ත්‍යාගශීලීභාවය නොමඳව පවතින විට
රජ කෙනෙකුට තෑග්ගක් දීමේ ප්‍රස්තාවක් ඔබට ලැබුණොත්, ඔබ ඔහුට මොකක්ද දෙන්නේ? තවද ඔහු මුළු ලෝකයේ පාලකයන් අතරින් ධනවත්ම හා ප්රඥාසම්පන්නම නායකයා වූවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔහුට සුදුසු තෑග්ගක් තෝරාගන්න ඔබට පුළුවන් වේවිද? මීට වසර තුන්දහසකට පෙර ඉශ්රායෙල්හි විසූ සාලමොන් රජ මෙවැනි පාලකයෙක් වුණා. ඒ නිසා ඔහුව බැහැදැකීමට පෙර ෂෙබාහි බිසවට මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කරන්න සිදු වුණා.
ඇය රන් තලෙන්ත 120ක්ද “සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය” කියා බයිබලය අපට පවසනවා. අදදින රත්රන්වල වටිනාකම පමණක් ගත් කල එය අමරිකානු ඩොලර් මිලියන 40කට ආසන්නයි. වාර්තාගත වී තිබෙන ආකාරයට ඇය දුන් සුවඳ ද්‍රව්‍යය ඉතාමත් සුගන්ධවත් වන අතර එය නොයෙක් වෛද්‍ය ප්රතිකර්මවලටද භාවිත වේ. ඒ කාලයේ මේවායේ වටිනාකම රත්රන්වල වටිනාකමට සමාන විය. රැජින සුවඳ ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් දුන්නාද කියා බයිබලය නිශ්චිත වශයෙන් සඳහන් නොකළත් එය අසමාන්‍ය ප්‍රමාණයක් වූ බව කියාපායි.—1 රාජාවලිය 10:10.
නිසැකවම ෂෙබාහි බිසව ධනවත් සහ ත්‍යාගශීලී ස්ත්‍රියක් වුණා. එපමණක් නොව ඇය දුන් ආකාරයටම ඇයට ලැබුණා. “ෂෙබාහි බිසව සාලමොන් රජුට ගෙනාවාවූ දේවල් වෙනුවට දුන් ඒවා හැර ඇගේ මුළු කැමැත්තලෙස ඈ ඉල්ලූ සියල්ලත් රජතෙමේ ඈට දුන්නේය” කියා බයිබලය කියයි. (2 ලේකම් 9:12) රාජකීය පවුල් අතරේ තෑගි හුවමාරු කරගැනීම සාමාන්‍ය සිරිතක් වන්න ඇති බව සැබෑවක්. කෙසේවෙතත් බයිබලය, සාලමොන් රජුගේ ‘ත්‍යාගශීලීකම’ විශේෂයෙන් සඳහන් කරයි. (1 රාජාවලිය 10:13) සාලමොන්ම මෙසේ ලිව්වා: “ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.”—හිතෝපදේශ 11:25, නව අනුවාදය.
සාලමොන්ව බැහැදැකීමට ෂෙබාහි බිසවත් තම කාලය හා පරිශ්රමය කැප කළ බව නිසැකයි. ෂෙබාහි බිසව වාසය කරන්න ඇත්තේ වර්තමානයේ යෙමෙන් සමූහාණ්ඩුවට අයත් ප්‍රදේශයේ බවට සාක්ෂි ඇත. එයින් අදහස් වන්නේ බිසව සහ ඇය සමඟ ගමනට හවුල් වූ අය ඔටුවන් පිට නැඟ යෙරුසලමට පැමිණීමට කිලෝමීටර 1600ක් පමණ ගමන් කළ බවයි. යේසුස් පැවසූ ආකාරයට ඇය “පොළොවේ සීමාවල සිට ආවාය.” ෂෙබාහි බිසව මෙතරම් පරිශ්‍රමයක් දැරුවේ ඇයි? “සාලමොන්ගේ ප්‍රඥාව [ඇසීමට]” තිබුණ දැඩි ආශාව මෙම ගමනට තුඩු දුන් විශේෂ හේතුවයි.—ලූක් 11:31.
පළමුවන රාජාවලිය 10:1, 2 කියන ආකාරයට ෂෙබාහි බිසව “දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු [සාලමොන් රජුව] පිරික්සන පිණිස පැමිණියා ය. . . . ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.” (නව අනුවාදය) සාලමොන් මොන වගේ ප්‍රතිචාරයක් දැක්වූවාද? “සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නොවී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.”—1 රාජාවලිය 10:3, නව අනුවාදය.
