යෙහෝවඃ වහන්සේ බිඳුණු හෘදයක් නීච කොට නොසලකන සේක
“දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණවූ සිතක්ය [ආත්මයක් ය NW] දෙවියන්වහන්ස, බිඳුණවූ තැළුණවූ සිතක් [හෘදයක් NW] ඔබ සුළුකොට නොසිතන සේක [නීච කොට නොසලකන සේක NW].”—ගීතාවලිය 51:17.
1. බරපතළ ලෙස පව් කරන නමුත්, පසුතැවිලි වෙන ස්වකීය නමස්කාරකයන් දෙස යෙහෝවඃ වහන්සේ බලන්නේ කෙසේ ද?
යාච්ඤාව තමන් වෙතට නොපැමිණෙන ලෙස වලාකුළකින් තමා ව ම වසා ගැනීමට’ යෙහෝවඃ වහන්සේට හැකි ය. (විලාප ගී 3:44) එහෙත් ස්වකීය සෙනඟ තමන් වහන්සේ සමඟ සම්බන්ධ වනවා දැකීමට උන් වහන්සේට වුවමනා ය. උන් වහන්සේගේ නමස්කාරකයෙකු බරපතළ ලෙස පව් කළ නමුත් පසුතැවිලි වන්නේ නම්, අපගේ ස්වර්ගික පියාණන් එම තැනැන්තා විසින් කරන ලද යහපත් දේවල් සිහි කරන සේක. මේ නිසා, ප්‍රේරිත පාවුල්ට තම සෙසු ක්‍රිස්තියානින් හට මෙසේ කීමට හැකි විණි: “නුඹලාගේ වැඩයද . . . දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
2, 3. වැරදි කරන සෙසු ඇදහිලිවන්තයන් සමඟ කටයුතු කිරීමේ දී ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සැලකිල්ලට ගත යුත්තේ කුමක් ද?
2 ක්‍රිස්තියානින් වැඩිමහල්ලන් ද තම සෙසු ඇදහිලිවන්තයන් විසින් වසර ගණනාවක් පුරා ඇදහිලිවන්ත ව දෙවියන් වහන්සේට පිරිනමන ලද සේවය සැලකිල්ලට ගත යුතු ය. වැරදි පියවරක් ගෙන ඇති හෝ බරපතළ ලෙස පවා පව් කර ඇති පසුතැවිලි වන අයගේ පැත්තෙන් කරන ලද පරිශුද්ධ සේවය ද මීට ඇතුළත් වෙයි. ක්‍රිස්තියානි එඬේරු, දෙවියන් වහන්සේගේ රැළේ සිටින සියල්ලන්ගේ ම ආත්මික සුභසාධනය ගැන සොයා බලති.—ගලාති 6:1, 2.
3 පසුතැවිලි වෙන වැරදිකරුවෙකුට යෙහෝවඃ වහන්සේගේ දයාව අවශ්‍ය ය. එහෙත්, ඊටත් වඩා දේ අවශ්‍ය ය. මෙය, ගීතාවලිය 51:10-19 දක්වා සඳහන් දාවිත්ගේ වචනවල පැහැදිලි ව දිස් වෙයි.
නිර්මල හෘදයක් අවශ්‍ය ය
4. දාවිත් නිර්මල හෘදයක් හා නව ආත්මයක් සඳහා යාච්ඤා කළේ මන්ද?
4 කැප වූ ක්‍රිස්තියානියෙක් පාපය නිසා නරක ආත්මික තත්ත්වයක සිටී නම්, යෙහෝවඃ වහන්සේගේ දයාව සහ කමාවට අමතර ව ඔහුට කුමක් අවශ්‍ය විය හැකි ද? හොඳයි, දාවිත් ආයාචනා කළේ මෙසේ ය: “දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් [නිර්මල හෘදයක් NW] මා තුළ මැවුව මැනව; ස්ථිර [නව NW] ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.” (ගීතාවලිය 51:10) පෙනෙන හැටියට, දාවිත් මෙම ආයාචනය කළේ, තමාගේ හෘදය තුළ තවමත් ලොකු වැරදි කිරීමට ප්‍රවණතාවක් තිබූ බව ඔහු වටහා ගත් බැවිනි. බැත්-ෂෙබා සහ උරියා සම්බන්ධයෙන් දාවිත් හසු වී ගිය ආකාරයේ පාපයන්ට අප සම්බන්ධ ව නොසිටිනවා වෙන්නට පුළුවන, නමුත් ඕනෑ ම බරපතළ පව්කාර හැසිරීමක යෙදීමේ පරීක්ෂාවකට හසු වී යාමෙන් වැළකීමට අපට යෙහෝවඃ වහන්සේගේ උපකාරය අවශ්‍ය ය. එපමණක් ද නොව, සොරකම හා මිනීමැරීම යන අපරාධවලට සම්බන්ධ තණ්හාව හා වෛරය වැනි පව්කාර ගති ලක්ෂණ අපගේ හෘදයන්ගෙන් ඉවත්කර දැමීමට අප හට පුද්ගලික ව දිව්‍ය උපකාරය අවශ්‍ය විය හැක.—කොලොස්සි 3:5, 6; 1 යොහන් 3:15.
