ආශීර්වාද හෝ ශාප—තේරීමක් කළ යුතුය!
‘මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තබා තිබේ; එබැවින් නුඹ ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගත යුතුය.’—ද්විතීය කථාව 30:19.
1. මිනිසාට දානය කර තිබෙන්නේ කුමන හැකියාවද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය බුද්ධිමත් මිනිස් මැවිලි වන අපව නිර්මාණය කළේ නිදහස් සදාචාර තීරකයන් හැටියටය. අපව මවනු ලැබුවේ නිකම්ම ස්වයංක්‍රීය යන්ත්‍ර හෝ රෝබෝවරුන් හැටියට නොව, නමුත් තේරීම් කිරීමේ වරප්‍රසාදය හා වගකීමද අපට දානය කරමිනි. (ගීතාවලිය 100:3) පළමු මනුෂ්‍යයන් වූ ආදම් සහ ඒවට තම ක්‍රියාමාර්ගය තෝරාගැනීමට නිදහසක් තිබූ අතර, තමුන් කළ තේරීමට ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වගකිව යුතුව තිබිණ.
2. ආදම් කළ තේරීම කුමක්ද, තවද එහි ප්‍රතිඵලය කුමක් වීද?
2 පාරාදීස පොළොවක් මත නිරන්තර ආශීර්වාදවලින් යුත් මිනිස් ජීවිතයක් සඳහා, මැවුම්කරුවාණන් බහුල ලෙස දේවල් සපයා තිබිණ. මේ වන විට එම අරමුණ සැබෑවක් වී නැත්තේ මන්ද? ආදම් වැරදි තේරීමක් කළ නිසාය. යෙහෝවඃවහන්සේ පුරුෂයා කෙරෙහි මෙම ආඥාව පනවා තිබිණ: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ආදම් කීකරුවීමට තෝරාගත්තා නම්, අපේ මුල් දෙමාපියන්ට ආශීර්වාද ලැබී තිබෙනු ඇත. අකීකරුකමේ ප්‍රතිඵලය මරණය විය. (උත්පත්ති 3:6, 18, 19) එනිසා ආදම්ගෙන් පැවත ආ සියලුදෙනාටම පාපය සහ මරණය ලැබී ඇත.—රෝම 5:12.
ආශීර්වාද සඳහා මාර්ගය සැලසේ
3. මිනිස්වර්ගයා සඳහා ස්වකීය අරමුණු ඉටු වනු ඇති බවට දෙවියන්වහන්සේ සහතිකයක් ඉදිරිපත් කළේ කෙසේද?
3 මිනිස්වර්ගයාට ආශීර්වාද ලබා දීම සඳහා වන ස්වකීය අරමුණ ඉටු කිරීමට යෙහෝවඃ දෙවියන්වහන්සේ මාධ්‍යයක් පිහිටෙවුසේක. වංශයක් ගැන පුරෝකථනය කළ උන්වහන්සේම, ඒදන්හිදී මෙසේ අනාවැකි පළ කළසේක: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) ආබ්‍රහම්ගේ පැවතෙන්නෙකු වන මෙම වංශය මාර්ගයෙන් කීකරු මිනිස්වර්ගයාට ආශීර්වාද ලැබෙන බව දෙවියන්වහන්සේ පසුව පොරොන්දු වූසේක.—උත්පත්ති 22:15-18.
4. මිනිස්වර්ගයාට ආශීර්වාද කිරීම සඳහා යෙහෝවඃවහන්සේ පිළියෙළ කර තිබෙන විධිවිධානය කුමක්ද?
4 ආශීර්වාද පිරිනමන එම පොරොන්දු වංශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව ඔප්පු විය. මිනිස්වර්ගයාට ආශීර්වාද ලබා දීම සඳහා යෙහෝවඃවහන්සේගේ විධිවිධානයෙහි යේසුස්වහන්සේට හිමි භූමිකාව සම්බන්ධයෙන්, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.” (රෝම 5:8) පව්කාර මිනිස්වර්ගයා අතුරින්, දෙවියන්වහන්සේට කීකරු වන හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ පූජාවේ අගයෙන් ප්‍රයෝජන ලබාගන්නා අය ආශීර්වාද භුක්තිවිඳින්නෝය. (ක්‍රියා 4:12) ඔබ කීකරුකම හා ආශීර්වාද තෝරාගන්නෙහිද? අකීකරුකමේ ප්‍රතිඵලය ඉඳුරාම වෙනස් එකක් වේ.
