‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
අගෝස්තු 3-9
දේවවචනය නිධානයක් | නික්මයාම 13-14
ගැඹුරින් හොයමු
it-1-E 1117
ප්‍රධාන මාර්ගය, මාර්ගය
අතීත කාලේදී පලස්තීනය පුරා විහිදී ගිය නගරවලට සහ රාජධානිවලට යන්න විවිධ මාර්ග, ප්‍රධාන මාර්ග සහ වැදගත් වෙළඳ මාර්ග කීපයක්ම තිබුණා. (ගණන් 20:17-19; 21:21, 22; 22:5, 21-23; විනි 21:19; 1සාමු 6:9, 12; 13:17, 18) ප්‍රධානම මාර්ගය විදිහට සැලකුවේ ඊජිප්තුවේ ඉඳන් දමස්කය දක්වා තිබුණු මාර්ගයයි. ඒක ඊජිප්තුවේ ඉඳන් පිලිස්තියාවේ නගර වුණු ගාසා සහ අෂ්කෙලොන් හරහා ගිහින් ඊට ඊසාන දෙසින් පිහිටි මෙගිද්දෝ හරහාත් ගලීල මුහුදේ උතුරු දෙසින් පිහිටි හාෂොර් හරහාත් දමස්කය දක්වා දිව ගියා. පිලිස්තියාව හරහා ගිය ඒ මාර්ගය තමයි ඊජිප්තුවේ ඉඳන් පොරොන්දු දේශයට යන්න තිබුණු කෙටිම මාර්ගය වුණේ. හැබැයි ඒ මාර්ගය හරහා ගිහින් පිලිස්තිවරුන්ගේ ප්‍රහාරයකට ලක් වුණොත් ඊශ්‍රායෙල් සෙනඟ අධෛර්යය වෙයි කියලා යෙහෝවා දෙවියන් දැනගෙන හිටියා. ඒ නිසයි එයාලා ගැන සැලකිලිමත් වෙමින් ඔහු එයාලව වෙනත් මාර්ගයකින් අරන් ගියේ.—නික් 13:17.
it-1-E 782 2-3¶
නික්මයාම
ඊශ්‍රායෙල්වරු රතු මුහුදෙන් එගොඩ වුණේ මොන ස්ථානයෙන්ද?
ඊශ්‍රායෙල්වරු “පාළුකරයේ කෙළවරේ” පිහිටි ඒතාම්වලට ආවාට පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම අණ කළා. “නැවත හැරී ගොස් මුහුද හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න.” යෙහෝවා දෙවියන් එහෙම කිව්වේ “ඊශ්‍රායෙල්වරු අතරමං වෙලා” කියලා පාරාවෝට හිතන්න සලස්වන්නයි. (නික් 13:20; 14:1-3) ඊශ්‍රායෙල්වරු ගමන් කළේ එල් හජ් මාර්ගයෙන් කියලා විශ්වාස කරන විශාරදයන් කියන්නේ “නැවත හැරී” විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් ක්‍රියා පදයෙන් නිකම්ම වෙන මාර්ගයකට හැරිලා ගියා කියන එක අදහස් වෙන්නේ නැහැ කියලයි. ඒ වෙනුවට ඒ ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ ඊශ්‍රායෙල්වරු ආපස්සට හැරිලා වෙන මාර්ගයකින් ගියා කියන එකයි කියලා එයාලා කියනවා. ඒ විශාරදයන් විශ්වාස කරනවා ඊශ්‍රායෙල්වරු සූවස් බොක්කේ උතුරු කෙළවරේ පිහිටි යම් තැනකට ආවාට පස්සේ ආපහු හැරිලා බොක්කේ බටහිර පැත්තෙන් ගමන් කරලා ජෙබෙල් ආටාකහ් කඳුකරයේ නැඟෙනහිර පැත්තේ පිහිටි යම් ස්ථානයකට ආවා කියලා. ඊජිප්තුවරු උතුරු පැත්තේ ඉඳන් ඊශ්‍රායෙල් සෙනඟව ලුහුබැඳගෙන ආවා නම් ඒ තරම් විශාල සෙනඟකට ඒ වගේ ස්ථානයකින් බේරිලා යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණා නම් ඊශ්‍රායෙල් සෙනඟ එක පැත්තකින් රතු මුහුදටත් අනිත් පැත්තෙන් ඊජිප්තු හමුදාවටත් කොටු වෙනවා.