ඇසූ දුටු දෙයින් මවිතයට පත් වූ ඇය නිහතමානීව “නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය” කියා ප්‍රකාශ කළා. (1 රාජාවලිය 10:4-8) සාලමොන්ගේ සේවකයන් සමෘද්ධියෙන් වට වී සිටියත්, ඔවුන් ප්‍රීතිමත් අය වූයේ ඒ නිසයි කියා ඇය කියා සිටියේ නැහැ. ඒ වෙනුවට සාලමොන්ගේ සේවකයන් ආශිර්වාද ලත් සෙනඟක් වූයේ දෙවිගෙන් ලැබූ ප්‍රඥාවට නිතරම ඔවුන් ඇහුම්කම් දුන් නිසයි. වර්තමානයේ, දෙවිගේ හා යේසුස්ගේ ප්‍රඥාව බහුලව භුක්ති විඳින යෙහෝවාගේ සේවකයන්ට ෂෙබාහි බිසව මොනතරම් කදිම ආදර්ශයක්ද!
බිසව ඉන්පසුව පැවසූ දෙයද සලකා බැලීම යෝග්‍යයි: “ඔබගේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රශංසා වේවා.” (1 රාජාවලිය 10:9) පෙනෙන ප්‍රකාරයට සාලමොන්ගේ ප්‍රඥාවට හා සමෘද්ධියට යෙහෝවා දායක වූ ආකාරය ඇය දුටු බව නිගමනය කළ හැකියි. මෙය, මීට කලින් යෙහෝවා ඉශ්රායෙල් සෙනඟට දුන් පොරොන්දුවට සමානයි. “එබැවින් ඒවා [යෙහෝවාගේ ආඥා] පවත්වමින් කරන්න” කියා ඔහු පැවසුවා. “මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.”—ද්විතීය කථාව 4:5-7.
ප්‍රඥාව දෙන්නාට ළඟාවීම
නූතන කාලවල මිලියන සංඛ්‍යාත අය, ‘දෙවිගේ ඉශ්රායෙල්ට’ අයත් සෙනඟ “ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි” වටහාගෙන තිබුණ නිසා යෙහෝවාගේ සංවිධානයට ආකර්ෂණය වී ඇත. මෙම ප්‍රඥාව සහජයෙන්ම උරුම වෙන්නේ නැති අතර එය ලබාගන්නේ දෙවිගේ පරිපූර්ණ නීති හා ප්‍රමිති මාර්ගයෙනුයි. (ගලාති 6:16) මෑත වර්ෂවල අලුත් ගෝලයන් දසදහස් ගණන් බව්තීස්ම වී ඇත. ‘අපි ඔබ සමඟ යන්නෙමුව, මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින බව අප අසා තිබෙනවා’ යන්න මෙමඟින් ආත්මික ඉශ්‍රායෙලයට ඔවුන් නිසැකවම අඟවා තිබෙනවා. (සෙකරියා 8:23) යෙහෝවා තම සේවකයන් වෙනුවෙන් පිළියෙළ කර තිබෙන ප්‍රණීත ආත්මික ආහාරවලින් සපිරි මංගල්‍යය දුටු විට ඔවුන් මොනතරම් පුදුමයට පත් වෙනවාද! මේ හා සසඳන කල ඔවුන් කලින් ඇදහූ ආගම්වල මීට සමාන කිසිවක් දුටුවේ නැහැ.—යෙසායා 25:6.
උත්කෘෂ්ටතම සපයන්නාට යමක් දීම
බොහෝ දේ ලබා දී ඇති නිසා අගයපූර්වක අය විශිෂ්ටතම රජ හා සැපයුම්කරු වන යෙහෝවා දෙවිට ප්රත්යූපකාරයක් හැටියට යමක් දීමටද ආශා වෙනවා. අපට යෙහෝවාට දිය හැකි හොඳම තෑග්ග “ප්‍රශංසාව නැමති පූජාව” බව බයිබලය පෙන්වයි. (හෙබ්‍රෙව් 13:15) ඇයි? මේ අන්තිම දවස්වල යෙහෝවා මහත් උනන්දුවක් දක්වන ජීවිත බේරාගැනීමේ වැඩයට මෙම පූජාව කෙළින්ම සම්බන්ධ වන නිසයි. (එසකියෙල් 18:23) ඊට අමතරව අසහනයට පත්වූවන් හා රෝගාතුරවූවන් වෙනුවෙන් තම ශක්තිය හා කාලය යෙදවීම පිළිගත හැකි පූජාවකි.—1 තෙසලෝනික 5:14; හෙබ්‍රෙව් 13:16; යාකොබ් 1:27.
