බයිබලයේ දෘෂ්ටිකෝණය
ක්‍රිස්තියානීන් සමලිංගිකයන්ට වෛර කළ යුතුද?
වර්ෂ 1969දී, සමලිංගිකයන් කෙරෙහි පදනම් රහිත භයක් හෝ යම් පිළිකුලක් විස්තර කරන වචනයක් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රබන්ධ කරනු ලැබුවා. ඒ වචනය “හෝමෝෆෝබියා.” එවැනි සුවිශේෂී වචනයක් බොහෝ භාෂාවල නොතිබුණත්, අවුරුදු දහස් ගණනක් පුරා, බොහෝ ජාතීන් සහ භාෂාවලට අයත් ජනයා සමලිංගිකයන් කෙරෙහි අප්රියබවක් විදහා පා තිබෙනවා.
කෙසේනමුත්, වඩාත් මෑත කාලවලදී, සමලිංගිකත්වය නිකම්ම විකල්ප ලිංගික රටාවක් හැටියට පමණක් පුළුල්ව පතළ වී තිබෙනවා. “එවැන්නක් හැටියට සමලිංගිකත්වයට ප්‍රසිද්ධ පිළිගැනීමක් සහ ගෞරවයක් ලබා දෙන්න කියා වැඩි වන ඉල්ලුමක්” තිබෙන බව ඉතිහාසඥ ජෙරි සෙඩ්. මුල’ මෑතකදී ලිව්වා. “තම ව්‍යවහාරය ප්‍රශංසා කටයුතු දෙයක් වශයෙන් ප්‍රකාශ කිරීමට සහ අන්‍යයන්ටත් එසේ කරන මෙන් බලෙන් ඉල්ලා සිටීමට” සමලිංගිකයන් “වැඩි වැඩියෙන් එක්සත් වී තිබෙනවා” කියා ඔහු පැහැදිලි කළා. මෙය විශේෂයෙන්ම බටහිර ලෝකයේ රටවල දක්නට ලැබෙනවා. කෙසේවෙතත්, ලෝකයේ බොහෝ තැන්වල, ලිබරල්වාදීයයි කියන රටවල පවා, බොහෝදෙනෙක් තවමත් සමලිංගිකත්වය හෙළාදකිමින් එයට අවමන් කරනවා.
බොහෝවිට, සමලිංගිකයන් සහ සමලිංගිකයන් බවට සැක කරන පුද්ගලයන්ව, අවඥාසහගත ප්‍රකාශවලට, හිරිහැරවලට මෙන්ම ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට විශේෂයෙන්ම ඉලක්ක වී තිබෙනවා. ආගමික නායකයන් පවා එවන් වෛරයක් විදහාපෙන්වා තිබෙනවා. ඇතමුන් හරියට සමලිංගිකයන්ට විරුද්ධව ගෙනයන පෞද්ගලික යුද්ධයක් සේ පෙනෙන ක්‍රියාමාර්ගයක් ගන්න පටන්ගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට, මෑතකදී ග්‍රීක ජාතික ගුවන්විදුලි සේවාවේ විකාශනය කළ ග්‍රීක් ඕතඩොක්ස් සභාවේ බිෂොප්වරයෙකු ප්‍රකාශ කළ අදහස් සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ ප්‍රකාශ කළා: “දෙවි සමලිංගිකයන්ව සදහටම නිරාගින්නෙහි පුලුස්සන්න යනවා. ඔවුන්ගේ පිළිකුල්සහගත කටවල්වලින් නික්මෙන කෑගැසීම් සදාතනිකවම රැව් පිළිරැව් දේවි. ඔවුන්ගේ නීච වූ ශරීර දරාගන්න බැරි තරම් වධ හිංසා අද්දකීවි.” මෙය ඇත්තටම සැබෑද? සමලිංගිකයන් සම්බන්ධයෙන් දෙවිට හැඟෙන්නේ කෙසේද?
දෙවිගේ දෘෂ්ටිය
ක්‍රිස්තියානීන් විසින් ප්‍රතික්ෂේප කර දැමිය යුතු හෝ වෛර කළ යුතු කණ්ඩායමක් වශයෙන් බයිබලය සමලිංගිකයන්ට විශේෂ අවධානයක් දෙන්නේ නැහැ. එපමණක්ද නොව, සදා නිරාගින්නක පිලිස්සීමෙන් සමලිංගිකයන්ට—ඇත්තෙන්ම ඔහුගේ කිසිම මැවිල්ලකට—දෙවි දඬුවම් කරන බව එය උගන්වා නැහැ.—රෝම 6:23 සසඳන්න.
