බයිබල් පොත් අංකය 30—ආමොස්
ලේඛකයා: ආමොස්
ලියූ ස්ථානය: යූදා
ලිවීම අවසන් කළේ: පො.යු.පෙ. 804දී පමණ
ඔහු අනාගතවක්තෘ කෙනෙකුවත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්රයෙකුවත් නොව, එඬේරෙකු මෙන්ම අත්තික්කා ගස්වල තිබෙන ගෙඩි ඉදවන්නෙකි. යෙහෝවා මෙවන් කාර්යයක නියැලී සිටි ආමොස්ව කැඳවා, ඔහුගේම ජාතිය වූ යූදාට පමණක් නොව, විශේෂයෙන්ම ඉශ්රායෙලයේ උතුරු රාජ්‍යයෙහිද අනාවැකි කීමට ඔහුව යැවීය. ඔහු 2 රාජාවලිය 17:13, 22, 23හි සඳහන් අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකි. ඔහු යෙරුසලමට දකුණින් කිලෝමීටර් 16ක පමණ දුරින් පිහිටි යූදාහි තෙකෝවා ප්‍රදේශයේ වැසියෙකි. මෙහි සිට ඉශ්රායෙල් දස ගෝත්‍රික රාජ්‍යයේ දකුණු දේශ සීමාවට පැමිණීමට දිනක් පමණ ගත වේ.—ආමො. 1:1; 7:14, 15.
2 ඔහු අනාවැකි පැවසීම ආරම්භ කිරීමට වසර දෙකකට කලින් අසාමාන්‍ය භූමිකම්පාවක් සිදු වූ බව ඔහුගේ අනාවැකියේ පළමු වගන්තියේ සඳහන් වේ. එමෙන්ම ඔහු අනාගතවක්තෘවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළේ යූදාහි රජු වූ උස්සියාගේ හා යෝවාෂ්ගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජු වූ IIවන යෙරොබොවම්ගේ දවස්වල බවද එහි සඳහන්ව ඇත. මෙයින් පෙනී යන්නේ එම රජවරුන් දෙදෙනාම සමකාලීනව රජකම් කළ කාලය වන පො.යු.පෙ. 829 සිට 804 දක්වා වූ වසර 26ක කාලපරිච්ඡේදය තුළ ඔහු අනාවැකි පැවසූ බවයි. ජනයා බියෙන් පලා ගිය උස්සියා රජුගේ දවස්වල සිදු වූ විනාශකාරි භූමිකම්පාවක් ගැන අනාගතවක්තෘ සෙකරියා සඳහන් කරයි. (සෙක. 14:5) උස්සියා රජු උඩඟු ලෙස දේවමාලිගාවේ සුවඳ දුම් ඔප්පු කළ කාලයේදී භූමිකම්පාවක් සිදු වූ බව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරයි. කෙසේවෙතත්, පෙනෙන විදිහට ආමොස් විසින් සඳහන් කරන ලද භූමිකම්පාව සිදු වූයේ උස්සියාගේ පාලන සමයේ ඔහු සුවඳ දුම් ඔප්පු කිරීමට කලින් අවදියක බව පෙනේ.
