ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | මිරියම්
‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’!
සෙමින් ගලා යන නයිල් නදිය අසළ සැඟවී සිටින දැරියකගේ දෑස් එක එල්ලේ යම් දෙයක් දිහාවට යොමු වී තිබෙනවා. ඇය නොසෙල්වී සෑහෙන වෙලාවක් තිස්සේ එකම ඉරියව්වකින් ඒ දෙස බලා සිටිනවා. ඇගේ දෑස් යොමු වී තිබෙන්නේ බට පඳුරු අතරේ සඟවී තිබුණ කූඩයක් දිහාවටයි. වතුර ඇතුළට නොයන ලෙස සකස් කර තිබූ ඒ කූඩය ඇතුළේ සිටින්නේ ඇය ගොඩක් ආදරේ කරන ඇගේ චූටි මල්ලි. ඒ කූඩයට වී කිසි හව් හරණක් නැතුව සිටින ඇගේ මල්ලි ගැන ඇයට දැනෙන්නේ පුදුම දුකක්. ඒ වුණත් පැවතුණ ඒ දරුණු කාලයේ මල්ලිව පරෙස්සම් කරන්න තමන්ගේ දෙමව්පියන් ගත්ත තීරණය හරියි කියලා ඇය දන්නවා.
මේ වෙන කොටත් මේ පුංචි දැරිය හිතේ ලොකු ධෛර්යයකින් වැඩ කරලා තිබුණා. ඉස්සරහට ඇය ඊට වඩා නිර්භීතකමකින් වැඩ කරන්න යනවා. ඇය පුංචි දුවෙක් වුණත් ඇයට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය කොයි තරම්ද කියලා ඇය ඊළඟට කරන්න යන දෙයින් පැහැදිලි වෙනවා. ඒ අවස්ථාවේ විතරක් නෙවෙයි ඇගේ ජීවිත කාලය පුරාවටම ඇය දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් වැඩ කළා. යෙහෝවා දෙවියන් පුදුමාකාර විදිහට ඊශ්‍රායෙල්වරුන්ව ගලවගත්ත කාලයේදී ඇය මහලු වියේ සිටියත් දෙවියන් ගැන ඇයට තිබුණ විශ්වාසයේ කිසිම අඩුවක් වෙලා තිබුණේ නැහැ. පස්සේ කාලෙක ඇය අතින් බරපතළ වරදක් වුණාම ඒ වරද හදාගන්න ඇයට උදව් වුණෙත් ඇයට තිබුණ විශ්වාසයයි. ඇය කවුද? ඇයට තිබුණ විශ්වාසය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
වහල්භාවයේ ඉපදුණ දැරියක්
බයිබල් වාර්තාවේ ඒ දැරියගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒත් ඒ දැරිය ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු අම්රාම් සහ යොකෙබෙද් කියන යුවළගේ වැඩිමල් දරුවා වන මිරියම් කියලා අපිට හිතන්න පුළුවන්. (ගණන් කතාව 26:59) කූඩයේ හිටපු ඇගේ පුංචි මල්ලිට පස්සේ කාලෙක මෝසෙස් කියන නම දුන්නා කියලත් අපි දන්නවා. ඒ පුංචි පුතාට අයියා කෙනෙකුත් හිටියා. ඔහුගේ නම ආරොන්. ආරොන්ට වයස තුනක් විතර ඇති. ඒ වෙද්දී මිරියම්ට වයස කීයද කියලා අපි හරියටම දන්නේ නැති වුණත් ඇය අවුරුදු දහයට වඩා අඩුයි කියලා අපිට හිතන්න පුළුවන්.
මිරියම් හැදී වැඩුණේ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසයේ අඳුරුම යුගයක. එහෙම කියන්නේ ඇයි? ඊජිප්තුවරුන් ඇගේ සෙනඟව දැක්කේ තර්ජනයක් විදිහට. ඒ නිසා එයාලා ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගෙන එයාලට වධ හිංසා කළා. කොච්චර වධ හිංසා කළත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා දකිද්දී ඊජිප්තුවරුන් බය වෙලා ඊට වඩා කෲර දෙයක් කළා. ඊජිප්තුවේ රජ වන පාරාවෝ නියෝග කළා ඊශ්‍රායෙල් මව්වරුන්ට පිරිමි දරුවන් ඉපදුණොත් ඒ අයව ඒ වෙලාවෙම මරලා දාන්න කියලා. ඒත් ෂිප්රා සහ පුවා කියන වින්නඹුවන් රජුගේ නියෝගයට බය වෙන්නේ නැතුව ඊශ්‍රායෙලයේ පිරිමි දරුවන්ව බේරගත්තා. යෙහෝවා දෙවියන් ගැන තිබුණ විශ්වාසය නිසා ඒ දෙන්නා කරපු දේ ගැන මිරියම් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඇති.—නික්මයාම 1:8-22.
