ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යොනාතාන්
‘යෙහෝවා දෙවියන්ට අවශ්‍ය නම් ගැලවීම ලබා දෙන්න පුළුවන්’
රළු බිමක පිහිටි හුදෙකලා හමුදා මුරපොළක ඉන්න පිලිස්ති හමුදා භටයන් ඈත කඳු අතරින් ටිකක් නුහුරු දෙයක් දකිනවා. කඳු ශිඛර අතරින් ඔවුන් පැහැදිලිවම දකින්නේ ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනෙක්වයි. ඒ දර්ශනයෙන් ඔවුන්ගේ මුවඟට සිනහවක් නැඟෙනවා මිස අබමල් රේණුවක තරම්වත් භයක් නම් ඇති වෙන්නේ නැහැ. මොකද පිලිස්තිවරුන් ඊශ්‍රායෙල් ජාතියව තම බලයට නතු කරගෙනයි හිටියේ. කොයි තරම්ද කියනවා නම් ඊශ්‍රායෙල්වරුන්ට උදැල්ලක්, දෑකැත්තක් මුවහත් කරගන්න වුණත් පිලිස්තිවරුන් ළඟට යන්න වුණා. ඒ නිසා යුද්ධ කරන්න අවශ්‍ය තරම් අවිආයුධ ඊශ්‍රායෙල් සෙබළුන් අතේ තිබුණේ නැහැ. අනික මෙතැන ඉන්නේ මිනිසුන් දෙදෙනෙක් විතරයි. ඔවුන් අවිආයුධ දරාපු යුධ වීරයන් වුණා කියා සිතන්න. ඒ වුණත් බලවත් පිලිස්තිවරුන් එක්ක ඔවුන් කොහොම හැප්පෙන්නද? ඒ වෙලාවේ පිලිස්තිවරුන් ඊශ්‍රායෙල්වරුන් දෙදෙනාට කෑගහලා මෙහෙම කියනවා. “සටනට එන්න. අපි නුඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්!”—1 සාමුවෙල් 13:19-23; 14:11, 12.
පාඩමක් ඉගෙනගන්නේ ඊශ්‍රායෙල්වරුන් දෙදෙනාද පිලිස්තිවරුන්ද කියලා අපි බලමු. දැන් ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනා කඳු බෑවුම දිගේ පිලිස්තිවරු ඉන්න පැත්තට දුවගෙන එනවා. ඊටපස්සේ ප්රපාතයක් වගේ තිබ්බ ඒ බෑවුම දිගේ ඔවුන් උඩට නඟිනවා. ඔවුන් ගල්වල එල්ලිඑල්ලි හරිම අමාරුවෙන් නැඟලා පිලිස්ති හමුදා මුරපොළ තියෙන පැත්තට එනවා. (1 සාමුවෙල් 14:13) මුරපොළට ළං වෙද්දී ඉස්සරහින් එන ඊශ්‍රායෙල් ජාතිකයා අතේ ආයුධ තියෙනවා කියලා පිලිස්තිවරු දකිනවා. පිටිපස්සෙන් එන්නේ ඔහුගේ ආයුධ දරන්නා. ඒත් මේ දෙදෙනා කොහොමද ලොකු හමුදා සේනාංකයකට පහර දෙන්නේ? මේ ඊශ්‍රායෙල් ජාතිකයා මානසික රෝගියෙක්වත්ද?
නැහැ, ඒ ඊශ්‍රායෙල් ජාතිකයා මානසික රෝගියෙක් නෙමෙයි. ඒ වෙනුවට ඔහු දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් ඇතුව කටයුතු කළ කෙනෙක්. ඔහුගේ නම යොනාතාන්. ඔහු අද ඉන්න අපිටත් වටිනා පාඩම් රැසක් කියා දෙනවා. ධෛර්යය, ළැදිකම සහ අනිත් අයගේ යහපත ගැන සිතීම වගේ දේවල් ගැන ඔහු අපිට හොඳ ආදර්ශයක්. අපි අද යුද්ධ කරන්නේ නැති වුණත් දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් තිබ්බ යොනාතාන්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්.—යෙසායා 2:4; මතෙව් 26:51, 52.