පළවෙනි සියවසේ හිටපු හුඟක් යුදෙව්වනුත් විශ්වාස කළේ ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා කියලයි. හුඟක් විශාරදයන් ඒ දේට එකඟ වුණේ නැති වුණත් බයිබලයේ තියෙන තොරතුරු දිහා බලද්දී පැහැදිලි වෙනවා ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා කියලා. (නික් 14:9-16) පේන විදිහට සූවස් බොක්කේ (ඒ කියන්නේ රතු මුහුදේ වම් බාහුවේ) ඉහළ කෙළවරේ ඉඳන් සෑහෙන දුරක් පහළට ආවාට පස්සේ තමයි ඊශ්‍රායෙල්වරු රතු මුහුදෙන් එගොඩ වෙලා තියෙන්නේ. මොකද එයාලා ඇවිල්ලා තිබුණේ ටික දුරයි නම් පාරාවෝගේ හමුදාවට බොක්කේ අනිත් පැත්තට ගිහින් ඊශ්‍රායෙල්වරුන්ව ලේසියෙන්ම අල්ලගන්න හැකියාව තිබුණා.—නික් 14:22, 23.
අගෝස්තු 10-16
දේවවචනය නිධානයක් | නික්මයාම 15-16
“යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න”
w95 10/15 11 11¶
සැබෑ දෙවියන්ට දැන් ගරුබිය දැක්විය යුත්තේ මන්ද?
යෙහෝවා දෙවියන් ඊජිප්තු හමුදාව විනාශ කළ නිසා ඔහුගේ නමස්කාරකයන්ගේ ඇස් හමුවේ ඔහුව ගෞරවයට පත් වුණා. ඔහුගේ නාමය ගැන හැමෝටම දැනගන්න ලැබුණා. (යෝෂුවා 2:9, 10; 4:23, 24) ඔව්, තම නමස්කාරකයන්ව ගලවගැනීමට නොහැකි වුණු ඊජිප්තුවේ බල රහිත බොරු දෙවිවරුන්ට ඉහළින් යෙහෝවා දෙවියන්ගේ නාමය උසස් වුණා. තම දේවතාවුන්, මැරෙනසුලු මිනිසුන් සහ හමුදා බලය කෙරෙහි විශ්වාසය තැබූ ඊජිප්තුවරුන් දැඩි සේ බලාපොරොත්තු සුන් තත්වයකට පත් වුණා. (ගීතාවලිය 146:3) තම ජනයාව බලවත් අන්දමින් ගලවගන්නා, ජීවමාන දෙවියන් කෙරෙහි ගරුබිය පිළිබිඹු කළ ප්‍රශංසා ගීත ගායනා කිරීමට ඊශ්‍රායෙලිතයන් පෙලඹීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
w95 10/15 11-12 15-16¶
සැබෑ දෙවියන්ට දැන් ගරුබිය දැක්විය යුත්තේ මන්ද?
අප මෝසෙස් සමඟ ආරක්ෂා සහිතව සිටියා නම්, අපත් මෙසේ ගායනා කිරීමට පෙලඹෙනවා නොඅනුමානය. “යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද? ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද? පුදුම දනවන ක්‍රියා කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව හා ගරුබිය ලැබිය යුතු තැනැත්තාද ඔබය.” (නික්මයාම 15:11) එවන් හැඟීම් එදා පටන් ශතවර්ෂ ගණනාවක් පුරා රැව් පිළිරැව් දී තිබේ. බයිබලයේ අවසාන පොතේ, දෙවියන්ගේ විශ්වාසවන්ත අභිෂේක ලත් සේවකයන් කණ්ඩායමක් ගැන නියෝජිත යොහන් විස්තර කරයි: “ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද බැටළු පැටවාගේ ගීතයද ගයමින් [සිටිති].” මෙම මහත් ගීතිකාව කුමක්ද? “සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද! සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය, විශ්වාසවන්තය. යෙහෝවා දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත් ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද? මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.”—එළිදරව් 15:2-4.
