රාහබ්—ඇදහිල්ලේ ක්‍රියා මගින් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කෙරිණි
මොහොතකට කල්පනා කර බලන්න! වේශ්‍යාවක් දෙවියන් වහන්සේගේ මිම්මෙන් ධර්මිෂ්ඨ යයි ප්‍රකාශ කරනු ලබන්නී ය. “කවදාවත් එහෙම වෙන්න බැහැ” කියා බොහෝ දෙනෙක් තරයේ කියා සිටිනු ඇත. එහෙත්, පුරාතන කානානීය නුවරක් වූ, යෙරිකෝවේ විසූ ගණිකාවක් වූ රාහබ්ට සිදු වූයේ එයයි.
බයිබල් ලේඛක යාකොබ් මෙසේ වාර්තා කරයි: “මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු [ලැබේ.] . . . එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද? මක්නිසාද ආත්මය [ස්ප්‍රීතුව, NW] නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.” (යාකොබ් 2:24-26) රාහබ් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබුවේ මන්ද? දෙවියන් වහන්සේ සමඟ මෙතරම් වරප්‍රසාද ලත් ස්ථාරවයක් ලබන්නට ඇය කුමක් කළා ද?
ඊශ්‍රායෙල්වරු එනවා!
අපි පො.යු.පෙර 1473වන වසරට හැරෙමු. පසුබිම මනසින් චිත්‍රයකට නගා ගන්න. යෙරිකෝවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. වේශ්‍යාව වූ රාහබ්ගේ ගෙය තනා ඇත්තේ එම නුවරේ පහුර මත ය. මෙම උස් ස්ථානයේ සිට බලන කල, ඇයට නැගෙනහිර දෙසින් පිටාර ගලන යොර්දාන් ගඟේ ජලය පෙනේ යයි සිතන්නට පුළුවන. (යෝෂුවා 3:15) එහි නැගෙනහිර ඉවුර මත, 6,00,000කට වඩා වැඩි යුද්ධ බලඇණියක් සහිත, ඊශ්‍රායෙලිතයන්ගේ කඳවුරු ඇය දකිනවා විය හැක. ඔවුන් සිටින්නේ සැතපුම් කිහිපයක් දුරින් පමණි!
සටන්වල දී ඊශ්‍රායෙලිතයන්ගේ වීර ක්‍රියාවන් ගැන රාහබ් දැන සිටියා ය. ඇය යෙහෝවඃ වහන්සේගේ බලයේ ප්‍රදර්ශනයන් ගැන, විශේෂයෙන් ම රතු මුහුද තුළින් ඊශ්‍රායෙලිතයන් හට පලා යාමට පටු මගක් විවෘත කිරීමෙන් එය පෙන්නූ ආකාරය ගැන ද අසා ඇත. එසේ නම්, නිසැක ව ම, උතුරා යන යොර්දාන් ගඟේ ජලය බාධකයක් වන්නට යන්නේ නැත. මෙය අර්බුදකාරී අවස්ථාවකි! රාහබ් ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේ ද?
රාහබ් තම ස්ථාවරය ගනී
වැඩි කලක් නොගොස්, අනපේක්ෂිත ආගන්තුකයන්—එනම් ඊශ්‍රායෙල් කඳවුරෙන් ඔත්තුකරුවන්—දෙදෙනෙක්, රාහබ් පිළිගනී. ඔවුන් නවාතැනක් සොයන අතර, ඇය ඔවුන් ව තමාගේ නිවසට පිළිගනී. එහෙත් ඔවුන් පැමිණ සිටින බව යෙරිකෝවේ රජුට දැනගන්නට ලැබේ. ඒ ඇසිල්ලෙන් ම ඔවුන් ව අත්අඩංගුවට ගැනීමට ඔහු සිය නගරාරක්ෂක භටයන් යවයි.—යෝෂුවා 2:1, 2.
