‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
මැයි 8-14
දේවවචනය නිධානයක් | 2 ලේකම් 20-21
“ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”
දේවවචනයෙන් මැණික්
it-1-E 1271 1-2¶
යෙහෝරම්
යෙහෝවා එලියා මාර්ගයෙන් යෙහෝරම්ට කියපු දේ ඒ විදිහටම සිද්ධ වුණා. (2ලේක 21:12-15) යෙහෝරම්ට විරුද්ධව යුද්ධ කරන්න යෙහෝවා අරාබි ජාතිකයන්ව සහ පිලිස්තිවරුන්ව පෙලඹෙව්වා. එයාලා යූදා දේශය ආක්‍රමණය කරලා රජමාලිගාවේ තිබුණ වස්තුවයි, යෙහෝරම්ගේ භාර්යාවන්වයි, පුතාලාවයි අරන් ගියා. එයාගේ බාලම පුතා වුණු යෙහෝයහාෂ්ව (අහසියා කියලත් හඳුන්වනවා) විතරක් ඉතුරු කරලා යන්න යෙහෝවා ඉඩහැරියා. එහෙම කළේ ඔහු දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසායි. ‘මේ සියල්ල සිදු වූ පසු ඔහුගේ බඩවැලේ රෝගයක් හටගැනීමට යෙහෝවා දෙවි සැලැස්සුවා.’ අවුරුදු දෙකක් ගියාට පස්සේ රෝගය තව තවත් දරුණු අතට හැරිලා “ඔහුගේ බඩවැල් පිටතට ආවා.” අන්තිමේදී ගොඩක් දුක් විඳලා එයා මැරුණා. ‘ඔහුගේ මරණය ගැන කිසිවෙකුට දුකක් ඇති නොවීය. ඔහුව රජවරුන් තැන්පත් කරන ස්ථානයේ තැන්පත් කළේ නැත’ කියලයි වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒ විදිහට මේ දුෂ්ට රජගේ ජීවිතය කෙළවර වුණා. යෙහෝරම්ට පස්සේ රජ වුණේ එයාගේ පුතා වුණු අහසියා.—2ලේක 21:7, 16-20; 22:1; 1ලේක 3:10, 11.
මැයි 15-21
දේවවචනය නිධානයක් | 2 ලේකම් 22-24
“ධෛර්යවන්තව වැඩ කරද්දී යෙහෝවා ආශීර්වාද කරනවා”
it-1-E 379 5¶
තැන්පත් කිරීම, තැන්පත් කරන තැන්
උත්තම පූජකයා වුණු යෙහෝයාදා මැරුණාම එයාට දුන්නේ අතිවිශේෂ ගෞරවයක්. එයාව තැන්පත් කළේ “දාවිත්ගේ නුවරෙහි රජවරුන්ව තැන්පත් කළ ස්ථානයේ.” (2ලේක 24:15, 16) ඒ වගේ ගෞරවයක් ලබා දුන්න රජ පෙළපතට අයිති නැති එකම කෙනා විදිහට සඳහන් වෙලා තියෙන්නේ යෙහෝයාදා ගැන විතරයි.
දේවවචනයෙන් මැණික්
it-2-E 1223 13¶
සෙකරියා
සෙකරියා කියන්නේ උත්තම පූජක යෙහෝයාදාගේ පුතා. යෙහෝයාදා මැරුණාට පස්සේ යෙහෝයාෂ් රජ යෙහෝවා දෙවියන්ව අත්හැරලා බොරු දෙවිවරු පස්සේ ගියා. යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ගේ උපදෙස්වලට කන් දෙනවා වෙනුවට වැරදි මඟ පෙන්වීම් පැතුවා. යෙහෝයාෂ්ගේ ඥාති සහෝදරයා වුණ සෙකරියා (2ලේක 22:11) සෙනඟට කෙළින්ම අනතුරු ඇඟෙව්වා. පසුතැවිලි වෙනවා වෙනුවට දෙවියන්ගේ ගෘහයේ මළුවේදී සෙකරියාව ගල් ගහලා එයාව මැරුවා. එහෙම කරන්න අණ කෙරුවේ යෙහෝයාෂ් රජ. අන්තිම හුස්ම ටික යද්දී සෙකරියා කියපු වචන ටිකයි මේ. “ඔබ කළ දේට යෙහෝවා දෙවි ඉදිරියේ ඔබට ගණන් දීමට සිදු වෙයි.” සෙකරියා කියපු විදිහට යෙහෝයාෂ්ට එයා කරපු බරපතළ වරදට වන්දි ගෙවන්න සිද්ධ වුණාද? ඔව්. සිරියානුවන් යූදා දේශයටත්, සෙනඟටත්, වස්තුව සහ දේපළටත් මහ විසාල හානියක් කෙරුවා. අන්තිමේදී යෙහෝයාෂ්ව එයාගේම සේවකයන් දෙන්නෙක් එයාගේ ඇඳේදීම මරලා දැම්මා.—2ලේක 24:17-22, 25.
