13වන පරිච්ඡේදය
“යෙහෝවාගේ ව්‍යවස්ථාව පරිපූර්ණය”
1, 2. බොහෝදෙනෙක් නීතිය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ ඇයි? අපට යෙහෝවාගේ නීති ගැන කෙසේ හැඟෙන්නට පුළුවන්ද?
“නීතිය යනු පතුලක් නැති වළකි. එය . . . සියල්ල විකා විනාශ කර දමයි.” මෙම ප්රකාශනය දක්නට ලැබෙන්නේ 1712 පමණ අතීතයේදී ලියවුණු පොතකයි. ඇතැම් අවස්ථාවලදී නඩුවලට පැටලුණු අයව බංකොලොත්භාවයට පත් කරමින් වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය නඩු ඇතුළත් නීති පද්ධතීන් ගැන එහි කර්තෘවරයා ප්‍රසිද්ධියේ හෙළා දකිමින් කතා කළා. ඇතැම් රටවල නීති කොතරම් සංකීර්ණබවින්, අයුක්තියෙන්, අගතියෙන් හා අනිත්යබවින් පිරී තිබෙනවාද කියතොත්, සෑම තැනකම පාහේ නීතිය උපහාසයට ලක් කොට තිබෙනවා.
2 ඊට හාත්පසින්ම වෙනස්ව, මීට වසර 2,700කට පමණ පෙරාතුව ලියන ලද මෙම වචන සලකා බලන්න. “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද!” (ගීතාවලිය 119:97) ගීතිකාකරුට මෙතරම් ප්‍රබල හැඟීමක් ඇති වුණේ ඇයි? ඔහු වර්ණනා කළ ඒ ව්‍යවස්ථාව හෙවත් නීති සම්පාදනය කළේ ලෞකික ආණ්ඩුවකින් නොව නමුත් යෙහෝවා දෙවි නිසයි. ඔබ යෙහෝවාගේ නීති ගැන ඉගෙනගනිත්ම, ඔබට වැඩි වැඩියෙන් හැඟෙන්නේ ගීතිකාකරුට හැඟුණු විදිහටම විය හැකියි. එලෙස ඔබ අධ්‍යයනයක් කරනවා නම්, මේ විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම විනිශ්චයමය මනස ගැන තියුණු අවබෝධයක් ලබාගන්නට ඔබට හැකි වේවි.
අතිශ්‍රේෂ්ඨ නීති දායකයාණෝ
3, 4. යෙහෝවා නීති දායකයෙකු බවට ඔප්පු වූයේ කිනම් ආකාරවලින්ද?
3 “නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය” කියා බයිබලය අපට කියනවා. (යාකොබ් 4:12) ඇත්තෙන්ම, යෙහෝවා පමණයි, එකම සැබෑ නීති දායකයාණෝ. ආකාශ වස්තුවල චලනය පවා පාලනය වන්නේ ඔහුගේ “අහසේ නියෝග” අනුවයි. (යෝබ් 38:33) යෙහෝවාගේ අතිමහත් වූ ශුද්ධ දේවදූතයන්වද ඒ හා සමානව දිව්‍ය නීති මගින් පාලනය කරනු ලබනවා. ඔවුන්ව සුවිශේෂී ශ්‍රේණිවල හෙවත් තත්වයන්හි තබා සංවිධානය කර තිබෙනවා වගේම ඔවුන් දෙවිගේ සේවකයන් ලෙස ඔහුගේ අණ යටතේ සේවය කරනවා.—ගීතාවලිය 104:4; හෙබ්‍රෙව් 1:7, 14.
4 යෙහෝවා මිනිස් සංහතියටද නීති දානය කර ඇති අතර, අප එක් එක්කෙනාට හෘදය සාක්ෂියක්ද දී තිබෙනවා. එය යුක්තිය පිළිබඳ යෙහෝවාගේ හැඟීමේ පිළිබිඹුවක්. එක්තරා ආකාරයක අභ්‍යන්තර ව්‍යවස්ථාවක් වන හෘදය සාක්ෂිය, අපට උපකාරවත් වන්නේ හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්නටයි. (රෝම 2:15) අපගේ පළමු දෙමාපියන්ට යෙහෝවා ආශීර්වාද කළේ පරිපූර්ණ හෘදය සාක්ෂියක් ඔවුන්ට දානය කිරීම සමඟින්. එම නිසා ඔවුන්ට අවශ්‍ය වුණේ නීති ස්වල්පයක් පමණයි. (උත්පත්ති 2:15-17) කෙසේවෙතත්, දෙවිගේ කැමැත්ත කිරීමෙහිලා අසම්පූර්ණ මිනිසාට මඟ පෙන්වීමට නීති වැඩියෙන් අවශ්‍ය කරනවා. නෝවා, ආබ්‍රහම් සහ යාකොබ් වැනි ආදි පිතෘවරුන්ට යෙහෝවා දෙවිගෙන් නීති ලැබුණු අතර, ඔවුන් ඒවා තම පවුල්වලට කියා දුන්නා. (උත්පත්ති 6:22; 9:3-6; 18:19; 26:4, 5) මෝසෙස් මගින් ඉශ්රායෙල් ජාතියට නීති මාලාවක් දුන් අවස්ථාවේදී යෙහෝවා පෙර නොවූ විරූ ආකාරයෙන් නීති දායකයෙක් බවට පත් වුණා. මෙම නීති පද්ධතිය ගැන හදාරන විට අපට යුක්තිය පිළිබඳ යෙහෝවාගේ හැඟීම ගැන තියුණු අවබෝධයක් ලබාගන්ට පුළුවන්.
මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව—එහි සමස්ත පිංතූරය
5. මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව මහා බරක් පැටවූ කරදරකාරි සංකීර්ණ නීති පද්ධතියක් වූවාද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි?
5 මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව මහා බරක් පැටවූ සංකීර්ණ නීති සංග්‍රහයක් බව බොහෝදෙනෙක් සිතන බවක් දක්නට තිබෙනවා. එවන් සංකල්පයක් සත්‍යයෙන් බොහෝ දුරස්ව පවතින්නක්. මෙම මුළු නීති සංග්‍රහයේ නීති 600කට වඩා තිබෙනවා. එය මහා නීති කන්දරාවක් කියා කෙනෙකුට පෙනෙන්නට පිළිවන්. නමුත් මේ ගැන නිකමට සිතා බලන්න. විසිවන සියවස අවසානය වන විට, එක්සත් ජනපදයේ ෆෙඩරල් නීතිවලින්, නීති පොත් පිටු 1,50,000ක් පිරී ගියා. සෑම අවුරුදු දෙකකට වරක් තවත් නීති 600ක් පමණ එයට ඇතුළත් කරනවා! මේ අනුව මිනිසුන් විසින් බිහි කර ඇති අනන්ත අප්‍රමාණ නීති දෙස බලන විට, මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව පෙනෙන්නේ ඉතා කුඩා යමක් මෙන්. එහෙත් දෙවිගේ ව්‍යවස්ථාව තුළ, ඉශ්‍රායෙලිතයන්ගේ ජීවිතවල විවිධ පැති ආවරණය කර තිබෙනවා. වත්මන් මිනිස් නීති තවමත් මේවාට අතගසාවත් නැහැ. අපි දැන් මෙහි සමස්ත පින්තූරය දෙස සමීප බැල්මක් හෙළමු.
6, 7. (අ) මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව අනෙකුත් නීති පද්ධතීන්වලින් වෙනස් වූයේ කෙසේද? එම නීති මාලාවේ ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද? (ආ) තමන් යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගත් බව පෙන්වීමට ඉශ්‍රායෙලිතයන්ට හැකි වූයේ කෙසේද?
6 ව්‍යවස්ථාව යෙහෝවාගේ පරමාධිපත්‍යය උසස් කළා. මේ අනුව, මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව වෙනත් කිසිම නීති පද්ධතියක් සමඟ සසඳන්න බැහැ. එහි නීතිවල ශ්‍රේෂ්ඨතම එක මෙයයි. “එම්බා, ඉශ්රායෙල්, අසන්න. අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය. නුඹේ දෙවි වූ යෙහෝවාට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” දෙවිගේ ජනයා ඔහු කෙරෙහි ප්‍රේමය ප්‍රකාශ කළ යුතුව තිබුණේ කොහොමද? ඔහුගේ පරමාධිපතිකමට යටත්ව ඔවුන් ඔහුට සේවය කළ යුතුව තිබුණා.—ද්විතීය කථාව 6:4, 5; 11:3.
7 සෑම ඉශ්රායෙලිතයෙකුටම තිබූ යුතුකමක් තමයි, යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගන්නා බව පෙන්වීම. ඔවුන් එය කළේ තමන් කෙරෙහි පත් කර තිබෙන අධිකාරිත්වයට යටත් වීමෙන්. දෙමාපියන්, අධිපතීන්, විනිශ්චයකරුවන්, පූජකයන් සහ අන්තිමේදී රජවරුන් යන සියල්ලන්ම දිව්‍ය අධිකාරිත්වය නියෝජනය කළා. අධිකාරිත්වයක් හෙබවූ එවන් කෙනෙකුට විරුද්ධව යමෙක් කැරලි ගැසුවා නම්, යෙහෝවා එය සැලකුවේ තමන්ට එරෙහිව කැරලි ගැසීමක් හා සමානවයි. අනෙක් අතට, අධිකාරය හෙබවූ කෙනෙක් සිය ජනයා කෙරෙහි අයුක්තිසහගත ලෙස හෝ උඩඟුකමින් යුතුව කටයුතු කළා නම් යෙහෝවාගේ උදහස ඔහු කරා ඒමේ අවදානමට මුහුණ දීමට තිබුණා. (නික්මයාම 20:12; 22:28; ද්විතීය කථාව 1:16, 17; 17:8-20; 19:16, 17) මෙසේ, දෙවිගේ පරමාධිපත්‍යය උසස් කිරීම දෙකොට්ඨාසයටම තිබූ වගකීමක්.
8. ව්‍යවස්ථාව තුළ ශුද්ධකම පිළිබඳ යෙහෝවාගේ ප්‍රමිතිය කැපී පෙනුනේ කෙසේද?
