අනුකරණය කිරීමට වටිනා ආදර්ශ
ඔහු ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණා’
ඊශ්‍රායෙලයේ වියළි කාලගුණයක් පැවති මැයි හෝ ජූනි මාසයේ එක් දිනක ඊශ්‍රායෙල් සෙනඟ ගිල්ගාල්හි රැස් වුණා. දෙවිගේ අනාගතවක්තෘවරයෙක් මෙන්ම විනිශ්චයකරුවෙක් ලෙස කටයුතු කළ සාමුවෙල් ඔවුන් දෙස බලා සිටියා. එය තිරිඟු අස්වැන්න නෙළන කාලය වූ නිසා අවට කෙත්වතුවල තිබූ තිරිඟු පැළ රන්වන් පැහැගත් කරල්වලින් බර වී තිබෙන්න ඇති. රැස්ව සිටි සෙනඟ සාමුවෙල්ට සවන් දීමට සූදානමින් නිශ්ශබ්දව බලා සිටියා. සාමුවෙල් ඔවුන්ට කුමක් පවසන්න ඇද්ද?
ඊශ්‍රායෙල් සෙනඟ තමන්ව පාලනය කිරීම සඳහා රජෙක්ව පත් කරන්න කියා ඉල්ලා සිටියා. එවැනි දෙයක් ඉල්ලීමෙන් දෙවිටත් දෙවිගේ අනාගතවක්තෘවරයාටත් කොතරම් අගෞරවයක් වෙනවාද කියා ඔවුන් තේරුම්ගත්තේ නැහැ. ඇත්තෙන්ම එසේ කටයුතු කිරීමෙන් ඔවුන් ප්‍රතික්ෂේප කළේ ඔවුන්ගේ රජ වූ යෙහෝවා දෙවිවයි. ඔවුන්ගේ වරද පෙන්වා දීමට සාමුවෙල් කෙසේ කටයුතු කරයිද?
සාමුවෙල් මුළු ඊශ්‍රායෙල් සෙනඟ අමතමින් මෙසේ පැවසුවා. “මම දැන් මහලුයි. මගේ හිසකෙසුත් පැහිලා. තරුණ වයසේ ඉඳන් මේ දක්වාම මම ඔබට සේවය කළා.” (1 සාමුවෙල් 11:14, 15; 12:2) සාමුවෙල් මහලු වියේ සිටියත් ඔහුට ඔහුගේ තරුණ කාලය අමතක වී තිබුණේ නැහැ. කුඩා කාලයේ සිටම දෙවිට සේවය කිරීමට ඔහු ගත් තීරණය නිසා දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔහුට හැකි වුණා.
කොහොමවුණත් සාමුවෙල් හැදී වැඩුණේ දෙවිට විශ්වාසවන්තව නොසිටි අකීකරු සෙනඟක් සමඟ නිසා ඔහුට දිනපතාම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වුණා. අපි අද ජීවත් වන්නෙත් දෙවි කෙරෙහි විශ්වාසයක් නැති දූෂිත මිනිසුන් සිටින සමාජයකයි. ඒ නිසා දෙවිට විශ්වාසවන්තව සිටීම අද අභියෝගයක් වී තිබෙනවා. ඊට හොඳින් මුහුණ දීම සඳහා දෙවිට විශ්වාසවන්තව සේවය කළ සාමුවෙල්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.
‘කුඩා සාමුවෙල් යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළා’
සාමුවෙල්ගේ දෙමාපියන් වූ එල්කානා සහ හන්නා ෂීලෝ නුවරේ තිබූ දෙවිගේ ශුද්ධ කූඩාරමේ සේවය කිරීමට සාමුවෙල්ව කැප කළා. ඒ වන විට සාමුවෙල්ට වයස අවුරුදු හතරක් පමණ වෙන්න ඇති. සාමුවෙල්ගේ දෙමාපියන් ඔහුව දෙවිට කැප කළේ නසරීතවරයෙකු ලෙස ජීවිත කාලය පුරාම දෙවිට සේවය කිරීම සඳහායි.a රාමාහි තිබූ ඔවුන්ගේ නිවසේ සිට ෂීලෝ නුවරට කිලෝමීටර් 30කටත් වඩා වැඩි දුරක් තිබුණා. සාමුවෙල්ව එවැනි තැනක සේවය කිරීම සඳහා කැප කළේ ඔහුගේ දෙමාපියන් ඔහුට ආදරය කළේ නැති නිසාද?