මැයි 22-28
දේවවචනය නිධානයක් | 2 ලේකම් 25-27
“ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්”
it-1-E 1266 6¶
යෙහෝයාෂ්
යූදා දේශයේ රජ වුණු අමෂියා යුද්දෙට දක්ෂ සෙබළු ලක්ෂයක් ඊශ්‍රායෙල් දේශයේ යෙහෝයාෂ් රජුගෙන් කුලියට ගත්තා. එහෙම කළේ ඒදොම්වරුන්ට විරුද්ධව සටනට යන්න. ඒත් “සැබෑ දෙවිගේ සේවකයෙක්” ලබා දුන්න මඟ පෙන්වීමට යටත් වෙලා අමෂියා රජ ඒ සෙබළුන්ව එයාගේ හමුදාවෙන් අයින් කෙරුවා. ඒ වෙද්දිත් ඒ හමුදාවට රිදී තලෙන්ත 100ක් ($660,600) ගෙවලයි තිබුණේ. ආපහු ගෙවල්වලට යවපු එක ගැන ඒ සෙබළු හිටියේ ගොඩක් කේන්තියෙන්. සමහරවිට ඒකට හේතුව වුණේ යුද්දේ දින්නාම ලැබෙන කොල්ලය එයාලට නැති වෙන හින්දා වෙන්න පුළුවන්. එයාලා ආයේ ගෙවල්වලට යන කල් යූදාවලට අයිති නගරවලට පහර දුන්නා. හුඟදෙනෙක්ව මරලා ඒ නගරවල තිබුණ ගොඩක් දේවල් කොල්ල කෑවා.—2ලේක 25:6-10, 13.
ජූනි 5-11
දේවවචනය නිධානයක් | 2 ලේකම් 30-31
“එකට එක් රැස් වෙලා සතුටු වෙන්න”
it-1-E 1103 2¶
හෙසකියා
සැබෑ නමස්කාරය වෙනුවෙන් තිබුණු උද්යෝගය. හෙසකියා රජකම් කරන්න පටන්ගද්දී එයාට වයස අවුරුදු 25යි. රජ වුණු ගමන්ම එයා යෙහෝවාට කරන නමස්කාරය ගැන එයාට තිබුණු දැවෙන උද්යෝගය ක්‍රියාවෙන් පෙන්නුවා. එයාගේ මුල්ම රාජකාරිය කරගත්තේ දේවමාලිගාව ආයෙත් විවෘත කරලා ඒක අලුත්වැඩියා කරන එකයි. හෙසකියා ලෙවීවරුන්ටයි පූජකයන්ටයි කතා කරලා මෙහෙම කිව්වා. “මගේ එකම ආශාව ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක් ඇති කරගැනීමයි.” මෝසෙස් මාර්ගෙන් දුන්න නීතිය ඒ වෙද්දි ක්‍රියාත්මක වුණත් ඒක නොසලකාහැරලයි තිබුණේ. ඒ නිසා හෙසකියාට ඕනෙ වුණා යූදා සෙනඟ යෙහෝවා දෙවියන්ට දක්වන පක්ෂපාතකම අලුත් කරවන්න. ලෙවීවරුන්ගේ වැඩකටයුතු ආයෙත් සංවිධානය කරන්න එයා මැරීගෙන වැඩ කෙරුවා. ප්‍රශංසා ගී ගායනා කරන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න අවශ්‍ය හැම දේම එයා ආයෙත් ලෑස්ති කෙරුවා. මේ දේවල් වෙන්නේ පාස්කු උත්සවය පවත්වන නීසාන් මාසේ. ඒත් දේවමාලිගාව පවිත්‍ර කරලා ඒකේ භාණ්ඩ නියමිත තැන්වල තියන්න පුළුවන් වුණේ නීසාන් 16වෙනිදා වෙද්දියි. දෙවියන්ගෙන් සමාව ලබාගෙන ඔහුට සේවය කරන්න සුදුසු තත්වයකට එන්න පුළුවන් වෙන විදිහට පූජා ඔප්පු කරන්නත් තිබුණා. මුලින්ම අධිපතීන් යූදා රාජ්‍යය, ශුද්ධස්ථානය හා දේශය වෙනුවෙන් පාප පූජා ඔප්පු කළා. ඊටපස්සේ රැස් වෙලා හිටපු දහස්ගාණක් දෙනා ඇවිත් දවන පූජා ඔප්පු කෙරුවා.—2ලේක 29:1-36.
