඒ වගේම අනිත් අය එයාට පෙන්නපු කරුණාවට එයා ස්තුතිවන්ත වුණා. (රූත් 2:13) වෙන රටකින් ආපු කෙනෙක් රූත්ව ආදර්ශයට ගන්නවා නම් සහෝදර සහෝදරියන්ට වගේම අනිත් අයටත් එයාට ගෞරව කරන එක ලේසි වෙයි.
19. සභාවේ ඉන්න විදේශික අයට ආදරෙන් සලකන්න ඕනෙ ඇයි?
19 යෙහෝවා දෙවි හැමෝටම එක වගේ ඔහුගේ මහත් කරුණාව පෙන්නලා තියෙන එක ගැනත් ඔහුගේ පණිවිඩය අහන්න අවස්ථාව දීලා තියෙන එක ගැනත් අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද! සමහරුන්ට තමන්ගේම රටේදී බයිබලේ පාඩම් කරන්න, රැස්වීම් යන්න අවස්ථාව ලැබෙන්න නැතුව ඇති. ඒත් දැන් එයාට අපි එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන්න පුළුවන්. ඒ නිසා අපි එයාට උදව් කරන්න ඕනේ. එතකොට එයාත් අපේම පවුලේ කෙනෙක් කියලා එයාට දැනෙයි. එයා වෙනුවෙන් දේවල් කරන්න අපිට ගොඩක් සල්ලි නැතුව ඇති. හිතන තරම් උදව් කරන්නත් අමාරු ඇති. ඒත් අපි එයාට කරුණාව පෙන්නනවා නම් අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. “දෙවිව අනුකරණය කරන්නන්” විදිහට අපි අතරේ ඉන්න ආගන්තුකයන්ට ආදරෙන් සලකන්න අපි අපේ උපරිමය කරමු.—එෆී. 5:1, 2.
^ [1] (1 ඡේදය) නම වෙනස් කර ඇත.