ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරමු
බුද්ධිමත් කාන්තාවක්
දාවිත්ගේ මූලිකත්වය යටතේ අවි ගත් යුධ භටයන් 400දෙනෙක් පැමිණෙයි. ඔවුන් පැමිණෙන්නේ අබිගායිල්ගේ ස්වාමිපුරුෂයා වූ නාබල්වත් ඔහුගේ සේවකයන්වත් ඝාතනය කිරීමටයි. ඊට හේතුව කුමක්ද?
නාබල් නම් ධනවත් පුද්ගලයා සිතන්නේ බලන්නේ නැතුව බලවත් සේනාංකයක සෙන්පතියෙකු වූ දාවිත්ව සුළු කළා. නාබල්ගේම සේවකයෙක් ඒ ගැන අබිගායිල්ට දන්වමින් තමන් ඇතුළු අනිකුත් සේවකයන්ව බේරාගැනීමට යම් සැලැස්මක් යොදන්න කියා ඇගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔවුන්ව බේරාගැනීම සඳහා ඇයට කළ හැක්කේ කුමක්ද?
ඒ ගැන කතා කිරීමට පෙර අපි අබිගායිල් ගැන මදකට සලකා බලමු. ඇය කෙබඳු කෙනෙක්ද? ඇයට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
“රුවැති මෙන්ම නුවණැති ස්ත්‍රියක්”
අබිගායිල් සහ නාබල් එකිනෙකාට ගැළපෙන යුවළක් නොවෙයි. නාබල් ඉතා ධනවත් පුද්ගලයෙක්. ඒ නිසා ඔහු සිතුවේ තමා අන් අයට වඩා උසස් කියායි. කෙසේවෙතත් බයිබලයේ ඔහුව විස්තර කර තිබෙන්නේ කිසි කමකට නැති පුද්ගලයෙක් ලෙසයි. නාබල් යන නමේ අර්ථයත් “මෝඩකම” යන්නයි. ඒ නම ඔහුට උපතේදී ලැබුණාද නැතිනම් පසු කාලයේදී ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඔහුට ලැබුණාද කියා අපි හරියටම දන්නේ නැහැ. කොහොමවුණත් එම නම ඔහුට කදිමට ගැළපුණා. නාබල් “ඉතා නපුරු, සැරපරුෂ කෙනෙක්” නිසා බොහෝ අයට ඔහු කෙරෙහි බියක් තිබුණා. එපමණක්ද නොව ඔහු බීමටද ඇබ්බැහි වූවෙක්. මේ හේතු නිසා කිසිම කෙනෙක් ඔහුට ප්‍රිය කළේ නැහැ.—1 සාමුවෙල් 25:2, 3, 17, 21, 25, නව ලොව පරිවර්තනය, NW.
නමුත් අබිගායිල් ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඇගේ නමේ අර්ථය “මගේ පියා ප්‍රීතියට පත් වී ඇත” යන්නයි. සාමාන්‍යයෙන් රූමත් දියණියක් සිටින විට ඕනෑම පියෙක් ආඩම්බර වෙනවා. නමුත් පියෙක් ඊටත් වඩා වැඩියෙන් ආඩම්බර වන්නේ දරුවෙකු තුළ යහපත් ගුණාංග තිබෙන විටයි. බොහෝවිට ලස්සන පෙනුමක් ඇති අය බුද්ධිය, ප්‍රඥාව, ධෛර්යය සහ දෙවි කෙරෙහි විශ්වාසය ඇතුව සිටීම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් අබිගායිල්ට ලස්සන පෙනුමක් මෙන්ම යහපත් ගුණාංගත් තිබුණා.—1 සාමුවෙල් 25:3.
එසේනම් අබිගායිල් වැනි බුද්ධිමත් කාන්තාවක් නාබල් වැනි කිසිකමකට නැති කෙනෙකුව විවාහ කරගත්තේ ඇයි? බොහෝවිට අතීතයේදී විවාහයන් සැලසුම් කරනු ලැබුවේ දෙමාපියන් විසිනුයි. එමෙන්ම විවාහයන් සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලැබීමද ඉතා වැදගත් වුණා. කොහොමවුණත් අබිගායිල්ගේ විවාහය සැලසුම් කළේ ඇගේ දෙමාපියන්ද කියා අපි දන්නේ නැහැ. සමහරවිට නාබල් ධනවත් කෙනෙක් නිසා ඇගේ දෙමාපියන් ඇයව ඔහුට විවාහ කර දෙන්න ඇති. එසේ කිරීමෙන් තම පවුලේ දිලිඳුකමට විසඳුමක් ලැබෙයි කියා ඇගේ දෙමාපියන් සිතුවා විය හැකියි. ඒ කුමන හේතුවක් නිසා ඇය නාබල් සමඟ විවාහ වුණත් මුදල් තිබූ පමණින් නාබල් හොඳ ස්වාමිපුරුෂයෙක් වුණේ නැහැ.
