යෙහෝවඃ වහන්සේගේ දයාව අප ව බලාපොරොත්තු විරහිත බවින් මුදාලයි
“දෙවියන්වහන්ස, ඔබගේ කරුණ ගුණය [ප්‍රේමනීය-කරුණාව NW] ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.”—ගීතාවලිය 51:1.
1, 2. යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ගෙන් කෙනෙකු බරපතළ පාපයක බලපෑමට හසු විය හැක්කේ කෙසේ ද?
යෙහෝවඃ වහන්සේගේ නීති කඩකළොත් දඬුවමින් හෝ විපාකවලින් බේරී යා නොහැක. අප දෙවියන් වහන්සේට විරුද්ධ ව යම් බරපතළ පාපයක් කළහොත් එය මොනතරම් පැහැදිලි ව පෙනී යයි ද! අප වසර ගණනාවක් පුරා යෙහෝවඃ වහන්සේට පක්ෂපාත ව සේවය කර තිබුණත්, උන් වහන්සේගේ නීති කඩ කිරීම අප හට මහත් කනස්සල්ලක් හා දැඩි විෂාදයක් (මානසික පීඩනයක්) ඇති කරලිය හැකි ය. යෙහෝවඃ වහන්සේ අප ව අත්හැර දමා ඇති බවක් හා අප තවදුරටත් උන් වහන්සේට සේවය කිරීමේ ලා නොවටිනා බවක් අපට හැඟී යන්නට පුළුවන. අපගේ පාපය, දෙවියන් වහන්සේගේ අනුමැතියේ ආලෝකය මුළුමනින් ම වසාලන යෝධ වලාකුළක් සේ පෙනෙනවා විය හැක.
2 ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජ එවන් තත්ත්වයක සිටින බවක් වරෙක තමාට ම හැඟී ගියේ ය. මෙම තත්ත්වය වර්ධනය වූයේ කෙසේ ද?
වැරදි පියවරවල් බරපතළ පාපයට තුඩු දිය හැක
3, 4. සෞභාග්‍යවත් කාලයක දී දාවිත් රජට සිදු වූයේ කුමක් ද?
3 දාවිත් දෙවියන් වහන්සේට ප්‍රේම කළ නමුත්, බරපතළ පාපවලට තුඩු දුන් වැරදි පියවර ගත්තේ ය. (ගලාති 6:1 සසඳන්න.) විශේෂයෙන් යමෙකුට අන්‍යයන් මත යම් අධිකාරිත්වයක් තිබේ නම්, මෙය ඕනෑ ම අසම්පූර්ණ මිනිසෙකුට සිදු විය හැකියි. සෞභාග්‍යවත් රජෙකු වශයෙන්, දාවිත් කීර්තිය හා බලය භුක්ති වින්දේ ය. ඔහුගේ වචනයට අභියෝග කළ හැකි ජගතා කවුද? දක්ෂ මිනිස්සු ඔහු වටා සේවයට සිටි අතර, ජනයා ඔහු අණ කළ දේ ඉතා ඕනෑකමින් ඉෂ්ට කළෝ ය. එහෙත්, දාවිත් තමාට ම භාර්යාවන් වැඩි කර ගැනීමෙන් හා ජනයා ව ගණන් කිරීමෙන් වැරදි කළේ ය.—ද්විතීය කථාව 17:14-20; 1 ලේකම් 21:1.
4 ද්‍රව්‍යමය අතින් සෞභාග්‍යවත් ව සිටි මෙම කාලයේ දී, දාවිත් දෙවියන් වහන්සේට සහ මිනිසාට එරෙහි ව බරපතළ පව් කළේ ය. ඇත්තෙන් ම, එක් පාපයක් තව පාපයකට තුඩු දුන්නේ, සාතන් විසින් සැලසුම් කරන ලද වස්ත්‍රයක එකිනෙකට ළං ව වියා ඇති නූල් මෙනි! සෙසු ඊශ්‍රායෙලිතයන් අම්මොන්වරුන් සමඟ යුද්ධ කරන අතරතුර, දාවිත් තම සඳලු තලයේ සිට උරියාගේ පියකරු භාර්යාව ස්නානය කරනවා බලා සිටියේ ය. උරියා යුද්ධයට ගොස් සිටින අතරතුර, දාවිත් මෙම ස්ත්‍රිය ව තම මාලිගයට ගෙන්වා ගෙන ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළේ ය. ඈ පසු ව ගැබ්ගත් බව දැනගන්නට ලැබුණු විට ඔහුට ඇති වූ කම්පනය ගැන සිතා බලන්න! දාවිත් උරියා ව ගෙන්වා ගත්තේ, ඔහු බැත්-ෂෙබා සමඟ රාත්‍රිය ගත කොට, දරුවා තමාගේ ම යයි ඔහු විසින් සලකාවි යයි යන බලාපොරොත්තුවෙනි. දාවිත් උරියා ව මත් කළ ද, ඔහු ඈ සමඟ සයනය කිරීම ප්‍රතික්ෂේප කළේ ය. දැන් බලාපොරොත්තු කඩ වී සිටි දාවිත්, උරියා ව ස්ථිර ව ම මිය යන අයුරින්, ඔහු ව යුද්ධ පෙරමුණේ තබන ලෙස අණ දෙන නිලධාරියා වූ යෝවාබ්ට රහසින් අණ කර හැරියේ ය. උරියා යුද්ධයේ දී මිය ගිය අතර, ඔහුගේ වැන්දඹුව සාමාන්‍ය වැලපීමේ කාලය පසු කළා ය, තව ද ඈ ගැබ් ගෙන සිටින බව මිනිසුන් විසින් දැනගන්නට පෙර දාවිත් ඈ ව විවාහ කර ගත්තේ ය.—2 සාමුවෙල් 11:1-27.