රජුගේ නිලධාරීන් පැමිණෙන විට, රාහබ් යෙහෝවඃ දෙවියන් වහන්සේ වෙනුවෙන් සිය ස්ථාවරය ගෙන හමාර ය. “නුඹ වෙතට ඇවිත් නුඹේ ගෙට ඇතුල්වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න” කියා රාජ සේවකයෝ අණ කරති. තමාගේ ගෙයි පියස්ස උඩ අහුරා තිබුණු හණ දඬු යට රාහබ් ඔත්තුකාරයන් ව සඟවා ඇත. ඇය මෙසේ කියන්නී ය: “එසේය, ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය, නුමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමි. තවද කළුවර වී [නගරයේ, NW] දොර වසන වේලාව පමණේදී ඒ මනුෂ්‍යයෝ පිටතට ගියෝය. කොතැනට ගියෝදැයි නොදනිමි. ඉක්මනින් ඔවුන් පස්සේ එළවාගන පලයල්ලා; නුඹලා ඔවුන් කරා පැමිණෙනවා ඇත.” (යෝෂුවා 2:3-5) රජගේ මනුෂ්‍යයෝ එසේ කරති—නමුත් එය නිෂ්ඵල උත්සහයකි.
රාහබ් සතුරන් ව නොමඟ යවා ඇත. ඒ ඇසිල්ලෙන් ම ඇය යෙහෝවඃ වහන්සේ කෙරෙහි වූ තමාගේ ඇදහිල්ල ක්‍රියාවෙන් නිරූපනය කරන්නා වූ වැඩිමනත් පියවර ගනී. පියස්සට යන ඇය, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] දේශය නුඹලාට දී තිබෙන බවද . . . දනිමි” යයි ඔත්තුකාරයන්ට කියන්නී ය. ඊට වසර 40කට කලින් ඊශ්‍රායෙලිතයන් ඉදිරියෙහි දෙවියන් වහන්සේ “රතු මුහුදේ වතුර සිඳෙවූ” බව තමන් අසා තිබෙන නිසා, දේශයේ වැසියන් බියෙන් සිටින බව රාහබ් පිළිගන්නී ය. ඊශ්‍රායෙලිතයන් අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනෙක් විනාශ කළ බව ද වැසියෝ දනිති. “ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් [හෘද, NW] දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම [යෙහෝවඃ වහන්සේ ම, NW] ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය” කියා රාහබ් පවසයි.—යෝෂුවා 2:8-11.
“ඉතින් මා නුඹලාට කරුණාකළ [ප්‍රේමනීය කරුණාව පෙන්වූ, NW] බැවින් නුඹලාත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් [ප්‍රේමනීය කරුණාව පෙන්වමින්, NW] මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට අපේ ප්‍රාණ මරණයෙන් ගළවන හැටියට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] ගැන [පිට, NW] මට දිවුරා සත්‍යවූ ලකුණක් මට දුනමැනවි” කියා රාහබ් ආයාචනා කරන්නී ය.—යෝෂුවා 2:12, 13.
ඊට එකඟවන එම මිනිස්සු කළ යුතු දෙය රාහබ්ට පවසති. ඔත්තුකාරයන් ව යෙරිකෝවේ පහුරෙන් පිටත භූමියට පහත් කරන්නට පාවිච්චි කරන ලද රතු ලණුව, තමාගේ කවුළුවේ ඇය එල්ලා තැබිය යුතු ය. ඇගේ පවුල ඇගේ ගෙය තුළට රැස් කරවා තැබිය යුතු අතර ආරක්ෂාව පිණිස ඔවුන් එහි රැඳී සිටිය යුතු ය. දේශයේ භූගෝලීය පිහිටීම පිළිබඳ උපකාරවත් තොරතුරු මෙන් ම ලුහුබඳින්නන් ව මඟ හැරිය හැකි ආකාරයත්, පිටත් ව යන ඔත්තුකාරයන්ට රාහබ් පවසයි. ඔත්තුකාරයෝ මෙසේ කරති. රතු ලණුව ප්‍රදර්ශනය පිණිස තැබීමෙනුත්, තමාගේ පවුලේ සාමාජිකයන් ව එක්රැස් කර තැබීමෙනුත් අනතුරුව, රාහබ් වැඩිමනත් දෑ සිදුවන තුරු බලා සිටින්නී ය.—යෝෂුවා 2:14-24.
