යෙහෝවඃවහන්සේගේ පවුල අනගි සමඟියක් භුක්තිවිඳියි
“බලව, සහෝදරයන් එකඟව [සමඟියෙන්, NW] වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!”—ගීතාවලිය 133:1.
1. අදදින බොහෝ පවුල්වල තත්වය කුමක්ද?
පවුල අදදින අර්බුදයකට මුහුණ පා සිටී. පවුල් බොහොමයක, විවාහ බන්ධන බිඳවැටීමට ආසන්න තත්වයක පවතී. දික්කසාදය එන්ට එන්ටම පොදු දෙයක් බවට පත් වන අතර, දික්කසාද වූ යුවළයන්ගේ දරුවන් බොහෝදෙනෙක් මහත් ශෝකයක් අද්දකිමින් සිටිති. පවුල් මිලියන ගණනක් අසන්තෝෂයෙන් හා අසමඟියෙන් සිටිත්. එහෙත්, සැබෑ ප්‍රීතිය හා අව්‍යාජ සමඟිය දැනහඳුනා ගන්නාවූ එක් පවුලක් සිටී. එනම් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ විශ්වනීය පවුලයි. එතුළ, අදෘශ්‍යමාන දේවදූතයෝ දහස් ගණනක් දිව්‍ය කැමැත්තට එකඟව තමුන්ට පැවරී තිබෙන කාර්යයන්හි නියැලෙති. (ගීතාවලිය 103:20, 21) එහෙත් එවන් සමඟියක් භුක්තිවිඳින පවුලක් මිහිපිට සිටීද?
2, 3. (අ) දෙවියන්වහන්සේගේ විශ්වනීය පවුලට දැන් අයත්වන්නෝ කවරහුද, එමෙන්ම අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලුදෙනාවම අපට කුමකට සම කළ හැකිද? (ආ) අප සාකච්ඡා කරනු ඇත්තේ කුමන ප්‍රශ්නද?
2 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “ස්වර්ගයෙහිද පොළොවෙහිද, ඒ ඒ ගෝත්‍රයට [පවුලට, NW] නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනම[න්නෙමි].” (එපීස 3:14, 15) දෙවියන්වහන්සේ මැවුම්කරුවාණන් වන බැවින්, මිහිපිට සෑම වංශයක්ම තම නම වෙනුවෙන් උන්වහන්සේට ණයගැතිය. ස්වර්ගයෙහි මිනිස් පවුල් නැතත්, උපමේය අන්දමින් දෙවියන්වහන්සේ ස්වකීය ස්වර්ගික සංවිධානය සමඟ විවාහ වී සිටින අතර, ස්වර්ගයේදී ආත්මික මණාලියක් යේසුස්වහන්සේ හා එක්ව සිටිනු ඇත. (යෙසායා 54:5; ලූක් 20:34, 35; 1 කොරින්ති 15:50; 2 කොරින්ති 11:2) පොළොව මත සිටින විශ්වාසවන්ත අභිෂේක ලත් අය, දැන් දෙවියන්වහන්සේගේ විශ්වනීය පවුලට අයත්ව සිටින අතර, භූමික බලාපොරොත්තුව ඇති යේසුස්වහන්සේගේ “වෙනත් බැටළුවෝ” එහි අපේක්ෂිත සාමාජිකයෝ වෙති. (යොහන් 10:16; රෝම 8:14-17; මුරටැඹ, 1996 ජනවාරි 15, 31වන පිටුව) කෙසේවෙතත්, අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලුදෙනාවම, එක්සත් ලෝක ව්‍යාප්ත පවුලකට සම කළ හැක.
3 ඔබ දෙවියන්වහන්සේගේ සේවකයන්ගෙන් යුත් පුදුම දනවන අන්තර්ජාතික පවුලට අයත් වන්නෙහිද? ඔබ අයත් වන්නෙහි නම්, කෙනෙකුට තිබිය හැකි විශිෂ්ටතම ආශීර්වාදවලින් එකක් ඔබ භුක්තිවිඳින්නෙහිය. යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත පවුල—එනම් උන්වහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය—සතුරුකමෙන් හා අසමඟියෙන් යුත් ලෞකික කාන්තාරයක තිබෙන සාමයෙන් හා සමඟියෙන් යුත් ක්ෂේම භූමියක් බවට මිලියන සංඛ්‍යාතයක් සාක්ෂිදරත්. යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත පවුලේ සමඟිය කෙසේ විස්තර කළ හැකිද? තවද එවන් සමඟියකට අනුබල දෙන සාධක කවරේද?
කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!
4. ගීතාවලිය 133හි සහෝදර සමඟිය ගැන කියන දේ, ඔබේම වචනවලින් ඔබ විස්තර කරන්නේ කෙසේද?
4 ගීතිකාකාර දාවිත් සහෝදර සමඟිය බෙහෙවින් අගය කළේය. ඒ ගැන ගායනා කිරීමට පවා හෙතෙම ආනුභාවය ලැබීය! ඔහු සිය වීණාව අතැතිව මෙසේ ගායනා කළ අන්දම සිතෙහි මවාගන්න: “බලව, සහෝදරයන් එකඟව [සමඟියෙන්, NW] වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද! එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.”—ගීතාවලිය 133:1-3.
5. ගීතාවලිය 133:1, 2හි ඇති පදනම මත, ඉශ්‍රායෙලිතයන් හා දෙවියන්වහන්සේගේ නවීන දින සේවකයන් අතර කවර සැසඳීමක් කළ හැකිද?
5 දෙවියන්වහන්සේගේ පැරණි ජනයා වූ ඉශ්රායෙල්වරුන් භුක්තිවින්දාවූ සහෝදර සමඟියට එම වදන් අදාළ විය. තම වාර්ෂික මංගල්‍යයන් තුන සඳහා යෙරුසලමෙහි සිටි විට, ඔවුහු සමඟියෙන් එකට ජීවත් වූහ. විවිධ ගෝත්‍රවලින් පැමිණියත්, ඔවුහු එකම පවුලක් වූහ. ප්‍රියමනාප සුවඳකින් යුත් නැවුම්බවක් ගෙන දෙන අභිෂේක කිරීමේ තෙල් මෙන්, එකට කල් ගෙවීම, ඔවුන් කෙරෙහි හිතකර බලපෑමක් ඇති කළේය. එවන් තෛලයක් ආරොන්ගේ හිස පිට වත් කරනු ලැබූ විට, එය ඔහුගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රයේ වාටිය දක්වා බැස්සේය. එකට සිටීම, ඉශ්රායෙල්වරුන් සඳහා යහපත් බලපෑමක් වූ අතර, සමස්තයක් වශයෙන් රැස්වූ ජනයා වෙත එම බලපෑම විහිදී ගියේය. වරදවා තේරුම්ගැනීම් නිරාකරණය කරනු ලැබූ අතර, සමඟිය වැඩිදියුණු කෙරිණ. ඒ හා සමාන සමඟියක් අදදින යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත පවුලෙහි පවතී. නිතිපතා ආශ්‍රය කිරීම එහි සාමාජිකයන් කෙරෙහි හිතකර ආත්මික බලපෑමක් ඇති කරයි. දේවවචනයෙහි උපදෙස් අදාළ කරනු ලබත්ම, ඕනෑම වරදවා තේරුම්ගැනීමක් හෝ දුෂ්කරතාවක් සමථයකට පත් කරනු ලැබේ. (මතෙව් 5:23, 24; 18:15-17) තම සහෝදර සමඟියේ ප්‍රතිඵලයක් වශයෙන් ඉස්මතු වන අන්‍යොන්‍ය දිරිගැන්වීම යෙහෝවඃවහන්සේගේ ජනයා බෙහෙවින් අගය කරති.
6, 7. ඉශ්රායෙල්හි සමඟිය හෙර්මොන් කන්දෙහි පිනිවලට සමාන වූයේ කෙසේද, එමෙන්ම අදදින දෙවියන්වහන්සේගේ ආශීර්වාදය සොයාගත හැක්කේ කොතැනින්ද?
