බයිබලය එපරිද්දෙන්ම පිළිගන්න
“නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.”—1 තෙසලෝනික 2:13.
1. බයිබලය සැබවින්ම කැපීපෙනෙන පොතක් බවට පත් කරන්නේ එහි අඩංගු කිනම් ආකාරයේ තොරතුරුද?
බයිබලය වනාහි, ලෝකයේ වඩාත්ම පෘථුලව පරිවර්තනය කොට ඇති, පුළුල් ලෙස බෙදාහැර ඇති පොතය. එය වනාහි සාහිත්‍යයේ මහා ග්රන්ථවලින් එකක් යයි අප්‍රමාදව පිළිගනු ලැබේ. කෙසේවුවද, තමන්ගේ ජීවිතයේ පදවිය හෝ තත්වය කුමක් වුවත්, සෑම ජාතියකම ජනයාට ක්ෂණිකව අවශ්‍ය කරන මාර්ගෝපදේශයක් බයිබලය සපයයි. (එළිදරව් 14:6, 7) මනස සහ හෘදය යන දෙකම සෑහීමකට පත් කරවන ලෙසින්, බයිබලය මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු දෙයි: ඒවා නම්, මිනිස් ජීවිතයේ අරමුණ කුමක්ද? (උත්පත්ති 1:28; එළිදරව් 4:11) දිගු කාලීන සාමය සහ සුරක්ෂිතභාවය ගෙන ඒමට මිනිස්වර්ගයාගේ ආණ්ඩුවලට නොහැකි වී තිබෙන්නේ මන්ද? (යෙරෙමියා 10:23; එළිදරව් 13:1, 2) මිනිසුන් මියයන්නේ මන්ද? (උත්පත්ති 2:15-17; 3:1-6; රෝම 5:12) ගැටලු සහිත මෙම ලෝකය මධ්‍යයේ, ජීවිතයේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැක්කේ කෙසේද? (ගීතාවලිය 119:105; හිතෝපදේශ 3:5, 6) අප සඳහා අනාගතයේ තිබෙන්නේ කුමක්ද?—දානියෙල් 2:44, 45; එළිදරව් 21:3-5.
2. බයිබලය අපගේ ප්‍රශ්නවලට සම්පූර්ණයෙන්ම රඳාපැවතිය හැකි පිළිතුරු දෙන්නේ මන්ද?
2 බයිබලය එවැනි ප්‍රශ්නවලට අධිකාරයක් සහිතව පිළිතුරු දෙන්නේ මන්ද? මන්ද එය දෙවියන්වහන්සේගේ වචනය නිසාය. උන්වහන්සේ එය ලිවීමට මිනිසුන්ව යොදාගත්සේක, නමුත් 2 තිමෝති 3:16හි පැහැදිලිව ප්‍රකාශ කරන්නාක් මෙන්, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල” එයය. එය වනාහි මිනිසා සම්බන්ධ සිද්ධීන් පිළිබඳ පෞද්ගලික අර්ථ කථනයක බිහිවීමක් නොවේ. “අනාගතවාක්‍යයක් [පැමිණීමට තිබෙන දේවල් පිළිබඳ ප්‍රකාශ, දිව්‍ය ආඥා, බයිබලයේ සදාචාර ප්‍රමිති] මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.”—2 පේතෘස් 1:21.
3. (අ) විවිධ රටවල වෙසෙන ජනයා විසින් බයිබලය ඉහළින්ම අගය කරනු ලැබ තිබෙන අන්දම පෙන්වන උදාහරණ දෙන්න. (ආ) ශුද්ධ ලියවිලි කියවීම පිණිස, තම ජීවිත පරදුවට තැබීමට පුද්ගලයන් කැමැත්තෙන් සිටියේ මන්ද?
