28වන පරිච්ඡේදය
“ඔබ පමණක් පක්ෂපාතය”
1, 2. දාවිත් රජුට ද්‍රෝහිකම නුහුරු නුපුරුදු දෙයක් නොවූ බව කිව හැක්කේ ඇයි?
දාවිත් රජට ද්‍රෝහිකම නුහුරු නුපුරුදු දෙයක් වුණේ නැහැ. ඔහුගේ කැලඹීම් සහිත පාලනයේ එක් අවදියක, ඔහුගේම ජාතියට අයත් කුමන්ත්රණකරුවන් ඔහුගේ රාජ්‍යය පෙරළා දැමීමට උත්සාහ කළා. එපමණක්ද නොවෙයි, දාවිත්ගේ ළඟම මිත්‍රයන් කියා සිතා සිටි අයගෙන් ඇතමෙකු විසින් ඔහුව පාවා දෙනු ලැබුවා. දාවිත්ගේ පළමු බිරිඳ වූ මීඛල් ගැන සලකා බලන්න. ප්‍රථමයෙන් ඇය “දාවිත්ට ආදරේ වූවාය.” එම කාලයේදී ඇය ඔහුගේ රජකමට සම්බන්ධ කාරණා කටයුතුවලට සහයෝගය දුන් බවට කිසිදු සැකයක් නැහැ. කෙසේවෙතත්, පසුව ඇය ‘ඇගේ සිතින් ඔහුව හෙළා දැක්කේ,’ දාවිත් “කමකට නැති කෙනෙක්” කියා සිතමිනුයි.—1 සාමුවෙල් 18:20; 2 සාමුවෙල් 6:16, 20.
2 ඊළඟට, දාවිත්ගේ පෞද්ගලික උපදේශකයා වූ අහිතොපෙල් ගැන සලකා බලමු. ඔහුගේ උපදෙස් සලකන ලද්දේ හරියට යෙහෝවාගෙන් ඍජුවම එන උපදෙස් ලෙසයි. (2 සාමුවෙල් 16:23) නමුත්, අන්තිමේදී මේ හිතේෂිවන්ත සහෘදයා ද්‍රෝහියෙකු බවට පත් වී, දාවිත්ට එරෙහිව සැලසුම් කරනු ලැබූ කැරැල්ලකටත් සම්බන්ධ වුණා. ඇරත් මේ කුමන්ත්රණයේ මූලික වශයෙන් පිටුපස සිටියේ කවුද? දාවිත්ගේම පුත්‍ර අබ්සලොම්! මේ අවස්ථාවාදී කුමන්ත්රණකාරයා, තමාම රජකෙනෙකු කරගෙන, “හොරෙන් ඉශ්රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනාගත්තේය.” අබ්සලොම්ගේ මේ කැරැල්ල කොතරම් දරුණු වීද යත්, දාවිත් රජුට තම ජීවිතය බේරාගැනීම සඳහා පලායන්නට සිදු වුණා.—2 සාමුවෙල් 15:1-6, 12-17.
3. දාවිත්ට තිබූ නිසැකකම කුමක්ද?
3 දාවිත්හට කිසිවෙකු පක්ෂපාතව සිටියේ නැද්ද? තම සියලු විපත්වලදී, එක් පුද්ගලයෙක් නම් පක්ෂපාතව සිටින වග දාවිත් දැනගත්තා. ඒ කවුරුන්ද? ඒ වෙන කිසිවෙකු නොවේ, යෙහෝවා දෙවියි. “ඔබ පක්ෂපාත තැනැත්තාට පක්ෂපාතව ක්‍රියා කරනවා ඇත” කියා දාවිත් යෙහෝවා ගැන පැවසුවා. (2 සාමුවෙල් 22:26, NW) පක්ෂපාතකම යනු කුමක්ද? මේ ගුණාංගය සම්බන්ධව යෙහෝවා උසස්ම ආදර්ශය අප වෙත සපයන්නේ කොහොමද?
පක්ෂපාතකම යනු කුමක්ද?
4, 5. (අ) “පක්ෂපාතකම” යනු කුමක්ද? (ආ) පක්ෂපාතකම විශ්වාසවන්තකමට වඩා වෙනස් වන්නේ කොහොමද?