3 ආමොස් යන නාමයෙන් “බරක් වීම” හෝ “බරක් ඉසිලීම” යන්න අදහස් කෙරේ. ඉශ්රායෙල්ට සහ යූදාට (එමෙන්ම මිථ්‍යා දෘෂ්ටික ජාතීන් විශාල සමූහයකටද) දුක්වලින් බර වූ පණිවිඩ ගෙන ගියත් යෙහෝවාගේ ජනයාගේ නැවත පිහිටුවීම සම්බන්ධයෙන් සැනසිලිදායක පණිවිඩයක්ද ඔහු ප්‍රකාශ කළේය. ඉශ්රායෙල්හි දුක්ඛිත පණිවිඩයක් ප්‍රකාශ කිරීමට ඇති තරම් හේතු තිබිණ. එම දවස්වල සෞභාග්‍යවත්, සුඛෝපභෝගී හා අනාචාර ජීවන රටාවක් පැවතිණ. ජනයා යෙහෝවාගේ ව්‍යවස්ථාව අමතක කර දමා තිබිණ. ප්‍රමාණයට වඩා ඉදී ඇති පලතුරක් නරක් වේගන යන්නා සේ ඔවුන් ඒ වන විටත් විනාශය කරා ගමන් කරමින් සිටි බව ඔවුන්ට තේරුම්ගත නොහැකිව තිබිණ. ඔවුන්ගේ සැබෑ තත්වය ඔවුන්ට දැකගත නොහැකි වූයේ ඔවුන්ගේ සමෘද්ධිය නිසයි. අවුරුදු කිහිපයක් ගෙවී යන්න මත්තෙන් ගෝත්‍ර දසයේ රාජ්‍යය දමස්කයෙන් එපිට වහල්භාවයට පත් වනු ඇති බවට ආමොස් අනාවැකි කීවේය. ඔහු 21 වරක් “පරමාධිපති ස්වාමීන්” [NW] කියා යෙහෝවා ගැන සඳහන් කරමින් ඔහුගේ පරමාධිපත්‍යය සහ ධර්මිෂ්ඨකම මහිමවත් කර ඇත.—ආමො. 1:8.
4 මෙම අනාවැකිය සහ වෙනත් අනාවැකි ඉටුවීම මගින් ආමොස් පොතේ විශ්වාසවන්තභාවය සහතික කෙරේ. ඉශ්රායෙල් අවට සිටි සතුරු ජාතීන් වූ සිරියවරුන්ද, පිලිස්තිවරුන්ද, තීර් වැසියන්ද, ඒදොම්වරුන්ද, අම්මොන්වරුන් හා මෝවබ්වරුන්ද විනාශයේ ගින්නෙන් නාස්ති කරනු ලබන බවට අනාගතවක්තෘවරයා පුරෝකථනය කළේය. පසු කාලයේදී මෙම ආරක්ෂිත ස්ථාන සෑම එකක්ම විනාශ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. යූදා සහ ඉශ්රායෙල් යෙහෝවාව අත්හැර බොරු නමස්කාරයේ නිරත වූ බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඊටත් වඩා දුෂ්ට විය. ඉශ්රායෙල්හි අවසාන ආරක්ෂිත ස්ථානය වූ සමාරිය නම් අගනගරය Vවන ෂල්මනෙසෙර්ගේ නායකත්වය යටතේ අෂූර් හමුදාව විසින් වටලන ලදුව, පො.යු.පෙ. 740දී විනාශ කරන ලදි. (2 රාජා. 17:1-6) යූදා ඇගේ සහෝදරිය බඳු ජාතියට සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන නොගත් අතර, පො.යු.පෙ. 607දී ඇයවද විනාශ කරන ලදි.