ශාප ගැන කුමක් කිව හැකිද?
5. “ශාපය” යන වචනයෙහි තේරුම කුමක්ද?
5 ආශීර්වාදයක විරුද්ධාර්ථය ශාපයක් වේ. “ශාපය” යන වචනයෙහි අර්ථය වූ කලි, යමෙකු ගැන අගුණ කීම නැතහොත් ඔහුට විරුද්ධව දෙස් තැබීමය. ඛෙලා·ලාහ්ʹ යන හෙබ්‍රෙව් වචනය රැගෙන ඇත්තේ ඛා·ලාල්ʹ යන මූලික ක්‍රියා පදයෙනි, එහි පදගතාර්ථ තේරුම “බාල්දු වන්න” වේ. කෙසේවෙතත් උපමේය අර්ථයකින් භාවිත කරනු ලබන විට, ඉන් අදහස් කරන්නේ, යමෙකුට ‘දෙස් තැබීම’ හෝ ‘අවඥාවෙන් සැලකීම’ යන්නය.—ලෙවී කථාව 20:9, NW; 2 සාමුවෙල් 19:43, NW.
6. පුරාණ බෙතෙල් අසල එලිෂා සම්බන්ධව සිදු වූයේ කවර සිද්ධියද?
6 ශාපයක් සම්බන්ධයෙන් අප්‍රමාදව ක්‍රියා කිරීම පිළිබඳව සිතට කාවදින උදාහරණයක් සැලකිල්ලට ගන්න. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ එලිෂා යෙරිකෝවේ සිට බෙතෙල් දක්වා ගමන් කරද්දී සිදුවූවකි මෙය. වාර්තාවෙහි මෙසේ පැවසේ: “ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්; පලායව තට්ටයා. පලායව තට්ටයායයි කීවෝය. ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.” (2 රාජාවලිය 2:23, 24) කවටකම් කරමින් සිටි එම ළමයින්ට දෙස් තබමින් එම ශාපය කළ විට එලිෂා ඇත්තටම කීවේ කුමක්ද යන්න හෙළි කොට නැත. කෙසේවෙතත්, එම වාචික ප්‍රකාශයෙන් යම් ප්‍රතිඵල ලැබිණ, මන්දයත් දිව්‍ය කැමැත්තට එකඟව ක්‍රියා කරන දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු විසින් යෙහෝවඃවහන්සේගේ නමින් එය ප්‍රකාශ කරනු ලැබූ බැවිනි.
7. එලිෂාට කවටකම් කළ දරුවන්ට සිදු වූයේ කුමක්ද, ඒ මන්ද?
7 කවටකම් කිරීමට ප්‍රධාන හේතුව, එලිෂා එලියාගේ සුපුරුදු නිල වස්ත්‍රය පැළඳ සිටි නිසාත්, එම අනාගතවක්තෘගේ අනුප්‍රාප්තිකයෙකු සිටීම ගැන එම දරුවන් අකමැති වූ නිසාත් විය හැක. (2 රාජාවලිය 2:13) එලියාගේ අනුප්රාප්තිකයෙකුද යන්න පිළිබඳ අභියෝගයට පිළිතුරු දීම සඳහාත්, මෙම බාලයන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘ කෙරෙහි නිසි ගෞරවය දැක්විය යුතු බව ඉගැන්වීම සඳහාත්, එලිෂා, එලියාගේ දෙවියන්වහන්සේගේ නමින්, එම කවටකම් කළ කණ්ඩායම පිට නපුර ප්‍රකාශ කළේය. එලිෂා තමන්ගේ අනාගතවක්තෘ බවට යෙහෝවඃවහන්සේ ස්වකීය අනුමැතිය විදහාපෙන්වූයේ, වැළහින්නියන් දෙන්නෙකු කැලෑවෙන් පිටතට ඇවිත් එම සරදම් කරන්නන්ගෙන් 42දෙනෙකු ඉරා දැමීමට සැලැස්වීමෙනි. යෙහෝවඃවහන්සේ එසේ තීරණාත්මකව ක්‍රියා කළේ මන්දයත්, උන්වහන්සේ එවකට පොළොව මත භාවිත කරමින් සිටි තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයට ඔවුන් මුරණ්ඩු ලෙස ගෞරවයේ ඌනතාවක් දැක්වූ හෙයිනි.
