“දවස්පතා” අපගේ කැපවීමට අනුව ජීවත්වීම
“යමෙක් මා පසුපස එන්ට කැමති නම්, ඔහු තමාට තමාවම අහිමි කරගෙන, තම වධ කණුව දරාගෙන දවස්පතා දිගටම මා අනුගමනය කරාවා.”—ලූක් 9:23, NW.
1. ක්‍රිස්තියානීන් වශයෙන් අපගේ සාර්ථකත්වය අපට මැනිය හැකි එක් ක්‍රමයක් කුමක්ද?
“අප සැබවින්ම කැපවූ මිනිසුන්ව සිටියාද?” එක්සත් ජනපදවල 35වන ජනාධිපතිව සිටි ජෝන් එෆ්. කෙනඩිට අනුව, මෙම ප්‍රශ්නයට පිළිතුර වනාහි මහජන නිලයක යෙදී සිටින්නන්ගේ සාර්ථකත්වය මැනීමේ සාධකයකි. ක්‍රිස්තියානි දේව සේවකයන් වශයෙන් අපගේ සාර්ථකත්වය සඳහා සෝදිසි කිරීමක් වශයෙන් මෙම ප්රශ්නය තුළ වඩාත් ගැඹුරු තේරුමක් තිබිය හැක.
2. “කැපවීම” යන වචනය එක් ශබ්දකෝෂයක නිර්වචනය කරන්නේ කෙසේද?
2 එහෙත්, කැපවීම යනු කුමක්ද? එය වනාහි, “දිව්‍යමය තැනැත්තෙකුට හෝ පරිශුද්ධ භාවිතයක් සඳහා කැපකිරීමේ ක්‍රියාවක් හෝ පිළිවෙතක්,” “යම් නිශ්චිත අරමුණකට කැපකිරීම හෝ වෙන් කර තැබීම,” “ආත්ම-පරිත්‍යාගශීලී භක්තිය” යයි වෙබ්ස්ටර්ස් නයින්ත් නිව් කොලීජියෙට් ඩික්ෂනරි නිර්වචනය කරයි. ජෝන් එෆ්. කෙනඩි මෙම වචනය භාවිත කරමින් සිටියේ, “ආත්ම-පරිත්‍යාගශීලී භක්තිය” අදහස් කිරීමට බවක් පෙනෙන්ට තිබේ. ක්‍රිස්තියානියෙකු සම්බන්ධව නම්, කැපවීම යන්නෙන් ඊට වඩා බොහෝ සෙයින් වැඩි යමක් අදහස් කරයි.
3. ක්‍රිස්තියානි කැපවීම යනු කුමක්ද?
3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “යමෙක් මා පසුපස එන්ට කැමති නම්, ඔහු තමාට තමාවම අහිමි කරගෙන, තම වධ කණුව දරාගෙන දවස්පතා දිගටම මා අනුගමනය කරාවා.” (මතෙව් 16:24, NW) ඉරිදා දිනයේ හෝ යම් නමස්කාර ස්ථානයකට යන විට හෝ නමස්කාර ක්‍රියාවක් කිරීම, දිව්‍යමය භාවිතයකට වෙන් කර තැබීම යන්නට නිකම්ම ඇතුළත් නොවේ. යමෙකුගේ මුළු ජීවන-රටාවම ඊට ඇතුළත් වෙයි. ක්‍රිස්තියානියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සේවය කළ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට සේවය කිරීමේදී තමාට තමාවම අහිමි කරගැනීමයි, හෙවත් එපා කිරීමයි. මීට අමතරව, තමන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම නිසා විඳින්ට සිදුවන ඕනෑම දුක්ගැහැටක් දරාගැනීම මගින්, ක්‍රිස්තියානියෙක් තම “වධ කණුව” උසුලා ගනී.
පරිපූර්ණ ආදර්ශය
4. යේසුස්වහන්සේගේ බව්තීස්මයෙන් සංකේතවත් වූයේ කුමක්ද?