එසේ පැවසිය නොහැකියි. ෂීලෝ නුවරේ හැදී වැඩෙන විට සාමුවෙල්ට අවශ්‍ය රැකවරණය ලැබෙන බව ඔවුන් හොඳින්ම දැන සිටියා. ඇත්තෙන්ම සාමුවෙල් උත්තම පූජකයා වූ ඒලී සමඟ කිට්ටුවෙන් වැඩ කළ නිසා ඒලී ඔහු ගැන හොඳ අවධානයකින් සිටියා. එමෙන්ම සම්මුඛ වීමේ කූඩාරම අසල සේවය කිරීමට යම් ස්ත්‍රීන්ව පත් කර තිබූ නිසා සාමුවෙල්ට ඔවුන්ගේ රැකවරණයත් ලැබෙන්න ඇති.—නික්මයාම 38:8.
එල්කානාට සහ හන්නාට සාමුවෙල්ව ලැබුණේ තමන්ට දරුවෙක් ලබා දෙන්න කියා හන්නා දෙවිට කළ යාච්ඤාවක ප්‍රතිඵලයක් ලෙසයි. එමනිසා ඔවුන්ට කිසිදාක සාමුවෙල්ව අමතක වුණේ නැහැ. සෑම වසරකම සාමුවෙල්ව බලන්න යන විට ශුද්ධ කූඩාරමේ සේවය කිරීම සඳහා හන්නා ඔහුට අත් නැති සළුවක් රැගෙන ගියා. දෙමාපියන් තමාව බැලීමට පැමිණෙන විට පුංචි සාමුවෙල්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ශුද්ධ කූඩාරමේ දෙවිට සේවය කරන්න ලැබීම අනඟි වරප්‍රසාදයක් නිසා දිගටම ඒ සේවයේ නියැලෙන්න ඔවුන් සාමුවෙල්ව දිරිගැන්වූ බවට කිසිම සැකයක් නැහැ.
එල්කානා සහ හන්නා අද සිටින දෙමාපියන්ට කදිම ආදර්ශයක්. බොහෝ දෙමාපියන් වැඩි අවධානයක් දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැනයි. නමුත් සාමුවෙල්ගේ දෙමාපියන් වැඩි අවධානයක් දුන්නේ සාමුවෙල්ට පුංචි කාලයේ සිටම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගැනීමට උපකාර කිරීම සඳහායි. ප්‍රතිඵලයක් ලෙස සාමුවෙල් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියා.—හිතෝපදේශ 22:6.
සාමුවෙල් ෂීලෝ නගරයේ හැදී වැඩෙන විට එහි තිබූ කඳුකර පෙදෙස් බැලීමට යන්න ඇති. කඳුකරයේ සිට ඈතින් පිහිටි දෙවිගේ ශුද්ධ කූඩාරම දකින විට ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද! දෙවිගේ නමස්කාරයට කැප කර තිබෙන එම ශුද්ධ කූඩාරම ගැන ඔහු තුළ තිබුණු ගෞරවය තවත් වැඩි වෙන්න ඇති.b එමෙන්ම එහි සේවය කරන්න ලැබී තිබෙන අවස්ථාව ගැන ඔහු තව තවත් ප්‍රීති වන්න ඇති. ඊට අවුරුදු 400කට පමණ පෙර මෝසෙස්ගේ මඟ පෙන්වීම යටතේ ගොඩනැඟූ එම ශුද්ධ කූඩාරම එවකට සැබෑ නමස්කාරයේ කේන්ද්රස්ථානයව තිබුණා.
“ලිනන් රෙදිවලින් මැසූ ඒෆොද් හැට්ටයක් ඇඳ සිටි කුඩා සාමුවෙල්, යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 2:18) සාමුවෙල් ඒෆොද් හැට්ටයක් ඇඳ සිටි බව සඳහන් වීමෙන් පැහැදිලි වෙන්නේ ඔහු පූජකයන්ට උපකාර කළ බවයි. ශුද්ධ කූඩාරමේ මලුවට ඇතුල් වන දොරවල් විවෘත කිරීම සහ උත්තම පූජක ඒලීට උපකාර කිරීම වැනි කාර්යයන් සාමුවෙල්ට පැවරී තිබුණා. ඔහු ඒ වගකීම් බෙහෙවින් අගය කළා. නමුත් ශුද්ධ කූඩාරම තුළ දෙවිට අගෞරව වන දේවල් සිදු වීම ගැන ඔහු බොහෝ සෙයින් දුක් වුණා.
