පවුල රැකීමේ වගකීම ඉසිලීම
“පියවරුනි, ඔබේ දරුවන්ව කෝපයට පත් නොකරන්න; නමුත් යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද ඔවුන්ව දිගටම ඇති දැඩි කරන්න.” (එපීස 6:4, NW) එම ආනුභාව ලත් වචන සමඟින්, ප්‍රේරිත පාවුල් පවුල රැකීමේ වගකීම පැහැදිලිවම ඊට නියමිත තැනෙහි—එනම් පියාගේ කර මත තැබුවා.
වැඩිහරියක් පවුල්වල තම දරුවන් රැකීමේදී පියා තනි වී නැහැ. ඔහුගේ බිරිඳ, එනම් ඔහුගේ දරුවන්ගේ මව, තම සැමියා සමඟ බර ඉසිලීමට ප්‍රීතියෙන් හවුල් වෙයි. මෙබැවින්, සාලමොන් රජ මෙසේ ප්‍රකාශ කළා: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.”—හිතෝපදේශ 1:8.
ශාරීරික හා ආත්මික රැකීම
තම දරුවන්ට ප්‍රේම කරන දෙමාපියන් හිතා මතාම ඔවුන්ව නොසලකා හරින්නේ නැහැ. ඇත්තෙන්ම, ක්‍රිස්තියානීන් එසේ කිරීම තම ඇදහිල්ල අත්හැරීමට සමාන වන බව තිමෝතිට පාවුල් ලියූ වචනවලින් අපි නිගමනය කරන්නෙමු: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) “යෙහෝවාගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද” දරුවන් ඇති දැඩි කිරීම යන්නට ඔවුන්ට ශාරීරික ආකාරයකින් සැපයීමට වඩා වැඩි දෙයක් අවශ්‍ය කරවන බව ක්‍රිස්තියානීන්ට වැටහේ.
ඉශ්රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මෝවබ් සමභූමිවල එක්රැස් වී සිටි අවස්ථාවේදී මෝසෙස් දුන් අවවාදය සලකා බලන්න. එහිදී ඔහු ඔවුන්ට දෙවිගේ නීති නැවත නැවත කිවූ අතර ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නා: “නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද [ප්රාණයෙහිද, NW] [තබාගන්න].” (ද්විතීය කථාව 11:19) තම හෘදයෙන්ද, ප්‍රාණයෙන්ද, ශක්තියෙන්ද යෙහෝවාට ඔවුන් ප්‍රේම කළ යුතුයි කියා කලින් ඔහු ඔවුන්ට සිහිගන්වා තිබුණේ මෙසේ එකතු කරමින්: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා.” (ද්විතීය කථාව 6:5, 6) ඉශ්රායෙල් දෙමාපියන් තම හෘදවලට දෙවිගේ ව්‍යවස්ථාවේ වචන කාවද්දවාගැනීමට ඉඩ සැලැස්වීම වැදගත්ව තිබුණා. ආත්මික අගයෙන් පිරි හෘදවලින් යුතුව, ඉශ්රායෙල් දෙමාපියන්ට මෝසෙස්ගේ ඊළඟ වචනවලට බලපෑමෙන් යුතුව කීකරු වීමට හැකියි: “ඒවා [දෙවිගේ ව්‍යවස්ථාවේ වචන] නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා [දරුවන් තුළ පැලපදියම් කර, NW], නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.”—ද්විතීය කථාව 6:7; 11:19; සසඳන්න මතෙව් 12:34, 35.