කීකරු පුතෙක් සහ නිර්භීත සොල්දාදුවෙක්
පිලිස්ති හමුදා මුරපොළට එන්න තරම් නිර්භීතකමක් යොනාතාන්ට ඇති වුණේ කොහොමද කියලා තේරුම්ගන්න අපි ඔහුගේ පසුබිම ගැන දැන් ටිකක් බලමු. යොනාතාන් කියන්නේ ඊශ්‍රායෙලයේ පළවෙනි රජ වන සාවුල්ගේ ලොකු පුතා. යෙහෝවා දෙවියන් සාවුල්ව රජ විදිහට අභිෂේක කරද්දී යොනාතාන්ට අවරුදු 20ක් නැත්නම් ඊට ටිකක් වැඩි වෙන්න ඇති. සාවුල් සහ යොනාතාන් අතර කිට්ටු බැඳීමක් තිබුණා කියලත් සාවුල් තමන්ගේ හිතේ තිබ්බ හැම දෙයක්ම වගේ යොනාතාන් එක්ක කතා කළා කියලත් අපිට හිතන්න පුළුවන්. තමන්ගේ තාත්තා හොඳ උස මහත, කඩවසම් යුධ වීරයෙක් විතරක් නෙමෙයි හරිම නිහතමානී, දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් කියලා ඒ දවස්වල යොනාතාන්ට තේරෙන්න ඇති. යෙහෝවා දෙවියන් සාවුල්ව රජකමට තෝරගත්තේ ඇයි කියලත් යොනාතාන් තේරුම්ගන්න ඇති. මොකද අනාගතවක්තෘ සාමුවෙල් පවා කිව්වේ සෙනඟ අතරේ සාවුල් වගේ තව කෙනෙක් නැහැ කියලයි.—1 සාමුවෙල් 9:1, 2, 21; 10:20-24; 20:2.
තමන්ගේ තාත්තාගේ නායකත්වය යටතේ යෙහෝවා දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න ලැබුණ එක යොනාතාන් ලොකු වරප්‍රසාදයක් විදිහට සලකන්න ඇති. ඒ යුද්ධ අද තියෙන ජාතිවාදී යුධ ගැටුම් වගේ නෙමෙයි. යෙහෝවා දෙවියන් තමන්ව නියෝජනය කරන්න ඊශ්‍රායෙල් සෙනඟව තෝරගෙන තිබුණා. ඒත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු ජාතීන් නිතරම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්දෙට ආවා. දාගොන් කියන බොරු දෙවියාට නමස්කාර කරපු පිලිස්තිවරුන් නිතරම ඊශ්‍රායෙල්වරුන්ට හිංසා පීඩා කළා. දෙවියන් තෝරගත්ත ජාතියව සහමුලින්ම විනාශ කරලා දාන්න ඔවුන් උත්සාහ කළා.
යොනාතාන් ඒ වගේ ජාතීන්ට විරුද්ධව යුද්ධ කරන එක සැලකුවේ දෙවියන්ට ළැදිව දෙවියන් වෙනුවෙන් කරන සේවයක් විදිහටයි. දෙවියන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න යොනාතාන් ගත්ත වෑයමට දෙවියන් ආශීර්වාද කළා. සාවුල් රජකමට පත් වෙලා වැඩි කාලයක් යන්න කලින් යොනාතාන්ව සොල්දාදුවන් 1000කින් යුත් බළඇණියක නායකයා කළා. යොනාතාන් ප්රමුඛ ඒ බළඇණිය ගෙබා කියන නගරයේදී පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් වැදුණා. ඊශ්‍රායෙල් සෙනඟ සතුව එතරම් බලවත් අවිආයුධ තිබුණේ නැතත් යෙහෝවා දෙවියන්ගේ උදව් ඇතුව එදා ඔවුන් යුද්ධය ජය ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පිලිස්තිවරු විශාල හමුදාවක් එක්ක ආයෙත් සටනට ආවා. ඊශ්‍රායෙල් සොල්දාදුවන් හුඟදෙනෙක් භය වුණා. සමහරු පලා ගිහින් හැංඟුණා. තවත් අය පිලිස්තිවරුන්ගේ පැත්ත ගත්තා. ඒ මොන දේ වුණත් යොනාතාන් සැලුණේ නැහැ. ඔහු නිර්භීතව, ධෛර්යවත්ව යෙහෝවා දෙවියන් වෙනුවෙන් ස්ථිරව හිටියා.—1 සාමුවෙල් 13:2-7; 14:21.