8 ශුද්ධකම පිළිබඳ යෙහෝවාගේ ප්‍රමිතිය ව්‍යවස්ථාවෙන් කැපී පෙනුණා. “ශුද්ධ” සහ “ශුද්ධකම” යන වචන මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව තුළ 280කට වඩා වැඩි වාර ගණනක් සඳහන් වෙනවා. පවිත්‍ර හා අපවිත්‍ර දෙය අතරද නිර්මල සහ කැළැල් දේ අතරද වෙනස හඳුනාගැනීමට දෙවිගේ ජනයාට ඉවහල් වූයේද ව්‍යවස්ථාවයි. එසේ කළේ, ඉශ්රායෙලිතයෙකුව චාරිත්‍රානුකූලව අපවිත්‍ර කළ හැකි විවිධ දේවල් 70ක් පමණ සඳහන් කිරීමෙන්. ශාරීරික සෞඛ්‍යය, ආහාර සහ අපද්‍රව්‍ය බැහැර කිරීම මෙම නීතිවල කොටසක්. එවන් නීතිවලින් ලැබූ සෞඛ්‍යමය ප්‍රයෝජන කැපීපෙනෙන්ට තිබුණා.a නමුත් ඒවාට තිබුණේ ඊටත් වඩා උදාර අරමුණක්. එය නම් තමන් අවට විසූ ජාතීන්ගේ පහත් පිළිකුල් ක්‍රියාවලින් වෙන්ව යෙහෝවාගේ අනුමැතිය තුළ ජනයාව රඳවා තබාගැනීමයි. නිදසුනක් සලකා බලන්න.
9, 10. ලිංගික සම්බන්ධකම් සහ දරු උපත් සම්බන්ධයෙන් ව්‍යවස්ථා ගිවිසුමේ ඇතුළත් වී තිබුණේ කිනම් නීතිද? එවන් නීතිවලින් කිනම් ප්‍රයෝජන ලැබුණාද?
9 විවාහක පුද්ගලයන් අතර පවා සිදු වූ ලිංගික සම්බන්ධකම් හා දරු උපත් නිසා අපවිත්‍ර වීමේ කාලයක් තිබිය යුතු බව ව්‍යවස්ථා ගිවිසුමේ නීතිවල සඳහන් වුණා. (ලෙවී කථාව 12:2-4; 15:16-18) දෙවිගෙන් ලැබූ මෙම පවිත්‍ර දීමනා එවන් නීති මගින් සුළු කොට තැකීමක් කළේ නැහැ. (උත්පත්ති 1:28; 2:18-25) ඒ වෙනුවට, එවන් නීති යෙහෝවාගේ ශුද්ධකම තහවුරු කළ අතර ඔහුගේ නමස්කාරකයන්ව දූෂණය වීමෙන් වැළැක්වුවා. ඉශ්රායෙල් අවට විසූ ජාතීන් නමස්කාරය ලිංගිකත්වය සහ ප්‍රජනන චාරිත්‍ර සමඟ මිශ්‍ර කිරීමට නැඹුරු වී සිටි බව මෙහිදී සැලකිල්ලට ගන්න. පිරිමි හා ගැහැනු ගණිකා සේවය කානානීය ආගම්වල අංගයක් වුණා. එහි ප්‍රතිඵලය වූයේ, විය හැකි නීච පහත්ම ක්‍රියා දසත පැතිර යෑමයි. ඊට හාත්පසින්ම වෙනස්ව, යෙහෝවාට කරන නමස්කාරය, ව්‍යවස්ථාව මගින් ලිංගික කාරණාවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර තැබුවා.b මීට අමතරව මේ මගින් ලැබූ තවත් ප්‍රයෝජනද තිබුණා.
10 මේ නීතිවලින් ජනයාහට ඉගැන්වූයේ ඉතා වැදගත් සත්‍යතාවක්.c ඇත්ත වශයෙන්ම, එක පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ආදම්ගේ පාපයේ කැළැල් සංක්‍රමණය වන්නේ කොහොමද? එය සිදු වන්නේ ලිංගික සම්බන්ධකම් සහ දරු උපත් මගින් නොවේද? (රෝම 5:12) ඔව්, පාපයේ යථාර්ථය තමන් ඉදිරියෙහි සැමවිටම තිබෙන බව දෙවිගේ ව්‍යවස්ථාව ඔහුගේ ජනයාට සිහිගැන්වූවා. ඇත්තෙන්ම, අප සියලුදෙනාම ඉපදී සිටින්නේ පාපය උරුම කරගෙනයි. (ගීතාවලිය 51:5) අපගේ ශුද්ධ දෙවි වෙතට ළංවීම පිණිස අපට සමාව සහ මිදීමක් අවශ්‍යයි.
11, 12. (අ) ව්‍යවස්ථාව තුළ හුවා දැක්වූයේ යුක්තිය පිළිබඳ කිනම් අතිවැදගත් ප්රතිපත්තියද? (ආ) යුක්තිය පෙරළීම වැළැක්වීමට ව්‍යවස්ථාව තුළ පනවා තිබූ ආරක්ෂක නීති මොනවාද?