6 ඉශ්රායෙල්වරුන් සමඟියෙන් එකට වාසය කිරීම හෙර්මොන් කන්දෙහි පිනි හා සමාන වූයේ කෙසේද? මෙම කන්දෙහි මුදුන මුහුදු මට්ටමෙන් මීටර් 2,800කට වඩා උස්ව තිබෙන බැවින්, වර්ෂය පුරාම පාහේ හිමෙන් වැසී පවතී. හිමෙන් වැසුණු හෙර්මොන්හි මුදුන රාත්‍රී වාෂ්පවල ඝනීභවනයට හේතු වන අතර, මෙනයින් දිගුකලක් පවතින වියළි ඍතුවේදී වෘක්ෂලතාදිය පෝෂණය කරන පිනි විශාල ප්‍රමාණයක් නිපදවනු ලැබේ. දකුණේ පිහිටි යෙරුසලම වැනි ඈතකට එම වාෂ්ප ගෙන යෑමට, හෙර්මොන් කඳු පෙළෙන් නික්මෙන ශීත වායු ධාරාවන්ට හැක, එහිදී ඒවා පිනි වශයෙන් ඝනීභවනය වේ. එනිසා ‘සියොන් කන්ද පිට බසින හෙර්මොන්හි පිනි’ ගැන ගීතිකාකරු නිවැරදිව කතා කළේය. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුලේ සමඟියට අනුබල දෙන නැවුම්බවක් ගෙනෙන බලපෑම ගැන මොනතරම් කදිම සිහිගැන්වීමක්ද!
7 ක්‍රිස්තියානි සභාව පිහිටුවීමට කලින්, සියොන් නොහොත් යෙරුසලම සැබෑ නමස්කාරයෙහි කේන්ද්‍රස්ථානය විය. එනිසා, ආශීර්වාදය තිබිය යුතු බවට දෙවියන්වහන්සේ නියම කළ ස්ථානය එයයි. සියලු ආශීර්වාදවල ප්රභවයාණන්, යෙරුසලමෙහි ශුද්ධස්ථානයේ සංකේතාත්මක ආකාරයකින් වාසය කළ බැවින්, ආශීර්වාද එතැනින් නික්මෙනු ඇත. කෙසේවෙතත්, සැබෑ නමස්කාරය තවදුරටත් යම් නියමිත ස්ථානයකට සීමා වී නොමැති බැවින්, දෙවියන්වහන්සේගේ සේවකයන් සතු ආශීර්වාදය, ප්‍රේමය හා සමඟිය අදදින ලොව පුරා දැකගත හැක. (යොහන් 13:34, 35) මෙම සමඟියට අනුබල දෙන ඇතැම් සාධක කවරේද?
සමඟියට අනුබල දෙන සාධක
8. යොහන් 17:20, 21හි සමඟිය ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?
8 යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ සමඟිය පදනම් වී ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් ඇතුළුව, නිවැරදිව අවබෝධ කරගත් දේවවචනයට අවනත වීම මතයි. සත්‍යයට සාක්ෂිදැරීමටත්, පූජනීය මරණයක් විඳීමටත් යෙහෝවඃවහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවීම මගින්, එක්සත් ක්‍රිස්තියානි සභාවක් ගොඩනැංවීමට මාර්ගය විවෘත විය. (යොහන් 3:16; 18:37) එහි සාමාජිකයන් අතර අව්‍යාජ සමඟියක් තිබිය යුතු බවට වූ කාරණය, යේසුස්වහන්සේ මෙසේ යාච්ඤා කළ විට පැහැදිලි කරන ලදි: “මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්, ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක්මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.” (යොහන් 17:20, 21) දෙවියන්වහන්සේ හා ස්වකීය පුත්‍රයාණන් අතර පවතින සමඟියට සමාන සමඟියක් යේසුස්වහන්සේගේ අනුගාමිකයෝ අත් කරගත්හ. මෙය සිදු වූයේ ඔවුන් දේවවචනයට හා යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වලට අවනත වූ නිසාය. මෙම ආකල්පය, අදදින යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත පවුලේ සමඟියට ප්‍රධාන සාධකයක් වේ.
9. යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සමඟිය සම්බන්ධයෙන් ශුද්ධාත්මයට හිමි වැඩකොටස කුමක්ද?
9 යෙහෝවඃවහන්සේගේ ජනයාව එක්සත් කරවන තවත් සාධකයක් වන්නේ, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරික බලය අප සතුවීමයි. යෙහෝවඃවහන්සේගේ වචනයෙහි එළිදරව් කරන ලද සත්‍යය තේරුම්ගැනීමට අපට උපකාරවත් වන එය, උන්වහන්සේට සමඟියෙන් සේවය කිරීමට මහත් උපකාරයක් වේ. (යොහන් 16:12, 13) සතුරුකම, ඊර්ෂ්‍යාව, කෝපය හා විවාද වැනි භේදභින්න කරවන මාංසික ක්‍රියාවලින් වැළකී සිටීමට ආත්මය අපට උපකාර කරයි. ඒ වෙනුවට, දෙවියන්වහන්සේගේ ආත්මය අප තුළ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ-ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම-දමනය වැනි සමඟි කරවන ඵල වගා කිරීමට මහත් උපකාරයක් වේ.—ගලාති 5:19-23.