8. ඉශ්රායෙල් ජනයා එකඟ වූයේ කුමක් කිරීමටද, තවද කුමන අපේක්ෂා ඇතුවද?
8 වර්ෂ ගණනාවකට ඉහතදී, ඉශ්රායෙල්වරු දෙවියන්වහන්සේගේ විධිවිධාන සඳහා ගෞරවය සම්බන්ධයෙන් එවැනිම ඌනතාවක් පෙන්වූහ. එය වර්ධනය වූයේ මෙලෙසිනි: පො.යු.පෙ. 1513දී, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් ජනයාට අනුග්‍රහ දැක්වූයේ හරියට “රාජාලීන්ගේ පියාපත් පිට” උසුලන්නාක් මෙන්, ඔවුන්ව මිසර වහල්කමින් ගැළවීම මාර්ගයෙනි. ඉන් අනතුරුව, ඔවුහු දෙවියන්වහන්සේට කීකරුවීමට පොරොන්දු වූහ. දෙවියන්වහන්සේගේ අනුමැතිය ලැබීමට කීකරුකම අනිවාර්යයෙන්ම සම්බන්ධ වූ අන්දම සැලකිල්ලට ගන්න. යෙහෝවඃවහන්සේ මෝසෙස් කරණකොටගෙන මෙසේ පැවසූසේක: “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.” ඉන්පසුව, ජනයා මෙසේ පවසමින් ඊට එකඟ වූහ: “ස්වාමීන්වහන්සේ කී සියල්ලම කරන්නෙමු.” (නික්මයාම 19:4, 5, 8; 24:3) යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන බව කියා සිටි ඉශ්රායෙල්වරු, උන්වහන්සේට කැප වී සිටි අතර, උන්වහන්සේගේ හඬට කීකරුවීමට දිවුරුම් දුන්නෝය. එසේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉමහත් ආශීර්වාද අත් වනු ඇත.
9, 10. මෝසෙස් සීනයි කන්දෙහි සිටි විට, ඉශ්රායෙල්වරුන් කළේ කුමක්ද, තවද කුමන ප්‍රතිවිපාක ඇතුවද?
9 කෙසේවෙතත්, “දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන්” ගල් ලෑලි මත එම ගිවිසුමේ ප්‍රධාන ප්රඥප්ති ලියනු ලැබීමට පෙර, දිව්‍ය ශාප සඳහන් කිරීම අවශ්‍ය විය. (නික්මයාම 31:18) එවන් ඛේදනීය ප්‍රතිවිපාක යෝග්‍ය වූයේ මන්ද? යෙහෝවඃවහන්සේ පැවසූ සියල්ල කිරීමට ඉශ්රායෙල්වරුන් ආශාවක් අඟවා තිබුණේ නැද්ද? එසේය, වචනයෙන් ඔවුන් ආශීර්වාද පැතූ නමුත්, ක්‍රියාවෙන් ඔවුහු ශාප ලැබීම යුක්තිසහගත වන මාර්ගයක් තෝරාගත්තෝය.
10 මෝසෙස් සීනයි කන්ද මත දස පනත ලබමින් සිටි දින 40ක කාලපරිච්ඡේදයක් අතරතුර, ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේට පක්ෂපාත වන බවට තමුන් කලින් කළ පොරොන්දුව කඩ කළෝය. වාර්තාව පවසන පරිදි, “මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනග දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදාපන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය.” (නික්මයාම 32:1) යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට මඟ පෙන්වීම සහ උපදෙස් දීම සඳහා එවිට යොදාගත් මිනිස් නියෝජිතයා කෙරෙහි අගෞරවනීය ආකල්පයක් විදහාපෙන්වීම පිළිබඳව තවත් උදාහරණයකි මෙය. ඉශ්රායෙල්වරුන් මිසර රූප නමස්කාරය අනුකරණය කිරීමේ උගුලට හසු වූ අතර, එක් දවසක් ඇතුළත ඔවුන්ගෙන් 3,000දෙනෙකුව කඩුවෙන් ඝාතනය කරනු ලැබූ විට, ඔවුහු දරුණු ප්‍රතිඵල නෙළාගත්තෝය.—නික්මයාම 32:2-6, 25-29.