5. දාවිත් බැත්-ෂෙබා සමඟ පව් කළ පසු සිදු වූයේ කුමක් ද, එමෙන් ම ඔහුගේ පාපයන් ඔහු කෙරෙහි කුමන බලපෑමක් ඇති කළේ ද?
5 අනාගතවක්තෘ නාතාන් තුළින් දාවිත්ගේ පාප හෙළි කරමින් දෙවියන් වහන්සේ මෙසේ පැවසූ සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්ති උපදවන්නෙමි.’ මේ අනුව, බැත්-ෂෙබාට උපන් දරුවා මිය ගියේ ය. (2 සාමුවෙල් 12:1-23) දාවිත්ගේ කුලුඳුල් පුත්‍ර අම්නොන්, තමාගේ අර්ධ සහෝදරී වූ තාමර් ව දූෂණය කළ අතර, ඇගේ සහෝදරයා අතින් ඔහු මරුමුවට පත් විය. (2 සාමුවෙල් 13:1-33) සිංහාසනය බලෙන් පැහැර ගැනීමට උත්සාහ කළ රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්, දාවිත්ගේ උප භාර්යාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් තම පියාට නින්දා කළේ ය. (2 සාමුවෙල් 15:1–16:22) සිවිල් යුද්ධයේ අවසානයත් සමඟ අබ්සලොම් මරණයට පත් වූ අතර, මෙය දාවිත්ගේ ශෝකයට තව තවත් හේතු වූයේ ය. (2 සාමුවෙල් 18:1-33) කෙසේ වෙතත්, දාවිත්ගේ පාප ඔහු ව යටහත් පහත් කළ අතර, තම දයානුකම්පිත දෙවියන් වහන්සේට සමීප ව සිටීමේ අවශ්‍යතාවය ගැන එය ඔහු ව සාවධාන කරවී ය. අප අතින් පව් සිදු වේ නම්, අපි යටහත් පහත් ලෙස පසුතැවිලි වී, යෙහෝවඃ වහන්සේට ළං වී සිටිමු.—යාකොබ් 4:8 සසඳන්න.
6. දාවිත් රජ විශේෂයෙන් වැරදිකරුවෙකු වූයේ මන්ද?
6 දාවිත් විශේෂයෙන් ම වැරදිකරුවෙකු වූයේ ඔහු යෙහෝවඃ වහන්සේගේ නීති ගැන හොඳින් දැන සිටියා වූ, ඊශ්‍රායෙලයේ පාලකයෙකු ව සිටි නිසා ය. (ද්විතීය කථාව 17:18-20) ඔහු, එවන් දැනුමකින් හීන ව සිට දෙවියන් වහන්සේ අනුමත නොකළ දේ පුරුද්දක් වශයෙන් කළා විය හැකි මිසරයේ ඵාරාවෝ කෙනෙකුවත් බබිලෝනීය රජ කෙනෙකුවත් වූයේ නැත. (සසඳන්න එපීස 2:12; 4:18.) යෙහෝවඃ වහන්සේට කැප වූ ජාතියක සාමාජිකයෙකු වශයෙන්, කාමමිථ්‍යාචාරය හා මිනීමැරීම බරපතළ පාප බව දාවිත් වටහා ගෙන සිටියේ ය. (නික්මයාම 20:13, 14) ක්‍රිස්තියානිහු ද දේව නීති දනිති. කෙසේ වුවද, දාවිත් මෙන්, ඔවුන්ගෙන් සමහරෙක් තම උරුම වූ පව්කාරකම, මිනිස් දුර්වලකම්, සහ එරෙහි නොවූ පරීක්ෂාවන් නිසා එය උල්ලංඝනය කරති. අපගෙන් ඕනෑ ම අයෙකුට එය සිදුවුවහොත්, අපගේ ආත්මික දසුන නොපැහැදිලි කරවන සහ දැඩි බලාපොරොත්තු විරහිත බවකින් අප ව වසාලන ඝනාන්ධකාර තත්ත්වයක සිටින්නට අපට අවශ්‍ය නැත.