විවාහය ගෞරවනීය දෙයක් ලෙස සැලකීම කොතරම් වටිනවාද කියා දෙමාපියන් තම දරුවන්ට ඉගැන්විය යුතුයි. මුදල් තිබූ පමණින් ධනවත් කෙනෙකුව විවාහ කරගන්න කියා ඥානවන්ත දෙමාපියන් දරුවන්ව දිරිගන්වන්නේ නැහැ. එමෙන්ම වගකීම් දැරිය හැකි වයසකට පැමිණෙන තෙක් ප්‍රේම සම්බන්ධකම් ඇති කර නොගන්න කියාත් ඔවුන් දරුවන්ට පවසනවා. (1 කොරින්ති 7:36) කෙසේවෙතත් අබිගායිල්ගේ තත්වය ඊට වඩා වෙනස්. ඇය සැරපරුෂ සැමියෙක් යටතේ සිටියත් බිරිඳක් ලෙස තම යුතුකම් ඉටු කිරීමට වගබලා ගත්තා.
“අපේ ස්වාමියා ඔහුට බැණවැදුණා”
නාබල් අපහාස කළේ සාවුල් රජගෙන් පසුව රජකමට පත් වීමට සිටි දාවිත්ටයි. එය අබිගායිල්ට කෙසේ බලපාන්න ඇද්ද? ඒ වන විටත් යෙහෝවා දෙවි අනාගතවක්තෘ සාමුවෙල් මාර්ගයෙන් දාවිත්ව රජකමට අභිෂේක කර තිබුණා. (1 සාමුවෙල් 16:1, 2, 11-13) දාවිත්ට රජකම හිමි වන බව දැනගත් සාවුල් රජ දාවිත්ව මරන්න තැත් කළා. ඒ නිසා දාවිත්ට ඉතා දුෂ්කර තැන්වල සැඟවී සිටීමට සිදු වුණා. ඔහු සමඟ තවත් සෙබළුන් 600ක්ද සිටියා.
නාබල් ජීවත් වුණේ මායොන්වලයි. නමුත් ඔහුගේ බැටළුවන් 3,000දෙනාට තණ කොළ කැවීමට ඔහුගේ සේවකයන් කර්මෙල්a ආශ්රිත ප්‍රදේශවලට පැමිණියා. දාවිත් ඇතුළු පිරිස සැඟවී සිටියේ ඊට නුදුරින් පිහිටි පාළුකරයේ ගුහාවලයි. ඒ නිසා ඔවුන්ට නිතර දෙවේලේ නාබල්ගේ සේවකයන්ව මුණගැසෙන්න ඇති. කර්මෙල්වලට දකුණින් පාරාන් පාළුකරයත් නැඟෙනහිරින් මළ මුහුද අවට පාළුකරයත් පිහිටා තිබුණා.
එවන් දුෂ්කර පරිසරයක සිටි දාවිත්ට හා ඔහුගේ පිරිසට ආහාර පාන සොයාගැනීම මොන තරම් දුෂ්කර කාර්යයක් වන්න ඇද්ද! අවශ්‍ය නම් ඔවුන්ට නාබල්ගේ බැටළුවන්ව සොරකම් කිරීමට අවස්ථාව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ ප්‍රදේශවල දරුණු වනසතුන්ද සිටියා. එමෙන්ම කර්මෙල් ප්‍රදේශය ඊශ්‍රායෙලයේ දකුණු මායිමට යාබදව පිහිටා තිබූ නිසා සතුරන්ගේ හා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වීමේ අවදානමද තිබුණා.b ඒ සියල්ල හමුවේ නාබල්ගේ එඬේරුන්ව සහ බැටළුවන්ව දාවිත් ආරක්ෂා කළා.—1 සාමුවෙල් 25:15, 16.