ආශීර්වාද හා ශාප ප්‍රකාශ කිරීම
11. යෝෂුවා විසින් ආශීර්වාද හා ශාප පිළිබඳව කවර උපදෙස් අනුගමනය කරනු ලැබීද?
11 ඉශ්‍රායෙලිතයන් කාන්තාරයේ ගමන් කරමින් ගත කළ අවුරුදු 40හි අවසානය ළඟා වෙද්දී, මෝසෙස්, දෙවියන්වහන්සේට කීකරුවීමේ ක්‍රියාමාර්ගයක් තෝරාගැනීමෙන් නෙළාගත හැකි ආශීර්වාද ලැයිස්තුගත කළේය. ඉශ්රායෙල්වරු යෙහෝවඃවහන්සේට අකීකරු වීම තෝරාගත්තහු නම්, ඔවුන් අද්දකිනු ඇති ශාපද ඔහු එකිනෙක සඳහන් කළේය. (ද්විතීය කථාව 27:11–28:10) ඉශ්රායෙල්, පොරොන්දු දේශයට පිවිසීමෙන් අනතුරුව, මෙම ආශීර්වාද හා ශාප සම්බන්ධව මෝසෙස්ගේ උපදෙස් යෝෂුවා ක්‍රියාත්මක කළේය. ඉශ්රායෙල්හි ගෝත්‍ර හයක් ඒබාල් කන්ද පාමුල සිටි අතර, අනික් ගෝත්‍ර හය ගෙරිසීම් කන්ද ඉදිරිපිට සිටියෝය. ලෙවීවරු ඒ අතර නිම්නයෙහි සිටියෝය. පෙනෙන ප්‍රකාරයට ඒබාල් කන්ද ඉදිරිපිට සිටි ගෝත්‍ර, ඒ දිශාවට කියවන ලද ශාප, නොහොත් අවලාදවලට “ආමෙන්!” යනුවෙන් පැවසූහ. තම දිශාවට ලෙවීවරුන් කියවූ ආශීර්වාදවලට ගෙරිසීම් කන්ද පාමුල සිටි අනික් අයද ප්‍රතිචාරය දැක්වූහ.—යෝෂුවා 8:30-35.
12. ලෙවීවරුන් විසින් ප්‍රකාශ කරන ලද ඇතැම් ශාප කවරේද?
12 ලෙවීවරුන් මෙසේ පවසනවා ඔබට ඇසුණායයි සිතන්න: “ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. . . . තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. . . . තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. . . . අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. . . . විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. . . . තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන්නාට ශාප වේවා; මක්නිසාද ඔහු තම පියාගේ යහන් වස්ත්‍රය ඉවත්කෙළේය. . . . කිසියම් මෘගයෙකු සමඟ සයනයකරන්නාට ශාප වේවා. . . . තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. . . . තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. . . . තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. . . . නිදොස් කෙනෙකු මරන්ට අල්ලස් ගන්නාට ශාප වේවා. . . . මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා.” සෑම ශාපයකින් පසු, ඒබාල් කන්ද ඉදිරියෙහි සිටින ගෝත්‍ර “ආමෙන්”! යයි කියති.—ද්විතීය කථාව 27:15-26.
13. ලෙවීවරුන් ප්‍රකාශ කළ ඇතැම් ආශීර්වාද ඔබ ඔබේම වචනවලින් විස්තර කරනු ඇත්තේ කෙසේද?