පාපොච්චාරණය සහනය ගෙන දෙයි
7, 8. (අ) දාවිත් තම පාප සැඟවීමට වෑයම් කළ විට සිදු වූයේ කුමක් ද? (ආ) යමෙක් තම පව් පාපොච්චාරණය කොට ඒවායින් බැහැර වීම අවශ්‍ය වන්නේ ඇයි?
7 දෙවියන් වහන්සේගේ නීති බරපතළ ලෙස කඩ කිරීමේ වරදට අප හසු වී ඇත්නම්, යෙහෝවඃ වහන්සේට පවා පාපොච්චාරණය කිරීමට අසීරු තත්ත්වයක අප සිටින බවක් අපට හැඟී යා හැක. එවන් තත්ත්වයන් යටතේ කුමක් සිදු විය හැකි ද? තිස් දෙවෙනි ගීතිකාවේ දාවිත් මෙසේ පිළිගත්තේ ය: “මා නිශ්ශබ්දව සිටි කල [පාපොච්චාරණය කරනවා වෙනුවට], දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ [යෙහෝවඃ වහන්සේගේ] හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.” (ගීතා 32:3, 4 පද) තම පාපය සැඟ වීමට සහ වරද සහිත හෘදය සාක්ෂිය යටපත් කිරීමට උත්හාස දැරීම, චපල දාවිත් ව වෙහෙසට පත් කළේ ය. අධික සන්තාපය ඔහුගේ ශක්තිය කොතරම් පහත් කළා ද කියතොත්, ඔහු හරියට ජීවය ගෙනෙන තෙතමනය නැති නියඟයට හසු වූ ගසක් මෙන් විය. ඇත්ත වශයෙන් ම, ඔහු මානසික ව හා කායික ව නපුරේ බලපෑම් හොඳින් අත්දැක්කා විය හැකියි. තත්ත්වය කුමක් වුවත්, ඔහු තම ප්‍රීතිය අහිමි කර ගත්තේ ය. අපගෙන් ඕනෑ ම කෙනෙක් ඒ හා සමාන තත්ත්වයක සිටින බව දැනේ නම්, අප කුමක් කළ යුතු ද?
8 දෙවියන් වහන්සේ වෙත පාපොච්චාරණය කිරීම මගින් සමාව හා සහනය ගෙනා හැක. “මාගේ පාපය ඔබට ප්‍රකාශ කෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි,” යයි දාවිත් ගායනා කළේ ය. “මාගේ වරද ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.” (ගීතාවලිය 32:5) යම් රහසිගත පාපයක් නිසා ඔබ මානසික ව පීඩාවෙන් සිටින්නෙහි ද? දෙවියන් වහන්සේගේ දයාව ලබා ගනු පිණිස, පාපොච්චාරණය කර එයින් බැහැර වීම වඩාත් හොඳ නොවනු ඇත් ද? සභා වැඩිමහල්ලන්ට හඬ ගසා ආත්මික සුවය නොසොයන්නේ මන්ද? (හිතෝපදේශ 28:13; යාකොබ් 5:13-20) ඔබගේ පසුතැවිලි වීමේ ස්වභාවය පිළිගනු ලබන අතර, නියමිත කාලයේ දී ඔබගේ ක්‍රිස්තියානි ප්‍රීතිය නැවත පිහිටුවාලිය හැක. “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂ ලද්දෙක්ය NW].” යනුවෙන් දාවිත් පැවසී ය. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂ ලද්දෙක් ය NW].”—ගීතාවලිය 32:1, 2.
9. පනස් එක් වෙනි ගීතිකාව රචනා කරන ලද්දේ කිනම් අවස්ථාවේ ද, තව ද ඒ මන්ද?