ඔහු දිගටම පවිත්‍රව සිටියා
යෞවනයෙකුව සිටි සාමුවෙල් උත්තම පූජක ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොප්නී සහ පිනෙහාස් කළ දුෂ්ට ක්‍රියාවන් සියැසින්ම දුටුවා. බයිබලයේ සඳහන් වෙන්නේ “ඒලීගේ පුත්‍රයෝ යෙහෝවා දෙවිට කොහෙත්ම ගෞරව නොකළ කිසි කමකට නැති” අය කියායි. (1 සාමුවෙල් 2:12) ඇත්තෙන්ම ඔවුන් දෙවිට කිසිම ගෞරවයක් දැක්වූයේ නැහැ. දෙවි පනවා තිබූ නීති ගැනවත් කිසිම තැකීමක් කළේ නැහැ. ඒ නිසා ඔවුන් බරපතළ වැරදි කළා.
පූජකයන්ගේ වගකීම සහ ඔවුන් පූජාවන් ඔප්පු කළ යුතු ආකාරය ගැන දෙවි පැහැදිලි මඟ පෙන්වීම් දී තිබුණා. ඇත්තෙන්ම මිනිසුන්ට තම වැරදි සඳහා සමාව ලබාගෙන දෙවිගේ අනුමැතිය දිනාගැනීමට හැකි වුණේ එවැනි පූජාවලිනුයි. නමුත් හොප්නී සහ පිනෙහාස්ගේ බලපෑම නිසා ඇතැම් පූජකයන් එවැනි පූජාවලට කිසිම ගෞරවයක් දැක්වූයේ නැහැ.c
හොප්නී සහ පිනෙහාස් සිදු කළ එවැනි ක්‍රියාවන් ගැන සාමුවෙල්ට කෙසේ හැඟෙන්න ඇද්ද! දෙවිගේ අනුමැතිය ලබාගැනීමේ අරමුණින් එතැනට පැමිණියත් සිත් වේදනාවෙන් තම නිවෙස් වෙත හැරී යන දිලිඳු මිනිසුන් කීදෙනෙකුව සාමුවෙල් දකින්න ඇද්ද? එමෙන්ම හොප්නී සහ පිනෙහාස් ශුද්ධ කූඩාරම අසල සේවය කරමින් සිටි ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදෙනවා කියා දැනගන්න ලැබුණු විට සාමුවෙල්ට කෙසේ හැඟෙන්න ඇද්ද? (1 සාමුවෙල් 2:22) සමහරවිට ඒලී ඒ සම්බන්ධයෙන් යම් පියවරක් ගනියි කියා ඔහු බලාපොරොත්තු වෙන්න ඇති.
උත්තම පූජකයා ලෙසත් හොප්නී සහ පිනෙහාස්ගේ පියා ලෙසත් ඔවුන්ගේ වැරදි වෙනුවෙන් යම් පියවරක් ගැනීමේ සම්පූර්ණ වගකීම තිබුණේ ඒලීටයි. නමුත් ඒලී ඒ සම්බන්ධයෙන් තම පුතුන්ට සුදුසු හික්මවීමක් ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ ඔවුන්ට ඉතා ළිහිල් උපදෙසක් ලබා දීම පමණයි. (1 සාමුවෙල් 2:23-25) ඇත්තෙන්ම මරණ දණ්ඩනය හිමි විය යුතු තරම් බරපතළ පාප කරමින් සිටි ඔවුන්ට දැඩි හික්මවීමක් ලබා දීම අවශ්‍ය වුණා.
ඒ නිසා යෙහෝවා දෙවි තම ‘අනාගතවක්තෘවරයෙකුව’ යවා “ඔබ මට වඩා ඔබේ පුත්‍රයන්ට ගෞරව කරන්නේ ඇයි” කියා ඒලීගෙන් ඇසුවා. ඉන්පසුව ඒලීගේ පුතුන් දෙදෙනා එකම දවසේ මිය යන බවත් ඔහුගේ පවුලේ කිසිවෙකු මහලු විය දක්වා ජීවත් නොවන බවත් ඔවුන්ට හිමිව තිබූ බලතල සියල්ල ඉවත් කරන බවත් දෙවි ඒලීට දැනුම් දුන්නා. කොහොමවුණත් එවැනි අනතුරු ඇඟවීමක් නිසාවත් ඒලීගේ පවුලේ අය ඔවුන් ගත කරමින් සිටි ජීවිත රටාව වෙනස් කරගත්තාද? නැහැ! ඔවුන් ඒ ගැන කිසිම තැකීමක් කළේ නැහැ.—1 සාමුවෙල් 2:27–3:1.
