එකළොස්වෙනි පරිච්ඡේදය
ඉවසීමෙන් සහ සෝදිසියෙන් සිටි කෙනෙක්
1, 2. අකමැත්තෙන් වුණත් එලියාට කිරීමට සිදු වුණේ කුමක්ද? එලියා, ආහබ් රජුට වඩා වෙනස් කියා පවසන්න පුළුවන් ඇයි?
එලියාට අවශ්‍ය වෙන්නේ සෙනඟගෙන් ඈත් වී කර්මෙල් කන්දේදී යෙහෝවා දෙවි කළ ආශ්චර්යය ගැන ඔහුට ස්තුති කරන්නයි. නමුත් එලියාගේ යාච්ඤාවට පිළිතුරු දෙමින් යෙහෝවා දෙවි ගින්නක් එවා පූජාව දවා දැමූ ආකාරය දුටු සෙනඟ එලියාට ප්‍රශංසා කර ඔහුගේ ප්‍රසාදය ලබාගැනීම සඳහා ඔහුව හමු වීමට පැමිණෙනවා. කර්මෙල් කන්දට ගොස් තනිවම යාච්ඤා කිරීමට කලින් තමන් කොහෙත්ම කැමැත්තක් නොදැක්වූ ආහබ් රජු සමඟ කතා කිරීමට එලියාට සිදු වෙනවා.
2 එලියාට වඩා ආහබ් රජු හාත්පසින්ම වෙනස්. රාජකීය ඇඳුමෙන් සැරසී සිටින ආහබ් රජ කෑදර, අනික් අය කියන කියන දේවල් කිරීමට පෙලඹෙන, දෙවිට අකීකරු කෙනෙක්. නමුත් සත්ව සම්වලින් නිමැවූ සළුවක් ඇඳ සිටින එලියා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ක්‍රියා කරන, නිර්භීත කෙනෙක්.
3, 4. (අ) බාල් නමස්කාරකයන්ට සහ ආහබ්ට මුහුණ දීමට සිදු වුණේ මොන වගේ තත්වයකටද? (ආ) සලකා බලන ප්‍රශ්න මොනවාද?
3 ආහබ් රජු සහ බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අත් වුණේ අන්ත පරාජයක්. ආහබ් සහ ඔහුගේ බිරිඳ වූ යෙසබෙල් ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දහයකින් යුත් රාජ්‍යය පුරා ව්‍යාප්ත කළ බාල් නමස්කාරය බොරුවක් බව ඔප්පු වී තිබෙනවා. බාල්ගේ අනාගතවක්තෘවරුන් කෑගසමින්, නටමින්, කිනිසිවලින් තමන්වම කපා ගනිමින් ගින්නක් එවන්න කියා බාල්ට කොපමණ කන්නලව් කළත් ගිනි පුපුරක්වත් එවීමට බාල් සමත් වුණේ නැහැ. ඔහුගේ අනාගතවක්තෘවරුන් 450දෙනාගේ ජීවිත බේරාගැනීමටවත් ඔහුට හැකි වුණේ නැහැ. මිනිසුන් බාල්ව සැලකුවේ වර්ෂාවට අධිපති දෙවියා ලෙස වුණත් වසර තුනකටත් වඩා වැඩි කාලයක් පුරා පැවති නියං කාලයේදී වැසි පොදක්වත් එවීමට ඔහුට හැකි වුණේ නැහැ. කොහොමවුණත් මේ නියඟයට නිමාවක් ගෙනෙන විට යෙහෝවා දෙවි මොන තරම් බලවත් දෙවි කෙනෙක්ද කියා සියල්ලන්ටම පැහැදිලි වෙයි.—1 රාජා. 16:30–17:1; 18:1-40.
4 යෙහෝවා දෙවි එය කරන්නේ කවදාද? එය ඉටු වන තෙක් එලියා කරන්නේ මොනවාද? එලියාට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? දැන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු බලමු.—1 රාජාවලිය 18:41-46 කියවන්න.