9 දාවිත් සහ බැත්-ෂෙබා කළ වැරදිවලට ඔවුන් යෙහෝවඃ වහන්සේට ගණන් දිය යුතු ව තිබුණි. ඔවුන්ගේ පාප සම්බන්ධයෙන් ඔවුන් ව මරණයට පත් කළ හැකි ව තිබුණ ද, දෙවියන් වහන්සේ ඔවුන්ට දයාව පෙන් වූ සේක. විශේෂයෙන් ම උන් වහන්සේ දාවිත්ට දයාව පෙන්වූයේ රාජ්‍යය ගිවිසුම නිසා ය. (2 සාමුවෙල් 7:11-16) බැත්-ෂෙබා සම්බන්ධ තම පව් කෙරෙහි දාවිත්ගේ පසුතැවිල්ලේ ආකල්පය 51 ගීතිකාවේ දක්නට තිබේ. පශ්චත්තාපී රජ විසින් මෙම හද දනවන ගීතිකාව රචනා කරන ලද්දේ, දිව්‍ය නීතියට එරෙහි ව කරන ලද අපරාධයේ බරපතළකම ගැන අනාගතවක්තෘ නාතාන් ඔහුගේ හෘදය සාක්ෂිය පුබුදුවාලූවායින් පසු ව ය. දාවිත්ගේ පව් ඔහුගේ අවධානයට හසු කර වීමට නාතාන් හට ධෛර්යය අවශ්‍ය වූයේ, පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අද දින එවන් දේවල් කිරීමට ධෛර්යවත් ව සිටිය යුතුවාක් මෙනි. චෝදනාව ප්‍රතික්ෂේප කර, නාතාන් ව මරණයට පත් කිරීමට අණ දෙනවා වෙනුවට, රජ යටහත් පහත් ලෙස වරද පිළිගත්තේ ය. (2 සාමුවෙල් 12:1-14) ඔහුගේ අධම ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහු යාච්ඤාව තුළ දෙවියන් වහන්සේට පැවසූ දෙය 51 ගීතිකාවේ පෙන්වන අතර, විශේෂයෙන් අප වැරදි කොට, යෙහෝවඃ වහන්සේගේ දයාව ලැබීමට ආශාවෙන් සිටින්නේ නම්, එය යාච්ඤා පූර්වක ව මෙනෙහි කිරීමට බෙහෙවින් සුදුසු වෙයි.
අප දෙවියන් වහන්සේට ගණන් දිය යුතු ය
10. දාවිත්ට ආත්මික සුවයක් අත්දකින්නට හැකි වනු ඇත්තේ කෙසේ ද?
10 දාවිත් තම පාපය ගැන නිදහසට කරුණු කීවේ නැත, නමුත් ඔහු මෙසේ ආයාචනා කළේ ය: “දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය [ප්‍රේමනීය-කරුණාව NW] ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.” (ගීතාවලිය 51:1) නීති උල්ලංඝනය කිරීම මගින්, දාවිත් දෙවියන් වහන්සේගේ නීතියේ සීමාවන් ඉක්මවා ගොස් තිබුණි. කෙසේ වුවද, දෙවියන් වහන්සේගේ ස්වකීය ප්‍රේමනීය-කරුණාව හෙවත් පක්ෂපාත ප්‍රේමයට අනුව ඔහුට අනුග්‍රහය දැක්වූවා නම්, ඔහුට ආත්මික සුවය සඳහා බලාපොරොත්තුවක් තිබිණි. තම සැදුම්කරුවාණන් තමාගේ වැරදි පහ කර දමන බවට, දෙවියන් වහන්සේ අතීතයේ දී පෙන්වන ලද දයාවේ බහුලත්වය, ඇදහිල්ලක් සඳහා පශ්චත්තාපී රජ හට පදනමක් ලබා දුණි.
11. සමගි කිරීමේ පූජාවන් මගින් අඟවන ලද්දේ කුමක් ද, ඇරත් ගැලවීම සඳහා අද දින අවශ්‍ය වන්නේ කුමක් ද?
11 පසුතැවිලි වෙන අයට තම පාපවලින් පිරිසිදු කිරීමට යෙහෝවඃ වහන්සේට යම් මාර්ගයක් තිබෙන බව උන් වහන්සේ, සමගි කිරීමේ දවසේ පූජාවන්හි අනාවැකිමය පූර්වාදර්ශනයන් මගින් ඇඟවූ සේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි අප තබන ඇදහිල්ලේ පදනම මත උන් වහන්සේගේ දයාව හා කමාව අප කෙරෙහි විදහා තිබෙන බව අපි දැන් දනිමු. මෙම පූජාවේ ආකාරයන් හා සෙවණැලි පමණක් මනසේ තිබූ දාවිත්ට යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව හා දයාවන් කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට හැකි වූවා නම්, තම ගැලවීම සඳහා සපයා ඇති මිදීමේ මිලය කෙරෙහි දෙවියන් වහන්සේගේ වත්මන් සේවකයන් ඊට වඩා කොතරම් ඇදහිල්ලක් තැබිය යුතු ද!—රෝම 5:8; හෙබ්‍රෙව් 10:1.
12. පව් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද, තව ද දාවිත්ට තම වැරදි ගැන හැඟුණේ කෙසේ ද?