13 ගෙරිසීම් කන්ද ඉදිරිපිට සිටින අය, මතු දැක්වෙන පරිදි, ලෙවීවරුන් ශබ්ද නඟා කියන සෑම ආශීර්වාදයකටම ප්‍රතිචාරය දක්වන අන්දම ඔබට ඇසෙනවායයි සිතන්න: “නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය. නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය. නුඹේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය. නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.”—ද්විතීය කථාව 28:3-6.
14. ඉශ්‍රායෙලිතයන් ආශීර්වාද ලබනු ඇත්තේ කුමන පදනම මතද?
14 එම ආශීර්වාද ලැබීම සඳහා පදනම කුමක් වීද? වාර්තාවෙහි මෙසේ පැවසේ: “මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය.” (ද්විතීය කථාව 28:1, 2) එසේය, දිව්‍ය ආශීර්වාද භුක්තිවිඳීමට යතුර දෙවියන්වහන්සේට කීකරුවීම වේ. එහෙත් අදදින අප ගැන කුමක් කිව හැකිද? දිගටම, ‘යෙහෝවඃවහන්සේගේ හඬට කීකරුවීමෙන්’ අපි පෞද්ගලිකවම ආශීර්වාද හා ජීවනය තෝරාගන්නෙමුද?—ද්විතීය කථාව 30:19, 20.
වඩාත් සමීප බැල්මක් හෙළීම
15. ද්විතීය කථාව 28:3හි වාර්තා වී තිබෙන ආශීර්වාදයෙහි ඒත්තුගන්වන ලද්දේ කවර කාරණයද, තවද අපට ඉන් ප්‍රයෝජන නෙළාගත හැක්කේ කෙසේද?
15 යෙහෝවඃවහන්සේට කීකරුවීමෙන් ඉශ්රායෙලිතයෙකුට භුක්තිවිඳිය හැකි ඇතැම් ආශීර්වාද අපි දැන් සලකා බලමු. උදාහරණයක් හැටියට, ද්විතීය කථාව 28:3 මෙසේ පවසයි: “නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.” දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලැබීම රඳා පවතින්නේ සිටින තැන හෝ කරන්ට නියම වූ පැවරුම මත නොවේ. සමහරෙකු ඇතැම්විට ද්‍රව්‍යමය අතින් පිරිහී ගිය ප්‍රදේශයක නැතහොත් යුද්ධයෙන් දෙදරා ගිය රටක ජීවත් වන බැවින්, තම තත්වයන් තුළ කොටු වී සිටින බවක් ඔවුන්ට හැඟී යා හැක. යෙහෝවඃවහන්සේට වෙනත් ස්ථානයක සේවය කිරීමට ඇතමෙකු දැඩි ලෙස ආශා විය හැක. තමන්ව සභාවේ උපස්ථායක සේවකයන් හෝ වැඩිමහල්ලන් ලෙස පත් කර නොමැති බැවින්, ඇතැම් ක්‍රිස්තියානි පුරුෂයන් අධෛර්යයට පත් වී සිටිනවා විය හැක. සමහර අවස්ථාවල, පුරෝගාමීන් හෝ මිෂනාරිවරුන් වශයෙන් සේවය කිරීමට හැකි තත්වයක ඇතැම් ක්‍රිස්තියානි ස්ත්‍රීන් නොසිටින බැවින් ඔවුන්ට කලකිරුණු බවක් හැඟී යා හැක. එහෙත්, ‘යෙහෝවඃවහන්සේගේ හඬට කන් දෙමින්, උන්වහන්සේගේ සියලු ආඥා රක්ෂා කරන්ට බලාගන්නා’ සියලුදෙනාම දැනටත් සදහටත් ආශීර්වාද ලබන්නෝය.
16. ද්විතීය කථාව 28:4හි ප්‍රතිපත්තිය අදදින යෙහෝවඃවහන්සේගේ සංවිධානය මගින් අද්දකිනු ලබන්නේ කෙසේද?
