18වන පරිච්ඡේදය
“දෙවිගේ වචනය” තුළ පිරි ප්‍රඥාව
1, 2. යෙහෝවා අපට ලියා ඇත්තේ කිනම් “ලිපියද?” ඒ ඇයි?
ඈත එපිට දුරක සිටින ඔබේ හිතවතෙකුගෙන් ඔබ ලිපියක් ලද අවසාන වතාව ඔබට මතකද? අප ආදරය කරන අපට ලැදි කෙනෙකුගෙන් ලැබෙන එවන් හෘදයාංගම ලිපියකින් පවා අප ලබන්නේ ඉමහත් සතුටක්. ඔහුගේ දුක සැප, ඔහුගේ අද්දැකීම් හා ඔහුගේ සැලසුම් ගැන ඇසීමෙන් අප මහත් සේ සතුටු වෙනවා. එවන් හිතවතෙක් ඈත එපිට ජීවත් වුණත් ඔහුගෙන් ලැබෙන ලිපියකින් සිදු වන්නේ අපව ඒ පුද්ගලයාට තවත් ළං කරවීමයි.
2 එසේ නම්, අප ප්‍රේම කරන දෙවිගෙන් ලිඛිත පණිවුඩයක් ලැබීමෙන් ඇති වන සතුටට වඩා සතුටක් ලැබිය හැක්කේ වෙන කුමකින්ද? මේ අනුව, යෙහෝවා එක්තරා අර්ථයකින් අපට “ලිපියක්” එවා තිබෙනවා. ඒ තමයි, ඔහුගේ වචනය වන බයිබලය. තමා කවුද කියාත්, තමා කර තිබෙන්නේ කුමක්ද කියාත්, තමා කිරීමට අරමුණු කර තිබෙන්නේ කුමක්ද කියාත්, තවත් බොහෝ දේවලුත් එහි අපට පවසා තිබෙනවා. ඇරත්, යෙහෝවා සිය වචනය අපට දී තිබෙන්නේ අප ඔහුට ළං වෙනවා දැකීමට ඔහු කැමති නිසයි. සියලු ප්‍රඥාවෙන් පිරිපුන් අපගේ දෙවි අපට කතා කළ හැකි හොඳම ක්‍රමය තෝරාගෙන තිබෙනවා. බයිබලය ලියා තිබෙන ආකාරය සහ එහි අඩංගු දේ ගැන අප සලකා බලන විට, අපට ඒ තුළ සොයාගත හැක්කේ අසමසම ප්‍රඥාවක්.
ලිඛිත වචනයක් ඇයි?
3. යෙහෝවා මෝසෙස්හට ව්‍යවස්ථාව දෙනු ලැබුවේ කිනම් අන්දමටද?
3 ‘යෙහෝවා මිනිසුන් සමඟ කතා කිරීමට මීට වඩා බොහෝ සෙයින් ප්‍රබල මාධ්‍යයක්, එනම් ස්වර්ගයේ සිට කටහඬක් යොදා නොගත්තේ ඇයි’ යනුවෙන් ඇතමුන් කල්පනා කරන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම, යෙහෝවා ඇතැම් අවස්ථාවල දේවදූත නියෝජිතයන් මාර්ගයෙන් ස්වර්ගයේ සිට කතා කළා. නිදසුනක් වශයෙන්, ඉශ්රායෙල් ජාතියට ව්‍යවස්ථාව දෙන විට ඔහු කළේ එයයි. (ගලාති 3:19) ස්වර්ගයෙන් පැමිණි ඒ කටහඬ ගරුබිය දනවනසුලුයි. එය කොතරම් භය උපදෙව්වාද කියතොත්, යෙහෝවා තමන් සමඟ මේ ආකාරයෙන් කතා නොකරන ලෙසත් මෝසෙස් තුළින් තමන්ට කතා කරන ලෙසත් ඉශ්රායෙල්වරුන් ඉල්ලා සිටියා. (නික්මයාම 20:18-20) මෙසේ, නීති 600කින් පමණ සමන්විත වූ ව්‍යවස්ථාව වචනයෙන් වචනය මෝසෙස්ට දෙන ලද්දේ වාචිකවයි.
4. මුඛ පරම්පරාවෙන් දෙවිගේ නීති භාර දීම විශ්වාසවන්ත ක්‍රමයක් නොවීමට හේතුව පැහැදිලි කරන්න.