කෙසේවෙතත්, ශුද්ධ ලියවිලි අපේ මැවුම්කරුගේ සදාචාර ප්‍රමිති මොනවාද කියා ඉදිරිපත් කරයි; මේවා බොහෝවිට නවීන දින සදාචාර ආකල්පවලට පටහැනිව දිවයනවා. සමලිංගික ක්‍රියා, අවිවාහක පුද්ගලයන් අතර විරුද්ධ ලිංගික සම්බන්ධකම් සහ සතුන් සමඟ ලිංගික සම්බන්ධකම් යන සැමෙකක්ම බයිබලයෙහි හෙළාදැක තිබෙනවා. (නික්මයාම 22:19; එපීස 5:3-5) දෙවි සොදොම සහ ගොමොරාව විනාශ කළේ එවැනි ලිංගික ව්‍යවහාරයන් නිසයි.—උත්පත්ති 13:13; 18:20; 19:4, 5, 24, 25.
සමලිංගික ක්‍රියා සම්බන්ධයෙන් දෙවිගේ වචනය පැහැදිලිවම මෙසේ කියයි: “මෙසේ කිරීම පිළිකුලකි.” (ලෙවී ව්‍යවස්ථාව 18:22, නව අනුවාදය) දෙවි ඉශ්රායෙල්ට දුන් ව්‍යවස්ථාවෙහි මෙසේ නියම කෙරුවා: “මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය.” (ලෙවී කථාව 20:13) සතුන් සමඟ, තහනම් ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූ අය සහ කාමමිථ්‍යාචාරයෙහි යෙදුණු අය සඳහා ඒ දඬුවමම නියම කර තිබුණා.—ලෙවී කථාව 20:10-12, 14-17.
සමලිංගික ක්‍රියා ‘නීච තෘෂ්ණාවේ’ ප්‍රකාශයන් සහ “ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරය” වශයෙන් විස්තර කිරීමට ප්‍රේරිත පාවුල් ආනුභාවය ලැබුණා. ඔහු මෙසේ ලියයි: “ඒ නිසා [දෙවි] ඔවුන් නීච තෘෂ්ණාවලට භාර [දුන්නේය.] ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය. තවද ඔවුන් [දෙවිව] දැනගන්ට අකමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස [දෙවි] ඔවුන් ජඩ සිතකට [අප්‍රසාදයට ලක් වූ මානසික තත්වයකට, NW] පාවා [දුන්නේය].”—රෝම 1:26-28.
ශුද්ධ ලියවිලිවල කිසිම නිදහසට කරුණක්වත්, කිසිම අවසරයක්වත්, දෙපැත්තටම ගත හැකි කිසිම අවවාදයක්වත් ඉදිරිපත් කර නැහැ; සමලිංගික ව්‍යවහාරයන්, කාමමිථ්‍යාචාරය, වේශ්‍යාකම යන සියල්ල දෙවිගේ ඇස් ඉදිරියෙහි පිළිකුල්සහගත වෙනවා. මේ අනුව, වඩාත් ජනප්‍රිය වීමටවත්, නවීන සංස්කෘතියේ වැඩි පිළිගැනීමක් ලැබීමටවත්, “නීච තෘෂ්ණා” පිළිබඳ බයිබලයෙහි ස්ථාවරය සැබෑ ක්‍රිස්තියානීන් බාල කරන්නේ නැහැ. සමලිංගිකත්වය සාමාන්‍ය ජීවන රටාවක් හැටියට දියුණු කිරීමට කැප වී සිටින කිසිම ව්‍යාපාරයක් සමඟ ඔවුන් එකඟ වෙන්නෙත් නැහැ.
“නපුරට වෛරකරව්”
බයිබලය මෙසේ අවවාද කරයි: ‘අහෝ යෙහෝවාට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛර කරව්.’ (ගීතාවලිය 97:10) එබැවින්, යෙහෝවාගේ නීති උල්ලංගනය කරන හැම ව්යවහාරයකටම වෛර කිරීම ක්‍රිස්තියානීන්ගෙන් අපේක්ෂා කරනවා. සමහර ජනයා සමලිංගිකත්වය අස්වාභාවික ලිංගික අවකල් ක්‍රියාවක් හැටියට සලකා, වෙනත් ක්‍රියාවලට වඩා සමලිංගිකත්වය කෙරෙහි නොකැමැත්ත හෝ පිළිකුල වඩාත් ප්‍රබල හැඟීම්වලින් පවා ප්‍රකාශ කරමින් ප්‍රතික්‍රියා කරනවා විය හැකියි. කෙසේවෙතත්, එවන් දේවල නියැලී සිටින පුද්ගලයන්ට ක්‍රිස්තියානීන් වෛර කළ යුතුද?