12 දෙවියන් වහන්සේට ආයාචනා කරමින් දාවිත් මෙසේ එකතු කළේ ය: “මාගේ අයුතුකමින් මා සපුර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.” (ගීතාවලිය 51:2, 3) පව් කිරීම යනු යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති සම්බන්ධයෙන් වන ප්‍රමිතිය රැකීමට අපොහොසත් වීම ය. සහතික ලෙස ම දාවිත් කර තිබුණේ එයයි. එහෙත්, තම වරද ගැන කිසිදු සැලකිල්ලක් නැති, තමාට ලැබෙන දඬුවම නිසා හෝ රෝගයක් වැළඳේවි ය යන බියෙන් තමා කළ වරද ගැන එතරම් තැකීමක් නැති මිනීමරුවෙකුට හෝ කාමමිථ්යාචාරිකයෙකුට ඔහු සමාන වූයේ නැත. යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නෙකු වශයෙන්, දාවිත් නපුරට ද්වේෂ කළේ ය. (ගීතාවලිය 97:10) ඔහු තමාගේ ම පාපයට පිළිකුල් කළ අතර, දෙවියන් වහන්සේ විසින් එයින් ඔහු ව මුළුමනින් ම පවිත්‍ර කිරීමට ඔහුට ඕනෑ විය. තම වැරදි ගැන මුළුමනින් ම සාවධානයෙන් සිටි දාවිත්, තම පව්කාර ආශාව තමා ව යටපත් කිරීම ගැන ගැඹුරින් කනගාටු වී තැවුණේ ය. ඔහුගේ පාපය නිතර ම ඔහු ඉදිරියේ තිබුණි, මක්නිසාදයත්, පසුතැවිලි වී, පාපොච්චාරණය කර, යෙහෝවඃ වහන්සේගේ කමාව ලැබෙන තෙක් දේව භයැති පුද්ගලයෙකුගේ වරද සහගත හෘදය සාක්ෂියට කිසි විටෙකත් පහසුවක් නොදැනෙන බැවිනි.
13. තමා දෙවියන් වහන්සේට පමණක් ම විරුද්ධ ව පව් කළ බව පැවසීමට දාවිත්ට හැකි වූයේ කෙසේ ද?
13 තමා යෙහෝවඃ වහන්සේට ගණන් දිය යුතු බව පිළිගනිමින් දාවිත් පැවසුවේ මෙයයි: “ඔබට විරුත්ටධව, ඔබට පමණක්ම විරුත්ටධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක [ධර්මිෂ්ඨ වන සේක NW], විනිශ්චයකරන කල ඔබ ශුත්ටධසේක.” (ගීතාවලිය 51:4) දාවිත් දේව නීතිය කඩ කොට තිබුණි, රාජකීය නිලයට අගෞරව කර තිබුණි, එමෙන් ම, ‘සහතික ව ම යෙහෝවඃ වහන්සේ ව අගෞරයෙන් සලකමින්,’ උන් වහන්සේ ව අවමානයට ලක් කර තිබුණි. (2 සාමුවෙල් 12:14, NW; නික්මයාම 20:13, 14, 17) දාවිත්ගේ පව්කාර ක්‍රියා ඊශ්‍රායෙල් සමාජයට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද එරෙහි ව කළ වැරදි වූ අතර, එය අද දින බව්තීස්ම ලත් වැරදිකරුවෙක් ක්‍රිස්තියානි සභාව සහ තම ප්‍රේමනීයයන් අතරේ දුක හෝ මානසික පීඩනයක් ඇති කරන්නාක් මෙන් ය. පශ්චත්තාපී රජ, උරියා වැනි සෙසු මිනිසුන්ට එරෙහි ව තමා පව් කොට තිබූ බව දැන සිටිය ද, යෙහෝවඃ වහන්සේට, වඩා වැඩි ගණන් දීමක් කරන්නට තිබෙන බව ඔහු පිළිගත්තේ ය. (උත්පත්ති 39:7-9 සසඳන්න.) යෙහෝවඃ වහන්සේගේ විනිශ්චය ධර්මිෂ්ඨ වනු ඇති බව දාවිත් ඒත්තු ගත්තේ ය. (රෝම 3:4) පව් කර ඇති ක්‍රිස්තියානින්ට ද තිබිය යුත්තේ එම දෘෂ්ටි කෝණය ම ය.
කාරණාවල බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන්
14. දාවිත් විසින් සඳහන් කරන ලද්දේ කාරණාවල බරපතළකම සැහැල්ලු කරවන කිනම් තත්ත්වයන් ද?
14 තමාගේ නිදහසට කරුණු පවසන්නට දාවිත් උත්සාහ නොකළ ද, ඔහු ඇත්තට ම මෙසේ පැවසී ය: “බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.” (ගීතාවලිය 51:5) දාවිත් උපත ලැබුවේ වරද සහිත ව වූ අතර, උරුම වූ පව්කාරකම නිසා ඔහුගේ මව ප්‍රසව වේදනා වින්දා ය. (උත්පත්ති 3:16; රෝම 5:12) ඔහුගේ වචනවලින් අදහස් කරන්නේ, නිසි විවාහ සබඳතා, ගැබ්ගැනීම, සහ උපත පව්කාර බවක් නොව, ඇරත් විවාහය සහ දරුඋපත වූ කලී දෙවියන් වහන්සේ විසින් කරන ලද සැපයුම් බව ය; එමෙන් ම තම මවගේ කිසි යම් විශේෂ පාපයක් ගැන දාවිත් යොමු දක්වමින් සිටියා ද නොවේ. ඔහු ව පාප සහිත ව ගැබ් ගෙන තිබුණේ මන්දයත් සියලු අසම්පූර්ණ මිනිසුන් මෙන් ඔහුගේ දෙමාපියන් ද පව්කාර ව සිටි නිසා ය.—යෝබ් 14:4.
