පාඨකයන් අසයි
දෙවි සෑම තැනම සිටිනවාද?
දෙවි සෑම තැනම වාසය කරනවා කියා විවිධ ආගම්වල උගන්වනවා. උදාහරණයකට, කතෝලික විශ්වකෝෂයක ඒ ගැන මෙසේ සඳහන් වී තිබෙනවා. “දෙවියන් සෑම දෙයකම හා සෑම තැනකම සිටිනවා.” (New Catholic Encyclopedia) මෙතෝදිස්ත ආගමේ නිර්මාතෘ ජෝන් වෙස්ලි මෙසේ ලිව්වා. “දෙවියන් වාසය නොකරන තැනක් සොයාගත නොහැකියි.”
ඇත්තටම දෙවියන් සෑම තැනකම සිටිනවාද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.
දෙවිට වාසය කිරීමට නිශ්චිත තැනක් තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. ‘ඔබේ ස්ථිර වාසස්ථානය වන ස්වර්ගයේ සිට සවන් දී ඔබෙන් ඉල්ලන සියල්ල ඉටු කර දෙන මෙන් ඉල්ලමි’ කියා සලමොන් රජු පැවසූ දෙයින් එය පැහැදිලි වෙනවා. (1 රාජාවලිය 8:43) යේසුස්ද තම අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කියා පැවසුවේ “ස්වර්ගයෙහි සිටින” පියාණන්ටයි. (මතෙව් 6:9) නැවත නැඟිටුණු යේසුස් ‘ස්වර්ගයට ඇතුල් වී අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියා’ කියාද බයිබලයේ සඳහන් වෙනවා.—හෙබ්‍රෙව් 9:24.
එම බයිබල් පදවලින් පැහැදිලි වෙන්නේ දෙවි සෑම තැනම සිටින බව නොව ස්වර්ගයේ සිටින බවයි. “ස්වර්ගය” කියද්දී ඉන් අදහස් කරන්නේ පෘථිවිය අවට ඇති වායුගෝලයවත් විශ්වයෙන් බොහෝ ඈත ඇති ස්ථානයක්වත් නොවෙයි. දෙවිට තිබෙන්නේ නොපෙනෙන ශරීරයක් නිසා ඔහුට ජීවත් වීම සඳහා භෞතික ස්ථානයක් අවශ්‍ය නැහැ. (යොහන් 4:24; 1 කොරින්ති 15:44) ස්වර්ගය භෞතික විශ්වයේ කොටසක් නොවෙයි. දෙවිට වාසය කිරීමට මුළු විශ්වයම ප්‍රමාණවත් නැහැ කියා බයිබලයේ සඳහන් දෙයින් එය තවත් පැහැදිලි වෙනවා.—1 රාජාවලිය 8:27.
නමුත් සමහර අය ඇතැම් බයිබල් පද වරදවා වටහාගෙන සිටින නිසා දෙවි සෑම තැනම සිටිනවා කියා නිගමනය කර තිබෙනවා. ගීතාවලිය 139:7-10හි සඳහන් දාවිත් රජු පැවසූ මේ දේ ඊට උදාහරණයක්. “ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද? ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද? මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය. මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි. අරුණාලෝකයේ පියාපත් ඇතුව මා ඈත සාගරයෙන් එහාට පියාඹා ගියත් ඔබේ හස්තය එහිදීත් මට මඟ පෙන්වනු ඇත.” ඉහත සඳහන් කරන සෑම තැනම දෙවි සිටින බව ඉන් අදහස් කරනවාද?
නැහැ. දාවිත් එහිදී අසන්නේ ‘ඔබේ බලයට ළඟා විය නොහැකි තැනක් තිබේද’ කියායි. දෙවිට ඔහුගේ බලය යොදාගනිමින් විශ්වයේ තිබෙන ඕනෑම දෙයක් දකින්නත් ඔහු කැමති ඕනෑම දෙයක් කරන්නත් හැකියි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. පොළොවේ සිට කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් පිහිටි අඟහරු ග්‍රහයා ගැන තොරතුරු සොයාබැලීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා. ඔවුන් එම තොරතුරු ලබාගැනීමට අඟහරු ග්‍රහයා වෙත ගියේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ යන්ත්‍ර අඟහරු ග්‍රහයා වෙත යැව්වා. ඉන් ලැබුණු ඡායාරූප සහ අනිකුත් තොරතුරු අධ්‍යයනය කරමින් ඔවුන් ඒ ග්‍රහයා ගැන විස්තර දැනගත්තා.
ඒ හා සමානව දෙවිටත් විශ්වයේ සිදු වන දේවල් දැනගැනීම සඳහා එය සිදු වන ස්ථානයට යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. බයිබලයේ පවසන්නේ “දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක” කියායි. (හෙබ්‍රෙව් 4:13) දෙවිට ඔහුගේ “ශුද්ධ වාසස්ථානය” වන ස්වර්ගයේ සිට ඔහුගේ බලය මාර්ගයෙන් විශ්වයේ සිදු වන සියල්ල දැනගන්නත් ඔහුගේ අරමුණ ඉටු කරගන්නත් හැකියි.—ද්විතීය කතාව 26:15.