‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
මාර්තු 6-12
දේවවචනය නිධානයක් | 1 ලේකම් 23-26
“දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!”
it-2-E 241
ලෙවීවරු
දාවිත් ලෙවීවරුන්ගේ වැඩකටයුතු හොඳින් සංවිධානය කළා. එයාලා වැඩ අධීක්ෂණය කරන අය, නිලධාරීන්, විනිශ්චයකරුවන්, දොරටු පාලකයන් සහ භාණ්ඩාගාරිකයන් විදිහට වැඩ කෙරුවා. ඒ වගේම දේවමාලිගාවේ, ගෘහයේ මළුවල, භෝජන ශාලාවල පූජා ඔප්පු කරන්න, පවිත්‍ර කරන්න, බර කිරන්න, මනින්න සහ මුර කරන්න වගේ වැඩවලට හුඟදෙනෙක් පූජකයන්ට උදව් වුණා.—1ලේක 23, 25, 26; 2ලේක 35:3-5, 10.
it-2-E 686
පූජකයා
දේවමාලිගාවේ වැඩකටයුතු බලා කියා ගත්ත පූජකයෝ සේවය කළේ විවිධ නිලධාරීන් යටතේ. දාදු දාලා එයාලාගේ සේවාවන් තීරණය කෙරුණා. පූජකයන් අයිති වෙලා හිටපු කණ්ඩායම් 24ක් තිබුණා. ඒ එක කණ්ඩායමක් සතිය ගාණේ අවුරුද්දට දෙපාරක් සේවය කෙරුවා. පේන විදිහට දේවමාලිගාවේ උත්සව තියෙන කාලවලදී පූජකයෝ හැමෝම වගේ ඇවිල්ලා සේවය කරලා තියෙනවා. ඒ වගේ කාලවලදී දේවමාලිගාව කැප කරපු කාලේ කෙරුවා වගේ පූජාවන් දහස් ගාණක් ඔප්පු කරන්න එයාලා උදව් කෙරුවා. (1ලේක 24:1-18, 31; 2ලේක 5:11; 29:31-35; 30:23-25; 35:10-19) අනිත් පූජකයන්ගේ වැඩවලට බාධාවක් වුණේ නැති තාක් කල් සමහර පූජකයන් අමතර වෙලාවලදිත් සේවය කරලා තියෙනවා.
it-2-E 451-452
සංගීතය
දේවමාලිගාවේ වැඩකටයුතු සංවිධානය කරද්දී දාවිත් ලෙවීවරු 4,000දෙනෙක්ව සංගීත වැඩ බලාගන්න පත් කෙරුවා. (1ලේක 23:4, 5) එයාලාගෙන් 288දෙනෙක්ම “යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා හොඳින් පුහුණුව ලබලා” තිබුණ අය. (1ලේක 25:7) සංගීත වැඩකටයුතු හැම එකක්ම අධීක්ෂණය කෙරුවේ ආසාෆ්, හේමාන් හා යෙදූතුන් කියන සංගීතඥයන් තුන්දෙනායි. මේ තුන්දෙනා පැවතගෙන ආවේ පිළිවෙලින් ගේර්ෂොම්, කෝහාත් සහ මෙරාරී කියන ලෙවීගේ පුතාලා තුන්දෙනෙක්ගෙන්. (1ලේක 6:16, 31-33, 39-44; 25:1-6) ආසාෆ්, හේමාන් හා යෙදූතුන්ට පුතාලා 24දෙනෙක් හිටියා. එයාලත් කලින් කියපු හොඳින් පුහුණු වුණ “දක්ෂ” සංගීතඥයන් 288දෙනාට අයිතියි. දාදු දාලා ඒ එක් එක් පුතාව සංගීත කණ්ඩායමක ප්‍රධානියා විදිහට සේවය කරන්න පත් කෙරුණා. ඒ එක පුතෙක් යටතේ තව දක්ෂ ගායකයෝ 11දෙනෙක් හිටියා. ඒ 11දෙනාව තෝරගත්තේ එයාගෙම පුතාලගෙන් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් අනිත් ලෙවීවරුන්ගෙන් වෙන්නත් පුළුවන්. මේ විදිහට සංගීතයට දක්ෂ ලෙවීවරු 288දෙනාවම ([1 + 11] × 24 = 288) කණ්ඩායම් 24කට වෙන් කෙරුණා. ඉතුරු ‘ආධුනිකයන්’ 3,712දෙනාවම සාමාන්‍යයක් විදිහට එක කණ්ඩායමකට 155දෙනා ගාණේ වෙන් කෙරුණා. හොරණෑ පිම්ඹේ පූජකයෝ නිසා එයාලා මේ සංගීත කණ්ඩායමට අමතරව එකතු වුණා.—2ලේක 5:12; ගණන් 10:8.