4 යෙහෝවඃවහන්සේට තමන්වම කැපකිරීම යන්නට ඇතුළත් වන්නේ කුමක්දැයි යේසුස්වහන්සේ පොළොව මත සිටි විට නිරූපනය කළසේක. උන්වහන්සේගේ අදහස් වූයේ මේවාය: “ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක.” අනතුරුව මෙසේද එකතු කළසේක: “දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි.” (හෙබ්‍රෙව් 10:5-7) කැපවූ ජාතියක සාමාජිකයෙකු වශයෙන්, උන්වහන්සේ උපතේදී කැපවී සිටියේ යෙහෝවඃවහන්සේටය. එහෙත්, සිය භූමික දේව සේවය ආරම්භයේදී, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට තමන්වම ඉදිරිපත් කිරීමේ සංකේතයක් ලෙස බව්තීස්මය සඳහා තමන්වම ඉදිරිපත් කළ අතර, සිය ජීවිතය මිදීමේ මිල පූජාවක් ලෙස ඔප්පු කිරීමද උන්වහන්සේ සම්බන්ධයෙන් මෙහිදී ඇතුළත් වනු ඇත. මෙසේ, යෙහෝවඃවහන්සේ කැමති ඕනෑම දෙයක් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ ක්‍රිස්තියානීන්හට ආදර්ශයක් තැබූසේක.
5. යේසුස්වහන්සේ, ද්‍රව්‍යමය දේවල් පිළිබඳව ආදර්ශවත් දෘෂ්ටියක් නිරූපනය කළේ කෙසේද?
5 සිය බව්තීස්මයෙන් අනතුරුව, යේසුස්වහන්සේ අනුගමනය කළේ, අන්තිමේදී යාගික මරණයකට තුඩු දුන් ජීවන මාර්ගයකි. මුදල් හම්බ කිරීමට හෝ සැපපහසු ජීවිතයක් ගත කිරීමට උන්වහන්සේ උනන්දු වූයේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේගේ ජීවිතය ගෙතී තිබුණේ සිය දේව සේවය වටාය. “පළමුකොට රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයමින් සිටින්න” යයි සිය ගෝලයන්ට අවවාද කළ උන්වහන්සේ, මෙම වචනවලට අනුවම ජීවත්වූසේක. (මතෙව් 6:33, NW) ඇයි, උන්වහන්සේ වරක් මෙසේද පැවසූසේක: “සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැත.” (මතෙව් 8:20) සිය අනුගාමිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගැනීම පිණිස සිය ඉගැන්වීම් ඒ අනුව සකස් කිරීමට උන්වහන්සේට හැකිකම තිබිණි. වඩුවෙකු වූ උන්වහන්සේට, අතිරේක වශයෙන් රිදී මිල ස්වල්පයක් ලබාගත හැකි වන පිණිස, විකිණීම සඳහා අලංකාර ගෘහභාණ්ඩයක් සෑදීමට යම් කාලයක් මිඩංගු කළ හැකිව තිබිණි. එහෙත්, ද්‍රව්‍යමය වත්පොහොසත්කම් සෙවීම සඳහා උන්වහන්සේ සිය කුසලතා යොදාගත්තේ නැත. දෙවියන්වහන්සේට කැපවූ සේවකයන් වශයෙන් අපි, ද්‍රව්‍යමය දේවල් නිසි ලෙස නිසිතැන තැබීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේව අනුකරණය කරමින් සිටින්නෙමුද?—මතෙව් 6:24-34.
6. අප දෙවියන්වහන්සේගේ ආත්ම පරිත්‍යාගශීලී, කැපවූ සේවකයන් වීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?
6 දෙවියන්වහන්සේට තම සේවය පළමු තැන තැබූ යේසුස්වහන්සේ, තමාගේම ඕනෑ එපාකම් ගැන සෙව්වේ නැත. සිය ප්‍රසිද්ධ දේව සේවය තුළ, වසර තුනහමාරක් පුරා උන්වහන්සේ කළ සේවය ආත්ම-පරිත්‍යාගශීලී එකක් වූයේය. එක් අවස්ථාවක, කාර්ය බහුලව දවස ගත කිරීමෙන් පසු, කෑමක් අනුභව කිරීමටවත් කාලය නොගෙන, “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” ජනයාට ඉගැන්වීමට යේසුස්වහන්සේ කැමති වූසේක. (මතෙව් 9:36; මාර්ක් 6:31-34) ‘ගමනින් වෙහෙසව සිටියද,’ උන්වහන්සේ, සිඛාර්හි යාකොබ්ගේ ළිඳ වෙතට පැමිණි සමාරිතානු ස්ත්‍රියට කතා කිරීමට මුල් පියවර ගත්සේක. (යොහන් 4:6, 7, 13-15) උන්වහන්සේ සෑමවිටම තමාට වඩා අන්‍යයන්ගේ සුභසාධනය ගැන සැලකිලිමත් වූසේක. (යොහන් 11:5-15) දෙවියන්වහන්සේට සහ අන්‍යයන්ට සේවය කිරීම පිණිස අපගේ ඕනෑඑපාකම් නොමසුරු ලෙස පරිත්‍යාග කිරීම මගින් යේසුස්වහන්සේව අනුකරණය කිරීමට අපට හැකිය. (යොහන් 6:38, 39අ) අවශ්‍ය කරන අවමය පමණක් කරනවාට වඩා, අපට සැබවින්ම දෙවියන්වහන්සේව සතුටු කළ හැකි මාර්ග ගැන සිතා බැලීමෙන්, අප අපගේ කැපවීමට අනුව ජීවත්වෙමින් සිටිනවා ඇත.
