ඔබේ ජීවිතය—එහි අරමුණ කුමක්ද?
“මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල . . . හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත [හෘදය, NW] ප්‍රඥාවෙන් මා හසුරුව[මින් සිටියා].”—දේශනාකාරයා 2:3.
1, 2. තමන් ගැන සාධාරණ උනන්දුවක් තිබීම වැරදි දෙයක් නොවන්නේ ඇයි?
ඔබ ඔබ ගැනම උනන්දු වෙනවා නේද? ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි හැමදාම කනවා; මහන්සිය දැනෙන කොට අපි නිදාගන්නවා; ඒ වගේම මිත්‍රයන් හා අප ප්‍රේම කරන වෙනත් අය එක්ක ඉන්න අපි කැමතියි. සමහර අවස්ථාවලදී අපි සෙල්ලම් කරනවා, පීනනවා, එහෙම නැත්නම් ආස්වාදයක් ලබන්න පුළුවන් වෙනත් දේවල නිරත වෙනවා; මේ සියල්ලෙන් පිළිබිඹු වෙන්නේ අපට අපි ගැන සමබර උනන්දුවක් තියෙන බවයි.
2 තමන් ගැන මෙවැනි උනන්දුවක් තිබීම, දෙවි සාලමොන්ව ලියන්න පෙලඹවූ දෙයට එකඟයි: “කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත.” අද්දැකීමෙන් සාලමොන් තවත් දෙයකුත් පැවසුවා: “මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.” “මන්ද මා තරම් හොඳට කන්නෙත් බොන්නෙත් කවුද?”—දේශනාකාරයා 2:24; 2:25, NW.
3. බොහෝදෙනෙක්ට උත්තර දෙන්න බැරි ව්‍යාකූල කරවන ප්‍රශ්න මොනවාද?
3 ඒත් ඔබ දන්නවා කෑමට, බීමට, නිදාගැනීමට හා යහපත කිරීමට වඩා වැඩි දෙයක් ජීවිතයට ඇතුළත් බව. අපට දුක් වේදනා, බලාපොරොත්තු කඩවීම් හා සිත්තැවුල් ඇති වෙනවා. ඒ හින්දා ජීවිතයේ අර්ථය ගැන සිතා බැලීමට අපට කාලයක් නැහැ වගෙයි පේන්නේ. ඔබ සම්බන්ධයෙනුත් එය සැබෑවක් නොවේද? ද වෝල් ස්ට්‍රීට් ජ’නල්හි හිටපු සංස්කාරක වෙ’මොන්ට් රොයිස්ට’ අපේ පුළුල් දැනුම හා කුසලතා ගැන සඳහන් කිරීමෙන් පසු මෙහෙම ලිව්වා: “මෙන්න කුතුහලයට හේතුවක්. මනුෂ්‍යයා ගැනත්, ඔහුට තියෙන විසඳන්න අමාරු ප්‍රශ්න ගැනත්, මේ විශ්වයේ ඔහුට හිමි තැන ගැනත් කරලා තියෙන විමසීම් සලකා බලද්දී, කාලයේ ආරම්භයේ ඉඳන් මේ දක්වා අපි දියුණුවක් ලබා නැති තරම්. අපි කවුද, අපි මෙහි සිටින්නේ ඇයි හා අපි යන්නේ කොහේද කියන ප්‍රශ්නවලට තවමත් උත්තර ලැබිලා නැහැ.”
4. අපට සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර දෙන්න හැකියාවක් ඇතුව ඉන්න අප සැමදෙනාටම ඕනෑ විය යුත්තේ ඇයි?
4 අපි කවුද? අපි මෙහි සිටින්නේ ඇයි? අපි යන්නේ කොහේද? මෙවැනි ප්‍රශ්නවලට ඔබ උත්තර දෙන්න යන්නේ කොහොමද? පසුගිය ජූලි මාසයේ රොයිස්ට’ මහතා මියගියා. ඒ වන විටත් ඔහුට සෑහීම ගෙන දෙන උත්තර ලැබිලා තිබුණා කියලා ඔබ හිතනවාද? ඒක පෞද්ගලිකව අදාළ කරනවා නම්, ඒවාට උත්තර දෙන්න පුළුවන් විදිහක් ඔබට තියෙනවාද? එමෙන්ම සන්තෝෂයෙන් හා අර්ථවත්බවින් වැඩි ජීවිතයක් භුක්තිවිඳීමට මෙය ඔබට උපකාරයක් විය හැක්කේ කොහොමද? අපි බලමු.
තීක්ෂ්ණ බුද්ධියේ ප්‍රධාන උල්පතක්
5. ජීවිතයේ අර්ථය පිළිබඳ ප්‍රශ්න ගැන තීක්ෂ්ණ බුද්ධියක් ලබාගන්න උත්සාහ කරන විට, අප දෙවි දෙස බැලිය යුත්තේ ඇයි?