මූල්‍යමය ආධාර අත්‍යවශ්‍ය දෙයකි. එය බයිබල් සහ බයිබලය මත පදනම් වූ පොත් පත් ප්‍රකාශයට පත් කිරීමටත්, ක්‍රිස්තියානීන්ට එක්රැස් වීමේ ස්ථාන ලබාගැනීමටත් දායක වෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) යුද්ධවලට හා ස්වාභාවික විපත්තිවලට ගොදුරු වන්නන්ට සහනාධාර ලබා දීමටත් සම්මාදම් ප්‍රයෝජනවත් වෙනවා.
ත්‍යාගශීලී වීමට දෙවිගේ වචනය අපට අවශ්‍ය මඟ පෙන්වීම සපයයි. නිදසුනක් වශයෙන් ක්‍රිස්තියානීන් සිය කැමැත්තෙන් හා සතුටු සිතින් තමන්ට සාධාරණව දානය කළ හැකි දෙයක් දෙනවා මිස යාන්ත්‍රිකව යම් නිශ්චිත සම්මාදමක් දෙන්නේ නැති බව එහි උගන්වනවා. (2 කොරින්ති 9:7) ඇතමෙකුට බොහෝ දේ ප්රදානය කළ හැක; තවත් සමහරෙකුට සමහරවිට යේසුස්ගේ කාලයේ විසූ වැන්දඹුව මෙන් ඒ තරම්ම දිය නොහැක. (ලූක් 21:2-4) මුළු විශ්වයේම අයිතිකරු වන යෙහෝවා හොඳ චේතනාවකින් අපි දෙන ඕනෑම දෙයක් අගය කිරීම පුදුමයක් නොවේද?—හෙබ්‍රෙව් 6:10.
සතුටු සිතින් දීමට හැකි වන පිණිස යෙහෝවාගේ සේවකයන්ට පවතින නොයෙක් අවශ්‍යතා හා එම අවශ්‍යතා සපුරාලිය හැකි අන්දම ගැන කලින් කලට තොරතුරු සපයනවා. ඉන් අනතුරුව යෙහෝවාගේ ශුද්ධාත්මය, ප්‍රතිචාරය දැක්වීමට ත්‍යාගශීලී හදවත් ඇති අයව පොලඹවනවා. මණ්ඩපය තැනීමට හා පසුව දේවමාළිගාව සෑදීමට පුරාණයේ විසූ ඉශ්‍රායෙලිතයන් මෙම විධිවිධානය අනුගමනය කළා. (නික්මයාම 25:2; 35:5, 21, 29; 36:5-7; 39:32; 1 ලේකම් 29:1-19) පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේදී ශුභ ආරංචිය අන්‍ය ජාතිකයන්ට ප්‍රචාරය කිරීමටද, ඒ කාලයේ ඇති වූ ආහාර හිඟය නිසා විඳදරාගැනීමට අවශ්‍ය සැපයුම් ලබා දීමටද එවැනිම සැලැස්මක් උපයෝගි කරගත්තා.—1 කොරින්ති 16:2-4; 2 කොරින්ති 8:4, 15; කොලොස්සි 1:23.
ඒ හා සමානව, අදටත් ඉදිරියටත්, ලෝකය කිසිදිනක අද් නොදුටු විශිෂ්ටතම දේශනා කිරීමේ හා ඉගැන්වීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම සපයමින් යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කරාවි.—මතෙව් 24:14; 28:19, 20.
වත්මන් අවශ්‍යතා මොනවාද?
කලින් තහංචි පනවා තිබූ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මෑතකදී නීත්‍යනුකූලව ලියාපදිංචි වීමට පුළුවන් වී තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් මෙම දේශවල සේවය කරන ප්‍රචාරකයන්ගේ ගණන පෙර නොදුටු විරූ අන්දමකින් වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් බයිබල් සහ බයිබලය මත පදනම් පොත් පත්වලට මහත් ඉල්ලුමක් තිබීම පුදුමයට කාරණයක් නොවේ.
