ශීත ඇතිරිල්ලක්
පතිත වන හිම දෙස ඔබ කවදා හෝ වශී වූවාක් මෙන් ඉතා ඕනෑකමින් බලාසිට ඇද්ද? එසේනම්, එය ඉතාමත්ම අලංකාර මෙන්ම ප්‍රසන්න දර්ශනවලින් එකක් බවට ඔබ එකඟ වනවාට කිසිදු සැකයක් නැත—විශේෂයෙන්ම ඔබ නිවස තුළ සුරක්ෂිතව සහ උණුසුම්ව, එමෙන්ම ගමන් කිරීමට හදිසි අවශ්‍යතාවක් නොමැතිව සිටින්නේ නම් එය එසේ වේ. සුදු ඇතිරිල්ලේ ඝනත්වය වැඩි වෙනවාත් සමඟම, එමඟින් මහත් සාමයක් හා නිසංසල බවක් හාත්පස පැතිරෙන්නාක් මෙන් පෙනෙන්ට තිබේ. සියුමැලි හිම මල් මිලියන ගණන් වැටෙනවාත් සමඟම නගරයේ ඝෝෂාව පවා ක්‍රමයෙන් පහවී යයි.
එසේවුවත්, හිම මෙන් පෙනෙන මෘදු වූ යමක් විනාශකාරි දෙයක් බවට පත්වීමට ඉඩ තිබීම පුදුම එලවන යමක් නොවේද? “කිසිදාක නොනිදන නගරය” යනුවෙන් බොහෝවිට විස්තර කරනු ලබන නිව් යෝර්ක් වැනි තදබදයෙන් පිරුණු නගරයක පවා, සෑහෙන තරම් උසකට හිම ගොඩගැසුන විට, ඒ සියල්ල ඇණ හිටීමට සැලැස්විය හැක.
එසේනම්, යෝබ් නම් වූ විශ්වාසවන්ත මිනිසාගෙන් දෙවියන්වහන්සේ මෙසේ ඇසීම පුදුමයට කරුණක් නොවේ: “කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන හිම ගබඩා ළඟට නුඹ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?” (යෝබ් 38:22, 23) ඇත්තෙන්ම එහි මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අතෙහි, හිම බියකරු ආයුධයක් විය හැක.
කෙසේවෙතත්, බොහෝවිට විනාශය ගෙනෙනවාට වඩා ජීවිතය ආරක්ෂා කිරීමේ භූමිකාවක් හිම ඉටු කරයි. එක් නිදසුනකට, දෙවියන්වහන්සේ “බැටළු ලොම් මෙන් හිම වස්වන” බව බයිබලය පවසයි. (ගීතාවලිය 147:16) හිම බැටළු ලොම් මෙන් වන්නේ කෙසේද? සුද හා පවිත්රත්වය නියෝජනය කිරීමට බයිබලය හිම සහ ලොම් යන දෙකම උපයෝගි කරගනී. (යෙසායා 1:18) එහෙත් තවත් වැදගත් සමානත්වයක් තිබේ. හිම හා ලොම් යන දෙකම පරිවරණ ලෙස ක්‍රියා කරයි. ද වර්ල්ඩ් බුක් ඔෆ් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ලොම් . . . ශීත හා උෂ්ණ යන දෙකටම පරිවරණයක් සේ ක්‍රියා කරයි.” එමෙන්ම හිමද “හොඳ පරිවරණයක් ලෙස ක්‍රියා කරන” බව වර්ල්ඩ් බුක් සඳහන් කරයි. “පැළෑටි සහ ශිශිර තාරක සතුන් ශීත ඍතුවේ සුළඟින් ආරක්ෂා කිරීමට හිම උපකාරවත් වේ.”
එසේනම්, ඊළඟ වතාවේදී අහසෙන් හිම වැටෙනවා ඔබ දකින විට, දෙවියන්වහන්සේගේ ගරුබිය දනවන බලය ගැන කල්පනා කිරීමට ඔබ ආශා විය හැක. නැතහොත් ප්‍රේමනීය දෙමාපියෙක් තම දරුවා සුරක්ෂිතව ඇතිරිල්ලකින් පොරවා නිදි යහනේ සතපනවා හා සමානව, තම මැවිල්ල මත සුදු ඇතිරිල්ලක් එළීමත් සමඟම උන්වහන්සේ සපයන මෘදු ආරක්ෂාව ගැන කල්පනා කිරීමට ඔබ කැමති විය හැක.