5 අපි අපේ ජීවිතයේ අරමුණ තනියෙන්ම හොයමින් හිටියා නම්, පුරුෂයන් හා ස්ත්‍රීන් වැඩිහරියකට, දැන උගත් අද්දැකීම් සම්භාරයක් ඇති අය සම්බන්ධයෙන් පවා සැබෑවක් වී තිබෙන්නාක් මෙන්, අපට සාර්ථක ප්‍රතිඵල නොලැබෙන තරම්. ඒත් අපව තනි කරලා දාලා නැහැ. අපේ මැවුම්කරු උපකාර සපයා තියෙනවා. ටිකක් කල්පනා කරලා බැලුවොත්, තීක්ෂ්ණ බුද්ධියේ හා ප්‍රඥාවේ පරම උල්පත, ඒ කියන්නේ “සදාකාලයෙන් සදාකාලයටම” සිටින, විශ්වය හා ඉතිහාසය පිළිබඳ පූර්ණ දැනුමක් ඇති තැනැත්තා ඔහු නොවෙයිද? (ගීතාවලිය 90:1, 2) මනුෂ්‍යයන්ව මැව්වෙත්, මුල ඉඳන්ම මනුෂ්‍යවර්ගයාගේ ජීවිත ගමන නිරීක්ෂණය කරලා තියෙන්නෙත් ඔහු. ඒ හින්දා තීක්ෂ්ණ බුද්ධිය ලබාගන්න ඔහු දෙසටයි යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. සීමිත දැනුම හා ප්රත්යක්ෂ ඥානයක් ඇති අසම්පූර්ණ මනුෂ්‍යයන් වෙතට නෙවෙයි.—ගීතාවලිය 14:1-3; රෝම 3:10-12.
6. (අ) මැවුම්කාරයා අවශ්‍ය කරන තීක්ෂ්ණ බුද්ධිය සපයා ඇත්තේ කොහොමද? (ආ) සාලමොන් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
6 මැවුම්කරු ජීවිතයේ අරමුණ ගැන එළිදරව් කිරීමක් අපේ කනට කොඳුරයි කියලා අපට අපේක්ෂා කරන්න බැරි වුණත්, තීක්ෂ්ණ බුද්ධියේ උල්පතක්, ඒ කියන්නේ ඔහුගේ ආනුභාවය තියෙන වචනය ඔහු සපයා තියෙනවා. (ගීතාවලිය 32:8; 111:10) මේ සම්බන්ධයෙන් දේශනාකාරයා පොත විශේෂයෙන්ම වටී. එය ලියූ තැනැත්තාට දෙවි ආනුභාවය දුන්නා; ඒ හින්දා, “සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවට . . . වඩා මහත්ව” තිබුණා. (1 රාජාවලිය 3:6-12; 4:30-34) සාලමොන්ව බැහැදකින්න පැමිණි රැජිනකට “සාලමොන්ගේ මුළු ප්‍රඥාව” කොතරම් සිත්ගත්තාද කිව්වොත්, කියන්න තිබුණු දේවලින් අඩක්වත් කියලා තිබුණේ නැති බවත්, ඔහුගේ ප්‍රඥාවට සවන් දෙන අය ඇත්තටම සන්තෝෂ වෙයි කියාත් ඇය කියා සිටියා.a (1 රාජාවලිය 10:4-8) ඒ හින්දා සාලමොන් තුළින් අපට සපයා තියෙන අපේ මැවුම්කරුගේ දිව්‍ය ප්‍රඥාවෙන් අපිටත් තීක්ෂ්ණ බුද්ධිය හා සන්තෝෂය අත් කරගන්න පුළුවන්.
7. (අ) අහස යට සිදු වන වැඩකටයුතු වැඩිහරියක් සම්බන්ධයෙන් සාලමොන් එළඹුණේ මොන නිගමනයටද? (ආ) සාලමොන්ගේ යථාර්ථවාදී ඇගයීම් කුමකින් පැහැදිලි වේද?