යාච්ඤාවේ නියැලෙනවා
5. එලියා, ආහබ්ට පැවසුවේ මොනවාද? සිදු වූ දේවල් දැකීමෙන් ආහබ් පාඩමක් ඉගෙනගත්තාද?
5 එලියා ආහබ් රජුට පවසන්නේ “මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා. ඒ නිසා ගොස් කා බී සතුටින් ඉන්න” කියායි. (1 රාජා. 18:41-46) ඒ වන විටත් සිදු වූ දේවල් දැකීමෙන් ආහබ් පාඩමක් ඉගෙනගත්තාද? ඔහු තමන් කළ වැරදි ගැන පසුතැවුණාද කියාවත් තමන් වෙනුවෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කරන ලෙස එලියාගෙන් ඉල්ලා සිටියාද කියාවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වෙන්නේ ඔහු ‘එලියා කී ලෙස පිටත්ව ගියා’ කියායි.—1 රාජා. 18:41, 42.
6, 7. එලියා යාච්ඤා කළේ මොනවා ගැනද? ඒ ඇයි?
6 ආහබ් රජු ගිය පසු එලියා මොනවා කරයිද? ‘ඔහු, කර්මෙල් කන්දට නැඟ දණින් හිඳ, දණිස් දෙක අතරේ ඔළුව තබාගෙන සිටියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. එතරම් යටහත්පහත් ඉරියව්වකින් සිටින ඔහු කරන්නේ මොනවාද? ඒ අවස්ථාවේදී ඔහු වැසි වස්සන්න කියා යෙහෝවා දෙවිට යාච්ඤා කළ බව යාකොබ් 5:18හි සඳහන් වෙනවා.
7 ‘නැවතත් වැසි වස්සන්න තමන් තීරණය කර තිබෙන’ බව යෙහෝවා දෙවි එලියාට දන්වා තිබුණා. (1 රාජා. 18:1) ඒ නිසා එලියා යාච්ඤා කළේ දෙවිගේ කැමැත්ත ඉටු කරන්න කියායි. ඊට අවුරුදු දාහකට පමණ පසුව දෙවිගේ කැමැත්ත ඉටු වන ලෙස යාච්ඤා කරන්න කියා යේසුස්ද ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවා ඔබට මතක ඇති.—මතෙ. 6:9, 10.
8. යාච්ඤාවේදී ඇතුළත් කළ යුතු දේවල් ගැන එලියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
8 එලියා කළ යාච්ඤාවෙන් අපිට වැදගත් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඔහු වඩාත් සැලකිලිමත් වුණේ දෙවිගේ කැමැත්ත ඉටු වීම ගැනයි. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.” (1 යොහ. 5:14) ඒ නිසා දෙවිට පිළිගත හැකි අයුරින් යාච්ඤා කිරීමට නම් අපි මුලින්ම ඔහුගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගැනීම වැදගත්. ඒ සඳහා දිනපතා බයිබලය කියවා අධ්‍යයනය කිරීම අපිට උපකාරවත් වෙනවා. නියඟය අවසන් කරන්න කියා එලියා යාච්ඤා කළේ දුක් විඳිමින් සිටි සෙනඟ ගැන ඔහු සැලකිලිමත් වූ නිසයි. තමන්ගේ යාච්ඤාවට පිළිතුරු දෙමින් ගින්නක් එවා පූජාව දැවීම ගැන ඔහු දෙවිට හද පිරි ස්තුතිය පිරිනැමුවා. අපිත් දෙවිට යාච්ඤා කරද්දී ඔහු අපි වෙනුවෙන් කර තිබෙන දේවල් ගැන ස්තුති කරමු. අමතක නොකර අන් අය ගැනත් යාච්ඤා කරමු.—2 කොරින්ති 1:11; ෆිලිප්පි 4:6 කියවන්න.