4 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ භාවිත කර ඇති පරිදි, “පක්ෂපාතකම” යනු යම් වස්තුවකට ප්‍රේමයෙන් බැඳී තිබෙන කරුණාවයි. තවද එම වස්තුව සමඟ බැඳී සිටීමේ පරමාර්ථය ඉෂ්ට වන තාක් කල්, එම කරුණාව එම වස්තුවෙන් ඉවත්ව නොයයි. විශ්වාසවන්තකමට වඩා යමක් මීට ඇතුළත්. යම් පුද්ගලයෙක් හුදෙක් යුතුකමේ හැඟීමක් නිසා යම් දෙයකට විශ්වාසවන්තව සිටින්නට පුළුවනි. මීට පටහැනිව, පක්ෂපාතකම යනු ප්‍රේමය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති දෙයක්.a එපමණක්ද නොවෙයි, “විශ්වාසවන්තකම” යන වචනය අප්‍රාණික දේවලටද අදාළ කරන්නට පුළුවන්. නිදසුනක් වශයෙන්, චන්ද්‍රයා හෙවත් සඳ “ආකාශයෙහි විශ්වාස සාක්ෂිය” යයි ගීතිකාකරු හැඳින්වූවා. මන්ද, එය නිතිපතා රාත්‍රි අහසේ දකින්නට තිබෙනවා. (ගීතාවලිය 89:37) එහෙත්, චන්ද්‍රයා පක්ෂපාතයි කියා විස්තර කරන්නට බැහැ. ඒ ඇයි? මන්දයත් පක්ෂපාතකම කියන්නේ ප්‍රේමයේ, එනම් අප්‍රාණ දෙයකට විදහාපෙන්විය නොහැකි වූ ප්‍රේමයේ ප්‍රකාශයක්.
5 ශුද්ධ ලියවිලිමය අරුත අතින් පක්ෂපාතකම උණුසුම් ස්නේහය පෙන්වන්නක්. ඒ වගේම එම ගුණාංගය විදහාපෙන්වන තැනැත්තා සහ එය අද්දකින තැනැත්තා අතර සම්බන්ධයක් තිබෙන බව එයින් අඟවනවා. එවැනි පක්ෂපාතකමක් චපල නැහැ. වරින් වර වෙනස් වන සුළඟේ සැර නිසා ඉහළ පහළ යන මුහුදේ රැළ වගේ නෙවෙයි එය. ඊට වෙනස්ව, පක්ෂපාතකමට හෙවත් පක්ෂපාත ප්‍රේමයට, ඉතා ප්‍රබල බාධක පවා ජය ගන්නට අවශ්‍ය ස්ථාවරත්වය හා ශක්තිය තිබෙනවා.
6. (අ) මිනිසුන් අතර පක්ෂපාතකම දකින්නට ලැබෙන්නේ කොතරම් කලාතුරකින්ද? මෙය බයිබලයෙහි අඟවා ඇත්තේ කෙලෙසද? (ආ) පක්ෂපාතකමට අයත් වන දේ ඉගෙනගැනීමට ඇති හොඳම ක්‍රමය කුමක්ද? ඒ මන්ද?
6 එවන් පක්ෂපාතකමක් අදදින කලාතුරකින් පවතින දෙයක් බව සැබෑවක්. සාමාන්‍යයෙන් සිදු වන්නේ, සමීපතම මිතුරන් “එකිනෙකාව කැබලි කර දැමීමට නැඹුරු” වී සිටීමයි. විවාහකයන් තමන්ගේ කලත්‍රයන්ව අතහැර දැමීම පිළිබඳව අප අසන වාර්තා එන්ට එන්ටම වැඩි වෙනවා. (හිතෝපදේශ 18:24, NW; මලාකී 2:14-16) චපල ක්‍රියා කොපමණ බහුලද කියතොත්, අපට සිදු වී ඇත්තේ අනාගතවක්තෘ මීකාගේ මේ වචන ප්රතිනාද කිරීමටයි. “භක්තිවන්තයා [පක්ෂපාත තැනැත්තා, NW] දේශයෙන් නැති වී ගියේය.” (මීකා 7:2) බොහෝ විට මිනිසුන් ප්‍රේමනීය කරුණාව පෙන්වීමට අසමත් වුවද, පක්ෂපාතකම යෙහෝවාගේ ඉතා කැපීපෙනෙන ගති ලක්ෂණයක් බව කිව හැකියි. ඇත්ත වශයෙන්ම, පක්ෂපාතකමට අයත් වන දේ ඉගෙනගැනීමට ඇති හොඳම ක්‍රමය තමයි යෙහෝවා සිය ප්‍රේමයේ මෙම උදාර අංගය විදහාපාන අන්දම සෝදිසි කර බැලීම.
යෙහෝවාගේ අද්විතීය පක්ෂපාතකම
7, 8. යෙහෝවා පමණක්ම පක්ෂපාත බව කිව හැක්කේ මන්ද?