11 ව්‍යවස්ථාව මගින් යෙහෝවාගේ පරිපූර්ණ යුක්තිය තහවුරු කළා. යුක්තිය පිළිබඳ කාරණාවලදී, මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව තුළින් සමතුලිතතාවේ හෙවත් සමබරතාවේ ප්‍රතිපත්තිය හුවා දැක්වූවා. මේ අනුව, ව්‍යවස්ථාවේ සඳහන් වූයේ මෙයයි. “ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනු ලැබේ. ඇස හිලව්වට ඇසක්ය. දත හිලව්වට දතක්ය. අත හිලව්වට අතක්ය. පය හිලව්වට පයක්ය.” (ද්විතීය කථාව 19:21) එසේ නම්, අපරාධ නඩුවලදී, දඬුවම දිය යුතුව තිබුණේ කරන ලද අපරාධයට සරිලන විදිහටයි. දිව්‍ය යුක්තිය පිළිබඳ මෙම අංගය ව්‍යවස්ථාව පුරාම දිව ගිය අතර, 14වන පරිච්ඡේදයේ පෙන්නුම් කරන්නාක් මෙන්, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව අවබෝධ කරගැනීමට අදදිනත් එය අපට ඉතා අත්‍යවශ්‍යයි.—1 තිමෝති 2:5, 6, NW.
12 යුක්තිය පෙරළීමට එරෙහිවද ආරක්ෂක නීති ව්‍යවස්ථාවේ අන්තර්ගතව තිබුණා. නිදසුනක් වශයෙන්, යම් චෝදනාවක වලංගුභාවය ස්ථිර කිරීම පිණිස අඩු තරමින් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් අවශ්‍ය වුණා. බොරු සාක්ෂි දීමට දුන් දඬුවම ඉතා දරුණුයි. (ද්විතීය කථාව 19:15, 18, 19) තවත් තහනම්ව තිබූ දේවල් තමයි, දූෂණය සහ අල්ලස් ගැනීම හෝ දීම. (නික්මයාම 23:8; ද්විතීය කථාව 27:25) ව්‍යාපාර කටයුතුවලදී පවා, යෙහෝවාගේ ජනතාව විසින් යුක්තිය පිළිබඳ යෙහෝවාගේ උදාර ප්‍රමිති රැකිය යුතුව තිබීම අතිවිශේෂයි. (ලෙවී කථාව 19:35, 36; ද්විතීය කථාව 23:19, 20) එම අනභිභවනීය යුක්තිසහගත නීති සංග්‍රහය ඉශ්රායෙල් ජාතියට ආශීර්වාදයක් වූ බව කියන්ටත් දෙයක්ද!
විනිශ්චයේදී දයාව සහ සාධාරණව සැලකීම හුවා දැක්වූ නීති
13, 14. සොරෙකුට හා ඔහුගේ සොරකමට ගොදුරු වූ තැනැත්තාට සාධාරණව හා යුක්තිසහගත ලෙස සැලකීම ව්‍යවස්ථාව තුළ හුවා දක්වා තිබුණේ කෙසේද?
13 මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව ඉතා දැඩි නීති රීතිවලින් යුත් දයා විරහිත වූ නීති පද්ධතියක් වුණාද? කොහෙත්ම නැහැ! දාවිත් රජු දේවානුභාවයෙන් ලියුවේ, “යෙහෝවාගේ ව්‍යවස්ථාව පරිපූර්ණය” කියායි. (ගීතාවලිය 19:7, NW) ඔහු හොඳින් දැන සිටියාක් මෙන්, දයාව සහ සාධාරණව සැලකීම ව්‍යවස්ථාවෙන් හුවා දැක්වුණා. ඒ කෙසේද?
14 වර්තමානයේ බොහෝ රටවල නීති, අපරාධයකට ගොදුරු වූ තැනැත්තන් කෙරෙහි සැලකිල්ල දක්වනවාට වඩා අපරාධකරුවන් කෙරෙහි සැහැල්ලු බුරුල් ආකල්පයක් පෙන්වන බවක් දකින්ට තිබෙනවා. නිදසුනක් වශයෙන්, සොරුන්ව යම් කාලයකට සිරේ දමන්න පිළිවන්. මේ අතරතුර, සොරකමට ගොදුරු වූ අයට තමන්ගේ බඩු නොලැබුණත්, එවන් අපරාධකරුවන්ව නඩත්තු කිරීමට අවශ්‍ය හිර ගෙවල් හා කෑම බීම සඳහා බදු ගෙවන්නට සිදු වී තිබෙනවා. ඉපැරණි ඉශ්රායෙලයේ හිර ගෙවල් තිබුණේ නැහැ. තවද වරදේ බරපතළකමේ හැටියට දිය යුතු දඬුවම් දීම්වලදී පවා ඒ සම්බන්ධයෙන් දැඩි සීමාවන් පනවා තිබුණා. (ද්විතීය කථාව 25:1-3) සොරෙකුට සිදු වූයේ තමා ගත් දෙයට අනුව අයිතිකරුට වන්දි ගෙවීමටයි. මීට අමතරව, තවත් ගෙවීමක් කිරීමටද සොරාට සිදු විය. කොපමණක්ද? එය කළ අපරාධයට අනුව තීරණය වන්නක්. තවත් පෙනෙන්ට තිබුණු කාරණයක් නම්, විනිශ්චයකරුවන් යම් විනිශ්චයක් දෙන විට කිරා මැන බැලිය යුතු සාධක කිහිපයක්ම තිබීම. ඉන් එකක් නම් පව්කාරයාගේ පසුතැවිල්ලයි. ලෙවී කථාව 6:1-7 දක්වා තිබෙන තොරතුරුවලට අනුව සොරෙකුගෙන් අවශ්‍ය කරවූ වන්දිය, නික්මයාම 22:7හි විස්තර කර ඇති වන්දියට වඩා බොහෝ සෙයින් අඩුවීමට හේතුව ඉන් මොනවට පැහැදිලි වෙයි.