it-1-E 898
දොරටු පාලකයා
දේවමාලිගාවේදී. දාවිත් දොරටු පාලකයෝ 4,000දෙනෙක්ව පත් කෙරුවා. එයාලව කණ්ඩායම්වලට වෙන් කෙරුවා. ඒ එක කණ්ඩායමක් සේවය කෙරුවේ සතියයි. එයාලට පැවරුණ වගකීම තමයි දේවමාලිගාව ආරක්ෂා කරන එක සහ නියමිත වෙලාවට දේවමාලිගාවේ දොරවල් ඇරලා වහන එක. (1ලේක 9:23-27; 23:1-6) මුර කරන වැඩවලට අමතරව මිනිස්සු දේවමාලිගාවට ගෙනාපු සම්මාදම් බලා කියා ගත්තෙත් එයාලමයි. (2රාජා 12:9; 22:4) පස්සේ කාලෙක උත්තම පූජක යෙහෝයාදා යෙහෝයාෂ්ව රජ විදිහට අභිෂේක කළාම එයාව මරන්න බලාගෙන හිටපු දුෂ්ට අතලියා රැජිනගෙන් යෙහෝයාෂ්ව බේරගන්න දේවමාලිගාවේ දොරටු මුර කරන්න විශේෂ කණ්ඩායමක්ව පත් කෙරුවා. (2රාජා 11:4-8) යොෂියා රජ බාල් නමස්කාරයට අයිති පිළිම විනාශ කරද්දී බාල් නමස්කාරයට පාවිච්චි කරපු බඩු භාණ්ඩ දේවමාලිගාවෙන් අයින් කරන්න උදව් කෙරුවෙත් දොරටු පාලකයන්මයි. එයාලා ඒවා නගරයෙන් පිටතට ගෙනියලා පුච්චලා දැම්මා.—2රාජා 23:4.
මාර්තු 20-26
දේවවචනය නිධානයක් | 2 ලේකම් 1-4
“සලමොන් මෝඩ තීරණයක් ගත්තා”
it-1-E 174 5¶
හමුදාව
සලමොන් රජ වුණාම ඊශ්‍රායෙල් හමුදාවේ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළුණා. එයාගේ පාලන කාලය සාමකාමී එකක් වුණත් සලමොන් අශ්වයන්ව සහ අශ්ව රථ ගොඩක් එකතු කරගත්තා. අශ්වයන්ගෙන් වැඩිදෙනෙක්ව මිලදී ගත්තේ ඊජිප්තුවෙන්. හමුදාවට අලුතෙන් එකතු කරගත්ත අශ්වයන්ව සහ අශ්ව රථ, ගාල් කරන්න අලුතෙන්ම නගර හදන්නත් සිද්ධ වුණා. (1රාජා 4:26; 9:19; 10:26, 29; 2ලේක 1:14-17) ඒත් සලමොන්ගේ මේ තීරණයට යෙහෝවා දෙවියන් නම් පොඩ්ඩක්වත් ආශීර්වාද කෙරුවේ නැහැ. සලමොන් මැරුණාට පස්සේ රාජ්යයදෙකට බෙදුණ නිසා මේ හමුදාවේ ශක්තියත් දුර්වල වෙලා ගියා. පස්සේ කාලෙක යෙසායා මෙහෙම ලිව්වා. “ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි! ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ හා බලවත් අශ්වයන් කෙරෙහිය. ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.”—යෙසා 31:1.