7. සෑමවිටම යෙහෝවඃවහන්සේට ගෞරවය දීමෙහිලා යේසුස් වහන්සේව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?
7 ජනයාට උපකාර කිරීම මගින්, යේසුස්වහන්සේ කිසිම අයුරකින්, තමන් වෙතටම අවධානය ඇදගැනීමට උත්සාහ කළේ නැත. උන්වහන්සේ දෙවියන්වහන්සේට කැපවී සිටියේ දේව කැමැත්ත කිරීමටය. එබැවින්, තමා කළ කුමක් සම්බන්ධයෙන් වුවද, සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ සියලු ගෞරවය ලබන බවට උන්වහන්සේ සෑමවිටම සහතික වූසේක. එක්තරා පාලකයෙක්, “යහපත්” යන වදන පදවි නාමයක් හැටියට භාවිත කරමින්, “යහපත් ආචාරිනි” කියා උන්වහන්සේව ඇමතූ විට, “එක්කෙනෙක්, එනම්, දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ” යයි පවසමින් උන්වහන්සේ ඔහුව නිවැරදි කළසේක. (ලූක් 18:18, 19; යොහන් 5:19, 30) අපත්, යේසුස්වහන්සේ මෙන්, අපි වෙතින් ගෞරවය යෙහෝවඃවහන්සේ වෙතට යොමු කිරීමට යුහුසුලු වන්නෙමුද?
8. (අ) කැපවූ මිනිසෙකු වශයෙන්, යේසුස්වහන්සේ තමන්වම ලෝකයෙන් වෙන් කර තැබුවේ කෙසේද? (ආ) අප උන්වහන්සේව අනුකරණය කළ යුත්තේ කෙසේද?
8 පොළොව මත සිය කැපවූ ජීවිත මාර්ගය පුරා, යේසුස්වහන්සේ පැහැදිලි ලෙස පෙන්නුම් කළේ, තමා දිව්‍ය සේවයකට තමන්වම වෙන් කොට තිබූ බවය. මිදීමේ මිල පූජාවකට “කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකු” ලෙස ඔප්පු කළ හැකි පරිදි, උන්වහන්සේ, තමන්වම පිරිසිදුව තබාගත්සේක. (1 පේතෘස් 1:19; හෙබ්‍රෙව් 7:26) මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සියලුම අංග පිළිපැද්ද උන්වහන්සේ, මෙනයින් එම ව්‍යවස්ථාව සම්පූර්ණ කළසේක. (මතෙව් 5:17; 2 කොරින්ති 1:20) සදාචාරය පිළිබඳ සිය ඉගැන්වීම්වලට අනුකූලවම උන්වහන්සේ ජීවත්වූසේක. (මතෙව් 5:27, 28) නරක චේතනාවන් තිබුණාය කියා යුක්තිසහගත ලෙස උන්වහන්සේට චෝදනා කිරීමට කිසිවෙකුට නොහැකි විය. ඇත්තවශයෙන්ම, උන්වහන්සේ, “නොපනත්කමට ද්වේෂකළසේක.” (හෙබ්‍රෙව් 1:9, NW) දෙවියන්වහන්සේගේ දාසයන් වශයෙන් අපිත්, අපගේ ජීවිතද අපගේ චේතනාද පවා යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ පිරිසිදුව තබාගනිමින් යේසුස්වහන්සේව අනුකරණය කරමු.
අනතුරු ඇඟවීමේ උදාහරණ
9. පාවුල් යොමු දැක්වූයේ අනතුරු ඇඟවීමේ කිනම් උදාහරණයටද, තවද අප මෙම උදාහරණය සලකා බැලිය යුත්තේ මන්ද?