5. (අ) නිර්මල හෘදයක් ඇති ව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) නව ආත්මයක් ඉල්ලා සිටි විට දාවිත් ආශා කළේ කුමකට ද?
5 ස්වකීය සේවකයන් “නිර්මල හෘදයක්,” එනම්, චේතනාවේ හෝ අදහස්වල නිර්මලත්වයක් ඇතුව සිටීම යෙහෝවඃ වහන්සේට අවශ්‍ය කරවයි. තමා එවන් නිර්මලත්වයක් විදහා පා නොතිබූ බව වටහා ගත් දාවිත්, දෙවියන් වහන්සේ විසින් තම හෘදය පිරිසිදු කොට, දිව්‍ය ප්‍රමිතීන්ට එකඟ ව එය ගෙනෙන මෙන් යාච්ඤා කළේ ය. නව, ඍජු ස්වභාවයක්, හෙවත් මානසික නැඹුරුවාවක් ද ගීතිකාකරුට වුවමනා විය. පරීක්ෂාවට එරෙහි වීමට සහ යෙහෝවඃ වහන්සේගේ නීති සහ ප්‍රතිපත්තිවලට ස්ථිර ව ඇලී සිටීමට උපකාරවත් වන ආත්මයක් ඔහුට අවශ්‍ය විය.
ශුද්ධාත්මය අතිශයින් වැදගත් ය
6. යෙහෝවඃ වහන්සේ තමන් වෙතින් ශුද්ධාත්මය ඉවත් කර නොගන්නා ලෙසට දාවිත් ආයාචනා කළේ ඇයි?
6 අපගේ අත්වැරදි හෝ වැරදි ක්‍රියාවන් නිසා අප බලාපොරොත්තු නැති තත්ත්වයක සිටින විට, දෙවියන් වහන්සේ අප ව පැත්තකට විසි කර දමන්ට යනවාක් සේ සහ ස්වකීය ශුද්ධාත්මය අපගෙන් ඉවත් කරගන්නට යනවාක් සේ අපට හැඟී යන්නට පුළුවන. දාවිත්ට එසේ හැඟුණි. මන්ද, ඔහු යෙහෝවඃ වහන්සේගෙන් මෙසේ අයැද සිටි නිසා ය: “ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුත්ටධාත්මය මාගෙන් පහ නොකළ මැනව.” (ගීතාවලිය 51:11) පශ්චත්තාපී, යටහත් පහත් දාවිත්ට හැඟූණේ ඔහුගේ පාප නිසා ඔහු යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට නොවටිනා තත්ත්වයට පත් කළ බව ය. දෙවියන් වහන්සේගේ මුව මඬල ඉදිරිපිටින් ඉවතට විසි වී යාම, උන් වහන්සේගේ අනුග්‍රහය, සහනය, සහ ආශීර්වාද අහිමි වීම අදහස් කරනු ඇත. දාවිත් ව ආත්මික ව යළි පිහිටුවනු ලැබීමට නම්, ඔහුට යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය අවශ්‍ය විය. තමා කෙරෙහි ශුද්ධාත්මය ඇතුව සිටීමෙන්, යෙහෝවඃ වහන්සේ ව සතුටු කරවනු පිණිස යාච්ඤා පූර්වක ව දිව්‍ය මඟ පෙන්වීම සෙවීමට රජුට හැකි විණි, පාපයෙන් වැළකීමට හැකි විණි, ප්‍රඥාවෙන් යුතු ව පාලනය කිරීමට හැකි විණි. ශුද්ධාත්ම දායකයාණන්ට විරුද්ධ ව කළ තම පව් ගැන සාවධාන ව සිටි දාවිත්, යෙහෝවඃ වහන්සේ එය තමන්ගෙන් ඉවත් නොකරන මෙන් කන්නලව් කිරීම උචිත ය.
7. අප ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කර, ඊට දුක් දීමට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
7 අප ගැන කුමක් කිව හැකි ද? අප ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කළ යුතු අතර, එහි මඟ පෙන්වීම අනුගමනය කිරීමට අසමත්වීම මගින් එයට දුක් දීමට එරෙහි ව අප ආරක්ෂා විය යුතු ය. (ලූක් 11:13; එපීස 4:30) එසේ නොවේ නම්, අපට ශුද්ධාත්මය අහිමි විය හැකි අතර, දෙවියන් වහන්සේ විසින් දානය කර ඇති එහි ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මොළොක්කම, සහ ආත්ම දමනය විදහා පෑමට නොහැකි වනු ඇත. අප පසුතැවිලි නොවී යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව දිගට ම පව් කරනවා නම්, යෙහෝවඃ දෙවියන් වහන්සේ විශේෂයෙන් ම උන් වහන්සේගේ ශුද්ධාත්මය අප කෙරෙන් ඉවත් කර ගන්නවා ඇත.