7 බයිබලය යෙහෝවා ගැන පවසන්නේ මෙහෙමයි. “ඔබ පමණක් පක්ෂපාතය.” (එළිදරව් 15:4, NW) එසේ වනුයේ කොහොමද? මිනිසුන් සහ දේවදූතයන් යන දෙපාර්ශ්වයම ඇතැම් අවස්ථාවලදී මෙම පක්ෂපාතකම කැපීපෙනෙන අයුරින් විදහා පා නැද්ද? (යෝබ් 1:1; එළිදරව් 4:8) ඇරත් යේසුස් ක්‍රිස්තුස් ගැන කුමක් කිව හැකිද? ඔහු දෙවිගේ ප්‍රධාන “පක්ෂපාත තැනැත්තා” නොවේද? (ගීතාවලිය 16:10, NW) එසේ නම්, යෙහෝවා පමණක්ම පක්ෂපාත බව කිව හැක්කේ කොහොමද?
8 පළමුව, මතක තබාගත යුතු දෙයක් වන්නේ පක්ෂපාතකම ප්‍රේමයේ අංගයක් බවයි. “දෙවි ප්‍රේමය” නිසා, එනම් ප්‍රේමය නමැති ගුණාංගයේ පුද්ගලාරෝපණය ඔහු නිසා, යෙහෝවාට වඩා වැඩියෙන් පක්ෂපාතකම පෙන්විය හැක්කේ වෙන කාටද? (1 යොහන් 4:8) දේවදූතයන් හා මිනිසුන් දෙවිගේ ගති ලක්ෂණ විදහාපානවා විය හැකියි. නමුත් පක්ෂපාතකමේ උසස්ම ස්ථානයේ සිටින්නේ යෙහෝවා පමණයි. “පුරාතන” තැනැත්තා වශයෙන් ඔහු, පොළොවේ වේවා ස්වර්ගයෙහි වේවා වෙන කිසිම මැවිල්ලකට වඩා වැඩි කාලයක් මෙම ප්‍රේමනීය කරුණාව විදහාපාමින් සිටිනවා. (දානියෙල් 7:9) මෙබැවින්, යෙහෝවා පමණක්ම පක්ෂපාතකමේ ප්‍රතිමූර්තිය කියා කියන්නට පුළුවන්. ඔහු මේ ගුණාංගය විදහාපාන්නේ වෙනත් කිසිදු මැවිල්ලක් විසින් නොපෙන්වන ආකාරයකටයි. මේ ගැන උදාහරණ කිහිපයක් සලකා බලන්න.
9. යෙහෝවා “තම සියලු වැඩවලදී පක්ෂපාත” වනුයේ කොහොමද?
9 යෙහෝවා “තම සියලු වැඩවලදී පක්ෂපාතය.” (ගීතාවලිය 145:17, NW) කිනම් අන්දමින්ද? ගීතාවලිය 136වන පරිච්ඡේදය අපට ඊට පිළිතුර දෙනවා. එහි යෙහෝවාගේ ගැළවීමේ ක්‍රියාවන් ගණනාවක්ම සඳහන් කර තිබෙන අතර, රතු මුහුද මැදින් ඉශ්‍රායෙලිතයන්ව ඉතා චමත්කාරජනක අන්දමින් ගළවාගැනීමද ඊට ඇතුළත්. මෙහි කැපීපෙනෙන දෙයක් තමයි, මෙම ගීතිකාවේ සෑම පදයකම, “ඔහුගේ ප්‍රේමනීය කරුණාව [හෙවත් පක්ෂපාතකම] සදහටම පවතින්නේය” [NW] යන යෙදුම කාවද්දවා තිබීම. මෙම ගීතිකාව, 289වන පිටුවේ මෙනෙහි කිරීම සඳහා ප්රශ්නවල ඇතුළත් කර තිබෙනවා. ඔබ එම පද කියවා බලත්ම, යෙහෝවා සිය ජනයා කෙරෙහි ප්‍රේමනීය කරුණාව පෙන්වා ඇති විවිධ ක්‍රම ගැන දැනගන්නා විට ඔබ පුදුමයට පත් වන බවට කිසිදු සැකයක් නැහැ. ඔව්, යෙහෝවා සිය විශ්වාසවන්ත සේවකයන් සඳහා තම පක්ෂපාතකම විදහාපානවා. එසේ කරන්නේ පිහිට ඉල්ලා ඔවුන් කරන මොරගැසීම් ඇසීමෙන් හා නියමිත කාලයේදී අවශ්‍ය පියවර ගැනීමෙන්. (ගීතාවලිය 34:6) යෙහෝවාගේ සේවකයන් ඔහුට පක්ෂපාතව සිටින තුරා, ඔහුගේ පක්ෂපාත ප්‍රේමය වෙනස් වෙන්නේ නම් නැහැ.
10. සිය ප්‍රමිති සම්බන්ධව යෙහෝවා පක්ෂපාතකම නිරූපණය කරන්නේ කොහොමද?