5 ධනවතුන් අධික ලෙස මද්‍යපානය බීමට හා ආහාර ගැනීමට යොදාගත් “ඇත්දත් ගෙවල්” සාදාගැනීමට දිළිඳුන් සතු දෑ අයුක්තිසහගත ලෙස අත් කරගත් නිසා ඉශ්රායෙල්හි සුඛෝපභෝගී ජීවන රටාව ආමොස් හෙළා දැක්කේය. (ආමො. 3:15; 5:11, 12; 6:4-7) පුරාවිද්‍යාඥයන් මෙම සෞභාග්‍යවත් තත්වය පිළිබඳ සාක්ෂි අනාවරණය කරගෙන ඇත. සමාරියේ කැණීම්වලදී ඇත්දත්වලින් සෑදූ වස්තූන් බොහොමයක් සොයාගෙන තිබේ. එක් පොතක (එන්සයික්ලොපීඩියා ඔෆ් ආකියලොජිකල් එස්කවේෂන්ස් ඉන් ද හෝලි ලෑන්ඩ්) මෙසේ සඳහන් කරයි: “ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගත හැක. 1. කැටයම් පිටතට මතු වී පෙනෙන සේ නිර්මාණය කළ පලස්, . . . 2. අනර්ඝ ගල්, වර්ණ ගැන්වූ වීදුරු, රන් ආදියෙන් සැරසූ, අභ්‍යන්තරය කැටයම් කළ පලස්. . . . ඇත්දළ, ෆීනීසියන් කලාවේ නිෂ්පාදනයක් වශයෙන් සලකන ලද අතර, ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ මාලිගාවේ ගෘහ භාණ්ඩ අලංකාර කිරීම සඳහා යොදාගත්තා විය හැක. ආහබ් විසින් සාදන ලද ‘ඇත්දත් ගෙය’ (1 රාජා. 22:39) හා ආමොස්ගේ හික්මවීමේ වදන්වල සමාරියේ සුඛෝපභෝගී ජීවිත සංකේතවත් කරන ‘ඇත්දත් ඇඳන්’ ගැන බයිබලයේ සඳහන් වේ (6:4).”a
6 ආමොස් පොත පිළිගත් බයිබල් පොත් සමූහයට අයත් බවට සැකයක් නොමැත. ස්තේපන් එහි පද තුනක් ක්‍රියා 7:42, 43හි විස්තර කළ ආකාරයෙන් හා ක්‍රියා 15:15-18හි සඳහන් ලෙස යාකොබ් එම පොතෙන් කළ උපුටා දැක්වීමෙන් එහි විශ්වාසවන්තභාවය තවදුරටත් සනාථ වේ.—ආමො. 5:25-27; 9:11, 12.
ප්‍රයෝජනවත් වීමට හේතු
13 ආමොස් ඉශ්රායෙල්ට, යූදාට සහ ඔවුන් අවට සිටි අසල්වැසියන්ට කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගැනීමෙන් අදදින සිටින බයිබල් පාඨකයන්ට ප්‍රයෝජන ගත හැක. යෙහෝවාගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නාවූ, දිළිඳුන්ට පීඩා හා වංචා කරන්නාවූ, ගිජු හා දුරාචාර වූ, පිළිම නමස්කාරයේ හවුල් වන්නාවූ පුද්ගලයන්ට යෙහෝවාගේ අනුමැතිය ලැබිය නොහැක. එහෙත් එබඳු දේවලින් හැරී පසුතැවිලිවන්නන්ට යෙහෝවා සමාව දෙන අතර ඔවුන්ට දයාව දක්වයි. මෙම නරක ලෝකයේ දූෂිත ආශ්‍රයන්ගෙන් වෙන් වී, “මා සොයන්න, එවිට නුඹලා ජීවත් වන්නහුය” යන යෙහෝවාගේ අවවාදයට අවනත වන්නෙමු නම්, අපි ඥානවන්තයන් වන්නෙමු.—5:4, 6, 14.
14 සිය ප්‍රාණ පරිත්‍යාගී මරණය සිදු වූ අවස්ථාවේදී, ස්තේපන් ආමොස්ගේ පොතෙන් උපුටා දැක්වූයේය. ඉශ්රායෙල්වරුන් වහල්භාවයට පත් වූයේ ඔවුන් විදේශීය දෙවිවරුන් වන මොලොක් සහ රෙපාන්ට නමස්කාර කළ නිසා බව ස්තේපන් යුදෙව්වන්ට මතක් කර දුන්නේය. ආමොස්ගේ වදන් පිළිබඳව ලැබූ සිහිගැන්වීම්වලින් එම යුදෙව්වන් ප්‍රයෝජන ලැබුවාද? නැත! මහත් සේ කෝපයට පත්ව ස්තේපන්ව ගල් ගසා මරා දැමූ ඔවුහු, පො.යු. 70 යෙරුසලම විනාශ වූ අවස්ථාවේදී සිදු වූ දරුණු විපත්තියට හසුවීමට සුදුස්සෝ වූහ.—ආමො. 5:25-27; ක්‍රියා 7:42, 43.