10. (අ) සමඟියෙන් යුත් මිනිස් පවුලක පවතින ප්‍රේමය හා යෙහෝවඃවහන්සේට කැප වූ අය අතරේ දකින ප්‍රේමය අතර කුමන සමානකමක් දැක්විය හැකිද? (ආ) තම ආත්මික සහෝදරයන් සමඟ රැස්වීම පිළිබඳව පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු තම හැඟීම් පළ කළේ කෙසේද?
10 සමඟිය ඇති පවුලක සාමාජිකයෝ එකිනෙකාට ප්‍රේම කරන අතර, එකට සිටීම ගැන සන්තෝෂ වෙති. ඒ හා සමානව, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ සමඟිකමේ පවුලේ සාමාජිකයෝ, උන්වහන්සේටත්, ස්වකීය පුත්‍රයාණන්ටත්, සෙසු ඇදහිලිවන්තයන්ටත් ප්‍රේම කරති. (මාර්ක් 12:30; යොහන් 21:15-17; 1 යොහන් 4:21) එකට ආහාර වේලක් ගැනීමෙන් ප්‍රේමයෙන් පිරි සාමාන්‍ය පවුලක් ආස්වාදයක් ලබන්නාක් මෙන්, දෙවියන්වහන්සේට කැප වූ අය, කදිම ආශ්රයෙන් හා විශිෂ්ට ආත්මික ආහාරවලින් ප්‍රයෝජන ලබාගැනීම සඳහා, ක්‍රිස්තියානි රැස්වීම්වල, එක්රැස්වීම්වල හා සමුළුවල සිටීම ගැන සතුටු වෙති. (මතෙව් 24:45-47; හෙබ්‍රෙව් 10:24, 25) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වරක් තත්වය මෙසේ විස්තර කළේය: “මට නම්, සහෝදරයන් සමඟ එක්රැස්වීම ජීවිතයේ ආස්වාදයක් ලැබිය හැකි විශිෂ්ටතම අවස්ථාවක් හා දිරිගැන්වීමට හේතුවක්. රාජ්‍ය ශාලාවට කල්තියා පැමිණෙන්නත්, හැකි තරම් පරක්කු වෙලා යන්නත් මම හරි ආසයි. දෙවියන්වහන්සේගේ සෙනඟ එක්ක කතා කරද්දී මට ඇතුළාන්ත ප්‍රීතියක් දැනෙනවා. මම ඔවුන් අතර සිටිද්දී, හරියටම මගේම පවුලේ අය එක්ක ඉන්නවා වගේ මට හරි පහසුවක් දැනෙනවා.” ඔබටත් හැඟෙන්නේ එලෙසද?—ගීතාවලිය 27:4.
11. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විශේෂයෙන්ම සන්තෝෂය අත් කරගන්නේ කවර කාර්යයෙහි නිරත වීමෙන්ද, තවද අපේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය දෙවියන්වහන්සේගේ සේවය සඳහා දීමෙහි ප්‍රතිඵලය කුමක්ද?
11 එක්සත් පවුලක් දේවල් එකට කිරීමෙන් සන්තෝෂයක් ලබයි. ඒ හා සමානව, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුලට අයත් සාමාජිකයෝ, රාජ්‍ය-දේශනා කිරීමේ හා ගෝලයන්-සෑදීමේ වැඩය සමඟියෙන් කිරීමෙන් ප්‍රීතිය අද්දකිති. (මතෙව් 24:14; 28:19, 20) ඊට නිතිපතා සහභාගි වීමෙන් අපි යෙහෝවඃවහන්සේගේ වෙනත් සාක්ෂිකරුවන්ට වඩාත් ළං වන්නෙමු. දෙවියන්වහන්සේගේ සේවය අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමත්, උන්වහන්සේගේ සෙනඟගේ ක්‍රියාකාරකම් සියල්ලට අත හිත දීමත්, අප අතර පවතින පවුලක් බඳු හැඟීම තව තවත් වැඩි කරයි.