3 බයිබලයේ වටිනාකම අගය කිරීම නිසා, සිරගතවීමට සහ මරණයට පවා පත්වන තරමට තම ජීවිත පරදුවට තබා ඇත්තේ ස්වල්පදෙනෙකු නොවේ. මෙය වසර ගණනාවකට පෙර, කතෝලික ස්පාඤ්ඤයේ සත්‍යයක් වූ අතර, ජනයා තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්නේ නම්, ඔවුන් කෙරෙහි තමන් දක්වන බලපෑම හීනවනු ඇතැයි මෙහි වූ පූජකයෝ භය වූහ; එය සියලුම ආගමික බලපෑම් නිමා කිරීම පිණිස අදේවවාදී පාලනයක් යටතේ දැඩි ක්‍රියා මාර්ග ගනු ලැබූ ඇල්බේනියාවේද මෙය සැබෑවක් විණ. එහෙත්, දේව-භයැති පුද්ගලයෝ ශුද්ධ ලියවිලි පිටපත් ඉතා මැනවින් ආරක්ෂා කරගෙන, ඒවා කියවා ඒවා එකිනෙකා සමඟ බෙදාගත්හ. දෙවන ලෝක යුද්ධය අතරතුරේදී, සාක්සෙන්හව්සෙන් වධක කඳවුරේ, එක් සිර කුටියක සිට තවත් සිර කුටියකට ඉතා සුපරීක්ෂාවෙන් බයිබලය අතිනත යැවුණු අතර (මෙය තහනම් කරනු ලැබ තිබුණද), එය ලබාගත හැකි වූ අය, වෙනත් අය සමඟ බෙදාගැනීම සඳහා එහි කොටස් මතක තබාගත්හ. එක්දහස් නවසිය පණස් ගණන් අතරතුරේදී, එවකට කොමියුනිස්ට්වාදී නැගෙනහිර ජර්මනිය යයි හැඳින්වූ රටෙහි, සිරගත කරනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, රාත්‍රි කාලයේදී කියවීම සඳහා බයිබලයේ කුඩා කොටසක් එක සිරකරුවෙකුගෙන් තවත් සිරකරුවෙකුට අතිනත යවමින්, තවත් දීර්ඝ කාලයකට තමන්ව සිරගත කරනු ලැබීමේ අවදානමට මුහුණ දුන්නේ තම ඇදහිල්ල නිසාය. ඔවුන් එය කළේ මන්ද? මන්දයත්, බයිබලය වනාහි දෙවියන්වහන්සේගේ වචනය බවට ඔවුන් පිළිගත් නිසාය, තවද “මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොව . . . ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන්” බව ඔවුන් දැන සිටි නිසාය. (ද්විතීය කථාව 8:3) බයිබලයේ වාර්තා ගත වී ඇති මෙම කියමන් නිසා, විශ්වාස කළ නොහැකි තරම් වූ කෲරකම්වලට යටත්වීම අභිබවා ආත්මිකව ප්‍රාණවත්ව සිටීමට එම සාක්ෂිකරුවන්ට හැකියාව ලැබිණ.
4. අපගේ ජීවිතය තුළ බයිබලයට තිබිය යුත්තේ කිනම් ස්ථානයද?
4 බයිබලය වනාහි ඉඳහිට දේවල් සොයා බැලීම සඳහා හුදෙක් රාක්කයක් මත තිබෙන පොතක් නොවේ, එමෙන්ම සෙසු ඇදහිලිවන්තයන් සමඟ නමස්කාරය සඳහා එක්රැස්වන විට පමණක් භාවිත කිරීම සඳහා අදහස් කරන ලද පොතක්ද නොවේ. අප මුහුණ දෙන තත්වයන් මතට ආලෝකය හෙලීමටත්, ගමන් කළ යුතු මාර්ගය අපට පෙන්වීමටත්, එය සෑම දිනකම භාවිත කළ යුතුය.—ගීතාවලිය 25:4, 5.
කියවීමට හා තේරුම්ගැනීමට අදහස් කරන ලදි
5. (අ) උපරිම හැකියාවෙන්, අප සෑම කෙනෙකුම සතුව තිබිය යුත්තේ කුමක්ද? (ආ) ඉපැරණි ඉශ්‍රායලයේ, ජනයා ශුද්ධ ලියවිලිවල අඩංගු දේ සොයා බැලුවේ කෙසේද? (ඇ) බයිබලය කියවීම කෙරෙහි ඔබගේ ආකල්පයට, ගීතාවලිය 19:7-11 බලපෑම් කළ යුත්තේ කෙසේද?
5 අපගේ දවසේදී, රටවල් වැඩි ගණනක බයිබලය ඉතා පහසුවෙන් ලබාගත හැකි අතර, එහි පිටපතක් ලබාගන්නා මෙන්, මුරටැඹ සඟරාව කියවන සෑම පාඨකයෙකුගෙන්ම අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. බයිබලය ලියනු ලබමින් තිබුණු වකවානුවේ, මුද්‍රණාල කිසිවක් තිබුණේ නැත. පොදු ජනයාට පෞද්ගලික පිටපත් තිබුණේ නැත. එහෙත්, ලියා තිබුණු දේ කියවනු ලැබීමට යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් සඳහා විධිවිධාන යෙදූසේක. මෙසේ, නික්මයාම 24:7 වාර්තා කරන්නේ, යෙහෝවඃවහන්සේ විධාන කොට තිබූ දෙය මෝසෙස් ලියූ පසු, ඔහු “ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය” යනුවෙනි. සීනායි කන්දේදී සිදුවූ අධිස්වාභාවික විදහාදැක්වීම් සියැසින්ම දැක තිබූ ඔවුහු, මෝසෙස් කියවූ දෙය දෙවියන්වහන්සේගෙන් පැමිණි බවත්, මෙම තොරතුරු තමන් විසින් දැනගැනීම වුවමනා කළ බවත් වටහාගත්හ. (නික්මයාම 19:9, 16-19; 20:22) දෙවියන්වහන්සේගේ වචනයේ වාර්තා වී ඇති දෙය කුමක්ද කියා දැනගැනීමට අපටත් අවශ්‍යය.—ගීතාවලිය 19:7-11.