බැටළුවන්ගේ ලොම් කපන කාලයේදී දාවිත් තමාටත් තමා සමඟ සිටි පිරිසටත් අවශ්‍ය ආහාර ඉල්ලාගැනීම සඳහා සේවකයන් කිහිපදෙනෙකුව නාබල් වෙතට යැව්වා. සාමාන්‍යයෙන් ලොම් කපන කාලය උත්සව සමයක් වන අතර එකිනෙකා සමඟ දේවල් බෙදාගැනීමත් ඒ කාලයේදී සිදු වුණා. දාවිත් තම සේවකයන් අත කියා හැරියේ “ඔබේ පුත්‍රයෙක් වගේ ඉන්න මටත්” මගේ සේවකයන්ටත් කැමති දෙයක් දෙන්න කියායි. මෙහිදී දාවිත් තමාවම පුත්‍රයෙකුට සමාන කළේ වැඩිහිටියෙක් ලෙස නාබල්ට නිසි ගෞරවය පෙන්වීමට විය හැකියි. නමුත් නාබල්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?—1 සාමුවෙල් 25:5-8, NW.
නාබල් කෝපයෙන් දාවිත්ගේ සේවකයන්ට “බැණවැදුණා.” ඒ ගැන නාබල්ගේම සේවකයෙක් අබිගායිල්ට දැනුම් දුන්නා. නාබල් කියා සිටියේ තමා සතු රොටි, වතුර සහ මස් වෙන කිසිවෙකුට නොදෙන බවයි. ඒ අවස්ථාවේදී ඔහු දාවිත්ට නින්දා කරමින් ස්වාමියාගේ නිවසෙන් පැන ගිය සේවකයෙකුට දාවිත්ව සමාන කළා. නමුත් යෙහෝවා දෙවි දාවිත්ව සැලකුවේ ඊශ්‍රායෙල්හි අනාගත රජ ලෙසයි. කෙසේවෙතත් නාබල් සහ සාවුල් රජ දාවිත්ව අනාගත රජ සෙල සැලකුවේ නැහැ.—1 සාමුවෙල් 25:10, 11, 14.
නාබල් පැවසූ දේ දාවිත්ගේ සේවකයන් පැමිණ ඔහුට දැනුම් දුන්නා. එවිට දාවිත් කෝපයට පත් වී “හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න” කියා අණ කළා. ඉන්පසු ඔහු ඇතුළු සෙබළුන් 400දෙනෙක් නාබල්ට ත් ඔහුගේ සේවකයන්ටත් පහර දීමට පිටත් වුණා. (1 සාමුවෙල් 25:12, 13, 21, 22) දාවිත්ට කෝප වීමට හේතු තිබුණත් ඒ අවස්ථාවේදී ඔහු ගත් ක්‍රියා මාර්ගය වැරදියි. එයට හේතුව “මිනිසාගේ උදහසින් දෙවිගේ ධර්මිෂ්ඨකම ඉටු වන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වීමයි. (යාකොබ් 1:20) මෙවැනි තත්වයක් හමුවේ නාබල්ගේ බිරිඳ වූ අබිගායිල් කුමක් කරයිද?
සිහිනුවණින් ක්‍රියා කළ ඇය
අබිගායිල් කටයුතු කළේ උඩඟු නාබල් මෙන් නොවෙයි. මතු වූ ගැටලුව ගැන පැවසීමට නාබල්ගේ සේවකයා නොබියව අබිගායිල් වෙතට ගියේ ඒ නිසයි. නමුත් තමන් අන් අයට වඩා උසස් කියා නාබල් සිතූ නිසා ඔහු කිසි කෙනෙකුට සවන් දෙන්න කැමති වුණේ නැහැ. “අපේ ස්වාමියා ඉතා සැරපරුෂ කෙනෙක් නිසා මේ ගැන ඔහු සමඟ කතා කරන්න බැහැ” කියා නාබල්ගේම සේවකයෙක් අබිගායිල්ට පැවසුවේ ඒ නිසයි.c—1 සාමුවෙල් 25:17, NW.