7 දේශනාකාරයා පොතේ දෙවිගෙන් ලැබූ ප්‍රඥාව පිළිබිඹු වෙයි; මෙය සාලමොන්ගේ හෘදයටත් මොළයටත් බලපෑවා. සාලමොන්ට ඇති තරම් කාලය, සම්පත් හා තීක්ෂ්ණ බුද්ධිය තිබුණු නිසා, ඔහු “අහස යට [කර තිබුණු] සියල්ල” විභාග කළා. එයින් වැඩිහරියක් “නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද” බව ඔහු දුටුවා; මෙය දේවානුභාවයෙන් කරනු ලැබූ තක්සේරු කිරීමක්; ජීවිතයේ අපට තියෙන අරමුණ ගැන කල්පනා කර බලන කොට, අපි ඒ කාරණය සිහියේ තබාගත යුතුයි. (දේශනාකාරයා 1:13, 14, 16) සාලමොන්ගේ අදහස් අවංක හා යථාර්ථවාදියි. උදාහරණයක් හැටියට, දේශනාකාරයා 1:15, 18හි තියෙන ඔහුගේ වචන ගැන කල්පනා කර බලන්න. ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා, ගැටලු විසඳන්නත්, ජනයාගේ ජීවන තත්වය වැඩිදියුණු කරන්නත් මනුෂ්‍යයා අවංක වෑයමක් දරමින් විවිධ ආණ්ඩුක්‍රම අත්හදා බලා තියෙන බව ඔබ දන්නා දෙයක්. ඒත් මෙම අසම්පූර්ණ පිළිවෙළේ එක “ඇද” දෙයක්වත් ඇත්තටම කෙළින් කරන්න එක ආණ්ඩුවකටවත් පුළුවන් වෙලා තියෙනවාද? එමෙන්ම පුද්ගලයෙක්ගේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න, කෙටි ආයුෂ කාලයක් තුළ දේවල් හරියටම හරිගස්සන්න බැරි බව ඔහුගේ හිතට වඩාත් තියුණු විදිහකට කාවදින බව ඔබට පෙනී ගොස් තියෙනවා වෙන්න පුළුවන්. මේ කාරණය අවබෝධ වීම සමහරුන්ගේ බලාපොරොත්තු බිඳීයෑමට හේතුවක් වුණත්, අපට අනිවාර්යයෙන්ම එහෙම වෙන්නේ නැහැ.
8. බොහෝ කලක් තිස්සේ පවතින්නේ මොන චක්‍රද?
8 සලකා බැලිය යුතු තවත් කාරණයක් නම්, හිරු නැඟීම හා බැසීම හෝ සුළං හා ජල ප්‍රවාහවල ගමන වැනි අපට බලපාන නැවත නැවත සිදු වන චක්‍රයි. ඒවා මෝසෙස්, සාලමොන්, නැපෝලියන් සහ අපේ නත්තලාගේ කාලයෙත් පැවතුණා. දිගටමත් පවතිනවා. ඒ හා සමානව, “පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය.” (දේශනාකාරයා 1:4-7) මනුෂ්‍යයෙක්ගේ පැත්තෙන් බලනවා නම්, වැඩි වෙනසක් වෙලා නැහැ. පැරණි මෙන්ම නවීන මනුෂ්‍යයන්ට තිබිලා තියෙන්නේ ඒ හා සසඳන්න පුළුවන් වැඩකටයුතු, බලාපොරොත්තු, අභිලාෂයන් හා සමර්ථයන්. මනුෂ්‍යයන්ගේ පැත්තෙන් පවා යම් කෙනෙක් ප්‍රසිද්ධ වුණා නම්, එහෙම නැත්නම් රූපශ්‍රීයෙන් හෝ හැකියාවෙන් කැපීපෙනුණා නම්, ඒ පුද්ගලයා දැන් කොහේද? පහවගිහිල්ලා; සමහරවිට අමතක වෙලත් ඇති. එය අශෝභන විදිහට සිතීමක් නොවේ. තම ආච්චිලා සීයලාගේ දෙමාපියන්ගේ නම්වත්, ඔවුන් ඉපදුණ හා වැළලූ තැන්වත් බොහෝදෙනෙක් දන්නේ නැහැ. ඔබට දැන් පේනවා ඇති සාලමොන් යථාර්ථවාදීව මනුෂ්‍යයන්ගේ කටයුතු හා වෑයම්වල නිෂ්ඵලකම දැකීමට හේතුව.—දේශනාකාරයා 1:9-11.
