ඔබ දැන සිටියාද?
යේසුස්ගේ කාලය වන විට යුදෙව්වන් සෑම තැනකම විසිර සිටියේ ඇයි?
මා යන තැනට ඔබට පැමිණෙන්න බැහැ කියා එක් අවස්ථාවකදී යේසුස් ඔහුට සවන් දෙමින් සිටි අයට පැවසුවා. එවිට එතැන සිටි යුදෙව්වන් යේසුස් “යන්න අදහස් කරන්නේ කොතැනටද” කියාත් “ඔහු ග්රීකවරුන් අතරේ විසිරී සිටින යුදෙව්වරුන් වෙතට” යන්න අදහස් කරනවාද කියාත් කල්පනා කරන්න පටන්ගත්තා. (යොහන් 7:32-36) මේ සිද්ධියෙන් ටික කාලයක් ගිය පසු මුල් ක්‍රිස්තියානීන් මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවල ජීවත් වූ යුදෙව්වන්ට ශුභාරංචිය දේශනා කළා.—ක්‍රියා 2:5-11; 9:2; 13:5, 13, 14; 14:1; 16:1-3; 17:1; 18:12, 19; 28:16, 17.
යුදෙව්වන් මෙසේ විසිරී යෑමට හේතුව වූයේ වෙනත් ජාතීන් පැමිණ ඔවුන්ගේ ප්‍රදේශ අත් පත් කරගෙන ඔවුන්ව පිටුවහල් කිරීමයි. උදාහරණයකට ක්‍රිස්තු පූර්ව 740දී ඇසිරියානුවන්ද ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන්ද යුදෙව්වන්ව පිටුවහල් කළා. පිටුවහල් කරනු ලැබූ යුදෙව්වන්ගෙන් සුළුතරයයි නැවතත් ඊශ්රායෙලයට පැමිණියේ.—යෙසායා 10:21, 22.
ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදී පර්සියානු අධිරාජ්‍යයේ පළාත් 127කම යුදෙව්වන් විසිරී සිටියා. (එස්තර් 1:1; 3:8) යුදෙව්වන් වෙනත් අයව යුදෙව් ආගමට හරවාගැනීමට උත්සාහ කළ නිසා කාලයාගේ ඇවෑමෙන් බොහෝදෙනෙකුට යෙහෝවා දෙවි ගැනත් ඔහු යුදෙව්වන්ට ලබා දී තිබූ නීතිය ගැනත් යම් දැනුමක් ලැබුණා. (මතෙව් 23:15) ක්‍රිස්තු වර්ෂ 33දී පැවැත්වුණු පෙන්තකොස්ත උත්සවයට විවිධ දේශවලින් යුදෙව්වන් බොහොමයක් පැමිණි අතර එහිදී ඔවුන්ට යේසුස් පිළිබඳ ශුභාරංචියට සවන් දීමට හැකි වුණා. රෝම අධිරාජ්‍යය යටතේ පැවති ප්‍රදේශවල යුදෙව්වන් ව්‍යාප්ත වී සිටි නිසා ක්‍රිස්තියානි ධර්මය ඒ සෑම තැනකම පැතුරුණා.
සලමොන් රජු සතුව කොතරම් රත්තරන් ප්‍රමාණයක් තිබුණාද?
සලමොන් රජට තීර් නගරයේ හීරාම් රජු රත්තරන් ටොන් හතරක්ද ෂෙබා දේශයේ රැජිනත් ඒ හා සමාන ප්‍රමාණයක්ද දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඊට අමතරව ඔහු ඕෆීර් නම් ස්ථානයේ සිට නැව්වලින් රත්තරන් ටොන් 15කටත් වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වාගත් බවත් එහි සඳහන් වෙනවා. ඒ අනුව “සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රත්තරන්වල බර තලෙන්ත හයසිය හැටහයක්” එනම් ටොන් 25ක් පමණ වුණා. (1 රාජාවලිය 9:14, 28; 10:10, 14) මෙය සත්‍යයක් විය හැකිද? එය තේරුම්ගැනීමට අතීතයේ සිටි ඇතැම් රජවරුන් සතුව කොතරම් රත්තරන් ප්‍රමාණයක් තිබුණාද කියා සලකා බලන්න.
විශ්වාසවන්තයැයි කියා විශාරදයන් සලකන එක් පැරණි ලියවිල්ලක ඊජිප්තුවේ තුන්වෙනි තුට්මෝස් පාරාවෝ රජ කානාක්වල පිහිටි ආමූන්-රා දේවාලයට රත්තරන් ටොන් 13.5ක් පරිත්‍යාග කළ බව සඳහන් වෙනවා. එමෙන්ම ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ සිටි තුන්වන තිග්ලත්-පිලෙසෙර් නම් ඇසිරියානු රජ තීර් නගරයෙන් රත්තරන් ටොන් හතරකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. ඇසිරියාවේ දෙවන සර්ගොන් රජත් ඒ හා සමාන රත්තරන් ප්‍රමාණයක් බැබිලෝනියේ දෙවිවවරුන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජ (ක්‍රි.පූ. 359-336) ත්රේස්වල, පාන්ගායිම් ප්‍රදේශයේ පතල්වලින් සෑම වසරකම රත්තරන් ටොන් 28කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත් බව වාර්තා වෙනවා.
පිලිප් රජුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රි.පූ. 336-323) පර්සියාවේ සූසා නගරය යටත් කරගත් විට එයින් රත්තරන් ටොන් 1,180ක් පමණ ලබාගෙන තිබෙනවා. මුළු පර්සියාවෙන්ම ඔහුට රත්තරන් ටොන් 7,000ක් පමණ ලැබුණු බවත් වාර්තා වෙනවා. එවන් වාර්තා හා සසඳන විට සලමොන් රජ සතුව තිබූ රත්තරන් ගැන බයිබලයේ සඳහන් විස්තරය සැබෑවක් බව තහවුරු වෙනවා.