9 යේසුස්වහන්සේගේ ආදර්ශයට මුළුමනින්ම පටහැනි, ඉශ්‍රායෙලිතයන්ගේ අනතුරු අඟවනසුලු ආදර්ශය අපට තිබේ. තමන්ට කරන ලෙසට පැවසූ සියල්ලම කරන බවට ඔවුන් යෙහෝවඃවහන්සේට ප්‍රකාශ කළ පසුව පවා, ඔවුහු උන්වහන්සේගේ කැමැත්ත කිරීමට අසමත් වූහ. (දානියෙල් 9:11) ඉශ්‍රායෙලිතයන්ට සිදුවූ දෙයින් ඉගෙනගන්නා ලෙස ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වීය. පාවුල් කොරින්තිවරුන්ට ලියන ලද සිය පළමු ලිපිය තුළ යොමු දැක්වූ සමහරක් සිද්ධීන් පරීක්ෂා කර, අපගේ කාලයේ දෙවියන්වහන්සේගේ කැපවූ සේවකයන් විසින් වැළකිය යුතු බොරුවළවල් මොනවාදැයි අපි පරීක්ෂා කර බලමු.—1 කොරින්ති 10:1-6, 11.
10. (අ) ඉශ්රායෙල්වරු, ‘නපුරු දේවලට ආශා’ වූයේ කෙසේද? (ආ) ඉශ්රායෙල්වරුන් ආහාර ගැන දෙවන වරට කෙඳිරීම වඩාත් ගණන්දිය යුතු යමක් වූයේ මන්ද, තවද අනතුරු අඟවන මෙම ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
10 පළමුවෙන්ම, පාවුල් අපට අනතුරු ඇඟවූයේ, “නපුරු දේවලට ආශා” නොවන ලෙසටය. (1 කොරින්ති 10:6) ආහාර පිණිස මන්නා පමණක් තිබීම සම්බන්ධයෙන් ඉශ්‍රායෙලිතයන් එක් අවස්ථාවක පැමිණිලි කිරීම, මේ මගින් ඔබගේ මතකයට නංවනවා විය හැක. යෙහෝවඃවහන්සේ ඔවුන්ට වටුවන් එවූසේක. ඊට අවුරුද්දකට පමණ පෙර සින් පාළුකරයේදී, ඉශ්‍රායෙලිතයන් යෙහෝවඃවහන්සේට තම කැපවීම කරන්ට සුළු කලකට පෙර, මේ හා සමාන දෙයක් සිදුවී තිබිණි. (නික්මයාම 16:1-3, 12, 13) එහෙත්, තත්වය මේ ආකාරයෙන්ම තිබුණේ නැත. පළමු වතාවට ඔවුන්ට වටුවන් සැපයූ අවස්ථාවේ, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කෙඳිරීම ගණන් ගත්තේ නැත. කෙසේවුවද, මේ වතාවේදී, තත්වය වෙනස් වී තිබිණි. “නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.” (ගණන් කථාව 11:4-6, 31-34) වෙනස් වී තිබුණේ කුමක්ද? කැපවූ ජාතියක් වශයෙන් ඔවුහු දැන් ගණන්දිය යුතුව සිටියහ. යෙහෝවඃවහන්සේ ඔවුන්ට පවසා තිබූ සියල්ලම කිරීමට ඔවුන් පොරොන්දු වී සිටියද, උන්වහන්සේගේ සැපයුම් කෙරෙහි වූ අගය කිරීම සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබූ ඌනතාව, උන්වහන්සේට විරුද්ධව කෙඳිරීමට මඟ පෑදුවේය! අදදින යෙහෝවඃවහන්සේගේ මේසය ගැන මැසිවිලි කීමද ඒ හා සමානය. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයනු ලබන යෙහෝවඃවහන්සේගේ ආත්මික සැපයුම් අගය කිරීමට ඇතැම්හු අසමත් වෙති. (මතෙව් 24:45-47) එහෙත්, යෙහෝවඃවහන්සේ අප සඳහා කර ඇති දෙය කෘතඥතාපූර්වකව මනසේ තබාගෙන, යෙහෝවඃවහන්සේ සපයන ආත්මික ආහාර පිළිගැනීම අපගේ කැපවීමට අවශ්‍ය කරන බව මතක තබාගන්න.
11. (අ) ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේට කරන තම නමස්කාරය පිළිම වන්දනාව සමඟින් දූෂණය කළේ කෙසේද? (ආ) අප යම් ආකාරයක පිළිම වන්දනාවකින් අපවිත්‍ර විය හැක්කේ කෙසේද?