එසේම අද දිනත්, දෙවියන්ගේ නිර්මාණ පමණක් නොව, ඔහුගේ ආඥාද අගය කරන නිදහස් වූ නමස්කාරකයෝ සිටිති. සියලු ජාතීන්ගෙන් පැමිණි ජනයා අසත්‍යය උගන්වන ආගම්වලින් නිදහස් කරනු ලැබ තිබේ, මෙම දූෂිත ලෝකයෙන් වෙන් කරනු ලැබ තිබේ. මන්ද ඔවුහු දෙවියන්ගේ ධර්මිෂ්ඨ ආඥා පිළිගෙන ඒවා ක්‍රියාවට නංවති. සෑම වසරකම ලක්ෂ ගණනක් දෙනා මෙම දූෂිත ලෝකයෙන් ගැලවී, යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට වැඩ කරන ඔහුගේ පවිත්‍ර සංවිධානයට පැමිණෙති. ඉතා ඉක්මනින්, අසත්‍යය උගන්වන ආගම්වලට සහ මෙම දුෂ්ට සමාජයේ ඉතිරි කොටසට එරෙහිව දෙවියන්ගේ ගිනිමය විනිශ්චය ඉටු කළායින් පසු, ඔවුන් ධර්මිෂ්ඨ නව ලෝකයක් තුළ සදාකාලයටම ජීවත් වෙනවා ඇත.
it-2-E 454 1¶
සංගීතය
අතීතයේදී ඊශ්‍රායෙලයේ කණ්ඩායම් ගීත ගායනා කරද්දී ගායනා කරන අය බොහෝදුරට දෙකට බෙදිලයි ගායනා කරලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට පදමාලාව ගායනා කරලා තියෙනවා. තවත් අවස්ථාවලදී එක් කෙනෙක් ගීතයෙන් කොටසක් ගායනා කළාට පස්සේ අනිත් පිරිස ඒකට පිළිතුරක් විදිහට ගායනයක් ඉදිරිපත් කරලා තියෙනවා. බයිබලයේ තැන් කීපයකම ඒ වගේ පිළිතුරු ගීත ගැන සඳහන් වෙනවා. (නික් 15:21; 1සාමු 18:6, 7) ගීතාවලිය පොතේ තියෙන 136වෙනි ගීතිකාව වගේ සමහර ගීතිකා රචනා කරලා තියෙන්නේ ඒ විදිහට. නෙහෙමියා පොතේ තොරතුරුවලින් පැහැදිලි වෙනවා යෙරුසලමේ පවුර දෙවියන්ට කැප කරපු වෙලාවේ ප්‍රශංසා ගී ගායනා කරපු කණ්ඩායම් දෙකත් ගායනා කරලා තියෙන්නේ ඒ විදිහටයි කියලා.—නෙහෙ 12:31, 38, 40-42.
it-2-E 698
අනාගතවක්තෘවරිය
බයිබලයේ අනාගතවක්තෘවරියක් හැටියට මුලින්ම හඳුන්වලා තියෙන්නේ මිරියම්වයි. ඒකෙන් තේරෙනවා එක අවස්ථාවකදී හරි අවස්ථා කිහිපයකදී හරි තමන්ගේ පණිවිඩ දැනුම් දෙන්න යෙහෝවා දෙවියන් එයාව යොදාගෙන තියෙනවා කියලා. සමහරවිට එයා ඒ පණිවිඩ දැනුම් දෙන්න ඇත්තේ ගීත මාර්ගයෙන් වෙන්න ඇති. (නික් 15:20, 21) එක අවස්ථාවකදී මිරියම් සහ ආරොන් මෝසෙස්ගෙන් ඇහුවා “අපි මාර්ගයෙනුත් දෙවි කතා කරන්නේ නැද්ද” කියලා. (ගණන් 12:2) තවත් අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් ගලවගන්න “මෝසෙස්, ආරොන් සහ මිරියම්ව” යොදාගත්තා කියලා යෙහෝවා දෙවියන්ම කිව්වා. (මීකා 6:4) ඒ හැම දේකින්ම පැහැදිලි වෙනවා දෙවියන්ගේ පණිවිඩ මිනිසුන්ට දැනුම් දෙන වරප්‍රසාදය මිරියම්ටත් තිබුණා කියලා. ඒ කොහොමවුණත් එයාගේ මල්ලි වන මෝසෙස්ට තරම් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් එයාට තිබුණේ නැහැ. එක අවස්ථාවකදී එයා සීමාව දැනගෙන කටයුතු කළේ නැති නිසා යෙහෝවා දෙවියන් එයාට හික්මවීමකුත් ලබා දුන්නා.—ගණන් 12:1-15.