තමන්ගේ දෙමව්පියන්ට දෙවියන් ගැන කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලත් මිරියම් හොඳින් දැකලා තිබුණා. ඒ ලස්සන පුංචි පුතාව මාස තුනක් යන කල් ඒ දෙන්නා හංගගෙන හිටියා. රජුගේ නියෝගයට බය වෙලා දරුවාව මරලා දාන්න ඒ දෙන්නා ඉඩ දුන්නේ නැහැ. (හෙබ්‍රෙව් 11:23) ඒත් දරුවාව දිගින් දිගටම හංගගෙන ඉන්න එක ලේසි දෙයක් වුණේ නැහැ. ඒ නිසා ඒ දෙන්නාට වුණා හරිම අමාරු තීරණයක් ගන්න. එයාලා තීරණය කළා දරුවාව එයාලා ළඟ තියාගන්නේ නැතුව ආරක්ෂාසහිත තැනක හංගන්න. එයාලා එහෙම කළේ දරුවාව ආරක්ෂා කරන්න පුළුවන්, හදා වඩා ගන්න පුළුවන් කෙනෙක්ට එයාව හම්බ වෙයි කියන බලාපොරොත්තුවෙන්. දරුවාව දාන්න පුළුවන් විදිහේ කූඩයක් පැපිරස් බටවලින් හදද්දී, වතුර යන්නේ නැති වෙන්න ඒ කූඩයට තාර ගාද්දී, කූඩයේ දරුවාව තියලා නයිල් ගංඉවුරේ බට පඳුරු අතරේ තියද්දී යොකෙබෙද් කී වතාවක් නම් දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න ඇද්ද! කූඩයෙන් ඇහැ ගන්නේ නැතුව මොනවාද වෙන්නේ කියලා බලන් ඉන්න කියලා එයා අනිවාර්යයෙන්ම මිරියම්ට කියන්න ඇති.—නික්මයාම 2:1-4.
මල්ලිව බේරගත්ත නිර්භීත අක්කා කෙනෙක්
වෙන්නේ මොනවාද කියලා මිරියම් බලාගෙන ඉන්න අතරේ ඇය දකිනවා කාන්තාවන් කීපදෙනෙක් එතැනට එනවා. එයාලව දැක්කාම මිරියම් හොඳටම බය වෙනවා. මොකද එතැනට ආවේ සාමාන්‍ය කාන්තාවන් නෙවෙයි, පාරාවෝගේ දියණිය සහ ඇගේ සේවිකාවන්. එයාලා නයිල් ගඟ ළඟට ඇවිත් තියෙන්නේ නාන්න. මිරියම්ගේ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙනවා. තාත්තා දාපු නීතියකට අකීකරු වෙලා හෙබ්‍රෙව් ජාතික දරුවෙක්ව බේරගන්න පාරාවෝගේ දුව කැමති වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? ඒ වෙලාවේ මිරියම් දෙවියන්ට කොයි තරම් නම් යාච්ඤා කරන්න ඇද්ද!
බට පඳුරු අතරේ තියෙන කූඩය මුලින්ම නෙත ගැටෙන්නේ පාරාවෝගේ දුවටයි. ඇය සේවිකාවකට කියනවා ඒක අරන් එන්න කියලා. බයිබල් වාර්තාවේ කියන්නේ ‘ඒ කූඩය විවෘත කළාම පාරාවෝගේ දියණිය ඒකෙ හිටපු දරුවාව දැක්කා. දරුවා අඬමින් හිටියා’ කියලයි. වෙලා තියෙන්නේ මොනවාද කියලා ඇයට හිතාගන්න පුළුවන්. මේ, හෙබ්‍රෙව් ජාතික මවක් එයාගේ දරුවාගේ ජීවිතය බේරගන්න කරපු දෙයක් කියලා ඇය තේරුම්ගන්නවා. ඒ ලස්සන දරුවාව දැකලා පාරාවෝගේ දුවගේ හිතේ අනුකම්පාවක් ඇති වෙනවා. (නික්මයාම 2:5, 6) ඇගේ මුහුණේ හැම පුංචි ඉරියව්වක් දිහාම නෙත් අයාගෙන ඉන්න මිරියම් තේරුම්ගන්නවා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න මේකයි වෙලාව කියලා. හිතට ධෛර්යය ගන්න මිරියම් පාරාවෝගේ දුව සහ ඇගේ සේවිකාවන් ළඟට යනවා.