11 ඊළඟට, පාවුල් මෙසේ අනතුරු ඇඟවීය: “ඔවුන්ගෙන් සමහරෙකුමෙන්, රූපවඳින්නෝ නොවෙල්ලා.” (1 කොරින්ති 10:7) පෙනෙන විදිහට මෙහි පාවුල් යොමුදක්වමින් සිටියේ, ඉශ්‍රායෙලිතයන් සීනයි කන්දේදී යෙහෝවඃවහන්සේ සමඟ ගිවිසුමක් කළ පසු, විගසම සිදුවූ වසු නමස්කාරය වෙතට විය හැක. ‘යෙහෝවඃවහන්සේට කැපවූ සේවකයෙකු වශයෙන්, මා කිසිවිටෙකත් පිළිම වන්දනාවට වැටෙන්නේ නැහැ’ යයි ඔබ කියන්ට පුළුවන. කෙසේවෙතත්, ඉශ්‍රායෙලිතයන්ගේ දෘෂ්ටි කෝණයෙන්, ඔවුන් යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම නවතා දැමුවේ නැති බව සැලකිල්ලටගන්න; එහෙත්, ඔවුහු වසු නමස්කාරය නමැති පුරුද්දට වැටුණහ—මෙය දෙවියන්වහන්සේට අතිශයින් පිළිකුල් දෙයක් විය. මෙයාකාරයේ නමස්කාරයට ඇතුළත් වූයේ කුමක්ද? සෙනඟ වස්සා ඉදිරියේ යාග ඔප්පු කර, අනතුරුව, “කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැගුටුණෝය.” (නික්මයාම 32:4-6) අදදින, ඇතැම් අය තමන් යෙහෝවඃවහන්සේට සේවය කරනවා යයි කියන්ට පුළුවන. එහෙත්, ඔවුන්ගේ ජීවිත යෙහෝවඃවහන්සේට කරන නමස්කාරය මත නොව, නමුත් ලෝකයේ දේවල් භුක්ති විඳීම මත කේන්ද්‍රගතව තිබෙනවා විය හැකි අතර, ඔවුහු යෙහෝවඃවහන්සේට කරන තම සේවය මේවා වටා තැබීමට උත්සාහ කරති. මෙය රත්රන් වස්සෙකුට වැඳවැටෙනවා තරම් අන්තයට ගිය දෙයක් නොවන බව ඇත්තය, නමුත් ප්‍රතිපත්තිය අතින් බලන කල, එහි එතරම් වෙනසක් නැත. තමාගේ ආශාවන් දේවත්වයෙහිලා සලකා කටයුතු කිරීම, යමෙකු යෙහෝවඃවහන්සේට කරන ලද කැපවීමට අනුව ජීවත්වීමට වඩා බොහෝ දුරස්ය.—පිලිප්පි 3:19.
12. බාල්පෙයෝර් සමඟ ඉශ්රායෙල්වරුන් ලත් අද්දැකීම දෙස බලන විට, අප අපවම අහිමි කරගැනීම ගැන කුමක් ඉගෙනගත හැකිද?
12 පාවුල් සඳහන් කළ ඊළඟ අනතුරු ඇඟවීමේ උදාහරණය තුළද එක් ආකාරයක විනෝදාස්වාදයක් ඇතුළත් විය. “ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.” (1 කොරින්ති 10:8) මෝවබ් දූවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ දුරාචාර වින්දන මගින් පොලඹවනු ලැබූ ඉශ්‍රායෙලිතයෝ, ෂිට්ටීම්හි බාල්පෙයෝර්ට නමස්කාර කිරීමට මෙහෙයවනු ලැබුවෝය. (ගණන් කථාව 25:1-3, 9) සදාචාරමය පිරිසිදුකම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ ප්‍රමිති පිළිගැනීම, උන්වහන්සේගේ කැමැත්ත කිරීමට අපවම අපට අහිමි කරගැනීම යන්නට ඇතුළත් වේ. (මතෙව් 5:27-30) ප්‍රමිති පිරිහෙමින් තිබෙන මේ යුගයේ, අපට සිහිගන්වා ඇත්තේ, හොඳ හා නරක දේ මොනවාද කියා තීරණය කිරීම සඳහා යෙහෝවඃවහන්සේගේ අධිකාරයට යටත්වෙමින්, සියලු ආකාර දුරාචාර හැසිරීම්වලින් අපවම පවිත්‍රව තබාගන්නා හැටියටය.—1 කොරින්ති 6:9-11.
13. යෙහෝවඃවහන්සේට කැපවීම යන්නෙහි සම්බන්ධ දේ ගැන තේරුම්ගැනීමට අපට පීනෙහාස්ගේ ආදර්ශය උපකාරවත් වන්නේ කෙසේද?