10 මීට අමතරව, යෙහෝවා සිය සේවකයන්හට පක්ෂපාතකම පෙන්වන්නේ සිය ප්‍රමිතිවලට එලෙසින්ම ඇලී සිටීමෙන්. ආවේගයන් සහ නිකම් හැඟීම්වලින්ම පාලනය වන ඇතැම් මිනිසුන් මෙන්, හරි දෙය හා වැරදි දෙය ගැන දෙගිඩියාවෙන් හෝ අවිනිශ්චිතභාවයෙන් එහාට මෙහාට වැනෙන කෙනෙක් නොවෙයි යෙහෝවා. සහස්‍රයන් ගණනාවක් පුරා, භූතවාදය, රූප වන්දනාව සහ මිනීමැරීම යන දේවල් පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ. “මහලු වයස දක්වාත් මම එසේමය” යයි ඔහු අනාගතවක්තෘ යෙසායා තුළින් සඳහන් කළා. (යෙසායා 46:4) මේ අනුව, දේවවචනය තුළ සඳහන් පැහැදිලි සදාචාර මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙන් අපට ප්‍රයෝජන ගත හැකි බවට සහතික කරගත හැකියි.—යෙසායා 48:17-19.
11. යෙහෝවා තම වචන විශ්වාසවන්තව ඉටු කරන බව පෙන්වන උදාහරණ මොනවාද?
11 යෙහෝවා තවත් අන්දමකින්ද තම පක්ෂපාතකම පෙන්වනවා. ඒ තමයි, තමන් කළ පොරොන්දුවලට විශ්වාසවන්තව සිටීම. ඔහු යමක් ගැන කලින් කිව්වොත්, එය අකුරටම ඉෂ්ට කරනවා. යෙහෝවා මෙසේ පැවසුවා. “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදු කොට, මා නියම කළ කාරණය සඵල කරනවා ඇත.” (යෙසායා 55:11) තම වචනයට එලෙසින්ම පක්ෂපාතව සිටීමෙන් යෙහෝවා සිය ජනයාට පක්ෂපාතිත්වය පෙන්වනවා. තමන් විසින් ඉෂ්ට කිරීමට යන්නේ නැති යම් දෙයක් ගැන කනස්සල්ලෙන් යුතුව බලා සිටීමට තම ජනයාට ඔහු ඉඩහරින්නේ නැහැ. මේ සම්බන්ධව යෙහෝවාගේ කීර්ති නාමය කොතරම්ම දෝෂ රහිතද කියනවා නම්, ඔහුගේ සේවකයෙකු වූ යෝෂුවාට මෙසේ කියන්නට හැකි වුණා. “යෙහෝවා ඉශ්රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදු වුණේය.” (යෝෂුවා 21:45) එසේ නම්, යෙහෝවා විසින් කර ඇති පොරොන්දු ඔහුට ඉෂ්ට කරගන්නට බැරිවීම නිසා අපි අපේක්ෂා භංගත්වයකට පත්වීම කෙදිනකවත් සිදු වෙන්නේ නැහැ.—යෙසායා 49:23; රෝම 5:5.
12, 13. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව “සදහටම පවතින්නේ” කිනම් ආකාරවලින්ද?
12 අප මීට කලින් දුටුවාක් මෙන්, බයිබලය අපට කියන්නේ යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව ‘සදහටම පවතින’ බවයි. (ගීතාවලිය 136:1) මෙය මෙසේ වන්නේ කොහොමද? එක් අර්ථයකින් යෙහෝවා පාපවලට සමාව දෙන්නේ සදාතනිකවයි. විසිහයවන පරිච්ඡේදයේ සාකච්ඡා කරනු ලැබුවාක් මෙන්, යම් පුද්ගලයෙකු විසින් කරනු ලැබූ වැරදිවලට සමාව දී තිබේ නම්, යෙහෝවා එම වැරදි යළිත් වරක් ඉස්මතු කරන්නේ නැහැ. ‘සියල්ලන්ම පව් කොට දෙවිගේ මහිමයෙන් හීනව සිටින’ නිසා, යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව සදාකල්ම පැවතීම ගැන අප සෑම කෙනෙක්ම කෘතඥපූර්වක විය යුතුයි.—රෝම 3:23.