විශ්වාසවන්තව සහ සෝදිසියෙන් සිටියා
9. එලියා ඔහුගේ සේවකයාට කරන්න කියා පැවසුවේ මොනවාද? එලියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම් දෙක මොනවාද?
9 යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නියඟය අවසන් කරන බව එලියා හොඳින්ම දැන සිටියා. නමුත් දෙවි එය කරන්නේ කුමන මොහොතේදීද කියා ඔහු දැන සිටියේ නැහැ. දෙවි තම පොරොන්දුව ඉටු කරන තෙක් එලියා කළේ මොනවාද? ඔහු තම සේවකයාට පැවසූ දේ ගැන 1 රාජාවලිය 18:43හි මෙසේ සඳහන් වෙනවා. “‘ගිහින් මුහුද දෙස බලන්න.’ එවිට ඔහු ගොස් බලා නැවත පැමිණ, ‘විශේෂ දෙයක් මට පෙනෙන්නේ නැහැ’ කියා කීවේය. නමුත් හත් වතාවක්, ‘එතැනට ගිහින් එන්න’ යයි එලියා ඔහුට කීවේය.” ඉන් අපිට වැදගත් පාඩම් දෙකක් ඉගෙනගන්න පුළුවන්. එලියාට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි දෙවි ලබා දුන් පොරොන්දුව ඉටු වෙන ආකාරය ගැනත් ඔහු ඉතා සෝදිසියෙන් බලා සිටියා.
දෙවිගේ පොරොන්දු ඉටු වෙන බව දැනගැනීමට යම් ලකුණක් ලැබෙන තුරු එලියා ඕනෑකමින් බලා සිටියා
10, 11. (අ) යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන එලියාට ස්ථිර විශ්වාසයක් තිබුණු බව පවසන්න පුළුවන් ඇයි? (ආ) අපිටත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තියන්න පුළුවන් ඇයි?
10 දෙවිගේ පොරොන්දුව ඉටු වෙන තුරු ආශාවෙන් බලා සිටින එලියා වැහි ලකුණක් හෝ දකින්න ලැබෙයිද කියා දැනගැනීමට තම සේවකයාව ඔවුන් සිටි කන්දේ මුදුනටම යවනවා. එම සේවකයාට කිසියම් හෝ ඉඟියක් දැකගන්න ලැබෙයිද? පැහැදිලිව තිබුණු නිල් අහස් කුසේ පුංචි වැහි වලාවක්වත් ඔහුගේ නෙත ගැටෙන්නේ නැහැ. “විශේෂ දෙයක් මට පෙනෙන්නේ නැහැ” කියා ඔහු එලියාට පවසන්නේ ඒ නිසයි. එසේනම් “මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා” කියා එලියා, ආහබ් රජුට පැවසුවේ ඇයි?
11 දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළ එලියාට දෙවිගේ පොරොන්දු ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදීත් දෙවි පොරොන්දු වූ ලෙස අනිවාර්යයෙන්ම වැසි වස්සවන බවට ඔහුට පූර්ණ විශ්වාසයක් තිබුණා. මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා කියා ඔහු ආහබ් රජුට පැවසුවේ ඒ නිසයි. එලියා මෙන් ‘නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් දිගටම ස්ථිරව සිටි’ මෝසෙස්ව ඔබේ මතකයට නැඟෙනවා ඇති. ඔබටත් යෙහෝවා දෙවි කෙරෙහි එවැනි විශ්වාසයක් තිබෙනවාද? දෙවි ගැනත් ඔහු දී තිබෙන පොරොන්දු ගැනත් විශ්වාස කිරීමට ඇති තරම් සාක්ෂි දෙවිම අපිට සපයා දී තිබෙනවා.—හෙබ්‍රෙ. 11:1, 27.