පියවරුන්ට එම වචන තම දරුවන් තුළ ‘පැලපදියම් කිරීමටත්, ඒවා ගැන කතා කිරීමටත්’ තිබුණ බව සලකන්න. මිරිඅම්-වෙබ්ස්ට’ස් ක’ලීජිඑට් ඩික්ෂනරි ‘පැලපදියම් කිරීම’ නිර්වචනය කරන්නේ “නිතර නැවත නැවත කීම හෝ අවවාද කිරීම මගින් ඉගැන්වීම හා සිතට කාවැද්දවීමයි.” දෙමාපියන් දිනපතා—උදේ, දවල්, රෑ—දෙවිගේ ව්‍යවස්ථාව ගැන කතා කළ විට, එමගින් තම දරුවන්ට බොහෝ දේ කීමට හැකි වුණා. තම දෙමාපියන් දෙවිගේ ව්‍යවස්ථාවට දක්වන ප්‍රේමය බාලයන්ට අවබෝධ වුණ විට, එය ඔවුන්ටත් යෙහෝවාට කිට්ටු වීමක් ගොඩනැඟීමට බලපෑමක් වුණා. (ද්විතීය කථාව 6:24, 25) තම දරුවන්ට “ගෙයි හිඳින කල” උගන්වන්න කියා මෝසෙස් විශේෂයෙන්ම පියවරුන්ට උපදෙස් දීම උනන්දුවට හේතු වන කරුණක්. එවන් ඉගැන්වීමක් පවුල රැකීමේ කොටසක්ව තිබුණා. නමුත් අදදින ගැන කුමක්ද කියන්න තිබෙන්නේ?
‘ඔබ ඔබේ ගෙයි හිඳින කල’
“ඒක ඒ තරම් ලේසි නැහැ” කියා හතරදෙනෙකුගේ ක්‍රිස්තියානි මවක් වන ජැනට් පැහැදිලි කරයි.a “දිගටම උත්සාහ කරන්න ඕනෙ” කියා ඇගේ සැමියා වන පෝල් ඊට එකඟ වෙයි. වෙනත් බොහෝ සාක්ෂිකාර දෙමාපියන් මෙන්, තම දරුවන්ට අඩුම තරමින් සතියකට වරක්වත් බයිබල් පාඩමක් කිරීමට පෝල් සහ ජැනට් වෙහෙස දරයි. “අපේ පවුලේ බයිබල් සාකච්ඡාව හැම සඳුදා හවසකම නියමිත වෙලාවකට පවත්වන්න අපි උත්සාහ කරනවා” කියා පැහැදිලි කරන පෝල් මෙය පිළිගනියි: “නමුත් ඒක හැම වෙලාවෙම හරියන්නේ නැහැ.” සභාවේ වැඩිමහල්ලෙක්ව සිටින ඔහුට සමහර අවස්ථාවලදී වැදගත් කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඒ වෙලාවට යන්න සිද්ධ වෙයි. ඔහුගේ වැඩිමල් දරුවන් දෙදෙනා පූර්ණ-කාලීන දේවසේවකයන් හැටියට සේවය කරයි. ඔවුන්ට හැඟෙන්නේ දේවසේවයේදී ජනයාව හමුවීමට එම සැඳෑවන් ඵලදායී වේලාවන් බවයි. මේ නිසා පවුලක් වශයෙන් ඔවුන් තම පවුල් පාඩම සඳහා වෙලාව සකස් කරගෙන තිබේ. “අපි සමහර වෙලාවට අපේ සවස ආහාරය ගත්තත් එක්කම වගේ අපේ පාඩම පවත්වනවා” කියා පෝල් පැහැදිලි කරයි.
දෙමාපියන් ඥානවන්තව තම පවුල් පාඩමේ වෙලාව එහා මෙහා කළත්, එය නොකඩවා පැවැත්වීමට ඔවුන් උත්සාහ කරයි. “අපේ පාඩමේ වෙලාව වෙනස් කරන්න තිබුණොත්, තාත්තා ශීතකරණයේ දොරේ හැම අවස්ථාවකම අලුත් වෙලාව දානවා; එතකොට අපි හැමෝම දන්නවා ඒක තියෙන වෙලාව” කියා දියණිය ක්ලැර් විස්තර කරයි.
