යේසු ‘නික්මීම පුරාණයේ පටන් වූ’ පාලකයා
දිගු කලක් නොදුටු නෑදෑයෙකුගේ පැමිණීම බලාසිටිද්දී කුතුහලය වැඩි වෙයි. අන්තිමේදී, ඔබට ඔහුව මුණගැහෙන අතර ඔහුව උණුසුම් ලෙස පිළිගනියි. ඔහුගේ පියා, ඔබව බැහැදැකීමට ඔහුව එව්වේ ඇයි කියා ඔහු පවසන විට ඔබ සාවධානව සවන් දෙයි. අනතුරුව ඔහුට නැවත නිවස කරා යෑමට වෙලාව විගස පැමිණෙයි. කනගාටුවෙන් ඔබ ඔහුගෙන් සමුගනියි. ඔහු කරදරයක් නැතුව ගෙදර ගොස් ඇති බවට ආරංචිය ලැබෙන විට ඔහු වෙන්ව යද්දී ඔබට හැඟෙන පාළුව අඩු වී යයි.
පසුව, යම් පැරණි ලියකියවිලි සෝදිසි කරන විට, ඔබේ නෑදෑයා ඔබව මුණගැසෙන්න එන්න බොහෝ කලකට පෙර ඔහු කළ දක්ෂ ක්‍රියා ගැන කෙටියෙන් සඳහන් ලිපි ඔබට දකින්න ලැබෙයි. ඒ ලිපි ඔබට කියන දෙයින් ඔහුගේ පසුබිම ගැන උනන්දුව දනවන අවබෝධයක් ඔබට ලබා දෙන අතර, ඔහුගේ බැහැදැකීම හා ඔහු දැන් කරමින් සිටින වැඩ සඳහා ඔබේ අගය වැඩි කරයි.
“පුරාණයේ පටන්”
පළමු-සියවසේ යුදෙව්වන්ට ලබාගත හැකිව තිබූ පැරණි ලියකියවිලි අතර අවුරුදු හත්සීයකට පමණ පෙර වාර්තා කළ දෙවිගේ ප්‍රොපේත මීකාගේ ලියවිලි තිබුණා. මේවා මෙසියස්ගේ උපන් ස්ථානයට යොමු දක්වයි. “බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; [ඔහුගේ] නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.” (මීකා 5:2) මේ වචනවලට එකඟව, යේසු ඉපදුණේ, පො.යු.පෙ. 2 ලෙස දැන් හඳුන්වන වසරේදී, යුදෙව් ගම්මානයක් වන බෙත්ලෙහෙමේදීයි. නමුත් ඔහුගේ මූලාරම්භය “පුරාණයේ පටන්” විය හැක්කේ කෙසේද?
යේසුට මනුෂ්‍යභාවයට පෙර පැවැත්මක් තිබුණා. කොලොස්සියේ ක්‍රිස්තියානීන් සඳහා වූ ප්‍රේරිත පාවුල්ගේ ලිපියේදී, ඔහු යේසුව විස්තර කළේ “අදෘශ්‍යමාන [දෙවිගේ] ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලා” කියායි.—කොලොස්සි 1:15.
ප්‍රඥාවේ උල්පත වූ යෙහෝවා, තම මුල්ම පුත්‍රයා මැව්වේ තම “පුරාතනම සමර්ථය” වශයෙනුයි. එසේ කියද්දී, හිතෝපදේශ පොතේ වාර්තා වී ඇති සාලමොන් රජ වාර්තා කළ ආනුභාව ලත් යෙදුමයි භාවිතා කර තිබෙන්නේ. යේසු මිහිපිට කලක් සිට යළි ස්වර්ගයට ගිය පසු, ඔහු ඇත්තෙන්ම තමා ‘දෙවිගේ මැවිල්ලේ මුල වූ තැනැත්තා’ බවට සහතික කළා. පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව වශයෙන්, මනුෂ්‍යභාවයට පෙර සිටි යේසු මෙසේ ප්‍රකාශ කළා: “[යෙහෝවා] ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි.”—හිතෝපදේශ 8:22, 23, 27, NW; එළිදරව් 3:14.
