දෙමාපියෙනි, ඔබේ දරුවන්ගෙන් ප්‍රීතියක් ලබන්න
“නුඹේ පියාද මවුද සතුටුවෙත්වා.”—හිතෝපදේශ 23:25.
1. තම දරුවන්ගෙන් ප්‍රීතියක් ලබාගැනීමට දෙමාපියන්ට හේතු වන්නේ කුමක්ද?
පැළයක්—විශේෂයෙන්ම ඔබ සිටවා සාත්තු කළ පැළයක්—අලංකාරයත් සෙවණත් සපයන දැවැන්ත ගසක් දක්වා වැඩෙනවා දැකීම මොනතරම් කදිම අද්දැකීමක්ද! ඒ හා සමානව, දෙවියන්වහන්සේගේ මේරූ සේවකයන් වීම දක්වා වැඩෙන දරුවන් බලාකියා ගන්නාවූ දෙමාපියෝ ඔවුන්ගෙන් ඉමහත් ප්‍රීතියක් ලබති; බයිබලයේ හිතෝපදේශයක් පවසන පරිදි: “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ බිහිකළ තැනැත්තී ප්‍රීතිමත්වේවා.”—හිතෝපදේශ 23:24, 25.
2, 3. (අ) දෙමාපියන්ට ශෝකය හා දුක මඟහැරිය හැක්කේ කෙසේද? (ආ) ප්‍රීතියට හේතුවක් වීම සඳහා පැළෑටි මෙන්ම දරුවන්ට අවශ්‍ය වන්නේ මොනවාද?
2 එහෙත්, දරුවෙක් ඉබේම “ධර්මිෂ්ඨ” හා “බුද්ධිමත්” කෙනෙක් නොවන්නේය. පැළයක් දැවැන්ත ගසක් දක්වා වැඩීමට සැලැස්වීමේදී ශ්‍රමය වැය කළ යුතුවාක් මෙන්ම, ‘ශෝකයට’ හා ‘දුකට’ හේතුවක් වීමෙන් යෞවනයන්ව වැළැක්වීම සඳහා මහත් ආයාසයක් දැරිය යුතුය. (හිතෝපදේශ 17:21, 25) උදාහරණයක් හැටියට, ආධාරක කරුවකට පැළෑටියක් කෙළින් හා ශක්තිමත්ව වැඩීමට සැලැස්විය හැක. නිතිපතා ජලය සැපයීම අත්‍යවශ්‍ය වන අතරම, පැළයක් පළිබෝධයන්ගෙන් ආරක්ෂා කිරීමට සිදු විය හැක. අවසානයේදී, අලංකාරවත් ගසක් බිහිවීමට අතු පෑහීම උපකාරවත් වේ.
3 නුසුදුසු ගතිගුණ ඉවත් කිරීම සඳහා, දරුවන්ට දේවභක්තික පුහුණුව, බයිබල් සත්‍යතාව නමැති ජලයෙන් පූර්ණ වීම, අනිසි සදාචාර බලපෑම්වලින් ආරක්ෂාව හා ප්‍රේමනීය හික්මවීම වැනි දේවල් අවශ්‍ය බව දේවවචනය හෙළි කරයි. මෙම අවශ්‍යතා පිරිමැසීමට තම දරුවන්ව “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන් හා මානසික-ශික්ෂණයෙන්” ඇති දැඩි කිරීමට විශේෂයෙන් පියවරුන්ව දිරිගන්වා තිබේ. (එපීස 6:4, NW) මීට ඇතුළත් වන්නේ කුමක්ද?
යෙහෝවඃවහන්සේගේ වදන් අවධාරණය කිරීම
4. තම දරුවන් කෙරෙහි දෙමාපියන්ට ඇත්තේ කුමන වගකීමක්ද; එමෙන්ම එය ඉටු කරගත හැකිවීමට කලින් ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද?
4 ‘යෙහෝවඃවහන්සේගේ මානසික-ශික්ෂණය’ යන්නෙහි තේරුම, යෙහෝවඃවහන්සේගේ කැමැත්තට එකඟව අපේ කල්පනාව මෙහෙයවීම වේ. එසේනම්, දෙමාපියන් තම සිඟිත්තන්ගේ මනස් තුළට, කාරණා සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ කල්පනා කරන විදිහ පැලපදියම් කළ යුතුය. එපමණක්ද නොව, දයානුකම්පිත හික්මවීම නොහොත් හරිගැස්වීමේ අරමුණින් ලබා දෙන පුහුණුව සැපයීමේදී දෙවියන්වහන්සේ තබන ආදර්ශයද ඔවුන් අනුකරණය කළ යුතුය. (ගීතාවලිය 103:10, 11; හිතෝපදේශ 3:11, 12) එහෙත් මේ දේ කිරීමට කලින්, දෙමාපියන්ම යෙහෝවඃවහන්සේගේ වදන් උරාගත යුතුය; දෙවියන්වහන්සේගේ ප්‍රොපේත මෝසෙස් පුරාණ ඉශ්රායෙල්වරුන්ට ඒ සම්බන්ධයෙන් මෙසේ අවවාද කළේය: “මා විසින් අද නුඹට අණකරන [යෙහෝවඃවහන්සේගෙන් ලද] මේ වචන නුඹේ සිතේ [ඔබේ හෘදයේ, NW] තිබේවා.”—ද්විතීය කථාව 6:6.