යොනාතාන් කාටත් හොරෙන් පිලිස්තිවරුන්ගේ හමුදා මුරපොළට යන්න තීරණය කරන්නේ සේනාවක් විදිහට නෙමෙයි. ඒ වෙනුවට ඔහු එක්කගෙන යන්නේ ආයුධ දරන්නාව විතරයි. පිලිස්තිවරුන්ගේ මුරපොළ තිබුණ මික්මාෂ් කියන ප්‍රදේශයට ආවාම යොනාතාන් ඔහුගේ හිතේ තිබුණ යුධ සැලැස්ම ආයුධ දරන්නාට හෙළි කරනවා. ‘අපි මුරපොළ පැත්තට ගිහින් සතුරන්ට අපිව පේන තැනක ඉමු. සතුරන් අපිව දැකලා සටනට එන්න කිව්වොත් යෙහෝවා දෙවියන් අපේ සතුරන්ව අපේ අතටම අහු කරලා දෙනවා කියන්න ඒක ලකුණක්’ කියලා ඔහු ආයුධ දරන්නාට කිව්වා. යොනාතාන්ගේ සැලැස්මට අනුව වැඩ කරන්න ආයුධ දරන්නා එක පයින්ම කැමති වුණා. “යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්” කියලා යොනාතාන් කියද්දී අයුධ දරන්නාගේ හිතේ ලොකු ධෛර්යයක් ඇති වෙන්න ඇති. (1 සාමුවෙල් 14:6-10) ඒත් යොනාතාන් ඇයි ඒ වගේ දෙයක් කිව්වේ?
තමන් නමස්කාර කරන දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා යොනාතාන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඇති. මොකද දෙවියන්ගේ සෙනඟට සතුරුකම් කරපු විශාල සතුරු සේනා දෙවියන් විනාශ කරලා තිබුණා. සමහර අවස්ථාවලදී ඒ දේ කරන්න දෙවියන් පාවිච්චි කළේ එක් කෙනෙක්ව විතරයි. (විනිශ්චයකරුවෝ 3:31; 4:1-23; 16:23-30) ඒ හැම දෙයක්ම යොනාතාන් දැනගෙන ඉන්න ඇති. වැදගත් දේ වුණේ හමුදාවේ ප්‍රමාණයවත්, යුධ ශක්තියවත්, ආයුධ ප්‍රමාණයවත් නෙමෙයි. ඒ වෙනුවට දෙවියන් ගැන තියෙන විශ්වාසයයි කියලා යොනාතාන් දැනගෙන හිටියා. ඒ නිසා දෙවියන් ගැන විශ්වාසය තියපු යොනාතාන් ආයුධ දරන්නාත් එක්ක එකතු වෙලා පිලිස්ති හමුදා මුරපොළට පහර දෙනවාට දෙවියන් කැමතිද කියලා සෝදිසි කරලා බැලුවා. දෙවියන් සතුරන්ව තමන්ට යටත් කරලා දෙනවාද නැද්ද කියලා දැනගන්න ඔහු ලකුණක් බලාපොරොත්තු වුණේ ඒ නිසයි. ඒ යුධ සැලැස්මට දෙවියන්ගේ අනුමැතිය ලැබුණ ගමන්ම යොනාතාන් නිර්භීතව හමුදා මුරපොළට පහර දෙන්න පියවර ගත්තා.
යොනාතාන්ට යෙහෝවා දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් තිබ්බා. මේ කාරණා දෙක ඒකට හේතු වුණා කියලා අපිට හිතන්න පුළුවන්. (1) යොනාතාන්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ලොකු ගෞරවයක්, භක්තියක් තිබුණා. යෙහෝවා දෙවියන් තමන් අරමුණු කරපු දේවල් ඉටු කරන්න මිනිසුන්ගේ ශක්තිය මත රඳා පවතින්නේ නැති වුණත් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයට දෙවියන් ආශීර්වාද කරනවා කියලා යොනාතාන් තේරුම්ගත්තා. (2 ලේකම් 16:9) (2) යම් තීරණයක් ගන්න කලින් දෙවියන් ඒකට කැමතියිද අකමැතියිද කියලා යොනාතාන් සෝදිසි කරලා බැලුවා. අද අපි තීරණයක් ගන්න කලින් දෙවියන්ගෙන් ආශ්චර්යවත් ලකුණු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් අපි ළඟ දෙවියන්ගේ වචනය වන බයිබලය තියෙනවා. ඒකේ තොරතුරු හොඳට සෝදිසි කරලා බලලා අපි ගන්න තීරණයට දෙවියන් කැමතියිද අකමැතියිද කියලා දැනගන්න අපිට පුළුවන්. (2 තිමෝති 3:16, 17) ඔබ ජීවිතේ වැදගත් තීරණ ගන්න කලින් බයිබලේ සඳහන් මඟ පෙන්වීම් සලකා බලනවාද? එහෙමනම් ඔබ පෙන්වන්නේ ඔබේ කැමැත්තට වඩා දෙවියන්ගේ කැමැත්ත ඔබට වටිනවා කියලයි.