it-1-E 427
අශ්ව රථ
සලමොන්ගේ කාලේ වෙන කල් එහෙමයි කියලා ලොකු හමුදාවක් ඊශ්‍රායෙල් දේශයට තිබ්බේ නැහැ. ඒකට හේතුව වුණේ රජගේ හමුදාවට අශ්වයන්ගේ ගාණ වැඩි කරගන්න එපා කියලත් එහෙම වුණොත් සෙනඟ විශ්වාසය තියන්නේ ඒවා මත කියලත් යෙහෝවා දෙවියන් අනතුරු අඟවලා තිබුණා. අශ්ව රථවලට අශ්වයන්ව ඕනේ. ඉතින් අශ්වයන්ව වැඩි කරගන්නේ නැත්නම් හමුදාවට අශ්ව රථ එකතු වෙන්නෙත් නැහැ. (ද්වි 17:16) රජ කෙනෙක් මිනිසුන් පිට කොයිතරම් බරක්, පීඩනයක් පටවයිද කියලා සාමුවෙල් අනතුරු අඟවද්දී එයා මෙහෙම කිව්වා. “රජුට දාසකම් කරන්න ඔබේ පුත්‍රයන්ට සිදු වෙයි. ඔවුන්ගෙන් සමහරෙකුට රජුගේ අශ්ව රථ පදවන්නන් ලෙස සේවය කරන්න සිදු වෙයි.” (1සාමු 8:11) රජ වෙන්න උත්සාහ කරපු අබ්සලොම්ටයි අදොනියාටයි එයාලටම කියලා අශ්ව රථ තිබ්බා. ඒ අශ්ව රථ ඉස්සරහින් මිනිස්සු 50දෙනෙක් දිව්වා. (2සාමු 15:1; 1රාජා 1:5) ෂොබා රජව දාවිත් පරද්දපු වෙලාවේ එයා අශ්ව රථවලට පාවිච්චි කරන්න පුළුවන් අශ්වයෝ 100දෙනෙක්ව විතරයි ඉතුරු කරගත්තේ.—2සාමු 8:3, 4; 10:18.
සලමොන් රජ ඊශ්‍රායෙල් දේශයේ හමුදාව හදද්දී අශ්ව රථ ගාණ 1,400 වෙන කල් වැඩි කෙරුවා. (1රාජා 10:26, 29; 2ලේක 1:14, 17) යෙරුසලමට අමතරව අශ්වයන්ව සහ අශ්ව රථ, ගාල් කරලා තියන්නත් ඒවාට ඕනෙ කරන පහසුකම් සපයන්නත් වෙනමම නගර තිබුණා.—1රාජා 9:19, 22; 2ලේක 8:6, 9; 9:25.
මාර්තු 27–අප්‍රියෙල් 2
දේවවචනය නිධානයක් | 2 ලේකම් 5-7
“මම එය කිසිදා අමතක නොකරන්නෙමි”
it-2-E 1077-1078
දේවමාලිගාව
ඉතිහාසය. ක්‍රි.පූ. 607දී බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ සහ එයාගේ හමුදාව ඇවිත් විනාශ කරලා දාන කල් දේවමාලිගාව පැවතුණා. (2රාජා 25:9; 2ලේක 36:19; යෙරෙ 52:13) ඊශ්‍රායෙල්වරු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්ත නිසා දෙවියන් යූදා සහ යෙරුසලමට පීඩා කරන්න අනිත් ජාතීන්ට ඉඩ දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දේවමාලිගාවේ තිබ්බ වස්තුත් කොල්ල කෑවා. ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව නොසලකාහැරපු සමහර කාලවලුත් තිබ්බා. දේවමාලිගාව කැප කරලා අවුරුදු 33ක් වගේ පොඩි කාලෙකින් සලමොන්ගේ පුතා රෙහබෝවම් පාලනය කරපු කාලෙදී ඊජිප්තුවේ ෂීෂක් රජ දේවමාලිගාවේ තිබුණ වස්තු කොල්ල කෑවා. ඒ ක්‍රි.පූ. 993දීයි. (1රාජා 14:25, 26; 2ලේක 12:9) ආසා රජට (ක්‍රි.පූ. 977-937) යෙහෝවා දෙවියන්ගේ ගෘහය ගැන ලොකු ගෞරවයක් තිබුණා. හැබැයි යෙරුසලම ආරක්ෂා කරනවා කියලා හිතාගෙන එයා මෝඩ වෙලා සිරියාවේ පළවෙනි බෙන්-හාදද් රජට දේවමාලිගාවේ තිබ්බ වස්තුවලින් රිදී සහ රත්තරන් පගාවක් විදිහට දුන්නා. ආසා රජට ඕනෙ වුණේ බෙන්-හාදද් රජ බාෂා රජ එක්ක ඇති කරගෙන තිබුණ ගිවිසුම අවලංගු කරගන්නවා දකින්න.—1රාජා 15:18, 19; 2ලේක 15:17, 18; 16:2, 3.