දාවිත් සහ නාබල් අතර ඇති වූ ප්රශ්නයේදී අබිගායිල්ය ඉතා යුහුසුළුව කටයුතු කළ ආකාරය බයිබලය තුළ නැවත නැවතත් පෙන්නුම් කර තිබෙනවා. සිදුවීමට නියමිත අනතුර ගැන නාබල්ගේ සේවකයා පැවසූදේ “ඇසූ විගස” එය වැළැක්වීමට ඇය ඉක්මනින් පියවර ගත්තා කියා සඳහන් වීමෙන් එය පැහැදිලි වෙනවා. අබිගායිල් දාවිත්ටත් ඔහු සමඟ සිටි අයටත් රොටි, වයින්, බැටළු මස්, බැදපු ධාන්‍ය, වියළි මිදි හා වියළි අත්තික්කා සූදානම් කළා. එයින් පැහැදිලි වෙන්නේ අබිගායිල් ගෙදර දොරේ වැඩකටයුතු හොඳින් බලා කියා ගත් ගුණවත් බිරිඳක් බවයි. (හිතෝපදේශ 31:10-31) පසුව ඒ ආහාර පාන සියල්ල තම සේවකයන් අතේ දාවිත් වෙත යවමින් ඇයද ඔවුන් පසුපස ගියා. ‘නමුත් ඇගේ පුරුෂයා වන නාබල්ට ඇය ඒ කිසිවක් පැවසුවේ නැහැ.’—1 සාමුවෙල් 25:18, 19.
නාබල්ට කිසිවක් නොපැවසීමෙන් අදහස් වෙන්නේ ඇය ස්වාමිපුරුෂයාට යටත් නොවූ බවද? නැහැ. නාබල් දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ට අපහාස කිරීමෙන් අහිංසක ජීවිත ගණනාවක් අනතුරේ හෙළුවා. අබිගායිල් ඉක්මන් වී පියවර ගත්තේ නැත්නම් ඒ ජීවිතවලට ඇයටත් වග කීමට සිදු වෙයිද? කොහොමවුණත් අබිගායිල් තම ස්වාමිපුරුෂයාට වඩා යෙහෝවා දෙවිට යටත් වීමට යුතුව තිබුණා.
බූරුවෙකු පිට ගිය අබිගායිල් දාවිත්ව හමු වූ විට ඉක්මනින් බිමට බැස දණින් වැටී හිස නමා ඔහුට ආචාර කළා. (1 සාමුවෙල් 25:20, 23) ඉන්පසු ඇය ඉතා නිහතමානීව තම ස්වාමිපුරුෂයා සහ සේවකයන් වෙනුවෙනුත් සමාව අයැද සිටියා. ඇය පැවසූ දේවල් ඉතා බලපෑමෙන් යුතු වුණා. එයට හේතුව කුමක්ද?
තම ස්වාමිපුරුෂයා අතින් සිදු වූ වරදට අබිගායිල් වන්දි ගෙවන්න එකඟ වුණා. ඇගේ ස්වාමිපුරුෂයා වූ නාබල් කටයුතු කරන්නේ ඉතාමත් මෝඩ ආකාරයෙන් නිසා එවැනි කෙනෙකුට දඬුවම් කිරීම පවා දාවිත්ට මදිපුංචිකමක් විය හැකි බව ඇය ඇඟෙව්වා. දාවිත් යෙහෝවා දෙවිගේ නියෝජිතයෙක් බවත් ඔහු ‘සටන් කරන්නේ දෙවි වෙනුවෙන්’ බවත් ඇය ඔහුට ප්‍රකාශ කළා. එමෙන්ම “දෙවි අනිවාර්යයෙන්ම ඔබව ඊශ්‍රායෙල් දේශයේ නායකයා ලෙස පත් කරනවා” කියාත් ඇය දාවිත්ට පැවසුවා. මින් පෙනී යන්නේ දෙවි ඒ සම්බන්ධයෙන් දී තිබූ පොරොන්දුව ඇය දැන සිටි බවයි. එමෙන්ම හේතුවක් නොමැතිව මිනිසුන්ව ඝාතනය කළොත් එම වරද ගැන ‘පසුතැවෙන්න සිදු වෙයි’ කියාත් ඇය දාවිත්ට පැවසුවා. (1 සාමුවෙල් 25:24-31) ඇය පැවසූ වදන් කොතරම් බලපෑමෙන් යුක්තද!