13 බොහෝදෙනෙක් ෂිට්ටීම්හි කාමමිථ්‍යාචාරයේ උගුලට වැටුණු අතරේදී, ඇතැම් අය, යෙහෝවඃවහන්සේට කළ ජාතික කැපවීමට අනුව ජීවත්වූහ. ඔවුන් අතරින්, පීනෙහාස් ජ්වලිතකමේ කැපීපෙනෙන්නෙකු විය. ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රධානියෙකු මිදියන් ස්ත්‍රියකව තම කූඩාරම තුළට ගෙනෙනවා දුටු අවස්ථාවේ, පීනෙහාස් විගස හෙල්ලක් සියතට ගෙන ඔවුන්ව පසාරු කරගෙන යන ලෙස ඇන්නේය. යෙහෝවඃවහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූසේක: “පීනෙහාස් මා විසින් මාගේ ජ්වලිතයෙන් [තනිභක්තිය උදක්ම ඉල්ලා සිටීම හේතුවෙන්, NW] ඉශ්රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජ්වලිතයෙන් ජ්වලිතව [මට විරුද්ධව කිසිදු එදිරිවාදිකමක් නොඉවසා, NW] සිටීමෙන් ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.” (ගණන් කථාව 25:11) කිසිම අවස්ථාවක යෙහෝවඃවහන්සේට විරුද්ධව කිසිදු එදිරිවාදිකමක් නොඉවසීම—කැපවීම යන්නෙන් අදහස් කරන්නේ එයයි. අපගේ හදවත්වලින් යෙහෝවඃවහන්සේට කර ඇති කැපවීම ගත යුතු ස්ථානයගැනීමට කිසිම දෙයකට ඉඩහැරීමට අපට නොහැක. බරපතළ දුරාචාරමය සිද්ධීන් සම්බන්ධයෙන් අහක බලාගෙන ඉවසා සිටීමෙන් නොව, නමුත් වැඩිමහල්ලන්ට වාර්තා කිරීමෙන්, සභාව පිරිසිදුව තබාගැනීමටද යෙහෝවඃවහන්සේ උදෙසා වූ ජ්වලිතය අපව පොලඹවයි.
14. (අ) ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේව පරීක්ෂාවට ලක් කළේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේට කරන ලද පූර්ණ කැපවීම ‘ක්ලාන්ත නොවීමට’ අපට උපකාර කරන්නේ කෙසේද?
14 පාවුල් තවත් අනතුරු ඇඟවීමේ උදාහරණයකට යොමු දැක්වූයේය: “අපි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.” (1 කොරින්ති 10:9) පාවුල් මෙහි කතා කරමින් සිටියේ, ඉශ්‍රායෙලිතයන්, “ගමන් මාර්ගයේදී . . . සිත බොහෝසේ අධෛර්යය” කරගත් විට, ඔවුන් දෙවියන්වහන්සේට එරෙහිව මෝසෙස්ට මැසිවිලි නැඟූ කාලය වෙතටය. (ගණන් කථාව 21:4) ඔබ කවදා හෝ එම වරද කරන්නෙහිද? ඔබ ඔබවම යෙහෝවඃවහන්සේට කැප කළ අවස්ථාවේ, අර්මගෙදොන් අත ළඟ බවට ඔබ සිතුවාද? ඔබ අපේක්ෂා කළාට වඩා යෙහෝවඃවහන්සේගේ ඉවසීම දීර්ඝ වී තිබේද? මෙය මතක තබාගන්න, එනම්, අප අපවම යෙහෝවඃවහන්සේට කැපකළේ එක්තරා කාල පරිච්ඡේදයකට හෝ හුදෙක් අර්මගෙදොන් දක්වා නොවේ. අපේ කැපවීම සදාකාලය දක්වා යයි. එසේනම්, “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.”—ගලාති 6:9.
15. (අ) ඉශ්රායෙල්වරු මැසිවිලි නැඟුවේ කාට එරෙහිවද? (ආ) යෙහෝවඃවහන්සේට අප කරන කැපවීම, දිව්‍යාණ්ඩු අධිකාරයට ගෞරව කිරීමට අපව පොලඹවන්නේ කෙසේද?