තමන් අවට සිටි අය එලෙස දුෂ්ට ලෙස හැසිරුණත් කුඩා සාමුවෙල් ඉතා විශ්වාසවන්තව ‘යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළා’ කියා බයිබලයේ සඳහන්වෙනවා. (1 සාමුවෙල් 2:18) ඉන් පෙනී යන්නේ කුඩා වයසේ සිටම යෙහෝවා දෙවිට සේවය කිරීම සාමුවෙල් ඉතා වැදගත් දෙයක් ලෙස සැලකූ බවයි. ඔහු ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණා’ කියා එහි තවදුරටත් සඳහන් වෙනවා. (1 සාමුවෙල් 2:21) ඔහු වයසින් මුහුකුරා යන විට දෙවි සමඟ තිබූ ඔහුගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වුණා. තමා අවට සිටි මිනිසුන් දුෂ්ට ලෙස හැසිරුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.
උත්තම පූජකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා අතින් බරපතළ වැරදි සිදු වුණත් තමාට කැමති ආකාරයෙන් ජීවත් වීමට සාමුවෙල් එය නිදහසට කරුණක් කරගත්තේ නැහැ. ඇත්තෙන්ම වගකීම් දරන අය ඇතුළු අන් අය අතින් සිදු වෙන වැරදි නිදහසට කරුණක් ලෙස ගෙන වැරදි දේවල් කිරීම කොහෙත්ම සුදුසු නැහැ. අද දින දෙවිට සේවය කරන බොහෝ යෞවනයන්ද අන් අය අතින් වැරදි සිදු වෙනවා දුටුවත් සාමුවෙල් මෙන් දිගටම ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස’ ජීවත් වීමට වෑයම් කරනවා.
සාමුවෙල් කටයුතු කළ ආකාරය නිසා ඔහු ‘යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය ලබමින්’ වැඩුණා කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 2:26) ඇත්තෙන්ම සාමුවෙල් එලෙස විශ්වාසවන්තව කටයුතු කිරීම නිසා යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. යෙහෝවා දෙවි ෂීලෝ නගරයේ සිදු වූ සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බව සාමුවෙල් හොඳින්ම දැන සිටියා. නමුත් දෙවි එය කරන්නේ කවදාද කියා ඔහු කල්පනා කරන්න ඇති.
“ඔබේ සේවකයාට කතා කරන්න, මම අහගෙනයි ඉන්නේ”
දිනක් සාමුවෙල් නිදාගෙන සිටියදී කිසිවෙකු ඔහුගේ නම කියා හඬගසනවා ඔහුට ඇසුණා. ඔහු සිතුවේ ඇස් නොපෙනෙන තරමට දුර්වල වී සිටි මහලු ඒලී යම් උවමනාවකට තමාට කතා කළා කියායි. එමනිසා ඔහු ඒලී සිටි තැනට දුවගෙන ගියා. ඒලී අතින් යම් වැරදි සිදු වී තිබුණත් යෙහෝවා දෙවි පත් කළ උත්තම පූජකයා ලෙස සාමුවෙල් ඔහුට ගෞරවයෙන් හා කරුණාවෙන් සැලකූ බව ඉන් පැහැදිලි වෙනවා.—1 සාමුවෙල් 3:2-5.
සාමුවෙල්, ඒලී වෙතට ගොස් “මගේ ස්වාමීනි, ඔබ මට කතා කළාද” කියා ඔහුගෙන් ඇසුවා. එවිට ඒලී ‘මම ඔබට කතා කළේ නැහැ. ගිහින් නිදාගන්න’ කියා සාමුවෙල්ට පැවසුවා. ඒ දෙය තුන්වතාවක්ම සිදු වුණා. අවසානයේදී සාමුවෙල්ට කතා කරන්නේ දෙවි බව ඒලී තේරුම්ගත්තා. ඒ නිසා නැවත වතාවක් ඒ කටහඬ ඇසුණොත් කළ යුත්තේ කුමක්ද කියා සාමුවෙල්ට කියා දී ගොස් නිදාගන්න කියා ඒලී ඔහුට පැවසුවා. සාමුවෙල්ද ඔහුට කීකරු වුණා. වැඩි වේලාවක් යෑමට මත්තෙන් නැවතත් එම කටහඬ සාමුවෙල්ට ඇසුණා. එවිට සාමුවෙල් මෙසේ පැවසුවා. “ඔබේ සේවකයාට කතා කරන්න. මම අහගෙනයි ඉන්නේ.”—1 සාමුවෙල් 3:1, 5-10.