රාහබ් කර ඇත්තේ කුමක් ද? ඇයි, ඇය සනාථ කොට ඇත්තේ, තමාගේ ඇදහිල්ල සර්ව බලධාරී දෙවියන් වන, යෙහෝවඃ වහන්සේ කෙරෙහි පිහිටා තිබෙන බවයි! උන් වහන්සේගේ ප්‍රමිති අනුව ඇය ජීවත් වනු ඇත. එසේ ය, තව ද ඇය ව එවන් ඇදහිල්ලේ ක්‍රියාවන් වෙනුවෙන් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලබනවා ඇත.
පහුරු බිඳ වැටේ!
සති කිහිපයක් ගතවේ. ඊශ්‍රායෙලයේ රණශූරයෝ, පූජකයන් ව—ඇතැමෙක් බැටළු අං ද, අන්‍යයන් පරිශුද්ධ ගිවිසුම් පෙට්ටිය ද සමඟින්—කැටුව ගොස්, යෙරිකෝව වටා ගමන් කරති. මේ වන විට ඔවුන් සෑම දිනක ම එක් වරක් බැගින් දින හයක් පුරා මෙය කර තිබුණි. කෙසේ වෙතත්, මෙම හත්වන දිනයේ, ඔවුන් නුවර වටා හය වරක් ගමන් කර ඇත. අන්න ඔවුන් යළිත් යනවා!
හත්වන ගමන නිම වේ, ඒත් සමඟ ම බොහෝ වේලාවක් පවත්වන හොරණෑ ශබ්දය ගුවන්තලය සිසාරා ගිගුම් දෙයි. ඊශ්‍රායෙලිතයෝ මෙවිට මහත් ඔල්වර හඬක් නගති. ඒත් සමඟ ම, යෙහෝවඃ වහන්සේ යෙරිකෝවේ ආරක්ෂක පහුරු මහත් හඬක් නගමින් වැටෙන්නට සලස්වන සේක. රාහබ්ගේ නිවස පිහිටා ඇති කොටස පමණක් ඉතිරි ව පවතී. නගරයේ ඉතිරි කොටස හා එහි වැසියෝ විනාශ වී ඇත. ක්‍රියාවන්ගෙන් සනාථ කරන ලද ඇදහිල්ලක් සහිත, මනස්තාප වූ ගණිකාව තමාගේ ගෙවැසියන් සමඟ ආරක්ෂා කරනු ලබන අතර ඇය යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර වාසය කරන්නට පටන් ගන්නී ය.—යෝෂුවා 6:1-25.
රාහබ්ගේ ගති ලක්ෂණ දෙස බැල්මක්
රාහබ් කම්මැලි කාන්තාවක් නොවූවා ය. මන්දයත් ඇගේ ගෙයි පියස්ස මතට වැටුණු ඉරු රෂ්මියෙන් ඇය හණ දඬු වේලා ගත්තා ය. හණ රෙදි සෑදීමට හණ දඬුවල කෙඳි යොදා ගනු ලැබී ය. රාහබ්ගේ නිවසේ රතු නූල් තොගයක් ද තිබුණි. (යෝෂුවා 2:6, 18) එනිසා ඇය හණ රෙදි නිෂ්පාදනයේ නියැලෙන්නට ඇති අතර සායම් දමන ආකාරය ද දැන සිටින්නට ඇත. එසේ ය, රාහබ් කාර්යශීලී කාන්තාවක් වූවා ය. අන් සියල්ලකට ම වඩා, යෙහෝවඃ වහන්සේ කෙරෙහි ගෞරවනීය බියක් ඇය තුළ වර්ධනය වී තිබුණි.—හිතෝපදේශ 31:13, 19, 21, 22, 30 සසඳන්න.