6. (අ) ඉශ්රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර, මෝසෙස් කළේ කුමක්ද? (ආ) අපි මෝසෙස්ගේ ආදර්ශය කෙසේ අනුකරණය කරමුද?
6 පාළුකරයේ තැනින් තැන යමින් ගත කළාවූ තම ජීවිතය අත්හරිමින්, පොරොන්දු දේශයට ඇතුල් වීම සඳහා ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟ හරහා යෑමට සූදානම්වත්ම, යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාවද උන්වහන්සේ ඔවුන් සමඟ කටයුතු කළ ආකාරයද ඔවුන් විසින් සලකා බැලීම යෝග්‍ය වූයේය. දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පොලඹවනු ලැබූ මෝසෙස්, ඔවුන් සමඟ ව්‍යවස්ථාව පුනරීක්ෂණය කළේය. ඔහු ඔවුන්හට ව්‍යවස්ථාව සවිස්තරාත්මකව සිහිගැන්වූ අතර, යෙහෝවඃවහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාවට බලපෑම් කළ යුතුව තිබූ කැපීපෙනෙන ප්‍රතිපත්ති හා ආකල්පද ඉස්මතු කොට දැක්වූයේය. (ද්විතීය කථාව 4:9, 35; 7:7, 8; 8:10-14; 10:12, 13) අප අදදින අලුත් පැවරුම් භාරගනිත්ම හෝ ජීවිතයේ අලුත් තත්වයන්ට මුහුණ දෙත්ම, අප කරමින් සිටින දෙයට ශුද්ධ ලියවිලිවල උපදෙස් බලපෑ යුත්තේ කෙසේදැයි අප විසින් සලකා බැලීම ඉතා ඵලදායී වනු ඇත.
7. ඉශ්රායෙල්වරු යොර්දානෙන් එතෙරව ටික කලකට පසුව, ඔවුන්ගේ මනස් හා හෘදයන්හි යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාව කාවැද්දීමට කුමක් කරන ලද්දේද?
7 ඉශ්රායෙල්වරුන් යොර්දාන් ගඟෙන් එතෙරව ගොස් කෙටි කලකට පසු, මෝසෙස් මාර්ගයෙන් යෙහෝවඃවහන්සේ තමන්ට පවසා තිබූ දෙය යළිත් විචාරා බැලීමට සෙනඟ එක්රැස්වූහ. මෙම ජාතිය එක්රැස්වූයේ යෙරුසලමට සැතපුම් 30ක් පමණ උතුරින්ය. ගෝත්‍රවලින් අඩක් ඒබාල් කන්ද ඉදිරිපිටය, අනික් අර්ධය ගෙරිසීම් කන්ද ඉදිරිපිටය. එහිදී යෝෂුවා, “ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය.” මෙසේ, විජාතික වැසියන් සමඟින්, පුරුෂයෝ, ස්ත්‍රීහු සහ බාලයෝ, තමන් යෙහෝවඃවහන්සේව අප්‍රසාදයට ලක් කිරීමට හේතුවන චාර්යා හැසිරීම් පිළිබඳව සහ තමන් යෙහෝවඃවහන්සේට කීකරුවුවහොත් ලබන ආශීර්වාද පිළිබඳ නීති කාලෝචිත ලෙස යළිත් කියවනවා ඇසුවෝය. (යෝෂුවා 8:34, 35) යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණයට අනුව, යහපත් දේ කුමක්ද සහ නරක දේ කුමක්ද කියා මනසේ පැහැදිලි කරගැනීමට ඔවුන්ට අවශ්‍ය විණ. එපමණක්දනොව, අපත් අදදින කළ යුතුවාක් මෙන්ම, යහපත් දේට ප්‍රේමයක්ද නපුරු දේට වෛරයක්ද තමන්ගේ හදවත්වල පැළපදියම් කරගැනීමට ඔවුන්ට අවශ්‍ය විණ.—ගීතාවලිය 97:10; 119:103, 104; ආමොස් 5:15.