13 එහෙත්, යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව තවත් අර්ථයකින් ගත් විටද සදාකල් පවතිනවා. ධර්මිෂ්ඨ පුද්ගලයා ‘දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන බවත්, ඔහු කරන සියල්ල සඵල වන බවත්’ ඔහුගේ වචනයේ පවසනවා. (ගීතාවලිය 1:3) කිසිවිටකත් නොමැලවෙන හෝ වියළෙන්නේ නැති කොළ වදුලක් ඇති සාරවත් ගසක් ගැන සිතන්න! දේවවචනය තුළින් අපද අවංක සතුටක් ලැබුවහොත්, අපගේ ජීවිතයත් ඒ ගස වගේමයි. එය දිගුකල් වැජඹෙන, සාමකාමී හා සාරවත් ජීවිතයක් වේවි. යෙහෝවා සිය විශ්වාසවන්ත සේවකයන්ට පක්ෂපාත ලෙස විහිදන ආශීර්වාද සදාකාලිකයි. ඇත්ත වශයෙන්ම, ඔහු ගෙනෙන ධර්මිෂ්ඨ නව ලෝකය තුළ, කීකරු මිනිස් සංහතියම ඔහුගේ ප්‍රේමනීය කරුණාව සදාකාලයටම අද්දකීවි.—එළිදරව් 21:3, 4.
යෙහෝවා “ස්වකීය පක්ෂපාත අයව අත්නාරින්නේය”
14. යෙහෝවා සිය සේවකයන්ගේ පක්ෂපාතකම උදෙසා සිය කෘතඥතාව පෙන්වන්නේ කොහොමද?
14 යෙහෝවා නිතර නිතරම තම පක්ෂපාතිත්වය නිරූපණය කර තිබෙනවා. ඔහු නිරතුරුවම පරිපූර්ණව සිටින නිසා, සිය විශ්වාසවන්ත සේවකයන්හට දක්වන පක්ෂපාතකම කිසි විටෙකත් නිවී, වියැකී යන්නේ නැහැ. ගීතිකාකරු පැවසුවේ මෙහෙමයි. “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේ වී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි. මක්නිසාද යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය. ස්වකීය ශුද්ධවන්තයන් [පක්ෂපාත අයව, NW] අත්නාරින්නේය.” (ගීතාවලිය 37:25, 28) මැවුම්කරු වශයෙන් යෙහෝවා අපගේ නමස්කාරය ලැබීමට වටින බව ඇත්තයි. (එළිදරව් 4:11) එනමුත් යෙහෝවා පක්ෂපාත නිසා, ඔහු අපගේ විශ්වාසවන්ත ක්‍රියා නිධාන කරගෙනයි සිටින්නේ.—මලාකී 3:16, 17.
15. යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කළ ආකාරය තුළ අප ඔහුගේ පක්ෂපාතකම දකින අන්දම පැහැදිලි කරන්න.
15 සිය ප්‍රේමනීය කරුණාව පෙරදැරි කරගනිමින් යෙහෝවා තම ජනයා දුක් විඳින විට ඔවුන්ගේ පිහිටට එනවා. ගීතිකාකරු අපට කියන්නේ මෙහෙමයි. “ඔහු ස්වකීය ශුද්ධවන්තයන්ගේ [පක්ෂපාත අයගේ, NW] ප්‍රාණ ආරක්ෂා කරන්නේය; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන්නේය.” (ගීතාවලිය 97:10) ඉශ්රායෙල් ජාතිය සමඟ ඔහු කටයුතු කළ ආකාරය ගැන සලකා බලන්න. රතු මුහුද මැදින් ප්රාතිහාර්යමය ලෙස ගළවාගැනීමෙන් පසුව, ඉශ්‍රායෙලිතයන් යෙහෝවාට මෙම ගීය ගායනා කළේ මහ හඬින්. “ඔබ මුදාගත් ජනයාට ඔබ ඔබේ ප්‍රේමනීය කරුණාවෙන් [හෙවත්, “පක්ෂපාත ප්‍රේමයෙන්,” NW පාද සටහන] මඟ පෙන්වූයේය.” (නික්මයාම 15:13, NW) රතු මුහුදේදී ගළවාගැනීම සහතික ලෙසම යෙහෝවාගේ පැත්තෙන් කරන ලද පක්ෂපාත ප්‍රේමයේ ක්‍රියාවක්. එබැවින් මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට මෙසේ පැවසුවා. “යෙහෝවා නුඹලා කෙරෙහි ඇලුම් වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ. මක්නිසාද නුඹලා අන් සියලු ජනයන්ට වඩා ගණනින් ස්වල්පය. නුමුත් යෙහෝවා නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජු වූ ඵාරාවෝ අතින් නුඹලා මිදුවේ ඔහු නුඹලාට ප්‍රේම කළ නිසාත්, නුඹලාගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන්ට කැමති වූ නිසාත්ය.”—ද්විතීය කථාව 7:7, 8.