රජ පවුලේ කෙනෙක් ළඟට ගිහින් කතා කරන්න තරම් ධෛර්යයක් තිබුණ හෙබ්‍රෙව් ජාතික වහල් දැරියකට ඊජිප්තුවරුන් මොන වගේ දඬුවමක් දුන්නාද කියලා අපි දන්නේ නැහැ. ඒත් මිරියම් ඒ ගැන හිතන්නේ නැතුව පාරාවෝගේ දුවගෙන් මෙහෙම අහනවා. “දරුවාට කිරි දෙන්න හෙබ්‍රෙව්වරුන්ගෙන් කිරි මවක් සොයාගෙන එන්නද?” එයා ඒ වෙලාවේ ඒ ප්රශ්නය අහන්න ඇත්තේ හොඳට කල්පනා කරලයි. මොකද පාරාවෝගේ දුවට පුංචි දරුවාට කිරි දෙන්න බැහැ. දරුවාට කිරි දෙන්න පුළුවන් හෙබ්‍රෙව් ජාතියේම කෙනෙක්ව හොයාගෙන දරුවාව හදාගන්න එයාට භාර දෙන එක තමයි හොඳම දේ කියලා පාරාවෝගේ දුව හිතන්න ඇති. දරුවා කිරි බොන කාලය පහු වුණාම එයාට හොඳට උගන්වලා තමන්ගේම දරුවෙක් විදිහට හදාගන්න පුළුවන් වෙයි කියලත් ඇය හිතන්න ඇති. “හොඳයි, කිරි මවක්ව සොයාගෙන එන්න” කියලා පාරාවෝගේ දුව කියද්දී මිරියම්ගේ හිත සතුටින් පිරී යනවා.—නික්මයාම 2:7, 8.
මිරියම් ඉක්මනින්ම ගෙදරට දුවගෙන යනවා. මොනවා වෙන්න ඇද්ද කියලා දැනගන්න ඇගේ අම්මායි, තාත්තායි මඟ බලන් ඉන්න ඇති. ගෙදරට ඇවිත් මිරියම් වෙච්ච දේ එක හුස්මට කියද්දී ඇගේ මුහුණේ තිබුණ සතුට ඔයාට හිතාගන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම ඒ විදිහට වෙන්න සැලැස්සුවේ යෙහෝවා දෙවියන් කියලා යොකෙබෙද් තේරුම්ගන්නවා. ඒ නිසා එයා ඉක්මනින් මිරියම් එක්ක පාරාවෝගේ දුව ළඟට යනවා. “මේ දරුවාව ගෙන ගොස් කිරි දී බලාගන්න. ඒ සඳහා ඔබට යන සියලු වියදම් මම දෙන්නම්” කියලා පාරාවෝගේ දුව කියද්දී යොකෙබෙද්ගේ හිතට මොන තරම් සතුටක්, සහනයක් දැනෙන්න ඇද්ද! එයා ඒ සතුට අමාරුවෙන් හංගගෙන ඉන්න ඇති.—නික්මයාම 2:9.
මිරියම් එදා ඇගේ දෙවියන් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟ ගැන හුඟක් සැලකිලිමත් කියලත් ඔහු එයාලගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලත් ඇය ඉගෙනගත්තා. වැඩිහිටියන්ට, පුරුෂයන්ට විතරක් නෙවෙයි බාල මහලු, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනම කෙනෙක්ට හිතට ධෛර්යය අරන් ලොකු විශ්වාසයකින් වැඩ කරන්න පුළුවන් කියලත් ඇය තේරුම්ගත්තා. මොකද දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් හැම කෙනෙක්ගෙම යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. (ගීතාවලිය 65:2) මේ අමාරු කාලවල ජීවත් වෙන අපි හැමෝම ඒ දේ මතක තියාගන්න ඕනේ.