ගැලවීමේ ප්‍රීතිය
8. අප පව් කරන නමුත් ගැලවීමේ ප්‍රීතිය අපට වුවමනා නම්, අපට තිබිය යුත්තේ කුමක් ද?
8 ආත්මික යළි පිහිටුවීමක් අත්දකින පසුතැවිලි වන පව්කාරයෙකුට යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ සැපයුම තුළ යළිත් ප්‍රීති විය හැක. මෙයට ආශා කරමින් දාවිත් දෙවියන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියේ ය: “ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් [කැමති වන ස්වභාවයකින් NW] මා දැරුව මැනව.” (ගීතාවලිය 51:12) යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් දෙනු ලබන ගැලවීමේ ස්ථිර බලාපොරොත්තුව තුළ ප්‍රීති වීමට ලැබීම මොනතරම් පුදුමාකාර දෙයක් වූවා ද! (ගීතාවලිය 3:8) දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කිරීමෙන් පසු, දාවිත්, උන් වහන්සේ විසින් දෙන ගැලවීමේ ප්‍රීතිය යළි ලබා ගැනීමට සෙවී ය. පසු කාලවල දී, යෙහෝවඃ වහන්සේ, ස්වකීය පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව මාර්ගයෙන් ගැලවීම සැපයූ සේක. අප දෙවියන් වහන්සේගේ කැප වූ සේවකයන් වශයෙන් බරපතළ ලෙස පව් කළ නමුත්, ගැලවීමේ ප්‍රීතිය අපට යළි ලබා ගැනීමට වුවමනා නම්, ශුද්ධාත්මයට විරුද්ධ ව පව් කිරීමෙන් වැළකී සිටිනු පිණිස පසුතැවිලි වීමේ ආකල්පයක් අපට තිබිය යුතු ය.—මතෙව් 12:31, 32; හෙබ්‍රෙව් 6:4-6.
9. “කැමති වන ස්වභාවයකින්” පවා තමන්ට අනුබල දෙන මෙන් දාවිත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටි විට, ඔහු අයැද සිටියේ කුමක් ද?
9 යෙහෝවඃ වහන්සේ තමන් හට “කැමති වන ස්වභාවයකින්” අනුබල දෙනු ඇතැයි දාවිත් අයැද සිටියේ ය. පෙනෙන අයුරින්, මෙහි යොමු දක්වන්නේ, උපකාරවත් වීමට දෙවියන් වහන්සේට තිබෙන කැමැත්තට හෝ ස්වකීය ශුද්ධාත්මයට හෝ නොව, නමුත් දාවිත් ව පොලඹවන්නා වූ මානසික නැඹුරුවාවට ය. දාවිත්ට වුවමනා වූයේ, හරි දේ කිරීමට කැමති වන ස්වභාවයක් තමා තුළට දානය කරනු ලැබ, යළිත් වරක් පාපයට නොවැටීම සඳහා දෙවියන් වහන්සේගේ අනුබලයයි. යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය සේවකයන් හට නොකඩවා ම අනුබල දෙන අතර, විවිධ පරීක්ෂාවන් මගින් වැටී යන අය ව නැගිටුවාලන සේක. (ගීතාවලිය 145:14) විශේෂයෙන් ම අප වැරදි කර ඇත්නම්, කළ වැරදි ගැන දුක්මනස්තාප වී යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සදාකල් සේවය කිරීමට කැමති වන්නේ නම්, මෙය වටහා ගැනීම කොතරම් සැනසීමක් ද!
නීති කඩකරන්නන්ට උගන්වන්නේ කුමක් ද?
10, 11. (අ) ඊශ්‍රායලයේ නීති කඩකරන්නන්ට කුමක් ඉගැන්වීමට දාවිත්ට හැකි වී ද? (ආ) පව්කාරයන්ට ඉගැන්වීමට දාවිත්ට හැකි වූයේ, තමා ම කුමක් කිරීමෙන් පසු ව ද?
10 දෙවියන් වහන්සේ විසින් අවසර දෙනු ඇත්නම්, යෙහෝවඃ වහන්සේගේ දයාව කෙරෙහි තම අගය කිරීම පෙන්වන්නා වූ, සහ අන්‍යයන්ට උපකාරවත් වන්නා වූ යම් දෙයක් කිරීමට දාවිත් හට පරාර්ථකාමී ලෙස වුවමනා විය. යෙහෝවඃ වහන්සේ වෙතට යොමු කරන ලද යාච්ඤා පූර්වක හැඟීම් සමඟින්, පසුතැවිලි වෙන රජු ඊළඟට ප්‍රකාශ කළේ මෙසේයි: “එවිට මම අපරාධකාරයන්ට [නීති කඩකරන්නන්ට NW] ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය.” (ගීතාවලිය 51:13) නීති කඩකරන්නන් හට දේව නීතිය ඉගැන්වීමට පව්කාර දාවිත්ට හැකි වූයේ කෙසේ ද? ඔහු ඔවුන්ට කුමක් කියයි ද? එමෙන් ම මින් ඉටු විය හැකි යහපත කුමක් ද?