9. මනුෂ්‍යවර්ගයාගේ තත්වය ගැන යථාර්ථවාදී තීක්ෂ්ණ බුද්ධියක් ලැබීමෙන් අපට උපකාර ලබාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
9 අපේ බලාපොරොත්තු සුන් කරගන්නවා වෙනුවට, මනුෂ්‍යවර්ගයාගේ මූලික තත්වය සම්බන්ධයෙන් ලබා ඇති මෙම දිව්‍ය තීක්ෂ්ණ බුද්ධියට ඒකාන්ත බලපෑමක් තියෙන්න පුළුවන්; ඒ හින්දා, ඉක්මනින් පහව යන හෝ අමතක කරන්න යන ඉලක්ක හෝ ලුහුබැඳීම්වලට අනවශ්‍ය වැදගත්කමක් ආරූඪ කිරීමෙන් වැළකී සිටීමට අපි පෙලඹෙනවා. ජීවිතයෙන් අපට ලැබෙන දෙයත්, ඉටු කරන්න අප වෑයම් කරමින් සිටින දෙයත් ඇගයීමට එය අපට උපකාරයක් විය යුතුයි. නිදසුනක් හැටියට ගත්තොත් තාපසයෙක් බවට පත් වන්නේ නැතුව, සමබරව කෑමෙන් හා බීමෙන් අපට ප්‍රීතියක් ලබන්න පුළුවන්. (දේශනාකාරයා 2:24) එමෙන්ම, අපි දකින්න යන පරිදි, සාලමොන් ඉතා ඒකාන්ත හා ශුභවාදී නිගමනයකට එළඹෙනවා. කෙටියෙන් කිව්වොත්, අපට නිමක් නැති සන්තෝෂයක් හා අරමුණුසහගත අනාගතයක් භුක්තිවිඳීමට උපකාර කළ හැකි අපේ මැවුම්කරු සමඟ අපට තියෙන සම්බන්ධය අපි ගැඹුරින් අගය කළ යුතුයි. සාලමොන් මෙහෙම අවධාරණය කළා: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.
ජීවිතයේ චක්‍ර සලකා බැලීමෙන් පැහැදිලි වන අරමුණ
10. සාලමොන් සතුන් හා මනුෂ්‍යයන් සැසඳුවේ කොහොමද?
10 දේශනාකාරයා පොතේ පිළිබිඹු වෙන දිව්‍ය ප්‍රඥාව, අපේ ජීවිතයේ අරමුණ සලකා බැලීමට අපට අමතර රුකුලක් විය හැකියි. ඒ කොහොමද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති වෙනත් සත්‍යතාවන් කෙරෙහි සාලමොන් යථාර්ථවාදීව අවධානය යොමු කළ හින්දයි. මනුෂ්‍යයන් හා සතුන් අතර තියෙන සමානකම් ඉන් එකකට ඇතුළත් වෙනවා. යේසු තම අනුගාමිකයන්ව බැටළුවන්ට සමාන කළත්, සාමාන්‍යයෙන් මිනිසුන් ආශා වන්නේ නැහැ ඔවුන්ව සතුන්ට සමාන කරනවාට. (යොහන් 10:11-16) ඒත් සාලමොන් අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණා සමහරක් ඉස්මතු කළා: “මෙසේ වන්නේ [සැබෑ] දෙවියන්වහන්සේ [මනුෂ්‍ය පුත්‍රයන්ව] සෝදිසිකරන පිණිසත් තමුන් තිරිසනුන් බව ඔවුන්ට පෙනීයන පිණිසත්ය . . . මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; . . . මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය. . . . සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.”—දේශනාකාරයා 3:18-20.
11. (අ) සතෙක්ගේ සාමාන්‍ය ජීවන චක්‍රය විස්තර කළ හැක්කේ කොහොමද? (ආ) එවැනි විග්‍රහයක් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?
11 ඔබ බලං ඉන්න ආශා කරන සතෙක් ගැන හිතන්න: ඒ බෙන්හාවෙක් හෝ හාවෙක් වෙන්න පුළුවන්. (ද්විතීය කථාව 14:7; ගීතාවලිය 104:18; හිතෝපදේශ 30:26) එහෙමත් නැත්නං ලේනෙක් කියලා සිතන්න; ලෝකය පුරාම වර්ග 300කටත් වැඩිය ඉන්නවා. උගේ ජීවන චක්‍රය මොකක්ද? ඉපදුණායින් පස්සේ, සති කිහිපයක් උගේ අම්මා ඌට කිරි දෙයි. ටිකෙන් ටික උගේ ඇඟේ මවිල් වැඩෙන අතර, කූඩුවෙන් පිට වී යෑමට පුළුවන් වෙනවා. ආහාර සොයන විදිහ ඉගෙනගනිමින් එහෙ මෙහෙ දුව පැන යන ආකාරය ඔබට දැකගන්න පුළුවන් වේවි. ඒත් බොහෝවිට, ඌ සෙල්ලම් කරමින් දඟකාර වයසින් උපරිම වින්දනයක් ලබන බවයි පේන්නේ. අවුරුද්දක් පමණ වැඩීමෙන් පසුව, ඌ සහකාරියක් සොයයි. එවිට ඌට කූඩුවක් හෝ බෙනයක් සකස් කර පැටවුන් බලාකියා ගන්න සිදු වෙනවා. ඌට ප්‍රමාණවත් ගෙඩි, කජු හා ඇට වර්ග සොයාගන්න පුළුවන් නම්, ලේන් පවුල උස මහතෙන් වැඩී, උන්ගේ නිවහන ලොකු කරන්න සමහරවිට පුළුවන් වේවි. ඒත් අවුරුදු කිහිපයකින්, ඒ සතා මහලු වී, අනතුරුවලට හා රෝගවලට වඩාත් පහසුවෙන් ගොදුරු විය හැකි තත්වයකට පත් වෙයි. අවුරුදු දහයක් විතර වෙද්දී ඌ මියයයි. ලේන් වර්ග අතර පොඩි පොඩි වෙනස්කම් තිබුණත්, උන්ගේ ජීවන චක්‍රය ඒකයි.