5. ඉශ්රායෙල් ජාතික දෙමාපියන් තම දරුවන්ව පුහුණු කළ යුතු වූයේ කුමන අවස්ථාවේදී හා කුමන මාර්ගය යොදාගනිමින්ද; ‘හොඳාකාරයෙන් ඉගැන්වීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
5 මෝසෙස් ඊළඟට අණ කළ දේ කිරීම සඳහා දෙමාපියන්ව සන්නද්ධ කිරීමට, බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීම, මෙනෙහි කිරීම හා යාච්ඤාව උපකාරවත් වේ: “[යෙහෝවඃවහන්සේගේ වදන්] නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.” (ඇල අකුරු අපේය.) “හොඳාකාරයෙන් උගන්වා” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙහි තේරුම, “පුනරුක්තිය,” “නැවත නැවත කීම,” “තියුණු ලෙස කාවැද්දවීම” වේ. යෙහෝවඃවහන්සේගේ වදන්වලට මුල් තැන දීමේ අවශ්‍යතාව මෝසෙස් තවදුරටත් අවධාරණය කළ අයුරු සැලකිල්ලට ගන්න: “ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා නුඹේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා. ඒවා නුඹේ ගෙයි උළුවහු පිටද නුඹේ දොරවල් පිටද ලියන්න.” දෙමාපියන් තම දරුවන්ට නිතිපතා, ප්‍රේමනීය අවධානයක් දීම යෙහෝවඃවහන්සේ අපේක්ෂා කරන බව මොනතරම් පැහැදිලිද!—ද්විතීය කථාව 6:7-9.
6. දෙමාපියන් තම දරුවන්ට හොඳාකාරයෙන් ඉගැන්විය යුතු වූයේ මොනවාද; එමෙන්ම කුමන ප්‍රයෝජනයක් ඇතුවද?
6 දෙමාපියන් තම දරුවන්ට හොඳාකාරයෙන් ඉගැන්විය යුතු වූ යෙහෝවඃවහන්සේගේ “මේ වචන” මොනවාද? මොහොතකට කලින්, මෝසෙස් මිනී නොමැරීමට, කාමමිථ්‍යාචාරය නොකිරීමට, සොරකම් නොකිරීමට, බොරු සාක්ෂි නොදීමට හා අන්වස්තු ආශා නොකිරීමට වූ ආඥා ඇතුළුව, දස පනත යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන දේ නැවත ප්‍රකාශ කර තිබුණා පමණි. එවැනි සදාචාරමය අවශ්‍යතා මෙන්ම “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම” කිරීමට වූ ආඥාව, ඉශ්රායෙල් ජාතික දෙමාපියන් තම දරුවන්ට හොඳාකාරයෙන් ඉගැන්විය යුතු දේ අතර විශේෂ තැනක් ගත්තේය. (ද්විතීය කථාව 5: 6-21; 6:1-5) අදදින දරුවන්ටත් අවශ්‍ය වන්නේ මෙයාකාරම ඉගැන්වීමක් බවට ඔබ එකඟ වන්නේ නැද්ද?
7. (අ) බයිබලයෙහි දරුවන්ව කුමකට සමාන කර තිබේද? (ආ) අපි දැන් කුමක් පරීක්ෂා කර බලන්නෙමුද?
7 ඉශ්රායෙල් ජාතික පියවරුන්ට මෙසේ පවසන ලදි: “නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.” (ගීතාවලිය 128:3) එහෙත්, ශෝකය අද්දකිනවා වෙනුවට, තම “පැළෑටි” මගින් ප්‍රීතියක් ලැබීමට නම්, ඔවුන් තම දරුවන් කෙරෙහි පෞද්ගලික, දෛනික උනන්දුවක් දැක්විය යුතුය. (හිතෝපදේශ 10:1; 13:24; 29:15, 17) දෙමාපියන්ට තම දරුවන්ගෙන් සැබෑ ප්‍රීතියක් ලබාගත හැකි වන පරිද්දෙන්, ඔවුන්ට තම දරුවන්ව පුහුණු කළ හැකි, ආත්මිකව වතුර වත් කළ හැකි, ආරක්ෂා කළ හැකි හා ප්‍රේමනීයව හික්මවිය හැකි ආකාරය අපි දැන් පරීක්ෂා කර බලමු.