නිතිපතා පවුලේ බයිබල් පාඩමකට එක්රැස්වීම, පවුලේ බාල සාමාජිකයන්ට තම දෙමාපියන් සමඟ තමන් සැලකිලිමත් වන දේ හා ගැටලු ගැන කතා කරන්න කදිම ප්‍රස්තාවක්ද සපයයි. බාලයන් ඔවුන් භාවිත කරන බයිබල් පාඩම් පොතෙන් ප්‍රශ්නවලට උත්තර නිකම්ම කියවගෙන යන දැඩි පාඩමක් නොවන විට එවැනි පාඩමක් සාර්ථක වෙයි. “සාකච්ඡා කරන්න අපේ පවුල් පාඩම කදිම අවස්ථාවක්” කියා පුතුන් දෙදෙනෙකු සිටින මාටින් පැහැදිලි කරයි. “ශුද්ධ ලියවිලිමය විෂයක් සාකච්ඡා කිරීමට සතියකට වරක් ඔබ එකට එකතු වන විට, ඔබේ පවුලේ ආත්මික තත්වය දැනගන්න ඔබට පුළුවන් වෙනවා” කියා ඔහු අදහස් දක්වයි. “සාකච්ඡාවේදී නොයෙක් දේවල් එළියට එනවා. පාසැලේදී මොනවද වෙන්නේ කියන එක දැනගන්න ලැබෙන අතර, දරුවන් වර්ධනය කරමින් ඉන්නේ මොන වගේ ආකල්පද කියලත් සොයාගන්න ලැබීම ඊටත් වඩා සිතේ සතුටක් ඇති කරනවා.” ඔහුගේ බිරිඳ සැන්ඩ්‍රා ඊට එකඟ වන අතර, තමාත් පවුල් පාඩමෙන් වැඩිමනත් දෙයක් ලබාගන්නා බව ඇයට හැඟේ. “මගේ සැමියා පාඩම පවත්වන අතරතුරේදී, ඔහුගේ ප්‍රශ්නවලට මගේ පුතාලා දෙන උත්තර අහගෙන ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා” යයි ඇය කියයි. එවිට සැන්ඩ්‍රා තම පුතුන්ට උපකාර කරන්න ඇගේ අදහසුත් ඉදිරිපත් කරයි. ඇය ක්‍රියාශීලීව සහභාගි වන නිසා ඇය පාඩමෙන් සතුටක් ලබයි. ඔව්, පවුල් පාඩමේ කාලපරිච්ඡේද දෙමාපියන්ට තම දරුවන්ගේ සිතුවිලි සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධියක් ලබා දෙනවා.—හිතෝපදේශ 16:23; 20:5.
සකස් වන්න එමෙන්ම දිගටම උත්සාහ කරන්න
ඔබේ පවුල් පාඩමට වෙලාව එන විට, එක දරුවෙකු එයට සාවධානව සිටින අතර උනන්දුවක් දැක්වුවත්, තවත් දරුවෙකුගේ අවධානය ගැනීමට හා ප්‍රයෝජන ලබා දීමට ඔහුව චාටු කරගන්න සිදු විය හැකියි. එක ක්‍රිස්තියානි මවක් මෙසේ ප්‍රකාශ කළා: “පවුල් ජීවිතය කියන්නේ ඒකයි! දෙමාපියෙක් වශයෙන් තමන් කළ යුත්තේ කුමක්ද කියා තමන් දන්නවා. එහෙමනම් ඔබ එය කරගෙන යද්දී යෙහෝවා උපකාර කරයි; ප්‍රතිඵල ලබා දෙයි.”