දිව්‍යාණ්ඩු පිළිවෙළක් අත්‍යවශ්‍යය
12. සන්තෝෂයෙන් හා සමඟියෙන් පිරි පවුලක අංග ලක්ෂණ මොනවාද, එමෙන්ම පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවල සමඟිය වැඩිදියුණු කළේ කවර විධිවිධානයද?
12 ශක්තිමත් නමුත් ප්‍රේමනීය මූලිකත්වයක් තිබෙන මෙන්ම පිළිවෙළකට කටයුතු කරන පවුලක් සමඟියෙන් හා සන්තෝෂයෙන් සිටීමට ඇති ඉඩ කඩ වැඩිය. (එපීස 5:22, 33; 6:1) යෙහෝවඃවහන්සේ සාමදායී පිළිවෙළකින් යුත් දෙවිකෙනෙකු වන අතර, ස්වකීය පවුලේ සිටින සියලුදෙනාම උන්වහන්සේව “මහෝත්තමයාණන්” ලෙස සලකති. (දානියෙල් 7:18, 21, 25, 27; 1 කොරින්ති 14:33) උන්වහන්සේ ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සියලු දේවල උරුමක්කාරයා හැටියට පත් කර ඇති බවත්, ස්වර්ගයෙහි හා පොළොවෙහි සියලු බලය උන්වහන්සේට පවරා ඇති බවත් ඔවුහු පිළිගනිති. (මතෙව් 28:18; හෙබ්‍රෙව් 1:1, 2) ක්‍රිස්තුස්වහන්සේ මූලිකයා වශයෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානි සභාව, පිළිවෙළකින් යුත් එක්සත් සංවිධානයකි. (එපීස 5:23) පළමු සියවසේ සභාවල ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා, ප්‍රේරිතයන්ගෙන් හා ආත්මිකව මේරූ වෙනත් ‘වැඩිමහල්ලන්ගෙන්ද’ සෑදුණු පාලක මණ්ඩලයක් තිබිණ. එක් එක් සභාවෙහි පත් කරන ලද අවේක්ෂකයෝ නොහොත් වැඩිමහල්ලෝ මෙන්ම උපස්ථායක සේවකයෝද සිටියෝය. (ක්‍රියා 15:6; පිලිප්පි 1:1) පෙරමුණ ගත් අයට කීකරු වීම සමඟිය ඇති කළේය.—හෙබ්‍රෙව් 13:17.
13. යෙහෝවඃවහන්සේ ජනයාව ඇදගන්නේ කෙසේද, මෙහි ප්‍රතිඵලය කුමක්ද?
13 එහෙත් යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ සමඟිය දැඩි, හිතක් පපුවක් නැති ආකාරයේ මූලිකත්වයක් දැරීම හේතුවෙන් සිදු වන්නක් බව පවතින පිළිවෙළින් යෝජනා කෙරේද? කිසිසේත් නැත! දෙවියන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ සංවිධානය පිළිබඳවත් ප්‍රේමනීය නොවන කිසිවක් නැත. යෙහෝවඃවහන්සේ ජනයාව ඇදගන්නේ ප්‍රේමය පෙන්වීමෙනි, තවද සෑම වසරක් පාසාම සිය දහස් ගණනක්, දෙවියන්වහන්සේට මුළු හෘදයෙන් කැපවීමේ සංකේතයක් වශයෙන් බව්තීස්ම වීමෙන් යෙහෝවඃවහන්සේගේ සංවිධානයට ස්වේච්ඡාවෙන් හා ප්‍රීතියෙන් එකතු වෙති. සෙසු ඉශ්රායෙල්වරුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටි යෝෂුවාට සමාන ස්වභාවයක් ඔවුහු විදහා පෙන්වති: “නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගනිල්ලා. එහෙත් අපි නම්—මමද මාගේ පවුලද—ස්වාමීන්වහන්සේට සේවය කරමු.”—යෝෂුවා 24:15.
14. යෙහෝවඃවහන්සේගේ සංවිධානය දිව්‍යාණ්ඩුමය එකක්යයි අපට පැවසිය හැක්කේ මන්ද?