දැන් යොනාතාන් සහ ඔහුගේ ආයුධ දරන්නා හරිම වේගයෙන් හමුදා මුරපොළ පැත්තට එනවා. ඒ වෙලාවේ තමයි තමන්ට අනතුරක් කියලා පිලිස්තිවරුන්ට තේරෙන්නේ. ඒ නිසා ඔවුන් යොනාතාන්වයි, ආයුධ දරන්නාවයි මරලා දාන්න සෙබළුන්ව එවනවා. මේ යුධ පිටියේ වැඩි පිරිස් බලයක් තියෙන්නේ පිලිස්තිවරුන්ට. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඉන්නේ තරමක් උස් භූමියක. ඒ නිසා පිලිස්තිවරුන්ට ලේසියෙන්ම යොනාතාන්වයි, ආයුධ දරන්නාවයි මරලා දාන්න තිබුණා. ඒත් යොනාතාන් පිලිස්ති භටයන්ට පහර දීලා ඔවුන්ව බිම දැම්මා. ඔවුන් බිම වැටෙද්දී ආයුධ දරන්නා ඔවුන්ව මැරුවා. ඒ විදිහට යොනාතාන් සහ ආයුධ දරන්නා එකතු වෙලා පිලිස්ති හමුදා භටයන් 20දෙනෙක්ව මරලා දැම්මා. යෙහෝවා දෙවියන් ඒ වෙලොවේ මොනවාද කළේ? බයිබලයේ මෙහෙම කියනවා. “එළිමහනේ තිබූ කඳවුරේ හා මුරපොළේ සිටි සියලුදෙනා මෙන්ම කොල්ලකරුවන්ගේ කණ්ඩායමද බොහෝ සෙයින් කැලඹුණෝය. පොළොවද දෙදරන්න පටන්ගත්තේය. මෙසේ දෙවියන් ඔවුන් අතරේ මහත් කැලඹීමක් ඇති කළේය.”—1 සාමුවෙල් 14:15.
පිලිස්තිවරුන්ගේ කඳවුරේ හිටපු හැමෝම බය වෙලා, වියවුල් වෙලා එකිනෙකාට විරුද්ධව සටන් කරන්නත් පටන් අරන් තිබුණා කියලා සාවුල් සහ ඔහුගේ මුරකරුවන් ඈත තියලාම දැක්කා. (1 සාමුවෙල් 14:16, 20) ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු නිර්භීතව පිලිස්තිවරුන්ගේ කඳවුරට කඩාවැදිලා සටන් කළා. ඊශ්‍රායෙල්වරු මිය ගිය පිලිස්තිවරුන් සතුව තිබුණ අවිආයුධ අරගෙන සටන් කළා කියලා අපිට හිතන්න පුළුවන්. එදා යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට ලොකු ජයග්‍රහණයක් අත් කරලා දුන්නා. අදටත් දෙවියන් වෙනස් වෙලා නැහැ. එදා යොනාතාන් සහ ආයුධ දරන්නා දෙවියන් ගැන විශ්වාසය තියලා කටයුතු කළා වගේ අපිත් දෙවියන් ගැන විශ්වාසය තියලා කටයුතු කරනවා නම් දෙවියන් අනිවාර්යයෙන්ම අපිටත් උදව් කරනවා.—මලාකි 3:6; රෝම 10:11.