බාලයෙකු අවධානය දෙන කාලය බොහෝදුරට ඔහුගේ වයසට අනුව වෙනස් විය හැකියි. බුද්ධිමත් දෙමාපියෙක් මෙය සැලකිල්ලට ගනියි. එක් යුවළකට වයස 6 සිට 20ගණන් දක්වා දරුවන් පස්දෙනෙකු සිටියි. පියා, මයිකල් මෙසේ පවසයි: “මුලින්ම බාලයාට ප්‍රශ්නවලට උත්තර දෙන්න අවස්ථාව ලබා දෙන්න. ඊට පස්සේ වැඩිමල් දරුවන්ට තමන් සූදානම් කරගෙන තියෙන කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න.” දරුවන් සමඟ මෙලෙස බුද්ධිමත් ආකාරයකින් ක්‍රියා කිරීමෙන් අන් අය ගැන සැලකිලිමත් වීමේ වැදගත්කම උගන්වන්න දෙමාපියන්ට හැකියි. “මගේ එක පුතෙකුට වටහාගන්න පුළුවන් වෙයි; නමුත් අනිත් දරුවාට කාරණය වටහාගන්න වැඩි උපකාරයක් අවශ්‍ය වෙනවා. ක්‍රිස්තියානි ඉවසීම හා ආත්මයේ වෙනත් ඵල විදහාදැක්වීම සඳහා පාඩම පැවැත්වෙන කාලය පුහුණු කිරීමේ කාලයක් වෙනවා කියලා මට හැඟෙනවා” කියා මාටින් ප්‍රකාශ කරයි.—ගලාති 5:22, 23; පිලිප්පි 2:4.
ඔබේ දරුවන්ගේ වෙනස් වන හැකියාවන්ට හා වැඩීමේ මට්ටම්වලට අනුව හැඩගැසීමට සූදානම්ව සිටින්න. දැන් නහඹරයන්ව සිටින සයිමන්ට හා මාර්ක්ට, තමන්ගේ බාල කාලයේදී තම දෙමාපියන් සමඟ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා (ඉංග්‍රීසියෙන්) පොත පාඩම් කිරීමෙන් තමන් ඇත්තටම සතුටක් ලැබුව බව පෙනී ගියා. “අපේ තාත්තා අපිට හරියට නාට්‍යයක වගේ විවිධ කොටස් රඟදක්වන්න සැලැස්සුවා” කියා ඔවුන් මතකයට නඟයි. තම පුත්‍රයන් සමඟ යහපත් සමාරියයාගේ උපමාව රඟදක්වන්න තමාගේ අත් හා දණහිස්වලින් ගිය හැටි ඔවුන්ගේ පියාට මතකයි. (ලූක් 10:30-35) “ඒක ඇත්ත එකක් වගේ; ලොකු සතුටක් ලැබුවා.”
බොහෝ දරුවන් පවුල් පාඩමක දින චර්යාවෙන් කට්ටි පනිනවා. සැලසුම් කර තිබෙන පාඩම නොපවත්වා සිටීමට මෙය දෙමාපියන්ට සැලැස්විය යුතුද? නැහැ, කොහෙත්ම නැහැ. “මෝඩකම [පිරිමි හෝ ගැහැනු] ළමයෙකුගේ සිතට බැඳී [තිබෙන]” බව හිතෝපදේශ 22:15 පිළිගනියි. බොහෝ අවස්ථාවලදී පාඩම පැවැත්වෙන විට බාධක පැමිණ පාඩම ඇණහිටි නිසා එක තනි මවක් සිතුවේ පවුල් පාඩම පවත්වන්නා හැටියට තමා අසමත් කියලයි. නමුත් ඇය දිගටම උත්සාහ කළා. දැන් ඇගේ දරුවන්ට ඇය කෙරෙහි ඉමහත් ගෞරවයක් තිබෙන අතර, නිතිපතා දිගටම පවුල් පාඩම කරගෙන යෑම මගින් ඇය පෙන්වූ ප්‍රේමය හා සැලකිල්ල අගය කරමින්ද සිටියි.
‘පියා නැති’ පිරිමි හා ගැහැනු ළමුන්ට උපකාර කිරීම
ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ‘දෙවිගේ රැළ බලාගන්නන්.’ (1 පේතෘස් 5:2, 3) තම සභාවල පවුල් බලන්න කලින් කලට යෑමෙන්, ක්‍රිස්තියානි වගකීම් උසුලන දෙමාපියන්ව පැසසීමට ඔවුන්ට ප්‍රස්තා ලැබෙයි. තනි දෙමාපියන්ගේ දරුවන්ට ඉගැන්වීමේ වගකීම පැටවෙන්නේ කාගේ කරපිටද? දරුවන්ට උපදෙස් දීමේ වගකීම තිබෙන්නේ දෙමාපියන් මත බව කිසිවිටකත් අමතක නොකරන්න.