16 ද්විතීය කථාව 28:4හි මෙසේ පැවසේ: “නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.” “නුඹේ” යනුවෙන් දක්වා ඇති ඒකවචන හෙබ්‍රෙව් සර්වනාමය යොදාගැනීමෙන් අඟවන්නේ, මෙය කීකරු ඉශ්රායෙලිතයෙකුගේ පෞද්ගලික අද්දැකීම වනු ඇති බවය. අදදින යෙහෝවඃවහන්සේගේ කීකරු සේවකයන් ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ සිදු වෙමින් පවතින ලෝක ව්‍යාප්ත වර්ධනය හා පැතිරීම වූ කලි, රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශකරන්නන් 50,00,000කට වඩා වැඩිදෙනෙකුගේ අවංක වෑයම් කෙරෙහි දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලැබීමේ ප්රතිඵලයකි. (මාර්ක් 13:10) තවද 1995දී ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වූ අවස්ථාවට 1,30,00,000කට අධික සංඛ්‍යාවක් පැමිණි බැවින්, තවත් විශාල වර්ධනයක් සඳහා තිබෙන හැකියාව පැහැදිලිය. ඔබ රාජ්‍ය ආශීර්වාද භුක්තිවිඳිමින් සිටින්නෙහිද?
ඉශ්‍රායෙල්ගේ තේරීම වෙනසකට හේතු විය
17. ආශීර්වාදවලින් ‘වසාගනු ලැබීම’ හෝ ශාපවලට ‘අසුවීම’ රඳා පැවතියේ කුමක් මතද?
17 ඇත්තවශයෙන්ම, කීකරු ඉශ්රායෙලිතයෙකු පසුපස ආශීර්වාද හඹා යනවා ඇත. මෙසේ පොරොන්දු වී තිබිණ: “මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය [වසාගන්නේය, NW].” (ද්විතීය කථාව 28:2) සමානාකාරයෙන්, ශාප සම්බන්ධයෙන් මෙසේ පවසා තිබිණ: “මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය.” (ද්විතීය කථාව 28:15) ඔබ පුරාණ කාලයෙහි විසූ ඉශ්‍රායෙලිතයෙක් වී නම්, ඔබව ‘වසාගන්නේ’ ආශීර්වාදද, නැතහොත් ඔබ ශාපවලට අසු වනු ඇද්ද? ඔබ දෙවියන්වහන්සේට කීකරු වූවාද නැතහොත් උන්වහන්සේට අකීකරු වූවාද යන්න මත එය රඳා පවතින්ට ඇත.
18. ඉශ්‍රායෙලිතයන්ට ශාප මඟහැරීමට ඉඩ කඩ තිබුණේ කෙසේද?
18 ද්විතීය කථාව 28:15-68හි, අකීකරුකමේ වේදනාකාරි ප්‍රතිවිපාක ශාප වශයෙන් දක්වා ඇත. ඉන් සමහරක් ද්විතීය කථාව 28:3-14හි කීකරුකම වෙනුවෙන් එකින් එක සඳහන් කර තිබෙන ආශීර්වාදවලට ඉඳුරාම වෙනස් ස්වරූපය ගනී. බොහෝවිට, ඉශ්රායෙල් ජනයා බොරු නමස්කාරයෙහි යෙදීම තෝරාගත් නිසා, ඔවුහු ශාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක නෙළාගත්තෝය. (එස්රා 9:7; යෙරෙමියා 6:6-8; 44:2-6) මොනතරම් ඛේදනීය දෙයක්ද! හරි තේරීමක් කිරීමෙන්, එනම්, හොඳ නරක පැහැදිලිව නිර්වචනය කරන යෙහෝවඃවහන්සේගේ හිතකර නීති හා ප්‍රතිපත්තිවලට කීකරුවීමට තීරණය කිරීමෙන් එවන් ප්රතිවිපාකවලින් වැළකී සිටීමට හැකියාව තිබිණ. බොරු ආගම පිළිපැදීමෙන්, ලිංගික දුරාචාරයෙහි යෙදීමෙන්, නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන්, මත්පැන් අනිසි ලෙස භාවිතයෙන් හා ඒ හා සමාන දේවල නිරතවීමෙන් බයිබල් ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කිරීමට තෝරාගෙන තිබෙන නිසා, අදදින බොහෝදෙනෙක් වේදනාවෙන් හා විපත්තිවලින් දුක් විඳිති. පුරාණ ඉශ්‍රායෙලයෙහි හා යූදාහි සිදු වූවාක් මෙන්, එවන් නරක තේරීම් කිරීමේ ප්‍රතිඵලය, දිව්‍ය අප්‍රසාදය හා අනවශ්‍ය හෘද වේදනාව අත්වීමයි.—යෙසායා 65:12-14.