11 ඊශ්‍රායෙල්හි නීති කඩකරන්නන් ව දුෂ්ට මාවතකින් හැරවීමේ අටියෙන්, යෙහෝවඃ වහන්සේගේ මාර්ගය ගැන ඔවුනට පෙන්වීමේ දී, පාපය කොතරම් නපුරු ද කියාත්, පසුතැවිලි වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද කියාත්, දෙවියන් වහන්සේගේ දයාව ලබන්නේ කෙසේ ද කියාත් පෙන්වා දීමට දාවිත්ට හැකි විණි. යෙහෝවඃ වහන්සේගේ අප්‍රසන්න තත්ත්වයේ හා වැරදි සහගත හෘදය සාක්ෂියක අත්‍යාධික වේදනාව විඳි දාවිත්, පසුතැවිලි වන්නා වූ, බිඳුණු හෘදයක් ඇති පව්කාරයන් හට දයානුකම්පිත උපදේශකයෙකු වන බවට කිසිදු සැකයක් නැත. ඇත්ත වශයෙන් ම, වෙනත් අයට ඉගැන්වීමට ඔහුට තමාගේ ම උදාහරණය යොදා ගැනීමට හැකි වූයේ, ඔහු ම යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති පිළිගෙන, උන් වහන්සේගෙන් කමාව ලබා ගත්තායින් පසු ව පමණි. මන්දයත්, දිව්‍ය අවශ්‍යතාවයන්ට යටත්වීමට ප්‍රතික්ෂේප කරන අයට ‘දෙවියන් වහන්සේගේ පනත් එකිනෙක ගණින්ට’ කිසිදු අයිතියක් නැති බැවිනි.—ගීතාවලිය 50:16, 17.
12. තම ලේ වරදින් දෙවියන් වහන්සේ තමන් ව ගලවා ගෙන තිබෙන බව දැනගැනීම දාවිත්ට ප්‍රයෝජනයක් වූයේ කෙසේ ද?
12 තම අදහස් වෙනත් අයුරකින් නැවත කියමින් දාවිත් පැවසුවේ මෙසේයි: “දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ [ලේ වරද බවේ NW] අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා [ප්‍රීතියෙන් NW] ගීතිකාකරන්නේය.” (ගීතාවලිය 51:14) ලේ වරද සමඟ ගෙන ආවේ මරණයේ ශාපයයි. (උත්පත්ති 9:5, 6) තම ගැලවීමේ දෙවියන් වහන්සේ, උරියා සම්බන්ධ ලේ වරදින් තමා ව ගලවා ගෙන තිබූ බවට වූ දැනුම, දාවිත් හට මනසේ හා හෘදයේ සමාදානය දෙනවා ඇත. එවිට ඔහුගේ දිවෙන්, ඔහුගේ ම නොව, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රීතියෙන් ගයන්නට ඔහුට හැකි විණි. (දේශනාකාරයා 7:20; රෝම 3:10) තම දුරාචාරය මකා දමන්නට හෝ උරියාව මිනි වළෙන් නැවත ගෙන එන්නට දාවිත්ට හැකි නොවූයේ, වත්මන් මිනිසෙකුට, තමා විසින් දූෂණය කළා වූ පුද්ගලයෙකුගේ පවිත්රත්වය යළි පිහිටුවන්නට හෝ තමා විසින් මරාදමා ඇති යම් කිසිවෙකු ව නැවත නැගිටුවන්නට නොහැකිවාක් මෙනි. අප ව පරීක්ෂා කරනු ලබන අවස්ථාවල දී, අප ඒ ගැන කල්පනා කළ යුතු නොවේ ද? ධර්මිෂ්ඨකම තුළ යෙහෝවඃ වහන්සේ අපට පෙන්වා ඇති දයාව අප මොනතරම් අගය කළ යුතු ද! ඇත්තෙන් ම, ධර්මිෂ්ඨකමේ සහ කමාවේ මෙම පරම උල්පත අගය කිරීම, අන්‍යයන් ව මෙය වෙතට යොමු කිරීමට අප ව පෙලඹ විය යුතුයි.
13. යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරනු පිණිස නිසි අයුරින් තම තොල් විවෘත කිරීමට පව්කාරයෙකුට හැක්කේ කුමන තත්ත්වයන් යටතේ පමණක් ද?