16, 17. ඉශ්‍රායෙලිතයන් විදහාපෙන්වූයේ කිනම් ආකාරයක කම්පිත කරවනසුලු කෘතඥතාවේ ඌනතාවක්ද? එහෙත් යෙහෝවා ඔවුන්ට දයානුකම්පාව පෙන්වූයේ කෙසේද? (ආ) තමන්හට “සුවයක් නැති” බව ඉශ්‍රායෙලිතයන් වැඩිදෙනෙක් පෙන්නුම් කළේ කොහොමද? තවද මෙමගින් අපට දෙන අනතුරු ඇඟවීම කුමක්ද?
16 ඇත්ත වශයෙන්ම, ඉශ්‍රායෙලිතයන් ජාතියක් වශයෙන් යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව කෙරෙහි කෘතඥතාව පළ කරන්නට අසමත් වුණා. ඔවුන්ව ගළවාගැනීමෙන් පසුවත්, ඔවුන් ‘මහෝත්තමයාණන්ට විරුද්ධව කැරලි ගසමින් ඔහුට [යෙහෝවාට] විරුද්ධව තව තවත් පව් කළා.’ (ගීතාවලිය 78:17) ශතවර්ෂ ගණනාවක් පුරා, ඔවුන් යළි යළිත් කැරලි ගැසුවේ යෙහෝවාව අතහරිමින් බොරු දෙවිවරුන් හා මිථ්‍යා දෘෂ්ටික වත් පිළිවෙත්වලට හැරෙමිනුයි. ඒවායින් සිදු වුණේ වෙන කිසිවක් නොව, ඔවුන්ව පහත් ක්‍රියාවලට ඇද දැමීම පමණයි. නමුත් යෙහෝවා නම් ඔහුගේ ගිවිසුම කඩ කළේ නැහැ. ඒ වෙනුවට, අනාගතවක්තෘ යෙරෙමියා තුළින් යෙහෝවා සිය ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “අහක්ව ගියාවූ ඉශ්රායෙල්, හැරී එන්න. . . . මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි. මක්නිසාද මම කරුණාවන්තයෙමි [පක්ෂපාත වෙමි, NW].” (යෙරෙමියා 3:12) කෙසේවෙතත්, අප 25වන පරිච්ඡේදයේ දුටුවාක් මෙන්, ඉශ්රායෙලිතයන්ගෙන් වැඩිදෙනෙක් එම ආයාචනාව නිසා හැරී ඒමට පෙලඹුණේ නැහැ. ඇත්ත වශයෙන්ම, ‘ඔවුහු සැබෑ දෙවිගේ පණිවිඩකාරයන්ට සරදම් කර, ඔහුගේ වචන සුළු කර, ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළා.’ ප්‍රතිඵලය වූයේ කුමක්ද? අන්තිමේදී, ‘සුවයක් නැති තරමට යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණීමයි.’—2 ලේකම් 36:15, 16.
17 අප මෙයින් ඉගෙනගන්නේ කුමක්ද? එනම් යෙහෝවාගේ පක්ෂපාතකම කිසිවිටෙකත් අන්ධ වූ යමක්වත් රවටනු ලැබිය හැකි යමක්වත් නොවන බවයි. යෙහෝවා ‘ප්‍රේමනීය කරුණාවෙන් බහුල’ [NW] බවත්, පදනමක් ඇති විට ඔහු දයාව පෙන්වීමට සතුටින් සිටින බවත් ඇත්තයි. නමුත්, වැරදිකරුවා කොහොමටවත් හික්මවන්නට හෝ මට්ටු කරන්නට බැරි තරමට දුෂ්ටයෙකු නම්, කුමක් සිදු වේවිද? එවිට, යෙහෝවා තමාගේම ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටිමින් ඔහුගේ අප්‍රසාදය පළ කරන විනිශ්චයක් ගෙනෙනවා. මෝසෙස්ට කීවාක් මෙන්, ‘[යෙහෝවා] වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරයි.’—නික්මයාම 34:6, 7.
18, 19. (අ) යෙහෝවා විසින් දුෂ්ටයන්ට දඬුවම් කිරීමම පක්ෂපාතකමේ ක්‍රියාවක් වන්නේ කොහොමද? (ආ) මරණය දක්වාම පීඩා කරනු ලැබූ සිය සේවකයන්හට යෙහෝවා සිය පක්ෂපාතකම විදහාපාන්නේ කිනම් අන්දමින්ද?