8. ඉශ්රායෙලයේ එක්තරා ජාතික එක්රැස්වීම්වලදී, දේවවචනය කලින් කලට කියවීමේ ප්‍රයෝජන කුමක් වීද?
8 එම ඓතිහාසික සිද්ධීන් ගැන ව්‍යවස්ථාවේ සඳහන් වාර්තාවන් කියවනවාට අමතරව, දේවවචනය නිතිපතා කියවීම පිළිබඳව ද්විතීය කථාව 31:10-12හි සඳහන් කොට තිබිණ. සෑම හත්වන අවුරුද්දේදීම, මුළු මහත් ජාතියම දේව වචනය ඇසීම සඳහා එකට රැස්විය යුතුව තිබිණ. මෙය ඔවුන් උදෙසා ආත්මික ආහාර ලබා දුන්නේය. එය වංශය පිළිබඳ පොරොන්දු ඔවුන්ගේ මනස්වල හා හෘදයේ ජීවමානව තැබූ අතර, මෙසේ, ඇදහිලිවන්තයන්ව මෙසියස්වහන්සේ වෙතට මඟ පෙන්වීය. පාළුකරයේදී ඉශ්රායෙල් ජනයා සඳහා පිහිටුවනු ලැබූ ආත්මික පෝෂණය සඳහා වූ වැඩසටහන, ඔවුන් පොරොන්දු දේශයට ඇතුළත් වූ විට වියැකී ගියේ නැත. (1 කොරින්ති 10:3, 4) ඒ වෙනුවට, තවදුරටත් අනාගතවක්තෲන් විසින් කරන ලද හෙළි කිරීම්වලින් දේවවචනයේ ගුණාත්මක බව ඉහළ නංවන ලදි.
9. (අ) ඉශ්රායෙල්වරුන් ශුද්ධ ලියවිලි කියවූයේ ඔවුන් විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වූ අවස්ථාවන්හි පමණද? පැහැදිලි කරන්න. (ආ) තනි පවුල් ඇතුළත, ශුද්ධ ලියවිලිවලින් උපදෙස් දෙනු ලැබුවේ කෙසේද, කිනම් පරමාර්ථයක් සහිතවද?
9 දේවවචනයේ උපදෙස් යළිත් විචාරා බැලීම, ජනයා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වූ එම කාලවලට පමණක් සීමා නොවීය. දේවවචනයේ කොටස් සහ එහි අන්තර්ගතවී තිබූ ප්‍රතිපත්ති සෑම දවසකම සාකච්ඡා කළ යුතුව තිබිණ. (ද්විතීය කථාව 6:4-9) අදදින වැඩිමනත් ප්‍රදේශවල, යෞවනයන්ට බයිබලයේ පෞද්ගලික පිටපතක් ලබාගත හැකිව තිබෙන අතර, එය ඔවුන් ලබාගැනීම ඔවුන්ට ඉතා ප්රයෝජනවත්ය. එහෙත්, ඉපැරණි ඉශ්‍රායලයේ තත්වය එය නොවීය. පසුගිය අතීත කාලවලදී, ඔවුන්ට රඳා පැවතීමට සිදුවූයේ, තමන් මතක තබාගෙන තිබූ දේ හා තමන්ගේ හෘදයන්හි ඉතා පරෙස්සමෙන් රැකගෙන තිබූ සත්‍යයන් හා තමන් පෞද්ගලිකව ලියා තබාගෙන ඇති මොනයම් හෝ කුඩා සටහන් මතය. යළි යළිත් නිතර නිතර උච්චාරණය කිරීම මගින්, ඔවුන් තම දරුවන් තුළ යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග සඳහා ප්‍රේමයක් ගොඩනැංවීමට මහත් උත්සාහයක් දරනු ඇත. මෙහි පරමාර්ථය වූයේ, හුදෙක් කාරණා හිසේ පුරවාගෙන සිටීම නොවේ, නමුත්, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ වචනය සඳහා ප්‍රේමයක් විදහා දක්වන ආකාරයකින් ජීවත්වීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම උපකාර කිරීමටය.—ද්විතීය කථාව 11:18, 19, 22, 23.
සිනගෝගවල ශුද්ධ ලියවිල්ල කියවීම
10, 11. සිනගෝගවල, ශුද්ධ ලියවිලි කියවීම පිළිබඳ කිනම් වැඩසටහන් අනුගමනය කරන ලද්දේද? යේසුස්වහන්සේ මෙම අවස්ථාවන් සැලකුවේ කෙසේද?