12. (අ) යථාර්ථවාදීව කතා කරනවා නම්, මනුෂ්‍යයන් බොහොමයකගේ ජීවන චක්‍රය සාමාන්‍ය සතෙක්ගේ එකට සමාන වන්නේ ඇයි? (ආ) අපේ සිතට එන සතා ඊළඟ වතාවේ දකින විට, අපට කුමක් ගැන කල්පනා කරන්න පුළුවන්ද?
12 සතෙකුට එවැනි ජීවන චක්‍රයක් තිබීම ගැන බොහෝදෙනෙක් විරුද්ධ නොවන අතර, ලේනෙකුට ජීවිතය සම්බන්ධයෙන් බුද්ධිමත් අරමුණක් තිබිය යුතුයි කියලා ඔවුන් හිතන්නේවත් නැහැ. කොහොම වුණත්, මනුෂ්‍යයන් බොහෝදෙනෙක්ගේ ජීවිතය එයට වඩා එතරම් වෙනසක් නැහැ නේද? ඔවුන් ඉපදී, ළදරු වියේ ඔවුන්ව රැකබලා ගැනෙනවා. ඔවුන් කා බී, වැඩී, තරුණ වියේදී සෙල්ලම් කරනවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඔවුන් වැඩිහිටියන් වී, සහකරුවෙකු හෝ සහකාරියක සොයාගෙන, ජීවත් වෙන්න තැනක් හා ආහාර සපයා ගන්න මඟක් සොයනවා. ඔවුන් සාර්ථක වුණොත්, ඔවුන් උස මහතෙන් වැඩී ඔවුන්ගේ නිවහන (කූඩුව) ලොකු කර, එතුළ දරු දැරියන් ඇති දැඩි කරනවා. ඒත් දශක ගණනාව වේගයෙන් ගෙවී යන අතර, ඔවුන් මහලු වෙනවා. “වෙහෙස හා දුකම” පිරුණු අවුරුදු 70කට හෝ 80කට පසුව, සමහරවිට ඊටත් පෙර ඔවුන් මරණයට පත් වෙනවා. (ගීතාවලිය 90:9, 10, 12) ඊළඟ වතාවේ ඔබ ලේනෙක් (හෝ ඔබේ සිතට එන වෙනත් සතෙක්) දකින විට මෙම බැරෑරුම් කාරණා ගැන සිතන්න පුළුවන්.
13. සතුන් මෙන්ම මනුෂ්‍යයන් සම්බන්ධයෙන් සැබෑවක් බවට ඔප්පු වී තියෙන්නේ මොන අවසාන විපාකයද?
13 සාලමොන් මනුෂ්‍යයන්ගේ ජීවිත සතුන්ට සමාන කළේ ඇයි කියලා ඔබට පේනවා. ඔහු මෙහෙම ලිව්වා: “සෑම දේටම . . . [නියමිත, NW] කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්.” පසුව සඳහන් කළ ඒ අවසාන විපාකය, එනම් මරණය මනුෂ්‍යයාට හා සත්වයාට එක සමානවම අත් වෙනවා. “උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය.” ඔහු තවත් මෙහෙමත් කිව්වා: “සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.”—දේශනාකාරයා 3:1, 2, 19, 20.
14. පොදු ජීවන චක්‍රය වෙනස් කරන්න සමහර මිනිසුන් වෑයම් කරන්නේ කොහොමද? නමුත් ඒකෙත් ප්‍රතිඵලය මොකක්ද?