15 අවසානයේදී, පාවුල්, යෙහෝවඃවහන්සේගේ පත් කරන ලද සේවකයන්ට එරෙහිව ‘කොඳුරන්නන්’ ගැන කතා කළේය. (1 කොරින්ති 10:10) කානාන් දේශය ගැන සෝදිසි කිරීමට පිටත් කර හරින ලද ඔත්තුකාරයන් 12න් 10දෙනෙකු නරක ආරංචි ගෙනා විට, මෝසෙස් හා ආරොන්ට විරුද්ධව ඉශ්රායෙල්වරු, ඉතා පරුෂ ලෙස කොඳුරන්ට වූහ. මෝසෙස් වෙනුවට වෙනත් ප්‍රධානියෙකු පත් කරගෙන ආපසු මිසරයට හැරී යෑම ගැන පවා ඔවුහු කතා කළෝය. (ගණන් කථාව 14:1-4) අදදින, අපට යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය තුළින් දෙනු ලබන මූලිකත්වය අපි පිළිගන්නෙමුද? විශ්වාසවූ නුවණ ඇති දාස පංතිය විසින් සපයනු ලබන බහුල ආත්මික මේසය දෙස බැලීමෙන්, “නියම වේලාවට කෑම” දීමට යේසුස්වහන්සේ යොදාගනිමින් සිටින්නේ කාවදැයි පැහැදිලි වෙයි. (මතෙව් 24:45) යෙහෝවඃවහන්සේ විසින් පත් කරන ලද සේවකයන්ට ගෞරවය පෙන්වීම මුළු-ආත්මයෙන් උන්වහන්සේට කැපවීම මගින් අවශ්‍ය කෙරේ. හරියට අදදින ලෝකයට ආපසු ගෙන යෑම සඳහා නව ප්‍රධානියෙකු වෙතට හැරී ගොස් ඇත්තාක් මෙන් වූ, නවීන-දින ඇතැම් කොඳුරන්නන්ට අපි කිසිවිටෙකත් සමාන නොවෙමු.
ඒ මගේ උපරිමයද?
16. දෙවියන්වහන්සේට කැපවූ සේවකයන් තමන්ගෙන්ම කිනම් ප්‍රශ්න ඇසීමට කැමති විය හැකිද?
16 යෙහෝවඃවහන්සේට වූ තම කැපවීම කොන්දේසි විරහිත එකක් බව ඉශ්රායෙල්වරුන් සිහි කර තිබුණි නම්, ඔවුන් එවැනි බරපතළ දෝෂවලට වැටී නොයන්ට තිබුණි. ඇදහිල්ල නැති එම ඉශ්‍රායෙලිතයන් මෙන් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවසානය දක්වා තම කැපවීමට අනුව ජීවත්වූසේක. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපද, “තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස” ජීවත්වෙමින්, උන්වහන්සේගේ පූර්ණ-ආත්ම භක්තියේ ආදර්ශය අනුකරණය කරමු. (1 පේතෘස් 4:1ආ, 2අ; සසඳන්න 2 කොරින්ති 5:15) අදදින යෙහෝවඃවහන්සේගේ කැමැත්ත නම්, “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට [සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුම ලැබීමට, NW] පැමි[ණීමය.]” (1 තිමෝති 2:3) එම අරමුණ පෙරදැරිකරගෙන, අවසානය පැමිණීමට පෙර, අප “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කළ යුතුය. (මතෙව් 24:14) අපි අපගේ සේවයට කොතරම් වෑයමක් දරමින් සිටින්නෙමුද? ‘එය මගේ උපරිමයද?’ කියා අප අපගෙන්ම ඇසීම යෙහෙකි. (2 තිමෝති 2:15, NW) තත්වයන් වෙනස්ය. යෙහෝවඃවහන්සේ සතුටු වන්නේ, “යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට” පුද්ගලයෙකු සේවය කරනවා දැකීමටය. (2 කොරින්ති 8:12; ලූක් 21:1-4) කිසිවෙක්, තව කෙනෙකුගේ කැපවීමේ ගැඹුර සහ අවංකභාවය විනිශ්චය නොකළ යුතුය. සෑම කෙනෙකුම, යෙහෝවඃවහන්සේට තමාගේ කැපවීමේ ප්‍රමාණය පෞද්ගලිකව තක්සේරු කර බැලිය යුතුය. (ගලාති 6:4) යෙහෝවඃවහන්සේට වූ අපගේ ප්‍රේමය, අපගෙන්ම මෙසේ ඇසීමට අපව පෙලඹවිය යුතුය, ‘යෙහෝවඃවහන්සේව සන්තෝෂවත් කිරීමට මට හැක්කේ කෙසේද?’
17. කැපවීම සහ අගය කිරීම අතර තිබෙන සබඳතාව කුමක්ද? නිදර්ශනය කරන්න.