මුල පටන්, දෙවිගේ පුත්‍රයා අද්විතීය පැවරුමක්, එනම් ඔහුගේ පියා සමඟ “ප්‍රධාන කර්මාන්තකාරයාව” සිටීමේ පැවරුම ලැබුවා. මෙය යෙහෝවාට කොතරම් ප්‍රීතියක් ගෙනාවාද! “සෑමකල්හිම [යෙහෝවා] ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්” යයි හිතෝපදේශ 8:30 සටහන් කරන්නේ “දවසින් දවස [යෙහෝවාගේ] ප්‍රීතිය වීමි” කියාද එකතු කරමින්.
මිනිස්වර්ගයාව මැවීමේදී හවුල් වීමට යෙහෝවා පසුව තම කුලුඳුල් පුත්‍රයාට ආරාධනා කළා. “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ” කියා ඔහු ප්‍රකාශ කළා. (උත්පත්ති 1:26) ප්‍රතිඵලයක් වශයෙන්, තවත් ඇලුම්කමක් වර්ධනය වුණා. “මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි” කියා මනුෂ්‍යභාවයට පෙර යේසු පැහැදිලි කළා. (හිතෝපදේශ 8:31) ප්‍රේරිත යොහන් ඔහුගේ සුවිශේෂයේ ආරම්භයේදී, මැවීම සම්බන්ධයෙන් මනුෂ්‍යභාවයට පෙර යේසුගේ කාර්යභාරය මෙසේ පිළිගත්තා: “[ඔහු] කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් [ඔහු] නැතුව සාදනු නොලද්දේය.”—යොහන් 1:3.
යෙහෝවා වෙනුවෙන් කතාකරන්නා
දෙවිගේ පුත්‍රයා භුක්ති වින්ද තවත් වරප්‍රසාදයක් වෙත, එනම් වෙනුවෙන් කතාකරන්නෙකු වීමේ වරප්‍රසාදය වෙත යොහන්ගේ වචන අවධානය යොමු කරයි. මුල පටන්, ඔහු වාක්‍යය වශයෙන් සේවය කළා. මෙබැවින්, යෙහෝවා ආදම්ට කතා කළ විට හා පසුව ආදම් ඒව සමඟ සිටිද්දී ඔහු ආදම්ව ඇමතූ විට, ඔහු එය වාක්‍යය මාර්ගයෙන් කළා විය හැකියි. තවද මනුෂ්‍යවර්ගයාගේ සුභසිද්ධිය සඳහා දෙවිගේ උපදෙස් දීමට වඩාත් සුදුසු වන්නේ ඔවුන් වෙනුවෙන් ඇලුම්කමක් දක්වන කෙනෙකුට වඩා වෙන කවරෙක්ද?—යොහන් 1:1, 2.
ඒව සහ ඉන්පසු ආදම්, ඔවුන්ගේ මැවුම්කරුට අකීකරු වෙනවා දැකීමෙන් වාක්‍යයට මොනතරම් වේදනාවක් ඇති වෙන්න ඇද්ද! එමෙන්ම ඔවුන්ගේ අකීකරුකමෙන් ඔවුන්ගේ ජනිතයන්හට ගෙනා අසනීප සුව කිරීමට ඔහු මොනතරම් දැඩි ආශාවක් දක්වන්න ඇද්ද! (උත්පත්ති 2:15-17; 3:6, 8; රෝම 5:12) ඒවට කැරලිගැසීමට උනන්දු කළ සාතන්ව අමතමින් යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි.” (උත්පත්ති 3:15) ඒදන්හි සිදු වුණ දේ දැක තිබුණු, ස්ත්‍රියගේ ‘වංශයේ’ මූලික කොටස වන වාක්‍යය, තමා කුරිරු වෛරයේ ඉලක්කයක් වනු ඇතැයි වටහාගත්තා. සාතන් මිනීමරුවෙක් බව ඔහු දැනගෙන හිටියා.—යොහන් 8:44.