10 යුදෙව්වන්ව බබිලෝනියේ වහල්භාවයට රැගෙන ගොස් ටික කලකට පසුව, නමස්කාරය සඳහා සිනගෝග ස්ථාපිත කරන ලදි. මෙම රැස්වීම් ස්ථානවල, දේවවචනය කියවීම සහ සාකච්ඡා කිරීම සඳහා, ශුද්ධ ලියවිල්ලේ වැඩිමනත් පිටපත් සාදන ලදි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල කොටස් අඩංගු වන අතින් ලියන ලද ඉපැරණි පිටපත් 6000ක් තවමත් පැවත තිබීමට මෙය සාධකයක් වූයේය.
11 නවීන බයිබල්වල පළමු පොත් පහට සමාන වූ ටෝරා නම් පොත කියවීම, සිනගෝගයේ ආගමික සේවය තුළ වැදගත් කොටසක් වූයේය. පොදු යුගයේ පළමු සියවසේ සෑම සබත් දවසකම එවැනි කියවීමක් තිබුණු බවට ක්‍රියා 15:21 වාර්තා කරන අතර, දෙවන සියවස වන විට, සතියේ දෙවන හා පස්වන දිනවල, ටෝරා කියවීම් කරන ලදි. පුද්ගලයෝ ගණනාවක්, එක්කෙනෙකුට පසුවට තවත් කෙනෙකු බැගින්, තමන්ට පවරා ඇති කියවීම් කළාහ. බබිලෝනියේ විසූ යුදෙව්වන්ගේ සිරිත වූයේ මුළු ටෝරා ග්රන්ථයම වාර්ෂිකව කියවීමයි; පලස්තීනයේ සිරිත වූයේ, අවුරුදු තුනක කාලයක් පුරා මෙම කියවීම කරනු ලැබීමයි. අනාගතවක්තෘන්ගේ ලියවිලිවලින් කොටසක්ද කියවා පැහැදිලි කරන ලදි. යේසුස්වහන්සේ ජීවත්වූ ප්‍රදේශයේ සබත් බයිබල් කියවීම්වලට පැමිණීම උන්වහන්සේගේ සිරිත විය.—ලූක් 4:16-21.
පෞද්ගලික ප්‍රතිචාරය සහ අදාළ කිරීම
12. (අ) මෝසෙස් ජනයාට ව්‍යවස්ථාව කියවන විට, ජනයා ඉන් ප්‍රයෝජන ලැබුවේ කෙසේද? (ආ) ජනයා ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
12 දේවානුභාව ලත් ශුද්ධ ලියවිලි කියවීම හුදෙක් නිකම්ම චාරිත්‍රයක් ලෙස කරනු ලබන යමක් වීමට අදහස් නොකරන ලදි. එය කරන ලද්දේ හුදෙක් මිනිසුන්ගේ කුතුහලය තෘප්තිමත් කිරීමට නොවේ. මෝසෙස් සීනයි කන්දට මුහුණලා තැනිතලාවේ සිට “ගිවිසුමේ පොත” කියවන විට, ඔහු එය කළේ ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ ඇති වගකීම් දැනගෙන ඒවා ඉටු කරන පිණිසය. ඔවුන් එසේ කරනු ඇද්ද? කියවීම නිසා ඔවුන්ට ඊට ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍ය විය. ජනයා එය පිළිගත් අතර, “ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි [එමෙන්ම කීකරුවන්නෙමුයයි, NW] හඬ නඟා කීවෝය.”—නික්මයාම 24:7; සසඳන්න නික්මයාම 19:8; 24:3.
13. අකීකරුකම නිසා පැමිණෙන විපත් ගැන යෝෂුවා කියවූ විට, ජනයා කුමක් කළ යුතුව තිබිණිද, කිනම් පරමාර්ථයක් සහිතවද?
13 පසුව, යෝෂුවා ජනයාහට පෙරොන්දු වූ ආශීර්වාද සහ ශාප හෝ විපත්ති ගැන කියවූ විට, ප්‍රතිචාරයක් අපේක්ෂා කරන ලදි. එක් එක් විපත්ති ගැන සඳහන් කළායින් පසු, “මුළු සෙනඟ: ආමෙන් කියත්වා” යනුවෙන් කීමට උපදෙස් දෙන ලදි. (ද්විතීය කථාව 27:4-26) මෙසේ, එක් එක් කරුණ සඳහන් කරන කල, යෙහෝවඃවහන්සේ විසින් හෙළාදකින ලද වැරදි දේවල් සඳහන් කරනු ලැබූ විට, ඔවුහු ඒ එක එකක් සම්බන්ධයෙන් තම එකඟත්වය පළ කළෝය. මුළු මහත් ජාතියම මහ හඬින් තම එකඟතාව පළ කළ විට, එය මොනතරම් සිත්ලගන්නාසුලු සිද්ධියක් වන්ට ඇත්ද!