ළදරුවියේ පටන් පුහුණු කිරීම
8. (අ) තිමෝති වෙනුවෙන් ඉගැන්වීමේ කරු වශයෙන් කටයුතු කළේ කවුරුන්ද? (ආ) පුහුණුව ආරම්භ වූයේ කවදා සිටද; එමෙන්ම කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
8 තිමෝතිව සලකා බලන්න. හොඳින් සවි වූ ඉගැන්වීමේ කරු දෙකක් හා සමාන වූ තම මවගෙන් හා ආච්චිගෙන් ඔහු අනුබලය ලැබුවේය. තිමෝතිගේ පියා ග්රීකයෙකු මෙන්ම නොඇදහිලිකාරයෙකු වූ බැවින්, ‘ශුද්ධ ලියවිලි ළදරු වියේ පටන්’ දරුවාට ඉගැන්වූයේ ඔහුගේ යුදෙව් ජාතික මව වන එවුනීකි හා ආච්චි වන ලොයිස්ය. (2 තිමෝති 1:5, NW; 2 තිමෝ 3:15; ක්‍රියා 16:1) තිමෝති ළදරුවෙකුව සිටියදී පවා, ඔහුට “[යෙහෝවඃවහන්සේ] කළ ආශ්චර්ය ක්‍රියා” ඉගැන්වීමෙහිලා ඔවුන් දැක්වූ උත්සාහවන්තකමට මහඟු විපාක ප්‍රතිඵල විය. (ගීතාවලිය 78:1, 3, 4) සමහරවිට නහඹරයෙකුව සිටියදී, තිමෝති දුර බැහැර ප්‍රදේශවල මිෂනාරියෙකු හැටියට සේවය කළ අතර, මුල් ක්‍රිස්තියානි සභාවන් ශක්තිමත් කිරීමෙහි ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.—ක්‍රියා 16:2-5; 1 කොරින්ති 4:17; පිලිප්පි 2:19-23.
9. ද්‍රව්‍යවාදයේ උගුල් මඟහැරීමට යෞවනයන්ට ඉගෙනගත හැක්කේ කෙසේද?
9 දෙමාපියෙනි, ඔබ කවර ආකාරයේ ඉගැන්වීමේ කරුද? උදාහරණයක් වශයෙන්, ඔබේ දරුවන් ද්‍රව්‍යමය දේවල් ගැන සමබර අදහසක් වර්ධනය කරගන්නවාට ඔබ කැමතිද? එසේනම්, ඔබට ඇත්තෙන්ම අවශ්‍ය නොවන නවීන පන්නයේ උපකරණ හා වෙනත් දේවල් පසුපස නොගොස්, හරි ආදර්ශය තැබීම අවශ්‍යය. ද්‍රව්‍යමය වාසි පසුපස හඹා යෑමට ඔබ තෝරාගන්නවා නම්, ඔබේ දරුවන් ඔබේ ගමන් මාර්ගය අනුගමනය කරන විට පුදුම නොවන්න. (මතෙව් 6:24; 1 තිමෝති 6:9, 10) ඇත්තෙන්ම, ඉගැන්වීමේ කරු කෙළින් පිහිටා නැත්නම්, පැළයට කෙළින් වැඩෙන්ට පුළුවන් වන්නේ කොහොමද?
10. දෙමාපියන් හැමවිටම පැතිය යුත්තේ කාගේ මඟ පෙන්වීමද; ඔවුන්ට කුමන ආකල්පයක් තිබිය යුතුද?
10 තම දරුවන්ගෙන් ප්‍රීතියක් ලබන දෙමාපියන් ඔවුන්ව පුහුණු කිරීමේදී නිරන්තරයෙන්ම දිව්‍යමය උපකාරය පතන අතර, ඔවුහු හැමවිටම තම දරුවන්ගේ ආත්මික ශුභසිද්ධිය තකා කටයුතු කරන්නෝය. සිව්දරු මවක් මෙසේ විස්තර කළාය: “අපේ දරුවන් ඉපදෙන්නත් කලින්, හොඳ දෙමාපියන් වීමට, දේවවචනයේ මඟ පෙන්වීම අනුව කටයුතු කිරීමට හා එය අපේ ජීවිතයට අදාළ කරගැනීමට අපි නිතරම පාහේ යෙහෝවඃවහන්සේගෙන් උපකාරය ඉල්ලමින් යාච්ඤා කරනවා.” ඈ මෙම අදහසද පළ කළාය: “ ‘යෙහෝවඃවහන්සේට පළමු තැන දෙන්න ඕනෑ’ කියන එක අපි කට වචනයට සීමා කළේ නැහැ; අපි අපේ ජීවිත ගත කළේ ඒ විදිහටයි.”—විනිශ්චයකාරයන් 13:8.