සාතන් පසුව ඇදහිලිවන්ත යෝබ්ගේ අඛණ්ඩතාව ගැන ප්‍රශ්න කළ විට, තම පියාට විරුද්ධව එල්ල කළ බොරු චෝදනා ගැන වාක්‍යයට කේන්තිසහගත හැඟීමක් ඇති වෙන්න ඇති. (යෝබ් 1:6-10; 2:1-4) ඇත්තෙන්ම, අග්‍රදේවදූතයා වශයෙන් තම කාර්යභාරයේදී, වාක්‍යය මිකායෙල් වශයෙන් ප්‍රසිද්ධයි; ඒ නමේ තේරුම “දෙවි වගේ කවුද?” යන්නයි; එමෙන්ම දෙවිගේ පරමාධිපත්‍යය පැහැරගැනීමට හදන සියල්ලන්ට විරුද්ධව ඔහු යෙහෝවාව දිනවන ආකාරය එය අඟවයි.—දානියෙල් 12:1; එළිදරව් 12:7-10.
ඉශ්රායෙලයේ ඉතිහාසය දිගහැරෙද්දී, වාක්‍යය, මිනිසුන්ව නිර්මල නමස්කාරයෙන් ඉවතට හැරවීම සඳහා වූ සාතන්ගේ ප්රයත්නයන් නිරීක්ෂණය කළා. මිසරයෙන් නික්ම ආ පසු, දෙවි මෝසෙස් මගින් ඉශ්රායෙල්ට මෙසේ පැවසුවා: ‘බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂා කරන පිණිසද මා විසින් පිළියෙළ කළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. ඔහු ඉදිරියෙහි ප්‍රවේසම් වෙමින් ඔහුගේ හඬට කන් දෙන්න; ඔහු කෝප නොකරන්න; මක්නිසාද ඔහු නුඹලාගේ අපරාධවලට කමා නොවන්නේය; මක්නිසාද මාගේ නාමය ඔහු තුළ ඇත්තේය.’ (නික්මයාම 23:20, 21) මේ දේවදූතයා කවුද? මනුෂ්‍යභාවයට පෙර සිටි යේසු විය හැකියි.
විශ්වාසවන්ත යටත්කම
මෝසෙස් පො.යු.පෙ. 1473දී මියගිය අතර ඔහුගේ ශරීරය “මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත් [කළේය].” (ද්විතීය කථාව 34:5, 6) පෙනෙන ප්‍රකාරයට, සමහරවිට පිළිම නමස්කාරයට අනුබල දීම සඳහා මිනිය යොදාගැනීමට සාතන්ට වුවමනා වුණා. මිකායෙල් මෙයට විරුද්ධ වුවත්, යටහත් පහත් ලෙස ඔහුගේ පියා වූ යෙහෝවාගේ අධිකාරිය ක්‍රියාත්මක වන තෙක් ප්‍රමාද කළා. ‘නින්දිත වූ විනිශ්චයක් සාතන්ට විරුද්ධව කරන්ට භය වී,’ මිකායෙල් සාතන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: ‘යෙහෝවා නුඹට තරවටු කරත්වා!’—යූද් 9.
ඉශ්රායෙල් ඊළඟට කානාන්හි පොරොන්දු දේශය යටත් කරගැනීමට පටන්ගත්තා. යෙරිකෝ නගරය අසලදී, වාක්‍යය දිගටම ජාතිය අධීක්ෂණය කරන බවට වූ යළි තහවුරු කිරීම යෝෂුවා ලැබුවා. එහිදී ඔහුට ඇදගත් කඩුවක් අතේ ඇති මනුෂ්‍යයෙකු මුණ ගැසුණා. යෝෂුවා අමුත්තා ළඟට ඇවිද මෙසේ ඇසුවා: “නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටද”? “එසේ නොවෙයි; මම දැන් [යෙහෝවාගේ] සේනාවේ අධිපතියාව ආවෙමියි” කියමින් අමුත්තා ඔහුගේ අනන්‍යතාව හෙළි කළ විට යෝෂුවාගේ පුදුම වීම ගැන සිතා බලන්න. නිසැකවම මනුෂ්‍යභාවයට පෙර යේසු, එනම් පසුව “අධිපතියාවූ ආලේපලත් තැනැත්තා” බවට පත් වූ යෙහෝවාගේ මේ උසස් නියෝජිතයා ඉදිරියේ යෝෂුවා තම මුහුණින් වැටුණු බවට සැකයක් නැහැ.—යෝෂුවා 5:13-15; දානියෙල් 9:25.