15. හිතා මතා නොව, හදිසි අනතුරක් හේතුවෙන් කෙනෙකු අතින් තව කෙනෙකුගේ මරණය සිදු වූවා නම්, ව්‍යවස්ථාව තුළ දයාව සහ යුක්තිය යන දෙකම තහවුරු කළේ කෙසේද?
15 ව්‍යවස්ථාවෙන් තවත් පිළිගත් දෙයක් තිබුණා. එය නම් සියලු වැරදි හිතාමතා කළ වැරදි හැටියට නොසැලකීම. නිදසුනක් වශයෙන්, යමෙක් අත්වැරැද්දකින් තවත් කෙනෙකුව මරණයට පත් කළ විට, ඉශ්රායෙලය පුරා විසිර පැවති ආරක්ෂක නුවරක් වෙතට ඔහු ඉක්මනින්ම පලා ගියා නම්, ප්‍රාණයට ප්‍රාණයක් දීමට ඔහුට සිදු වූයේ නැහැ. සුදුසුකම් ලත් විනිශ්චයකරුවන් ඔහුගේ කාරණය විනිශ්චය කළායින් පසුව, උත්තම පූජකයාගේ මරණය දක්වා ආරක්ෂා නුවර තුළ ජීවත් වීමට ඔහුට සිදු වුණා. පසුව ඔහුට නිදහස තිබුණා කැමති තැනක ජීවත් වීමට. මෙසේ, ඔහු දිව්‍ය දයාවෙන් ප්‍රයෝජන ලැබුවා. ඒ අතරම, මෙම නීතියෙන් මිනිස් ජීවිතයට ඉතා අනර්ඝ වටිනාකමක් ඇති බවද තහවුරු කළා.—ගණන් කථාව 15:30, 31; 35:12-25.
16. ව්‍යවස්ථාව ඇතැම් පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කළේ කෙසේද?
16 ව්‍යවස්ථාව තුළ පෞද්ගලික අයිතිවාසිකම්ද ආරක්ෂා කරනු ලැබුවා. ණය බරින් මිරිකී සිටි අයව ඉන් ආරක්ෂා වූ ආකාරයන් ගැන සලකා බලන්න. ණය හිමියා විසින් ණයකරුගේ නිවසට කඩා පැන ණයට හිලව්වක් වශයෙන් කිසිම භාණ්ඩයක් හෝ දේපළක් ගැනීම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබුණා. ඒ වෙනුවට, ණය හිමියා ණයකරුගේ නිවසේ පිටත සිටිය යුතුයි. එවිට ණයකරුට තම ණයේ හිලව්වට යමක් ඔහුට ගෙනැවිත් දිය හැකියි. මෙසේ, එම ණයකරුගේ නිවස ආක්‍රමණය කිරීමක් සිදු වූයේ නැහැ. ණය හිමියා හිලව්වක් හැටියට ණයකරුගේ පිටත සළුව ගත්තා නම්, රෑ බෝවීමට පෙර එය යළිත් ණයකරුට දිය යුතුව තිබුණා. මන්ද රාත්‍රියේ සීතලට උණුසුම් වීමට එය ඔහුට අවශ්‍ය වූ බවක් පෙනෙන්ට තිබූ නිසායි.—ද්විතීය කථාව 24:10-14.
17, 18. යුද්ධමය කාරණාවලදී, ඉශ්‍රායෙලිතයන් වෙනත් ජාතීන්ගෙන් වෙනස් වූයේ කෙසේද? තවද ඒ මන්ද?