නිතිපතා “වතුර” සැපයීම
11. වැඩීම සඳහා පැළෑටිවලට මෙන්ම දරුවන්ට අවශ්‍ය වන්නේ මොනවාද?
11 විශේෂයෙන්ම පැළෑටිවලට නිරන්තර වතුර සැපයුමක් අවශ්‍ය වේ; ගඟක් අද්දර ගස් සරුවට වැඩෙන බවට වූ කාරණයෙන් මෙය පැහැදිලිය. (එළිදරව් 22:1, 2, සසඳන්න.) ළදරුවන්ටත් බයිබල් සත්‍යතාව නමැති වතුර නිතිපතා සපයනු ලැබේ නම්, ඔවුහුද ආත්මිකව සරු වන්නෝය. එහෙත් දෙමාපියන්, තම දරුවන්ට කෙතරම් වේලාවකට අවධානය දිය හැකිද කියා බැලීම අවශ්‍යය. ඉඳ හිට දීර්ඝ කාලයක් ගෙන උගන්වනවාට වඩා, කෙටි කාල සීමාවන් තුළ විටින් විට ඉගැන්වීම වඩා ඵලදායී විය හැක. වඩාත් කෙටි වූ එවැනි කාලපරිච්ඡේදවල වටිනාකම අවතක්සේරු නොකරන්න. එකට කාලය ගත කිරීම, දෙමාපියා හා දරුවා අතර කිට්ටු සබඳතාවක් ඇති කිරීම සඳහා ඉතා වැදගත්ය; මෙවන් සමීපතාවක් ශුද්ධ ලියවිලිවල නිතරම දිරිගන්වා තිබේ.—ද්විතීය කථාව 6:6-9; 11:18-21; හිතෝපදේශ 22:6.
12. සිඟිත්තන් සමඟ යාච්ඤා කිරීමේ වටිනාකම කුමක්ද?
12 සිඟිත්තන් සමඟ කාලය ගත කළ හැකි එක් අවස්ථාවකි, දවසේ නිමාව. එක් යෞවනියක් මෙසේ සිහිපත් කරයි: “හැමදාම රෑට අපි අපේම යාච්ඤා ඉදිරිපත් කරන කොට, මගේ අම්මයි තාත්තයි අපේ ඇඳ පාමුලේ වාඩි වෙලා අහගෙන ඉන්නවා.” මේ දෙය කිරීමේ ඇති වැදගත්කම ගැන තවත් තැනැත්තියක් මෙසේ පැවසුවාය: “ඒ හින්දා, නිදාගන්න ඉස්සෙල්ලා හැම රාත්‍රියකම යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීමේ පුරුද්දට මං හුරු වුණා.” තම දෙමාපියන් යෙහෝවඃවහන්සේ ගැන කතා කරන ආකාරයත්, උන්වහන්සේට යාච්ඤා කරන ආකාරයත් දරුවන්ට දිනපතා ඇසේ නම්, උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි සැබෑ පුද්ගලයෙක් වනසේක. එක් යෞවනයෙක් මෙසේ පැවසීය: “මං යෙහෝවඃවහන්සේට යාච්ඤා කරන්න ඇස් වහන කොට, හරියට සීයා කෙනෙක් වගේ කෙනෙක්ව පේනවා. අපි කරන කියන හැම දෙයකටම යෙහෝවඃවහන්සේ සම්බන්ධ වන බව දැකගැනීමට මගේ දෙමාපියන් මට උපකාර කළා.”
13. නිතිපතා පුහුණු කිරීමේ කාලපරිච්ඡේදවලට කුමක් ඇතුළත් විය හැකිද?
13 බයිබල් සත්‍යතාව නමැති ජලය උරාගැනීමට සිඟිත්තන්ට උපකාර කිරීම සඳහා නිතිපතා කරන පුහුණු කිරීමේ කාලපරිච්ඡේදවලට ප්‍රායෝගික දේවල් බොහොමයක් ඇතුළත් කිරීමට දෙමාපියන්ට පුළුවන. නහඹරවියට ආසන්න වයසක සිටින දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියෝ මෙසේ පැවසූහ: “රාජ්‍ය ශාලාවේ නිශ්ශබ්දව ඉඳගැනීමට ළමයින් දෙන්නටම පුහුණු කිරීම පටන්ගත්තේ ඔවුන්ගේ ජීවිතයේ මුල් සතිවල ඉඳන්.” පියෙක් තම පවුලේ අය කළ දේ මෙසේ විස්තර කරයි: “අපි බයිබලයේ හැම පොතකම නම් ඝන කඩදාසි කෑලිවල ලියලා, ඒවා නිසි පිළිවෙළට දාන්න පුහුණු වුණා; ඒක කරන්න අපි ඔක්කොමල්ලාටම අවස්ථාවක් ලැබුණා. මේක කරන්න ළමයි හරි ආශාවෙන් බලාගෙන හිටියා.” බොහෝ පවුල්වල කෑමට කලින් හෝ පසුව කෙටි පුහුණු කාලපරිච්ඡේදයක් පැවැත්වේ. එක් පියෙක් මෙසේ පැවසීය: “දිනපතා බයිබල් පදය සාකච්ඡා කිරීමට රෑ කෑම කන වෙලාව අපට හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා.”