දාවිත් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔහු අබිගායිල් රැගෙන ආ දේවල් භාරගනිමින් ඇයට මෙසේ පැවසුවා. ‘ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! අද ඔබව මා වෙතට එව්වේ ඔහුයි. ඔබ සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා! ලේ වැගිරවීමෙන් මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා!’ අබිගායිල් නිර්භීතව තමාව හමු වීමට පැමිණීම ගැනත් මහත් ලේ වැගිරවීමකින් තමන්ව වැළැක්වීම ගැනත් දාවිත් ඇයට ප්‍රශංසා කළා. ඉන්පසු “ඔබ දැන් සමාදානයෙන් ගෙදර යන්න. ඔබ කියූ දේට මම සවන් දීලා ඔබේ ඉල්ලීම ඉටු කළා” කියාත් දාවිත් ඇයට පැවසුවා.—1 සාමුවෙල් 25:32-35, NW.
“ඔබේ දාසිය වන මම සූදානම්”
දාවිත් සමඟ කළ සංවාදයේදී නාබල්ට වඩා දාවිත් කොතරම් වෙනස්ද කියා අබිගායිල්ට වැටහුණා. නමුත් ඇය දිගින් දිගටම දාවිත්ව සහ නාබල්ව සංසන්දනය කරමින් සිටියේ නැහැ. ඇය ස්වාමිපුරුෂයා ලෙස නාබල්ට හිමි ගෞරවය දෙමින් බිරිඳක් ලෙස ඇගේ යුතුකම් හොඳින් ඉටු කළා. ඇය දාවිත්ට ලබා දුන් ආහාර පාන ගැන තම ස්වාමිපුරුෂයා වූ නාබල්ට පැවසිය යුතුව තිබුණත් ඇය නිවසට පැමිණෙන විටත් ඔහු රජෙකු මෙන් කමින් බොමින් හොඳටම මත් වී සිටියා. ඒ නිසා ඇය ඒ මොහොතේදී ඔහුට ඒ ගැන කිසිවක් පැවසුවේ නැහැ. (1 සාමුවෙල් 25:36) කොහොමවුණත් වෙනත් කෙනෙකුගෙන් ඒ ගැන අහන්න ලැබුණොත් එය නාබල්ට මහත් නින්දාවක් වන නිසා අබිගායිල්ම ඒ ගැන ඔහුට පැවසීමට තීරණය කළා.
පසු දින උදෑසන නාබල් හොඳ සිහියෙන් සිටින විට අබිගායිල් සිදු වූ දේ ගැන ඔහුට පැවසීමට සූදානම් වුණා. නාබල් කෝපයෙන් කටයුතු කරන කෙනෙක් නිසා ඔහු තමන්ට බැණවදියි කියා හෝ පහර දෙයි කියා අබිගායිල් සිතන්න ඇති. ඒ නිසා සිදු වූ දේ නාබල්ට පැවසීමට අබිගායිල්ට නිර්භීතකමක් අවශ්‍ය වුණා. අබිගායිල් පැවසූ සියල්ල නාබල් ඇසූ විට ඔහු කිසිවක් නොපවසා බලාගත් අත බලාගෙන සිටියා.—1 සාමුවෙල් 25:37.
නාබල්ට සිදු වුණේ කුමක්ද? “එය ඇසූ විට ඔහුගේ හදවත කම්පනය වී ඔහුගේ මුළු ශරීරයම පණ නැති වී ගියේය” කියා බයිබලයෙහි සඳහන් වෙනවා. බොහෝවිට ඒ අවස්ථාවේදී ඔහු ආඝාතය (stroke) නම් රෝගී තත්වයට පත් වෙන්න ඇති. කොහොමවුණත් ඉන් දින දහයකට පසු ‘යෙහෝවා දෙවි ඔහුට පහර දුන් නිසා ඔහු මිය ගියා.’ (1 සාමුවෙල් 25:38) එම සිද්ධිය සමඟින් අබිගායිල්ගේ අමිහිරි විවාහ දිවිය අවසන් වුණා. යෙහෝවා දෙවි ඒ ආකාරයට අද දින වැරදි කරන අයට ආශ්චර්යවත් ලෙස දඬුවම් නොකළත් කාන්තා හිංසනය දෙවි දැඩි ලෙස හෙළාදකින බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා නිසි කාලයේදී දෙවි යුක්තිය ඉටු කරනවා.