ඉවසීමෙන් වැඩ කරපු සහෝදරියක්
යොකෙබෙද් දරුවාට කිරි දීලා එයාව ආදරෙන් බලාගත්තා. ඇගේ පුංචි මල්ලි ගැන මිරියම්ගේ හිතේ මොන තරම් ආදරයක් ඇති වෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. පුංචි මල්ලි අකුරෙන් අකුර ගැටගහගෙන මුලින්ම යෙහෝවා දෙවියන්ගේ නම කියපු දවසේ මිරියම්ට කොයි තරම් නම් සතුටක් දැනෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. දරුවා ටිකක් ලොකු වුණාට පස්සේ එයාලා තේරුම්ගත්තා දරුවාව ආයෙත් පාරාවෝගේ දුව ළඟට අරන් යන්න කාලෙ හරි කියලා. (නික්මයාම 2:10) දරුවාගෙන් වෙන් වෙද්දී පවුලේ හැමෝටම ලොකු දුකක් දැනෙන්න ඇති. දරුවාව පාරාවෝගේ දුවට භාර දුන්නාට පස්සේ ඇය දරුවාට මෝසෙස් කියන නම තිබ්බා. ‘මෝසෙස් උස් මහත් වුණාට පස්සේ එයා මොන වගේ කෙනෙක් වෙයිද? රජ පවුලේ අය අතරේ ඉද්දී එයා දිගටම යෙහෝවා දෙවියන්ට ආදරෙන් ඉඳියිද?’ කියලා මිරියම් කල්පනා කරන්න ඇති.
මිරියම්ගේ හිතේ තිබුණ ඒ ප්‍රශ්නවලට කාලයත් එක්කම එයාට උත්තර ලැබුණා. රජ පවුලේ සැප සම්පත් පස්සේ යන්නේ නැතුව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න මෝසෙස් තීරණය කරලා කියලා දැනගන්න ලැබුණාම මිරියම්ගේ හිතට ඇගේ මල්ලි ගැන ආඩම්බරයක් දැනෙන්න ඇති. මෝසෙස්ට වයස 40ක් වුණාම එයා එයාගේ සෙනඟ වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කළා. හෙබ්‍රෙව් ජාතික වහලෙක්ට ඊජිප්තු ජාතිකයෙක් නරක විදිහට සලකනවා දැක්කාම මෝසෙස් එයාට පහර දීලා එයාව මරලා දැම්මා. වෙච්ච ඒ දේ නිසා තමන්ව මරලා දායි කියන බයෙන් මෝසෙස් ඊජිප්තුවෙන් පලා ගියා.—නික්මයාම 2:11-15; ක්‍රියා 7:23-29; හෙබ්‍රෙව් 11:24-26.
මෝසෙස් ගියේ දුර ඈත තිබුණ මිදියන් දේශයට. එහෙදී අවුරුදු 40ක් තිස්සේ එයා බැටළුවන් බලාගත්තා. ඒ අවුරුදු 40 පුරාම තමන්ගේ මල්ලි ගැන මිරියම්ට කිසිම ආරංචියක් ලැබෙන්නේ නැතුව ඇති. (නික්මයාම 3:1; ක්‍රියා 7:29, 30) මිරියම් වයසට යන්න යන්න තමන්ගේ සෙනඟ වින්ද දුක් ගැහැට එන්න එන්නම වැඩි වෙනවා කියලා ඇය දැක්කා. ඒ හැම දෙයක්ම ඇය ඉවසීමෙන් දරාගෙන හිටියා.
අනාගතවක්තෘවරියක්
ආපහු ඊජිප්තු දේශයට ගිහින් තමන්ගේ සෙනඟව බේරගන්න කියලා යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා. මෝසෙස් ආපහු ඊජිප්තු දේශයට එද්දී මිරියම් වයස 80 ගණන්වල ඉන්න ඇති. මෝසෙස් වෙනුවෙන් කතා කරන කාර්යය දෙවියන් භාර දුන්නේ මෝසෙස්ගේ සහෝදරයා වන ආරොන්ට. ඒ දෙන්නා පාරාවෝ ළඟට ගිහින් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්න කියලා ඉල්ලුවා. ඒත් පාරාවෝ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඒ දෙන්නාට සිද්ධ වුණා ආයෙ ආයෙ පාරාවෝ ළඟට ගිහින් දෙවියන් ඊජිප්තුවරුන් පිටට ගේන පීඩා දහය ගැන අනතුරු අඟවන්න. ඒක ආරොන්ට සහ මෝසෙස්ට ලේසි වෙන්නේ නැතුව ඇති. ඒත් මිරියම් ඒ දෙන්නා ළඟින්ම ඉඳන් ඒ දෙන්නාව දිරිගන්වන්න ඇති. 10වෙනි පීඩාවේදී දෙවියන් ඊජිප්තුවේ හිටපු හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම මරා දැම්මා. ඒ පීඩාවෙන් පස්සේ මෝසෙස් සෙනඟට කිව්වා ඊජිප්තුවෙන් බේරිලා යන්න දැන් කාලය ඇවිත් කියලා. මෝසෙස් සෙනඟව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් යද්දී මිරියම් වෙහෙස මහන්සි නොබලා සෙනඟට උදව් කරපු විදිහ ඔයාට හිතින් මවාගන්න පුළුවන්ද?—නික්මයාම 4:14-16, 27-31; 7:1–12:51.