දෙවිගේ ප්‍රොපේත දානියෙල්ගේ දවස්වලදී තවදුරටත් සාතන් සමඟ මුහුණට මුහුණලා ගැටුමක් හටගැනුණා. මේ අවස්ථාවේදී පර්සියාවේ භූත අධිපතියා සති තුනකට ‘විරුද්ධව නැඟී සිටි’ අවස්ථාවේදී, මිකායෙල් තම සෙසු දේවදූතයාට සහාය දුන්නා. දේවදූතයා මෙසේ පැහැදිලි කළා: “නුමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මීකායෙල් තෙම මට උපකාරකරන්ට ආයේය. එසේ මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාදවුණෙමි.”—දානියෙල් 10:13, 21.
මනුෂ්‍යභාවයට පෙර හා මනුෂ්‍ය මහිමය
උස්සියා මියගිය වසර වූ පො.යු.පෙ. 778දී, දෙවිගේ ප්‍රොපේත යෙසායා, යෙහෝවා තම උසස් සිංහාසනයෙහි සිටින දර්ශනයක් දුටුවා. “මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි” යෙහෝවා ඇසුවා. යෙසායා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නමුත්, ඔහුගේ ප්‍රකාශ කිරීම්වලට ඔහුගේ සෙසු ඉශ්‍රායෙලිතයන් ප්‍රතිචාරය නොදක්වනු ඇතැයි කියා යෙහෝවා ඔහුට අනතුරු ඇඟෙව්වා. ප්‍රේරිත යොහන් යෙසායාගේ දවස්වල ජනයාට මුල් සියවසේ නොඇදහිලිකාර යුදෙව්වන්ව සන්සන්දනය කර, මෙසේ සඳහන් කළා: “යෙසායා [ඔහු] ගැන කථාකරමින් මේ කාරණා කීවේ [ඔහුගේ] මහිමය දුටු නිසාය.” කාගේ මහිමයද? යෙහෝවාගේ හා ඔහු සමඟ ස්වර්ගික අධිකරණවල පැත්තකින් සිටින මනුෂ්‍යභාවයට පෙර සිටි යේසුගේ මහිමයයි.—යෙසායා 6:1, 8-10; යොහන් 12:37-41.
ඒ කාලයෙන්, සියවස් කීපයකට පසුව යේසුගේ උතුම්ම පැවරුම ලැබුණා. යෙහෝවා තම ප්‍රේමනීය පුතාගේ ජීවන බලය මරියාගේ ගර්භාශය තුළට මාරු කළා. මාස නවයකට පසු ඇය පිරිමි දරුවෙකු වූ යේසුට උපත දුන්නා. (ලූක් 2:1-7, 21) ප්‍රේරිත පාවුල්ගේ වචනවල මෙසේ පැවසේ: ‘කාලය සම්පූර්ණ වූ කල, දෙවි ස්ත්‍රියකගෙන් උපන්නාවූ . . . තමන් පුත්‍රයා එව්වේය.’ (ගලාති 4:4) එලෙසම, ප්‍රේරිත යොහන් මෙසේ පිළිගත්තා: ‘වාක්‍යය මාංසවත් වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසය කළේය. පියා වෙතින් වූ ඒකජාතක පුත්‍රයාගේ මහිමය වැනි ඔහුගේ මහිමය දුටිමු.’—යොහන් 1:14.