නාබල් මිය ගිය බව දාවිත් දැනගත් විට ඔහු තම සේවකයන් මාර්ගයෙන් අබිගායිල්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. එය අබිගායිල්ට මොන තරම් ආශීර්වාදයක්ද! එම යෝජනාවට අබිගායිල් ප්‍රතිචාරය දැක්වූයේ මෙලෙසයි. “මගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්න ඔබේ දාසිය වන මම සූදානම්.” එසේ පැවසූ ඇය ඒ මොහොතේදීම දාවිත් වෙත ගියා. එවැනි කෙනෙක් සමඟ විවාහ වීමට ඇයට ප්‍රස්තාව ලැබුණත් ඇය ඉතා නිහතමානීව තමාව සමාන කළේ සේවකයන්ගෙත් සේවකයෙකුටයි.—1 සාමුවෙල් 25:39-42.
දාවිත් ඒ වන විටත් අහිනොවම්ව විවාහ කරගෙන සිටි නිසා බහුභාර්ය විවාහයන් තුළ ඇති වන ප්‍රශ්න ගැටලුවලට අබිගායිල්ද මුහුණ දෙන්න ඇති.d දාවිත් රජකමට පත් වී සිටියේ නැති නිසා රජකම භාරගන්නා තුරු ඔවුන්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. කොහොමවුණත් අබිගායිල් ඇගේ ජීවිත කාලය පුරාම දාවිත්ට ඇගේ උපරිමයෙන් සහයෝගය දුන් අතර ඔවුන් දෙදෙනාට පුතෙක්ද සිටියා. එක් අවස්ථාවකදී අබිගායිල් ඇතුළු තවත් පිරිසක්ව පැහැරගෙන ගිය විට දාවිත් ඔවුන් පසුපස ගොස් ඇය ඇතුළු පිරිසව බේරාගත්තා. ඇයට සිටින්නේ තමන් ගැන කොතරම් සැලකිල්ලක් දක්වන ස්වාමිපුරුෂයෙක්ද කියා ඇයට වැටහුණා. (1 සාමුවෙල් 30:1-19) නිර්භීත බුද්ධිමත් මෙන්ම දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ස්ත්‍රීන්ව යෙහෝවා දෙවි අගය කරනවා. දාවිත් ආදර්ශයට ගත්තේ යෙහෝවා දෙවිවයි.
[පාදසටහන්වල]
a මෙම කර්මෙල් ප්‍රදේශය ඊශ්‍රායෙලයේ උතුරු දෙසට යාබදව පිහිටි කර්මෙල් කන්ද නොවෙයි. ඒ වෙනුවට ඊශ්‍රායෙලයේ දකුණු දෙසින් පිහිටි පාළුකරයට යාබදව තිබුණු ප්රදේශයයි.
b ආබ්‍රහම්ගෙන්, ඊසාක්ගෙන් හා යාකොබ්ගෙන් පැවතෙන අයට කානාන් දේශය උරුමයක් ලෙස දෙන බවට දෙවි පොරොන්දු වී තිබුණා. ඒ නිසා තම සෙනඟ ඇතුළු ඔවුන්ගේ සම්පත් සතුරන්ගෙන් හා කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීම දෙවි වෙනුවෙන් කරන විශේෂ සේවයක් ලෙස දාවිත්ට හැඟෙන්න ඇති.
c නාබල්ගේ සේවකයා නාබල් ගැන පැවසූ දෙයෙහි නියම අර්ථය “කිසි කමකට නැති කෙනෙක්” යන්නයි. සමහර බයිබල් පරිවර්තනවල එම වාක්‍යයට අමතර විස්තරයක් ඇතුළත් කර තිබෙන අතර “කිසි කෙනෙකුට සවන් නොදෙන” නාබල්ට “කතා කිරීමෙන් පලක් නැහැ” කියා ඒවායේ සඳහන් වෙනවා.
d 30වන පිටුවේ සඳහන් “බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?” යන ලිපිය බලන්න.
[19වන පිටුවේ පින්තූරය]
නාබල් මෙන් නොව අබිගායිල් අන් අයට සවන් දුන්නා
[20වන පිටුවේ පින්තූරය]
අබිගායිල් නිහතමානීව කතා කරමින් බුද්ධිමත් ලෙස ක්‍රියා කළා