14 මෙම යථාර්ථවාදී ඇගයීම නිෂේධාත්මකව සිතාබැලීමක් කියා සැලකීමට අපට අවශ්‍ය නැහැ. වැඩිපුර වැඩ කිරීමෙන් තම දෙමාපියන්ට වඩා, හොඳ ද්‍රව්‍යමය තත්වයක් ලබාගෙන දියුණු වීමට සමහරුන් වෑයම් කරන බව ඇත්තයි. වඩාත් උසස් ජීවන තත්වයක් පවත්වාගැනීමේ අදහසින් ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් අමතර කාලයක් මිඩංගු කරන්න පුළුවන්; ඒත් සමඟම ජීවිතය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය පුළුල් කරන්නත් ඔවුන් වෑයම් කරනවා. එහෙම නැත්නං, වඩාත් හොඳ සෞඛ්‍ය තත්වයක් ලබන්නත්, ජීවිත කාලය ටිකකින් හරි දීර්ඝ කරන්නත්, ඔවුන් ශාරීරික ව්‍යායාම් කරනවා හෝ ගන්නා ආහාරය ගැන සැලකිලිමත් වෙනවා හෝ වෙන්න පුළුවන්. මෙම ප්‍රයත්නවලින් යම් ප්‍රයෝජනයක් අත් වෙන්න පුළුවන් බව ඇත්තයි. ඒත් එවැනි ප්රයත්නයන් සාර්ථක වෙයි කියලා ස්ථිර වෙන්න පුළුවන් කාටද? සාර්ථක වුණත්, කොතරම් කාලයකටද?
15. බොහෝ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳව මොන අවංක තක්සේරුව වලංගුද?
15 සාලමොන් මෙහෙම ඇසුවා: “නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද? මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?” (දේශනාකාරයා 6:11, 12) මරණය පුද්ගලයෙක්ගේ ප්‍රයත්නවලට සෑහෙන ඉක්මන් අවසානයක් ගෙනෙන නිසා, තවත් ද්‍රව්‍යමය දේවල් ලබාගන්න පොර ඇල්ලීමෙන් හෝ තවත් සැප සම්පත් ලබාගැනීමේ මූලික චේතනාව ඇතුව වර්ෂ ගණනාවක් පුරා අධ්‍යාපනය ලැබීමෙන් හෝ ඇත්තෙන්ම එතරම් වාසියක් තියෙනවාද? එමෙන්ම ජීවිතය පහ වී යන සෙවණැල්ලක් තරම් කෙටි නිසා, තමුන් අසමත් වන බව තේරෙන විට, වෙනත් මනුෂ්‍ය ඉලක්කයක් වෙත ශ්‍රමය යෙදීමට ප්‍රමාණවත් කාලයක් නැති බව බොහෝදෙනෙකුට අවබෝධ වෙනවා; ඒ විතරක් නොවේ, “ඔහුගෙන් පසුව” ඔහුගේ දරුවන්ට මොනව වෙයිද කියලත් මනුෂ්‍යයෙකුට සහතික වෙන්න බැහැ.
හොඳ නමක් ලබාගන්න කාලය දැන්
16. (අ) සතුන්ට කරන්න බැරි මොන දේද අප කළ යුත්තේ? (ආ) අපේ කල්පනාවට බලපෑ යුතු අනිත් සත්‍යය මොකක්ද?
16 සතුන් මෙන් නොව, මෙහෙම ගැඹුරට කල්පනා කරන්න මනුෂ්‍යයන් වන අපට හැකියාව තියෙනවා: ‘මගේ පැවැත්මේ තේරුම මොකක්ද? එය ඉපදෙන්නත් මැරෙන්නත් කාලයක් ඇති නිකම්ම නියම කළ චක්රයක්ද?’ මේ සම්බන්ධයෙන්, මනුෂ්‍යයා හා සත්වයා ගැන සාලමොන් පැවසූ වදන්වල සත්‍යතාව සිහියට නඟන්න: “සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.” මරණය යමෙක්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම අවසන් කරයි කියලා එයින් අදහස් වෙනවාද? ඇත්තෙන්ම, ශරීරයෙන් වෙන්ව දිගටම පවතින අමරණීය ප්‍රාණයක් මනුෂ්‍යයන්ට නැති බව බයිබලය පෙන්නුම් කරනවා. මනුෂ්‍යයෝ ප්‍රාණයෝ; ඒ වගේම පව් කරන ප්‍රාණය නසිනවා. (එසකියෙල් 18:4, 20) සාලමොන් ඒක මෙහෙම තවදුරටත් විස්තර කළා: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 10.
17. දේශනාකාරයා 7:1, 2 අපව පෙලඹවිය යුත්තේ කුමක් ගැන ගැඹුරින් කල්පනා කිරීමටද?
17 එම මඟහැරිය නොහැකි කාරණය නිසා, මෙම ප්‍රකාශය සැලකිල්ලට ගන්න: “හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය. මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත.” (දේශනාකාරයා 7:1, 2) මරණය “සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය” වෙලා තියෙන බවට එකඟ වෙන්න අපට සිදු වෙනවා. කිසිම අමෘතයක් පානය කරලා, විටමින් මිශ්‍රණයක් අනුභව කරලා, යම් ආහාර ගැනීමේ පිළිවෙතක් හෝ යම් ව්‍යායාමයක් අනුගමනය කරලා සදාකාල ජීවනය ලබාගැනීමට කිසිම මනුෂ්‍යයෙකුට පුළුවන් වෙලා නැහැ. එමෙන්ම ඔවුන්ගේ මරණයෙන් වැඩි කලක් නොගොස් “ඔවුන් ගැන සිහිවීම නැති” වෙනවා. එහෙමනං, නමක් ‘අනර්ඝ තෛලයකට වඩා උතුම් වෙන්නෙත්, උපන් දවසට වඩා මැරෙන දවස හොඳ වෙන්නෙත්’ ඇයි?