13 කථාවට කියනවාක් මෙන්, දෙවියන් වහන්සේ දයානුකම්පාවෙන් යුතු ව තොල් විවෘත නොකරන්නේ නම්, එනම්, දෙවියන් වහන්සේගේ සත්‍යතාවයන් පැවසීමට, හා යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා තම තොල් නිසි අයුරින් විවෘත කිරීමට කිසි පව්කාරයෙකුට බැරි ය. එමනිසා දාවිත් මෙසේ ගායනා කළේ ය: “ස්වාමීනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය.” (ගීතාවලිය 51:15) දෙවියන් වහන්සේගේ කමාව ලැබීම නිසා, සැහැල්ලු වූ හෘදය සාක්ෂියකින් යුතු ව, නීති කඩකරන්නන් හට යෙහෝවඃ වහන්සේගේ මාර්ග ඉගැන්වීමට දාවිත් පෙලඹෙනු ඇති අතර, උන් වහන්සේ ව නිදහසේ වර්ණනා කරන්නට ඔහුට හැකි වෙයි. දාවිත් කමා ව ලැබුවාක් මෙන් කමාව ලබා ඇති සියලු දෙනා, ඔවුන් වෙත යෙහෝවඃ වහන්සේගෙන් ලැබී තිබෙන ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව අගය කළ යුතු අතර, දෙවියන් වහන්සේගේ සත්‍යතාවයන් සහ ‘උන් වහන්සේගේ ප්‍රශංසාව දැන්වීමට’ ඇති සෑම ප්රස්තාවකින් ම ඔවුන් ප්‍රයෝජන ගත යුතු ය.—ගීතාවලිය 43:3.
දෙවියන් වහන්සේට පිළිගත හැකි පූජා
14. (අ) ව්‍යවස්ථා ගිවිසුමට අනුව, කුමන පූජාවන් අවශ්‍ය වී ද? (ආ) යම් යහපත් දේවල් කිරීමෙන් දිගින් දිගට ම කරන වැරදිවලට වන්දි ගෙවීමට අපට හැකි යයි සිතීම වැරදි වනු ඇත්තේ මන්ද?
14 මෙසේ පැවසීමට දාවිත් ගැඹුරු තීක්ෂ්ණ බුද්ධියක් ලබා ගෙන තිබුණි: “මක්නිසාද ඔබ [යෙහෝවඃ වහන්සේ] පූජාවට නොකැමති සේක; කැමතිසේක් නම් [එසේ නොවී NW] එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවන සේක.” (ගීතාවලිය 51:16) සත්ත්ව පූජාවන් දෙවියන් වහන්සේට ඔප්පු කරනු ලැබීම ව්‍යවස්ථා ගිවිසුමෙන් අවශ්‍ය කරවී ය. එහෙත්, මරණ දඬුවම ලැබිය යුතු කාමමිථ්‍යාචාරය හා මිනීමැරීම සම්බන්ධ දාවිත්ගේ පාප, එවන් පූජාවන් මගින් සෝදා හැරිය නොහැක. එසේ නොවේ නම්, යෙහෝවඃ වහන්සේ හට සත්ත්ව පූජාවන් ඔප්පු කරන්නට ඔහු ඕනෑ ම වියදමක් දරනවා ඇත. හෘදයාංග ම පසුතැවිල්ල නොමැති නම්, පූජා ඔප්පු කිරීම නිෂ්ඵල ය. එමනිසා, අප දිගින් දිගට ම වැරදි කර, යම් යහපත් දේවල් කිරීමෙන් ඊට වන්දි ගෙවන්නට අපට හැකි යයි සිතීම වැරදි ය.
15. බිඳුණු හෘදයක් ඇති කැප වූ පුද්ගලයෙකුගේ ආකල්පය කුමක් විය යුතු ද?
15 දාවිත් මෙසේ එකතු කළේ ය: “දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණවූ සිතක්ය [ආත්මයක් ය NW]. දෙවියන්වහන්ස, බිඳුණවූ තැළුණවූ සිතක් [හෘදයක් NW] ඔබ සුළුකොට නොසිතන සේක [නීච කොට නොසලකන සේක NW].” (ගීතාවලිය 51:17) පසුතැවිලි වෙන පව්කාරයෙක් සම්බන්ධයෙන් ගත් කල, ‘දෙවියන් වහන්සේට පිළිගත හැකි පූජා නම් බිඳුණු ආත්මයක් ය.’ එවන් පුද්ගලයෙකුට කලහකාරී ආකල්පයක් නොමැත. බිඳුණු ආත්මයක් ඇති කැප වූ පුද්ගලයෙකුගේ හෘදය තම පාපය ගැන ගැඹුරින් ශෝක වෙයි, දෙවියන් වහන්සේගේ අනුමැතිය අහිමි වීම දැනීම නිසා යටහත් පහත් වෙයි, යළි දිව්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඕනෑ ම දෙයක් කිරීමට කැමති වෙයි. අප අපගේ පව් ගැන පසුතැවිලි වී, අපගේ හෘදයන් තනි භක්තියෙන් යුතු ව උන් වහන්සේට පුද කරන තෙක් වටිනාකමින් යුත් කිසිවක් දෙවියන් වහන්සේට දීමට අපට නොහැක.—නාහුම් 1:2.
16. තම පාපය නිසා හෘදය බිඳී ගිය පුද්ගලයෙකු දෙස දෙවියන් වහන්සේ බලන්නේ කෙසේ ද?