අගෝස්තු 17-23
දේවවචනය නිධානයක් | නික්මයාම 17-18
ගැඹුරින් හොයමු
it-1-E 406
බයිබලයේ පිළිගත් ග්රන්ථ
මෝසෙස් දේවල් වාර්තා කරලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලත් ඔහුට නමස්කාර කරන්න ඕන විදිහ ගැන ඒවාවල තියෙන මඟ පෙන්වීම් විශ්වාසවන්තයි කියලත් එයා ලියපු පොත්වල සඳහන් තොරතුරුවලින් හොඳින්ම පැහැදිලි වෙනවා. බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහයට ඒවා අයිති වෙනවා කියන එක ගැනත් කිසි සැකයක් නැහැ. ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට කටයුතු කරන්න කියලා යෙහෝවා දෙවියන් මුලින්ම කියද්දී මෝසෙස් ඒක භාරගන්න අදිමදි කළා. ඒ වගේ තනතුරක් ලබාගන්න එයාගේ හිතේ ආසාවක් තිබුණේ නැහැ කියලා ඒකෙන් තේරෙනවා. (නික් 3:10, 11; 4:10-14) මෝසෙස්ව තෝරගෙන ආශ්චර්යයන් කරන්න එයාට බලය දුන්නෙත් යෙහෝවා දෙවියනුයි. අන්තිමේදී පාරාවෝගේ මන්තර ගුරුකම් කරන පූජකයන් පවා පිළිගත්තා මෝසෙස් ඒ ආශ්චර්යයන් කළේ යෙහෝවා දෙවියන්ගේ බලයෙන් කියලා. (නික් 4:1-9; 8:16-19) මෝසෙස් මුලින්ම සෙනඟට යම් දේවල් දැනුම් දුන්නා. පස්සේ ඒවා වාර්තා කළා. එයා ඒ දේවල් කළේ දේශකයෙක්, ලේඛකයෙක් වෙලා තමන්ටම කියලා නමක් ගොඩනඟාගන්න තිබුණු උවමනාව නිසා නෙවෙයි. ඒ වෙනුවට මෝසෙස් ඒ දේවල් කළේ දෙවියන් එහෙම කරන්න කියලා එයාට අණ කරලා ඒවා කරන්න එයාට බලය දීපු නිසයි. මෝසෙස් වාර්තා කරපු ඒ දේවල් බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහයට ඇතුළත් වෙලා තියෙනවා.—නික් 17:14.
අගෝස්තු 24-30
දේවවචනය නිධානයක් | නික්මයාම 19-20
“දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන”
w90 3/1 11 2¶
දසපනතෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
පළමු පනත් හතර මගින් යෙහෝවා දෙවියන් කෙරෙහි අපගේ වගකීම් ඉස්මතු කොට දක්වති. (පළමු වැන්න) ඔහු වනාහි අදටත් වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි. (මතෙව් 4:10) (දෙවැන්න) ඔහුගේ වන්දනාකරුවන් පිළිම පාවිච්චි නොකළ යුතුයි. (1 යොහන් 5:21) (තුන් වැන්න) අප විසින් දෙවියන්ගේ නාමය කිසිවිටකත් අගෞරවනීය විදිහට භාවිත නොකළ යුතුයි. සෑම විටම දෙවියන්ගේ නාමය සුදුසු සහ ගෞරවනීය විදිහට භාවිත කළ යුතුයි. (යොහන් 17:26; රෝම 10:13) (සතර වැන්න) පරිශුද්ධ දේවල්වලට අප ජීවිතයේ මුල් තැන දිය යුතුයි. තමන් ධර්මිෂ්ඨයි කියලා ඔප්පු කරන්න වෑයම් කරන එක ඇතුළු ආත්මාර්ථකාමී ක්‍රියාවලින් “විවේක ගන්න” ඒක උදව් වෙනවා.—හෙබ්‍රෙව් 4:9, 10.