14. (අ) සිඟිත්තන් සමඟ හවුලේ බෙදාගත හැක්කේ ආත්මික වශයෙන් විපාක ගෙන දෙන කුමන ක්‍රියාකාරකම්ද? (ආ) ඉගෙනගැනීම සඳහා දරුවන්ට තිබෙන්නේ කවර ආකාරයේ කුසලතාවක්ද?
14 සිඟිත්තෝ මගේ බයිබල් කතන්දර පොතෙහි තිබෙන විවිධාකාර බයිබල් වාර්තාවලට සවන් දීමෙන්ද මහත් ආස්වාදයක් ලබති.a එක් යුවළක් මෙසේ නිරීක්ෂණය කළේය: “දරුවන් පොඩි කාලෙදී බයිබල් කතන්දර පොතේ පාඩමක් ඉවර කළායින් පස්සේ, ඒගොල්ලෝ විශේෂ ඇඳුම් ඇඳලා ඒ කතාව ඇසුරින් පොඩි නාට්‍යයක් රඟ පානවා. ඒකට ඒගොල්ලෝ හරි ආසයි; ඒ මදිවට හැම පාඩමකදීම එක කතන්දරයකට වැඩියෙන් කරන්න කියලා බල කරනවා.” ඉගෙනීමට ඔබේ දරුවාට තිබෙන හැකියාව අවතක්සේරු නොකරන්න! අවුරුදු සතරක් වයසැති දරුවන් බයිබල් කතන්දර පොතේ සම්පූර්ණ පරිච්ඡේද කටපාඩමින් කීමට සමත් වී ඇති අතර, බයිබලය කියවීමට පවා ඉගෙනගෙන තිබේ. තමාට අවුරුදු තුනහමාරක් විතර වෙද්දී, ඇය නැවත නැවතත් “විනිශ්චයක තීරණ” යන යෙදුම ඉංග්‍රීසියෙන් වරදවා උච්චාරණය කළ මුත්, එම යෙදුම නිවැරදිව උච්චාරණය කිරීමට නිතරම පුහුණු වෙන්න කියා ඇගේ පියා දිරිගැන්වූ බව යෞවනියක් සිහි කරන්නීය.
15. දරුවන් සමඟ කරන සාකච්ඡාවලට කුමන කාරණා ඇතුළත් කළ හැකිද; මෙවැනි සාකච්ඡාවන් ප්‍රයෝජනදායක වන බවට තිබෙන සාක්ෂි කවරේද?
15 ඔබේ සිඟිත්තන් සමඟ ගත කරන කාලපරිච්ඡේදයන්, රැස්වීම්වලදී අදහස් දැක්වීම වැනි, අනුන් සමඟ සත්‍යය නමැති වතුර බෙදාගැනීමට සූදානම් කිරීම සඳහාත් යොදාගත හැක. (හෙබ්‍රෙව් 10:24, 25) එක් යෞවනියක් මෙසේ සිහිපත් කරයි: “අපි පුහුණු වෙන කොට, මගේම වචනවලින් අදහස් දැක්වීමට මට සිද්ධ වෙනවා. තේරුම්ගන්නේ නැතුව නිකම්ම කියවීමට මට ඉඩ දෙන්නේ නැහැ.” ඊට අමතරව, ක්ෂේත්‍ර සේවයෙහි අර්ථවත් ලෙස සහභාගි වීමට දරුවන්ව පුරුදු පුහුණු කළ හැක. දේවභයැති දෙමාපියන් විසින් ඇති දැඩි කරනු ලැබූ ස්ත්‍රියක් මෙසේ පැහැදිලි කරන්නීය: “අපි දෙමාපියන් එක්ක සේවයේ යද්දී, අපි ඔවුන්ගේ සේවයට බලෙන් ඇදගෙන ගිය අය නෙවෙයි. අඩුම තරමින් සීනුව නාද කිරීමෙන්වත් පත්‍රිකාවක් තැබීමෙන්වත්, සහභාගි වෙන්න ඕනෙ කියා අපි දැනගෙන හිටියා. සති අන්තයේ සේවයට යන්න කලින් හොඳට සූදානම් වීමෙන්, කියන්නේ මොකද්ද කියා අපි දැනගෙන හිටියා. සෙනසුරාදා උදේ නැඟිටිද්දී අපි සේවයට යනවාද කියලා අපි කවදාවත් ඇහැව්වේ නැහැ. යනවා කියලා අපි හොඳටම දැනගෙන හිටියා.”