18. සාලමොන් නැවත නැඟිටීම ගැන විශ්වාස කළා කියා අපට සහතික විය හැක්කේ ඇයි?
18 කලින් සඳහන් කළා වගේ, සාලමොන් යථාර්ථවාදී කෙනෙක්. ඔහුගේ මුතුන්මිත්තන් වූ ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් ගැන ඔහු දැන සිටියා; ඔවුන් අපේ මැවුම්කරු සමඟ හොඳ නමක් ඇති කරගෙන තිබුණු බවට කිසිම සැකයක් නැහැ. ආබ්‍රහම්ව හොඳින් දැනහඳුනා ගත් යෙහෝවා දෙවි, ඔහුටත් ඔහුගේ වංශයටත් ආශීර්වාද කරන්න පොරොන්දු වුණා. (උත්පත්ති 18:18, 19; 22:17) ඔව්, දෙවි සමඟ ආබ්‍රහම් හොඳ නමක් ඇති කරගත් අතර, ඔහුගේ මිත්‍රයා බවට පත් වුණා. (2 ලේකම් 20:7; යෙසායා 41:8; යාකොබ් 2:23) ඔහුගේ ජීවිතයවත් ඔහුගේ පුතාගේ ජීවිතයවත්, ඉපදීම හා මරණය ඇතුළත් නිමක් නැති චක්‍රයකට අයත් නොවන බව ආබ්‍රහම් දැන සිටියා. ඊටත් වඩා වැඩි දෙයක් එයට ඇතුළත් වූ බවට සහතිකයි. ඔවුන්ට නැවත ජීවත්වීමේ ස්ථිර අපේක්ෂාව තිබුණා; ඒ කියන්නේ, අමරණීය ප්‍රාණයක් ඔවුන්ට තිබුණු නිසා නොව, නමුත් ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන නිසා. ඊසාක්ව “මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි” ආබ්‍රහම්ට ඒත්තු ගියා.—හෙබ්‍රෙව් 11:17-19.
19. දේශනාකාරයා 7:1හි තේරුම සම්බන්ධයෙන්, අපට යෝබ්ගෙන් මොන වගේ තීක්ෂ්ණ බුද්ධියක් ලබාගන්න පුළුවන්ද?
19 “හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය” කියන එක තේරුම්ගන්න යතුර ඒකයි. තමාට කලින් සිටි යෝබ් වගේ, සාලමොන්ටත් ඒත්තු ගියා, මනුෂ්‍ය ජීවිතය මැවූ තැනැත්තාට එය ආපසු දෙන්න පුළුවන් බව. මියගොස් ඇති මනුෂ්‍යයන්ව නැවත ජීවත් කරවන්න ඔහුට පුළුවන්. (යෝබ් 14:7-14) විශ්වාසවන්ත යෝබ් මෙහෙම කිව්වා: “ඔබ [යෙහෝවා] අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.” (යෝබ් 14:15) ඒ ගැන ටිකක් සිතා බලන්න! මියගොස් ඇති තම පක්ෂපාත සේවකයන් කෙරෙහි අපේ මැවුම්කරුට ‘[දැඩි, NW] ආශාවක්’ තියෙනවා. (“ඔබගේ අත් වැඩය නැවත වතාවක් දකින්න ඔබ කැමති වනවා ඇත.”—ද ජෙරූසලම් බයිබල්.) යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව අදාළ කිරීමෙන්, මැවුම්කරුට පුළුවන් මනුෂ්‍යයන්ව නැවත නැඟිටුවන්න. (යොහන් 3:16; ක්‍රියා 24:15) මියයන සතුන්ට වඩා මනුෂ්‍යයන් වෙනස් වෙන්න පුළුවන් බව පැහැදිලියි.
20. (අ) උපන් දවසට වඩා මැරෙන දවස හොඳ වෙන්නේ මොන අවස්ථාවේදීද? (ආ) ලාසරුස්ගේ නැවත නැඟිටීම බොහෝදෙනෙක්ට බලපාන්න ඇත්තේ කොහොමද?