රාහබ්ගේ අනෙක් වෘත්තිය ගැන කුමක් කිව හැකි ද? ඇය කටයුතු කළේ යම් නවාතැනක ආගන්තුකයන්ට සත්කාර කරන්නියක් හැටියට පමණක් නොවේ. කොහෙත් ම නැත, ශුද්ධ ලියවිල්ල ඇය ව හඳුන්වා දෙන්නේ, ගණිකාවක් හඟවන්නා වූ හෙබ්‍රෙව් හා ග්‍රීක් වදන් භාවිතා කිරීමෙන් ය. උදාහරණයක් හැටියට, සොහ්·නාහ් යන වදන නිතර නීති විරෝධී සම්බන්ධතාවයක් අදහස් කරයි. එකත් එකට, කානානිවරුන් අතර වේශ්‍යාකම සදාචාරමය වශයෙන් අගෞරවනීය වෘත්තියක් නොවූ බවට සඳහන් කිරීම වටී.
යෙහෝවඃ වහන්සේ විසින් වේශ්‍යාවක යොදා ගනු ලැබීමෙන් පැහැදිලි ලෙස පෙන්වන්නේ උන් වහන්සේගේ මහත් දයාව ය. බාහිර පෙනුම අප ව මුළා කළ හැකිමුත්, දෙවියන් වහන්සේ “සිත [හෘදය, NW] බලනසේක.” (1 සාමුවෙල් 16:7) එබැවින්, තමන්ගේ වේශ්‍යාකම ගැන මනස්තාප වන හරි හදවත් ඇති ගණිකාවන්ට යෙහෝවඃ දෙවියන් වහන්සේගේ පව් කමාව ලබන්නට පුළුවන. (සසඳන්න මතෙව් 21:23, 31, 32.) රාහබ්, පාපයෙන් දිව්‍ය අනුමැතිය ඇති ධර්මිෂ්ඨ ක්‍රියා කලාපයකට ම හැරුණා ය.
ඊශ්‍රායෙලිත ඔත්තුකාරයන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට එකඟ ව ජීවත් වූ බැවින්, ඔවුන් රාහබ්ගේ නිවසේ නවාතැන් ගත්තේ දුරාචාර හේතූන් උදෙසා නොවේ ය. ඔවුන්ගේ හේතුව වන්නට ඇත්තේ, වේශ්‍යාවකගේ නිවසේ තමන් සිටීම සැකයට එතරම් හේතුවක් නොවීම වන්නට පුළුවන. නුවරේ පවුර මත එය පිහිටා තිබීම පලා යාමට ද පහසුකම් සලසනු ඇත. පැහැදිලි ව දැකිය හැකි ලෙසින්, යෙහෝවඃ වහන්සේ ඔවුන් ව මඟ පෙන්වා තිබුණේ පව්කාරියක් වෙතට ය. ඊශ්‍රායෙලිතයන් සමඟ දෙවියන් වහන්සේ කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තා ඇයගේ හෘදයට කොතරම් හිතකර බලපෑමක් ඇති කළේ ද කියතොත්, ඇය මනස්තාප වී තමාගේ මාර්ග වෙනස් කර ගත්තා ය. තමන්ගේ දුරාචාර පුරුදු නිසා ඊශ්‍රායෙලිතයන් කානානිවරුන් ව විනාශ කළ යුතු බවට වූ දෙවියන් වහන්සේගේ ප්රකාශයෙනුත්, රාහබ් හා යෙරිකෝව කෙරෙහි ජයග්‍රහණය සඳහා උන් වහන්සේගේ ආශීර්වාදයෙනුත් පැහැදිලි කරන්නේ එම ඔත්තුකාරයන් කිසිඳු දුරාචාර ක්‍රියාවක් නොකළ බව ය.—ලෙවී කථාව 18:24-30.
ඔත්තුකාරයන් ලුහුබඳිමින් සිටි අය ව මුළා කළ රාහබ්ගේ වදන් ගැන කුමක් කිව හැකි ද? දෙවියන් වහන්සේ ඇයගේ ක්‍රියා මාර්ගය අනුමත කළ සේක. (රෝම 14:4 සසඳන්න.) තමාගේ ඇදහිල්ල පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් කරමින්, උන් වහන්සේගේ සේවකයන්ව ආරක්ෂා කිරීමට, සිදු විය හැකි අනතුර නොතකා ඇය කටයුතු කළා ය. නපුරු අදහසින් කරනු ලබන බොරු කීම් යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ වැරදි සහගත වුවත්, සැබෑ තොරතුරු දැනගැනීමට අයිතියක් නොමැති අයට එම තොරතුරු සැපයීමට යම් පුද්ගලයෙක් බැඳී සිටින්නේ නැත. සම්පූර්ණ තොරතුරු සැපයීම හෝ ඍජු පිළිතුරු දීම නුවුවමනා හානි පමුණුවන්නට ඉඩ තිබූ අවස්ථාවන්හි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා එසේ කළේ නැත. (මතෙව් 7:6; 15:1-6; 21:23-27; යොහන් 7:3-10) ප්රත්යක්ෂ ලෙස, සතුරු නිලධාරීන් ව නොමග යැවූ රාහබ්ගේ ක්‍රියා මාර්ගය ද එම පදනම මත සලකන්නට පුළුවන.
