දෙවිට ළං වෙන්න
සිතේ තිබෙන දේ දකින දෙවි
කෙනෙකුගේ පෙනුමෙන් ඔහු මොන වගේ කෙනෙක්ද කියා තීරණය කරන්න බැහැ. ඊට හේතුව මිනිසෙකුගේ පෙනුමට වඩා ඔහුගේ ඇතුළාන්තය වෙනස් වීමයි. ඒ නිසා යෙහෝවා දෙවි බලන්නේ මිනිසුන්ගේ පිටාතර පෙනුම නොවෙයි. ඒ බව තේරුම්ගැනීමට අතීතයේදී සිදු වූ දෙයක් සලකා බලමු.
ඊශ්‍රායෙලය පාලනය කිරීම සඳහා රජෙකුව පත් කිරීමට යෙහෝවා දෙවි තීරණය කළා. ඒ නිසා ඔහු අනාගතවක්තෘ සාමුවෙල්ට මෙසේ පැවසුවා. “බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.” (1 සාමුවෙල් 16:1) යෙස්සේට පුතුන් කිහිපදෙනෙක් සිටියත් රජකමට තෝරාගත්තේ කුමන පුත්‍රයාවද කියා දෙවි සාමුවෙල්ට පැවසුවේ නැහැ. ඒ නිසා ‘යෙහෝවා දෙවි තෝරාගත්තේ කාවද’ කියා සාමුවෙල් කල්පනා කරන්න ඇති.
සාමුවෙල් බෙත්ලෙහෙමට ගිය පසු දෙවිට පූජාවක් ඔප්පු කර ඊට සහභාගි වන්න කියා යෙස්සේටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආරාධනා කළා. යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයා වූ එලියාබ්ව සාමුවෙල් දැක්කේ ඒ අවස්ථාවේදීයි. ඔහු ඉතා කඩවසම් තරුණයෙක්. ඒ නිසා “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා මොහු විය යුතුයි” කියා සාමුවෙල් සිතුවා.—1 සාමුවෙල් 16:6.
නමුත් යෙහෝවා දෙවි බැලුවේ එලියාබ්ගේ පිටාතර පෙනුම නොව ඔහුගේ ඇතුළාන්තයයි. ඒ නිසා දෙවි සාමුවෙල්ට මෙසේ පැවසුවා. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න. මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි.” (1 සාමුවෙල් 16:7) සාමුවෙල්ට එලියාබ්ගේ කඩවසම් පෙනුම වැදගත් වුණත් යෙහෝවා දෙවිට එය වැදගත් වුණේ නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවි බලන්නේ පුද්ගලයෙකුගේ සැබෑ අලංකාරය තීරණය වන ඇතුළාන්තය දෙස වීමයි.
යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේද පැවසුවා. “දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” (1 සාමුවෙල් 16:7) මනුෂ්‍යයෙකුගේ සිතුවිලි, ආකල්ප සහ හැඟීම් තිබෙන්නේ ඔහුගේ සිත තුළයි. යෙහෝවා දෙවි සෝදිසි කරන්නේ එයයි. ඒ නිසා ‘සිත් සෝදිසි කරන දෙවි’ එලියාබ්වත් යෙස්සේගේ අනික් පුත්‍රයන් හයදෙනාවත් ප්‍රතික්ෂේප කළා.—හිතෝපදේශ 17:3.
දැන් යෙස්සේට ඉතිරි වී සිටින්නේ බාලම පුතා වන දාවිත් පමණයි. ඒ අවස්ථාවේදී ඔහු “බැටළුවන්ව බලාගන්න ගිහින්” සිටියා. (1 සාමුවෙල් 16:11) ඒ නිසා දාවිත්ව ඉක්මනින්ම කැඳවන්න කියා සාමුවෙල් පැවසුවා. දාවිත් පැමිණි විට දෙවි සාමුවෙල්ට පැවසුවේ “දැන් නැඟිට ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි” කියායි. (1 සාමුවෙල් 16:12) දාවිත් “ඉතා කඩවසම්” කෙනෙක් බවත් “ඔහුගේ ඇස් ඉතා දීප්තිමත් වූ” බවත් බයිබලයේ සඳහන් වෙනවා. නමුත් දෙවි ඔහුව තෝරාගත්තේ ඔහු කඩවසම් කෙනෙක් වූ නිසා නොව ඔහු දෙවිගේ සිත සතුටු කළ කෙනෙක් වූ නිසයි.—1 සාමුවෙල් 13:14.
අප ජීවත් වන සමාජයේ මිනිසුන් වැඩිපුරම අවධානය දෙන්නේ පිටාතර පෙනුමටයි. නමුත් යෙහෝවා දෙවි එලෙස කටයුතු නොකිරීම මොන තරම් සහනයක්ද! දෙවිට ඇත්තටම වටින්නේ පුද්ගලයෙකුගේ සිතේ අලංකාරයයි. ඒ නිසා යෙහෝවා දෙවි ඉදිරියේ අලංකාර පුද්ගලයෙක් වීම සඳහා හොඳ ගුණාංග වර්ධනය කරගැනීම කොතරම් වටිනවාද!