දෙමාපියෙකුගේ අඩුව පිරවීමේ කාර්යභාරය දරන්න වැඩිමහල්ලන්ට සිදු වුවහොත්, ඇති විය හැකි ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා දීමේ තත්වයන් වළක්වාගන්න ක්‍රිස්තියානි දූරදර්ශීභාවය වැඩිමහල්ලන්ට උපකාර වේවි. තනි වූ මවක් වන ක්‍රිස්තියානි සහෝදරියක බලන්න සහෝදරයන් දෙදෙනෙකුට යා හැකි වුවත්, පවුල් පාඩම් විධිවිධානයට රුකුල් දෙන ආකාරයකින් ඔවුන් සැලසුම් කරන දෙය ගැන පරෙස්සම් වෙයි. ඉඳහිට, දරුවන්ට (සහ, ඇත්තෙන්ම තනි දෙමාපියාට) වැඩිමහල්ලාගේ පවුල් පාඩමට සහභාගි වීමට ආරාධනා කිරීම ගොඩනංවනසුලු හා ප්‍රායෝගික බව ඔප්පු විය හැකියි. කෙසේවුවත්, යෙහෝවා අපේ උතුම් ස්වර්ගික පියා බව කිසිවිටක අමතක නොකරන්න. මව තම දරුවන් සමඟ පාඩමක් පවත්වන විට, ඇය එය තනිවම පැවැත්වුවත් මඟ පෙන්වීමට හා උපකාර කිරීමට ඔහු නිසැකවම එහි සිටී.
යෞවනයෙක් ආත්මික මනසක් ඇතුව සිටින නමුත් තම දෙමාපියන් ඔවුන්ගේ ආත්මික වගකීම් කෙරෙහි දක්වන්නේ සුළු සැලකිල්ලක්, එහෙමත් නැත්නම් සැලකිල්ලක් දක්වන්නෙම නැත්නම් කුමක්ද? යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් කවදාවත් කලනොකිරිය යුතුයි. “අසරණ තැනැත්තේ [යෙහෝවා දෙවි වන] ඔබට භාරවෙයි” කියා ගීතිකාකාරයා ගැයුවා. “ඔබ පියා නැත්තාගේ [උපකාරකයා වූයේය].” (ගීතාවලිය 10:14) ඒත් එක්කම, දෙමාපියන් තම දරුවන් බලාගන්නා අතරේදී ඔවුන්ව දිරිගැන්වීම සඳහා සභාවේ ප්‍රේමනීය වැඩිමහල්ලන් තමන්ට හැකි උපරිමය කරනු ඇත. ඔවුන් පවුල් සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා කර, ඉන්පසු එකට පාඩම් කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා සමහරක් ඉදිරිපත් කිරීම සඳහා එයට සහභාගි විය හැකියි. ඇත්තෙන්ම, ශුද්ධ ලියවිලිමය ලෙස වගකීම උසුලන දෙමාපියන්ගෙන් ඔවුන් එම වගකීම ඉවතට ගන්න යන්නේ නැහැ.