ඊජිප්තුවෙන් පිට වෙලා ගිය ඊශ්‍රායෙල්වරුන් එක තැනකදී කොටු වුණා. එක පැත්තකින් ඊජිප්තු හමුදාව එයාලව අල්ලගන්න එනවා. අනිත් පැත්තෙන් රතු මුහුද. ඒ වෙලාවේ මෝසෙස් මුහුද දිහාවට එයාගේ සැරයටිය දික් කරද්දී මුහුද දෙබෑ වෙලා මැදින් පාරක් හැදෙනවා මිරියම් දැක්කා. ඒ වියළි පාර දිගේ සෙනඟ බේරිලා යද්දී වෙන කවරදාකටත් වඩා මිරියම්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන තිබුණ විශ්වාසය තවත් වැඩි වුණා. තමන් නමස්කාර කරන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන්, තමන් දෙන ඕනම පොරොන්දුවක් ඉටු කරන්න පුළුවන් දෙවි කෙනෙක්ට කියලා එදා මිරියම් තේරුම්ගත්තා.—නික්මයාම 14:1-31.
ඊශ්‍රායෙල්වරුන් කිසිම කරදරයක් නැතුව වියළි පාර දිගේ මුහුද හරහා අනිත් පැත්තට ගියා. ඊටපස්සේ යෙහෝවා දෙවියන් දෙපැත්තේ තිබුණ විශාල ජල කඳ ආයෙත් එකට එකතු කරලා ඊජිප්තු හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කළා. ලෝකයේ ඉන්න බලවත්ම හමුදාවට වඩා යෙහෝවා දෙවියන් බලවත් කියලා මිරියම් දැක්කා. ඊශ්‍රායෙල් පුරුෂයන් යෙහෝවා දෙවියන් තමන් ඉදිරියේ කරපු ඒ පුදුමාකාර දේ දැකලා ඔහුට ප්‍රශංසා ගීයක් ගායනා කළා. ඊටපස්සේ මිරියම්ගේ මූලිකත්වයෙන් ඊශ්‍රායෙල් ස්ත්‍රීන් මේ විදිහේ ප්‍රශංසා ගීයක් යෙහෝවා දෙවියන්ට ගායනා කළා. “යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා විශිෂ්ට ජයක් අත් කරගත්තේය. එහෙයින් ඔහුට ප්‍රශංසා ගී ගයමු.”—නික්මයාම 15:20, 21; ගීතාවලිය 136:15.
සෙනඟ එක්ක එකතු වෙලා යෙහෝවා දෙවියන්ට හද පිරි අගයකින් ප්‍රශංසා කරපු ඒ අවස්ථාව මිරියම්ට කවදාවත් අමතක වෙන්න නැතුව ඇති. ඒ අවස්ථාව ගැන සඳහන් බයිබල් වාර්තාවේ මිරියම්ව හඳුන්වන්නේ අනාගතවක්තෘවරියක් විදිහට. ඒ විදිහට බයිබලයේ හඳුන්වලා තියෙන පළවෙනි ස්ත්‍රිය ඇයයි. යෙහෝවා දෙවියන් අනාගතවක්තෘවරියන් විදිහට පැවරුම් ලබා දුන්නේ ස්ත්‍රීන් කිහිපදෙනෙක්ට විතරයි.—විනිශ්චයකරුවෝ 4:4; 2 රාජාවලිය 22:14; යෙසායා 8:3; ලූක් 2:36.
දෙවියන් අපි දිහා ලොකු සැලකිල්ලකින් බලන් ඉන්නවා කියලා ඒ වාර්තාවෙන් පැහැදිලියි. දෙවියන්ව සතුටු කරන්න අපි අවංකවම දරන වෑයම්, අපි ඉවසීමෙන් දේවල් දරාගෙන ඉන්න විදිහ, ඔහුට ප්‍රශංසා කරන්න අපිට තියෙන ආසාව දෙවියන් දකිනවා. ඒ වෙනුවෙන් අපිට ආශීර්වාද කරන්න ඔහු බලන් ඉන්නවා. බාල මහලු, ස්ත්‍රී පුරුෂ අපි හැමෝටම පුළුවන් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. අපේ හිතේ තියෙන ඒ විශ්වාසය දකිද්දී දෙවියන් ගොඩක් සතුටු වෙනවා. අපිට තියෙන විශ්වාසය නිසා අපි කරන දේවල් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපිට ආශීර්වාද කරන්න ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. (හෙබ්‍රෙව් 6:10; 11:6) මිරියම්ට තිබුණ විශ්වාසය ආදර්ශයට ගන්න ඒක අපිට හොඳ හේතුවක් නෙවෙයිද?