17 යුද්ධ කටයුතුවලදී පවා ව්‍යවස්ථාවෙන් කොන්දේසි පනවා තිබුණා. දෙවිගේ ජනයා යුද්ධ කළ යුතුව තිබුණේ බලයට හෝ ජයග්‍රහණයට තිබූ තණ්හාවක් නිසා නොවෙයි. නමුත් ඔවුන්ට ‘යෙහෝවාගේ යුද්ධවල’ දෙවිගේ නියෝජිතයන් හැටියට කටයුතු කරන්නට සිදුවීම නිසයි. (ගණන් කථාව 21:14) බොහෝ අවස්ථාවලදී, ඉශ්‍රායෙලිතයන්ට කරන්නට තිබූ දෙය තමයි තමන් වෙතට භාර වෙන ලෙස සතුරු ජාතීන්ගෙන් ඉල්ලා සිටීම. යම් නුවරක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා නම්, එම නුවර වටලන්නට ඉශ්‍රායෙලිතයන්ට සිදු වුණා. නමුත් ඒ දෙවිගේ නීතිවලට අනුවයි. ඉතිහාසය පුරා සිටි බොහෝ සොල්දාදුවන් මෙන් නොව, ඔවුන්ට ස්ත්‍රීන්ව දූෂණය කිරීමටවත් හිත් පිත් නැති විදිහට මරා දැමීමටවත් කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඔවුන් පරිසරයට පවා ගෞරව කළ යුතුව තිබුණා. සතුරන්ට අයත් පලතුරු ගස් පෙරළා දැමීම තහනම් කර තිබුණා.d වෙනත් හමුදාවන්ට එවන් සීමා තහංචි තිබුණේ නැහැ.—ද්විතීය කථාව 20:10-15, 19, 20; 21:10-13.
18 ඇතැම් රටවල ළමුන් සොල්දාදුවන් ලෙස පුහුණු කරනු ලබන බව ඔබ අසන විට ඔබට මහත් කම්පනයක් ඇති වනවාද? ඉපැරණි ඉශ්රායෙලයේ, වයස අවුරුදු 20කට වඩා අඩු කිසිවෙකුව හමුදාවට බඳවාගත්තේ නැහැ. (ගණන් කථාව 1:2, 3) වැඩිහිටි පුද්ගලයෙකු පවා අනවශ්‍ය භයකින් සිටියා නම් එවන් කෙනෙකුවද හමුදාවට බඳවාගත්තේ නැහැ. අලුත විවාහ වූ පුරුෂයෙකුවද විවාහයෙන් වසරක් ගත වන තුරු හමුදා සේවයට යොදාගත්තේ නැහැ. ඊට හේතුව එවන් භාරදූර සේවයක් භාරගැනීමට පෙරාතුව තමන්ගේම කියා දරුවෙකුව දැකගැනීමට ඔහුට ඉඩ දීමටයි. මේ අයුරින් යෞවන පුරුෂයෙකුට තමාගේ අලුත විවාහ වූ බිරිඳව “සන්තෝෂ” කිරීමට හැකිකම තිබුණා.—ද්විතීය කථාව 20:5, 6, 8; 24:5.
19. ස්ත්‍රීන්ව, දරුවන්ව, පවුල් සාමාජිකයන්ව, වැන්දඹුවන්ව සහ අනාථ දරුවන්ව ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාව තුළ සලසා තිබූ සැපයුම් මොනවාද?
19 තවත් දෙයක් තමයි, ස්ත්‍රීන්ව, දරුවන්ව හා පවුල් ආරක්ෂා කර ඔවුන්ට දේවල් සැපයීමට ව්‍යවස්ථාවෙන් විධිවිධාන යොදා තිබීම. තම දරුවන්ට නිරන්තර අවධානය දෙමින් ආත්මික දේවල් සම්බන්ධයෙන් උපදෙස් දීමට දෙමාපියන්ට ඉන් අණ කර තිබුණා. (ද්විතීය කථාව 6:6, 7) සියලු ආකාර ව්‍යභිචාරය ව්‍යවස්ථාවේ තහනම් කොට තිබූ අතර ඊට දඬුවම වුණේ මරණයයි. (ලෙවී කථාව 18වන පරිච්ඡේදය) බොහෝවිට පවුල් බිඳ දමමින් පවුල්වල අයගේ ආරක්ෂාව හා ගෞරවය විනාශ කරන පරදාර සේවනය ඒ හා සමානව ඒ මගින් තහනම් කළා. වැන්දඹුවන්ට හා අනාථ දරුවන්ට දේවල් සපයා දීමට විධිවිධාන යොදා තිබූ ව්‍යවස්ථාව, ඔවුන්ට අසාධාරණ ලෙස සැලකීම තහනම් කර තිබුණේ ප්‍රකාශ කළ හැකි ඉතා දැඩි කියමන් සහිතවයි.—නික්මයාම 20:14; 22:22-24.
20, 21. (අ) ඉශ්‍රායෙලිතයන් අතර බහුභාර්යා සේවනයට මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබුණේ ඇයි? (ආ) දික්කසාදය යන කාරණය සම්බන්ධව බලන කල, ව්‍යවස්ථාව යේසුස් පසුව ප්‍රතිස්ථාපනය කළ ප්‍රමිතියට වඩා වෙනස් වූයේ මන්ද?