15. දෙවියන් වහන්සේ කාරණාවල බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන් සැලකිල්ලට ගත්ත ද, අප විසින් නොකළ යුත්තේ කුමක් ද?
15 අප පව් කොට ඇත්නම්, අපගේ වරදට දායක වූ, කාරණාවල බරපතළකම සැහැල්ලු කරවන යම් තත්ත්වයන් ගැන, අප දෙවියන් වහන්සේට කරන යාච්ඤාවේ දී සඳහන් කරන්නට පුළුවන. එහෙත් ලබන්ට නොවටිනා තරම් වූ දෙවියන් වහන්සේගේ කරුණාව, කාරණා සැහැල්ලුවට ගෙන කරන හැසිරීම සඳහා අපි නිදහසට කරුණක් කර නොගනිමු, නැතහොත් අපගේ පව් ගැන තිබෙන වගකීම වසා ගැනීම සඳහා උරුම වූ පව්කාරකම දුම් තිරයක් කර නොගනිමු. (යූද් 3, 4) අපිරිසිදු සිතිවිලි රස විඳීම ගැන හා පරීක්ෂාවට හසු වී යාම ගැන වගකීම දාවිත් භාර ගත්තේ ය. අප ව පරීක්ෂාවට අත හැර නොදමන ලෙස යාච්ඤා කරමු, ඉන් පසු එවන් යාච්ඤාවලට එකඟ ව පියවර ගනිමු.—මතෙව් 6:13.
පවිත්‍ර කිරීම සඳහා කන්නලව්ව
16. දෙවියන් වහන්සේ ප්‍රීති වන්නේ කිනම් ගුණාංගය තුළ ද, එමෙන් ම එය අපගේ හැසිරීමට බලපෑ යුත්තේ කෙසේ ද?
16 දෙවියන් වහන්සේට කැප වූ කදිම පුද්ගලයන් ලෙස මිනිසුන් ව පෙනෙන්ට පුළුවන, නමුත් මතුපිටට යටින් තිබෙන දේ බලන උන් වහන්සේට ඇතුළාන්තයෙන් ඔවුන් කෙබඳු අය දැයි පෙනේ. දාවිත් පැවසුවේ මෙසේ ය: “බැලුව මැනව! ඔබ [යෙහෝවඃ වහන්සේ] අභ්‍යන්තර කොටස්වල ම තිබෙන සත්‍යතාවය ගැන ප්‍රීති වූ සේක; මගේ රහසිගත අභ්‍යන්තරය තුළ සුපිරි ප්‍රඥාව දැනගැනීමට සලස්වන සේක.” (ගීතාවලිය 51:6, NW) බොරුකාර බව හා උරියා ව මරණයට පත් කිරීමට වංක ලෙස සටකපට උපා යෙදීම සම්බන්ධයෙන් හා බැත්-ෂෙබාගේ ගැබ් ගැනීම ගැන කාරණා සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දාවිත් වැරදිකරුවෙකු ව සිටියේ ය. එනමුත්, දෙවියන් වහන්සේ සත්‍යවාදිකම හා ශුද්ධකම කෙරෙහි ප්‍රීති වන බව හේ දැන සිටියේ ය. මෙය අපගේ හැසිරීමට යහපත් ආකාරයකින් බලපෑ යුතු ය, මන්දයත් අප වංක වුවහොත් යෙහෝවඃ වහන්සේ අප ව හෙළා දකින බැවිනි. (හිතෝපදේශ 3:32) දෙවියන් වහන්සේ ‘තමාට සුපිරි ප්‍රඥාව දැනගැනීමට සැලැස්වුවහොත්’ තමාගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ දිව්‍ය ප්‍රමිතිවලට එකඟ ව ජීවත්වීමට පශ්චත්තාපී රජෙකු වශයෙන් තමාට හැකි වනු ඇතැයි ඔහු වටහා ගත්තේ ය.
17. හිසොප් සමඟින් ශෝධනය කරනු ලැබීම සඳහා කරන ලද යාච්ඤාවේ විශේෂත්වය කුමක් ද?