4 නමුත් ව්‍යවස්ථාව කිසිදා ලිඛිතව ලියා නොතිබුණා නම් තත්වය කුමක්ද? එම සවිස්තරාත්මක නීති මාලාවේ නියම වචනම ඒ විදිහටම මතක තබාගෙන කිසිම දෝෂයකින් තොරව තම ජාතියේ සෙස්සන්ට කියා දෙන්නට මෝසෙස්ට හැකියාව තිබෙනු ඇද්ද? පසුවට පැමිණෙන පරම්පරා ගැන කුමක් කියන්නට පුළුවන්ද? ඔවුන්ට නිකම්ම කට වචනයෙන් පැමිණි දෙයක් කෙරෙහි රඳා පවතින්නට සිදු වේවිද? දෙවිගේ නීති අනිත් අයට කියා දීමට මෙය විශ්වාසවන්ත ක්‍රමයක් වේවි කියා සිතීම උගහටයි. එක දිගට පෙළ ගැසී සිටින මිනිසුන් ගණනාවකට යම් පණිවුඩයක් කියන්නට ඔබට තිබෙනවා කියා සිතන්න. ඔබ එම පේළියේ පළමුවැන්නාට කී දේ ඔහු ඊළඟ තැනැත්තාටත්, එම තැනැත්තා ඔහු ළඟ සිටින තැනැත්තාටත් යනාදි වශයෙන් පේළියේ පළමුවැන්නාගේ සිට අවසාන තැනැත්තා දක්වා මේ පණිවුඩය යවනු ලබයි. පේළියේ අවසාන කෙළවරේ සිටින තැනැත්තා අසන දෙය පේළියේ මුලම සිටි තැනැත්තාට කී දේට වඩා සෑහෙන වෙනස් වී ඇති බවක් ඔබට පෙනී යාවී. දෙවිගේ ව්‍යවස්ථාවේ වචනවලට එවැනි ක්‍රමයකින් හානියක් සිදුවීමට ඉඩක් දුන්නේ නැහැ.
5, 6. යෙහෝවා මෝසෙස්ට උපදෙස් දෙමින් කියා සිටියේ තමන්ගේ වචන සම්බන්ධව කුමක් කරන ලෙසටද? යෙහෝවාගේ වචන ලිඛිතව ලියා තිබීම අපට ආශීර්වාදයක් වන්නේ ඇයි?
5 යෙහෝවා සිය වචන ලිඛිතව තැබීමට තෝරාගත්තේ ඉතා ඥානවන්තවයි. ඔහු මෝසෙස්ට මෙසේ උපදෙස් දුන්නා. “මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම නුඹ සමඟද ඉශ්රායෙල් සමඟද ගිවිසුමක් කළෙමි.” (නික්මයාම 34:27) මෙසේ පො.යු.පෙ. 1513 සිට බයිබලය ලිවීමට පටන්ගත්තා. ඊළඟට පැමිණි වසර 1,610ක කාලපරිච්ඡේදය පුරා, යෙහෝවා “නොයෙක් විටද විවිධාකාරයෙන්ද” මිනිස් ලේඛකයන් 40දෙනෙකුට පමණ ‘කතා කරමින්’ ඔවුන් ලවා බයිබලය ලියවා තැබුවා. (හෙබ්‍රෙව් 1:1, නව අනුවාදය) මේ අතරතුර, කැප වූ පිටපත්කරුවන් කිහිපදෙනෙක් ශුද්ධ ලියවිලි ආරක්ෂා සහිතව තබාගැනීම සඳහා ඉතාම සුපරීක්ෂාකාරිව එහි පිටපත් සාදා තැබුවා.—එස්රා 7:6; ගීතාවලිය 45:1.
6 යෙහෝවා අපට ලිඛිතව අදහස් දැනුම් දීම මගින් අපහට සැබවින්ම කර තිබෙන්නේ ආශීර්වාදයක්. ඔබ බෙහෙවින් අගය කළ, සමහරවිට අවශ්‍ය වේලාවට නිසි සැනසීමක් ඔබට සැපයූ ලිපියක් ඔබට යමෙකුගෙන් ලැබී තිබෙනවාද? සමහරවිට ඔබ එය ආරක්ෂා කර තබාගෙන යළි යළිත් කියවන්නට ඇති! යෙහෝවා අපට එවා ඇති “ලිපිය” සම්බන්ධයෙනුත් කීමට ඇත්තේ එයමයි. යෙහෝවා සිය වචන ලිඛිත ස්වරූපයකින් තබා ඇති නිසා, ඒවා නිතර නිතර කියවා ඒවායින් පැවසෙන දෙය ගැන මෙනෙහි කිරීමට අපට හැකියි. (ගීතාවලිය 1:2) අපට අවශ්‍ය කරන ඕනෑම මොහොතක “ලියවිලිවලින් හටගන්න සැනසිල්ල” අපට ලබාගන්න පුළුවන්.—රෝම 15:4.
ලේඛකයන් හැටියට මිනිසුන්ව යොදාගත්තේ ඇයි?
7. දේවවචනය ලිවීම සඳහා මිනිසුන්ව යොදාගැනීම දෙස බලන කල, ඒ තුළ යෙහෝවාගේ ප්‍රඥාව දැකිය හැක්කේ කොහොමද?