රාජ්යශාලාද අවශ්‍යයි. මේ වන විට ලොව වටා රාජ්යශාලා 9,000ක අවශ්‍යතාවක් ඇත. දිනකට එක් රාජ්යශාලාවක් ගානේ සෑදුවත් වත්මන් අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලීමට අවුරුදු 24ක්වත් ගත වෙයි! මීට අමතරව සාමාන්‍ය වශයෙන් දිනකට අලුත් සභාවන් හතක් බැගින් බිහි වෙනවා. මේවායින් බහුතරයක්ම බිහි වන්නේ මූල්‍යමය අතින් යමක් කමක් නැති රටවලය. බොහෝ අවස්ථාවලදී ඕනෑ වන්නේ වැඩි වටිනාකමකින් යුත් ගොඩනැඟිල්ලක් නොවෙයි. සමහර ස්ථානවල රුපියල් 5,00,000ක් වැනි අඩු මුදලකින් අවශ්‍යතාව සපුරාලන හා ප්‍රදේශයේ වැසියන්ට හොඳ සාක්ෂියක් දෙන රාජ්යශාලාවක් තනන්න පුළුවන්.
පළමු ශත වර්ෂයේ විසූ සමහර ක්‍රිස්තියානීන්ට සෙසු ක්‍රිස්තියානීන්ට වඩා මූල්‍යමය අතින් අතමිට සරුව තිබුණා. එහෙයින් පාවුල් මෙසේ පැවසුවා: “මේ කාලයේ නුඹලාගේ වැඩිකම ඔවුන්ගේ හිඟකමට ආධාරයක් වූයෙන්, (මත්තට) ඔවුන්ගේ වැඩිකමත් නුඹලාගේ හිඟකමට ආධාරයක් වීමෙන් සමකමක් වන පිණිසය.” (2 කොරින්ති 8:14) අද ලෝකයේ නොයෙක් ස්ථානවලට අවශ්‍ය බයිබල්, බයිබලය මත පදනම් පොත් පත්, රාජ්යශාලා හා ආනාථාධාර සැපයීමට ලැබෙන මුදල්වලින් එවැනිම ‘සම කිරීමක්’ සිදු වෙනවා. ලබන්නාට මෙන්ම දෙන්නාටද මෙය කොතරම් මහඟු ආශීර්වාදයක්ද!—ක්‍රියා 20:35.
සමිතියට ත්‍යාගශීලීවන්ත පුද්ගලයන්ගෙන් ලැබෙන ලිපිවලින් දැකගන්න ලැබෙන කැපීපෙනෙන එක් දෙයක් වන්නේ, මෙම සඟරාව කියවන බොහෝදෙනෙකු ආධාර කිරීමට කැමැත්තෙන් සිටියත් ඔවුන්ට දායක විය හැකි සුදුසුම ක්‍රමය කුමක්ද කියා නොදැන සිටින බවයි. අදාළ කොටුවේ තිබෙන තොරතුරු නිසැකවම ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.
සාලමොන්ගේ තේජාන්විත පාලන සමයේ ඔහු ගැන අසන්න ලැබුණ “පොළොවේ සියලු රජවරු ඔහු වෙතට ආවා.” එහෙත් බයිබලය සඳහන් කරන්නේ ඉන් එක් පාලකයෙකුගේ නම පමණයි; ඒ ෂෙබාහි බිසවයි. (2 ලේකම් 9:23) ඇය කළ පරිත්‍යාගය මොනතරම්ද! නමුත් ඇයද බොහෝ ආශීර්වාද නෙළාගත්තා. කොයිතරම්ද කියතොත් ඇගේ බැහැදැකීම නිම වන විට ඇය ‘තුෂ්ණීම්භූතව’ සිටියා.—2 ලේකම් 9:4 නව අනුවාදය.
උත්කෘෂ්ටතම රජ හා සැපයුම්කරු වන යෙහෝවා සාලමොන්ටවත් කිසිදිනකවත් සමාන කළ නොහැකි තරම් විපාක අනාගතයේදී තමා වෙනුවෙන් පරිත්‍යාග කරන්නන්ට දෙන්න යනවා. එවිට ඒ අයද “තුෂ්ණීම්භූත” වේවි. මන්දයත් යෙහෝවා තමාගේ භය උපදවන දවසේදී ඔවුන්ව රක්ෂා කරන්න යනවා පමණක් නොව නමුත් ඔහු ‘ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාවද පූර්ණ කරන්න යනවා.’—ගීතාවලිය 145:16.
[23වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ ස්වේච්ඡාවෙන් කරන සම්මාදම් මගිනුයි