කුඩා වයසේ පටන් සාමුවෙල් සෑම කාරණයකදීම දෙවිට සවන් දුන්නා. ඒ හා සමානව අපටත් දෙවිගේ හඬට සවන් දිය හැකියි. එය කළ හැක්කේ බයිබලය කියවීමෙනුයි. අපි දිනපතාම බයිබලය කියවා ඒ දේවල් අපේ ජීවිතයට අදාළ කරගන්නවා නම් සාමුවෙල් මෙන් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වෙනවා.
යෙහෝවා දෙවි එදින රාත්‍රියේ සාමුවෙල් සමඟ කතා කළ අවස්ථාවේ සිට සාමුවෙල් සහ දෙවි අතර විශේෂ බැඳීමක් ඇති වුණා. එනම් එදා පටන් සාමුවෙල් දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කිරීමට පටන්ගත්තා. කොහොමවුණත් එදින දෙවි තමන්ට පැවසූ පණිවිඩය උත්තම පූජක ඒලීට පැවසීම සඳහා සාමුවෙල් තුළ චකිතයක් ඇති වුණා. නමුත් ඔහු ධෛර්යය වඩවාගෙන ඒලීගේ පවුලේ අය සම්බන්ධයෙන් දෙවි පැවසූ දේ ඒලීට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී ඒලී ඉතා නිහතමානී ලෙස සාමුවෙල් පැවසූ දේ පිළිගත්තා. සාමුවෙල් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ සියල්ල ඉටු වීමට වැඩි කාලයක් ගියේ නැහැ. දිනක් ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව කළ සටනකදී හොප්නී සහ පිනෙහාස් මිය ගියා. පසුව පිලිස්තිවරු දෙවිගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය බව ආරංචි වූ විට ඒලීද මිය ගියා.—1 සාමුවෙල් 3:10-18; 4:1-18.
ඒ සියල්ල සිදු වන අතරවාරයේදී සාමුවෙල් දිගින් දිගටම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළා. ඒ නිසා ‘යෙහෝවා දෙවි ඔහු සමඟ සිටි අතර’ ඔහු පැවසූ සෑම අනාවැකියක්ම ඒ ආකාරයෙන්ම ඉටු වීමට සැලැස්වූවා.—1 සාමුවෙල් 3:19.
‘සාමුවෙල් යෙහෝවා දෙවිට කන්නලව් කළේය’
ඊශ්‍රායෙල් සෙනඟ ගැන පැවසිය හැක්කේ කුමක්ද? ඔවුන් සාමුවෙල්ගේ නායකත්වය යටතේ දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියාද? නැහැ. කාලයත් සමඟම ඔවුන් අවට සිටි ජාතීන්ට සමාන වීමට උත්සාහ කරමින් තමන්ටත් රජෙක්ව පත් කරන්න කියා ඉල්ලා සිටියා. ඒ නිසා ඔවුන් කරන්නේ කොතරම් බරපතළ වරදක්ද කියා පෙන්වා දීමට සාමුවෙල්ට සිදු වුණා. ඇත්තෙන්ම රජෙක්ව පත් කරන්න කියා ඉල්ලා සිටීමෙන් ඔවුන් ප්‍රතික්ෂේප කළේ යෙහෝවා දෙවිවයි. ඒ නිසා සියලුම මිනිසුන්ට ගිල්ගාල් වෙත රැස් වෙන්න කියා සාමුවෙල් පැවසුවා. ඒ අවස්ථාවේදී සිදු වුණේ කුමක්ද?
ඒ වන විට මහලු වියේ සිටි සාමුවෙල් තමන් කොතරම් කාලයක් දෙවිට ඉතා විශ්වාසවන්තව සේවය කළාද කියා මතක් කළා. පසුව සාමුවෙල් “යෙහෝවා දෙවිට කන්නලව් කර” ගිගුරුම් සහිත වැසි වස්සවන්න කියා ඉල්ලා සිටියා.—1 සාමුවෙල් 12:17, 18.