12. එලියා සෝදිසියෙන් සිටින බව පෙන්නුවේ කොහොමද? පුංචි වලාවක් ගැන දැනගන්න ලැබුණාම ඔහු කළේ මොනවාද?
12 දෙවිගේ පොරොන්දුව ඉටු වෙන ආකාරය ගැන එලියා මොන තරම් සෝදිසියකින් සිටියාද කියා දැන් අපි බලමු. වැහි වලාවක් හෝ දකින්න ලැබෙයිද කියා බැලීමට ඔහු තම සේවකයාව හත් වතාවක්ම යවනවා. එමගින් එම සේවකයා වෙහෙසට පත් වූ බවට නම් සැකයක් නැහැ. කොහොමවුණත් එලියා තම උත්සාහය අත්හරින්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙන්නේ මොන යම් හෝ ලකුණක් දැකගැනීමටයි. අවසන් වතාවේදී අහස් කුසෙන් මතු වෙන පුංචි වලාවක් සේවකයා දකිනවා. ඔහු ඒ ගැන එලියාට මෙසේ පවසනවා. “මුහුදෙන් වලාකුළක් නැඟී එනවා මම දැක්කා. ඒ වලාකුළ මිනිසෙකුගේ අතක හැඩයට සමානයි.” ඔහු එම වලාකුළේ ප්‍රමාණය අතින් පෙන්වන අයුරු ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? සේවකයා එම ලකුණ එතරම් වැදගත් දෙයක් ලෙස සැලකුවේ නැහැ. නමුත් එලියාට එය ඉතා වැදගත් ලකුණක් වුණා. ඒ නිසා “ඉක්මන් කරන්න, වහින්න කලින් ගෙදර යන්න කියා ගිහින් ආහබ් රජුට කියන්න” කියා ඔහු සේවකයාට පවසනවා.—1 රාජා. 18:44.
13, 14. (අ) එලියා මෙන් අපිටත් සෝදිසියෙන් ඉන්න පුළුවන් කොහොමද? (ආ) අපි උද්යෝගයෙන් ක්‍රියා කරන්න අවශ්‍ය හේතු මොනවාද?
13 සෝදිසියෙන් සිටීම සම්බන්ධයෙන් එලියා අපිට මොන තරම් කදිම ආදර්ශයක්ද! එදා නියඟය අවසන් වන තුරු ඔහු ඉතා ඕනෑකමින් බලා සිටියා. අද දෙවිගේ සෙනඟත් මහත් ඕනෑකමකින් බලා සිටින්නේ දෙවි සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන තුරුයි. (1 යොහ. 2:17) යෙහෝවා දෙවි ඒ සඳහා ක්‍රියාත්මක වන තුරු අපිත් එලියා මෙන් සෝදිසියෙන් බලා සිටිමු. යේසුස්ද තම අනුගාමිකයන්ට පැවසුවේ “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ” කියායි. (මතෙ. 24:42) යේසුස් ඉන් අදහස් කළේ දෙවි විනාශය ගෙනෙන තුරු අපිට ඒ ගැන කිසිම තොරතුරක් දැනගැනීමට නොහැකි බවද? නැහැ. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගැනීමට ඔහු පැහැදිලි ලකුණක් අපිට දී තිබෙනවා. ඒ ලකුණට අයත් දේවල් අද අපි සියලුදෙනාටම පැහැදිලිව දකින්න තිබෙනවා.—මතෙව් 24:3-7 කියවන්න.
දෙවි නියඟය නිමා කරන්න ක්‍රියාත්මක වී තිබෙන බව තේරුම්ගන්න එලියාට පුංචි වලාකුළක් ප්‍රමාණවත් වුණා. අවසාන කාලයේ ලකුණට අයත් අංගයන් ඉටු වෙද්දී ඔබ මහත් උද්යෝගයකින් ක්‍රියා කළ යුතු නැද්ද?