අප්‍රියෙල් 10-16
දේවවචනය නිධානයක් | 2 ලේකම් 8-9
“ප්‍රඥාව අගය කළ රැජිනක්”
it-2-E 990-991
සලමොන්
දේවමාලිගාවේ සහ සලමොන්ගේ මාලිගාවේ ශ්‍රේෂ්ඨත්වය දැක්කාම, රජගේ කෑම බීම දැක්කාම, මාලිගාවේ සේවය කරපු වේටර්වරුන් ඇඳන් හිටපු ඇඳුම් දැක්කාම, දවන පූජා දැක්කාම රැජිනට ‘අදහාගන්න’ බැරුව ගියා. එයා මෙහෙම කිව්වා. “ඔබේ ප්‍රඥාවත් ඔබේ වස්තු සම්භාරයත් මොන තරම්ද! ඇත්තටම ඒවා ගැන මට දැනගන්න ලැබුණේ අල්පයක් විතරයි!” ඊළඟට රැජින කිව්වා, ඒ වගේ රජ කෙනෙක් යටතේ සේවය කරන අය ඉන්නෙත් සතුටින් වෙන්න ඇති කියලා. මේ හැම දේකින්ම රැජින ප්‍රශංසාව දුන්නේ යෙහෝවා දෙවියන්ට. සෙනඟ වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ධර්මිෂ්ඨකමින් පාලනය කරන්න සලමොන්ව රජ විදිහට පත් කරපු එකෙන් යෙහෝවාට සෙනඟ ගැන තියෙන ආදරය පේනවා කියලා එයා කිව්වා.—1රාජා 10:4-9; 2ලේක 9:3-8.
දේවවචනයෙන් මැණික්
it-2-E 1097
සිංහාසනය
සලමොන්ගේ සිංහාසනය තමයි ඊශ්‍රායෙල් රජ කෙනෙක්ගේ සිංහාසනයක් ගැන විස්තර කරලා තියෙන එකම අවස්ථාව. (1රාජා 10:18-20; 2ලේක 9:17-19) ඒ සිංහාසනය තිබුණේ යෙරුසලමේ මොරියා කන්දේ තිබුණ ගොඩනැඟිලිවලින් “සිංහාසන ශාලාව” කියලා හඳුන්වපු ගොඩනැඟිල්ලෙයි. (1රාජා 7:7) ඒක ‘ඇත්දළවලින් හදලා, පිරිසිදු රනින් ආවරණය කරපු, පිටුපසින් වක්රාකාර උඩු වියනක් තිබුණ, දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබුණ’ සිංහාසනයක්. සාමාන්‍යයෙන් රාජකීය පුටුවක ප්‍රධාන අමුද්‍රව්‍යය විදිහට ඇත්දළ පාවිච්චි කරන්න ඉඩ තිබුණත් දේවමාලිගාවේ අනිත් දේවල් හදලා තිබුණ විදිහ දිහා බලද්දී සිංහාසනය හදලා තිබුණේ ලීවලින් කියලා හිතන්න පුළුවන්. ඊටපස්සේ ඒක රත්තරන්වලින් ආලේප කරලා ඇත්දළ පටිවලින් ඒක ලස්සන කරලා තියෙන්න ඇති. ඒකෙන් තේජවත් පෙනුමක් එන්න ඇති. බලපු කෙනෙක්ට ඒක පෙනුණේ හරියට සිංහාසනය සම්පූර්ණයෙන් හදලා තිබුණේ ඇත්දළවලින් සහ රත්තරන්වලින් කියලා. ඒ වගේම සිංහාසනයට නඟින්න පඩි 6ක් තිබුණා. ඊටපස්සේ බයිබලයේ මෙහෙම කියනවා. “ඒ අත්ඇඳි අසලම සිංහ රූප දෙකක් තිබිණ. පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් සිංහ රූප දොළොසක් තිබිණ.” (2ලේක 9:17-19) සිංහයාගෙන් නියෝජනය වුණේ ඒ රජ පාලනය කරන්න සුදුසුයි කියලා. (උත් 49:9, 10; එළි 5:5) සිංහයන් 12දෙනාගෙන් පේන විදිහට යොමු දැක්වුණේ ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 12. සමහරවිට ඒ ගෝත්‍ර 