එවකට පැවතියේ වියළි කාලගුණයක් නිසා ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැකිද කියා මිනිසුන් කල්පනා කරන්න ඇති. නමුත් වැඩි වේලාවක් යෑමට කලින් මුළු අහසම කලු වලාකුළෙන් වැසී ගියා. හැමූ සැඩ සුළඟ නිසා කෙත්වතුවල පලින් බර වී තිබූ තිරුඟු කරල් ඒ මේ අත වැනෙන්න පටන්ගත්තා. ඒත් සමඟම ගිගුරුම් සහිත වැසි කඩා හැළුණා. ඒ අවස්ථාවේදී මිනිසුන් කෙසේ ප්‍රතිචාරය දක්වන්න ඇද්ද! බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ “සෙනඟට යෙහෝවා දෙවි කෙරෙහිද සාමුවෙල් කෙරෙහිද මහත් බියක් ඇති” වුණා කියායි.—1 සාමුවෙල් 12:18, 19.
රජෙක්ව පත් කරන්න කියා ඉල්ලීමෙන් තමන් කළේ මොන තරම් වරදක්ද කියා ඒ අවස්ථාවේ ඊශ්‍රායෙල්වරුන්ට වැටහුණා. ඒ කාරණය ඔවුන්ට අවබෝධ කර දීම සඳහා යෙහෝවා දෙවි යොදාගත්තේ සාමුවෙල්වයි. ඔහු කුඩා අවධියේ සිට මහලු විය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටි නිසා යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළා. ඒ හා සමානව අද දිනත් සාමුවෙල්ගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවිට විශ්වාසවන්තව සිටින අයට ආශීර්වාද කිරීමට දෙවි සූදානමින් සිටිනවා.
[පාදසටහන්වල]
a නසරීතවරුන්ට මත්පැන් බීම සහ කොණ්ඩය කැපීම තහනම් කර තිබුණා. නසරීතවරුන් ලෙස සේවය කළ බොහෝ අය එලෙස කටයුතු කිරීමට එකඟ වූයේ යම් කාල සීමාවකට පමණයි. නමුත් සැම්සන්, සාමුවෙල් සහ මිනිසුන්ව බව්තීස්ම කළ යොහන් වැනි අය ජීවිත කාලය පුරාම නසරීතවරුන් ලෙස කටයුතු කළා.
b ඍජුකෝණාස්රාකාර හැඩයෙන් යුත් ශුද්ධ කූඩාරම සාදා තිබුණේ දැවවලින්. ඊට අමතරව සීල් මත්ස්‍යන්ගේ හම්, විසිතුරු මෝස්තරවලින් නිම කළ රෙදි මෙන්ම රන් හා රිදී ආලේප කළ වටිනා ලී ඒ සඳහා යොදාගත්තා. මෙම කූඩාරම තිබුණේ ඍජුකෝණාස්රාකාර මලුවක් තුළයි. ඒ මලුව තුළ කූඩාරමට අමතරව සත්ව පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනයක්ද සාදා තිබුණා. පසු කාලයේදී පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහා කූඩාරම දෙපසින් විශාල කාමරද සාදා තිබෙන බව පෙනී යනවා. සාමුවෙල් නිදාගන්න ඇත්තේ එවැනි කාමරයක විය හැකියි.
c ඔවුන් එලෙස සිදු කළ අගෞරවනීය ක්‍රියාවන් දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එක දෙයක් නම් පූජකයන්ට හිමි විය යුත්තේ පූජා කරන ලද සත්වයෙකුගේ කුමන කොටස්ද කියා නීතියේ පැහැදිලිව සඳහන් වී තිබුණත් ඔවුන් ඒ ගැන කිසිම තැකීමක් නොකිරීමයි. (ද්විතීය කතාව 18:3) පූජකයන්ට හිමි මස් කොටස් තැම්බෙන්නත් කලින් පූජකයන්ගේ සේවකයන් කොක්කක් දමා ඒවා එළියට ඇදගත්තා. ඊට අමතරව සත්ව පූජා ඔප්පු කිරීම සඳහා පැමිණෙන මිනිසුන්ව බියගන්වා තෙල් කොටස් දැවෙන්නත් කලින් ඒවා ගෙන්වාගත්තා.—ලෙවී කතාව 3:3-5; 1 සාමුවෙල් 2:13-17.
[17වන පිටුවේ පින්තූරය]
සාමුවෙල් ධෛර්යය වඩවාගෙන දෙවි පැවසූ පණිවිඩය ඒලීට දැනුම් දුන්නා
[18වන පිටුවේ පින්තූරය]
සාමුවෙල් යාච්ඤා කළ විට යෙහෝවා දෙවි ගිගුරුම් සහිත වැසි වහින්න සැලැස්වූවා