මිරියම් උඩඟු විදිහට වැඩ කරයි
අපිට ලැබෙන වගකීම්වලින් අපිට හුඟක් ආශීර්වාද ලැබෙනවා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් ඒකෙන් අපිට අනතුරක් වෙන්නත් පුළුවන්. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආවට පස්සේ අනිත් ඊශ්‍රායෙල් කාන්තාවන්ට වඩා මිරියම්ට සෙනඟ අතරේ විශේෂ තැනක් තිබුණා. ඒ ප්‍රසිද්ධිය නිසා ඇගේ හිතේ උඩඟුකමක් ඇති වෙයිද? ඇයට තිබුණ අධිකාරිය, ප්‍රසිද්ධිය වැඩි කරගන්න මිරියම් පෙලඹෙයිද? (හිතෝපදේශ 16:18) ටික කාලෙකට මිරියම් ඒ විදිහට වැඩ කරන්න පෙලඹුණා.
ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වෙලා මාස කිහිපයකට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරට යම් පිරිසක් එනවා. ඒ අය තමයි මෝසෙස්ගේ මාමණ්ඩි වුණ යෙත්‍රෝ, මෝසෙස්ගේ බිරිඳ වුණ ෂිප්පොරා සහ මෝසෙස්ගේ පුතාලා දෙන්නා. මෝසෙස් ෂිප්පොරාව විවාහ කරගෙන තිබුණේ එයා මිදියන් දේශයේ හිටපු කාලයේ. කලින් ඊජිප්තු දේශයේ හිටිය ෂිප්පොරා ටික දවසකට එයාගේ පවුලේ අයව බලන්න මිදියන් දේශයට ගියා. දැන් යෙත්‍රෝ ෂිප්පොරාව ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරට එක්කගෙන ඇවිත්. (නික්මයාම 18:1-5) එයාලා ආපු ආරංචිය ඊශ්‍රායෙල්වරුන් අතරේ පැතිර යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඊජිප්තු දේශයෙන් තමන්ව බේරගන්න යෙහෝවා දෙවියන් තෝරගත්ත කෙනාගේ බිරිඳව දැකගන්න හුඟදෙනෙක් ආසාවෙන් ඉන්න ඇති.
ෂිප්පොරා ආපු එක ගැන මිරියම්ටත් සතුටක් දැනුණාද? මුලින් ඇයට සතුටක් දැනෙන්න ඇති. ඒත් කාලයත් එක්ක ඇගේ හිතේ උඩඟුකමක් ඇති වුණා. මිරියම් ෂිප්පොරා දිහා වපර ඇහෙන් බලන්න පටන්ගත්තා. සමහරවිට මිරියම්ට හිතෙන්න ඇති සෙනඟ අතරේ ඇයට තිබුණ විශේෂ තැන, ගෞරවය ෂිප්පොරාට ලැබෙයි කියලා. හේතුව මොකක් වුණත් මිරියම් සහ ආරොන් ෂිප්පොරාව විවේචනය කරන්න පටන්ගත්තා. පස්සේ පස්සේ ෂිප්පොරාගේ හිත රිදෙන විදිහට, එයාගේ හොඳ නම කැත වෙන විදිහට එයාලා කතා කළා. ෂිප්පොරා කියන්නේ ඊශ්‍රායෙල් ජාතිකයෙක් නෙවෙයි, කූෂ්a ජාතිකයෙක් කියලා එයාලා කිව්වා. මුලදී නම් එයාලා විවේවචනය කළේ ෂිප්පොරාව විතරයි. ඒත් පස්සේ එයාලා මෝසෙස්ට විරුද්ධවත් කතා කරන්න පටන් අරන් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවි කතා කරන්නේ මෝසෙස් මාර්ගයෙන් විතරද? අපි මාර්ගයෙනුත් දෙවි කතා කරන්නේ නැද්ද?”—ගණන් කතාව 12:1, 2.