14 එම ලකුණට අයත් දේවල් එකින් එක ඉටු වෙද්දී ඉන් කියාපාන්නේ යෙහෝවා දෙවි ළඟදීම ක්‍රියාත්මක වන බවයි. එම සාක්ෂි දකින්න ලැබෙද්දී අපි වඩාත් උද්යෝගයෙන් දෙවිට සේවය කළ යුතු නැද්ද! යෙහෝවා දෙවි ක්‍රියාත්මක වී තිබෙන බව තේරුම්ගන්න එලියාට නම් පුංචි වලාකුළක් හොඳටම ප්‍රමාණවත් වුණා.
සැබෑ දෙවි සහනය සහ ආශීර්වාද ගෙන දෙයි
15, 16. ඉතා සුළු වේලාවක් ඇතුළත සිදු වුණේ මොනවාද? එලියා බලාපොරොත්තු වුණේ ආහබ් මොන වගේ ක්‍රියා මාර්ගයක් ගනියි කියාද?
15 ඊළඟට සිදු වූ දේ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය. ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය. අසු පිට නැඟ ගිය ආහබ් යෙෂ්‍රෙයෙල් නගරය දෙසට ගමන් කළේය.” (1 රාජා. 18:45) ඉතා සුළු වේලාවක් ඇතුළත විශාල වෙනස්කම් දැකගන්න ලැබෙනවා. එලියාගේ සේවකයා ආහබ්ට පණිවිඩය දෙන්න ගිය අතරතුර ඒ කුඩා වලාකුළ විශාල වී මුළු අහසම අඳුරු වෙනවා. පසුව සැඩ සුළඟක් හමමින් මහත් වරුසාවක් ඇද හැළෙනවා. වියළී ගිය ඊශ්‍රායෙල් දේශයට එවන් වර්ෂාවක් ඇද හැළුණේ අවුරුදු තුනහමාරකට පසුවයි. මේ නිසා කීෂොන් නදිය පිටාර ගැලූ අතර ඒ අසල මරා දැමූ බාල් අනාගතවක්තෘවරුන්ගේ ලේ සේදී ගියා. හිතුවක්කාර ඊශ්‍රායෙල්වරුන්ට බාල් නමස්කාරයෙන් හැරී යෙහෝවා දෙවි වෙතට එන්න මෙය කදිම අවස්ථාවක්.
16 ඊශ්‍රායෙල් සෙනඟ බාල් නමස්කාරය අත්හැර දමයි කියා එලියා බලාපොරොත්තු වූ බවට සැකයක් නැහැ. ආහබ් ඒ සඳහා මොන වගේ ක්‍රියා මාර්ගයක් ගනියිද කියාත් එලියා බලා සිටින්න ඇති. තමන් අතින් සිදු වූ වැරදි තේරුම්ගෙන බාල් නමස්කාරයෙන් හැරී ඒමට එදින සිදු වූ දේවල් ආහබ්ට හොඳටම ප්‍රමාණවත් වුණා. නමුත් ඒ දේවල් ගැන ඔහුට කොහොම සිතෙන්න ඇද්ද කියා අපි දන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “අසු පිට නැඟ ගිය ආහබ් රජ යෙෂ්‍රෙයෙල් නගරය දෙසට ගමන් කළේය” කියායි. සිදු වූ දේවලින් ඔහු පාඩමක් ඉගෙනගත්තේ නැහැ. පසු කාලයේදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් එය පැහැදිලි වෙනවා. ඊළඟට සිදු වෙන්නේ මොනවාද කියා බලමු.
17, 18. (අ) යෙෂ්‍රෙයෙල් නගරයට දිව යන අතරතුර එලියාට සිදු වුණේ කුමක්ද? (ආ) ඔහු දිව ගිය ආකාරය විශේෂ දෙයක් වෙන්නේ ඇයි? (පාදසටහනද බලන්න.)