w90 3/1 11 3-4¶
දසපනතෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
(පස් වැන්න) දරුවන් දෙමාපියන්ට කීකරු වෙද්දී එය පවුලේ එකමුතුකමට දායක වෙන අතර එයින් යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදයද ලැබේ. තවද “පොරොන්දුවක් සමඟ දී ඇති පළමුවෙනි ආඥාව” පිළිපැදීමෙන් ලස්සන බලාපොරොත්තුවක්ද අපට ලැබේ. “ඒ පොරොන්දුව නම්, ‘එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන’ යන්නයි.” (එෆීස 6:1-3) දැන් අප මෙම දුෂ්ට සමාජයේ අන්තිම දවස්වල ජීවත් වන බැවින්, එබඳු කීකරුකමක් මගින් කිසිදාක මිය නොයෑමේ බලාපොරොත්තුව තරුණ අයට ඉදිරිපත් කරයි.—2 තිමෝති 3:1; යොහන් 11:26.
(සය වැන්න) මිනී මැරීම, (සත් වැන්න) අනාචාරය, (අට වැන්න) සොරකම් කිරීම, සහ (නව වැන්න) බොරු සාක්ෂි දීම වැනි දුෂ්ට ක්‍රියා කර අපගේ අසල්වැසියාට හානි කිරීමෙන් අපව වළක්වන්නේ අසල්වැසියා කෙරෙහි අපට තිබෙන ප්‍රේමයයි. (1 යොහන් 3:10-12; හෙබ්‍රෙව් 13:4; එෆීස 4:28; මතෙව් 5:37; හිතෝපදේශ 6:16-19) නමුත් අපගේ චේතනා ගැන කුමක් කිව හැකිද? තණ්හාවට එරෙහිව ඇති පනත (දස වැන්න) අපට සිහිපත් කරන්නේ අපගේ චේතනා නිතරම යෙහෝවා දෙවියන්ගේ ඇස් ඉදිරියෙහි හරි විය යුතු බවය.—හිතෝපදේශ 21:2.
ගැඹුරින් හොයමු
it-2-E 687 1-2¶
පූජකයන්
අලුත් ගිවිසුම යටතේ ඉන්න පූජකයන්. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වෙලා තිබුණා දෙවියන් එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුමට එකඟව එයාලා ජීවත් වුණොත් එයාලව “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්” වෙන්න සලස්වනවා කියලා. (නික් 19:6) හැබැයි නීතික ගිවිසුම අවලංගු වෙලා අලුත් ගිවිසුම පිහිටෙව්වාට පස්සේ ආරොන්ගෙන් පැවත ආපු පූජකයන්ගේ කාර්යය අවසන් වුණා. (හෙබ්‍රෙ 7:11-14; 8:6, 7, 13) මොකද ආරොන්ගෙන් පැවත ආපු පූජකයන්ගෙන් නියෝජනය වුණේ දෙවියන්ගේ සංකේතවත් දේවමාලිගාවේ සේවය කරන වඩාත් ශ්‍රේෂ්ඨ පූජක පංතියක්. (හෙබ්‍රෙ 8:4, 5) ඒ ශ්‍රේෂ්ඨ පූජකයන්ගෙන් යුත් රාජ්‍යයට ඇතුල් වීමේ වරප්‍රසාදය දෙවියන් මුලින්ම ලබා දුන්නේ ඊශ්‍රායෙල්වරුන්ට විතරයි. හැබැයි පස්සේ දෙවියන් ඒ අවස්ථාව වෙනත් ජාතීන්ටත් ලබා දුන්නා.—ක්‍රියා 10:34, 35; 15:14; රෝම 10:21.