18 දෙවි විසින් දුෂ්ටයන්ට දඬුවම් කිරීමත් පක්ෂපාතකමේම ක්‍රියාවක්. ඒ කොහොමද? මේ පිළිබඳව අදහසක් අපට එළිදරව් පොතෙන් ලබාගන්නට පුළුවන්. එහි දේවදූතයන් සත්දෙනෙකුට යෙහෝවා දෙන ආඥාවකින් ඒ බව පෙනෙනවා. “නුඹලා ගොස් දෙවිගේ උදහස නමැති පාත්‍රා සත පොළොවේ වගුරුවන්න.” තුන්වෙනි දේවදූතයා තමන්ගේ පාත්‍රය ‘ගංගාවලද දිය උල්පත්වලද වැගිරෙවූ’ විට ඒවා ලේ බවට පත් වුණා. එවිට දේවදූතයා යෙහෝවාට මෙසේ කියනවා. “සිටින්නාවූ සිටියාවූ ශුද්ධ වූ [පක්ෂපාත, NW] තැනැත්තාණෙනි, ඔබ මෙසේ විනිශ්චය කළ බැවින් ඔබ ධර්මිෂ්ඨය. ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවූ බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්නේය. ඒක ඔවුන්ට සුදුසුය.”—එළිදරව් 16:1-6, අකුරු ඇල කළේ අපය.
19 විනිශ්චයේ එම පණිවුඩය ප්‍රකාශ කරන අතර, එම දේවදූතයා යෙහෝවාව “පක්ෂපාත තැනැත්තා” යනුවෙන් හැඳින්වීම සැලකිල්ලට ගන්න. ඒ ඇයි? මන්දයත් දුෂ්ටයන්ව විනාශ කිරීමෙන්, යෙහෝවා සිය සේවකයන්ට විදහාපෙන්වමින් සිටින්නේ සිය පක්ෂපාතකමයි. මේ අයගෙන් වැඩිදෙනෙක් මරණය දක්වාම පීඩා කරනු ලැබූ අයයි. යෙහෝවා එවන් අයව සිය මතකයේ ජීවමානව දරාගෙන සිටින්නේ දැඩි පක්ෂපාතකමකින්. වියෝ වී සිටින මේ විශ්වාසවන්ත අයව දැකගැනීමට ඔහු මහත් ආශාවෙන් සිටින අතර, ඔහුගේ අරමුණ වනුයේ ඔවුන්ට නැවත නැඟිටීමකින් විපාක දීම බවට බයිබලය සහතික වෙනවා. (යෝබ් 14:14, 15) තම පක්ෂපාත සේවකයන් තවදුරටත් ජීවත්ව නොසිටින නිසාවෙන්ම යෙහෝවා ඔවුන්ව අමතක කරන්නේ නැහැ. ඊට පටහැනි ලෙස, “ඔහුගේ දෘෂ්ටියෙන් ඒ සියල්ලෝම ජීවමානව සිටිති.” (ලූක් 20:37, 38, NW) තම මතකයේ සිටින්නන්ව නැවත ජීවනයට ගෙන ඒම පිළිබඳ යෙහෝවාගේ අරමුණ, ඔහුගේ පක්ෂපාතකම සඳහා ප්‍රබල සාක්ෂියක්.
යෙහෝවාගේ පක්ෂපාත ප්‍රේමය ගැළවීමේ මාර්ග විවෘත කරයි
20. “දයාවේ භාජන” කවරහුද? තවද යෙහෝවා ඔවුන්ට පක්ෂපාතකම පෙන්වන්නේ කොහොමද?
20 ඉතිහාසය පුරාම, යෙහෝවා විශ්වාසවන්ත මිනිසුන්හට කැපීපෙනෙන අන්දමින් සිය පක්ෂපාතකම විදහාපෙන්වා තිබෙනවා. ඇත්ත වශයෙන්ම, වසර දහස් ගණනක් පුරා, යෙහෝවා “විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් [බොහෝ ඉවසිලිවන්තකමකින්, NW] ඉවසා” සිටියා. ඒ ඇයි? “එසේ කළේ, තේජස සඳහා තමා කලින් සූදානම් කළ දයාවේ භාජන කෙරෙහි තම තේජසේ බහුලත්වය දන්වන” පිණිසයි. (රෝම 9:22, 23, NW) මෙම “දයාවේ භාජන” යනු ක්‍රිස්තුස් සමඟ ඔහුගේ රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් වනු පිණිස ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ නිසි නැඹුරුවාවක් දක්වන අයයි. (මතෙව් 19:28) මෙම දයාවේ භාජන වෙත ගැළවීමේ මාර්ගය විවෘත කිරීම මගින්, යෙහෝවා ආබ්‍රහම්ට පක්ෂපාතව ක්‍රියා කළා. මන්ද ඔහුටයි, මෙම ගිවිසුමේ පොරොන්දු දුන්නේ. “මාගේ ශබ්දයට කීකරු වූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවෙහි සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය [තමන්ටම ආශීර්වාද කරගන්නෝය, NW].”—උත්පත්ති 22:18.
21. (අ) ‘මහත් පීඩාවෙන්’ පිටතට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ‘මහත් සමූහයට’ යෙහෝවා පක්ෂපාතකම පෙන්වන්නේ කොහොමද? (ආ) යෙහෝවාගේ පක්ෂපාතකම ඔබව පොලඹවන්නේ කුමක් කිරීමටද?