19. යූදා සහ ඉශ්රායෙල් යෙහෝවඃවහන්සේට කීකරුවීමට තෝරාගත් විට භුක්තිවිඳිනු ලැබූ තත්වයන් විස්තර කරන්න.
19 ආශීර්වාද බහුලව තිබුණෙත්, නිශ්චලභාවය පැවතුණෙත්, ඉශ්රායෙල් යෙහෝවඃවහන්සේට කීකරු වූ විට පමණි. නිදසුනක් ලෙස, සාලමොන් රජුගේ කාලය සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ: “යූදාවරුද ඉශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ. . . . සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.” (1 රාජාවලිය 4:20-25) දෙවියන්වහන්සේගේ සතුරන්ගේ නොයෙකුත් විරුද්ධවාදිකම්වලින් සනිටුහන් වූ දාවිත් රජුගේ කාලයෙහි පවා, ජාතිය සැබෑකමේ දෙවියන්වහන්සේට කීකරුවීමට තෝරාගත් විට, ඔවුන්ට යෙහෝවඃවහන්සේගේ අනුබලය හා ආශීර්වාදය තිබෙන බව දැනිණ.—2 සාමුවෙල් 7:28, 29; 8:1-15.
20. මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල, දෙවියන්වහන්සේ නිසැකව සිටින්නේ කුමක් ගැනද?
20 ඔබ දෙවියන්වහන්සේට කීකරු වන්නෙහිද, නැතහොත් උන්වහන්සේට අකීකරු වන්නෙහිද? ඉශ්‍රායෙලිතයන්ට තේරීමක් තිබිණ. අප සියලුදෙනාටම ආදම්ගෙන් පව්කාර නැඹුරුවාවක් උරුම වී තිබුණත්, නිදහස් කැමැත්ත නමැති දීමනාවද අප සතුය. සාතන්, මෙම දුෂ්ට ලෝකය හා අපේ අසම්පූර්ණකම් මධ්‍යයෙහි වුවත්, අපට හරි තේරීම කළ හැක. එපමණක්ද නොව, සෑම පීඩනයක් හා පරීක්ෂාවක්ම හමුවේ, වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද හරි තේරීම කරන අය සිටිනු ඇති බවට අපේ මැවුම්කරුවාණන්ට නිසැකකමක් තිබේ. (1 පේතෘස් 5:8-10) ඔබ ඔවුන් අතර සිටිනු ඇද්ද?
21. ඊළඟ ලිපියෙහි පරීක්ෂා කරනු ලබන්නේ කුමක්ද?
21 ඊළඟ ලිපියේ, අතීත ආදර්ශ නමැති පසුබිම උපයෝගි කරගනිමින් අපේ ආකල්ප හා ක්‍රියා කිරා මැන බැලීමට අපට හැකි වේවි. මෝසෙස් තුළින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ මෙම වචනවලට අපි සියලුදෙනාම කෘතඥතාවෙන් යුතුව ප්‍රතිචාරය දක්වමු: ‘මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තබා තිබේ; එබැවින් නුඹ ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගත යුතුය.’—ද්විතීය කථාව 30:19.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ පව්කාර මිනිසුන් සඳහා යෙහෝවඃවහන්සේ ආශීර්වාද ලැබෙන්ට සලස්වා ඇත්තේ කෙසේද?
◻ ශාප යනු කුමක්ද?
◻ ශාප වෙනුවට ආශීර්වාද ලැබීමට ඉශ්‍රායෙලිතයන්ට ඉඩ කඩ තිබුණේ කෙසේද?
◻ දෙවියන්වහන්සේට කීකරුවීම හේතුවෙන් ඉශ්රායෙල් භුක්තිවින්දාවූ ආශීර්වාද කවරේද?
[15වන පිටුවේ පින්තූරය]
ඉශ්රායෙල්වරු ගෙරිසීම් කන්ද හා ඒබාල් කන්ද ඉදිරිපිට එක්රැස් වූහ
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.