17 පව්කාර නැඹුරුවාවන්ගෙන් ගොඩ ඒමේ ලා දෙවියන් වහන්සේගේ උපකාරය සඳහා තමන්ට තිබෙන අවශ්‍යතාවය දැකීම නිසා ගීතිකාකරු තවදුරටත් මෙසේ අයැද සිටියේ ය: “හිසොපින් මා පිරිසිදුකළ [ශෝධනය NW] මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.” (ගීතාවලිය 51:7) වෙනත් දේවල් අතර, හිසොප් පැළෑටිය (සමහරවිට මාරජෝරාම් [සුවඳ ලාවණ්‍ය] හෙවත් ඔරිග්නම් මාරු විය හැක), කලින් ලාදුරු රෝගයෙන් පෙලුණු අය ව චාරිත්‍රානුකූල ව පවිත්‍ර කිරීම සඳහා යොදා ගන්නා ලදි. (ලෙවී කථාව 14:2-7) එමනිසා, හිසොප් සමඟින් පාපයෙන් පිරිසිදු කරනු ලැබීම සඳහා දාවිත් විසින් යාච්ඤා කිරීම යෝග්‍ය දෙයක් විණි. දැලි හෝ වෙනත් සුන්බුන් එකතු නොවූ හිමවලටත් වඩා සුදු ව, මුළුමනින් ම පවිත්‍ර තත්ත්වයට පත් විය හැකි වන ලෙස යෙහෝවඃ වහන්සේ තමා ව සෝදාලනු ඇතැයි යන ඔහුගේ අයදීම සමඟ මෙම ශෝධනය කරනු ලැබීමේ අදහස මුසු ව තිබේ. (යෙසායා 1:18) අපගෙන් ඕනෑ ම අයෙක් යම් වරදක් නිසා හෘදය සාක්ෂියේ වේදනාවන්ගෙන් දුක් විඳින්නේ නම්, අප පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ කමාව සොයන්නේ නම්, යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත උන් වහන්සේට අප ව නිර්මල හා පවිත්‍ර කිරීමට හැකි බවට අපි ඇදහිල්ලක් තබා ගනිමු.
යළි පිහිටුවීම සඳහා කන්නලව්ව
18. දාවිත් පසුතැවිලි වී පාපොච්චාරණය කිරීමට පෙර ඔහුගේ තත්ත්වය කුමක් වී ද, ඇරත් මේ ගැන දැනුම අද දින උපකාරවත් විය හැක්කේ කෙසේ ද?
18 වරද සහිත හෘදය සාක්ෂියක් නිසා කවදා හෝ දුක් විඳ ඇති ඕනෑ ම ක්‍රිස්තියානියෙකුට දාවිත්ගේ වචන තේරුම් ගත හැකියි: “ඔබ [යෙහෝවඃ වහන්සේ NW] බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.” (ගීතාවලිය 51:8) දාවිත් පසුතැවිලි වී පාපොච්චාරණය කිරීමට පෙර, ඔහුගේ කරදරකාරී හෘදය සාක්ෂිය ඔහු ව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත් කළේ ය. දක්ෂ ගායකයන් හා ප්‍රවීන සංගීතඥයන් විසින් ඉදිරිපත් කරන ලද ගීතවල ප්‍රීති ප්රමෝදයන්ගෙන්වත් ඔහු සතුටක් නොලැබී ය. දෙවියන් වහන්සේගේ අනුමැතිය නැති වී යාම ගැන පව්කාර දාවිත්ගේ අත්‍යාධික වේදනාව කොතරම් මහත් ද කිවහොත්, තම ඇට වේදනාකාරී ලෙස බිඳදමනු ලැබ ඇති මිනිසෙකුට ඔහු සම විය. තමාට කමාව ලැබීම, තම ආත්මික සුවය, තමා කලින් භුක්ති විඳ තිබූ ප්‍රීතිය නැවත පිහිටුවනු ලැබීම ගැන ඔහු ආශාවෙන් බලා සිටියේ ය. අද දින පසුතැවිලි වන වැරදිකරුවෙකුට ද, දෙවියන් වහන්සේ සමඟ තමාගේ සබඳතාවය අන්තරායට පත් කරවූ දෙය කිරීමට පෙර තමාට තිබූ ප්‍රීතිය යළි ලබා ගනු වස්, යෙහෝවඃ වහන්සේගේ කමාව අවශ්‍ය ය. පසුතැවිලි වන පුද්ගලයෙකු හට ‘ශුද්ධාත්මයේ ප්‍රීතිය’ යළි පිහිටුවනු ලැබීමෙන් පෙන්වන්නේ යෙහෝවඃ වහන්සේ ඔහුට කමා කර තිබෙන බවත් උන් වහන්සේ ඔහුට ප්‍රේම කරන බවත් ය. (1 තෙසලෝනික 1:6) එය මොනතරම් සහනයක් ගෙන එයි ද!
19. තම සියලු වැරදි දෙවියන් වහන්සේ විසින් මකා දමනු ලැබී නම්, දාවිත්ට කෙසේ හැඟී යනු ඇත් ද?