මෙසියස් පැමිණෙයි
අඩුම තරමින් වයස 12දීවත්, යෞවන යේසු, ඔහුගේ ස්වර්ගික පියාගේ රාජකාරියෙහි කාර්යබහුලව සිටිය යුතු බවට ඒත්තුගෙන සිටියා. (ලූක් 2:48, 49) වර්ෂ 18කට පසු, යේසු යොර්දාන් ගඟ ළඟ සිටි යොහන් බව්තීස්ත වෙත පැමිණ බව්තීස්ම ලැබුවා. යේසු යාච්ඤා කරමින් සිටියදී, අහස විවර වූ අතර ඔහු මතට ශුද්ධාත්මය බැස ආවා. යේසු තම පියා සමඟ ප්‍රධාන කර්මාන්තකාරයා, වෙනුවෙන් කතාකරන්නා, දෙවිගේ සේනාවේ අධිපතියා මෙන්ම අග්‍රදේවදූත මිකායෙල් වශයෙන් සහස්ර වර්ෂ අසංඛ්යාතයක සේවය කර තිබීම සිහියට නඟාගනිද්දී මනසේ ඇති වුණු මතක වැල ගැන කල්පනා කර බලන්න. එවිට ඔහුගේ පියාගේ කටහඬ යොහන් බව්තීස්තට මෙසේ පවසනවා ඇසීමේ සතුට ඇති වුණා: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.”—මතෙව් 3:16, 17; ලූක් 3:21, 22.
යොහන් බව්තීස්ත ඇත්තෙන්ම යේසුගේ මනුෂ්‍යභාවයට පෙර පැවැත්ම සැක කළේ නැහැ. යේසු ඔහු වෙත ළඟා වෙද්දී, යොහන් මෙසේ ප්‍රකාශ කළා: “අන්න, ලෝකයේ පාපය දුරුකරන [දෙවිගේ බැටළුපැටියා]!” ඔහු තවදුරටත් මෙසේත් පැවසුවා: ‘මට පසුව එන්නාවූ තැනැත්තා මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම් වී සිටින්නේයැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මොහුමයයි මොරගසා කීයේය.’ (යොහන් 1:15, 29, 30) ප්‍රේරිත යොහන් පවා යේසුගේ පූර්ව පැවැත්ම දැනගෙන සිටියා. “ඉහළින් එන්නාවූ [තැනැත්තා] සියල්ලන්ට වඩා උතුම්ය” කියාද, ‘ස්වර්ගයෙන් එන්නාවූ තැනැත්තා සියල්ලන්ටම වඩා උතුම්ය. ඔහු දුටුවාවූ ඇසුවාවූ දේ ගැන සාක්ෂි දෙයි’ කියාද ඔහු ලිව්වා.—යොහන් 3:31, 32.
මෙසියස් පොළොවට පැමිණීමේ හා උත්තම පූජකයෙකු වශයෙන් ඔහුගේ වැඩයේ සම්පූර්ණ වැදගත්කම අගය කරන්න කියා ප්‍රේරිත පාවුල් පො.යු. 61වන වසරේදී පමණ, හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් උනන්දුවෙන් ඉල්ලා සිටියා. වෙනුවෙන් කතාකරන්නා වශයෙන් යේසුගේ කාර්යභාරයට අවධානය යොමු කරමින් පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවි . . . මේ දවස්වල කෙළවරදී . . . පුත්‍රයා ලවා අපට කතා කළේය. . . . ඔහු කරණකොටගෙන ලෝකවල් සෑදුවේය.’ මෙය, මැවිල්ලේදී “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙන් යේසුගේ කාර්යභාරය වෙත යොමු දක්වනවා හෝ මිනිසාගේ සමඟි කිරීම සඳහා දෙවිගේ ප්රගතිශීලී වැඩපිළිවෙළවල්වල ඔහුගේ සහභාගිත්වයට යොමු දක්වනවා වුවත්, පාවුල් මෙහිදී යේසුගේ මනුෂ්‍යභාවයට පෙර පැවැත්මට ඔහුගේ සාක්ෂි එකතු කරයි.—හෙබ්‍රෙව් 1:1-6; 2:9.