21 එමෙන්ම, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම පිණිස ‘මහත් පීඩාවෙන්’ පිටතට පැමිණීමේ අපේක්ෂාව ඇතිව සිටින ‘මහත් සමූහයට’ යෙහෝවා පෙන්වන්නේ ඒ හා සමානම පක්ෂපාතකමක්. (එළිදරව් 7:9, 10, 14) තම සේවකයන් අසම්පූර්ණ වූවත්, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව යෙහෝවා ඔවුන්හට සපයන්නේ පක්ෂපාතවයි. ඔහු එය කරන්නේ කොහොමද? මිදීමේ මිලය මාර්ගයෙනුයි. එය යෙහෝවාගේ පක්ෂපාතකමේ ශ්‍රේෂ්ඨතම නිරූපණයයි. (යොහන් 3:16; රෝම 5:8) තවද මුළු හදින්ම ධර්මිෂ්ඨකම සඳහා පිපාසයෙන් සිටින අයව ඇදගන්නේ යෙහෝවාගේ පක්ෂපාතකම මගිනුයි. (යෙරෙමියා 31:3) යෙහෝවා පෙන්වා ඇති ගැඹුරු පක්ෂපාතකම සහ තවදුරටත් ඔහු පෙන්වනු ඇති පක්ෂපාතකම ගැන සිතන විට ඔහුට තවත් ළං වෙන්නට ඔබට සිතෙන්නේ නැද්ද? දෙවිට ළංවීම අපගේ ආශාව බැවින්, ඔහුට පක්ෂපාතව සේවය කිරීමට අප සතු අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගැනීමෙන් අපි ඔහුගේ ප්‍රේමයට ප්‍රතිචාර දක්වමු.
[පාදසටහන]
a දෙවෙනි සාමුවෙල් 22:26හි [NW] “පක්ෂපාතකම” යනුවෙන් පරිවර්තනය කර ඇති වචනය, වෙනත් තැන්වල “ප්‍රේමනීය කරුණාව” හෙවත් “පක්ෂපාත ප්‍රේමය” යනුවෙන් පරිවර්තනය කර තිබීම උනන්දුවට හේතුවක්.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
1 සාමුවෙල් 24:1-22 දාවිත් සාවුල් රජට සැලකූ ආකාරය දෙස බලද්දී, යෙහෝවා විසින් අගය කරන ආකාරයේ පක්ෂපාතකමක් දාවිත් සාවුල්ට පෙන්වූයේ කොහොමද?
එස්තර් 3:7-9; 4:6-14 එස්තර් තම ජීවිතය පරදුවට තබමින් සිය ජනයාට දිව්‍ය පක්ෂපාතකම පෙන්වූයේ කොහොමද?
ගීතාවලිය 136:1-26 මෙම ගීතිකාව යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව හෙවත් පක්ෂපාත ප්‍රේමය ගැන අපට උගන්වන්නේ කුමක්ද?
ඔබදියා 1-4, 10-16 ඒදොම් ජාතිකයන්ගේ ද්‍රෝහි හැසිරීම නිසා ඔවුන්ට දඬුවම් කිරීමට, යෙහෝවා සිය ජනයා වෙත දැක්වූ පක්ෂපාතකම ඔහුව පෙලඹවූයේ කෙසේද?
[281වන පිටුවේ පින්තූරය]
චන්ද්‍රයා විශ්වාස සාක්ෂියයයි හඳුන්වා තිබෙනවා. එහෙත් යෙහෝවාගේ පක්ෂපාතකම පිළිබිඹු කළ හැක්කේ බුද්ධිමත් ජීවමාන මැවිලිවලට පමණයි
[287වන පිටුවේ පින්තූර]
මරණය දක්වා තමන්ට පක්ෂපාත බව ඔප්පු කර ඇති අයව යෙහෝවා පක්ෂපාත ලෙස සිහි කර නැවත නැඟිටුවනවා ඇති
බේර්නාට් ලොයිමස් (ඉහළ) සහ වොල්ෆ්ගාං කුසරෝව (මැද) නාට්සීන් විසින් ඝාතනය කරනු ලැබුවා
මෝසෙස් න්යාමුසුවාව දේශපාලන කල්ලියක් විසින් හෙල්ලයකින් ඇන මරණයට පත් කරනු ලැබුවා
[288වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ පක්ෂපාතකම හේතුවෙන්, ඔහු විශ්වාසවන්ත සියලු සේවකයන්ට අනාගතය උදෙසා රඳා පැවතිය හැකි බලාපොරොත්තුවක් දී තිබෙනවා