ලාදුරු රෝගියෙක්
එයාලා කියපු ඒ වචනවලින් තේරෙනවා එයාලා හිටියේ ලොකු අනතුරක කියලා. එයාලගේ හිත්වල ඊර්ෂ්‍යාව, වෛරය මුල් අදින්න පටන් අරන් තිබුණා. යෙහෝවා දෙවියන් මෝසෙස්ට දුන්න අධිකාරිය ගැන එයාලගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වුණා. එයාලට ඕන වුණේ ඒ අධිකාරිය, බලය තමන්ට ලබාගන්න. එයාලට එහෙම හිතුණේ මෝසෙස් තමන්ට තියෙන අධිකාරිය වැරදි විදිහට පාවිච්චි කරලා, එයාගේ බලතල වැඩි කරගෙන එයාටම ගෞරවය ලබාගන්න උත්සාහ කරපු නිසාද? ඇත්ත, මෝසෙස් අතිනුත් අඩුපාඩු වුණා. හැබැයි එයා උඩඟු කෙනෙක්වත් බලතල පස්සේ ගිය කෙනෙක්වත් නෙවෙයි. බයිබලයේ එයා ගැන කියන්නේ මෙහෙමයි. “පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෝසෙස් මෘදු ගුණැති කෙනෙක් විය.” ඒ නිසා මිරියම්ට සහ ආරොන්ට මෝසෙස් ගැන ඒ විදිහට කතා කරන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. එයාලා හිටියේ ලොකු අනතුරක. මොකද එයාලා කියපු දේවල්වලට ‘යෙහෝවා දෙවියන් සවන් දීගෙනයි හිටියේ.’—ගණන් කතාව 12:2, 3.
යෙහෝවා දෙවියන් අක්කාටයි, මල්ලිලා දෙන්නාටයි කිව්වා සම්මුඛ වීමේ කූඩාරම ළඟට යන්න කියලා. එයාලා එතැනට ආවම යෙහෝවා දෙවියන්ව නියෝජනය කරපු වලා ටැඹ සම්මුඛ වීමේ කූඩාරම ඇතුල් වෙන තැනට ආවා. ඒ වෙලාවේ ඒ වලා ටැඹ අතරින් යෙහෝවා දෙවියන් කතා කරලා ආරොන්ටයි, මිරියම්ටයි තදින් අවවාද කළා. ඔහුට මෝසෙස් එක්ක කොයි තරම් කිට්ටු බැඳීමක් තියෙනවාද කියලත් මෝසෙස්ට තියෙන වගකීම් භාර දුන්නේ ලොකු විශ්වාසයකින් කියලත් යෙහෝවා දෙවියන් ඒ දෙන්නාට මතක් කළා. ඊටපස්සේ ඔහු එයාලගෙන් ඇහුවා, “එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද” කියලා. ඒක අහලා මිරියම් සහ ආරොන් හොඳටම බය වුණා. මෝසෙස්ට විරුද්ධව කතා කරපු එක යෙහෝවා දෙවියන් සැලකුවේ තමන්ට කරපු අගෞරවයක් විදිහට.—ගණන් කතාව 12:4-8.
පේන විදිහට, තමන්ගේ නෑනාට විරුද්ධව කතා කරන්න ආරොන්ව පෙලඹුවේ මිරියම්. යෙහෝවා දෙවියන් මිරියම්ට විතරක් දඬුවම් කළේ ඒ නිසයි. දඬුවමක් විදිහට මිරියම්ට ලාදුරු රෝගය වැලඳුණා. ඒ දරුණු රෝගය නිසා මිරියම්ගේ හම “හිම මෙන් සුදට පෙනෙන්න තිබුණා.” ඒක දැකපු ආරොන් මෝසෙස් ඉස්සරහ බැගෑපත් වෙලා කිව්වා එයාලා දෙන්නා වෙනුවෙන් කතා කරලා යෙහෝවා දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න කියලා. එයා කිව්වා, “අනේ මගේ ස්වාමීනි, අප මෝඩකමට කළ මේ දේ පාපයක් ලෙස සලකන්න එපා” කියලා. ඊටපස්සේ මෝසෙස් හඬ නගලා යෙහෝවා දෙවියන්ට කිව්වා, “අනේ දෙවියනි, ඇයට සුවය ලබා දෙන්න” කියලා. (ගණන් කතාව 12:9-13) තමන්ගේ අක්කාට වෙච්ච දේ ගැන මල්ලිලා දෙන්නා ගොඩක් දුක් වුණ එකෙන් පේනවා අක්කා අතින් වැරදි වුණත් එයාලා අක්කාට කොච්චර ආදරේ කළාද කියලා.