‘ඔහු මේ ජයග්‍රහණය ලැබුවේ දෙවියන්ගේ උපකාරයෙන්’
යොනාතාන් සටන් කරලා ජය ගත්තත් ඔහුගේ පියා වුණ සාවුල් නම් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. මොකද සාවුල් දෙවියන් අසතුටු වෙන විදිහේ දේවල් කළා. දවසක් ඔහු සාමුවෙල් එන කල් ඉන්නේ නැතුව දෙවියන්ට පූජාවක් ඔප්පු කළා. ඒ පූජාව හරි නම් ඔප්පු කරන්න ඕනෙ සාමුවෙල්. මොකද ඒක තමයි දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම. ඒත් සාවුල් ඒ සැලැස්මට පිටුපාලා පූජාව ඔප්පු කළා. සාමුවෙල් එතැනට ඇවිත් සාවුල්ට කිව්වා. ‘ඔබ යෙහෝවා දෙවියන්ගේ ආඥාව කඩ කළ නිසා ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.’ කියලා. තවත් අවස්ථාවකදී සාවුල් තමන්ගේ හමුදාව යුද්දෙට යවද්දී ඔවුන්ට නියෝගයක් දුන්නා. ඒක හරිම අසාධාරණ නියෝගයක්. “මගේ සතුරන්ට පහර දී මම ඔවුන්ව පරාජයට පත් කරන තෙක් කිසිවෙකු කෑම නොකෑ යුතුයි. යමෙක් හවස් වෙන්න කලින් කෑවොත් ඔහු ශාප ලද්දෙක් වේවා!”—1 සාමුවෙල් 13:10-14; 14:24.
සාවුල් කියපු ඒ දෙයින් පැහැදිලි වෙන්නේ ඔහු ටිකෙන් ටික වෙනස් වුණා කියලයි. දෙවියන් එක්ක හොඳ බැඳීමක් තිබුණ මේ නිහතමානී රජ තමන් ගැනම විතරක් හිතන උඩඟු කෙනෙක් වෙන්න පටන්ගත්තා. ඇපකැප වෙලා යුධ වැදුණ ඊශ්‍රායෙල් හමුදාවට ඒ වගේ අසාධාරණ නියෝගයක් දෙන්න කියලා යෙහෝවා දෙවියන් කොයිම වෙලාවකවත් සාවුල්ට කිව්වේ නැහැ. බලන්න සාවුල් මොකක්ද කියන්නේ කියලා. “මගේ සතුරන්ට පහර දී මම ඔවුන්ව පරාජයට පත් කරන තෙක් කිසිවෙකු කෑම නොකෑ යුතුයි.” සාවුල් ඒ යුද්ධයෙන් තමන්ට නමක් හදාගන්න උත්සාහ කළා කියලා ඔහුගේ වචනවලින් පේනවා. වඩා වැදගත් වෙන්නේ යෙහෝවා දෙවියන් දෙන විනිශ්චය ඉටු කරන එක මිසක් පළිගන්න එකවත් ගෞරවය දිනාගන්න එකවත් වෙනත් දේශයක් අත් පත් කරගන්න එකවත් නෙමෙයි කියලා සාවුල්ට අමතක වුණා.
ඒ වෙනකොට යොනාතාන් හිටියේ පිලිස්තිවරු එක්ක සටන් කරලා හොඳටම මහන්සි වෙලා. තමන්ගේ පියා වන සාවුල් ඊශ්‍රායෙල්වරුන්ට කිසිම දෙයක් කන්නවත් බොන්නවත් එපා කියලා නීතියක් දාලා තියෙනවා කියලා යොනාතාන් දැනගෙන හිටියේ නැහැ. ඔහු කැලේ තිබුණ මීවදයක් දැකලා සැරයටියෙන් මීපැණි ටිකක් අරගෙන කෑවා. ඒ වෙලාවෙම ඔහු ලොකු ශක්තියක් ලැබුවා. එතැන හිටපු කෙනෙක් සාවුල් දාලා තිබුණ නීතිය ගැන ඒ වෙලාවේ යොනාතාන්ට කිව්වා. යොනාතාන් මොනවාද කිව්වේ? “මගේ පියා මේ සෙනඟට කරලා තියෙන්නේ මොන අපරාධයක්ද! මීපැණි ටික කෑ ගමන්ම මගේ ඇඟට මෙච්චර ශක්තියක් ලැබුණා නම් කොල්ල කා ගත් දේවලින් සෙනඟට කන්න දුන්නා නම් අද අපිට කොයි තරම් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න තිබුණාද! අපට මීට වඩා විශාල සෙනඟක් මරලා දාන්න තිබුණා.” (1 සාමුවෙල් 14:25-30) යොනාතාන් සාවුල්ට කීකරුව දේවල් කළා තමයි. ඒත් සාවුල් කියන කරන හැම දේටම කිසිම හේතුවක් හොයලා බලන්නේ නැතුව ඔහේ එකඟ වුණේ නැහැ. ඒ නිසා අනිත් අයත් යොනාතාන්ට ගරු කළා.