16 දෙවියන් වහන්සේ, බිඳුණු හා තැළුණු හෘදයක් වැනි පූජාවක් ප්‍රතික්ෂේප නොකරන සේක. එමනිසා, උන් වහන්සේගේ ජනයා වශයෙන් අප කුමන දුෂ්කරතාවයන්ට මුහුණ දුන්න ද, අපි බලාපොරොත්තු නැති කර නොගනිමු. දිව්‍ය දයාව සඳහා අපගේ හෘදයන් මොර ගැසීමට සිදු වන ලෙසට, අපගේ ජීවන ගමනේ දී, යම් අයුරකින් අප පැටලවී වැටුණත්, බලාපොරොත්තු නැති කර ගන්නට අවශ්‍ය නැත. අප බරපතළ ලෙස පව් කළ මුත්, පසුතැවිලි වන්නේ නම්, යෙහෝවඃ වහන්සේ අපගේ බිඳුණු හෘදය ඉවත නොදමන සේක. උන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත අපට සමාව දෙනු ඇති අතර, උන් වහන්සේගේ අනුග්‍රහයට අප ව යළි පිහිටුවනවා ඇත. (යෙසායා 57:15; හෙබ්‍රෙව් 4:16; 1 යොහන් 2:1) කෙසේ වුවද, දාවිත් මෙන්, අපගේ යාච්ඤාවන් ඉදිරිපත් කළ යුත්තේ, දිව්‍ය අනුග්‍රහයට අප ව යළි පිහිටුවනු ලැබීම සඳහා මිස, අවශ්‍ය කරවන තරවටුව හා නිවැරදි කිරීමෙන් බේරී සිටීම සඳහා නොවේ. දෙවියන් වහන්සේ දාවිත්ට සමාව දුන් සේක, නමුත් උන් වහන්සේ ඔහුට දඬුවම් ද කළ සේක.—2 සාමුවෙල් 12:11-14.
නිර්මල නමස්කාරය සඳහා සැලකිල්ල
17. දෙවියන් වහන්සේගේ කමාව ආයාචනය කරනවාට අමතර ව, පව්කාරයන් කුමක් කළ යුතු ද?
17 අප යම් බරපතළ පාපයක් කර ඇත්නම්, මෙය අපගේ මනසේ මහමෙරක් බඳු බරක් ව තිබෙනවාට කිසිදු සැකයක් නැත, තව ද කළ වරද ගැන දුක් මනස්තාප වෙන හෘදයක් තිබේ නම්, එය අප ව දෙවියන් වහන්සේගෙන් කමාව ඇයදීම සඳහා පොලඹවනු ඇත. එසේ වුවද, අපි අන්‍යයන් උදෙසා ද යාච්ඤා කරමු. යළිත් වරක් දෙවියන් වහන්සේ හට පිළිගත හැකි නමස්කාරයක් පුදන්නට දාවිත් ඉදිරිය බලා සිටිය ද, ඔහුගේ ගීතිකාවෙන් ආත්මාර්ථකාමී ලෙස අන්‍යයන් ව පින්තූරයෙන් පිටතට දැමුවේ නැත. එහි යෙහෝවඃ වහන්සේට කරන ලද මෙම කන්නලව්ව අඩංගු වෙයි: “ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව.”—ගීතාවලිය 51:18.
18. පසුතැවිලි වන දාවිත් සියොන් උදෙසා යාච්ඤා කළේ මන්ද?
18 එසේ ය, තමා ව දිව්‍ය අනුග්‍රහයට යළි පිහිටුවනු ලැබීම දාවිත් බලා සිටියේ ය. දාවිත් විසින් දෙවියන් වහන්සේගේ මාලිගය සෑදීමට බලාපොරොත්තුවෙන් සිටි ඊශ්‍රායෙලයේ අගනුවර වූ යෙරුසලමට හෙවත් ‘සියොනට දෙවියන් වහන්සේ ප්රසන්නකමින් යුතු ව යහපත සිදු කරන’ මෙන් ද යටහත් පහත් ගීතිකාකරුගේ යාච්ඤාව වූයේ ය. රජුගේ වැරදි නිසා සියලු ජනයා දුක් විඳීමට සිදු විය හැකි ව තිබූ නිසා දාවිත්ගේ බරපතළ පව් මුළු මහත් ජාතියට ම තර්ජනයක් විණි. (2 සාමුවෙල් 24වන පරිච්ඡේදය සසඳන්න.) වෙනත් විධියකින් කියනවා නම්, ඔහුගේ පාපයන් “යෙරුසලමේ පවුරු” දුර්වල කර තිබූ අතර, ඒවා දැන් නැවත ගොඩ නැඟීමට අවශ්‍ය විණි.
19. අපි පව් කර ඇති නමුත්, කමාව ලබා සිටින්නෙමු නම්, කුමක් සඳහා යාච්ඤා කිරීම යෝග්‍ය වනු ඇත් ද?