“පුරාණයේ පටන්” පක්ෂපාතකම
පිලිප්පියේ පළමු-සියවසේ ක්‍රිස්තියානීන්ට, පාවුල් මේ උපදෙස දුන්නා: ‘ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. ඔහු දෙවිගේ රූපාකාරය දරන්නේය, දෙවිට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතු වූ වස්තුවකැයි නොසිතා, එය ඉවත් කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියේය. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, [වධකණුවේ, NW] මරණය දක්වා කීකරු වූයේය.’ (පිලිප්පි 2:5-8) යේසුව නැවත නැඟිටුවීමෙන් හා ඉන්පසු ඔහුව නිවාස ස්ථානය වන ස්වර්ගයට පිළිගැනීමෙන් යෙහෝවා ප්‍රේමනීය ලෙස ඔහුගේ පක්ෂපාත ක්‍රියාමාර්ගයට ප්‍රතිචාරය දැක්වුවා. යේසු අප වෙනුවෙන් මොනතරම් දීර්ඝ කාලයක අඛණ්ඩතාවේ කදිම ආදර්ශයක් තබා තියෙනවාද!—1 පේතෘස් 2:21.
යේසුගේ මනුෂ්‍යභාවයට පෙර පැවැත්ම පිළිබඳව බයිබලය සපයන ක්ෂණික දසුන් සඳහා අපි මොනතරම් කෘතඥපූර්වක වන්නෙම්ද! ඒවා නිසැකවම ඔහුගේ පක්ෂපාත සේවයේ ආදර්ශය අනුකරණය කිරීමට තිබෙන අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරන අතර, විශේෂයෙන්ම එසේ වන්නේ දැන් ඔහු මෙසියානු රාජ්‍යයේ රජ වශයෙන් පාලනය කරන නිසායි. එසේනම් අපි ‘නික්මීම පුරාණයේ පටන් වූ,’ අපේ ආණ්ඩුකාරයා හා පාලකයා වන ක්‍රිස්තුස් යේසුස් නම් ‘සමාදානයේ කුමාරයාට’ ආචාර කරමු!—යෙසායා 9:6; මීකා 5:2.
[24වන පිටුවේ කොටුව]
මනුෂ්‍යභාවයට පෙර පැවැත්මකට සාක්ෂි
පහත සඳහන් පරිදි, යේසුගේම වචන මනුෂ්‍යභාවයට පෙර ඔහුගේ පැවැත්ම සඳහා බහුල සාක්ෂි සපයයි:
◻ “ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.”—යොහන් 3:13.
◻ ‘ස්වර්ගයෙන් වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑ වූ කෑම මාගේ පියා නුඹලාට දෙන්නේය. මක්නිසාද දෙවි දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීවේය. . . . මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනැත්තාගේ කැමැත්ත කරන පිණිසය.’—යොහන් 6:32, 33, 38.
◻ “මේ කෑම නම්, එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නාවූ කෑමය. ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය.”—යොහන් 6:50, 51.
◻ “එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?”—යොහන් 6:62.
◻ “මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; . . . නුඹලා පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.”—යොහන් 8:14, 23.
◻ ‘දෙවි නුඹලාගේ පියා නම් නුඹලා මට ප්‍රේම කරන්නහුය. මක්නිසාද මම දෙවි කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව ඔහු මා එව්වේය.’—යොහන් 8:42.
◻ “සැබවක් සැබවක් නුඹලාට කියමි—ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමි.”—යොහන් 8:58.
◻ ‘දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව. පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේම කළේය.’—යොහන් 17:5, 24.
[23වන පිටුවේ පින්තූරය]
යෝෂුවා යෙහෝවාගේ සේනාවේ අධිපතියා මුණගැසෙයි