රාහබ්ගේ විපාකය
ඇදහිල්ල පෙන්වීම සඳහා රාහබ්ට විපාක දෙනු ලැබුවේ කෙසේ ද? යෙරිකෝව විනාශ කරන විට ඇය ව ආරක්ෂා කිරීම නිසැක ව ම යෙහෝවඃ වහන්සේගෙන් ලද ආශීර්වාදයකි. පසු ව, ඇය යුදා ගෝත්‍රයේ පාළුකරයේ අධිපතියා වූ නාෂොන්ගේ පුත් සල්මොන් (සල්මා) විවාහ කර ගත්තා ය. දේව භක්තිය පෙන්වූ බෝවස්ගේ මව්පියන් හැටියට, සල්මොන් හා රාහබ්, ඊශ්‍රායෙලයේ දාවිත් රජුගේ මුතුන් මිත්තන්ගේ පරපුරට එක් වූහ. (1 ලේකම් 2:3-15; රූත් 4:20-22) වඩාත් වැදගත් ලෙසින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වංශ පරම්පරාව පිළිබඳ මතෙව්ගේ වාර්තාවේ නම් කරන ලද කාන්තාවන් හතරදෙනා අතර කලින් ගණිකාවක් ව සිටි රාහබ් ද කෙනෙක් වන්නී ය. (මතෙව් 1:5, 6) යෙහෝවඃ වහන්සේගෙන් වූ මොනතරම් මහත් ආශීර්වාදයක් ද!
ඊශ්‍රායෙලිතයෙකු නොවූවත්, කලින් ගණිකාවක් ව සිටියත්, රාහබ් වනාහි තමාගේ ක්‍රියාවන්ගෙන් යෙහෝවඃ වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ල තැබූ බව සනාථ කළ කාන්තාවක් බවට කැපී පෙනෙන ආදර්ශයකි. (හෙබ්‍රෙව් 11:30, 31) තවත් අය මෙන්, එනම් ගණිකාවකගේ ජීවිකාවක් අත්හළ සමහරෙක් මෙන්, ඇය තවත් විපාකයක්—එනම් පාරාදීස පොළොවක ජීවිතයකට මළවුන්ගෙන් නැවත නැගිටීමක්—ලබනු ඇත. (ලූක් 23:43) ක්‍රියාවන්ගෙන් අනුබල ලැබූ ඇයගේ ඇදහිල්ල නිසා, රාහබ් අපගේ ප්‍රේමනීය හා කමාව දානය කරන්නා වූ ස්වර්ගීය පියාණන්ගෙන් අනුමැතිය ලැබුවා ය. (ගීතාවලිය 130:3, 4.) තව ද නිසැක ව ම ඇයගේ කදිම ආදර්ශය ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නා වූ සියල්ලන්ට සදාකාල ජීවනය සඳහා යෙහෝවඃ දෙවියන් වහන්සේ දෙස බැලීමට දිරිගැන්වීමක් ලබා දෙයි.
[23වන පිටුවේ පින්තූරය]
රාහබ් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබුවේ, ඈට ඇදහිල්ල තිබූ බව ඇගේ ක්‍රියා ඔප්පු කළ හෙයිනි
[24වන පිටුවේ පින්තූර]
පුරා විද්‍යාඥයන් විසින් පුරාණ යෙරිකෝවේ නටබුන් අනාවරණය කරන ලදි, මීට පුරාණ පවුරක කුඩා කොටසක් ද ඇතුළත් වේ
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.