14 යෙහෝවඃවහන්සේගේ පවුලේ සාමාජිකයන් වශයෙන්, අපි ප්‍රීතිය පමණක් නොව සුරක්ෂිතභාවයද අද්දකින්නෙමු. මෙසේ වන්නේ උන්වහන්සේගේ සංවිධානය දිව්‍යාණ්ඩුමය එකක් වන නිසාය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය දිව්‍යාණ්ඩු තන්ත්රයකි (මෙය රැගෙන තිබෙන්නේ ග්‍රීක් බසින් තෙ·ඔස්ʹ, දෙවියන් සහ ක්‍රාʹටොස්, පාලනයක් යන්නෙනි). එනම්, දෙවියන්වහන්සේ විසින්ම නියම කරන ලද, ස්ථාපිත කරන ලද, උන්වහන්සේගේම පාලනයකි. යෙහෝවඃවහන්සේගේ අභිෂේක ලත් “ශුද්ධවූ ජාතිය” උන්වහන්සේගේ පාලනයට යටත්ව සිටින බැවින්, එයත් දිව්‍යාණ්ඩු තන්ත්රිකය. (1 පේතෘස් 2:9) ශ්‍රේෂ්ඨ දිව්‍යාණ්ඩුමය තැනැන්වහන්සේ වන යෙහෝවඃවහන්සේ අපේ විනිශ්චයකාරයාණන්, නීතිදායකයාණන් හා රජාණන් වශයෙන් සිටීම හේතුවෙන්, සුරක්ෂිතභාවයක් දැනීමට හේතු එමටය. (යෙසායා 33:22) එහෙත්, අපේ ප්‍රීතිය, සුරක්ෂිතභාවය හා සමඟියට තර්ජනයක් එල්ල කරමින් යම් විවාදයක් ඇති වූයේ නම් කුමක් කිව හැකිද?
පාලක මණ්ඩලය ක්‍රියාත්මක වේ
15, 16. පළමු සියවසේ ඉස්මතු වූයේ කවර විවාදයද, ඒ මන්ද?
15 පවුලක සමඟිය පවත්වාගැනීමට නම්, විවාදයක් විටින් විට සමථයකට පත් කරගැනීමට සිදු විය හැක. එසේනම්, පො.යු. පළමු සියවසේ දෙවියන්වහන්සේගේ නමස්කාරකයන්ගේ පවුලේ සමඟිය පවත්වාගෙන යෑමට නිරාකරණය කළ යුතු වූ යම් ආත්මික ගැටලුවක් තිබුණායයි සිතන්න. එවිට කුමක් කළ යුතුද? ආත්මික කාරණා පිළිබඳව තීරණ ගැනීමෙන්, පාලක මණ්ඩලය ක්‍රියාත්මක විය. ගත් එවන් ක්‍රියාමාර්ගයක් ගැන අපට ශුද්ධ ලියවිලිමය වාර්තාවක් තිබේ.
16 පොදු යුගයේ 49දී පමණ, බැරෑරුම් ගැටලුවක් නිරාකරණය කිරීමටත් එමගින් “දෙවියන්වහන්සේගේ පවුලේ” සමඟිය රැකගැනීමටත් පාලක මණ්ඩලය යෙරුසලමෙහි රැස්වූහ. (එපීස 2:19) අවුරුදු 13කට පමණ පෙර, ප්‍රේරිත පේතෘස් කොර්නේලියස්ට දේශනා කර තිබූ අතර, පළමු අන්යජාතිකයෝ නැතහොත් ජාතීන්ගේ ජනයා බව්තීස්ම ලත් ඇදහිලිවන්තයන් බවට පත් වූහ. (ක්‍රියා 10වන පරිච්ඡේදය) පාවුල්ගේ පළමු මිෂනාරි ගමනේදී, අන්‍යජාතිකයන් බොහෝදෙනෙක් ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්හ. (ක්‍රියා 13:1–14:28) ඇත්තෙන්ම, අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගෙන් යුත් සභාවක් සිරියාවේ අන්තියෝකියේ පිහිටා තිබිණ. අන්‍යජාතික ක්‍රිස්තියානි භක්තිකයන් චර්මච්ඡේදනය වී මෝසෙස්ගේ ව්‍යවස්ථාව රැකිය යුතුයයි ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන්ට හැඟුණත්, වෙනත් අය ඊට එකඟ නොවූහ. (ක්‍රියා 15:1-5) මෙම විවාදය සම්පූර්ණ අසමඟියට, යුදෙව් හා අන්‍යජාතික සභා වෙන වෙනම බිහිවීමට පවා මඟ පෑදීමට ඉඩ තිබිණ. එමනිසා ක්‍රිස්තියානි සමඟිය රැකගැනීමට පාලක මණ්ඩලය නොපමාව ක්‍රියාත්මක විය.