16. දරුවන් සමඟ පවුලේ පාඩමක් නිතිපතා පැවැත්වීම වැදගත් වන්නේ මන්ද?
16 සිඟිත්තන්ට බයිබල් සත්‍යතාව නමැති ජලය නිතිපතා සැපයීමේ අවශ්‍යතාව සුළු පටු යමක් ලෙස සැලකිය නොහැක; ඉන් අදහස් කරන්නේ සතිපතා පවුලේ බයිබල් පාඩමක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවය. “දරුවන් තුළ කෝප ඉපදවීමට වැදගත් හේතුවක් වන්නේ පිළිවෙළකට දේවල් නොකිරීම” බව දෙදරු පියෙක් කියා සිටී. (එපීස 6:4) ඔහු මෙසේ පැවසීය: “මගේ භාර්යාවයි මායි දවසකුත් වෙලාවකුත් නියම කරලා, එම කාලසටහනට අනුව පවුලේ පාඩම අතපසු කරන්නේ නැතුව පැවැත්වූවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා, ඒ වෙලාවට දරුවන් එය බලාපොරොත්තුවෙනුයි හිටියේ.” ළදරු කාලයේ පටන් එවන් පුහුණුවක් වැදගත් වේ. එය කවුරුත් දන්නා ‘රිකිල්ල යන අතට ගහ වැඩෙයි’ යන සත්‍යයට ගැළපේ.
17. සිඟිත්තන්ට බයිබල් සත්‍යතා ලබා දීම තරම්ම වැදගත් වන්නේ කුමක්ද?
17 සිඟිත්තන්ට බයිබල් සත්‍යතා සැපයීම වැදගත් වන මුත්, දෙමාපියන්ගේ ආදර්ශය එලෙසම වැදගත් වේ. ඔබ අධ්‍යයනය කරනවා, නිතිපතා රැස්වීම්වලට යනවා, ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වෙනවා, ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමෙහි ප්‍රීතියක් ලබනවා ඔබේ දරුවන්ට දැකගත හැකිද? (ගීතාවලිය 40:8) එසේ දැකගැනීම ඔවුන්ට ඉතා වැදගත් වේ. තම පුරුෂයාගේ විරුද්ධවාදිකම් විඳදරාගනිමින්, දරුවන් සයදෙනෙකුව විශ්වාසවන්ත සාක්ෂිකරුවන් වීම සඳහා ඇති දැඩි කළ මවකගේ දියණිය, ඇය ගැන මෙසේ කීම සැලකිල්ලට ගැනීම වටී: “අපේ සිතට විශේෂයෙන්ම කාවැදුණේ අම්මාගේම ආදර්ශයයි; ඒ ආදර්ශය කියපු දේවලට වඩා වැඩි බලපෑමක් වුණා.”
සිඟිත්තන්ට ආරක්ෂාව සැපයීම
18. (අ) දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? (ආ) ශරීරයේ ප්‍රජනක අවයවයන් සම්බන්ධයෙන් ඉශ්රායෙල්හි සිඟිත්තන්ට ලැබුණේ කුමන ආකාරයේ ඉගැන්වීමක්ද?
