පාඨකයන්ගෙන් ප්‍රශ්න
1 රාජාවලිය 8:8හි දක්වා ඇති පරිදි ගිවිසුම් පෙට්ටිය එසවීම සඳහා තිබූ පොලු දෙක ශුද්ධස්ථානයේ සිට දැකගත හැකි වූ නිසා, ඒවා තබා තිබුණේ කොයි අතටද?
පාළුකරයේ සිටියදී, මණ්ඩපය සෑදීම සඳහා යෙහෝවා මෝසෙස්ට සැලැස්මක් දුන්නේය. මණ්ඩපයේ ප්‍රධාන අංගයක් වූයේ ගිවිසුම් පෙට්ටියයි. රනින් වැසූ මෙම ඍජුකෝණාස්රාකාර පෙට්ටිය තුළ ව්‍යවස්ථාවේ ගල් ලෑලි සහ වෙනත් දෑ තිබුණ අතර එය තබා තිබුණේ මණ්ඩපයේ ඇතුල් කුටියේ, එනම් අතිශුද්ධස්ථානයේය. විහිදුණු පියාපත් ඇති රන් කෙරුබ්වරුන් දෙදෙනෙකු එහි පියන මත දිස් විය. පෙට්ටියේ කොන් සතරේ වළලු තිබූ අතර ෂිටිම් ලීවලින් සාදනු ලැබූ රන් ආලේපිත පොලු දෙකක් වළලු තුළින් යවා තිබිණ. පෙට්ටිය ඔසවාගෙන ගියේ මෙම පොලු ආධාරයෙනි. එමනිසා පොලු දෙක ගිවිසුම් පෙට්ටියේ හරස් අතට තබා තිබෙන්ට ඇතැයි අපට සිතාගත හැක. මණ්ඩපය පිහිටා තිබුණේ නැඟෙනහිර දෙසට මුහුණලායි. එමනිසා අතිශුද්ධස්ථානයෙහි තිබූ ගිවිසුම් පෙට්ටියේ පොලු දෙක යොමු වූයේ උතුරු දෙසට හා දකුණු දෙසටයි. ගිවිසුම් පෙට්ටිය සාලමොන් ගොඩනැඟූ දේවමාළිගාවට රැගෙන ගිය පසුත් එය තැබූ ආකාරයේ වෙනසක් වූයේ නැත.—නික්මයාම 25:10-22; 37:4-9; 40:17-21.a
ශුද්ධස්ථානයෙන් (පිටත කුටියෙන්) අතිශුද්ධස්ථානය වෙන් කිරීම සඳහා තිරයක් තිබිණ. අතිශුද්ධස්ථානයේ තිබූ ගිවිසුම් පෙට්ටියට උඩින් සංකේතාත්මක අයුරින් දෙවි පෙනී සිටි නිසා ශුද්ධස්ථානයේ සිටි පූජකයන්ට එදෙස බැලීමට නොහැකි විය. (හෙබ්‍රෙව් 9:1-7) එසේ නම්, “ඒ පොලු ඒවායේ අග්ගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගව තිබුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත” යනුවෙන් 1 රාජාවලිය 8:8හි පවසා තිබෙන්නේ මන්ද? එසේම 2 ලේකම් 5:9හිද පවසන පරිදි දේවමාළිගාවේ ශුද්ධස්ථානයේ සිටි යමෙකුට පොලු දැකගත හැකි වූයේ කෙසේද?
ඇතමෙකු උපකල්පනය කරන්නේ පොලු තිරයේ ගෑවී තිබුණ නිසා තිරය ඉදිරියට නෙරා තිබුණු බවයි. එහෙත්, පොලු තිරයට සමාන්තරව, උතුරට හා දකුණට වෙන්න තබා තිබුණ නිසා එම මතය නිවැරදි විය නොහැකිය. (ගණන් කථාව 3:38) මීට වඩා සාධාරණ පැහැදිලි කිරීමක් තිබේ. එනම්, දේවමාළිගාවේ බිත්ති හා තිරය අතර කුඩා හිඩසක් තිබුණා නම් හෝ උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ඇතුල් වූ අවස්ථාවකදී හෝ පොලු දැකගැනීමට සමහරවිට ප්‍රස්තාවක් ලැබෙන්ට ඇත. එහෙත්, තිරය මගින් අතිශුද්ධස්ථානය සම්පූර්ණයෙන්ම වැසී තිබුණ නිසා ගිවිසුම් පෙට්ටිය දැකගැනීමට නොහැකි විය. ඉහත කී ලෙස හිඩසක් තිබුණා නම් පොලුවල අගිස් දැකගැනීමට පුළුවන්කමක් තිබිණ. කෙසේවෙතත්, මෙම පැහැදිලි කිරීම බොහෝදුරට පිළිගත හැකි වුවත් නිශ්චිත වශයෙන් එසේ වූවායයි කිව නොහැකිය.
අප නොදන්නා සෑහෙන කරුණු තිබෙන බව පැහැදිලිය. ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේදී ඒ පිළිබඳව යම් විස්තරයක් දුන්නත් “දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන” කියා ඔහු පැවසීය. (හෙබ්‍රෙව් 9:5) මතු අනාගතයේදී ඇදහිලිවන්තයන් නැවත නැඟිටුවනු ලැබුවායින් පසු, මණ්ඩපයේ සැලැස්ම මෙන්ම එහි අරමුණ පිළිබඳව සවිස්තරාත්මකව දැන සිටි මෝසෙස්, ආරොන් හා බෙශලෙල් වැනි අයගෙන් ඒ පිළිබඳව තවත් බොහෝ දෑ ඉගෙනීමට අපට හැකි වනු ඇත.—නික්මයාම 36:1.
[පාදසටහන]
a ගිවිසුම් පෙට්ටිය මණ්ඩපයේ නියමිත ස්ථානය තුළ තබා තිබියදී පවා පොලු දෙක වළලුවලින් පිටතට ගැනීම තහනම් කර තිබිණ. එබැවින් ඒ පොලු වෙන කිසිම දෙයක් සඳහා භාවිත කළ නොහැකි විය. තවද ගිවිසුම් පෙට්ටියට කිසිවෙකු අත තැබුවේද නැත. එහෙත්, පොලු වළලුවලින් අහක් කර පිටත තබා තිබුණා නම්, ගිවිසුම් පෙට්ටිය අලුත් ස්ථානයකට රැගෙන ගිය සෑම විටකදීම ඒවා නැවත වළලු තුළට දැමීමට සිදු වන නිසා අනිවාර්යයෙන්ම ගිවිසුම් පෙට්ටිය ඇල්ලීමට සිදු වනු ඇත. එමනිසා ගණන් කථාවේ 4:6හි ‘පොලු ඇතුලට දැමීම [NW]’ ගැන කතා කරන විට ඉන් අදහස් කරන්නේ ගිවිසුම් පෙට්ටිය අලුත් කඳවුරකට රැගෙන යෑමේදී පොලු නිසියාකාරව සකස් කිරීම ගැන විය හැක.