දෙවිට ළං වෙන්න
‘යෙහෝවා දෙවියනි, ඔබ මාව හොඳින් හඳුනාගත්තෙහිය’
“කිසි කෙනෙක් මං ගැන සැලකිලිමත් නැහැ, මාව තේරුම්ගන්නෙත් නැහැ කියා හැඟීම ඉතා වේදනාකාරීයි.”a ඔබටත් එසේ හැඟී තිබෙනවාද? යෙහෝවා දෙවි ඔහුගේ සෑම සේවකයෙක් ගැනම ඉතා සැලකිලිමත් වෙන බවත් සෑම දිනකම ඔවුන් මුහුණ දෙන තත්වයන් ගැන දෙවි අවධානයෙන් සිටින බවත් දැන සිටීම මොන තරම් සහනයක්ද! ඒ ගැන ගීතාවලිය 139හි දාවිත් පැවසූ වදන් අපි දැන් බලමු.
දෙවි තමන් ගැන කොතරම් සැලකිලිමත්ද කියා තේරුම්ගත් දාවිත් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය.” (ගීතාවලිය 139:1) “සෝදිසි කර බලා” යන්නට හෙබ්‍රෙව් භාෂාවෙන් තිබෙන වචනයට යමක් ගැඹුරට සොයා බැලීම යන අදහස ඇතුළත් වෙනවා. එම වචනය භාවිත කර තිබෙන අවස්ථා සලකා බැලීමෙන් එය පැහැදිලි වෙනවා. උදාහරණයකට, යපස් හෑරීම (යෝබ් 28:3), සුදුසු ප්‍රදේශයක් සොයා බැලීම (විනිශ්චයකරුවෝ 18:2) නඩුවකට අදාළ සාක්ෂි සොයා බැලීම යන අවස්ථා සඳහන් කළ හැකියි. (ද්විතීය කතාව 13:14) ඇත්තෙන්ම යෙහෝවා දෙවි අප කරන කියන සෑම දෙයක් ගැනම හොඳින් දන්නවා.
දෙවි ඔහුගේ සේවකයන් ගැන කොතරම් දුරකට සැලකිල්ලක් දක්වනවාද කියා දාවිත් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “මා ඉඳගත්තත් සිටගත්තත් ඔබ එය දන්නෙහිය. ඉතා දුරක සිටියත් මා සිතන දේ ඔබ දන්නෙහිය.” (ගීතාවලිය 139:2) දෙවි “ඉතා දුරක” සිටියත් අප අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන තෙක්ම අප කරන කියන සෑම දෙයක් ගැනම දන්නවා. අපේ සිතුවිලි සහ ආශාවන් ගැනත් ඔහු දන්නවා. දෙවි තම සේවකයන් ගැන එතරම් සැලකිල්ලක් දැක්වීම ගැන දාවිත් බොහෝ සේ ප්‍රීති වුණා.—ගීතාවලිය 139:23, 24.
“මා ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්නෙහිය. මා කරන සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නෙහිය” කියාද දාවිත් පැවසුවා. (ගීතාවලිය 139:3) ඔහු එසේ පැවසීමට පෙලඹුණේ දෙවි තම සේවකයන් ගැන එතරම් සැලකිලිමත් වෙන්නේ ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් බව ඔහු තේරුම්ගෙන සිටි නිසයි. යෙහෝවා දෙවි ‘අප කරන සෑම දෙයක්’ ගැනම හොඳින්ම දන්නවා. නමුත් ඔහු අවධානය යොමු කරන්නේ අපගේ අඩුපාඩුකම්වලටද එසේත් නැත්නම් අප කරන යහපත් දේවලටද? දාවිත් ඉහත පැවසූ දෙයින් ඊට පිළිතුරු සොයාගත හැකියි. දෙවි ‘අවධානයෙන් සිටිනවා’ කියද්දී දාවිත් භාවිත කරන හෙබ්‍රෙව් වචනයෙන් ගොවියෙක් හොඳ ධාන්‍ය ලබාගැනීමට කරන කාර්යයක් අඟවනවා. ඒ සඳහා ඔහු ධාන්‍ය පොළා බොල් ඉවත් කර හොඳ ඒවා වෙන් කරනවා. ඔහු අවධානය දෙන්නේ හොඳ ධාන්‍යවලට මිස බොල්වලට නොවෙයි. ඒ හා සමානව දෙවි අවධානය යොමු කරන්නේද අප කරන යහපත් දේවලට පමණයි. “හොඳින් දන්නෙහිය” යන්නට ඇති හෙබ්‍රෙව් වචනයට අගය කරනවා යන අදහසද ඇතුළත් වෙනවා. ඇත්තෙන්ම, සෑම දිනකම තම සේවකයන් කරන කියන දේවල් සෝදිසි කරන විට දෙවි ඔවුන් කර තිබෙන යහපත් දේවල් ගැන සතුටු වෙනවා.
යෙහෝවා දෙවි තම සේවකයන් ගැන කොතරම් සැලකිලිමත් වෙනවාද කියා ගීතාවලිය 139හි සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. තම සේවකයන් එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන දෙවි හොඳින්ම දන්නවා. ඒ වගේම ඒවා නිසා ඔවුන් කොතරම් වේදනාවට පත් වෙනවාද කියාත් දෙවි තේරුම්ගන්නවා. එතරම් සැලකිලිමත් දෙවි කෙනෙකුට නමස්කාර කරන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද? ඔබ එසේ කළොත් “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය” දෙවි කිසිම දිනක අමතක කරන්නේ නැහැ කියා බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන ඔබට නිසැක විය හැකියි.—හෙබ්‍රෙව් 6:10.
සැප්තැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම
◼ ගීතාවලිය 119 සිට 150 දක්වා
[පාදසටහන]
a ලේඛකයෙක් වන ආතර් එච්. ස්ටේන්බැක්.