මෙම ප්රශ්නය මතට ගීතිකාකාරයා ගීතාවලිය 139:21, 22හි [NW] යම් ආලෝකයක් හෙළනවා: “අහෝ යෙහෝවා, ඔබට අතිශයින් වෛරවන්නන්ට මා වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැඟිටින්නන් සඳහා මට අප්‍රසන්නතාවක් නොදැනේද? සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුහු මට සැබෑ සතුරන් සේ පෙනී සිටිති.” යෙහෝවා සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට අපට තිබෙන පක්ෂපාතිත්වය, යෙහෝවාට විරුද්ධව හිතාමතාම නැඟී සිටින, දෙවිගේ සතුරන් වශයෙන් ස්ථාවරයක් ගන්නා අය කෙරෙහි ප්‍රබල අප්රියබවක් අප තුළ ඉපදවිය යුතුයි. දෙවිගේ එවන් ස්ථිර කරන ලද සතුරන් අතර සාතන් සහ භූතයන් සිටිනවා. ඇතැම් මනුෂ්‍යයනුත් මෙම වර්ගයට වැටෙනවා වෙන්න පුළුවන්. එනමුත්, බාහිර පෙනුමෙන් එවන් පුද්ගලයන්ව හඳුනාගැනීම ක්‍රිස්තියානියෙකුට ඉතා අසීරු විය හැකියි. හෘද කියවන්න අපට බැහැ. (යෙරෙමියා 17:9, 10) යමෙකු වැරදි දේවල් කරන නිසා, ඔහුව හෝ ඇයව හදන්න බැරි, දෙවිගේ සතුරෙකු කියා සිතීම වැරදි දෙයක් වෙනවා. බොහෝ අවස්ථාවලදී, වරදකරුවන් දෙවිගේ ප්‍රමිති කොහෙත්ම දන්නේ නැහැ.
එබැවින්, සාමාන්‍යයෙන්, සෙසු මනුෂ්‍යයන්ට වෛර කරන්න ක්‍රිස්තියානීන් ඉක්මන් වෙන්නේ නැහැ. ඇතැම් ජීවන රටා කෙරෙහි දැඩි පිළිකුල්සහගත හැඟීම් ඔවුන්ට තිබුණත්, අනුන්ට හිංසා කරන්න ඔවුන් මං නොසොයන අතරම, ඔවුන් කෙරෙහි වෛරයක් හෝ කුඩුකේඩුකමක් සිතේ තබාගන්නේ නැහැ. ඊට පටහැනිව, බයිබලය ක්‍රිස්තියානීන්ට “සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න” කියා උපදෙස් දෙනවා.—රෝම 12:9, 17-19.
‘දෙවි තරාතිරම් නොබලයි’
පුද්ගලයෙකු මොනම ආකාරයේ දුරාචාරයක නියැලී තිබුණත්, ඔහු සැබවින්ම පසුතැවිලි වෙනවා නම්, යෙහෝවා ඔහුට සමාව දෙයි. දුරාචාරයේ එක් ස්වරූපයක් තවෙකකට වඩා දරුණුයයි යෙහෝවා සලකන බවට කිසිම සාක්ෂියක් නැහැ. ‘දෙවි තරාතිරම් නොබලයි.’ (ක්‍රියා 10:34, 35) උදාහරණයක් හැටියට, පළමුවන සියවසේ කොරින්තියෙහි පිහිටි සභාවේ තත්වය සලකා බලන්න. ප්‍රේරිත පාවුල් ඔවුන්ට මෙසේ ලිව්වා: “වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් [දෙවිගේ] රාජ්‍යය උරුම කර නොගන්නෝය.” (ඇල අකුරු අපේය.) ඊළඟට, කලින් වේශ්යාකම්කරන්නන්ව, කාමමිථ්යාචාරිකයන්ව, සමලිංගිකයන්ව සහ හොරුන්ව සිටි අයව, කොරින්තියේ ක්‍රිස්තියානි සභාවට පිළිගෙන තිබුණු බව පාවුල් ඒත්තුගත්තා. ඔහු මෙසේ පැහැදිලි කළා: “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන්ද අපගේ [දෙවිගේ ආත්මය] තුළද නුඹලා සෝදනු ලැබුවහුය. ශුද්ධකරනු ලැබුවහුය. ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:9-11.