12 රජට යටත් කියලත් සහය වෙනවා කියලත් ඒකෙන් නියෝජනය වෙන්න ඇති. රත්තරන්වලින් හදපු පා පුටුවකුත් ඒ සිංහාසනයට එකතු කරලා තිබුණා. මේ සිංහාසනය පුරාවිද්‍යාඥයන් හොයාගත්ත, ස්මාරකවල පෙන්නලා තිබුණ, සෙල්ලිපිවල විස්තර කරලා තිබුණ ඕනම සිංහාසනයකට වඩා හරිම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම “වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට නොලැබුණේය” කියලා කියපු එක කොච්චර ඇත්තද!—2ලේක 9:19.
අප්‍රියෙල් 17-23
දේවවචනය නිධානයක් | 2 ලේකම් 10-12
“නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න”
it-2-E 768 1¶
රෙහබෝවම්
රෙහබෝවම් හරිම උඩඟු අහංකාර කෙනෙක් වුණ නිසා මිනිස්සු වැඩිදෙනෙක් එයාට කැමති වුණේ නැහැ. දාවිත්ගේ පෙළපතට සහය දුන්න යූදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙකයි, රාජ්‍යයන් දෙකේම හිටපු පූජකයනුයි ලෙවීවරුනුයි, ගෝත්‍ර 10 පුරාම විසිරිලා හිටපු ඊශ්‍රායෙල්වරුන් ටිකදෙනෙකුයි ඇරෙන්න වෙන කවුරුත් රෙහබෝවම්ට උදව් කෙරුවේ නැහැ.—1රාජා 12:16, 17; 2ලේක 10:16, 17; 11:13, 14, 16.
දේවවචනයෙන් මැණික්
it-1-E 966-967
එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්
යොෂුවා 24:14 යොෂුවා කියපු දෙයින් තේරෙනවා ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ පදිංචි වෙලා හිටපු කාලේදී ඊජිප්තුවේ තිබුණ බොරු නමස්කාරය ඊශ්‍රායෙල්වරුන්ට යම් දුරකට බලපාලා තියෙනවා කියලා. ඒ වගේම එසකියෙලුත් කිව්වා සෑහෙන කාලයක් ගත වෙලා තිබුණත් ඊශ්‍රායෙල්වරු අතරේ බොරු නමස්කාරයට සම්බන්ධ දේවල් තවමත් තියෙනවා කියලා. (එස 23:8, 21) මේ හේතුව නිසා සමහර විශාරදයන් හිතනවා ඊශ්‍රායෙල්වරු “භූතයන්ට පුදපූජා” පවත්වන එක වළක්වන්න පාළුකරයේදී යෙහෝවා දෙවියන් ආඥාවක් නිකුත් කරා කියලා. (ලෙවී 17:1-7, පාදසටහන) යෙරොබොවම් රජ “එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ සහ වසු පැටවුන්ගේ රූප සාදා ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා” පූජකයන්ව පත් කරපු එකෙන් ඇඟවෙන්නේ ඊජිප්තුවේ ජනප්‍රිය වෙලා තිබුණා වගේ ඊශ්‍රායෙල්වරු අතරෙත් යම් විදිහකට එළුවන්ට නමස්කාර කරලා තියෙනවා කියලයි. (2ලේක 11:15) එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ට නමස්කාර කරපු අය හිතුවේ ඒ දෙවිවරුන්ගේ පෙනුම එළුවෙක්ගේ වගේ නැත්නම් හිසකෙස්, රෝම තියෙන කෙනෙක් වගේ කියලා වෙන්න ඇති.