14. නෙහෙමියාගේ දවස්වලදී, ව්‍යවස්ථාව ප්‍රසිද්ධියේ කියවීම විශේෂයෙන් ප්‍රයෝජනවත් බවට ඔප්පු වූයේ කෙසේද?
14 ව්‍යවස්ථාව ඇසීමට සියලු ජනයා යෙරුසලමට එක්රැස්වූ, නෙහෙමියාගේ දවස්වලදී, තමන් එහි ලියා තිබෙන උපදෙස් මුළුමනින්ම පිළිපදිමින් සිටියේ නැති බව ඔවුහු දුටුවෝය. එම අවස්ථාවේදී, ඔවුහු තමන් ඉගෙනගත් දේ එකෙණෙහිම අදාළ කරගත්තෝය. ප්‍රතිඵලය වූයේ කුමක්ද? “ඉතා මහත් සන්තෝෂයක්ද විය.” (නෙහෙමියා 8:13-17) උත්සව කාලය අතරතුරේදී, සතියක දිනපතා බයිබල් කියවීමෙන් අනතුරුව, තවත් බොහෝ දේ අවශ්‍ය කරන බව ඔවුහු වටහාගත්හ. ආබ්‍රහම්ගේ දවස්වලට පටන්, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයා සමඟ කටයුතු කිරීම පිළිබඳ වාර්තාව ඔවුහු යාච්ඤාපූර්වකව යළි සලකා බැලූහ. ව්‍යවස්ථාවේ අවශ්‍යතාවන්ට ඇලී සිටීමටත්, විදේශීන් සමඟ අන්තර්විවාහවලින් වැළකී සිටීමටත්, දේවමාළිගාව සහ එහි සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධ වගකීම භාරගැනීම පිණිසත්, භාරයක් වීමට මේ සියල්ල ඔවුන්ව පොලඹවාලූයේය.—නෙහෙමියා, පරිච්ඡේද 8-10.
15. පවුල් ඇතුළත, දේවවචනයෙන් උපදෙස් දෙනු ලැබීම හුදෙක් චාරිත්‍රයක් නොවිය යුතු බවට, ද්විතීය කථාව 6:6-9හි උපදෙස්වලින් පෙන්වන්නේ කෙසේද?
15 ඒ හා සමානව, පවුල් තුළ, ශුද්ධ ලියවිලි ඉගැන්වීම හුදෙක්ම සිරිතක් හැටියට කරනු ලබන දෙයක් වීමට අදහස් නොකරන ලදි. දැනටමත් දැක තිබෙන පරිදි, ද්විතීය කථාවේ 6:6-9හි රූපික යෙදුමට අනුව, ‘දෙවියන්වහන්සේගේ වචනය ඔවුන්ගේ අත්වල ලකුණක් ලෙස බැඳගැනීමට’ ජනයාහට පවසන ලදි— මෙසේ, යෙහෝවඃවහන්සේගේ මාර්ග සඳහා ඔවුන්ගේ ප්‍රේමය ආදර්ශයෙන්ද ක්‍රියාවෙන්ද නිරූපනය කරනු ලැබේ. තවද දෙවියන්වහන්සේගේ වචන ‘ඔවුන්ගේ ඇස් අතරේ නළල් පටි’ ලෙස තබාගැනීමට තිබිණ—මෙසේ, ශුද්ධ ලියවිලිවල අන්තර්ගතව ඇති ප්‍රතිපත්ති මනසේ තබාගැනීමටත්, ඒවා තම තීරණවලදී පදනමක් වශයෙන් යොදාගැනීමටත්, නිරතුරුවම හැකිකම තිබිණ. (නික්මයාම 13:9, 14-16හි යොදා ඇති භාෂාව සසඳන්න.) ඒවා ඔවුන්ගේ ‘නිවෙස්වල උළුවහුවලද දොරටුවලද ලියා තැබිය යුතුව’ තිබිණ.—මෙසේ, ඔවුන්ගේ නිවෙස් හා ඔවුන්ගේ ප්‍රජාවන්, දේවවචනයට ගෞරව කරනු ලැබූ සහ එය අදාළ කරනු ලැබූ ස්ථාන ලෙස හඳුනාගත හැකි විණ. වෙනත් වචනවලින් කියතොත්, තමන් යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ප්‍රේම කළ බවටත් තමන් ඒවා අදාළ කරගත් බවටත්, ඔවුන්ගේ ජීවිතවලින් බහුල ලෙස සාක්ෂි දිය යුතුව තිබිණ. එය මොනතරම් ප්‍රයෝජනවත් වීද! අපගේ පවුලේ සාමාජිකයන් අතර එදිනෙදා ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ වචනයට ඒ ආකාර ප්රමුඛත්වයක් දෙනු ලැබ තිබේද? කනගාටුවට කරුණක් නම්, යම් පළඳනා ලෙස මෙම ශුද්ධ ලියවිලි අඩංගු හම් පෙට්ටි පළඳමින් යුදෙව්වන් මේ සියල්ලම නිකම්ම චාරිත්‍රයක් බවට පත් කරගැනීමයි. ඔවුන්ගේ නමස්කාර හෘදවලින් පැමිණීම නතර වූ අතර, යෙහෝවඃවහන්සේ විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි.—යෙසායා 29:13, 14; මතෙව් 15:7-9.