19 අප බරපතළ ලෙස පව් කොට තිබෙන නමුත් දෙවියන් වහන්සේගේ කමාව ලබා ගෙන ඇත්නම්, අපගේ හැසිරීම නිසා සිදු වී ඇති හානිය, උන් වහන්සේ විසින් යම් ආකාරයකින් අලුත් වැඩියා කරන මෙන් යාච්ඤා කිරීම යෝග්‍ය වනු ඇත. අප උන් වහන්සේගේ ශුද්ධ නාමයට නින්දා කර තිබෙනවා විය හැක, සභාව දුර්වල කර තිබෙනවා විය හැක, එමෙන් ම, අපගේ පවුලට ශෝකය ගෙනැවිත් තිබෙනවා විය හැකි ය. අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්ට, ස්වකීය නාමය මතට පැමිණ තිබෙන නින්දාව පහ කළ හැකි ය, ස්වකීය ශුද්ධාත්මය මගින් සභාව ගොඩනැංවිය හැකි ය, එමෙන් ම, තමන් වහන්සේට ප්‍රේම කරන සහ සේවය කරන අපගේ ප්රේමනීයයන්ගේ හෘදයන් සනසාලිය හැකි ය. පාපය ඇතුළත් වුණත් නැතත්, ඇත්ත වශයෙන් ම, සෑම විට ම අපගේ සැලකිල්ල යොමු විය යුත්තේ, යෙහෝවඃ වහන්සේගේ නාමය පවිත්‍ර කරනු ලැබීම හා උන් වහන්සේගේ ජනයාගේ සුභසාධනය වෙතටයි.—මතෙව් 6:9.
20. ඊශ්‍රායලයේ යාග සහ පූජාවන් සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න වනු ඇත්තේ කුමන තත්ත්වයන් යටතේ ද?
20 යෙහෝවඃ වහන්සේ සියොන්හි පවුරු නැවත ගොඩනැඟුවා නම්, තවත් කුමක් සිදු විය හැකි ද? දාවිත් ගැයුවේ මෙසේ ය: “එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජා හා මුළු දවන පූජාවට, ඔබ [යෙහෝවඃ වහන්සේ] ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය.” (ගීතාවලිය 51:19) යෙහෝවඃ වහන්සේට පිළිගත හැකි ලෙස නමස්කාර කරනු හැකි වන පිණිස, ඔහු සහ ජාතිය යෙහෝවඃ වහන්සේගේ අනුග්‍රහය භුක්ති විඳීමට දාවිත් බලවත් සේ ආශා කළේ ය. එවිට, දෙවියන් වහන්සේ, ඔවුන්ගේ දවන පූජා සහ මුළු දවන පූජාවල් ගැන ප්‍රිය වෙනවා ඇත. මෙය මෙසේ වනු ඇත්තේ, මේවා කැප වූ, අවංක, සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය භුක්ති විඳින පසුතැවිලි වන අය විසින් ඔප්පු කරනු ලබන ධර්මිෂ්ඨකමේ පූජාවන් වනු ඇති හෙයිනි. යෙහෝවඃ වහන්සේගේ දයාවට කෘතඥ වීමක් වශයෙන්, උන් වහන්සේගේ පූජාසනය මත, ඔවුන්, වඩාත් හොඳ ම සහ වඩාත් මිල අධික පූජාවන් වන ගොනුන් ඔප්පු කරනවා ඇත. අද දින, අපට තිබෙන හොඳ ම දේ යෙහෝවඃ වහන්සේ වෙතට ගෙන ඒම මගින් අපි උන් වහන්සේට ගෞරව කරමු. තව ද, “අපගේ තොල්වල පූජා ගොනුන්” එනම් අපගේ දයාන්විත දෙවි වන යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා පූජාවන් ද අපේ පූජාවන්ට ඇතුළත් වෙයි.—හොෂෙයා 14:2; හෙබ්‍රෙව් 13:15.
යෙහෝවඃ වහන්සේ අපගේ මොරගැසීම් අසන සේක
21, 22. පනස් එක් වෙනි ගීතිකාවේ අපගේ ප්‍රයෝජනය සඳහා තිබෙන පාඩම් මොනවා ද?
21 පනස් එක් වෙනි ගීතිකාවේ සඳහන් දාවිත්ගේ හෘදයාංගම යාච්ඤාව අපට පෙන්වන්නේ, අප සැබෑ පසුතැවිලි වීමේ ආත්මයකින් යුතු ව අපගේ පාපයට ප්‍රතික්‍රියා කළ යුතු බවයි. අපගේ ප්‍රයෝජනය සඳහා වූ පැහැදිලි පාඩම් ද මෙම ගීතිකාවේ අඩංගු වෙයි. නිදසුනක් වශයෙන්, අප පව් කළ මුත් පසුතැවිලි වන්නේ නම්, අපට දෙවියන් වහන්සේගේ දයාව කෙරෙහි දැඩි විශ්වාසය තැබිය හැක. කෙසේ වුවද, අපි යෙහෝවඃ වහන්සේගේ නාමය මත ගෙනැවිත් තිබිය හැකි ඕනෑ ම නින්දාවක් සම්බන්ධයෙන් ප්‍රධාන කොට ම සැලකිලිමත් වෙමු. (පද 1-4) දාවිත් මෙන්, අපගේ උරුම වූ පව්කාරකම පදනම් කර ගෙන අපට අපගේ ස්වර්ගික පියාණන්ට කන්නලව් කළ හැක. (5 පදය) අප සත්‍යවාදි විය යුතු ය, එමෙන් ම අප දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සෙවිය යුතු ය. (6 පදය) අප පව් කොට තිබේ නම්, පවිත්‍ර කරවන, නිර්මල හෘදයක් හා ස්ථිර ආත්මයක් අප තුළ ඇති කරවන මෙන් අප යෙහෝවඃ වහන්සේට ආයාචනා කළ යුතු ය.—පද 7-10.