it-1-E 1103 3¶
හෙසකියා
සෙනඟ හිටියේ අපවිත්‍ර තත්වයක නිසා පාස්කු උත්සවය නියමිත කාලයේදී පවත්වන්න බැරි වුණා. ඒත් නීතියේ සඳහන් වෙලා තිබුණු අවසරය පාවිච්චි කරලා එයාලා දෙවෙනි මාසේ 14වෙනිදා ඒක පවත්වන්න සැලසුම් කෙරුවා. උත්සවයට එන්න කියලා යූදාවල හිටපු අයට විතරක් නෙමෙයි, ඊශ්‍රායෙල්වල හිටපු හැමෝටමත් පණිවිඩයක් මාර්ගයෙන් දැන්නුවා. පණිවිඩකරුවන් යවලා බෙයර්ෂෙබා ඉඳන් දාන් වෙන කල්ම මිනිස්සුන්ට ආරාධනා කළා. එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවල අයටත් එයා ලිපි මාර්ගයෙන් ඒකට ආරාධනා කළා. හුඟදෙනෙක් පණිවිඩකරුවන්ව විහිළුවට අරන් එයාලට සමච්චල් කරලා ආරාධනාව ප්‍රතික්ෂේප කෙරුවා. ඒත් ආෂෙර්, මනස්සේ, සෙබ්‍යූලන්, එෆ්‍රායිම් සහ ඉසකාර් කියන ප්‍රදේශවල සමහරු නිහතමානීව ඒ ආරාධනය පිළි අරන් යෙරුසලමට ආවා. එයාලට අමතරව ඊශ්‍රායෙල් නොවන අයත් හුඟදෙනෙක් ඇවිත් හිටියා. උතුරු රාජ්‍යයේ ඉඳලා සැබෑ නමස්කාරය වෙනුවෙන් පියවරක් අරන් පාස්කු උත්සවයට එන්න එහෙ ඉඳන් ආපු අයට ලේසි වෙන්න නැතුව ඇති. පණිවිඩකරුවන් වගේ එයාලත් සමච්චල්වලට, විරුද්ධවාදීකම්වලට මූණ දෙන්න ඇති.—2ලේක 30:1-20; ගණන් 9:10-13.
it-1-E 1103 4-5¶
හෙසකියා
යෙරුසලමට එකතු වුණ ඊශ්‍රායෙල්වරු පාස්කු උත්සවයෙන් පස්සේ දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවය හරිම සතුටින් සැමරුවා. එයාලා කොච්චර සතුටු වුණාද කියනවා නම් ඒ උත්සවය තව දවස් හතක් පවත්වන්න තීරණය කෙරුවා. එච්චර අමාරු කාලෙක වුණත් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය එයාලට ලැබුණා. ඒ ගැන බයිබල් ලේඛකයා වාර්තා කරන්නේ මෙහෙමයි. “දාවිත්ගේ පුත් සලමොන්ගේ කාලයෙන් පසු යෙරුසලමෙහි මෙතරම් උත්කර්ෂවත් අවස්ථාවක් දක්නට ලැබුණු ප්‍රථම වතාව මෙය විය.”—2ලේක 30:21-27.
ඒක ඒ මොහොතේ ඇති වුණ ආවේගය නිසා කරපු දෙයක් නෙමෙයි. ඒක උත්සවෙන් පස්සේ කරපු දෙයින් පැහැදිලි වෙනවා. ඒ සෙනඟ ගෙවල්වලට යන්න කලින් “මුළු යූදා ප්‍රදේශයටද එහි නුවරවලටද බෙන්ජමින්, එෆ්‍රායිම් සහ මනස්සේ යන ප්රදේශවලටද ගොස් බොරු නමස්කාරය සඳහා එහි ඉදි කර තිබූ කණු සහ කුලුනු කඩා දමා, පූජනීය ස්ථානද පූජාසනද මුළුමනින්ම විනාශ කළා.” (2ලේක 31:1) හෙසකියාම පෙරමුණ අරන් මෝසෙස් හදපු තඹ සර්පයාව කුඩු කරලා දැම්මා. මොකද ඊශ්‍රායෙල් සෙනඟ ඒ වෙන කල්ම ඒකට පූජා ඔප්පු කළා. (2රාජා 18:4) ඊටපස්සේ හෙසකියා පූජකයන්වයි, ලෙවීවරුන්වයි එයාලා අයිති කණ්ඩායම්වලට අනුව සංවිධානය කළා. එහෙම කළේ එයාලට භාර දීලා තිබුණ වගකීම් හරියට ඉටු කරන්න පුළුවන් වෙන්න. ධාන්‍ය අස්වැන්නේ මුල්ම පලදාව ලබා දීම සහ හැම දේකින්ම දහයෙන් කොටසක් ලබා දීම වගේ නීතිවලට කීකරු වෙන්න කියලා හෙසකියා සෙනඟට උපදෙස් දුන්නා. සෙනඟත් රජ කියපු දේ මුළු හදවතින්ම පිළිපැද්දා.—2ලේක 31:2-12.