17. ක්‍රියා 15වන පරිච්ඡේදයේ විස්තර කර ඇත්තේ කවර එකඟතාවකින් යුත් දිව්‍යාණ්ඩුමය ක්රියාපිළිවෙළද?
17 ක්‍රියා 15:6-22ට අනුව, “ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.” අන්තියෝකියෙන් පැමිණි පිරිසක් ඇතුළුව, වෙනත් අයද පැමිණ සිටියහ. ‘තමාගේ මුඛයෙන් අන්‍යජාතීන් ශුභාරංචිය අසා අදහාගත්’ බව පේතෘස් මුලින්ම පැහැදිලි කළේය. ඊළඟට, බාර්ණබස් සහ පාවුල් “තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ [අපමණ] මහත් ලකුණු සහ පුදුම කෙරෙවූ” අන්දම විස්තර කළ විට, “මුළු සමූහයා” සවන් දුන්හ. ඊළඟට ප්රශ්නය නිරවුල් කළ හැකි අන්දම යාකොබ් යෝජනා කළේය. පාලක මණ්ඩලය තීරණයක් ගත් පසු, අපට මෙසේ පවසා තිබේ: “තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගන පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනීගියේය.” මෙම “තෝරාගනු ලැබුවෝ,” එනම් යූදස් සහ සීලස්—සෙසු ඇදහිලිවන්තයන්ට දිරිගන්වන ලිපියක් ගෙන ආවෝය.
18. පාලක මණ්ඩලය මෝසෙස්ගේ ව්‍යවස්ථාව හා සම්බන්ධව ගත් තීරණය කුමක්ද, තවද මෙය යුදෙව් හා අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට බලපෑවේ කෙසේද?
18 පාලක මණ්ඩලයේ තීරණය දැනුම් දුන් ලිපිය මෙම වදන්වලින් ආරම්භ විය: “ප්‍රේරිතයන්ද සහෝදරවූ වැඩිමහල්ලන්ද අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් කිලිකියෙහිත් වසන අන්‍යජාතිවූ සහෝදරයන්ට ශුභසිද්ධවන ලෙස ලියා එවන වගනම්.” මෙම ඓතිහාසික රැස්වීමට වෙනත් අය පැමිණියත්, පාලක මණ්ඩලය ‘ප්‍රේරිතයන්ගෙන් හා වැඩිමහල්ලන්ගෙන්’ සමන්විත වූ බව පෙනේ. දෙවියන්වහන්සේගේ ආත්මය ඔවුන්ට මඟ පෙන්වීය, මන්දයත් ලිපියෙහි මෙසේ ප්‍රකාශ වන බැවිනි: “රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද නුඹලා වලකින්ට ඕනෑවා මිස, වෙන කිසි බරක් නුඹලා පිට නොතබන්ට ශුද්ධාත්මයාණන්ටත් අපටත් යහපතැයි පෙනීගියේය.” (ක්‍රියා 15:23-29) චර්මච්ඡේදනය වී මෝසෙස්ගේ ව්‍යවස්ථාව රැකීමට ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා නැත. යුදෙව් හා අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට සමඟියෙන් ක්‍රියා කිරීමටත් කතා කිරීමටත් මෙම තීරණය උපකාරවත් විය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ ආත්මික මඟ පෙන්වීම යටතේ අදදින දෙවියන්වහන්සේගේ ලෝක-ව්‍යාප්ත පවුලෙහි සිදු වන්නාක් මෙන්, එම සභාද ප්‍රීති වූ අතර, අනගි සමඟිය දිගටම පවත්වාගෙන යන ලදි.—ක්‍රියා 15:30-35.
දිව්‍යාණ්ඩු සමඟියෙන් සේවය කරන්න
19. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුලෙහි සමඟිය සඵල වන්නේ මන්ද?