තමන් දීපු අඥාව යොනාතාන් කඩ කළා කියලා සාවුල්ට ආරංචි වුණා. එහෙම වෙලත් ඒ ආඥාව කොච්චර අසාධාරණ එකක්ද කියලා සාවුල් තේරුම්ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු තමන්ගේම පුතා වුණ යොනාතාන්ව මරලා දාන්න තීරණය කළා. ඒ වෙලාවේ යොනාතාන් ‘අනේ මට අනුකම්පා කරන්න. මාව මරන්න එපා’ කියලා කිව්වේ නැහැ. “මා කළ වරදට දැන් මාව මරලා දාන්න” කියලා නිර්භීතව කිව්වා. ඒත් සෙනඟ යොනාතාන්ගේ පැත්තට කතා කළා. ඔවුන් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ට මේ මහත් ගැලවීම අත් කර දුන් යොනාතාන්ව මරලා දාන්නේ කොහොමද? එය කවදාවත් අපිට කරන්න බැරි දෙයක්. යොනාතාන්ගේ එක කෙස්ගහක්වත් බිම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් අප ස්ථිරවම කියා සිටිනවා. ඔහු අද මේ ජයග්‍රහණය ලැබුවේ දෙවිගේ උපකාරයෙන්.” මොකක්ද අන්තිමේදී වුණේ? සාවුල් එයාගේ වරද තේරුම්ගත්තා. බයිබලයේ මෙහෙම කියනවා. “මෙසේ යොනාතාන්ට ලැබිය යුතු දඬුවමින් සෙනඟ ඔහුව බේරාගත්තෝය.”—1 සාමුවෙල් 14:43-45.
ධෛර්යවන්තව වැඩ කරලා, යෙහෝවා දෙවියන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා, තමන්ව දෙවෙනි තැනට දාලා කටයුතු කරලා යොනාතාන් හොඳ නමක් දිනාගත්තා. ඔහුට අනතුරක් වෙන්න යද්දී අනිත් අය ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණේ ඔහු දිනාගෙන හිටිය ඒ හොඳ නම නිසයි. අපිත් හොඳ නමක් දිනාගෙන දවසක් දවසක් ගානේ ඒ හොඳ නම රැකගන්න මහන්සි වෙන්න ඕනේ. මොකද බයිබලයේ කියන්නේ හොඳ නමක් හුඟක් වටිනවා කියලයි. (දේශනාකාරයා 7:1) යොනාතාන් වගේ අපිත් යෙහෝවා දෙවියන් ඉදිරියේ හොඳ නමක් දිනාගත්තොත් ඒක අපේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරනවා.
අඳුරු යුගයක්
සාවුල් කොයි තරම් වැරදි කළත් යොනාතාන් දිගටම දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න එයාගේ පියාට උදව් කළා. තමන්ගේ පියා දෙවියන්ට අකීකරු වෙලා උඩඟු විදිහට වැඩ කරද්දී යොනාතාන්ට කොයි තරම් දුකක් දැනෙන්න ඇද්ද! සාවුල් එන්න එන්නම නරක අතට හැරුණා. යොනාතාන්ට ඒක වළක්වන්න විදිහක් තිබුණේ නැහැ.
ඔය අතරේ දෙවියන් සාවුල්ට කිව්වා අමලෙක්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න කියලා. මෝසෙස් හිටපු කාලේ ඉඳලාම ඔවුන් හුඟක් දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් ඔවුන්ව ජාතියක් විදිහට විනාශ කරලා දාන්න තීරණය කරලයි තිබුණේ. (නික්මයාම 17:14) අමලෙක්වරුන්ගේ රජ වන ආගග්ව මරන්න කියලත් ඔවුන්ට අයිති සතුන්ව විනාශ කරලා දාන්න කියලත් දෙවියන් සාවුල් රජට අණ කළා. ඒ යුද්ධයෙන් සාවුල් රජ ජය ගත්තා. යොනාතාන් එදාත් සාවුල්ගේ නායකත්වය යටතේ නිර්භීතව සටන් වැදුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් සාවුල් දෙවියන්ට අකීකරු වුණා. ඔහු ආගග් රජව මැරුවේ නැහැ. අමලෙක්වරුන්ට අයිති සතුන්, දේපොළ විනාශ කළෙත් නැහැ. ප්‍රතිඵලයක් විදිහට දෙවියන් සාවුල්ට දුන්න අවසාන විනිශ්චය ගැන සාමුවෙල් මෙහෙම කිව්වා. “ඔබ යෙහෝවා දෙවියන්ගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”—1 සාමුවෙල් 15:2, 3, 9, 10, 23.