ජූනි 12-18
දේවවචනයෙන් මැණික් | 2 ලේකම් 32-33
“මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!”
it-1-E 204 5¶
ඇසිරියාව
සෙනකෙරිබ්. හෙසකියා රජුගේ පාලනයේ 14වෙනි අවුරුද්දේදී (ක්‍රි.පූ. 732) සෙනකෙරිබ් රජ යූදා දේශයට ප්‍රහාර එල්ල කෙරුවා. (2රාජා 18:13; යෙසා 36:1) හෙසකියා කප්පම් ගෙවන්නේ නැතුව කැරළිගහපු නිසා කේන්තියෙන් පුපුරපු සෙනකෙරිබ් රජ නගර එක පිට එක අල්ලාගෙන ඇවිත් ලාකිෂ්වල කඳවුරු ගහගත්තා. ඔහු ඒ වෙද්දී නගර 46ක් අල්ලාගෙන තිබුණා කියලා වාර්තා වෙනවා. (2රාජා 18:7; යෙසා 36:1, 2) සෙනකෙරිබ් රන් තලෙන්ත 30කුත් ($1,15,60,000 විතර) රිදී තලෙන්ත 300කුත් ($19,82,000 විතර) දෙන්න හෙසකියාට නියම කෙරුවා. (2රාජා 18:14-16; 2ලේක 32:1; යෙසා 8:5-8) ඉල්ලපු විදිහට හෙසකියා රන්, රිදී දුන්නත් කොන්දේසි දාන්නේ නැතුව යටත් වෙන්න කියලා සෙනකෙරිබ් එයාගේ නිලධාරීන් මාර්ගෙන් දැනුම් දුන්නා. (2රාජා 18:17–19:34; 2ලේක 32:2-20) යෙහෝවා ඇසිරියානු හමුදාවේ සෙබළුන් 1,85,000ක් එක රැයකින් විනාශ කෙරුවාම පම්පෝරි ගහපු සෙනකෙරිබ්ට ආපු දිහාවටම පලා යන්න සිද්ධ වුණා.—2රාජා 19:35, 36.
ජූනි 19-25
දේවවචනය නිධානයක් | 2 ලේකම් 34-36
“ඔයා දේවවචනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද?”
it-1-E 1157 4¶
හුල්දා
දේවමාලිගාව අලුත්වැඩියා කරද්දී උත්තම පූජක හිල්කියාට “නීතිය සඳහන් ලියවිල්ල” හම්බ වුණා. ඒක කියවද්දී හොඳටම දුක් වුණු යොෂියා රජ ඒ ගැන යෙහෝවාගෙන් විමසන්න අනාගතවක්තෘවරියක් වුණු හුල්දා ළඟට කණ්ඩායමක් යැව්වා. සෙනඟ අකීකරු වුණු නිසා “ලියවිල්ලෙහි” සඳහන් විදිහටම යෙහෝවා දෙවියන් දේශයටත් එහි වැසියන්ටත් විනාශයක් ගේනවා කියලා හුල්දා කිව්වා. යොෂියා ගැනත් හුල්දා සඳහන් කෙරුවා. යොෂියා මුළු හදවතින්ම පසුතැවිලි වුණ නිසා යෙහෝවා දේශයටයි වැසියන්ටයි විරුද්ධව ගේන කිසි විපතක් එයා දකින්නේ නැහැ කියලත් එයාට එයාගේ මුතුන්මිත්තන් වගේ සමාදානයෙන් මිය යන්න ඉඩහරිනවා කියලත් කිව්වා.—2රාජා 22:8-20; 2ලේක 34:14-28.