22 පනස් එක් වෙනි ගීතිකාවෙන් අපට දැකිය හැකි තවත් දෙයක් නම්, අප පාපය තුළ දැඩි ව සිටීමට කිසිවිටෙකත් අපට ම ඉඩ නොහැරිය යුතු බව ය. අප එසේ කරනවා නම්, යෙහෝවඃ වහන්සේ ස්වකීය ශුද්ධාත්මය, හෙවත් ක්‍රියාකාරික බලවේගය අපගෙන් ඉවත් කරනවා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේගේ ආත්මය අප මත ඇතුව, උන් වහන්සේගේ මාර්ග ගැන සාර්ථක ලෙස අන් අයට ඉගැන්වීමට අපට හැක. (පද 11-13) අප වැරදි කරන මුත්, පසුතැවිලි වන්නේ නම්, යෙහෝවඃ වහන්සේ කිසිවිටෙකත් බිඳුණු තැළුණු හෘදයක් නීච කොට නොසලකන බැවින්, තමන් වහන්සේට දිගට ම ප්‍රශංසා කිරීමට උන් වහන්සේ අපට ඉඩ හරිනවා ඇත. (පද 14-17) අපගේ යාච්ඤාවන් අප වෙනුවෙන් පමණක් කේන්ද්‍රගත නොවිය යුතු බව මෙම ගීතිකාව අපට තවදුරටත් පෙන්වා දෙයි. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ නිර්මල නමස්කාරයේ නියැලී සිටින්නා වූ සියල්ලන් සඳහා ආශීර්වාද සහ ආත්මික සුභසාධනය පිණිස අප යාච්ඤා කළ යුතු ය.—පද 18, 19.
23. පනස් එක් වෙනි ගීතිකාව, ධෛර්යවත් වීමටත් සර්වශුභවාදී වීමටත් අප ව පෙලඹවිය යුත්තේ මන්ද?
23 දාවිත්ගේ මෙම හද දනවන ගීතිකාව ධෛර්යවත් වීමට සහ සර්වශුභවාදී වීමට අප ව පෙලඹ විය යුතුයි. අප පාපයට වැටී ගිය ද, සියල්ල අහිමි වී ගොස් තිබෙන බව සිතීමට අපට අවශ්‍ය නොවන බව එය අපට වටහා දෙයි. මන්ද? මක්නිසාදයත් අපි පසුතැවිලි වන්නෙමු නම්, යෙහෝවඃ වහන්සේගේ දයාවට අප ව බලාපොරොත්තු විරහිත බවින් මුදාලිය හැකි බැවිනි. අපි අපගේ වැරදි ගැන කියා දී, දුක් මනස්තාප වී අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්ට මුළුමනින් ම කැප වන්නෙමු නම්, දයාව ඉල්ලා කරන අපේ මොරගැසීම් උන් වහන්සේ අසන සේක. තව ද, යෙහෝවඃ වහන්සේ බිඳුණු හෘදයක් නීච කොට නොසලකන බව දැනගැනීමට ලැබීම මොනතරම් සැනසීමක් ද!
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ ක්‍රිස්තියානින් හට නිර්මල හෘදයක් හා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය අවශ්‍ය වන්නේ ඇයි?
◻ පසුතැවිලි වෙන පුද්ගලයෙකුට, යෙහෝවඃ වහන්සේගේ නීති කඩකරන්නන් හට කුමක් ඉගැන්විය හැකි ද?
◻ බිඳුණු හා තැළුණු හෘදයක් දෙස යෙහෝවඃ වහන්සේ බලන්නේ කෙසේ ද?
◻ පනස් එක් වෙනි ගීතිකාවේ කුමන පාඩම් සොයා ගත හැකි ද?
[15වන පිටුවේ පින්තූරය]
ඔබ ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කර එයට දුක් දීමට එරෙහි ව ආරක්ෂා වන්නෙහි ද?
[17වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ වහන්සේගේ සත්‍යතාවයන් ප්‍රකාශ කිරීමෙන් ලබන්ට නොවටිනා තරම් වූ උන් වහන්සේගේ කරුණාව කෙරෙහි අගය පෙන්වන්න