19 පවුලක සාමාජිකයන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට, සමඟිය සඵල වෙයි. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ගේ පවුල පිළිබඳවද මෙය සැබෑවකි. දිව්‍යාණ්ඩු පිළිවෙත රැකගත් නිසා, පළමු සියවසේ සභාවේ වැඩිමහල්ලන් හා අනික් අය දෙවියන්වහන්සේට සේවය කළේ පාලක මණ්ඩලයට සම්පූර්ණ සහයෝගය දැක්වීමෙන් හා එහි තීරණ පිළිගැනීමෙනි. පාලක මණ්ඩලයේ උපකාරය ඇතුව, වැඩිමහල්ලන් ‘වචනය දේශනා කළ’ අතර, සභාවේ සාමාජිකයෝ, පොදුවේ ‘එකම දේ කතා කළෝය.’ (2 තිමෝති 4:1, 2; 1 කොරින්ති 1:10) එබැවින් යෙරුසලම, අන්තියෝකිය, රෝමය, කොරින්තිය හෝ වෙනත් ඕනෑම ස්ථානයක් හෝ වේවා, එකම ශුද්ධ ලියවිලිමය සත්‍යතා සේවයෙහි හා ක්‍රිස්තියානි රැස්වීම්වල ඉදිරිපත් කරන ලදි. එවන් දිව්‍යාණ්ඩු සමඟියක් අදදින පවතී.
20. අපේ ක්‍රිස්තියානි සමඟිය රැකගැනීමට නම්, අප කුමක් කළ යුතුද?
20 අපේ සමඟිය රැකගැනීමට නම්, යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත පවුලට අයත්ව සිටින අප සියලුදෙනාම, දිව්‍යාණ්ඩුමය ප්‍රේමය විදහාපෙන්වීමට උත්සාහ කළ යුතුය. (1 යොහන් 4:16) දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් විය යුතු අප, ‘විශ්වාසවන්ත දාසයාට’ හා පාලක මණ්ඩලයට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුය. දෙවියන්වහන්සේට වූ අපේ කැපවීමට සමානව අපේ කීකරුකමද ස්වේච්ඡාවෙන් හා ප්‍රීතියෙන් කරන යමක් බවට කිසි සැකයක් නැත. (1 යොහන් 5:3) ගීතිකාකාරයා ප්‍රීතිය හා කීකරුකම මොනතරම් උචිත අන්දමකින් සම්බන්ධ කළාද! ඔහු මෙසේ ගායනා කළේය: “ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.”—ගීතාවලිය 112:1.
21. අප දිව්‍යාණ්ඩු පිළිවෙළ රකින බව අපට ඔප්පු කළ හැක්කේ කෙසේද?
21 සභාවේ හිස වන යේසුස්වහන්සේ, සම්පූර්ණයෙන්ම දිව්‍යාණ්ඩුමය ලෙස කටයුතු කරමින්, සැමවිටම සිය පියාණන්ගේ කැමැත්ත කරනසේක. (යොහන් 5:30) එසේනම්, යෙහෝවඃවහන්සේගේ සංවිධානයට පූර්ණ සහයෝගය දක්වමින් උන්වහන්සේගේ කැමැත්ත දිව්‍යාණ්ඩුමය ආකාරයකින් හා සමඟියෙන් කිරීමෙන් අපි අපේ ආදර්ශකයාණන් අනුගමනය කරමු. එවිට ප්‍රීතියෙන් හා කෘතඥතාවෙන් පිරි හදින් යුතුව, අපට ගීතිකාකරුගේ ගීතය ප්රතිනාද කළ හැක: “බලව, සහෝදරයන් එකඟව [සමඟියෙන්, NW] වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්රසන්නද!”
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ අපේ ක්‍රිස්තියානි සමඟිය ගීතාවලිය 133ට සම්බන්ධ කළ හැක්කේ කෙසේද?
◻ සමඟිය වැඩිදියුණු කරවන සමහර සාධක මොනවාද?
◻ දෙවියන්වහන්සේගේ සෙනඟගේ සමඟිය සඳහා දිව්‍යාණ්ඩුමය පිළිවෙළක් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
◻ සමඟිය රැකගැනීමට පළමු සියවසේ පාලක මණ්ඩලය ක්‍රියා කළේ කෙසේද?
◻ දිව්‍යාණ්ඩුමය සමඟියෙන් යුක්තව සේවය කිරීම ඔබට අදහස් කරන්නේ කුමක්ද?
[13වන පිටුවේ පින්තූරය]
පාලක මණ්ඩලය සමඟිය රැකගැනීමට ක්‍රියා කළේය