7 යෙහෝවා විසින් සිය වචනය ලිවීම සඳහා මිනිසුන්ව යොදාගැනීමෙන් ඔහුගේ ප්‍රඥාව පිළිබිඹු කරනවා. මේ ගැන සලකා බලන්න. බයිබලය වාර්තා කිරීම සඳහා යෙහෝවා දේවදූතයන්ව යොදාගත්තා නම්, අද ඊට තිබෙන ආකර්ෂණයම තිබෙනු ඇද්ද? තමන්ගේ උසස් දෘෂ්ටි කෝණයෙන් බලා යෙහෝවා ගැන විචිත්‍රවත් වූ විස්තරයක් ඉදිරිපත් කිරීමටත්, තමන්ගේම භක්තිය ගැන ප්‍රකාශ කිරීමටත්, ඒ වගේම විශ්වාසවන්ත ලෙස දෙවිට සේවය කළාවූ මිනිසුන් ගැන ඉතා නිවැරදි වාර්තාවක් දීමටත් දේවදූතයන්ට හැකියාව තිබෙනු ඇති බවට කිසිම සැකයක් නැහැ. නමුත් අපට වඩා බොහෝ සෙයින් උත්තරීතර වූ දැනුම, අද්දැකීම් හා ශක්තිය ඇති පරිපූර්ණ ආත්ම මැවිලිවල දෘෂ්ටි කෝණයෙන් දේවල් හඳුනාගන්නට ඇත්තටම අපට පුළුවන්කමක් තිබේවිද?—හෙබ්‍රෙව් 2:6, 7.
8. බයිබල් ලේඛකයන්ට තම මානසික හැකියාවන් යොදාගැනීමට ඉඩ දෙන ලද්දේ කිනම් ආකාරයෙන්ද? (පාද සටහනද බලන්න.)
8 මිනිස් ලේඛකයන් උපයෝගි කරගනිමින් යෙහෝවා අපට හරියටම අවශ්‍ය දේ දී තිබෙනවා. ඒ, මිනිසුන්ගේම අතින් ලියවුණු, මිනිස් හැඟීම් මුසු වුණු “දේවානුභාවයෙන්” ලියන ලද වාර්තාවක්. (2 තිමෝති 3:16) ඔහු මෙය ඉටු කරගත්තේ කොහොමද? ඔවුන් විසින් ‘ප්‍රිය වචන සොයාගෙන . . . ලියා තිබෙන ඒවා හරි වූ සත්‍යය වූ කාරණාද’ වන පිණිස ඒවා තෝරාගැනීම සඳහා සිය මානසික හැකියාවන් යොදාගැනීමට ඔහු ලේඛකයන් හට ඉඩ දුන් බවක් පෙනෙන්ට තිබෙනවා. (දේශනාකාරයා 12:10, 11) බයිබලය ලියා ඇති ලේඛන ශෛලියේ විවිධත්වයක් දකින්නට ලැබෙන්නේ මේ නිසයි. ඒ වගේම එක් එක් ලේඛකයාගේ පසුබිම හෝ පෞද්ගලිකත්වය ඔහුගේ ලිපිවල පිළිබිඹු වන ආකාරයද අපි දකිමු.a එහෙත්, මේ මිනිසුන් ‘ශුද්ධාත්මයෙන් පොලඹවනු ලැබ දෙවිගෙන් ලැබූ ලෙස කතා කළා.’ (2 පේතෘස් 1:21) මෙබැවින්, මෙහි අවසාන නිපැයුම සැබවින්ම ‘දෙවිගේ වචනයයි.’—1 තෙසලෝනික 2:13.
9, 10. බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගැනීම හේතුවෙන් එයට උණුසුම්භාවයක් හා ආකර්ෂණයක් ලැබී තිබෙන්නේ ඇයි?
9 බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගැනීම හේතුවෙන් බයිබලයට පුදුමාකාර උණුසුම් බවක් හා ආකර්ෂණයක් ලැබී තිබෙනවා. එය ලියන ලද්දේ අප හා සමාන හැඟීම් ඇති මිනිසුන් විසිනුයි. අසම්පූර්ණ මිනිසුන්ව සිටි ඔවුන් මුහුණ පෑ පරීක්ෂා හා පීඩන අප මුහුණ දෙන ඒවාටම සමානයි. ඇතැම් අවස්ථාවලදී, තමන් පොරබදින තත්වයන් ගැන තමන්ගේම හැඟීම් ලියා තබන්නට යෙහෝවාගේ ආත්මය ඔවුන්ව පෙලඹෙව්වා. (2 කොරින්ති 12:7-10) මේ අනුව, ඔවුන් ලියූ වචන ලියුවේ උත්තම පුරුෂයෙන්. කිසිම දේවදූතයෙකුට ඒ විදිහට අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන් වේවිද? එසේ සිතීම උගහටයි!
10 නිදසුනක් වශයෙන්, ඉශ්රායෙලයේ දාවිත් රජු ගැන සිතා බලන්න. බරපතළ පාප කිහිපයක් කළායින් පසු, දාවිත් ගීතිකාවක් ලියා තැබුවා. එහි ඔහු සිය හැඟීම් වගුරුවා ඇත්තේ දෙවිගේ සමාව දැඩි සේ ආයාචනා කරමින්. ඔහු ලිව්වේ මෙහෙමයි. “මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය. බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි. මාගේ [මව] පාප සහිතව මා ගැබ්ගත්තාය. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. දෙවිට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවි, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළු කොට නොසිතන්නේය.” (ගීතාවලිය 51:2, 3, 5, 11, 17) මෙය ලියූ තැනැත්තාගේ ශෝකාලාපය ඔබට දැනෙනවාද? එවන් හෘදයාංගම හැඟීම් පළ කරන්නට හැක්කේ අසම්පූර්ණ මිනිසෙකුට හැර වෙන කාටද?
මිනිසුන් ගැන ලියවුණු පොතක් මොකටද?
11. “අපගේ ඉගෙනගැනීම සඳහා” බයිබලයේ අඩංගු වී තිබෙන්නේ කුමන ආකාරයේ සැබෑ ජීවිත කතන්දරද?
11 බයිබලයේ ආකර්ෂණීයභාවයට පාදක වන තවත් දෙයක් තිබෙනවා. බොහෝ දුරට ගත් කල, බයිබලය කියන්නේ මිනිසුන් ගැන ලියූ පොතක්. දෙවිට සේවය කළ සහ නොකළ සැබෑ මිනිසුන් ගැන ලියවුණු පොතක්. ඔවුන්ගේ අද්දැකීම්, දුෂ්කරතා හා ඔවුන් ලැබූ ප්‍රීති ප්රමෝදයන් ගැන අපට එහි කියවන්නට තිබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් කළ තේරීම්වල විපාකද එහි අපට දැකගන්නට පුළුවන්. එවන් වාර්තා ඇතුළත් කරන ලද්දේ ඇයි? ඔව්, ඒ ‘අපගේ ඉගෙනගැනීම සඳහායි.’ (රෝම 15:4) මෙම සැබෑ ජීවිත කතන්දරවලින් අපගේ හදවත් ස්පර්ශ කරවන ආකාරයෙන් යෙහෝවා අපට උගන්වනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.
12. අවිශ්වාසවන්ත මිනිසුන් ගැන බයිබලයේ විස්තර කර ඇති වාර්තා අපට උපකාර කරන්නේ කිනම් ආකාරයෙන්ද?
12 අවිශ්වාසවන්ත, දුෂ්ට මිනිසුන් ගැනත් ඔවුන්ට සිදු වූ දේ ගැනත් බයිබලය අපට කියනවා. මේ වාර්තාවලින් අපට පැහැදිලිව දැකගත හැකි දෙයක් තමයි, යම් තත්වයන්වලදී මිනිසුන් විදහාපෙන්වූ අප්‍රසන්න ගුණාංග. ඇරත් මෙහිදී ඒවා අපට තේරුම්ගැනීමට පහසු විදිහකටයි විස්තර කර තිබෙන්නේ. නිදසුනක් වශයෙන්, යූදස් විසින් යේසුස්ට එරෙහිව කරන ලද පාවා දීමේ කුමන්ත්‍රණය ගැන සිතා බලන්න. ද්‍රෝහිකමට එරෙහිව දී ඇති ආඥාව ගැන කල්පනා කරන කල, යූදස්ගේ මෙම වැරදි ආදර්ශයට වඩා අපට ද්‍රෝහිකම සම්බන්ධයෙන් යම් පාඩමක් ඉගෙනගත හැක්කේ වෙන කිනම් අවාදර්ශයෙන්ද? (මතෙව් 26:14-16, 46-50; 27:3-10) මෙවැනි වාර්තා වඩාත් ප්‍රබල ලෙස අපේ හදවත්වල ගැඹුරටම කිඳා බසිනවා. එපමණක් නොවෙයි, අතිශයින් පිළිකුල් එවන් ගති ලක්ෂණ හඳුනාගෙන ප්‍රතික්ෂේප කරන්නට එම වාර්තා අපට උපකාර කරනවා.
13. ප්‍රියජනක ගුණාංග වගා කරගැනීමට බයිබලය අපට උපකාර කරන්නේ කිනම් ආකාරයෙන්ද?
13 තවද, විශ්වාසවන්තව දෙවිට සේවය කළ බොහෝදෙනෙකු ගැන බයිබලයේ විස්තර සපයනවා. ඔවුන්ගේ භක්තිය හා පක්ෂපාතකම ගැන අපට එහි කියවන්නට පුළුවන්. දෙවි වෙතට ළංවීම සඳහා අප විසින් වගා කළ යුතු ගුණාංගවල ජීවමාන ආදර්ශයන් අපට දැකගන්නට පිළිවන්. නිදසුනක් වශයෙන්, ඇදහිල්ල ගැන සලකා බලන්න. බයිබලය ඇදහිල්ල නිර්වචනය කරන අතර, අප විසින් දෙවිව සතුටු කිරීමට වුවමනා නම් එය කොතරම් අත්‍යවශ්‍යද කියා අපට පවසනවා. (හෙබ්‍රෙව් 11:1, 6) නමුත් බයිබලයේ තවත් දෙයක් අඩංගු වෙයි. ඒ තමයි, ඇදහිල්ල ක්‍රියාවට නැංවූ ආකාරය පිළිබඳ චමත්කාරජනක ආදර්ශයන්. ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීමට ගත් උත්සාහයේදී ඔහු පෙන්වූ ඇදහිල්ල ගැන සිතා බලන්න. (උත්පත්ති 22වන පරිච්ඡේදය; හෙබ්‍රෙව් 11:17-19) එවන් වාර්තා තුළින්, “ඇදහිල්ල” යන වචනයට අමතර අර්ථයක් එකතු වන අතර, එය ඇත්තටම කුමක්ද කියා පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. යෙහෝවා ප්‍රියජනක ගුණාංග වගා කරගැනීමට අපට අවවාද කරනවා පමණක් නොව ඒවා ක්‍රියාත්මක කළ ජීවමාන ආදර්ශයන්ද සපයා තිබීම මොනතරම් ප්‍රඥාවන්තද!
14, 15. දේවමාළිගාවට පැමිණි එක්තරා ස්ත්‍රියක් සම්බන්ධව බයිබලය අපට කියන්නේ කුමක්ද? තවද මේ වාර්තාව ඔස්සේ යෙහෝවා ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?
14 බයිබලයේ සඳහන් වෙන සැබෑ ජීවිත අද්දැකීම් පිළිබඳ වාර්තා මීට අමතරව අපට තවත් යමක් උගන්වනවා. ඒ තමයි, යෙහෝවා කෙබඳු පුද්ගලයෙකුද යන වග. දේවමාළිගාවේදී යේසුස් දුටු ස්ත්‍රිය ගැන අපට කියවන්නට තිබෙන දේ ගැන සිතා බලන්න. මුදල් ගබඩාව අසල වාඩි වී සිටි යේසුස් මිනිසුන් තම සම්මාදම් දමනවා බලා සිටියා. ධනවත් පුද්ගලයන් බොහෝදෙනෙක් පැමිණ ‘තමන්ට වැඩිපුර තිබුණු දෙයින්’ දැමුවා. නමුත් යේසුස්ගේ ඇස් යොමු වී තිබුණේ ඉතා දිළිඳු වැන්දඹුවක් දෙසටයි. ඇගේ දීමනාවට අයත් වුණේ “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක්” පමණයි.b එය ඇගේ අතේ ඉතිරි වී තිබූ අන්තිම මුදලයි. කාරණා පිළිබඳ යෙහෝවාගේ මනස පරිපූර්ණ ලෙස පිළිබිඹු කළ යේසුස් කීවේ මෙයයි. “මේ දිළිඳු වැන්දඹුව මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියල්ලන්ට වඩා දැම්මාය.” මේ වචනවලට අනුව, අනෙකුත් සියල්ලන් දැමූ දේවලට වඩා වැඩියෙන් දැමුවේ ඇයයි.—මාර්ක් 12:41-44, NW; ලූක් 21:1-4; යොහන් 8:28.
15 එදා දේවමාළිගාවට පැමිණි සියලුදෙනා අතරින් මේ වැන්දඹුව තෝරාගනු ලැබ, ඇය පිළිබඳව බයිබලයේ සඳහන් කොට තිබීම සුවිශේෂී යමක් වන්නේ නැද්ද? මෙම ආදර්ශයෙන් යෙහෝවා අපට පෙන්වන්නේ ඔහු දේවල් අගය කරන දෙවි කෙනෙකු බවයි. අපගේ මුළු ආත්මයෙන්ම අප දෙන දීමනාවන් භාරගැනීමට ඔහු කැමතියි. දෙවි ඒවා අනුන් විසින් දිය හැකි දේවල් සමඟ සසඳන්නේ නැහැ. මේ හද උණුසුම් කරවන සත්‍යය අපට කියා දීමට හොඳම ක්‍රමය යෙහෝවා මෙලෙසින් යොදාගත්තා කියා අපට සිතන්නට පුළුවන්!
බයිබලයේ අඩංගු නොවන දේවල්
16, 17. යෙහෝවා සිය වචනයේ ඇතැම් කාරණා සඳහන් නොකර තිබීමෙන් පවා ඔහුගේ ප්‍රඥාව අපට දැකගත හැකි වන්නේ කොහොමද?
16 හිතවතෙකුට ලිපියක් ලියන විට, ඔබට එම ලිපියට ඇතුළත් කළ හැකි දේවල් සීමිතයි. එමනිසා ලිවිය යුත්තේ මොනවාද යන්න ගැන ඔබ හොඳින් සිතා බලනවා. ඒ හා සමානව, යෙහෝවා යම් පුද්ගලයන් ගැන සහ සිද්ධීන් ගැන පමණක් සිය වචනය තුළ ලියනු ලැබීමට තෝරාගත්තා. නමුත් බයිබලයේ මෙම සවිස්තරාත්මක වාර්තා තුළ සෑමවිටම සියලු විස්තර හෝ දත්තයන් අන්තර්ගත කර නැහැ. (යොහන් 21:25) නිදසුනක් වශයෙන්, දෙවිගේ විනිශ්චය ගැන බයිබලයේ කතා කරන විට, සපයා ඇති තොරතුරු මගින් අපගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු නොලැබෙනවා වන්නට පුළුවන්. යෙහෝවා සිය වචනය තුළ ඇතැම් කාරණා සඳහන් නොකර සිටීමට තෝරාගෙන තිබීමෙන්ද පිළිබිඹු වන්නේ ඔහුගේ ප්රඥාවයි. ඒ කෙසේද?
17 බයිබලය ලියා තිබෙන ආකාරය මගින් අපගේ හදවත් තුළ තිබෙන්නේ මොනවාද යන්න පරීක්ෂණයට ලක් කරනවා. හෙබ්‍රෙව් 4:12හි කියන්නේ මෙයයි. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මය . . . වෙන් කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” බයිබලයේ පණිවුඩය හදවත්වල ගැඹුරටම කිඳා බසිනවා. ඒ මගින් සිදු වන්නේ අපගේ සැබෑ සිතිවිලි හා චේතනා හෙළි කිරීමයි. විවේචනාත්මක හදවතකින් යුතුව එය කියවන අය බොහෝ විට බාධාවට පත් වෙනවා. එසේ වන්නේ තමන්ට සෑහීමට තරම් ප්‍රමාණවත් තොරතුරු එම වාර්තාවල අඩංගු නොවීම නිසයි. යෙහෝවා ඇත්තටම ප්‍රේමනීය, ප්‍රඥාවන්ත හා යුක්තිසහගත දෙවිකෙනෙකුද කියා එවැන්නන් ඇතැම් විට ප්‍රශ්න කරන්නට පවා පුළුවන්.
18, 19. (අ) අපට විගස පිළිතුරු ලැබිය නොහැකි යම් බයිබල් වාර්තා සම්බන්ධයෙන් අප බාධාවට පත් නොවිය යුත්තේ ඇයි? (ආ) දෙවිගේ වචනය අවබෝධ කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද? මෙය යෙහෝවාගේ මහත් ප්‍රඥාවේ සාක්ෂියක් වන්නේ කෙසේද?
18 මීට පටහැනිව, අප අවංක හදවතකින් යුතුව බයිබලය පරෙස්සමින් පාඩම් කරන විට, කියවන දෙයට අදාළ පසුබිම තුළ යෙහෝවාව විශේෂාකාරයකින් අපිට දකින්ට හැකියි. අනතුරුව මුළු බයිබලයම තුළ යෙහෝවාව නියෝජනය කරන විදිහ සමඟ එය ගැළපෙන ආකාරය දෙස බලන්නට පුළුවන්. මෙබැවින්, අප එක්තරා වාර්තාවක් කියවන විට ඒ පිළිබඳව ඇති වන ප්‍රශ්නවලට විගස පිළිතුරු ලබාගැනීමට අපට නොහැකි වුණත් අප එයින් බාධාවට පත් වන්නේ නැහැ. මෙය මෙසේ නිදර්ශනය කරමු. දැන් ඔබ ලොකු ජිග්සෝ ප්‍රහේලිකාවක කැබලි එකට අමුණනවායයි සිතන්න. සමහරවිට මුලදී එක්තරා කැබැල්ලක් සොයාගැනීමට හෝ යම් කැබැල්ලක් ඇමිණිය යුත්තේ කොතැනටද, කොහොමද කියා එකවරම ඔබට වටහාගැනීමට බැරි වන්ට පුළුවන්. එහෙත්, සම්පූර්ණ චිත්‍රය කුමක්ද, එය කොයි වගේ වෙයිද කියා වටහාගැනීමට ප්‍රමාණවත් ලෙස ඔබ දැනටමත් කැබලි අමුණා තිබෙනවා විය හැකියි. ඒ හා සමානව, අප බයිබලය පාඩම් කරන විට, යෙහෝවා යනු කුමනාකාරයක දෙවි කෙනෙකුද යන්න ටිකෙන් ටික ඉගෙනගන්නා විට, අපට අන්තිමේදී නියම පින්තූරය මතු වී එයි. අපට එක්තරා වාර්තාවක් පළමුව තේරුම්ගැනීමට බැරි වෙන්න පුළුවන්. නැත්නම් එය දෙවිගේ පෞද්ගලිකත්වය සමඟ ගැළපෙන්නේ කෙසේද යන්න වටහාගැනීමට එකවරම නොහැකි වෙන්න පුළුවන්. එසේ වුවත්, අප දැනටමත් බයිබලය තුළින් අධ්‍යයනය කර තිබෙන දෙයින් අපට යෙහෝවා ගැන පමණටත් වඩා යමක් උගන්වා තිබීම නිසා ඒ මගින් අපට කිසිම සැකයකින් තොරව වටහාගත හැකි දෙය තමයි, යෙහෝවා යනු ප්‍රේමනීය, සාධාරණ හා යුක්තිසහගත දෙවි කෙනෙකු බව.
19 එසේ නම්, දෙවිගේ වචනය හොඳින් අවබෝධ කරගැනීමට, අප එය කියවා පාඩම් කළ යුත්තේ අවංක හදවතක් හා විවෘත මනසක් ඇතුවයි. එය යෙහෝවාගේ මහත් වූ ප්‍රඥාවේ සාක්ෂියක් ලෙස ඔබ දකින්නේ නැද්ද? ප්රබුද්ධ යයි සැලකෙන මිනිසුන් ලියන පොත් පත් කියවා තේරුම්ගත හැක්කේ ‘ප්‍රඥාවන්තයන්ට හා බුද්ධිමතුන්ට’ පමණයි. නමුත් නිසි හෘද චේතනාවක් ඇති අයට තේරුම්ගත හැකි පොතක් සම්පාදනය කළ හැක්කේ දෙවිගේ ප්‍රඥාවෙන් පමණයි!—මතෙව් 11:25, NW.
“ප්‍රායෝගික ප්‍රඥාවේ” පොතක්
20. ජීවත් වන හොඳම ආකාරය අපට කියා දීමට හැක්කේ යෙහෝවාට පමණක් වන්නේ ඇයි? අපට උපකාර කිරීමට හැකි කුමන දෙයද බයිබලයේ අඩංගු වන්නේ?
20 අප ජීවත් විය යුතු හොඳම ක්‍රමය යෙහෝවා සිය වචනය තුළින් අපට කියා දෙනවා. අපගේ මැවුම්කරුවාණන් හැටියට, අපට වඩා ඔහු අපගේ අවශ්‍යතා දන්නවා. ප්‍රේමය ලැබීම, සන්තෝෂයෙන් සිටීම, සාර්ථක සම්බන්ධතා ඇති කරගැනීම ඇතුළු මූලික මිනිස් අවශ්‍යතාවල කිසිම වෙනසක් වෙලා නැහැ. අර්ථවත් ජීවිත ගත කිරීම සඳහා අපට උදව් වෙන “ප්‍රායෝගික ප්‍රඥාවේ” මහත් ධන සම්භාරයක් බයිබලයේ අන්තර්ගතයි. (හිතෝපදේශ 2:7, NW) බයිබලයේ ප්‍රඥාවන්ත උපදෙස් අපට අදාළ කරගත හැකි ආකාරය පෙන්වන පරිච්ඡේදයක් මෙම අධ්‍යයන ආධාරකයේ එක් එක් කොටසේ අඩංගු වෙනවා. නමුත් අපි මෙහි එක් උදාහරණයක් පමණක් සලකා බලමු.
21-23. කෝපය හා අමනාපය පැසවීම වළක්වාලීමට අපට උපකාරවත් විය හැක්කේ කිනම් ප්‍රඥාවන්ත උපදෙස්ද?
21 අමනාපය පැසවන්න ඉඩහරිමින් තරහා හිතේ තබාගෙන සිටින මිනිසුන් නිතරම තමන්ටම රිදවගන්න බව ඔබ දැක තිබෙනවාද? අමනාපය යනු කෙනෙක් ජීවිතයේ රැගෙන යන මහා බරක්. අප එය පෝෂණය කරන විට, එය අපගේ සිතිවිලි මුළුමනින්ම විනාශ කරනවා. අපගේ සාමය සොරාගන්නවා. අපගේ ප්‍රීතිය මැඩපවත්වනවා. කෝපය පැසවීමට ඉඩ දීම, හෘදයාබාධයකට ලක්වීමේ අවදානමද, වෙනත් නිදන්ගත රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානමද වැඩි කළ හැකි බව විද්‍යාඥයන් කළ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. විද්‍යාඥයන්ගේ එවැනි අධ්‍යයනවලට බොහෝ කලකට පෙර, බයිබලය ඉතා ප්‍රඥාවන්ත ලෙස පවසා තිබෙන්නේ මෙයයි. ‘තරහෙන් වැළකී උදහස අත්හරින්න.’ (ගීතාවලිය 37:8) එහෙත් අපට එය කළ හැක්කේ කොහොමද?
22 දේවවචනයේ මෙම ප්‍රඥාවන්ත උපදෙස දී තිබෙනවා. “සිහි කල්පනාව [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි. වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.” (හිතෝපදේශ 19:11) තීක්ෂ්ණ බුද්ධිය යනු මතුපිටට වඩා ගැඹුරට, පෙනෙන දෙයට වඩා ඔබ්බට බැලීමට ඇති හැකියාවයි. තීක්ෂ්ණ බුද්ධිය මගින් අවබෝධය පෝෂණය වෙනවා. මන්ද එය අපට උපකාරවත් වන්නේ තවත් කෙනෙක් යම් ආකාරයකට කතා කළේ හෝ ක්‍රියා කළේ ඇයිද යන්න වටහාගැනීමටයි. ඔහුගේ අවංක චේතනාවන්, හැඟීම් සහ තත්වයන් වටහාගැනීමට උත්සුක වීම, ඔහු කෙරෙහි අපට ඇති විය හැකි අශුභවාදී සිතිවිලි හා හැඟීම් පහ කර දමන්නට අපට පිටුවහලක් වේවි.
23 බයිබලයේ අඩංගු වන තවත් අවවාදයක් මෙන්න. “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම්, එකිනෙකාට [නොමසුරුව, NW] කමා වෙන්න.” (කොලොස්සි 3:13) “එකිනෙකා ගැන ඉවසමින්” යන ප්‍රකාශයෙන් ඉඟි කරන්නේ, අප නොරුස්සන ගති ලක්ෂණ ඉවසා දරාගෙන සිටිය යුතු බවයි. එසේ ඉවසා දරාගෙන සිටිනවා නම්, කිසි කමකට නැති තරහා මරහා සිත්වල තබාගෙන සිටීමෙන් වැළකෙන්නට අපට පුළුවන්. “කමා වෙන්න” යන වචනය තුළ අමනාපය අත්හැර දැමීම යන අදහස ගැබ් වෙනවා. සමාව දීමට හොඳ පදනමක් තිබෙන විට අප විසින් අනුන්ට සමාව දීමට අවශ්‍ය බව අපගේ ප්‍රඥාවන්ත දෙවි දන්නවා. මෙය කළ යුත්තේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක්ම නොවේ. නමුත් අපගේම මනසේ හා හදවතේ සාමය රැකගැනීම සඳහායි. (ලූක් 17:3, 4) ඇත්ත වශයෙන්ම, දේවවචනය තුළ සොයාගත හැකි ප්‍රඥාව කොතරම්ද!
24. අප අපගේ ජීවිත දිව්‍ය ප්‍රඥාවට අනුව හැඩගසාගන්නා විට ඇති වන ප්‍රතිඵල මොනවාද?
24 නිමක් කොනක් නැති ප්‍රේමයේ සාගරයක් බඳු යෙහෝවාට වුවමනා වුණා අපට කතා කරන්නට. මේ සඳහා ඔහු තෝරාගත්තේ තෝරාගත හැකි හොඳම ක්‍රමයයි. එය තමයි, සිය ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ මිනිස් ලේඛකයන් ලවා ලියවන ලද තමාගේ “ලිපිය.” එහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවාගේම ප්‍රඥාව එහි පිටු අතර සොයාගත හැකියි. මෙම ප්‍රඥාව “ඉතා විශ්වාසවන්තයි.” (ගීතාවලිය 93:5, NW) අප අපගේ ජීවිත එයට අනුව හැඩගසාගනිත්ම, එය අනුන් සමඟ බෙදාගනිත්ම, ඉන් සිදු වන්නේ අප නිරායාසයෙන්ම අපගේ ප්‍රඥාවන්ත වූ දෙවි වෙතට ඇදී යෑමයි. ඊළඟ පරිච්ඡේදයේදී අප සාකච්ඡා කරනු ඇත්තේ යෙහෝවාගේ දූරදර්ශී ප්‍රඥාවේ තවත් කැපීපෙනෙන උදාහරණයක් ගැනයි. එය නම්, අනාගතය ගැන පුරෝකථනය කිරීමටත් සිය අරමුණ ඉෂ්ට කිරීමටත් ඔහුට තිබෙන හැකියාවයි.
[පාදසටහන්වල]
a නිදසුනක් හැටියට, එඬේරෙකු වූ දාවිත් එඬේර ජීවිතයෙන් උදාහරණ ගෙනහැර පානවා. (ගීතාවලිය 23) සුංගම් අයකරන්නෙකුව සිටි මතෙව්, සංඛ්‍යාවලට හා මිල මුදල් වටිනාකම්වලට යොමු දැක්වීම් ගණනාවක් කර තිබෙනවා. (මතෙව් 17:27; 26:15; 27:3) වෛද්‍යවරයෙකුව සිටි ලූක් තමාගේ වෛද්‍යමය පසුබිම පිළිබිඹු කරන වචන පාවිච්චි කර තිබෙනවා.—ලූක් 4:38; 14:2; 16:20.
b මේ සෑම කාසියක්ම ලෙප්ටාවක් ලෙසයි හැඳින්වූයේ. එය එසමයේ යුදෙව් සමාජයේ භාවිත වූ කුඩාම කාසියයි. ලෙප්ටා දෙකක්, දවසේ වේතනයෙන් 1/64කට සමානයි. මෙම කාසි දෙක තනි ගේ කුරුල්ලෙකුවත් මිලට ගැනීමට ප්‍රමාණවත් වුණේ නැහැ. ගේ කුරුල්ලෙක් යනු දිළින්දෙකු විසින් ආහාරය සඳහා ගනු ලැබූ ලාභතම කුරුල්ලායි.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
හිතෝපදේශ 2:1-6 දෙවිගේ වචනය තුළ ගැබ්ව ඇති ප්‍රඥාව උරාගැනීම සඳහා කෙබඳු ප්රයත්නයක් දැරිය යුතුද?
හිතෝපදේශ 2:10-22 බයිබලයේ අන්තර්ගත වී ඇති ප්‍රඥාවන්ත උපදෙස්වලට අනුව ජීවත් වීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කිනම් ආකාරවලින්ද?
රෝම 7:15-25 දේවවචනය වාර්තා කර තැබීමට මිනිසුන්ව යොදාගැනීමේ ප්‍රඥාව මෙම කොටසින් පැහැදිලිව පෙනී යන්නේ කොහොමද?
1 කොරින්ති 10:6-12 ඉශ්රායෙල් ජාතිය සම්බන්ධව බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීමේ ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
[180වන පිටුවේ පින්තූරය]
‘මුළු ලියවිල්ල දේවානුභාවයෙන්’