19 දාවිත් තවදුරටත් මෙසේ යාච්ඤා කළේ ය: “මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.” (ගීතාවලිය 51:9) අනුමැතිය සමඟින් පාපය දෙස බැලීම යෙහෝවඃ වහන්සේගෙන් අපේක්ෂා කළ නොහැක. මේ නිසා, දාවිත්ගේ පාපවලින් ස්වකීය මුව මඬල සඟවා ගන්නා මෙන් උන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලදි. තමාගේ සියලු වැරදි මකාලන මෙන් ද තම සියලු අධර්මිෂ්ඨකම් කටුගා දමන මෙන් ද රජ දෙවියන් වහන්සේට කන්නලව් කළේ ය. එය පමණක් කරන්නට යෙහෝවඃ වහන්සේට හැකි නම්! එය දාවිත්ගේ ස්වභාවය උසුලා, කරදරකාරී හෘදය සාක්ෂියක බර ඉවත් කර දමනු ඇති අතර, තම ප්‍රේමනීය දෙවියන් වහන්සේ මගින් තමාට කමාව ලැබී තිබෙන බව පශ්චත්තාපී රජට දැන් දැනගැනීමට සලස්වනු ලබනවා ඇත.
ඔබ පව් කර ඇත්නම් කුමක් ද?
20. බරපතළ ලෙස වැරදි කර ඇති ඕනෑ ම ක්‍රිස්තියානියෙකුට නිර්දේශ කර ඇත්තේ කුමක් ද?
20 බරපතළ ලෙස පව් කොට ඇති මුත්, පසුතැවිලි වෙන, යෙහෝවඃ වහන්සේට කැප වූ සේවකයන්ගෙන් ඕනෑ ම අයෙකුට, තමාට අනුග්‍රහය දක්වා තමාගේ පව්වලින් පවිත්‍ර කරන මෙන් නිසැකකමින් යුතු ව උන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකි බව 51 ගීතිකාව අඟවයි. ඔබ, එවන් ආකාරයකින් වැරදි කර ඇති ක්‍රිස්තියානියෙකු නම්, යටහත් පහත් යාච්ඤාව තුළින් අපගේ ස්වර්ගීය පියාණන්ගෙන් කමාව නොසොයන්නේ මන්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ අනුමැතිය ලත් තත්ත්වයකට සිටිනු පිණිස උන් වහන්සේගේ උපකාරය සඳහා ඔබට තිබෙන අවශ්‍යතාවය පිළිගෙන, පෙර තිබූ ඔබගේ ප්‍රීතිය යළි පිහිටුවාලන මෙන් උන් වහන්සේගෙන් අයදින්න. පසුතැවිලි වෙන ක්‍රිස්තියානින්ට නිසැකකමින් යුතු ව එවන් අයදීම් සමඟින් යාච්ඤාව තුළින් යෙහෝවඃ වහන්සේ කරා යා හැකි ය, මන්දයත් ‘උන්වහන්සේ අතිශයින් කමාවන’ බැවින් ය. (යෙසායා 55:7; ගීතාවලිය 103:10-14) ඇත්ත වශයෙන් ම, සභා වැඩිමහල්ලන්ට හඬ ගැසිය යුතු ය, එවිට අවශ්‍ය ආත්මික උපකාරය දීමට ඔවුනට හැකි ය.—යාකොබ් 5:13-15.
21. අප ඊළඟට පරීක්ෂා කරනු ඇත්තේ කුමක් ද?
21 යෙහෝවඃ වහන්සේගේ දයාව සැබවින් ම උන් වහන්සේගේ ජනයා ව බලාපොරොත්තු විරහිත බවින් මුදාලයි. එහෙත් 51 ගීතිකාවේ සඳහන් වී ඇති, පසුතැවිලි වන දාවිත්ගේ වෙනත් හෘදයාංගම ආයාචනයන් ගැන අපි පරීක්ෂා කර බලමු. යෙහෝවඃ වහන්සේ බිඳුණු හෘදයක් නීච කොට නොසලකන බව අපගේ අධ්‍යයනය පෙන්වනවා ඇත.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ බරපතළ පාපයක්, යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ගෙන් කෙනෙකුට කුමන බලපෑමක් ඇති කළ හැකි ද?
◻ දාවිත් තම පාපය සැඟවීමට උත්සාහ කළ විට, ඔහුට එය බලපෑවේ කෙසේ ද?
◻ තමා දෙවියන් වහන්සේට පමණක් ම විරුද්ධ ව පව් කොට තිබූ බව දාවිත් පැවසුවේ ඇයි?
◻ අප පව් කළොත්, දෙවියන් වහන්සේ, කාරණාවල බරපතළකම සැහැල්ලු කරවන තත්ත්වයන් සැලකිල්ලට ගන්නා නමුත්, අප නොකළ යුත්තේ කුමක් ද?
◻ ක්‍රිස්තියානියෙක් බරපතළ ලෙස පව් කොට තිබේ නම්, ඔහු කුමක් කළ යුතු ද?