20 කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සලකා බලන විට, ‘ව්‍යවස්ථාව තුළ බහුභාර්යා සේවනයට ඉඩහැරියේ ඇයි’ කියා සමහරුන් කල්පනා කරන්නට පුළුවන්. (ද්විතීය කථාව 21:15-17) එවන් නීති අප විසින් සලකා බැලිය යුත්තේ එම කාලවල පසුබිමට අනුවයි. වර්තමානයේ පවතින සංස්කෘතීන්වල දෘෂ්ටි කෝණවලින් බලා මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව ගැන නිර්ණය කරන්නට යන අය එය වැරදි ලෙස තේරුම්ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 18:13) අතීතයේ ඒදන් උයනේදී යෙහෝවා තැබූ ප්‍රමිතියට අනුව විවාහය යන්න එක් පුරුෂයෙක් හා එක් භාර්යාවක් අතර තිබිය යුතු සදාකාලික බන්ධනයක් විය යුතුව තිබුණා. (උත්පත්ති 2:18, 20-24) කෙසේවෙතත්, යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට ව්‍යවස්ථාව දෙන කාලය වන විට, බහුභාර්යා සේවනය වැනි පිළිවෙත් සියවස් ගණනාවක් පුරා ගැඹුරට කාවැදී තිබුණා. “තද කුළල් ඇති සෙනඟක්” වූ සිය ජනයා, තහනම් කර ඇති රූප වන්දනාව වැනි මූලික ආඥාවලට පවා කීකරු වීමට විටින් විට අසමත් වනු ඇති බව යෙහෝවා හොඳින් දැන සිටියා. (නික්මයාම 32:9) එසේ නම් ඔවුන්ගේ සියලු විවාහ සිරිත් යළිත් ප්‍රකෘති තත්වයට ගෙන ඒම සඳහා එම කාලය යෙහෝවා විසින් තෝරා නොගත්තේ ඉතා ඥානවන්ත ලෙසයි. එහෙත්, යෙහෝවා බහුභාර්යා සේවනය ස්ථාපිත නොකළ බව මතකයේ තබාගන්න. කෙසේවෙතත්, තම ජනයා අතර තිබූ බහුභාර්යා සේවනය පාලනය කිරීමටත් එය වැරදි විදිහට යොදාගැනීම වැළැක්වීමටත් ඔහු ව්‍යවස්ථාව උපයෝගි කරගත්තා.
21 ඒ හා සමානව, යම් මිනිසෙකුට සාපේක්ෂ වශයෙන් ඉතා බරපතළ හේතු කිහිපයක් නිසා තම බිරිඳව දික්කසාද කිරීමට මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවෙන් ඉඩහැරියා. (ද්විතීය කථාව 24:1-4) දෙවි විසින් යුදෙව් ජනයාට මෙසේ අවසර දුන්නේ ‘ඔවුන්ගේ සිත් දැඩිකම නිසා’ කියායි යේසුස් එය විග්රහ කළේ. කෙසේවෙතත්, මේ සඳහා අවසර තිබුණේ තාවකාලිකව පමණයි. සිය අනුගාමිකයන්හට යේසුස් කළේ විවාහය සඳහා යෙහෝවාගේ ආරම්භක ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කිරීමයි.—මතෙව් 19:8.
ප්‍රේමය ඉස්මතු කළ ව්‍යවස්ථාව
22. මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවෙන් ප්‍රේමයට දිරිගැන්වූයේ කිනම් ආකාරවලින්ද? තවද කා කෙරෙහිද?
22 ප්‍රේමයට දිරිගන්වන නීති පද්ධතියක් සොයාගැනීමට හැකියි කියා ඔබ සිතනවාද? මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවෙන් අන් සියලු දේට වඩා ඉස්මතු කළේ ප්‍රේමයයි. ද්විතීය කථාව පොතේ පමණක්, “ප්‍රේමය” යන වචනය විවිධ ආකාරවලින් 20 වතාවකට වඩා සඳහන් කර තිබෙනවා. මුළු නීති මාලාවේම ශ්‍රේෂ්ඨතම ආඥා දෙක අතුරින් දෙවන තැන ගත්තේ ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන්නයි. (ලෙවී කථාව 19:18; මතෙව් 22:37-40) දෙවිගේ ජනයා ඔවුන් එකිනෙකාට පමණක් නොව නමුත් තමන් අතර විසූ විදේශීන්ටත් ප්‍රේම කරන්නට බැඳී සිටියා. මන්ද වරක් ඉශ්රායෙලිතයන්ද විදේශීන්ව සිටි බව ඔවුන් මතක් කරගත යුතුව තිබූ නිසයි. දිළින්දන්ටත් පීඩාවට ලක්ව සිටියවුන්ටත් ප්‍රේමය පෙන්වීමට ඔවුන්හට අණ කර තිබුණේ ද්‍රව්‍යමය අතින් එවැනි අයට උපකාර කිරීමෙනුයි. තවද ඔවුන්ගේ දුෂ්කර තත්වයන්හිදී අයුතු ප්‍රයෝජන ලබාගැනීමෙන් වැළකීමටද ඔවුන්ට අණ කර තිබුණා. ඒ වගේම බර අදින සතුන්ට පවා කරුණාවෙන් හා අනුකම්පාවෙන් සැලකීමද එම අණපනත්වල එක් අංගයක්.—නික්මයාම 23:6; ලෙවී කථාව 19:14, 33, 34; ද්විතීය කථාව 22:4, 10; 24:17, 18.
23. ගීතාවලිය 119හි ලේඛකයා පෙලඹුණේ කුමක් කිරීමටද? අපිත් කුමක් කිරීමට අදිටන් කරගනිමුද?