17 අප තුළ යෙහෝවඃවහන්සේ උදෙසා ඇති අගය කිරීම ගැඹුරු වන විට, උන්වහන්සේට වූ අපගේ භක්තිය වැඩෙයි. ජපානයේ 14 හැවිරිදි පිරිමි ළමයෙක්, තමාවම යෙහෝවඃවහන්සේට කැපකොට, වතුර බව්තීස්මයෙන් තම කැපවීම සංකේතවත් කළේය. පසුව, උසස් අධ්‍යාපනය හදාරා, විද්‍යාඥයෙකු බවට පත්වීමට ඔහුට වුවමනා විය. ඔහු කිසිවිටෙකත් පූර්ණ-කාලීන සේවය ගැන සිතුවේ නැති නමුත්, කැපවූ සේවකයෙකු වශයෙන්, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය අතහැර යෑමට ඔහුට වුවමනා වූයේ නැත. තම වෘත්තීයමය ඉලක්කය ඉටු කරගැනීම පිණිස, හේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය. එහිදී ඔහු දුටුවේ, එම විශ්ව විද්‍යාලයේ සිසුන්ව ඔවුන් සේවය කළ සමාගම්වලට හෝ ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට තම මුළු ජීවිතයම කැපකිරීමට බල කරනු ලබන ආකාරයයි. ‘මා මෙහි කරන්නේ කුමක්ද? කියා ඔහු කල්පනා කරන්ට විය. ඔවුන්ගේ ජීවිත මාර්ගය ලුහුබැඳ මාවම ලෞකික රැකියාවකට කැපකිරීමට මට ඇත්තටම පුළුවන්ද? මා දැනටමත් යෙහෝවඃවහන්සේට කැපවී නැද්ද?’ යළි ප්‍රාණවත් කරනු ලැබූ අගය කිරීමකින් යුතුව, ඔහු ස්ථාවර පුරෝගාමියෙකු බවට පත්විය. තම කැපවීම පිළිබඳ අවබෝධය ඔහු තුළ ගැඹුරු වූ අතර, තමාව අවශ්‍ය වූ ඕනෑම තැනකට යෑමට තම හෘදය තුළ නිශ්චය කරගැනීමට ඔහුව පෙලඹවීය. ඔහු උපස්ථායක සේවා පුහුණු පාසැලට ඇතුළත් වී, මිෂනාරිවරයෙකු වශයෙන් විදේශීය රටක සේවය කිරීමට පැවරුමක් ලැබීය.
18. (අ) යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීමට කොතරම් ප්‍රමාණයක් ඇතුළත් වේද? (ආ) යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීමෙන් අපට කිනම් විපාක නෙළාගත හැකිද?
18 කැපවීමට අපගේ මුළු ජීවිතයම ඇතුළත් වෙයි. අප අපවම අපට අහිමි කරගෙන, “දවස්පතා” යේසුස්වහන්සේගේ කදිම ආදර්ශය අනුගමනය කළ යුතුය. (ලූක් 9:23) අප අපවම අහිමි කරගෙන සිටින බැවින්, අපි යෙහෝවඃවහන්සේගේ සේවා නිවාඩු හෙවත් විශ්‍රාම නොඉල්ලන්නෙමු. අපගේ ජීවිත යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් මත පනවන ප්‍රතිපත්තිවලට එකඟය. අපට පෞද්ගලික තේරීමක් කළ හැකි පැතිවල පවා, යෙහෝවඃවහන්සේට අප කැපකළ ජීවිතයට අපගේ උපරිම හොඳ කරමින් සිටිනවාදැයි විමසා බැලීම යහපති. උන්වහන්සේව සතුටු කිරීම පිණිස, අප අපගේ උපරිමය කරමින්, දවස්පතා උන්වහන්සේට සේවය කරනවාත් සමඟම, අප ක්‍රිස්තියානීන් වශයෙන් සාර්ථක වනු ඇති අතර, අපගේ පූර්ණ-ආත්මයෙන් යුත් භක්තිය ලැබීමට වටින එකම තැනැන්වහන්සේ වන යෙහෝවඃවහන්සේගේ අනුමැතියේ හසරැල්ල සමඟින් ආශීර්වාද ලබනවා නොඅනුමානය.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් කැපවීමට ඇතුළත් වූයේ කුමක්ද?
◻ අප යෙහෝවඃවහන්සේට එරෙහිව මැසිවිලි කීමෙන් වැළකිය යුත්තේ මන්ද?
◻ අපගේ ජීවිත තුළට සියුම් අන්දමින් පිවිසීමට පිළිම වන්දනාවට ඉඩහැරීමෙන් වැළකීමට අපට හැක්කේ කිනම් මාර්ගයෙන්ද?
◻ දේව කැමැත්ත කිරීමෙහිලා අපට ක්ලාන්ත නොවී සිටීමට කුමක් මතක තබාගැනීම උපකාරවත් වනු ඇත්ද?
[17වන පිටුවේ පින්තූරය]
කැපවූ ක්‍රිස්තියානීහු, ‘යහපත්කම් කිරීමට මැළි නොවෙති’