අධික්ෂණ තත්වයන්හි සිටින අයගේ වගකීම
16. නිතිපතා ශුද්ධ ලියවිලි කියවීම යෝෂුවාට වැදගත් වූයේ මන්ද?
16 ශුද්ධ ලියවිලි කියවීම සම්බන්ධ කාරණය ගත් කල, ජාතියේ අවේක්ෂකයන් වූ අයට විශේෂ අවධානයක් යොමු කරන ලදි. යෙහෝවඃවහන්සේ යෝෂුවාට මෙසේ පැවසූසේක: “ව්‍යවස්ථා පො[තේ] . . . ලියා තිබෙන සියල්ල කරන්ට බලාග[නි]න්න.” ඔහු විසින් එම වගකීම ඉටු කිරීමේ අදහසින්, ඔහුට මෙසේද පවසන ලදි: “රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.” (යෝෂුවා 1:7, 8) අදදින ඕනෑම ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට දී තිබූ විශේෂ ආඥා මනසේ පැහැදිලිව තබාගැනීමට, යෝෂුවා විසින් ශුද්ධ ලියවිලි නිතිපතා කියවීම ඔහුට උපකාරවත් වනු ඇත. යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් සමඟ විවිධ තත්වයන් යටතේ කටයුතු කළ ආකාරය තේරුම්ගැනීමටද යෝෂුවාට අවශ්‍ය විණ. දෙවියන්වහන්සේගේ අරමුණ පිළිබඳ ප්‍රකාශ ඔහු කියවත්ම, එම අරමුණ සම්බන්ධව තමාගේම වගකීම ගැන සිතා බැලීම ඔහුට වැදගත් විය.
17. (අ) යෙහෝවඃවහන්සේ ප්‍රකාශ කළ ආකාරයට, රජවරුන් විසින් ශුද්ධ ලියවිලි කියවීමෙන් ප්‍රයෝජන ගැනීමට නම්, ඔවුන්ගේ කියවීම සමඟම කුමක් කිරීම අවශ්‍යව තිබුණිද? (ආ) නිතිපතා බයිබලය කියවීම සහ මෙනෙහි කිරීම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා ඉතා වැදගත් වන්නේ මන්ද?