18 අන්තරා සහිත පළිබෝධයන්ගෙන් පැළෑටිවලට ආරක්ෂාව අවශ්‍ය වන්නාක් මෙන්, මෙම දුෂ්ට දේවල පිළිවෙළෙහි, සිඟිත්තන්ට ‘නපුරු මනුෂ්‍යයන්ගෙන්’ ආරක්ෂාව අවශ්‍යය. (2 තිමෝති 3:1-5, 13) දෙමාපියන්ට මෙම ආරක්ෂාව ලබා දිය හැක්කේ කෙසේද? ඇත්තෙන්ම ඔවුන්ට දිව්‍යමය ප්‍රඥාව ලබාගැනීමට උපකාර කිරීමෙනි! (දේශනාකාරයා 7:12) තම ව්‍යවස්ථාව කියවනු ලබන විට, එයට සවන් දීමට යෙහෝවඃවහන්සේ “බාලයන්” ඇතුළු ඉශ්‍රායෙලිතයන්ට ආඥා කළසේක. මෙයට සුදුසු හා නුසුදුසු ලිංගික හැසිරීම කුමක්ද කියා හඳුන්වා දීමද ඇතුළත් විය. (ද්විතීය කථාව 31:12; ලෙවී කථාව 18:6-24) “අණ්ඩ” හා “ලිංගේන්ද්‍රිය” ඇතුළුව, ශරීරයේ ප්‍රජනක අවයවයන් නැවත නැවතත් සඳහන් කොට ඇත. (ලෙවී කථාව 15:1-3, NW, ලෙවී කථාව 15:16; 21:20; 22:24; ගණන් කථාව 25:8; ද්විතීය කථාව 23:10) වර්තමාන ලෝකයේ අන්තයටම ගොස් ඇති දූෂිත තත්වය නිසා, දෙවියන්වහන්සේ “ඉතා යහපත්” ලෙස හැඳින්වූ මැවිල්ලට ඇතුළත් එම ශරීර අවයවයන් සුදුසු හා නුසුදුසුව භාවිත කරන අන්දම ගැන සිඟිත්තන් දැන සිටිය යුතුමය.—උත්පත්ති 1:31; 1 කොරින්ති 12:21-24.
19. සිඟිත්තන්ට තම රහස්‍ය ශරීර අවයවයන් ගැන සැපයිය යුතු උචිත උපදෙස් කවරේද?
19 වඩාත් සුදුසුම දෙය මෙයයි: දෙමාපියන් දෙදෙනාම, නැතහොත් වැඩිහිටි භාරකරු, දරුවාට හෝ දැරියට තම රහස්‍ය ශරීර අවයවයන් මොනවාද කියා හඳුන්වා දිය යුතුය. ඊළඟට මෙම අවයවයන් ස්පර්ශ කිරීමට වෙනත් කිසිම කෙනෙකුට අවසරයක් නැති බව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුය. කාමුක ක්‍රියාවලට පෙලඹවීම සඳහා උපයෝගි කරන සූක්ෂ්ම ක්‍රමවලට සිඟිත්තන් ප්‍රතිචාරය දක්වන ආකාරය ලිංගික අතවර කරන්නන් බොහෝවිට පරීක්ෂා කර බලන නිසා, ස්ථිරව විරෝධතාව දැක්වීමට හා “කරන්න හදන දේ ගැන මං ගිහිං කියනවා!” කියා කීමට දරුවෙකුට ඉගැන්විය යුතුය. තමාට අපහසුවක් දැනීමට සලස්වන ආකාරයකින් ස්පර්ශ කරන ඕනෑම කෙනෙකු මොනතරම් බියගන්වන තර්ජන කළත්, ඔහු කළ දේ ගැන හැමවිටම දැන්විය යුතු බව ඔබේ සිඟිත්තන්ට උගන්වන්න.
ප්‍රේමනීය හික්මවීම සැපයීම
20. (අ) හික්මවීම අතු පෑහීමකට සමාන වන්නේ කෙසේද? (ආ) හික්මවීම වෙනුවෙන් දැරිය යුතු මූලික ප්රයත්නය කුමක්ද; නමුත් ප්‍රතිඵලය කුමක්ද?
20 අතු පෑහීම ගසකට ප්‍රයෝජනදායක වන්නාක් මෙන්, සිඟිත්තෝ ප්‍රේමනීය හික්මවීමෙන් ප්‍රයෝජන ලබති. (හිතෝපදේශ 1:8, 9; 4:13; 13:1) නුසුදුසු අතු ඉවත් කරනු ලබන විට, එය ගසේ වැඩීමට රුකුලකි. එබැවින්, ඔබේ දරුවන්ගේ අවධානය විශේෂයෙන්ම ද්‍රව්‍යමය වස්තු කෙරෙහි යොමු වී තිබේ නම්, එසේ නැතහොත්, ඔවුන් නරක ආශ්‍රයට හෝ අහිතකර විනෝදාස්වාදයට නැඹුරු වේ නම්, මෙම වැරදි නැඹුරුවාවන් ඉවත් කළ යුතු අතු හා සමානය. ඒවා ඉවත් කරනු ලැබේ නම්, නිසි ආත්මික මාර්ගයක් අනුව වැඩීමට ඔබේ දරුවන්ට උපකාර ලැබෙනු ඇත. අතු පෑහීමෙන් ගසක් යම් කම්පනයකට ලක් කළ හැකිවාක් මෙන්ම, හික්මවීම මුලදී ප්‍රියමනාප අද්දැකීමක් නොවේ. එහෙත්, ඔබේ දරුවා වැඩෙනවාට ඔබ කැමති දිශාව අනුව යළි පණගැන්වූ වැඩීමක් අද්දැකීම හික්මවීමේ කදිම ප්‍රතිඵලයක් වේ.—හෙබ්‍රෙව් 12:5-11.
