අම්මොන්වරු—කරුණාවන්තකමට සතුරුකම දැක්වූ ජනතාවක්
ජෝර්දානය නමැති හැෂිමයිට් රාජ්‍යයේ අගනුවර වන අමාන් නම් නවීන නගරය, පොළොවෙන් අතුරුදහන්ව තිබෙන ජනතාවක් පිළිබඳ මතකය ආරක්ෂා කරයි. ඔවුන්ව අම්මොන්වරුන් ලෙස හඳුන්වනු ලැබීය. ඔවුහු කවරහු වූවෝද, තවද ඔවුන්ගේ විනාශයෙන් අපට කුමන පාඩම් උගත හැකිද?
අම්මොන්වරු ධර්මිෂ්ඨ මනුෂ්‍යයා වූ ලොත්ගෙන් පැවතෙන්නෝ වූහ. (උත්පත්ති 19:35-37) ලොත් ආබ්‍රහම්ගේ ඥාති පුත්‍රයෙක් වූ බැවින්, අම්මොන්වරුන් ඉශ්‍රායෙලිතයන්ගේ ඥාති සහෝදරයන් වූ බව ඔබට පැවසිය හැක. කෙසේවෙතත් ලොත්ගෙන් පැවතෙන්නෝ බොරු දෙවිවරුන් වන්දනා කිරීමට හැරුණෝය. එහෙත් යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දැක්වූසේක. ඉශ්රායෙල් ජාතිය පොරොන්දු දේශයට ළඟාවීමත් සමඟම දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ අනතුරු ඇඟවූසේක: “[අම්මොන්වරුන්ට] සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.”—ද්විතීය කථාව 2:19.
අම්මොන්වරු එවන් කරුණාවන්තකමක් අගය කළෝද? මීට පටහැනිව, යෙහෝවඃවහන්සේ ඔවුන්ට කිසිවක් දුන් බව පිළිගැනීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. දෙවියන්වහන්සේ ඔවුන් කෙරෙහි දැක්වූ කරුණාවන්ත සැලකිල්ලට ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ, දෙවියන්වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට අඛණ්ඩ සතුරුකම පෙන්වීමෙනි. ඉශ්රායෙල්වරුන් යෙහෝවඃවහන්සේගේ ආඥාවට ගෞරව කර ඔවුන්ට විරුද්ධව කිසිම කලහකාරි ක්‍රියාමාර්ගයක් නොගත්තද, අම්මොන්වරුන් සහ ඔවුන්ගේ මෝවබිය සහෝදරයන්හට තර්ජනය කර තිබුණා සේ හැඟිණ. අම්මොන්වරුන් යුධ හමුදාමය ප්‍රහාරයක් එල්ල නොකළ බව සැබෑ වුවත්, ඔවුහු බාලාම් නම් අනාගතවක්තෘ කෙනෙකු කුලියට ගෙන ඉශ්‍රායෙලයට ශාප කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෝය.—ගණන් කථාව 22:1-6; ද්විතීය කථාව 23:3-6.
එවිට පුදුමසහගත යමක් සිදු විය. බාලාම්ට ඔහුගේ ශාපය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව බයිබලය වාර්තා කරයි. ඔහුට ඔවුන් කෙරෙහි ප්‍රකාශ කිරීමට හැකි වූයේ ආශීර්වාද පමණි, ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්[වා].” (ගණන් කථාව 24:9) අම්මොන්වරු ඇතුළුව මෙයට සම්බන්ධ වූවන්, මෙයින් ප්‍රබල පාඩමක් ඉගෙනගත යුතුව තිබිණ: දෙවියන්වහන්සේගේ සෙනඟ යමකට සම්බන්ධ වූ විට, ඔවුන් වෙනුවෙන් මැදිහත් වීමට උන්වහන්සේ සූදානම්ව සිටිසේක.
කෙසේවෙතත් අම්මොන්වරු ඉශ්‍රායෙලයට විරුද්ධ වීමට ක්‍රම දිගටම සොයමින් සිටියෝය. විනිශ්චයකාරයන්ගේ කාලය තුළදී, මෝවබ් සහ අමලෙක් සමඟ අම්මොන් එකතු වී, යෙරිකෝව තරම් දුරට ඉදිරියට පැමිණෙමින්, පොරොන්දු දේශය ආක්‍රමණය කළෝය. කෙසේවෙතත්, ඒහුද් නම් ඉශ්රායෙලිත විනිශ්චයකාරයා විසින් ආක්‍රමණිකයන්ව නැවත එළවා දමනු ලැබීම නිසා, අත් කරගත් ජයග්‍රහණය පැවතුණේ සුළු කාලයකට පමණි. (විනිශ්චයකාරයන්ගේ පොත 3:12-15, 27-30) විනිශ්චයකාර යෙප්තාගේ දවස් දක්වා අස්ථිර වාතාවරණයක් පැවතුණේය. ඒ වන විට ඉශ්රායෙල් ජනතාව පිළිම නමස්කාරයට වැටී සිටි බැවින්, යෙහෝවඃවහන්සේ ස්වකීය ආරක්ෂාව ඔවුන්ගෙන් අහක් කළසේක. වසර 18ක පමණ කාලයකට, දෙවියන්වහන්සේ මෙලෙස “ඔවුන්[ව] . . . අම්මොන් පුත්‍රයන් අතටද පාවා” දී තිබුණුසේක. (විනිශ්චයකාරයන්ගේ පොත 10:6-9) ඉශ්‍රායෙලිතයන් පිළිම නමස්කාරය අතහැර දමා යෙප්තාගේ නායකත්වය යටතේ නැවත රැස් වූ විට, අම්මොන්වරු නැවතත් දැඩි පරාජයකට ලක් වූහ.—විනිශ්චයකාරයන්ගේ පොත 10:16–11:33.