23 එවන් නීති පද්ධතියක් සමඟින් ආශීර්වාද ලැබ තිබෙන්නේ වෙනත් කිනම් ජාතියද? “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද!” කියා ගීතිකාකරු පැවසීම පුදුමයක් නොවේ. කෙසේවුවත්, ඔහුගේ ප්‍රේමය නිකම්ම හැඟීමක් නම් නොවේ. එය ඔහුව ක්‍රියාවට පෙලඹෙව්වා. මන්ද එම ව්‍යවස්ථාවට කීකරු වූ ඔහු ඒ අනුව ජීවත් වෙන්නට දැඩි ප්රයත්නයක් දැරුවා. තවදුරටත් ඔහු කීවේ මෙසේයි. “දවස මුළුල්ලේම ඒක [ඔබේ ව්‍යවස්ථාව] මාගේ භාවනාවය.” (ගීතාවලිය 119:11, 97) ඔව්, ඔහු නිතිපතා කාලය ගත කළේ යෙහෝවාගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කරමිනුයි. ඔහු කී පරිදි ඒවා කෙරෙහි ඔහුගේ ප්‍රේමය තීව්ර වූ බවට කිසිදු සැකයක් නැහැ. ඒ අතරම, ව්‍යවස්ථාව දානය කළ යෙහෝවා දෙවි කෙරෙහිද ඔහුගේ ප්‍රේමය වර්ධනය වුණා. ඔබ දිව්‍ය ව්‍යවස්ථාව දිගටම අධ්‍යයනය කරත්ම, ඔබත් ශ්‍රේෂ්ඨ නීති දායකයාණන් සහ යුක්තියේ දෙවි වන යෙහෝවාට තව තවත් ළං වෙනවා නොඅනුමානයි.
[පාදසටහන්වල]
a නිදසුනක් වශයෙන්, මිනිස් අපද්‍රව්‍ය වැළලීම, රෝගීන්ව වෙන් කර තැබීම සහ මළ සිරුරක් ස්පර්ශ කළ ඕනෑම කෙනෙක් සෝදාගෙන පවිත්‍ර වීම ව්‍යවස්ථාව මගින් පනවා තිබූ නීතියි. මේවා පනවා තිබුණේ දැනට සියවස් ගණනාවකට පෙරාතුවයි.—ලෙවී කථාව 13:4-8; ගණන් කථාව 19:11-13, 17-19; ද්විතීය කථාව 23:13, 14.
b කානානීය දේවාලවල ලිංගික කටයුතු සඳහා කාමර වෙන් කර තිබූ අතරේදී, මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව තුළ සඳහන් කර තිබුණේ අපවිත්‍ර තත්වයේ සිටින අයට දේවමාළිගාවට ඇතුල් වීමට පවා තහනම් බවයි. මෙසේ, ලිංගික සම්බන්ධකම් නිසා අපවිත්‍ර වීමේ කාලයක් තිබූ නිසා, යෙහෝවාගේ ගෘහය තුළ සිදු වන නමස්කාරයේ කොටසක් ලෙස ලිංගික දේවලට අබමල් රේණුවක තරමින්වත් තැනක් ලබා දෙන්නට නීත්‍යනුකූල වශයෙන් කිසිවෙකුට හැකි වූයේ නැහැ.
c ව්‍යවස්ථාවේ මූලික අරමුණ වූයේ ඉගැන්වීමයි. ඇත්තෙන්ම, “නීතිය” සඳහා යොදාගත් හෙබ්‍රෙව් වචනය වන ටෝරාහ් යන්නෙන් අදහස් කළේ “ඉගැන්වීම හෝ උපදේශ දීම” බව එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා සඳහන් කරනවා.
d ව්‍යවස්ථාවෙහි ඉතා තියුණු ලෙස මෙසේ අසා තිබුණා. “නුඹ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද?” (ද්විතීය කථාව 20:19) පළමු සියවසේ විසූ යුදෙව් විශාරදයෙකු වන ෆයිලෝ පැහැදිලි කළේ, “මිනිසුන්ට එරෙහිව ප්‍රකාශ කරන ලද කෝපය කිසිම වරදක් කර නැති අහිංසක දෙයක් පිටින් යැවීම අයුක්තිසහගත” බව දෙවි සිතන බවයි.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ලෙවී කථාව 19:9, 10; ද්විතීය කථාව 24:19 එවන් නීති සම්පාදනය කරන දෙවි ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?
ගීතාවලිය 19:7-14 “යෙහෝවාගේ ව්‍යවස්ථාව” ගැන දාවිත්ට හැඟුණේ කෙසේද? දෙවිගේ නීති අපට කෙතරම් වටිනවාද?
මීකා 6:6-8 යෙහෝවාගේ නීති බරක් පැටවූ නීතියයි කීම වැරදි බව දැකගැනීමට මෙම ඡේද අපට උපකාර කරන්නේ කෙසේද?
මතෙව් 23:23-39 ව්‍යවස්ථාවේ සමස්ත ස්වභාවය හෙවත් එහි සාරය තමන් විසින් වටහා නොගත් බව ඵරිසිවරුන් පෙන්වූයේ කෙසේද? තවද මෙය අපට අනතුරු අඟවන අවාදර්ශයක් වන්නේ කෙසේද?
[132වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]