ඇත්තෙන්ම, යෙහෝවා තම පරිපූර්ණ සදාචාර ප්‍රමිති දිගටම මෙන්ම මුරණ්ඩු ලෙස කරන කිසිම උල්ලංගනය කිරීමක් ඉවසන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති හිතුවක්කාර ලෙස නොසලකා හැරීම ඇත්තෙන්ම ඔහු ද්වේෂ කරනවා. කෙසේවෙතත්, සමඟි වීම සඳහා දොරටුව ඔහු විවෘතව තියාගන්නවා. (ගීතාවලිය 86:5; යෙසායා 55:7) මෙයට එකඟව, ක්‍රිස්තියානීන්, සමලිංගිකයන්වවත්, වෙන කිසිම කෙනෙකුවවත්, ක්‍රෝධය, සරදම හෝ හිරිහැරවලට ඉලක්ක කරගන්නේ නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් සෙසු ජනයාව ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට හැකි අය ලෙස සලකමින්, ගෞරවනීය සහ නම්බුකාර ආකාරයකින් ඔවුන්ට සලකනවා. බයිබලය මෙසේ පවසයි: “මෙය සියලු [ආකාරයේ, NW] මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, අපගේ [ගැළවුම්කාරයා] වන [දෙවි] ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.”—1 තිමෝති 2:3, 4.
ක්‍රිස්තියානීන් පසුතැවිලිවන්නන්ව සාදරයෙන් පිළිගන්නවා
දෙවි සමාව දෙන්න කැමති බව බයිබලය නැවත නැවතත් ප්‍රකාශ කරනවා. “කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක්” වශයෙන් එය ඔහුව විස්තර කරනවා. (නෙහෙමියා 9:17; එසකියෙල් 33:11; 2 පේතෘස් 3:9) දුර රටක සල්ලාලකමෙහි නිරත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම උරුමය නාස්ති කළ අකීකරු පුත්‍රයා පිළිබඳ යේසුගේ උපමාවේ පියාටත් බයිබලය ඔහුව සමාන කරනවා. පුතා අන්තිමේදී ප්‍රකෘති සිහියට පැමිණ, පසුතැවිලි වී තම පවුලේ නිවසට නැවත පැමිණි විට, පියා දෑත් විහිදුවා තම පුතාව සාදරයෙන් ආපසු භාරගත්තා.—ලූක් 15:11-24.
ඔව්, වරදකරුවෙකුට වෙනස් විය හැකියි. පරණ පෞද්ගලිකත්වය පහ කර දමා, අලුත් එක පැළඳගෙන, ‘මනස ක්‍රියාත්මක කරවන බලය සම්බන්ධයෙන් අලුත් වන්න’ කියා ජනයාට දිරිගැන්වීමෙන් ශුද්ධ ලියවිලි මෙය ඒත්තුගන්වනවා. (එපීස 4:22-24, NW) සමලිංගිකයන් ඇතුළු, නපුරු දේවල නියැලී සිටින අයට තම චින්තන සහ හැසිරීමේ රටාවල ප්‍රබල වෙනස්කම් කළ හැකි අතර, මෙම සම්පූර්ණ වෙනස කිරීමේදී බොහෝදෙනෙක් ඇත්තටම සාර්ථක වී තිබෙනවා.a යේසුම එවන් අයට දේශනා කළා; එමෙන්ම පසුතැවිල්ල පෙන්වීමෙන්, ඔවුන් ඔහු ඉදිරියෙහි පිළිගත හැකි තත්වයකට පත් වුණා.—මතෙව් 21:31, 32.
ක්‍රිස්තියානීන්, විවිධාකාර පසුබිම්වලින් පැමිණෙන පසුතැවිලි වන ජනයාව සාදරයෙන් පිළිගන්නවා. දුරාචාරමය ව්‍යවහාරයන් මොනව වුණත්, ඒවා අත්හැරීමෙන්, ‘යෙහෝවා සියල්ලන්ට යහපත්ය; ඔහුගේ දයාබරකම් ඔහුගේ සියලු කර්මාන්ත කෙරෙහි’ වන බැවින්, සියලුදෙනාටම දෙවි දෙන සමාවෙන් උපරිම ප්‍රයෝජන භුක්ති විඳින්න පුළුවන්.—ගීතාවලිය 145:9.
සමලිංගික නැඹුරුවාවන් සමඟ තවමත් පොරබදින අයට පවා, අවශ්‍ය ආත්මික පිටුබලය ඉදිරිපත් කරන්න ක්‍රිස්තියානීන් සූදානමින් සිටිනවා. මෙය දෙවිම ප්‍රේමය ප්‍රකාශ කර තිබෙන අන්දමට එකඟයි; මන්දයත්, බයිබලය මෙසේ පවසන බැවිනුයි: ‘දෙවි අප කෙරෙහි ඇති තමාගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් මරණය විඳීමෙන්ය.’—රෝම 5:8.
[පාදසටහන]
a පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1995 මාර්තු 22 කලාපයේ “මෙම හැඟීම් පහ කර දමන්න මට හැක්කේ කොහොමද?” යන ලිපිය බලන්න.
[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ක්‍රිස්තියානීන් සමලිංගිකත්වය පිළිබඳ බයිබලයේ දෘෂ්ටිය බාල කරන්නේ නැහැ
[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Punch