විනිශ්චයකාරයන්ගේ පාලනය යටතේ ඉශ්රායෙල් ගත කළ කාලපරිච්ඡේදය, පළමු රජු වන සාවුල්ව රාජාභිෂේකයෙන් අවසන් විය. සාවුල් පාලනය කිරීමට පටන්ගත් විගසම අම්මොන්ගේ සතුරුකම නැවතත් මතු විය. නාහාෂ් රජ යාබෙෂ්-ගිලියද් නම් ඉශ්රායලීය නගරයට එරෙහිව හදිසි ප්‍රහාරයක් එල්ල කළේය. එම නගරයේ මනුෂ්‍යයන් සමාදානය සඳහා ඉල්ලා සිටි විට, අම්මොන්වරයෙකු වූ නාහාෂ් මෙම දරුණු ඉල්ලීම කළේය: “නුඹලා සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, . . . නුඹලා සමඟ ගිවිසුමක් කරන්නෙමි.” ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස් කියා සිටින පරිදි, මෙය යම් දුරකට කරනු ලැබුවේ ආරක්ෂාව සැලසීමේ ක්‍රමයක් ලෙසය, මන්දයත්, “ඔවුන්ගේ වම් පැත්තේ පිහිටි ඇස් සිය පලිස් මගින් වසනු ලැබූ විට, සටන් වදින විට ඔවුන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්රයෝජන තත්වයකට පත්විය හැකි බැවිනි.” එහෙත් මෙම කෲර තර්ජනයෙහි සැබෑ අරමුණ වූයේ, මෙම ඉශ්‍රායෙලිතයන්ව නින්දාවට ලක් කිරීමය.—1 සාමුවෙල් 11:1, 2.
අම්මොන්වරුන් නැවත වාරයක් යෙහෝවඃවහන්සේගේ කරුණාවන්තකම වෙනුවෙන් සතුරුකම දක්වා තිබිණ. යෙහෝවඃවහන්සේ මෙම දුෂ්ට තර්ජනය නොසලකා නොහැරියසේක. “සාවුල් [නාහාෂ්ගේ] මෙම වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.” දෙවියන්වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීම යටතේ සාවුල් සටන් කිරීමට පුරුෂයන් 3,30,000ක කණ්ඩායමක් එකතු කළ අතර, ඔවුන් අම්මොන්වරුන්ව කෙතරම් දුරට පරාජය කළාද කිවහොත්, ඔවුන්ගෙන් “දෙදෙනෙක් එක තැනක නොසිටි[යෝය].”—1 සාමුවෙල් 11:6, 11.
අම්මොන්වරුන් තමන්ගේ කාරණාවල ආත්මාර්ථකාමී ලෙස නියැලීම, ඔවුන්ගේ අනුකම්පා විරහිතබව හා ගිජුකම, අවසානයේදී ඔවුන්ගේම සම්පූර්ණ විනාශයට තුඩු දුන්නේය. යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘ ශෙපනියා පුරෝකථනය කළ පරිදි ඔවුහු “ගොමොරාව මෙනුත් . . . නිරන්තර පාළුවක්ද වන්නෝය. . . . [මක්නිසාද] ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනගට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය.”—ශෙපනියා 2:9, 10.
අම්මොන්ට සිදු වූ දේ අදදින සිටින ලෝක නායකයන් සැලකිල්ලට ගත යුතුය. එයාකාරයටම, දෙවියන්වහන්සේ ජාතීන්ට තම පාපුටුව වන පොළොව මත ජීවත්වීමට ඉඩහැරීම තුළින් තරමක් දුරට කරුණාවන්තකම පෙන්වා තිබෙනසේක. එහෙත් පොළොව රැකබලා ගන්නවා වෙනුවට, ආත්මාර්ථකාමී ජාතීන් න්‍යෂ්ටික විනාශයක තර්ජනය සමඟින් මෙම ග්‍රහයා පරදුවෙහි හෙළා තිබේ. පොළොව මත සිටින යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ට කරුණාවන්තකම පෙන්වනවා වෙනුවට, ජාතීහු බොහෝවිට ඔවුන්ට වෛර කර, දැඩි පීඩා පමුණුවති. යෙහෝවඃවහන්සේ ස්වකීය කරුණාවන්තකමට සතුරුකම දැක්වීම සුළු කොට තකන්නේ නැති බව අම්මොන්වරුන්ගෙන් අපට පැහැදිලි වේ. පුරාණ කාලවලදී කළාක් මෙන් උන්වහන්සේ නියමිත කාලයේදී ස්වකීය පියවර ගන්නවා ඇත.—ගීතාවලිය 2:6-12 සසඳන්න.
[9වන පිටුවේ පින්තූරය]
අමාන්හි තිබෙන අම්මොන්වරුන්ගේ අගනුවර වූ රබ්බා නමැති ස්ථානයේ රෝම නටබුන්
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[10වන පිටුවේ පින්තූරය]
අම්මොන්වරුන් ජීවත් වූයේ මෙම ප්රදේශයේය
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.