යෙහෝවා දෙවියන් තමන්ගේ බලය සාවුල්ගෙන් ඉවත් කළා. තවදුරටත් දෙවියන්ගේ උදව් සාවුල්ට ලැබුණේ නැති නිසා ඔහුගේ හිතේ වියවුල්සහගත සිතුවිලි ඇති වුණා. ඔහු වියරු වැටුණ කෙනෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා. යෙහෝවා දෙවියන් ඒකට ඉඩහැරියා. (1 සාමුවෙල් 16:14; 18:10-12) හොඳට හිටපු තමන්ගේ පියා ඒ විදිහට වෙනස් වෙලා ඉන්නවා දකින එක යොනාතාන්ට කොයි තරම් අමාරු වෙන්න ඇද්ද! ඒ වුණත් යොනාතාන් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන එක අත්හැරියේ නැහැ. ඔහු පුළුවන් උපරිමයෙන් සාවුල්ට උදව් කළා. සමහර අවස්ථාවලදී ගෞරවනීයව කරුණු පැහැදිලි කරලත් දුන්නා. ඒ වුණත් යොනාතාන් තමන්ගේ මනස යොමු කළේ කිසිම දවසක වෙනස් වෙන්නේ නැති යෙහෝවා දෙවියන්ට සේවය කරන එකටයි.—1 සාමුවෙල් 19:4, 5.
ඔබේ මිතුරෙක් නැත්නම් පවුලේ කෙනෙක් ටිකෙන් ටික දෙවියන්ගෙන් ඈත් වෙලා යනවා දැකලා තියෙනවාද? ඒක දරාගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. යොනාතාන්ගේ අද්දැකීම ගැන සලකා බලද්දී ගීතිකාකරු ලියපු දෙයක් අපේ මතකයට නැඟෙනවා. “මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවියන් වන ඔබ මාව භාරගනු ඇත.” (ගීතාවලිය 27:10) ඔව්. යෙහෝවා දෙවියන් ඔබට ආදරෙයි. ඔබේ මිතුරන්, පවුලේ අය කරන දේවල් නිසා ඔබ කලකිරුණත් ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන් කවදාවත් ඔබට කලකිරීමක් ඇති වෙන දේවල් කරන්නේ නැහැ.
සාවුල්ව රජකමින් ඉවත් කරන්න යෙහෝවා දෙවියන් තීරණය කළා කියලා යොනාතාන් දැනගන්න ඇති. ඒ වෙලාවේ යොනාතාන් මොනවාද කළේ? තමන්ට රජකම ලැබුණොත් තමන් මොන වගේ කෙනෙක් වෙනවාද කියලා ඔහු කල්පනා කරකර හිටියාද? තමන්ගේ තාත්තා කරපු වැරදි නිවැරදි කරන එක ගැන එයා කල්පනා කළාද? දෙවියන්ට ළැදි, කීකරු රජ කෙනෙක් ලෙස කටයුතු කරන විදිහ ගැන එයා සිහින මැව්වාද? ඇත්තටම ඔහු ඒ වෙලාවේ සිතුවේ මොනවාද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒත් ඔහුට ඒ වගේ ආශාවන් තිබුණා නම් ඒවා කවදාවත් ඉටු වුණේ නැහැ කියලා නම් අපි දන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ට විශ්වාසවන්තව සේවය කළ යොනාතාන්ව දෙවියන් අත්හැරියා කියන එකද? නැහැ. මිතුරන් අතරේ තියෙන්න ඕනෙ කොයි වගේ බැඳීමක්ද කියලා අපිට ආදර්ශයෙන් පෙන්නන්න යෙහෝවා දෙවියන් යොනාතාන්ව පාවිච්චි කළා. ඒ වාර්තාව බයිබලයේ සඳහන් වෙනවා. අපි යොනාතාන් ගැන සඳහන් තවත් ලිපියකින් ඒ මිතුදම ගැන කතා කරමු.