උස් රළු පර්වතවල පිනුම්ගසන්නෝ
මළ මුහුදේ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන පැරණි නගරය සහ ඒ අවට පාළුකරය හඳුන්වන්නේ, ඒන්-ගෙදිය කියලයි. මේ ප්‍රදේශයේ පිහිටි පර්වතවල තිබෙන රළු පටු පාරවල් හා ප්‍රපාත, මෙහි දැක්වෙන එළුවන්ට සමාන පොරොන්දු දේශයේ කඳු එළුවාට අංග සම්පූර්ණ වාසභූමියක් සපයනවා.
අමාරු තැන්වලින් පවා සමබරව ගමන් කළ හැකි කකුල්වලින් යුත් මේ සතා, සත්ව මැවිලිවල පුදුමයන් අතර සිටින සතෙක්. අපි බයිබලය පෙරළා, මේ සිත්ගන්නා සතා ගැන සමීප බැල්මක් හෙළමු.
“උස් කඳු තිබෙන්නේ කඳු එළුවන්ටය”
එසේ ගායනා කළේ ගීතිකාකරුයි. (ගීතාවලිය 104:18, NW) කඳු එළුවෝ උස් කඳුකර ප්‍රදේශවල ජීවත් වීම සඳහා හොඳින් සෑදී පැහැදී සිටිනවා! උන් ස්ථිර විශ්වාසයකින් හා වේගයකින් රළු භූමිභාගය හරහා ඉතා වේගයෙන් දුවනවා. උන්ගේ කුර සෑදී තිබෙන ආකාරය, යම් ප්‍රමාණයකට එයට හේතු වෙනවා. පටු බෑවුම්වල සිටගෙන සිටිද්දී හෝ ගමන් කරද්දී, කකුල් ඉතා තදින් කඳු මත රඳවා තැබීමට පුළුවන් වෙන විදිහට එළුවාගේ බර කකුල්වලට වැටීමෙන් කුර අතර තියෙන හිදැස පළල් වෙන්න පුළුවන්.
කඳු එළුවන්ට පුදුමාකාර සමබරතාවක් තියෙනවා. උන්ට පුළුවන් හුඟාක් දුරකට පැනලා, කකුල් හතරම තියාගන්න තරම්වත් ඉඩ නැති ගැට්ටක් මත සමබරව සිටගන්න. තවත් වර්ගයකට අයත් කඳු එළුවෙක්, ඌට හැරෙන්න තරම්වත් ඉඩ නැති ගැට්ටකින් නොවැටී සිටීමට ඌගේ සමබරතාව යොදාගත් ආකාරය, ජීව විද්‍යාඥ ඩග්ලස් චැඩ්වික් එක් අවස්ථාවකදී නිරීක්ෂණය කළා. ඔහු මේ විදිහට කියනවා: “මේ එළුවා මීටර් 120ක පමණ ප්‍රපාතයකින් යුත් ඊළඟ ගැට්ට දෙස බලා, උගේ ඉස්සරහ කකුල් දෙක ඌ ඉන්න ගැට්ටේ තියාගෙන, පිටුපස කකුල් දෙක මඳක් ඉහළට ඔසවා ඒ කකුල් දෙක ඉහළට විහිදෙන කඳු පෘෂ්ඨය දිගේ සෙමින් සෙමින් තබමින් අනිත් පැත්තට හැරුණා. මම පුදුමයට පත් වී කට ඇරන් බලන් ඉන්දැද්දීම, ඒ එළුවා එසේ හැරෙමින්, ඌ ආපු දිශාවට මුහුණලා සිටින්න පුළුවන් වෙන විදිහට උගේ පිටිපස්සේ කකුල් දෙක බිම තියාගත්තා.” (නැෂනල් ජියෝග්රැෆික්) කඳු එළුවන්ව “උස් රළු පර්වතවල පිනුම්ගසන්නෝ” හැටියට හඳුන්වා තිබීම පුදුමයක් නෙවෙයි!
“[කඳු] එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද?”
කඳු එළුවන් හරිම කුළෑටි සත්තු වර්ගයක්. උන් මිනිසුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඇත්තෙන්ම, උන්ගේ ස්වාභාවික ජීවන රටාව නිරීක්ෂණය කිරීම සඳහා උන් ළඟට කිට්ටු වෙන්න මිනිසුන්ට අමාරුයි. මේ නිසා, “දහස් ගණන් කඳුවල [වන සතුන්ගේ]” අයිතිකාරයාට නිවැරදිව යෝබ් කියන මිනිසාගෙන් මේ විදිහට අහන්න පුළුවන් වුණා: “පර්වතවල [කඳු, NW] එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද?”—ගීතාවලිය 50:10; යෝබ් 39:1.
දෙවි දී තිබෙන සහජ බුද්ධිය මගින් පැටව් බිහි කරන්න නියමිත කාලය කඳු එළුදෙනට දැනෙනවා. එළුදෙන ආරක්ෂාකාරි තැනක් සොයාගෙන, සාමාන්‍යයෙන් මැයි මාසය අවසානයේදී හෝ ජූනි මාසයේදී පැටියෙක් දෙන්නෙක්ව බිහි කරනවා. අලුත උපන් පැටව් දවස් කිහිපයක් ඇතුළත අමාරු තැන්වලදී සමබරව සිටගන්නවා.
“ප්‍රේමවන්ත මුවදෙනක සහ ප්‍රියකරු කඳු එළුදෙනක”
නැණවත් සාලමොන් රජ ස්වාමිපුරුෂයන්ගෙන් මේ විදිහට ඕනෑකමින් ඉල්ලා සිටියා: “ප්‍රේමවන්ත මුවදෙනෙක සහ ප්‍රියකරු කඳු එළුදෙනක මෙන් ඔබේ යෞවන වයසේ භාර්යාව කෙරෙහි ප්‍රීති වෙන්න.” (හිතෝපදේශ 5:18, 19, NW) ස්ත්‍රීන්ව පහත් කොට සැලකීමක් මෙයින් අදහස් කළේ නැහැ. පෙනෙන විදිහට, සාලමොන් වක්‍රාකාරයෙන් මේ සතුන්ගේ ශෝභනත්වය, ලාලිත්‍ය සහ වෙනත් කැපීපෙනෙන ගුණාංග විස්තර කරමින් සිටියා.
මැවුම්කරුගේ ප්‍රඥාවට ප්‍රබල සාක්ෂි සපයන අසීමිත “ජීවමාන සත්වයන්” අතර මේ කඳු එළුවන්ද සිටිනවා. (උත්පත්ති 1:24, 25) දෙවි අපව මේ තරම් අලංකාර සත්වයන් විශාල ගණනකින් වට කර තිබීම ගැන අපි සතුටු වන්නේ නැද්ද?
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Athens University අනුග්රහයෙනි