17 පූජකයන් විසින් තබාගෙන තිබූ දේවවචනයේ පිටපත මත පදනම් කරගනිමින්, තම රාජ්‍ය පාලනයේ ආරම්භයේ සිට ඉන් පිටපතක් සෑදිය යුතු බව ස්වකීය ජනයා කෙරෙහි පාලනය කළ ඕනෑම කෙනෙකුට යෙහෝවඃවහන්සේ අණ කර තිබිණ. අනතුරුව, ඔහු එය ‘තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී . . . කියවිය’ යුතු විය. මෙහි පරමාර්ථය වූයේ, එහි අඩංගු දේවල් නිකම්ම මතක් කිරීම නොවේ. ඒ වෙනුවට, “තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිස[ත්],” “ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී” තිබෙන පිණිසත්ය. (ද්විතීය කථාව 17:18-20) ඔහු තමා කියවමින් සිටි දෙය ගැඹුරින් මෙනෙහි කිරීමද මීට අවශ්‍ය කෙරිණ. තමන් පරිපාලන රාජකාරීන් සමඟ කාර්ය බහුලව සිටිය බවක් ඇතැම් රජවරුන් සිතූ බවට පෙනෙන්ට ඇති අතර, ඔවුන්ගේ නොසැලකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූයේ මුළු ජාතියටම දුක් විඳින්ට සිදුවීමයි. ක්‍රිස්තියානි සභාවල වැඩිමහල්ලන්ගේ කාර්යභාරය, කෙලෙසකින්වත් රජවරුන්ගේ කාර්යභාරය මෙන් නොවේ. කෙසේවෙතත්, රජවරුන් සම්බන්ධයෙන් සත්‍යයක් වූවාක් මෙන්, වැඩිමහල්ලන් දේවවචනය කියවා ඒ මත මෙනෙහි කිරීම අතිශයින්ම වැදගත්ය. ඔවුන් එසේ කිරීම, තමන්ගේ භාරයට දී තිබෙන අය පිළිබඳව නිසි දෘෂ්ටියක් පවත්වාගැනීමට එය ඔවුන්ට උපකාරවත් වනු ඇත. ඔවුන් ගුරුවරුන් වශයෙන්, දෙවියන්වහන්සේට සැබෑ ලෙස ගෞරවය ගෙනඑන ආකාරයකින්ද, සෙසු ක්‍රිස්තියානීන්ව ආත්මිකව ආරක්ෂා කරන ආකාරයකින්ද, තමන්ගේ වගකීම ඉටු කිරීමට එය ඔවුන්ට හැකිකම දෙනවා ඇත.—තීතස් 1:9; සසඳන්න යොහන් 7:16-18; වෙනස සසඳන්න 1 තිමෝති 1:6, 7.
18. නිතිපතා බයිබලය කියවීම සහ අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අප විසින් අනුකරණය කළ යුත්තේ ප්‍රේරිත පාවුල්ගේ කිනම් ආදර්ශයද?
18 පළමු සියවසේ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ ප්‍රේරිත පාවුල් වනාහි ආනුභාව ලත් ශුද්ධ ලියවිලි මැනවින් දැන සිටි කෙනෙකු වූයේය. ඉපැරණි තෙසලෝනිකයේ ජනයාට සාක්ෂි දරමින් සිටින විට, ඔවුන් සමඟ ශුද්ධ ලියවිලිවලින් බලපෑමෙන් යුක්ත ලෙස විමර්ශනය කිරීමටත්, ඒවායේ අර්ථය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමටත් ඔහුට හැකි විය. (ක්‍රියා 17:1-4) ඔහු අවංක සවන්දෙන්නන්ගේ හෘදයන්ට ළඟා විය. මෙසේ, ඔහුට සවන් දුන් බොහෝදෙනෙක් ඇදහිලිවන්තයෝ බවට පත්වූහ. (1 තෙසලෝනික 2:13) බයිබලය කියවීම හා අධ්‍යයනයට සම්බන්ධ ඔබගේ වැඩසටහනේ ප්‍රතිඵලයක් වශයෙන්, ශුද්ධ ලියවිලිවලින් බලපෑමෙන් යුතුව විමර්ශනය කිරීමට ඔබට හැකිවේද? ඔබගේ ජීවිතය තුළ බයිබලය කියවීමට ඔබ දී ඇති ස්ථානයෙන් හා ඔබ එය කියවන ආකාරයෙන්, ඔබ එය සැබවින්ම අගය කරන බවටත්, ඔබ ළඟ දේවවචනය තිබෙනවාය කීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැනත්, ඉන් සාක්ෂි දෙනවාද? තම ජීවිතයේ ඉතා වැඩ බහුලව සිටින අයට පවා, මෙම ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු දිය හැකි ආකාරය අප ඊළඟ ලිපියෙන් සලකා බලනවා ඇත.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ බයිබලය කියවීම පිණිස, ජනයා තම ජීවිත හා නිදහස පරදුවට තැබීමට කැමති වී ඇත්තේ මන්ද?
◻ දේවවචනය ඇසීම සඳහා ඉපැරණි ඉශ්රායෙල් ජනයා සඳහා කර තිබූ සැපයුම් යළි සලකා බැලීමෙන් අප ප්‍රයෝජන ලබනු ඇත්තේ කෙසේද?
◻ බයිබලයෙන් අප කියවන දේ සමඟ අප කුමක් කළ යුතුද?
◻ බයිබලය කියවීම සහ මෙනෙහිකිරීම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට විශේෂයෙන් වැදගත් වන්නේ මන්ද?
[9වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ යෝෂුවාට මෙසේ කීසේක: “නුඹ එය රෑ දාවල් සිහින් හඬින් කියවිය යුතුය”