යෙහෝවා දෙවියන් මිරියම්ව සුව කළා
සහෝදරයන් දෙන්නාගේ ඉල්ලීම අහලා යෙහෝවා දෙවියන් මිරියම්ට සමාව දීලා ඇයව සුව කළා. ඒත් දෙවියන් මිරියම්ට කිව්වා දවස් හතක් කඳවුරෙන් එළියට වෙලා ඉන්න කියලා. එහෙම යද්දී කඳවුරේ ඉන්න හැමෝම දැනගත්තා යෙහෝවා දෙවියන් ඇයට හික්මවීමක් ලබා දීලා කියලා. ඒක ඇයට ලැජ්ඡාවක් වුණත් ඇය ඒකට කීකරු වුණා. ඇයට ඒකට මුහුණ දෙන්න උදව් වුණේ දෙවියන් ගැන ඇයට තිබුණ විශ්වාසයයි. යෙහෝවා දෙවියන් සාධාරණ දෙවි කෙනෙක් කියලත් ඔහු තමන්ට හික්මවීමක් දුන්නේ ආදරේ නිසයි කියලත් මිරියම්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා ඇය දෙවියන් කියපු විදිහටම කළා. ඔය විදිහට මිරියම් දවස් හතක් තනියම කඳවුරෙන් එළියට වෙලා හිටියා. ආයෙත් “කඳවුරට එන්න” කියලා දෙවියන් මිරියම්ට කිව්වාම ඇය නිහතමානීව ඒකට කීකරු වුණා. ඒක කරන්න ඇයට උදව් වුණේ ඇය තුළ තිබුණ විශ්වාසයයි.—ගණන් කතාව 12:14, 15.
යෙහෝවා දෙවියන් ඔහු ආදරේ කරන අයව හික්මවනවා. (හෙබ්‍රෙව් 12:5, 6) මිරියම්ගේ උඩඟුකම නැති කරගන්න අවශ්‍ය හික්මවීම් දෙවියන් දුන්නේ ඔහු මිරියම්ට ආදරේ කරපු නිසයි. ලැබුණ හික්මවීම මිරියම්ට වේදනාවක් වුණත් වෙන්න ගිය අනතුරෙන් එයා බේරුණේ ඒ හික්මවීම නිසයි. දෙවියන් එක්ක ආයෙත් කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් ඇයට පුළුවන් වුණා. මිරියම් දෙවියන් ගැන විශ්වාසය තියලා හික්මවීම හොඳින් භාරගත්ත නිසා දෙවියන් ඇය ගැන සතුටු වුණා. ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ අද්දරට එන කල්ම මිරියම් ජීවත් වුණා. ෂින් පාළුකරයේ කාදෙෂ්වල ඇය මිය යද්දී ඇයට වයස අවුරුදු 130ක් විතර ඇති.b (ගණන් කතාව 20:1) මිරියම් දෙවියන්ට විශ්වාසවන්තව කරපු සේවය ඔහුට අමතක වුණේ නැහැ. සියවස් ගාණකට පස්සේ අනාගතවක්තෘ මීකා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට මෙහෙම කිව්වා. “ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි. මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.”—මීකා 6:4.
මිරියම්ගේ ජීවිතෙන් අපිට ගොඩක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඇය පුංචි දැරියක්ව ඉද්දි කළා වගේ අපිට පුළුවන් අසරණ අය වෙනුවෙන් කතා කරන්න, එයාලව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න. හරි දේ වෙනුවෙන් කතා කරන්නත් අපි බය වෙන්න ඕනෙ නැහැ. (යාකොබ් 1:27) මිරියම් වගේ යෙහෝවා දෙවියන්ගේ පණිවිඩය අපි සතුටින් අනිත් අය එක්ක කතා කරන්නත් ඕනේ. (රෝම 10:15) මිරියම් කළා වගේ ඊර්ෂ්‍යාව, වෛරය වගේ සිතුවිලි අපේ හිතින් අයින් කරගන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. (හිතෝපදේශ 14:30) ඒ වගේම යෙහෝවා දෙවියන් අපිව හික්මවද්දී අපි නිහතමානීව ඒ හික්මවීම භාරගන්න ඕනේ. (හෙබ්‍රෙව් 12:5) ඒ විදිහට කරනවා නම් අපිටත් පුළුවන් වෙයි මිරියම්ගේ විශ්වාසය ආදර්ශයට ගන්න.
a ෂිප්පොරා “කූෂ්” ජාතිකයෙක් කියද්දී ඒකෙන් එයාලා අදහස් කළේ එයා ඉතියෝපියාවෙන් ආවා කියන එක නෙවෙයි අනිත් මිදියන්වරු වගේ ආරාබියෙන් ආවා කියලයි.
b මිරියම්, ආරොන් සහ මෝසෙස් මිය ගියේ වයසේ පිළිවෙළට. පේන විදිහට එයාලා මිය ගියේ එකම අවුරුද්දක් ඇතුළත.