යුදෙව්වන්ගෙන් වැඩි පිරිසක් යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැති නිසා දේවරාජ්‍යයේ පූජකයන්ගෙන් යුත් ශුද්ධ ජාතියට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ යුදෙව්වන්ගෙන් සුළු පිරිසකට විතරයි. (රෝම 11:7, 20) ඊශ්‍රායෙල්වරු අකීකරු වුණු නිසා යෙහෝවා දෙවියන් හොෂෙයා මාර්ගයෙන් කලින්ම මෙහෙම අනතුරු ඇඟෙව්වා. “මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති. ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි. ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.” (හොෂෙ 4:6) යේසුත් යුදෙව් ආගමික නායකයන්ට මෙහෙම කිව්වා. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන රාජ්‍යය වෙනුවෙන් පල උපදවන වෙනත් ජාතියකට එය දෙනු ලබයි.” (මතෙ 21:43) හැබැයි පොළොවේ ජීවත් වෙලා ඉද්දී යේසුස් නීතියට යටත් වෙලා හිටිය නිසා ආරොන්ගෙන් පැවත ආපු පූජකයන් ඉටු කරපු කාර්යයට ඔහු ගරු කළා. ඒ නිසයි එක අවස්ථාවකදී තමන් සුව කරපු ලාදුරු රෝගීන්ට පූජකයා ඉදිරියට යන්න කියලත් නියමිත පූජාවන් ඔප්පු කරන්න කියලත් ඔහු කිව්වේ.—මතෙ 8:4; මාක් 1:44; ලූක් 17:14.
අගෝස්තු 31–සැප්තැම්බර් 6
දේවවචනය නිධානයක් | නික්මයාම 21-22
“යෙහෝවා දෙවියන් වගේ ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්න”
it-1-E 271
පහර දීම
අතීතයේදී දාසයෙක් හරි දාසියක් හරි අකීකරු වුණොත් නැත්නම් කැරලිගැහුවොත් එයාට පොල්ලකින් පහර දෙන්න හෙබ්‍රෙව් ජාතික ස්වාමියෙක්ට අවසර තිබුණා. හැබැයි ඒ පහර දීම නිසා ඒ කෙනා මිය ගියොත් ඒ ස්වාමියාට දඬුවමක් නියම වුණා. ඒත් ඒ කෙනා දවසක් දෙකක් ජීවත් වෙලා ඊටපස්සේ මිය ගියා නම් ස්වාමියා එයාට පහර දුන්නේ එයාව මරන්න හිතාගෙන නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ දාසයාව හරි දාසියව හරි “මිල දී ගත්තේ” තමන්ගේ මුදලින් නිසා හික්මවීමක් විදිහට දාසයාට පහර දෙන්න ස්වාමියාට අවසර තිබුණා. සාමාන්‍යයෙන් ස්වාමියෙක් තමන්ගේ මුදලින් මිල දී ගත්ත කෙනෙක්ව මරන්න හිතාගෙන පහර දීලා තමන්ටම පාඩුවක් කරගනියි කියලා හිතන්න බැහැ. අනිත් අතට දාසයා හරි දාසිය හරි මැරුණේ දවසක් දෙකක් ගියාට පස්සේ නම් එයා මිය ගියේ ඒ පහර දීම නිසාද, නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියලා හරියටම කියන්න බැහැ. ඒ නිසා එයා මිය ගියේ දවසක් දෙකක් ගියාට පස්සේ නම් ස්වාමියාට දඬුවමක් නියම වුණේ නැහැ.—නික් 21:20, 21.
ගැඹුරින් හොයමු
it-1-E 1143
පූජාසනයේ අං
නික්මයාම 21:14 කියන දෙයින් පැහැදිලි වෙනවා පූජකයෙක් අතින් වුණත් මිනී මැරුමක් වුණොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මරණ දඬුවම නියම වුණා කියලා. ඒ වගේම හිතාමතාම මිනී මැරුමක් කරපු කෙනෙක් පූජාසනයේ අං අල්ලගෙන හිටියත් ඒකෙන් එයාට කොහොමටවත් ආරක්ෂාවක් ලැබුණේ නැහැ කියලත් පැහැදිලි වෙනවා.—1රාජා 2:28-34 බලන්න.