21, 22. (අ) හික්මවීම දීමවත් ලැබීමවත් එතරම් ප්‍රිය උපදවන දෙයක් නොවන බව කුමකින් අඟවනු ලැබේද? (ආ) හික්මවීම ලබා දීමට දෙමාපියන් අදි මදි නොකළ යුත්තේ මන්ද?
21 හික්මවීම දීමවත් ලැබීමවත් මුලදී ප්‍රියමනාප අද්දැකීමක් නොවන බව කවුරුත් පිළිගන්නා දෙයකි. එක් පියෙක් මෙසේ අදහස් දැක්වීය: “මගේ පුතා යෞවනයෙක් සමඟ සෑහෙන කාලයක් ගත කරමින් හිටියා; ඒ යෞවනයා හොඳ ආශ්‍රිතයෙක් නෙවෙයි කියලා වැඩිමහල්ලනුත් මට අවවාද කරලයි තිබුණේ. මට තිබුණේ ඒ සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් කටයුතු කරන්නයි. මගේ පුතා කිසිම බරපතළ වරදකට අහු වුණේ නැතත්, එයා කල්පනා කරන විදිහ හරිගස්සන්න සෑහෙන කාලයක් ගියා.” එම පුතා මෙම නිරීක්ෂණය කළේය: “මගේ හොඳම යාළුවාගේ ආශ්රයෙන් මාව ඉවත් කරනු ලැබූ විට, ඒක මට දරාගන්න බැරි තරම් පාඩුවක් වුණා.” එහෙත් පසුව ඔහු මෙසේ පැවසීය: “හැබැයි ගත්ත තීරණය හොඳ එකක්; ඇයි කිව්වොත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඔහුව සභා ආශ්රයෙන් ඉවත් කරනු ලැබුවා.”
22 “ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය,” කියා දේවවචනය පවසයි. එබැවින්, හික්මවීම ලබා දීම කෙතරම් අපහසු යමක් වුවත්, ඔබේ දරුවන්ගෙන් එය වළක්වා නොගන්න. (හිතෝපදේශ 6:24; 23:13; 29:17) ඔවුන්ව නිවැරදි කිරීම ගැන කල් යද්දී, ඔවුහු කෘතඥපූර්වක වන්නෝය. එක් යෞවනයෙක් මෙසේ සිහිපත් කරයි: “මාව හික්මවූ විට, මගේ දෙමාපියන් එක්ක මම ගොඩක් තරහ වෙනවා මට මතකයි. හැබැයි මගේ දෙමාපියන් මාව එහෙම හික්මවලා නොතිබුණා නම්, මම දැන් ඊටත් වඩා තරහ වෙනවා.”
විපාකය නිසා දරන ප්රයත්නය වටී
23. යෞවනයන් වෙනුවෙන් වැය කරන ප්‍රේමනීය අවධානය සඳහා දැරීමට සිදු වන ප්රයත්නය වටින්නේ මන්ද?
23 දෙමාපියන් මෙන්ම වෙනත් අය යම් දරුවන්ගෙන් ප්‍රීතියක් ලබනවා නම්, එම දරුවන් එම තත්වයට පිවිස සිටින්නේ දෛනික මෙන්ම ප්‍රේමනීය අවධානයක් බොහෝ සෙයින් ලැබීම හේතුකොටගෙන බවට කිසිම සැකයක් නැත. කෙසේවෙතත්, භුක්තිවිඳිය හැකි විපාකය හේතුවෙන්, කායික දරුවන් හෝ ආත්මික දරුවන් හෝ වේවා, ඔවුන් වෙනුවෙන් දරන ඕනෑම ප්රයත්නයක් වටී. මහලු වූ ප්‍රේරිත යොහන් මෙසේ ලියූ විට මෙම කාරණය සනාථ කළේය: “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.”—3 යොහන් 4.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
ඔබට මතකද?
◻ ප්‍රශංසනීය තත්වයකට පත්වීම සඳහා පැළෑටිවලට මෙන්ම දරුවන්ට අවශ්‍ය වන්නේ කුමක්ද?
◻ බලපෑමෙන් යුත් පුහුණු කිරීමේ කරු ලෙස කටයුතු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
◻ සිඟිත්තන්ට ඉගැන්වීම සඳහා ගත කරන කාලයට කුමන දේවල් ඇතුළත් කළ හැකිද; ඔවුන්ට ඉගැන්විය යුත්තේ කුමකට විරුද්ධව සිටීමටද?
◻ අතු පෑහීම ගසකට ප්‍රයෝජනදායක වන්නාක් මෙන්, හික්මවීම දරුවෙකුට ප්‍රයෝජනදායක වන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Green Chimney’s Farm අනුග්රහයෙනි