ඇදහිල්ලේ නොසිටින දෙමාපියන්ගේ දරුවන්ට වැඩි සහයෝගයක් අවශ්‍යයි. ඔවුන්ගේ දෙමාපියන් කැමති නම් ඔවුන්ව ඔබේ පවුල් පාඩමට ඇතුළත් කරගැනීම ප්‍රයෝජනවත් බව ඔප්පු විය හැකියි. දැන් වැඩි වියට පත්ව තමන්ගේම පවුලක් ඇති රොබට් ඔහුගේ දෙමාපියන් එක්ක ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වුණේ ඔහුට වයස අවුරුදු තුනේ ඉඳලයි. ඔහුගේ දෙමාපියන් ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුර නැවැත්වූ විට පවා ඔහුට එම රැස්වීම් ගැන ප්‍රීතිමත් මතකයන් තිබුණා. ඔහුට දහයක්ව තිබියදී, ඔහුට සාක්ෂිකාර පිරිමි ළමයෙක් මුණගැසුණු අතර ඔහු ඔහුව රැස්වීම්වලට කැටුව ගියා. සාක්ෂිකාර පිරිමි ළමයාගේ දෙමාපියන් ආත්මික අනත්දරුවෙකු හැටියට රොබට්ව ඔවුන්ගේ සෙවණට ගත් අතර පසුව ඔහු සමඟ පාඩම් කළා. මේ ප්‍රේමනීය සැලකිල්ලට ස්තුතිවන්ත වෙන්න, ඔහු ශීඝ්‍ර ප්‍රගතියක් ලැබුව අතර, දැන් සභාවේ වැඩිමහල්ලෙකු හැටියට ප්‍රීතියෙන් සේවය කරමින් සිටී.
දෙමාපියන් තම දරුවන්ගේ ප්‍රගතියට විරුද්ධත්වය පෑවත්, දරුවන් තනි වෙලා නැහැ. යෙහෝවා ඇදහිලිවන්ත ස්වර්ගික පියෙකු හැටියට ඉන්නවා. “ශුද්ධ නිවාසයෙහි වැඩවසන [දෙවි] පියා නැත්තන්ට පියෙක්” වන බව ගීතාවලිය 68:5 ප්‍රකාශ කරයි. යාච්ඤාවෙන් ඔහු වෙත හැරෙන්න පුළුවන් බවත්, ඔහු තමන්ව උසුලන බවත් ආත්මික ලෙස පියා නැති පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් දනියි. (ගීතාවලිය 55:22; 146:9) මව් කෙනෙකු බඳු යෙහෝවාගේ සංවිධානය ප්‍රණීත ආත්මික ආහාර වේල් සූදානම් කර, එහි ප්‍රකාශන මගින් හා ලොව පුරා ක්‍රිස්තියානි සභා 85,000කට වඩා වැඩි ප්‍රමාණයක රැස්වීම් මගින් ඒවා බෙදාහැරීමේ වගකීම උද්යෝගයෙන් ඉටු කරයි. මෙලෙස, අපේ පියා වූ යෙහෝවාගෙන් හා මවක් බඳු ඔහුගේ සංවිධානයෙන් ලැබෙන ආත්මික උපකාරයෙන් “පියා නැත්තා” පවා යම් දුරකට බයිබල් පාඩම භුක්ති විඳීවි.
තම දරුවන් සමඟ නිතිපතා පවුල් බයිබල් පාඩම් පවත්වන ක්‍රිස්තියානි දෙමාපියන් පැසසුම් ලැබිය යුතුයි. යෙහෝවාගේ මාර්ගවල තම බාලයන්ව පුහුණු කිරීමෙහි දිගටම උත්සාහ දරන තනි දෙමාපියන්, තම වෑයම්වලට විශේෂ අවධානය හා පැසසුම ලබන්න වටියි. (හිතෝපදේශ 22:6) ආත්මික ලෙස පියා නැති දරුවන්ට සැලකිල්ල දක්වන සියලුදෙනාම, මෙමගින් අපේ ස්වර්ගික පියා වූ යෙහෝවාව සතුටු කරන බව දන්නවා. පවුලක ආත්මික අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වීම බැරෑරුම් වගකීමක්. නමුත් ‘වෙහෙසට පත් නොවුවොත් ඔබ නියම කාලයේදී ඵල නෙළාගන්න යන බැවින් අත් නොහරින්න.’—ගලාති 6:9.
[පාදසටහන]
a සමහර නම් වෙනස් කර ඇත.
[23වන පිටුවේ පින්තූරය]
තම අවශ්‍යතා ගැන තම දෙමාපියන් සමඟ කතා කිරීමට පවුල් පාඩමක් බාල සාමාජිකයන්ට කදිම අවස්ථාවක් සපයයි
[20වන පිටුවේ පින්තූරය හිමිකම් විස්තර]
Harper’s