15 ඉශ්රායෙල්, යූදා සහ වෙනත් ජාතීන්ට කළ දඬුවම් හා සම්බන්ධ ආමොස්ගේ බොහෝ අනාවැකිවල ඉටුවීම පමණක් නොව, යළි පිහිටුවීම හා සම්බන්ධ අනාවැකිවල ඉටුවීමද සලකා බැලීම ප්රයෝජනවත්ය. වහල් ඉශ්‍රායෙලිතයන් තමන්ගේ විනාශ වූ නුවරවල් ගොඩනඟන්ටත්, මිදිවතු හා වතු වගා කරන්ටත් පො.යු.පෙ. 537දී ආපසු පැමිණීමෙන්, ආමොස් මාර්ගයෙන් යෙහෝවා පැවසූ වදන් සැබෑ විය.—ආමො. 9:14; එස්රා 3:1.
16 කෙසේවෙතත්, ප්‍රේරිතයන්ගේ කාලවලදී ආමොස්ගේ අනාවැකියට තේජාන්විත මෙන්ම දිරිගන්වනසුලු ඉටුවීමක් තිබිණ. ක්‍රිස්තියානි සභාවට අන්‍යජාතිකයන්ව ඒකරාශි කිරීම ගැන කතා කළ අවස්ථාවේදී, මේ ගැන ආමොස් 9:11, 12හි පුරෝකථනය කර තිබූ බව යාකොබ් දේවානුභාවයෙන් පැහැදිලි කළේය. ‘ඉතිරි වූ මනුෂ්‍යයන්ද යෙහෝවාගේ නාමය දරන සියලු අන්‍යජාතීන්ද විසින් ඔහුව සොයන පිණිස’ ‘දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනැඟීම’ ගැන සඳහන් අනාවැකියට ක්‍රිස්තියානි සභාව හා සම්බන්ධ ඉටුවීමක් තිබෙන බව ඔහු ඇඟෙව්වේය. ඇත්තෙන්ම මෙම ශුද්ධ ලියවිලි පාඨය නව වර්ධනයට අනුබලයක් විය. “දෙවි තමන්ගේ නාමයට” අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගැනීම ගැන සීමොන් පේතෘස් විසින් සඳහන් කළ දෙයින් ඒ බව පැහැදිලි වේ.—ක්‍රියා 15:13-19.
17 ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ව, “පිය වූ දාවිත්ගේ සිංහාසනය” උරුම කරගෙන සදාකාලයටම පාලනය කරන්නාවූ “දාවිත්ගේ පුත්‍රයා” යනුවෙන් තවත් තැනක හඳුන්වා ඇත. (ලූක් 1:32, 33; 3:31) එබැවින් ආමොස්ගේ අනාවැකිය රාජ්‍යයක් සඳහා දාවිත් සමඟ කළ ගිවිසුම ඉටුවීම කෙරෙහි අවධානය යොමු කරවයි. ආමොස්ගේ අවසාන වදන්, “දාවිත්ගේ මණ්ඩපය” නැවත ගොඩනැඟීම සිදු වන කාලයේදී අද්දකින සමෘද්ධිමත්භාවයේ බහුලත්වය පිළිබඳ මවිතකර දසුනක් ඉදිරිපත් කරයි. එපමණක්ද නොව, “මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි. මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවි වූ යෙහෝවා කියන්නේය” යනුවෙන් පැවසීමේදී දෙවිගේ රාජ්‍යයේ නිත්‍යභාවය පිළිබඳවද එමගින් අවධාරණය කරයි. යෙහෝවා “දාවිත්ගේ මණ්ඩපය” සම්පූර්ණයෙන් යළි පිහිටෙවූ විට පොළොව සදාකාලික ආශීර්වාදවලින් පිරි යනු ඇත!—ආමො. 9:13-15.
[පාදසටහන]
a වර්ෂ 1978, යෙරුසලම්, 1046 පිටුව.