17 ආහබ් ගිය පාරේම එලියාත් දුවන්න පටන්ගන්නවා. නමුත් ඔහුට දුවන්න සිදු වෙන්නේ මොර සූරන වැස්සේ මඩ සහිත පාරවල්වලයි. වැඩිවේලාවක් යන්න කලින් ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා.
18 ඔහුට යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “එලියා කැසපට ගසාගෙන ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය. ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.” (1 රාජා. 18:46) යෙෂ්‍රෙයෙල් නගරය පිහිටා තිබුණේ කර්මෙල් කන්දේ සිට කිලෝමීටර් 30ක් පමණ ඈතින්. ඒ වන විට එලියා තරුණ විය පසු කර සිටියා.a ඔහු ඇඳුම කැසපට ගසාගෙන මඩ සහිත පාරක් දිගේ වේගයෙන් දිව යන ආකාරය ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? ඔහු කොතරම් වේගයකින් දිව යනවාද කියනවා නම් ආහබ්ගේ අශ්ව රථයත් පසු කරගෙන යෙෂ්‍රෙයෙල් නගරයටම දිව යනවා.
19. (අ) එලියාගේ සිද්ධියෙන් අපිට සිහිගැන්වෙන්නේ අනාගතය ගැන බයිබලයේ සඳහන් මොන අනාවැකිද? (ආ) යෙෂ්‍රෙයෙල් වෙත දිව යද්දී එලියාට හොඳින්ම දැනෙන්න ඇත්තේ කුමක්ද?
19 එය එලියාට මොන තරම් ආශීර්වාදයක් වෙන්න ඇද්ද? සමහරවිට තරුණ කාලයේදීවත් එලියා එතරම් ශක්තියක්, ජවයක් අද්දකින්න නැතුව ඇති. මේ සිද්ධියෙන් අපේ මතකයට නැඟෙන්නේ අනාගත පාරාදීස පොළොවේ හැමෝම අද්දකින්න යන නිරෝගී සෞඛ්‍යය සහ ශක්තිය ගැන සඳහන් වී තිබෙන අනාවැකිවල ඉටු වීම ගැනයි. (යෙසායා 35:6 කියවන්න; ලූක් 23:43) එදා මහා වරුසාවේ එලියා යෙෂ්‍රෙයෙල් වෙත දිව යද්දී දෙවිගේ අනුමැතිය තමන්ට තිබෙන බව ඔහුට හොඳින්ම දැනෙන්න ඇති.
20. යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට නම් අප කළ යුත්තේ මොනවාද?
20 එලියාට ආශීර්වාද කළ යෙහෝවා දෙවි අනාගතයේදී අපිටත් ආශීර්වාද කිරීමට බලා සිටින්නේ මහත් ආශාවකින්. එම මහඟු ආශීර්වාද ලබාගැනීමට අපි උපරිම වෑයමක් දරමු. ලකුණක් ලැබෙන තුරු සෝදිසියෙන් සිටි එලියා මෙන් අපිත් යෙහෝවා දෙවි ක්‍රියාත්මක වීමට ළඟ බව හඳුනාගැනීමට තිබෙන ලකුණ ගැන සෝදිසියෙන් සිටීම ඉතා වැදගත්. “සත්‍යතාවේ දෙවි” වන යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමට එලියාට මෙන් අපටත් ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා.—ගීතා. 31:5.
a මේ සිද්ධියෙන් පසුව යෙහෝවා දෙවි එලිෂාව පුහුණු කිරීමේ වගකීම එලියාට පවරනවා. එලිෂාව පසු කාලයේදී හඳුන්වනු ලැබුවේ “එලියාට අත් සෝදන්න වතුර වත් කළ” තැනැත්තා ලෙසයි. (2 රාජා. 3:11) මහලු එලියාට උදව් උපකාර කරන එලිෂා ඔහුගේ සේවකයා ලෙස ක්‍රියා කරනවා.