20 මියයන විශ්වාසවන්ත අයව නැවත නැඟිටුවන්න පුළුවන්කමක් තියෙන යෙහෝවාත් එක්ක යමෙක් හොඳ නමක් ඒ වන විට ඇති කරගෙන තියෙනවා නම්, මැරෙන දවස තමා ඉපදෙන දවසට වඩා හොඳ වෙන්න පුළුවන් බව මෙයින් අදහස් වෙනවා. වඩාත් ශ්‍රේෂ්ඨ සාලමොන් වූ යේසුස් ක්‍රිස්තුස් එය ඔප්පු කළා. උදාහරණයක් වශයෙන්, ඔහු ලාසරුස් කියන විශ්වාසවන්ත මනුෂ්‍යයාව නැවත ජීවත් කෙරෙව්වා. (ලූක් 11:31; යොහන් 11:1-44) ඔබට හිතාගන්න පුළුවන් ආකාරයට, ලාසරුස්ව නැවත ජීවත් කරවීම ඇස්වලටම දැක්ක බොහෝදෙනෙකුට එය තදින්ම බලපෑවා; ඒ වගේම, ඔවුන් දෙවිගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල දැක්වූවා. (යොහන් 11:45) තමුන් කවුද කියාවත්, යන්නේ කොහේද කියාවත් කිසිම අදහසක්වත් නැතුව, ඔවුන්ගේ ජීවිතයේ අරමුණක් නැහැයි කියලා ඔවුන්ට හැඟුණා කියා ඔබ හිතනවාද? ඊට පටහැනිව, තමුන්ට නිකම්ම ඉපදී, කලක් ජීවත් වී, පසුව මියයන සතුන් වෙන්න ඕනෑ නැහැ කියන එක ඔවුන්ට පැහැදිලි වුණා. ඔවුන්ගේ ජීවිතයේ අරමුණ කෙළින්ම හා කිට්ටුවෙන්ම බැඳී තිබුණේ යේසුගේ පියාව දැනසිටීම හා ඔහුගේ කැමැත්ත කිරීම එක්කයි. ඔබේ තත්වය මොකක්ද? ඔබේ ජීවිතයට සැබෑ අරමුණක් තිබිය හැකි බව දකින්නත්, තිබිය යුතු බව දකින්නත්, එහෙම නැත්නම් වඩාත් පැහැදිලිව දකින්නත් මෙම සාකච්ඡාව ඔබට උපකාරයක් වෙලා තියෙනවාද?
21. අපේ ජීවිතයේ අර්ථවත්බව සෙවීමේදී, අපට තවමත් ඕනෑ වෙන්නේ මොන පැත්ත පරීක්ෂා කර බලන්නද?
21 ඒත්, ජීවිතයට සැබෑ මෙන්ම අර්ථවත් අරමුණක් තිබීමෙන් අදහස් වෙන්නේ, මරණය ගැනත් ඉන් පසුව ජීවත්වීම ගැනත් නිකම් කල්පනා කරනවාට වඩා වැඩි දෙයක්. අපි අපේ ජීවිතයේදී දෛනික පදනමක් මත කරන දේ එයට ඇතුළත්. මීළඟ ලිපියෙහි අපි දකින්න යන විදිහට, සාලමොනුත් දේශනාකාරයා පොතේ ඒ බව පැහැදිලි කළා.
[පාදසටහන]
a “ෂෙබායේ බිසව පිළිබඳ විස්තරය සාලමොන්ගේ ප්‍රඥාව අවධාරණය කරයි; මෙම කතන්දරය නොයෙක් විට ප්‍රබන්ධයක් හැටියට හඳුන්වා තිබේ. (1 රා. 10:1-13). එහෙත් ඇය ඇත්තටම සාලමොන් බැහැදකින්න පැමිණියේ වෙළඳ කටයුතුවල නිරත වීමට බව අවට පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වන අතර, එම පැහැදිලි කිරීම තේරුම්ගත හැකියි; එහි ඓතිහාසිකත්වය සැක කළ යුතු නැත.”—දි ඉන්ට’නැෂනල් ස්ටෑන්ඩ’ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා (1988), IV වෙළුම, 567 පිටුව.
ඔබට මතකද?
◻ සතුන් හා මනුෂ්‍යයන් සැසඳිය හැක්කේ මොන ආකාරවලින්ද?
◻ මනුෂ්‍යයාගේ ප්රයත්න හා වැඩකටයුතුවලින් බොහොමයක් නිෂ්ඵලයි කියලා මරණය අවධාරණය කරන්නේ ඇයි?
◻ උපන් දවසට වඩා මැරෙන දවස හොඳ වෙන්න පුළුවන් කොහොමද?
◻ ජීවිතයේ අර්ථවත් අරමුණක් තියෙන එක, රඳා පවතින්නේ මොන සම්බන්ධය මතද?
[10වන පිටුවේ පින්තූර]
ඔබේ ජීවිතය සතුන්ගේ ජීවිතයට වඩා සැලකිය යුතු ආකාරයකින් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද?