අපේ මුතුන්මිත්තන්ට නව ජීවිතයක්
දේවවචනය වන, බයිබලය, උගන්වන්නේ මරණයේදී සෑමකෙනෙක්ම ආත්ම විෂයේ ජීවිතයක් දිගටම ගත කරන්ට පහසුවෙන් මාරුවක් ලබන බවද? නැත, එය එසේ නොකරයි. බයිබලය මරණයෙන් පසු ජීවිතයක් පිළිබඳව ආශ්චර්යවත් බලාපොරොත්තුවක් ඉදිරිපත් කළද, එය බොහෝදෙනෙකු කල්පනා කරන ආකාරයේ එකක් නොවේය.
අපගේ පළමු මුතුන්මිත්තා වන ආදම් ගැන බයිබලය පවසන දෙය සලකා බලන්න. යෙහෝවඃවහන්සේ “භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා” සෑදූසේක. (උත්පත්ති 2:7) මෙවිට පොළොවේ සතුටින් සදාකාලයටම ජීවත්වීමේ ප්‍රස්තාව ආදම්ට තිබිණ. (උත්පත්ති 2:16, 17) කෙසේවෙතත්, ඔහු සිය ප්‍රේමනීය මැවුම්කරුවාණන්ට එරෙහිව කැරලි ගැසූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණය අත්විය.
මැරුණවිට ආදම් ගියේ කොතැනටද? දෙවියන්වහන්සේ ඔහුට මෙසේ වදාළසේක: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී ය[න්නෙහිය]; . . . මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.
යෙහෝවඃවහන්සේ දූවිල්ලෙන් ආදම්ව මවන්ට පෙර ඔහු සිටියේ කොහේද? කොහේවත් සිටියේ නැත. ඔහු පැවතුණේද නැත. එබැවින් “දූවිල්ලට හැරී යන්නෙහිය” කියා යෙහෝවඃවහන්සේ ආදම්ට වදාළ විට, උන්වහන්සේ අදහස් කරන්ට ඇත්තේ දූවිලි හා සමානව, අප්‍රාණික තත්වයකට ඔහු යළි පත්වන බව පමණකි. මුතුන්මිත්තන්ගේ ආත්ම ලෝකයක් සොයාගත් එහි ආදිපියා බවට ආදම් මාරු වුණේ නැත. ඔහු ස්වර්ගයේ දිව්‍ය සැපත භුක්තිවිඳින ජීවිතයකට හෝ වධ වේදනා පමුණුවන ස්ථානයක සදාකාලයට වේදනා විඳින්ට හෝ යවනු ලැබුවේ නැත. ඔහු කළ එකම සංක්‍රමණය වූයේ ප්‍රාණවත් තත්වයක සිට අප්‍රාණික තත්වයකට, එනම් පැවැත්මක සිට නොපවතින තත්වයකට මාරු වීම පමණකි.
ඉතිරි මිනිස්වර්ගයා ගැන කුමක් කිව හැකිද? ආදම්ගෙන් පැවතෙන්නෝ පවා මරණයෙන් ජීවිතක්ෂයට පත්වන්ට පටන්ගත්තෝද? “සියල්ලෝම [මනුෂ්‍යයන් හා සත්වයන් යන දෙපිරිසම] එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය” කියා බයිබලය පිළිතුරු දෙයි.—දේශනාකාරයා 3:19, 20.
මළවුන්ගේ තත්වය
එසේය, මළවුන් සිටින්නේ, සවන්දෙන්ට, දකින්ට, කතා කරන්ට හෝ කල්පනා කරන්ට නුපුළුවන් අප්‍රාණික තත්වයකය. උදාහරණයක් හැටියට බයිබලය මෙසේ පවසයි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ.” බයිබලය තවදුරටත් මෙසේද පවසයි: “නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලෙහි] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 6, 10.
එබැවින්, දේවවචනය අනුව, මිනිසුන් සප්රාණිකව සිටින විට, තමන් මිය යන බව ඔවුහු දනිත්. කෙසේවෙතත්, මරණය සිදුවූ විට, ඔවුහු කිසිත් නොදනිති. තමන්ගේ මෘතදේහයන්ට කරන දෙය නරඹමින්, ඔවුන් එය අසල සිටින්ට යන්නේ නැත. එම නොපවතින තත්වය තුළ සතුටක් හෝ වේදනාවක්, එසේම ප්‍රීතියක් හෝ දුකක් නැත. මියගිය අයට කාලය ගෙවී යෑම නොදැනේ. ඔවුන් සිටින්නේ ඕනෑම නින්දකට වඩා ගැඹුරු, සිහිසන් නැති තත්වයකය.
ජනයා මරණයෙන් පසු ජීවත් නොවන බව පුරාතන කාලවල දේවසේවකයෙක් වූ යෝබ් දැන සිටියේය. දෙවියන්වහන්සේගේ මැදිහත්වීමකින් තොරව, යළි ජීවත්වීමේ බලාපොරොත්තුවක් ඇති කරගත නොහැකි බවද ඔහු තේරුම් ගත්තේය. යෝබ් පැවසුවේ, “මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද? මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය” යනුවෙනි. (යෝබ් 14:10, 12) තමා මියගිය විට ආත්ම ලොවක සිය මුතුන්මිත්තන් සමඟ එක්වන බව යෝබ් ස්ථීරවම අපේක්ෂා කළේ නැත.
නැවත නැගිටීමේ බලාපොරොත්තුව
ජීවත්ව සිටින්නෝ මරණයෙන් නොපවතින තත්වයකට පත්වන නිසා, යෝබ් මෙසේ විමසීමේදී නැඟූ ප්රශ්නය මහත් වැදගත්කමකින් යුක්තය: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද?” මෙයට යෝබ්ම මෙසේ පිළිතුරු ඉදිරිපත් කළේය: “මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි. ඔබ [යෙහෝවඃවහන්සේ] අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.”—යෝබ් 14:14, 15.
වෙනත් වචනවලින් කියතොත්, යෝබ් නොපවතින තත්වයකට පත්වෙතත්, දෙවියන්වහන්සේ ඔහුව අමතක නොකරනු ඇත. නැවත නැගිටීමක් මගින් යෙහෝවඃවහන්සේ ඔහුව යළි ජීවිතයට “අඬගසන” කාලයක් එන බවට යෝබ් තුළ විශ්වාසයක් තිබිණ.
නැවත නැගිටීම කෙරෙහි යෝබ්ට තිබූ බලාපොරොත්තුව සැබෑ එකක් බැව් දේවපුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙන්වූසේක. මළවුන් නැවත නැගිටවිය හැකි බව යේසුස්වහන්සේ සනාථ කළසේක. ඒ කෙසේද? එය කිරීමෙනි! යෝබ්ව නැවත නැගිටුවන්ට උන්වහන්සේ එතැන සිටියේ නැත, එහෙත් පොළොව මත සිටියදී, යේසුස්වහන්සේ නායින් නුවර වැන්දඹුවගේ පුත්‍රයාව නැවත නැගිටවූසේක. යායිරස් නම් මිනිසෙකුගේ 12 හැවිරිදි දියණියවද යේසුස්වහන්සේ නැවත ප්‍රාණවත් කළසේක. තවද දින හතරකට මැරී සිටි සිය මිත්‍රයා වන, ලාසරුස්වද උන්වහන්සේ නැවත නැගිටවූසේක.—ලූක් 7:11-15; 8:41, 42, 49-56; යොහන් 11:38-44.
මෙම ප්රාතිහාර්යයන් සිදු කිරීමට අමතරව, යේසුස්වහන්සේ ශ්‍රේෂ්ඨ අනාගතික නැවත නැගිටීමක් ගැනද කතා කළසේක. ඒ ගැන උන්වහන්සේ මෙසේ වදාළසේක: “[සිහිකිරිමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ඉන්පසුව, තරුණයෙකුව නැවත නැගිටුවන්ට යෙහෝවඃවහන්සේ පාවිච්චි කළ, ප්‍රේරිත පාවුල්ද, අනාගත නැවත නැගිටුවීමක් කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කර සිටියේය. ඔහු පැවසුවේ, “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි” යනුවෙනි.—ක්‍රියා 20:7-12; 24:15.
අනාගතික නැවත නැගිටීමක් කෙරෙහි වූ මෙම ශුද්ධ ලියවිලිමය යොමුසටහන් ආත්ම විෂයේ අඛණ්ඩ ජීවිතයකට අදාළ වන්නේ නැත. ඒවා යොමු දක්වන්නේ මෙතෙක් මියගොස් ඇති මිලියන සංඛ්‍යාවක් මෙම පොළොව මතම මාංසික ශරීර ඇතිව යළි ජීවිතයට හැරී එන කාලයක් වෙතටය. නැවත නැගිටුවන ලද මේ අය සිටින්ට යන්නේ පොළොව මත සිය මුල් ජීවිතය පිළිබඳ මතකයන් අමතක වූ තත්වයක නොවේ. ඔවුන් ළදරුවන් හැටියට නැවත නැගිටීමක් ලබන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් සිටින්ට යන්නේ තමන් මියගිය විට සිටි පුද්ගලයාට සමානවය, එම මතකයන් හා පෞද්ගලිකත්වයන් ඇතිවය. ඔවුන් තමන් විසින්ම හා අන්‍යයන් විසින් හඳුනාගත හැකි තත්වයක සිටිනවා ඇත. ජනයා සිය මිත්‍රයන් හා පවුල් සමඟ යළි සම්බන්ධවෙත්ම, එය කොතරම් ප්‍රීතියක් වෙනවා ඇත්ද! එමෙන්ම අපගේ මුතුන්මිත්තන්ව හමුවීම කොතරම් උනන්දුමත් දෙයක් වනු ඇත්ද!
ස්වර්ගීය ජීවිතයට නැවත නැගිටීම
ඇතමෙක් ස්වර්ගයට යන බව යේසුස්වහන්සේ නොපැවසූසේක්ද? උන්වහන්සේ එසේ කළසේක. තමන්වහන්සේව මරණයට පත් කරන්ට පෙර සන්ධ්‍යාවෙහි, උන්වහන්සේ මෙසේ වදාළසේක: “මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; . . . මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 14:2, 3) මෙහිදී යේසුස්වහන්සේ සිය විශ්වසනීය ප්‍රේරිතයන්ට කතා කරමින් සිටියත්, උන්වහන්සේගේ වදන් යහපත් සියලුදෙනාම ස්වර්ගයට යන බවක් අදහස් නොකරයි.
යේසුස්වහන්සේ පෙන්වා දුන්නේ, ස්වර්ගයට නැවත නැගිටුවන අය යහපත් ජීවිතයක් ගත කිරීමට වැඩියම් අවශ්‍යතා ලැබිය යුතු බවය. එක් අවශ්‍යතාවක් වන්නේ යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ අරමුණු පිළිබඳව නිවැරදි දැනුමක් ලබා සිටීමය. (යොහන් 17:3) වෙනත් අවශ්‍යතාවන් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම හා දෙවියන්වහන්සේට කීකරු වීමය. (යොහන් 3:16; 1 යොහන් 5:3) දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් උත්පාදනය ලද බව්තීස්ම වූ ක්‍රිස්තියානීන් හැටියට ‘අලුතෙන් ඉපදීමද’ තවත් අවශ්‍යතාවකි. (යොහන් 1:12, 13; 3:3-6) යේසුස්වහන්සේ කළාක් මෙන්, මරණය දක්වා දෙවියන්වහන්සේ කෙරෙහි වූ විශ්වසනීයත්වය තහවුරු කරමින් විඳදරා සිටීම, ස්වර්ගීය ජීවිතයක් සඳහා තවත් අවශ්‍යතාවකි.—ලූක් 22:29; එළිදරව් 2:10.
එවන් උසස් අවශ්‍යතාවන් තිබිය යුතු වීමට හේතුවක් ඇත. ස්වර්ගයට නැවත නැගිටුවනු ලබන අය කළ යුතු වැදගත් වැඩක් තිබේ. මනුෂ්‍ය ආණ්ඩුවලට කවර කලකත් සාර්ථකව පොළොවේ කාරණා හැසිරවිය නොහැකි බව යෙහෝවඃවහන්සේ දැන සිටිසේක. එබැවින් උන්වහන්සේ මිනිස්වර්ගයා කෙරෙහි පාලනය කරන්ට යන, ස්වර්ගීය ආණ්ඩුවක්, නැතහොත් රාජ්‍යයක් සකස් කළසේක. (මතෙව් 6:9, 10) යේසුස්වහන්සේ එම රාජ්‍යයේ රජාණන් වනු ඇත. (දානියෙල් 7:13, 14) පොළොවෙන් තෝරාගත් එමෙන්ම ස්වර්ගයට නැවත නැගිටුවනු ලබන ඇතමෙක් උන්වහන්සේ සමඟ පාලනය කරනු ඇත්තාහ. නැවත නැගිටුවනු ලබන මේ අය “අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද [වෙමින්] . . . පොළොවෙහි රජකම්” කරනවා ඇතැයි බයිබලය පුරෝකථනය කළේය.—එළිදරව් 5:10.
ස්වර්ගීය නැවත නැගිටීමක් සඳහා විශාල ජනපිරිසක් සුදුසුකම් ලබනවා ඇත්ද? නැත. තමන්ගේම යම් වැරැද්දක් නොමැති වුවත්, මරණ නින්දේ පසුවන වැඩිදෙනෙක් සුදුසුකම් ලබන්ට යන්නේ නැත. බොහෝදෙනෙකුට යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ අරමුණු පිළිබඳ සත්‍යය ඉගෙනගන්ට ලැබී ඇත්තේ මද ප්‍රස්තාවකි, නැතහොත් කිසිම ප්‍රස්තාවක් ලැබී නැත. ඔවුන් ජීවත්වී මියගොස් ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව නැතහොත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිවය.
ස්වර්ගයට යන අයව යේසුස්වහන්සේ හැඳින්වූයේ “කුඩා රැළ[ක්]” හැටියටය. (ලූක් 12:32) ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයෙහි රජකම් කරන්ට “පොළොවෙන් මිලේටගනු” ලබන අයගේ සංඛ්‍යාව 1,44,000ක් වනු ඇතැයි පසුව එළිදරව් කරනු ලැබීය. (එළිදරව් 14:1-3; 20:6) මෙම 1,44,000දෙනා යේසුස්වහන්සේ යොමු දැක්වූ “බොහෝ වාසස්ථාන[වල]” වාසය කරන්ට ප්‍රමාණවත් තරම් විශාල සංඛ්‍යාවක් වුවද, ආදම්ගෙන් පැවතෙන බිලියන සංඛ්‍යාත ජනයා සමඟ සැසඳීමේදී එය කුඩා ප්‍රමාණයක් වන්නේය.—යොහන් 14:2.
භූමික නැවත නැගිටීමට පෙර සිද්ධීන්
අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු අපි නැවතත් සලකා බලමු. බයිබලයට අනුව, යෙහෝවඃවහන්සේ විසින් නැවත නැගිටුවනු ලබන තෙක් මියයන අය සිටින්නේ මරණය තුළ අප්‍රාණික තත්වයකය. ඇතමෙක් ස්වර්ගීය ජීවිතයට නැවත නැගිටුවනු ලබන අතර, ඔවුහු රාජ්‍ය ආණ්ඩුවෙහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පාලනය කරනු ඇත්තාහ. එම රාජ්‍යයේ යටත් වැසියන් වීමට, පොළොව මත වැඩිදෙනෙක් නැවත නැගිටුවනු ලබනවා ඇත.
යෙහෝවඃවහන්සේ, උන්වහන්සේගේ පොළොව සඳහා වූ අරමුණ මෙම භූමික නැවත නැගිටීම මගින් යම්තාක් දුරට, ඉෂ්ට කරනවා ඇත. යෙහෝවඃවහන්සේ එය මැව්වේ “වාසය පිණිස[ය].” (යෙසායා 45:18) එය මිනිස්වර්ගයා සඳහා ස්ථීර නිවාසයක් විය යුතුව තිබිණ. එබැවින්, ගීතිකාකරු ගායනා කළේ, “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක” කියාය.—ගීතාවලිය 115:16.
පොළොව මත ජීවිතයට නැවත නැගිටීම සිදුවන්ට පෙර, මහත් වෙනස්කම් සිදුවිය යුතුව ඇත. පොළොව යුද්ධවලින්, දූෂණයෙන්, අපරාධවලින් හා සැහැසියාවෙන් පිරී තිබීම දෙවියන්වහන්සේගේ අරමුණ නොවූ බව ඔබ ඇතැම්විට එකඟ වන්නෙහිය. මෙම ගැටලු ඇති කරන්නේ දෙවියන්වහන්සේටත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ නීතිවලටත් ගෞරවයක් නොමැති ජනයා විසිනි. එබැවින්, දේවරාජ්‍යය “පොළොව විනාශකරන්නවුන් විනාශ” කරනු ඇති අතර, මෙය උන්වහන්සේගේ කැමැත්ත පොළොවේ සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රබල පියවරක් වනු ඇත. (එළිදරව් 11:18) එම රාජ්‍යය ධර්මිෂ්ඨයන්ට පොළොව මත සදාකාලයටම ජීවත්වන්ට හැකියාව සලසමින්, දුෂ්ටයන්ව විනාශ කරනවා ඇත.—ගීතාවලිය 37:9, 29.
පොළොව මත පාරාදීසයක්
පවිත්‍ර කරන ලද පොළොවක් මත නැවත නැගිටුවනු ලබන අය, හරි දෙය ක්‍රියාවට නඟන්නාවූ මෘදු ගුණැති, සැලකිලිවන්ත සෙනඟක් වනු ඇත්තාහ. (මතෙව් 5:5 සසඳන්න.) දේවරාජ්‍යයේ ප්‍රේමනීය අවේක්ෂණය යටතේ, ඔවුහු සුරක්ෂිතභාවයෙන් යුක්තව සන්තෝෂවත් ජීවිත ගත කරනු ඇත්තාහ. එවිට පවතින්ට යන තත්වයන් පිළිබඳව බයිබලය මෙම ආශ්චර්යවත් පූර්ව දර්ශනය ඉදිරිපත් කරයි: “[දෙවියන්වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කරනු ලබනවා ඇත. (ලූක් 23:43) එය අදහස් කරන්ට යන දෙය සිතා බලන්න! රෝහල් හා සාත්තු නිවාස අභාවයට ගිය දෙයක් බවට පත්වනු ඇත. දැන් මහලු වයසේ බලපෑම්වලට ගොදුරු වී සිටින්නන් එම පාරාදීසයේ, යළිත් ශක්තිමත් හා නිරෝගී තත්වයකට පත්වෙනවා ඇත. (යෝබ් 33:25; යෙසායා 35:5, 6) තවදුරටත් අවමංගල්‍යාගාර, සොහොන්බිම් හා සොහොන්කොත් නොතිබෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍යය කරණකොටගෙන, යෙහෝවඃවහන්සේ “මරණය සදාකාලයටම ගිල” දමනවා ඇත. (යෙසායා 25:8) එවන් ආශීර්වාදයන් අපටත් අපගේ මුතුන්මිත්තන්ටත් ස්ථිරවම අලුත් ජීවිතයක් අදහස් කළ හැකිය.
[7වන පිටුවේ පින්තූරය]
පොළොව මත නැවත නැගිටුවනු ලබන අය රාජ්‍යයේ යටත්වැසියන් වනු ඇත්තාහ